“හඬන අයත් සමඟ හඬන්න”
“දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න.”—1 තෙස. 5:11.
1, 2. වියෝදුකින් ඉන්න අයව සනසන විදිහ ගැන අපි සලකලා බලන එක වැදගත් ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
“පුතා නැති වෙලා අවුරුද්දක් විතර යන කල්ම අපිට දරාගන්න බැරි දුකක් දැනුණා” කියලා වියෝදුකින් ඉන්න සූසි කියනවා. නොහිතපු වෙලාවක තමන්ගේ බිරිඳ මිය ගියාම වචනවලින් විස්තර කරන්න බැරි වේදනාවක් මුළු ඇඟටම දැනුණා කියලා සහෝදරයෙක් කියනවා. අද ඉන්න හුඟදෙනෙක් ඒ දුක අද්දකිනවා. අපි හැමෝම ආස අපි ආදරේ කරන අයත් එක්කම පාරාදීසයට යන්න. ඊට කලින් එයාලා මිය යයි කියලා අපි හිතන්නේ නැහැ. ඒත් සමහරවිට ඔයා ආදරේ කරපු කෙනෙක් මිය යන්න ඇති. නැත්නම් ඒ දුක අද්දැක්ක වෙන කෙනෙක්ව ඔයා දන්නවා ඇති. එහෙමනම් ‘වියෝදුකින් ඉන්න කෙනෙක්ට සහනය අද්දකින්න පුළුවන් කොහොමද’ කියලා ඔයා කල්පනා කරනවා ඇති.
2 වියෝදුක හරියට හිතේ ඇති වෙන තුවාලයක් වගේ. සමහරු කියනවා කාලයත් එක්කම ඒ තුවාලේ හොඳ වෙනවා කියලා. ඒත් නිකම්ම කාලේ ගෙවුණා කියලා ඒක හොඳ වෙනවාද? එක වැන්දඹුවක් මෙහෙම කිව්වා. “ගත වෙන කාලෙත් එක්ක කෙනෙක් කරන දේවල් අනුව තමයි දුක තුනී වෙනවාද නැද්ද කියන දේ තීරණේ වෙන්නේ.” ශරීරයේ තුවාලයක් වුණාම ඒ ගැන සැලකිලිමත් වෙද්දී කාලයත් එක්කම ඒ තුවාලේ හොඳ වෙනවා. ඒ වගේ බිඳුණු හිතක් තියෙන කෙනෙක් සහනය, සෙනෙහස අද්දකිද්දී කාලයත් එක්ක එයාට දැනෙන දුක තුනී වෙලා යනවා. වියෝදුකින් ඉන්න කෙනෙක්ට සහනය අද්දකින්න පුළුවන් මොන පැතිවලින්ද?
“සියලු සැනසිල්ලේ දෙවි” යෙහෝවා
3, 4. අපි අද්දකින වේදනාව යෙහෝවා දෙවි තේරුම්ගන්නවා කියලා අපිට නිසැක ඇයි?
3 අපිට සහනය ලබා දෙන ප්‍රධානම කෙනා අපේ පියාණන් වන යෙහෝවා දෙවි. (2 කොරින්ති 1:3, 4 කියවන්න.) අනිත් අයගේ දුක හොඳින්ම තේරුම්ගන්නේ ඔහුයි. ඔහු තමන්ගේ සෙනඟට මෙහෙම පොරොන්දු වෙනවා. “ඔබව සනසන්නේ මමයි.”—යෙසා. 51:12; ගීතා. 119:50, 52, 76.
4 යෙහෝවා දෙවිත් වියෝදුක අද්දැකලා තියෙනවා. ඔහු හුඟක් ආදරේ කරපු ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්, මෝසෙස්, දාවිත් වගේ අය මිය යද්දී දෙවිට දැනුණේ ලොකු වේදනාවක්. (ගණන්. 12:6-8; මතෙ. 22:31, 32; ක්‍රියා 13:22) ඒ අයව නැවත නැඟිටුවන දවස එන කල් දෙවි ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා බයිබලේ කියනවා. (යෝබ් 14:14, 15) එදාට එයාලා කිසිම ලෙඩක් දුකක් නැතුව සතුටින් ජීවත් වෙයි. දෙවි තමන්ගේ කුලුඳුල් පුතාගේ මරණය නිසා ඇති වුණ වේදනාවත් අද්දැක්කා. (හිතෝ. 8:22, 30) තමන් හුඟක් ආදරේ කරන පුතා වේදනාකාරී මරණයක් අද්දකිනවා බලාගෙන ඉද්දී යෙහෝවා දෙවිට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්නවත් බැහැ.—යොහ. 5:20; 10:17.
5, 6. දෙවි අපිව සනසන්නේ කොහොමද?
5 අපේ උදව්වට යෙහෝවා දෙවි අපි ළඟින්ම ඉන්නවා කියලා අපිට නිසැකයි. ඒ නිසා හිතේ තියෙන දුක, වේදනාව අකුරක් නෑර අපි දෙවිට කියන්න ඕනේ. දෙවි අපිට හැඟෙන විදිහ තේරුම්ගන්නවා කියලත් ඔහු අපිව සනසනවා කියලත් දැනගෙන ඉන්න එක මොන තරම් සහනයක්ද! ඒත් දෙවි අපිව සනසන්නේ කොහොමද?
6 දෙවි අපිව සනසන එක විදිහක් ඔහුගේ බලය දීලා අපිට උදව් කරන එක. (ක්‍රියා 9:31) දෙවිගෙන් බලය ඉල්ලන අයට දෙවි අනිවාර්යයෙන්ම බලය ලබා දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා. (ලූක් 11:13) සූසි මෙහෙම කියනවා. “අපි දණින් වැටිලා දෙවිගෙන් උදව් ඉල්ලපු වාර අනන්තයි. ඒ හැම වතාවකම දෙවි දෙන සමාදානය අපේ හදවතට, මනසට ආරක්ෂාවක් වුණ විදිහ අපි අද්දැක්කා.”—ෆිලිප්පි 4:6, 7 කියවන්න.
අපිට හැඟෙන විදිහ යේසුස් තේරුම්ගන්නවා
7, 8. යේසුස් අපිව සනසනවා කියලා නිසැක ඇයි?
7 යේසුස් ඔහුගේ පියා වන යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ 100%ක්ම ආදර්ශයට ගත්තා. ඔහු කරපු කියපු දේවලින් ඒක පැහැදිලිවම දකින්න තිබුණා. (යොහ. 5:19) දෙවි යේසුස්ව එව්වේ “බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන්නයි.” “වැලපෙන සියල්ලන්ව සනසන්නයි.” (යෙසා. 61:1, 2; ලූක් 4:17-21) මිනිසුන් අද්දකින දුක් ගැහැට යේසුස් තේරුම්ගන්නවා කියලත් එයාලට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියලත් ඔහු දේවල් කරපු විදිහෙන් පැහැදිලි වුණා.—හෙබ්‍රෙ. 2:17.
8 යාළුවන්, පවුලේ අය මිය යද්දී දැනෙන වේදනාව යෞවන වයසේදී යේසුස් අද්දකින්න ඇති. පේන විදිහට පොළොවේදී යේසුස්ව රැකබලා ගත්ත තාත්තා වුණ යෝසෙප් මිය යන්න ඇත්තේ යේසුස් යෞවන වයසේ ඉද්දී.a යේසුස්ට තිබුණේ උණු වෙන හදවතක්. එහෙම කෙනෙක්ට තමන්ට දැනෙන දුක දරාගන්න අතරේ තමන්ගේ අම්මා, නංගිලා, මල්ලිලා අඬනවා දකිද්දී කොයි තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද?
9. යේසුස් අනිත් අයගේ හැඟීම් තේරුම්ගන්නවා කියලා ලාසරුස්ගේ මරණේදී පැහැදිලි වුණේ කොහොමද?
9 යේසුස් සේවය කරපු කාලෙදී ඔහු මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත්තා කියලත් එයාලට අනුකම්පා කළා කියලත් පැහැදිලි වුණා. ඔහුගේ කිට්ටු යාළුවෙක් වුණ ලාසරුස් මිය ගිය වෙලාවේ එයාගේ සහෝදරියන් වුණ මාර්තා සහ මරියා අද්දැක්ක වේදනාව යේසුස්ට දැනුණා. ඒ දෙන්නා ගැන ඔහුට කොච්චර අනුකම්පාවක් දැනුණාද කියනවා නම් තව ටිකකින් තමන් ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා දැනගෙන හිටියත් යේසුස් ඇඬුවා.—යොහ. 11:33-36.
10. අපිට හැඟෙන විදිහත් යේසුස් තේරුම්ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?
10 ඒ දේවල් අතීත සිදුවීම් වුණත් අද අපිට ඒවා සහනයක් වෙන්නේ කොහොමද? බයිබලේ කියන්නේ “යේසුස් ක්‍රිස්තුස් ඊයේත් අදත් කවදත් එකම තැනැත්තා” කියලයි. (හෙබ්‍රෙ. 13:8) “ජීවනය ලබා දීමට පත් කර ඇති ප්‍රධාන තැනැත්තා” වියෝදුක අද්දැකලා තියෙන නිසා “දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කරන්න ඔහුට පුළුවන්.” (ක්‍රියා 3:15; හෙබ්‍රෙ. 2:10, 18) අදත් කෙනෙක් දුකක් අද්දකිද්දී ඒ වේදනාව යේසුස්ට දැනෙනවා කියලා අපිට ස්ථිරයි. ඒ කෙනාගේ වේදනාව තේරුම්ගන්න ඔහු, “අවශ්‍ය වේලාවේදීම” එයාට සහනය ලබා දෙනවා.—හෙබ්‍රෙව් 4:15, 16 කියවන්න.
“ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ල”
11. ඔයාට සැනසීමක් වුණ බයිබල් පද මොනවාද?
11 ලාසරුස්ගේ මරණය ගැන යේසුස්ට හැඟුණ විදිහ විස්තර කරන බයිබල් වාර්තාව අපිට සහනයක් ලබාගන්න උදව් වෙන එක වාර්තාවක් විතරයි. ඒ වගේ තව හුඟක් වාර්තා බයිබලේ තියෙනවා. “අතීතයේ ශුද්ධ ලියවිලිවල එසේ ලියා තිබෙන සෑම දෙයකින්ම අපට යමක් ඉගෙනගත හැක. එමගින් අපි විඳදරාගැනීමට ඉගෙනගනිමු. එලෙසම ශුද්ධ ලියවිල්ලෙන් සැනසිල්ලද අද්දකින්නෙමු. ඒ දේවල් බලාපොරොත්තුවක් ඇතුව සිටීමට අපට උපකාරවත් වෙයි” කියලා බයිබලේ කියන්නේ ඒ නිසයි. (රෝම 15:4) ඔයා වියෝදුකින් ඉන්න කෙනෙක් නම් මේ බයිබල් පද ඔයාට සහනයක් වෙයි.
“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතා. 34:18, 19.
“මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ [යෙහෝවා දෙවිගේ] ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතා. 94:19.
‘අපට ප්‍රේම කරන, මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්, ඔබේ සිත්වලට සැනසීමද ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.’—2 තෙස. 2:16, 17.b
සභාවෙන් ලැබෙන සැනසිල්ල
12. අනිත් අයව සනසන්න අපිට පුළුවන් කොහොමද?
12 වියෝදුකින් ඉන්න අයට සභාවේ අයගෙනුත් සැනසීම අද්දකින්න පුළුවන්. (1 තෙසලෝනික 5:11 කියවන්න.) “බිඳුණු සිතක්” ඇති කෙනෙක්ට ශක්තියක්, සහනයක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (හිතෝ. 17:22) “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියලා මතක තියාගන්න. (දේශ. 3:7) වැන්දඹුවක් වන ඩෙලින් මෙහෙම කියනවා. “වියෝදුකින් ඉන්න අයට ඕනෙ හිතේ තියෙන වේදනාව එළියට දාන්න. ඒ නිසා බාධා කරන්නේ නැතුව එයාට කතා කරන්න ඉඩ දෙන්න.” තමන්ගේ අයියා සිය දිවි හානි කරගත්ත නිසා දුකෙන් හිටපු ජූනියා මෙහෙම කියනවා. “වියෝදුකින් ඉන්න කෙනාට දැනෙන වේදනාව සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න ඔයාට බැරි වෙයි. ඒත් ඒ දුක තේරුම්ගන්න ඔයා ගන්න උත්සාහයම එයාට වටිනවා.”
13. වියෝදුකින් ඉන්න කෙනෙක්ට දැනෙන වේදනාව ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?
13 වියෝදුක දැනෙන විදිහ, ඒ දුක එළියට දාන විදිහ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් කියලා අපි මතක තියාගන්න ඕනේ. තමන්ගේ හිතේ හිර වෙලා තියෙන දුක මෙච්චරයි කියලා වචනෙන් විස්තර කරන්න කෙනෙක්ට බැරි වෙයි. බයිබලේ කියන්නේ “යමෙකුගේ සිතේ තිබෙන වේදනාව දන්නේ ඔහු පමණි. ඔහුගේ සිතට දැනෙන සතුට පවා වෙනත් කෙනෙකුට විස්තර කළ නොහැකි තරම්ය” කියලයි. (හිතෝ. 14:10) කෙනෙක් තමන්ට හැඟෙන විදිහ විස්තර කළත් එයා කියන්න හදන දේ හරියටම තේරුම්ගන්න අනිත් අයට අමාරු වෙන්න පුළුවන්.
14. වියෝදුකින් ඉන්න අයව සනසන්න කියන්න පුළුවන් දේවල් හොයාගන්න පුළුවන් කොහෙන්ද?
14 වියෝදුකින් ඉන්න කෙනෙක්ව සනසන්න කියන්න ඕනෙ මොනවාද කියලා තෝරගන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. ඒත් බයිබලේ කියන්නේ “ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි” කියලයි. (හිතෝ. 12:18) හුඟදෙනෙක් කෙනෙක්ව සනසන්න කියන්න පුළුවන් දේවල් ‘ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට’ කියන සඟරාවෙන් හොයාගෙන තියෙනවා.c ඒත් හුඟක් වෙලාවට අපිට කරන්න පුළුවන් හොඳම දේ ‘හඬන අයත් එක්ක හඬන’ එකයි. (රෝම 12:15) වැන්දඹුවක් වන ගැබි මෙහෙම කියනවා. “මගේ හිතේ තියෙන වේදනාව කියන්න පුළුවන් එකම විදිහ අඬන එක විතරයි. සභාවේ අයත් මාත් එක්ක අඬද්දී මේ දුක දැනෙන්නේ මට විතරක් නෙමෙයි කියලා මට හැඟුණා. ඒක මට ලොකු සහනයක් වුණා.”
15. වියෝදුකින් ඉන්න කෙනා එක්ක ඉද්දී එයාව සනසන්න ඔයාට අමාරුයි නම් කරන්න පුළුවන් මොනවාද? (“හිතට සහනයක් ගෙන දුන් වදන්” කියන කොටුව බලන්න.)
15 වියෝදුකින් ඉන්න කෙනෙක් එක්ක ඉද්දී එයාව සනසන විදිහට දෙයක් කියන්න ඔයාට අමාරුයි කියලා හැඟෙනවා නම් ඔයාට පුළුවන් කාඩ් එකක්, ඊ-මේල් එකක්, SMS එකක් නැත්නම් ලියුමක් මාර්ගයෙන් එයාට සහනයක් වෙන දෙයක් කියන්න. බයිබල් පදයක්, මිය ගිය කෙනාට තිබුණ ලස්සන ගුණාංගයක්, එයාත් එක්ක කාලේ ගත කරද්දී ලබපු අද්දැකීමක් ඒකේ සඳහන් කරන්න පුළුවන්. ජූනියා මෙහෙම කියනවා. “ලියලා එවපු දෙයක් කියවද්දී, සභාවේ කවුරු හරි එයා එක්ක කාලේ ගත කරන්න මට ආරාධනා කළාම මට ඒක ලොකු ශක්තියක් වුණා. සහෝදරයෝ කරපු ඒ දේවල් නිසා එයාලගේ ආදරේ, සැලකිල්ල මට දැනුණා.”
16. අනිත් අයව සනසන්න පුළුවන් තව හොඳ විදිහක් මොකක්ද?
16 වියෝදුකින් ඉන්න අය ගැන දෙවිට යාච්ඤා කරන එකෙනුත් එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන්. එයාලා එක්ක යාච්ඤා කරන්නත් අපිට පුළුවන්. සමහරවිට ඒක කරන එක ලේසි වෙන එකක් නැහැ. මොකද යාච්ඤා කරද්දී ඔයාටත් ඇඬෙයි කියලා ඔයාට හිතෙයි. ඒ වුණත් ඔයා හදවතින්ම කරන යාච්ඤාව ඒ කෙනාට ලොකු සහනයක්. “මාව බලන්න සහෝදරියන් ආවාම යාච්ඤාවක් කරන්න පුළුවන්ද කියලා මං එයාලගෙන් අහනවා. මුලින් එයාලා වචන ගළපගන්නේ අමාරුවෙන් වුණත් තත්පර කීපයක් යද්දී ඒ ගතිය නැති වෙනවා. අන්තිමේදී එයාලා කරන යාච්ඤාවලින් මගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක්. එයාලගේ විශ්වාසය, ආදරේ, සැලකිල්ල මගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න මට ලොකු හයියක් වුණා” කියලා ඩෙලින් කියනවා.
දිගටම සහනයක් වෙන්න
17-19. වියෝදුකින් ඉන්න අයට අපි දිගටම සහනයක් වෙන්න ඕනෙ ඇයි?
17 කෙනෙක්ට දැනෙන දුක තුනී වෙන්න කොච්චර කාලයක් යනවාද කියලා හරියටම කියන්න බැහැ. මරණයක් වුණාම වියෝදුකින් ඉන්න අයව සනසන්න නෑදෑයෝ, යාළුවෝ හුඟදෙනෙක් එනවා. ටික දවසකින් ඒ අය ආපහු තමන්ගේ ජීවිතේ වැඩවලට යොමු වෙනවා. ඒත් වියෝදුකින් ඉන්න කෙනාට තාමත් සැනසීම ඕනේ. ඒ නිසා මුල් කාලෙදී විතරක් නෙමෙයි දිගටම එයාලට උදව් කරන්න ලෑස්ති පිට ඉන්න. මොකද “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.” (හිතෝ. 17:17) වියෝදුකින් ඉන්න අය ඒ තත්වයෙන් ගොඩ එන කල්ම එයාලට උදව් කරන එක අත්හරින්න හොඳ නැහැ.—1 තෙසලෝනික 3:7 කියවන්න.
18 වියෝදුකින් ඉන්න කෙනෙක්ගේ සිතුවිලි කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බැහැ. ඇහෙන සිංදුවක්, දකින ෆොටෝ එකක් නැත්නම් කරන යම් දෙයක් නිසා එයාට මිය ගිය කෙනාව එකපාරටම මතක් වෙයි. විවාහ සංවත්සරය දවසට නැත්නම් ඒ කෙනාව මතක් කරන සුවඳක් දැනුණාම, සද්දයක් ඇහුණාම වුණත් එයාගේ දුක වැඩි වෙන්න පුළුවන්. දෙන්නා එකට කරපු දෙයක් මුල් වතාවට තනියම කරද්දී උදාහරණෙකට සමුළුවකට, සිහි කිරීමට සහභාගි වෙද්දී දරාගන්න බැරි දුකක් දැනෙයි. සහෝදරයෙක් මෙහෙම කිව්වා. “වයිෆ් නැති වුණාට පස්සේ ආපු පළවෙනි ඇනිවසරි එක මට දරාගන්න බැරි වෙයි කියලා මං හිතුවා. ඒක අමාරු දවසක්. ඒත් සහෝදරයන් කීපදෙනෙක් එකතු වෙලා පොඩි ඇසුරක් ලෑස්ති කළා. ඒ හින්දා එදා මට තනිකමක් දැනුණේ නෑ.”
19 වියෝදුකින් ඉන්න අයට සහනය ඕනෙ විශේෂ අවස්ථාවලදී විතරක් නෙමෙයි කියලා මතක තියාගන්න. “විශේෂ දවසක් වුණේ නැතත් සහෝදර සහෝදරියන් ඇවිත් මාත් එක්ක කාලය ගත කරද්දී ඒක මට ලොකු හයියක් වුණා. බලාපොරොත්තු නොවුණ වෙලාවලදී මට ලැබුණ උදව් මට හුඟක් වටිනවා. ඇත්තටම එයාලා මට සහනයක් වුණා” කියලා ජූනියා කියනවා. කෙනෙක්ට දැනෙන දුක, පාළුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපිට බැරි වෙයි. ඒත් එයාලා වෙනුවෙන් දේවල් කරලා එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන්. (1 යොහ. 3:18) ගැබි මෙහෙම කියනවා. “මට දුක දරාගන්න අමාරු වුණ හැම අවස්ථාවකදීම වැඩිමහල්ලන් මාත් එක්කම හිටියා. ඒ ගැන මං යෙහෝවා දෙවිට හුඟක් ස්තුති කරනවා. එයාලා කරපු උදව් නිසා මට යෙහෝවා දෙවිගේ ආදරේ දැනුණා.”
20. යෙහෝවා දෙවිගේ පොරොන්දු අපිට සහනයක් වෙන්නේ කොහොමද?
20 මිය ගිය අයව නැවත නැඟිටුවන කාලෙදී සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවා, දුකට හේතු වෙන හැම දෙයක්ම අයින් කරලා වියෝදුකින් ඉන්න අයට සදහටම සහනය ලබා දෙනවා. (යොහ. 5:28, 29) “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමනවා.” (යෙසා. 25:8) එදාට අපි ‘හඬන අයත් එක්ක හඬනවා’ වෙනුවට ‘ප්‍රීති වන අයත් එක්ක ප්‍රීති වෙයි.’—රෝම 12:15.
a යේසුස්ට අවුරුදු 12දී යෝසෙප් ජීවතුන් අතරේ හිටියා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලියි. යේසුස් 1වෙනි ආශ්චර්යය කරපු අවස්ථාවේදීවත් ඊටපස්සෙවත් යෝසෙප් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒකෙන් හිතන්න පුළුවන් ඒ වෙද්දී යෝසෙප් ජීවතුන් අතරේ හිටියේ නැහැ කියලා. යේසුස් වධකණුවේ ඉද්දී ඔහු තමන්ගේ අම්මාව බලාගන්න යොහන්ට භාර දුන්නා. යෝසෙප් ජීවතුන් අතරේ හිටියා නම් යේසුස් එහෙම දෙයක් කරයි කියලා හිතන්න බැහැ.—යොහ. 19:26, 27.
b මේ බයිබල් පදත් හුඟදෙනෙක්ට සහනයක් වුණා. ගීතාවලිය 20:1, 2; 31:7; 38:8, 9, 15; 55:22; 121:1, 2; යෙසායා 57:15; 66:13; ෆිලිප්පි 4:13; 1 පේතෘස් 5:7.
c 2010 නොවැම්බර් 1 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ “වියෝ දුකෙන් පෙළෙන්නන්ව සනසන්න” කියන ලිපියත් බලන්න.