ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් ජය ගැනීම
ඇබ්බැහිවීමක් අත්හැරීම වනාහි හරියට ඔබ ඇති දැඩි කරනු ලැබූ නිවසින් වෙනත් තැනකට පදිංචියට යෑම බඳුය. එය පරණ, ගරාවැටුණු තත්ත්වයක තිබුණත්, එය අත්හැර යෑම දුෂ්කර දෙයකි. එය ඔබගේ ගෙදර විය.
ඔබ ඇබ්බැහි වූ පුද්ගලයෙකු නම්, ඇබ්බැහිවීම බොහෝ විට ඔබගේ චිත්ත වේගීය ගෙදර වන්නට ඇත. නොඅනුමානව එය අවුල්සහගත එකක්ව තිබුණත්, එය සුපුරුදු එකකි. “මත්වී සිටීම මට සාමාන්‍ය දෙයකි. මත් නොවී සිටීම අසාමාන්‍ය දෙයකි,” යයි මත්පැන්වලට ඇබ්බැහිවී, සුව වෙමින් සිටින චාර්ල්ස් පවසයි. ඇබ්බැහිවීමෙන් දුරස් වීම දුෂ්කර කාර්යයක් වේ, නමුත් ඊට දරන ප්රයත්නය වටිනා එකකි.
මුල් පියවර නම් ඇබ්බැහි කරවන ද්‍රව්‍යයන්ගෙන් වැළකීමය.a ප්‍රමාද වීමට හෝ ක්‍රමක්‍රමයෙන් එය අඩුකර ගැනීමට පොරොන්දු පමණක් දී සිටින්නට එපා. ඊට සම්බන්ධ සියලුම සැපයුම් සහ උපකරණ වහාම ඉවත් කරන්න. පසුබැසීමේ කෙටි අවධියක් ඉන් පසුව පැමිණෙනු ඇත, ඇතැම්විට වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම තත්ත්වයට මුහුණ දීම වඩාත් සුදුසු විය හැක. මෙය වනාහි ජීවිත කාලය පුරා පැවතිය යුතු වැළකී සිටීමේ ආරම්භයයි. එහෙත් එය අනිවාර්යයෙන්ම කළ නොහැකි යමක් යයි කල්පනා කරන්නට එපා. එක් මසකට, සතියකට නැතහොත් දිනකට පවා වැළකී සිටීම බඳු අත්කර ගැනීමට පහසු ඉලක්කයක් සමඟ අරඹන්න. සෑම කාලපරිච්ඡේදයකම අවසානයෙන් පසු, නැවත භාවිතා කිරීම වෙනුවට, ඔබගේ අධිෂ්ඨානය අලුත් කරගන්න.
මෙය ඇබ්බැහිවීමේ හැසිරීම වෙනස් කිරීමේ ආරම්භය පමණි. “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර” කිරීමට බයිබලය අපට දිරිගන්වයි. (2 කොරින්ති 7:1) ඇබ්බැහිවීම මාංසයේ කිලුටුකමට වඩා වැඩි යමකි. ආත්මය, නැතහොත් මානසික නුඹුරුවාවද බලපෑමට ලක් වෙයි. මාංසය සහ ආත්මය යන දෙපාර්ශ්වයෙන්ම සුව වීමට ඔබට උපකාර කළ හැක්කේ කුමකටද?
දිගටම උත්සාහ කිරීම අවශ්‍යය
“ඇබ්බැහිවීම වනාහි සම්පූර්ණ පුද්ගලයාගේ අක්රමිකතාවකි,” යයි වෛද්‍ය රොබර්ට් එල්. ඩූපොන්ට් පවසයි. එමනිසා ඉන් ජය ගැනීමට නම් සම්පූර්ණ පුද්ගලයා ඊට සම්බන්ධ විය යුතුය. එමගින් ඔබේ මුළු සාරධර්ම පටිපාටියම වෙනස් විය යුතුය. මීට කාලය ගත වේ. සුව වීමට කෙටි ක්‍රමයක් නැත. ඉක්මන් සුවය සඳහා වූ ඕනෑම පොරොන්දුවක් එයට ශීඝ්‍රයෙන් නැවත හැරීයෑමට මඟ පාදනවා පමණි.
හරි දෙය කිරීම සඳහා වූ සටන දිගටම කළ යුතු යමකි. ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “මගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, [“නොකඩවා සටන් කරන්නාවූ,” ෆිලිප්ස්] . . . අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.” (රෝම 7:23) තවද ක්‍රිස්තියානීන් “ශුද්ධකම සම්පූර්ණක[ළ]” යුතු බවද හේ ලීවේය. (2 කොරින්ති 7:1) මෙහිදී ‘සම්පූර්ණකිරීම’ යන වදන, “හදිසියෙන්ම සම්පූර්ණ ශුද්ධකම අත්කර ගැනීම නොව, නමුත් නොකඩවා කරන ක්‍රියාවලියක්,” අදහස් කරන බව වර්ල්ඩ් පික්චර්ස් ඉන් ද නිව් ටෙස්ටමන්ට් නමැති පොත සඳහන් කරයි. එබැවින් ඇබ්බැහිවීමෙන් ජය ගැනීම වනාහි ක්‍රමක්‍රමයෙන් සිදු කළ යුතු යමකි.
හේතුව සොයාගැනීම
ඇබ්බැහිවීම ගත් කල, එය බොහෝ දෙනෙකුට, අතීතයේ සිදු වූ වේදනාකාරී සිදුවීම් මනසින් ඉවත් කිරීම සඳහා වූ ප්රයත්නයක් වෙයි. “බුභුක්ෂාව [ආහාර ගැනීමේ අක්‍රමිකතාවක්] අතීතයේ සිතුවිලිවලින් මගේ සිත වෙනතකට යොමු කළා,” යනුවෙන් ජැනිස් කියයි. එය බේරී ජීවත්වීම සඳහා මගේ ශිල්ප ක්‍රමය බවට පත්විය.” අතීතය නොසලකා හැරීම ජැනිස්ගේ ඇබ්බැහිවීම දිගටම පවත්වාගැනීමට සැලැස්වූවා. ඇගේ හැසිරීම සඳහා වූ හේතූන් අවබෝධ කරගැනීම ජැනිස්ට ඇගේ ඇබ්බැහිවීමේ හැසිරීම වෙනස් කිරීමට උපකාර කළා.
අතීත පුරුදු වෙනස් කරන අතර, අතීතය පරීක්ෂා කිරීමෙන් තොරව සාර්ථකව කටයුතු කිරීමට සමහරුන්ට හැක. තවත් සමහරුන්ට, පෙර පරිසරයේදී මුල් බැසගත් හැඟීම්, ඇබ්බැහිවීමට වූ තම දැඩි ආශාවට දිගටම ඉන්ධනයක් මෙන් ක්‍රියා කරන බව දැන ගනිති. ගීතිකාකාර දාවිත් ලෙස ඔවුන්ට හැඟිය හැකිය, ඔහු මෙසේ ලීවේය: ‘‘දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත [හෘදය, NW ] දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ [නොසන්සුන්, NW ] සිතිවිලි දැනගත මැනව. යම් නපුරු [වේදනාකාරී, NW ] මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.”—ගීතාවලිය 139:23, 24.
හැඟීම් සමඟ කටයුතු කිරීම
ඔබ කවදාහරි අඳුරු ගොඩනැගිල්ලක සිට ඍජු හිරු එළිය වැටෙන තැනකට පිවිස තිබෙනවාද? හදිසි දීප්තිමත්භාවයේ තද බලපෑම නිසා ඔබගේ දෙනෙත්වලට වේදනාවක් දැනෙයි. ඊට සමානව, ඇබ්බැහිවීම් සමඟ කටයුතු කිරීමට ආරම්භ කරන විට, හදිසියෙන්ම වේදනාකාරී අන්දමකින් සම්පූර්ණ හැඟීම් වැලකින් ඔබ බලවත් ලෙස පහර ලබන බව ඔබට දැනිය හැක. බොහෝ කලකට සැඟවී තිබූ ප්‍රේමය, කෝපය, උඩඟුකම, ඊර්ෂ්‍යාව, බිය, අමනාපය සහ වෙනත් චිත්ත වේගයන් දැන් සම්පූර්ණ බලයෙන් යුක්තව ඇවිළෙයි.
ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ සුපුරුදු අඳුරට නැවත හැරී යෑමට කාන්සාවේ හැඟීම් ඔබව පෙලඹවිය හැක. එහෙත් ඔබගේ හැඟීම්වලින් පලා යෑමට ඔබට අවශ්‍ය නැත. ඒවා ඔබට තොරතුරු ලබාගැනීමේ උපකාරවත් උල්පතක් විය හැක. හැඟීම් බොහෝවිට යමකට අවධානය අවශ්‍ය බවට සංඥාවක් පමණි. එනිසා, අවශ්‍ය නම්, ඔබගේ හැඟීම් සියල්ල කල්පනාවට නගන්න. ඒවා ඔබට කියනුයේ කුමක්ද? ඔබට ලැබෙන පණිවුඩය අපැහැදිලි එකක් නම්, හෝ හැඟීම් මගින් ඔබව සම්පූර්ණයෙන්ම යටත් වනවා යයි ඔබට පෙනේ නම්, විශ්වාසය තැබිය හැකි මේරූ මිතුරෙකු සමඟ කථා කරන්න. (යෝබ් 7:11) ඔබට ඔබේ හැඟීම්වලට තනියෙන් මුහුණ දීමට අවශ්‍ය නැත.—හිතෝපදේශ 12:25 සසඳන්න.
හැඟීම් අනිවාර්යයෙන්ම ඔබගේ සතුරන් නොවන බව මතක තබාගන්න. යෙහෝවඃ දෙවියන්වහන්සේට පවා බලවත් හැඟීම් තිබේ, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවනු ලැබූ මිනිසාද ඒවා අද්දකියි. (උත්පත්ති 1:26; ගීතාවලිය 78:21, 40, 41; 1 යොහන් 4:8) හිරු එළියේ හදිසි බලවත් දීප්තිය මෙන්, මුලදී හැඟීම් මගින් වේදනාව ඇතිවිය හැක. එහෙත් කල්යත්ම ඒවා හිරු එළිය මෙන්, මඟ පෙන්වීමේ මෙන්ම උණුසුම්බවේ උල්පතක්ද වේ.
ගැටලු විසඳීම
උස් ස්ථානවලට බියවන පුද්ගලයෙකුට යම් උසක, දික්කොට දෙකෙළවර තදින් සිටින සේ බඳින ලද කඹයක ඇවිදීම අතිශය බිය උපදවන දෙයක් වෙයි. සුව වීමට ආරම්භ වන ඇබ්බැහි වූ පුද්ගලයෙකුට, ජීවිතය එවන් කඹයක පියවර තැබීමේ බිය උපදවන සිද්ධියක් මෙන් දිස් විය හැක. මත්නොවී සිටීමේ අමතර වගකීම ඉහත සඳහන් පරිදි උස් ස්ථානවලට බියක් බඳු හැඟීමක් ගෙනදිය හැක. අසාර්ථක වේ යයි අපේක්ෂා කරන නිසා ඔබට මෙසේ තර්ක කිරීමට එය හේතුවක් විය හැක: ‘මං කොහොමත් වැටෙනවානේ. දැන්මම වැටුණොත් මොකද?’
එහෙත් මෙම කරුණ මතක තබාගන්න, ගැටලු පෞද්ගලික පහරදීම් නොවේ. ඒවා, ඝෘජුව කටයුතු කළ යුතු තත්ත්වයන් පමණි. එනිසා කලබල වන්නට එපා. වරකට එකක් බැගින් ඔබේ ගැටලුවලට මුහුණ දෙන්න. ඒවා නියම ස්ථානයේ තැබීමට මෙය ඔබට උපකාරයක් වේ.—1 කොරින්ති 10:13.
ආත්ම-වටිනාකම
මත්පැන්වලට ඇබ්බැහිවී, සුව වෙමින් සිටි මැරියන්ට පහත් ආත්ම-වටිනාකමේ හැඟීම් සමඟ කටයුතු කිරීමට අවශ්‍යව තිබුණි. “මා අන් අයට මාව සැබවින්ම හෙළි කළා නම්, [මිනිස්සු] මට එතරම් කැමති නොවනු ඇතැයි අභ්‍යන්තර හැඟීමක් මට හැමවිටම තිබුණා.”
ඇබ්බැහිවීමේ ග්රහණයෙන් මිදීමට නම් පුද්ගලයෙකු වශයෙන් ඔබගේ වටිනාකම—ඇතැම් විට මුල්වරට—ඉගෙන ගැනීම ඉල්ලා සිටියි. ඇබ්බැහිවීම නිසා ඔබගේ ජීවිතය මුළුමනින්ම වියවුල්වී තිබේ නම් මෙය දුෂ්කර කාර්යයකි. උපකාරවත් විය හැක්කේ කුමකටද?
බයිබලය, අධෛර්යයට පත් වූවන්ට සහනය පිරිනමන පොතකි. ඔබට යහපත් ආත්ම-ගරුත්වයක් ගොඩනගා ගැනීමට එයට උපකාරවත් කළ හැකිය. (ගීතාවලිය 94:19) නිදසුනකට, “මහිමය හා ගෞරවය” නමැති ඔටුන්නෙන් මනුෂ්‍යයන් සැරසී සිටින බව ගීතිකාකාර දාවිත් ලීවේය. ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය: “මම ගරුබිය උපදවන ලෙසත් පුදුම ලෙසත් සාදන ලද්දෙමි.” (ගීතාවලිය 8:5; 139:14, NW ) හිතකර ආත්ම-අගය ගැන මොනතරම් ප්‍රසන්න ප්රකාශයන්ද!
ඔබගේ ශරීරය ඉතා අගය කොට සලකන්න, එවිට මෙම ශුද්ධ ලියවිල්ලේ නියම අර්ථයෙන් ඔබ එය රකිනු ඇත: “කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛරකළේ නැත. . . . [එහෙත් ඔහු එය] පෝෂණයකොට රක්ෂාකරගන්නේය.” (එපීස 5:29) එසේය, ඇබ්බැහිවීමකින් සුව වීමේ අභියෝගයට ඔබට සාර්ථකව මුහුණ දීමට හැක.b
කෙසේවෙතත්, ඇබ්බැහිවීමට මීටත් වඩා වැඩි දේ ඇතුළත් විය හැක. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ ආහාර පසුපස ලුහුබැඳීමේදී දක්වන භක්තිය හා අරමුණ ඇතුවම වැඩකටයුතුද ලුහුබැඳිය හැක. දැන් මෙම වැඩකටයුතුවලින් සමහරක් සලකා බලනු ලැබේ. g94 4⁄22
[පාදසටහන්වල]
a ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති අයවලුන්ට ආහාරවලින් වැළකී සිටීමට නොහැකි බව සැබෑවකි. කෙසේවෙතත්, මානසික ස්වභාවය වෙනස් කරන කාරකයක් ලෙස ආහාර ගැනීමෙන් වැළකීමට ඔවුන්ට හැක. පමණට වඩා වැඩියෙන් ආහාර ගැනීම, නිරාහාරව සිටීම, විරේක කිරීම සහ ආහාර ගැන හැම විටම උමතුවෙන් කල්පනා කිරීම යනාදි පුරුදු වෙනුවට සාධාරණ ආහාර වේලක් ගත හැක.
b දිගටම වැළකී සිටීමටත් සුවය ලැබීමේදි වැඩි වර්ධනයක් ලැබීමටත්, ඇතැමෙකු පුනරුත්ථාපන වැඩසටහනක පිහිට පතා ඇත. එවන් වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහල් සහ වෙනත් මූලාශ්‍ර රාශියක් තිබේ. යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හොඳයි කියා පිබිදෙව්! සඟරාව අනුමත කරන්නේ නැත. බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත්වීමට ආශා වන්නෝ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති පාවාදෙන කටයුතුවල සම්බන්ධ වීමෙන් පරෙස්සම් වීමට කැමති වනු ඇත.
[6 පිටුවෙහි හුවා දැක්වීම]
“සුවවීම වැඩි වශයෙන් [යමෙකුගේ] මුළු මහත් සාරධර්ම පද්ධතිය වෙනස් කිරීම හා සම්බන්ධ වේ.”—වෛද්‍ය රොබර්ට් එල්. ඩූපොන්ට්
[7 පිටුවෙහි ඇති පින්තූරය]
මුල් පියවර වනුයේ ඇබ්බැහිවිය හැකි ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීමය
[8 පිටුවෙහි ඇති පින්තූරය]
හැඟීම් නිසා ඔබව සම්පූර්ණයෙන්ම යටපත් වනවා නම්, ඒවා ගැන යමෙකු සමඟ කථා කරන්න