යෙහෝවඃවහන්සේ සපයන සැනසිල්ල සාමූහිකව බෙදාගැනීම
“නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන [සැනසිල්ල සාමූහිකව බෙදාගන්නා, NW] බව අපි දනිමු.”—2 කොරින්ති 1:7.
1, 2. වර්තමානයේ ක්‍රිස්තියානීන් බවට පත් වී සිටින බොහෝදෙනාගේ අද්දැකීම කුමක් වී තිබේද?
අදදින මුරටැඹ කියවන බොහෝදෙනෙකු, දෙවියන්වහන්සේගේ සත්‍යතාව පිළිබඳ දැනුමක් නැතුව වැඩුණු අයය. ඔබ සම්බන්ධයෙනුත් මෙය සැබෑවක් විය හැක. එය සැබෑවක් නම්, ඔබේ අවබෝධය නමැති ඇස් විවෘත වීමට පටන්ගනිද්දී, ඔබට ඇති වූ හැඟීම් සිහියට නඟන්න. උදාහරණයක් හැටියට, මළවුන් දුක් නොවිඳින මුත්, සිහි නැති තත්වයක සිටින බව ඔබට මුලින්ම අවබෝධ වූ විට, සහනයක් ලැබුණේ නැද්ද? එමෙන්ම, බිලියන ගණනක් දෙවියන්වහන්සේගේ නව ලෝකයේ ජීවත්වීම සඳහා නැවත නැඟිටවනු ලබන බවට සඳහන් වන මළවුන්ට තිබෙන බලාපොරොත්තුව ගැන ඉගෙනගත් විට, ඔබට සැනසිල්ලක් ලැබුණේ නැද්ද?—දේශනාකාරයා 9:5, 10; යොහන් 5:28, 29.
2 දුෂ්ටකම අවසන් කොට මේ පොළොව පාරාදීසයක් බවට පරිවර්තනය කිරීමට වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන කුමක් කිව හැකිද? මේ ගැන ඉගෙනගත් විට, එය ඔබට සැනසිල්ලක් වෙමින්, ඔබව උනන්දුමත් අපේක්ෂාවකින් පූර්ණ කළේ නැද්ද? කිසිදාක මිය නොගොස්, මතු පැමිණෙන එම භූමික පාරාදීසය තුළට පිවිසීමේ ප්‍රස්තාව ගැන මුල් වරට ඉගෙනගත් විට, ඔබට හැඟුණේ කෙසේද? ඔබ ප්‍රීතියෙන් ඉපිල ගිය බවට කිසිම සැකයක් නැත. ඔව්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් දැන් ලොව පුරාම දේශනා කරනු ලබන දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන පණිවිඩය පිළිගත්තෙකු බවට ඔබ පත්ව තිබිණ.—ගීතාවලිය 37:9-11, 29; යොහන් 11:26; එළිදරව් 21:3-5.
3. අන්‍යයන් සමඟ දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන පණිවිඩය බෙදාගන්නා අයත් පීඩා විඳින්නේ මන්ද?
3 කෙසේවෙතත්, ඔබ බයිබලයේ පණිවිඩය අන්‍යයන් සමඟ බෙදාගැනීමට වෑයම් කළ විට, ‘සියල්ලන්ටම ඇදහීම නැති’ බවත් ඔබ තේරුම්ගත්තෙහිය. (2 තෙසලෝනික 3:2) ඇතැම්විට, බයිබලයේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කිරීමේ හේතුවෙන්, කලින් සිටි ඔබේ මිතුරන් කිහිපදෙනෙකු ඔබව සමච්චලයට භාජන කළා විය හැක. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය දිගටම අධ්‍යයනය කිරීම හේතුවෙන් ඔබ පීඩාවලට පවා ලක් වන්ට ඇත. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඔබේ ජීවිතය හැඩගැස්වීම සඳහා ඔබ යම් වෙනස්කම් කරන්ට පටන්ගනිද්දී, එම විරුද්ධවාදිකම් තවත් උත්සන්න වන්ට ඇත. දෙවියන්වහන්සේගේ සැනසිල්ල පිළිගන්නා සියල්ලන් කෙරෙහි සාතන් හා ඔහුගේ ලෝකය ගෙනෙන්නාවූ පීඩා අද්දැකීමට ඔබට සිදු විය.
4. අලුතෙන් උනන්දුව දක්වන අය පීඩාවලට ප්‍රතික්‍රියා කරන විවිධ ක්‍රම නම් කරන්න.
4 යේසුස්වහන්සේ පුරෝකථනය කළ පරිදි, පැකිළීමට පත්ව ක්‍රිස්තියානි සභාව සමඟ ආශ්‍රය නතර කිරීමට ඇතැම් අයට පීඩා හේතුවක් වීම කනගාටුවට කරුණකි. (මතෙව් 13:5, 6, 20, 21) තමන් ඉගෙනගන්නාවූ සැනසිල්ල ගෙන දෙන පොරොන්දුවලට සිත යොමු කිරීමෙන්, වෙනත් අය පීඩා විඳදරාගනිති. යථාකාලයේදී, ඔවුහු තම ජීවිත යෙහෝවඃවහන්සේට කැප කොට, උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් බව්තීස්ම වෙති. (මතෙව් 28:19, 20; මාර්ක් 8:34) ක්‍රිස්තියානියෙකු බව්තීස්ම වූවායින් පසුවත් පීඩා නතර නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් හැටියට, කලින් දුරාචාරයේ නියැලුණු කෙනෙකුට, පවිත්‍රතාව රැකීම දුෂ්කර සටනක් විය හැක. නොඇදහිලිකාර පවුල් සාමාජිකයන්ගෙන් එල්ල වන නිරන්තර විරුද්ධවාදිකම් සමඟ පොරබැදීමට වෙනත් අයට සිදු වේ. පීඩා කුමන ස්වරූපයක් ගත්තත්, දෙවියන්වහන්සේට කැප වී විශ්වාසවන්ත ජීවිතයක් ගත කිරීමට වෙර දරන සියල්ලන්ටම එක දෙයක් ගැන සහතික විය හැක. එනම්, ඉතා පෞද්ගලික ආකාරයකින්, ඔවුන් දෙවියන්වහන්සේගේ සැනසිල්ල හා උපකාරය අද්දකිනු ඇත.
“සෑම සැනසිල්ලේ දෙවි”
5. පාවුල් විඳි පීඩා බොහොමයට අමතරව, ඔහු අද්දුටුවේ කුමක්ද?
5 දෙවියන්වහන්සේ සපයන සැනසිල්ල බෙහෙවින් අගය කළ කෙනෙකි, ප්‍රේරිත පාවුල්. ආසියාවෙහි හා මකිදෝනියෙහි ඉතා පීඩාකාරි කාලයක් ගත කිරීමෙන් පසුව, හික්මවීමකින් යුත් ඔහුගේ ලිපියට කොරින්ති සභාව හොඳ ප්‍රතිචාරයක් දැක්වූ බව දැනගැනීමෙන් ඔහු මහත් සහනයක් අද්දුටුවේය. මේ හේතුවෙන් දෙවන ලිපියක් ඔවුන් වෙත යැවීමට ඔහු පෙලඹුණේය; එහි මතු දැක්වෙන ප්‍රශංසා ප්‍රකාශය අන්තර්ගතය: “දයාබර කරුණාවල පියවූද [අපේ සියලු පීඩාවලදී අප සනසන] සෑම සැනසිල්ලේ දෙවිවූද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා.”—2 කොරින්ති 1:3, 4.
6. දෙවන කොරින්ති 1:3, 4හි තිබෙන පාවුල්ගේ වදන්වලින් අප ඉගෙනගන්නේ කුමක්ද?
6 දේවානුභාවයෙන් යුත් මෙම වදන්වල ඉමහත් අරුතක් ගැබ්ව තිබේ. අපි ඒවා විග්රහ කර බලමු. පාවුල් දෙවියන්වහන්සේට ප්‍රශංසා හෝ ස්තුති කරද්දී, එසේ නැතහොත් තම ලිපිවල උන්වහන්සේගෙන් යම් ඉල්ලීමක් කරන විට, ඔහු ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස්වහන්සේ සඳහා ගැඹුරු අගයක් ප්‍රකාශ කරන බව අපට බොහෝදුරට පෙනීයයි. (රෝම 1:8; 7:25; එපීස 1:3අ, 4ආ; හෙබ්‍රෙව් 13:20, 21) එබැවින්, පාවුල් මෙම ප්‍රශංසා ප්‍රකාශය, “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට” යොමු කරයි. ඊළඟට, තම ලියවිලිවල පළමු වතාවට, ඔහු “දයාබර කරුණා” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් නාමපදයක් පාවිච්චි කරයි. මෙම නාමපදය, වෙන කෙනෙකුගේ දුකකදී දක්වන ශෝකය සඳහා පාවිච්චි කරන වචනයකින් පැමිණේ. මෙසේ, පාවුල් දෙවියන්වහන්සේගේ පීඩා විඳින ඕනෑම විශ්වාසවන්ත සේවකයෙකු කෙරෙහි උන්වහන්සේට තිබෙන මුදු මොළොක් හැඟීම් විස්තර කරයි; මෙම මුදු මොළොක් හැඟීම් නිසා, දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් දයාන්විතව ක්‍රියා කිරීමට පෙලඹෙනසේක. අවසානයේදී, යෙහෝවඃවහන්සේව ‘දයාබර කරුණාවල පියා’ වශයෙන් ඇමතීමෙන්, මෙම සිත්ගන්නා ගුණාංගයේ උල්පත උන්වහන්සේ බව පාවුල් අවධාරණය කළේය.
7. යෙහෝවඃවහන්සේ “සෑම සැනසිල්ලේ දෙවි” බව පැවසිය හැක්කේ මන්ද?
7 දෙවියන්වහන්සේගේ “දයාබර කරුණාවල” ප්‍රතිඵලයක් වශයෙන්, පීඩා විඳින තැනැත්තාට සහනයක් ලැබේ. එබැවින්, යෙහෝවඃවහන්සේව “සෑම සැනසිල්ලේ දෙවි” වශයෙන් පාවුල් විස්තර කරයි. මෙසේ, සෙසු ඇදහිලිවන්තයන්ගේ කරුණාවෙන් අප මොනයම් සැනසිල්ලක් අද්දුටුවත්, එහි උල්පත වශයෙන් අපට යෙහෝවඃවහන්සේ දෙස බැලිය හැක. දෙවියන්වහන්සේගෙන් මිසක වෙන කිසිවකින් සැබෑ, කල්පවතින සැනසිල්ලක් නික්මෙන්නේ නැත. එපමණක්ද නොව, අපව සනසන්නන් බවට පත්වීමට සලස්වමින්, තම ස්වරූපයෙන් මනුෂ්‍යයාව මැව්වේ උන්වහන්සේය. ඇරත්, සැනසිල්ල අවශ්‍ය අයට දයාබර කරුණාව දැක්වීමට තම සේවකයන්ව පොලඹවන්නෙත් දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයයි.
සනසන්නන් බවට පත්වීමට පුහුණුව ලැබ
8. අපේ පරීක්ෂා පිටුපස දෙවියන්වහන්සේ නොසිටින මුත්, පීඩා විඳදරාගැනීම අපට කුමන ප්‍රයෝජනදායක බලපෑමක් විය හැකිද?
8 යෙහෝවඃ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයන් වෙත විවිධ පරීක්ෂා එල්ල වීමට උන්වහන්සේ ඉඩ දුන්නත්, උන්වහන්සේ කිසිවිටකත් එවැනි පරීක්ෂාවල මුල නොවනසේක. (යාකොබ් 1:13) කෙසේවෙතත්, අප පීඩා විඳදරාගන්නා විට, උන්වහන්සේ සපයන සැනසිල්ල, අන්‍යයන්ගේ අවශ්‍යතාවලට වඩාත් සංවේදී වීමට අපට පුහුණුවක් විය හැක. කුමන ප්‍රතිඵලය ඇතුවද? “අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන්වන පිණිස[ය].” (2 කොරින්ති 1:4) මෙසේ අප ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරමින්, ‘වැලපෙන සියල්ලන් සනසන’ අතරතුර, යෙහෝවඃවහන්සේගේ සැනසිල්ල සෙසු ඇදහිලිවන්තයන්ට හා අපේ සේවයේදී හමු වන අයට බලපෑමෙන් යුක්ත ආකාරයකින් බෙදාදෙන්නන් වීමට යෙහෝවඃවහන්සේ අපට උගන්වනසේක.—යෙසායා 61:2; මතෙව් 5:4.
9. (අ) දුක් වේදනා විඳදරාගැනීමට අපට කුමක් උපකාර කරනු ඇද්ද? (ආ) අප විශ්වාසවන්තව පීඩා විඳදරාගන්නා විට, අන්‍යයන්ට සැනසිල්ලක් ලැබෙන්නේ කෙසේද?
9 ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගෙන් පාවුල් ලැබූ ඉමහත් සැනසිල්ල හේතුවෙන්, ඔහුට තමාගේ දුක් වේදනා රාශිය විඳදරාගැනීමට හැකි විය. (2 කොරින්ති 1:5) දෙවියන්වහන්සේගේ අනර්ඝ පොරොන්දු ගැන මෙනෙහි කිරීමෙන්, උන්වහන්සේගේ ශුද්ධාත්මයේ අනුබලය සඳහා යාච්ඤා කිරීමෙන් හා අපේ යාච්ඤාවලට දෙවියන්වහන්සේගේ පිළිතුරු අද්දැකීමෙන් අපටත් ඉමහත් සැනසිල්ලක් අද්දැකිය හැක. දිගටම යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට පක්ෂව කතා කිරීමටත්, යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කිරීමටත් අපව මෙසේ ශක්තිමත් කරනු ලැබේ. (යෝබ් 2:4; හිතෝපදේශ 27:11) අප යම් පීඩාවක් විශ්වාසවන්තව විඳදරාගත් විට, පාවුල් කළාක් මෙන්, පරීක්ෂා යටතේ විශ්වාසවන්තව සිටීමට ක්‍රිස්තියානීන්ට ඉවහල් වන සැනසිල්ල ලබා දෙන යෙහෝවඃවහන්සේට අප සම්පූර්ණ ප්‍රශංසාව දිය යුතුය. විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ගේ විඳදරාගැනීම සහෝදරත්වය කෙරෙහි සැනසිලිදායක බලපෑමක් ඇති කරවන අතර, ‘ඒ හා සමාන දුක් විඳදරාගැනීමට’ එය අන්‍යයන් තුළ අධිෂ්ඨානයක් ඇති කරවන්නේය.—2 කොරින්ති 1:6.
10, 11. (අ) පුරාණ කොරින්තියේ සභාවට දුක් ගෙන දුන් සමහරක් දේවල් මොනවාද? (ආ) පාවුල් කොරින්ති සභාවට සැනසිල්ල ගෙන දුන්නේ කෙසේද, එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ කුමන බලාපොරොත්තුවද?
10 සෑම සැබෑ ක්‍රිස්තියානියෙකු පිට පැමිණෙන දුක් වේදනාවලට කොරින්තිවරුද පංගුකාරයෝ වූහ. ඊට අමතරව, පසුතැවිලි නොවූ වේශ්‍යාකම් කරන්නෙකුව සභා ආශ්රයෙන් කපාහැරීම සඳහා ඔවුන්ට උපදෙස් අවශ්‍ය විය. (1 කොරින්ති 5:1, 2, 11, 13) මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හා දබර මෙන්ම භේද නතර කරදැමීමට අපොහොසත් වීම, සභාව පිට අවනම්බුවක් පමුණුවා තිබිණ. එහෙත් ඔවුහු අවසානයේදී පාවුල්ගේ උපදෙස් අදාළ කරගෙන, සැබෑ පසුතැවිල්ලක් විදහාපෙන්වූහ. එබැවින්, ඔවුන්ට උණුසුම් ලෙස ප්‍රශංසා කළ ඔහු, ඔහුගේ ලිපියට ඔවුන් දැක්වූ කදිම ප්‍රතිචාරය ඔහුට සැනසිල්ලක් ගෙන දුන් බව ප්‍රකාශ කළේය. (2 කොරින්ති 7:8, 10, 11, 13) පෙනෙන ප්‍රකාරයට, සභා ආශ්රයෙන් කපාහරිනු ලැබූ තැනැත්තාද පසුතැවිලි වී තිබිණ. එබැවින් ‘එබඳු තැනැත්තෙකු යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස, ඔහුට කමා වෙන්ටද ඔහු සනසන්ටද’ පාවුල් ඔවුන්ට උපදෙස් දුන්නේය.—2 කොරින්ති 2:7.
11 පාවුල්ගේ දෙවන ලිපියෙන් කොරින්ති සභාව සහතිකවම සැනසිල්ලක් ලබන්ට ඇත. මෙය ඔහුගේ එක් චේතනාවක් විය. ඔහු මෙසේ පැහැදිලි කළේය: “නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිරව පවත්නේය; මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන [සැනසිල්ල සාමූහිකව බෙදාගන්නා, NW] බව අපි දනිමු.” (2 කොරින්ති 1:7) තම ලිපියෙහි අවසානයේදී පාවුල් මෙසේ උනන්දු කළේය: “සැනසී සිටින්න; . . . එකල ප්‍රේමයේ හා සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමග වනසේක.”—2 කොරින්ති 13:11.
12. සෑම ක්‍රිස්තියානියෙකුටම තිබෙන අවශ්‍යතාව කුමක්ද?
12 අපට මෙයින් මොනතරම් වැදගත් පාඩමක් ඉගෙනගත හැකිද! දෙවියන්වහන්සේ තම වචනය, ශුද්ධාත්මය හා භූමික සංවිධානය තුළින් සපයන “සැනසිල්ල” ක්‍රිස්තියානි සභාවේ සියලුම සාමාජිකයන් ‘සාමූහිකව බෙදාගත’ යුතුය. සභා ආශ්රයෙන් කපාහරිනු ලැබූවන් පසුතැවිලි වී තම වැරදිසහගත ක්‍රියාමාර්ගය නිවැරදි කොට ඇත්නම්, ඔවුන්ට පවා සැනසිල්ල අවශ්‍ය විය හැක. එබැවින්, ඔවුන්ට උපකාර කිරීම සඳහා, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” දයාන්විත වැඩ පිළිවෙළක් දියත් කොට ඇත. අවුරුද්දකට වතාවක් වැඩිමහල්ලන් දෙදෙනෙකුට සභා ආශ්රයෙන් කපාහරිනු ලැබූ ඇතැම් අයව බැහැදැකීමට යා හැක. ඔවුන් තවදුරටත් කැරලිකාර ආකල්පයක් නොපෙන්වමින්, බරපතළ පාපවල නිරත නොවන තත්වයක සිටිනවා විය හැකි අතර, සභාවෙහි යළි පිහිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට උපකාර ඔවුන්ට අවශ්‍ය වනවා විය හැක.—මතෙව් 24:45; එසකියෙල් 34:16.
ආසියාවේදී පාවුල්ට තිබූ පීඩා
13, 14. (අ) පාවුල් ආසියාවේ අද්දුටු දැඩි පීඩා පැවති සමයක් විස්තර කළේ කෙසේද? (ආ) ඇතැම්විට පාවුල්ගේ මනසේ තිබුණේ කුමන සිද්ධියද?
13 ඒ අවස්ථාව දක්වා කොරින්ති සභාව අද්දැක තිබූ දුක් වේදනා, පාවුල්ට විඳදරාගැනීමට සිදු වූ පීඩා රාශිය සමඟ සැසඳිය නොහැකිය. එබැවින්, ඔවුන්ට මෙලෙස සිහිකිරීමට ඔහුට පුළුවන් විය: “සහෝදරයෙනි, ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට, උසුලන්ට බැරි පමණ, අප පිටට බර පැමුණුණ බවය. එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය. උන්වහන්සේ මෙබඳු මහත් මරණයකින් අප ගැළෙවුසේක, මතුත් ගළවනසේක. උන්වහන්සේ තව දුරටත් අප ගළවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ.”—2 කොරින්ති 1:8-10.
14 පාවුල් එපීසයේ සිදු වූ කෝලහලය ගැන සඳහන් කරමින් සිටි බව ඇතැම් බයිබල් විශාරදයෝ විශ්වාස කරති; ඇතැම්විට, පාවුල්ගේ ජීවිතය මෙන්ම ඔහු සමඟ සංචාරයට හවුල් වූ මකිදෝනිය ජාතික ගායස් හා අරිස්තාර්කස්ගේ ජීවිත, හානියට ලක් වන්ට තිබූ අවස්ථාවකි එය. මෙම ක්‍රිස්තියානීන් දෙදෙනාව කලහකාරි පිරිසකගෙන් පිරී සිටි නෘත්‍ය ශාලාවකට බලෙන් ගෙන යනු ලැබූ අතර, එම පිරිස, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීය කියා දෙපැයක් පමණ” මොරගැසීය. අවසානයේදී, එම පිරිස නිශ්ශබ්ද කිරීමට නුවරේ නිලධාරියෙක් සමත් විය. ගායස් හා අරිස්තාර්කස්ගේ ජීවිතවලට මෙවැනි තර්ජනයක් එල්ල වීම, පාවුල්ව මහත් කනස්සල්ලට පත් කරන්ට ඇත. ඇත්තෙන්ම, එම උන්මත්තක පිරිසට කාරණා පැහැදිලි කිරීමට ඔහුට වුවමනා වූ නමුත්, තම ජීවිතය එලෙස පරදුවට තැබීමෙන් ඔහුව වළක්වන ලදි.—ක්‍රියා 19:26-41.
15. පළමුවන කොරින්ති 15:32හි ඇතැම්විට විස්තර කරනවා විය හැක්කේ කුමන බරපතළ අවස්ථාවද?
15 කෙසේවෙතත්, යට කී සිද්ධියට වඩා බෙහෙවින් භයානක වූ තත්වයක් පාවුල් විස්තර කරමින් සිටියා විය හැක. කොරින්තිවරුන්ට ලියූ පළමු ලිපියේ, පාවුල් මෙසේ ඇසුවේය: “මම එපීසයේදී මනුෂ්‍යාකාරයෙන් මෘගයින් සමඟ පොරබැදීම් නම්, මට ඇති ප්‍රයෝජනය කුමක්ද?” (1 කොරින්ති 15:32) මෘගාකාර මිනිසුන්ගෙන් පමණක් නොව, නමුත් එපීසයේ ක්‍රීඩාංගණයේ සැබෑ වනමෘගයන් අතින්ද පාවුල්ගේ ජීවිතය තර්ජනයට ලක් වූ බව මින් අදහස් විය හැක. ලේ පිපාසිත සමූහයන් නරඹන අතරතුර, අපරාධකාරයන්ට වනමෘගයන් සමඟ සටන් කිරීමට බල කිරීමෙන් සමහර අවස්ථාවලදී ඔවුන්ට දඬුවම් කරන ලදි. තමාට සැබෑ වනමෘගයන් සමඟ සටන් කරන්ට සිදු වූ බව පාවුල් අදහස් කළා නම්, දානියෙල් සිංහයන්ගේ මුවෙන් ගළවනු ලැබුවාක් මෙන්, අන්තිම මොහොතේදී, ඔහුවද කෲර මරණයකින් ආශ්චර්යවත් ලෙස ගළවනු ලැබුවා විය යුතුය.—දානියෙල් 6:22.
නවීන-දින ආදර්ශ
16. (අ) පාවුල් වින්ද පීඩා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙකුට අදාළ විය හැක්කේ මන්ද? (ආ) තම ඇදහිල්ල නිසා මියගිය අය ගැන අපට නිසැක විය හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද? (ඇ) ක්‍රිස්තියානීන් නොමැරී අනූනවයෙන් බේරුණාවූ තත්වයන්වලින් ඇති වී තිබෙන යහපත් බලපෑම කුමක්ද?
16 වර්තමානයේ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුට පාවුල් අද්දුටු පීඩා තේරුම්ගත හැක. (2 කොරින්ති 11:23-27) අදදිනත්, ක්‍රිස්තියානීන් ‘උසුලන්ට බැරි තරම් පීඩනවලට’ යටත් වී ඇති අතර, ‘තම ජීවිත ගැන පවා බලාපොරොත්තුවක් තැබිය නොහැකි’ තත්වයන්ට බොහෝදෙනෙකු මුහුණ දී ඇත. (2 කොරින්ති 1:8) සමූහයන්ව ඝාතනය කරන අය හා කෲර පීඩාකාරයන්ගේ අතින් සමහරුන් මියගොස් ඇත. දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන බලය විඳදරාගැනීමට උපකාරවත් වූ බවත්, ස්වර්ගික හෝ වේවා, භූමික හෝ වේවා, තම බලාපොරොත්තුවේ ඉටුවීම හෘදයෙහි හා මනසෙහි ස්ථිරව රඳවාගෙන ඔවුන් මියගිය බවත් අපට සහතික විය හැක. (1 කොරින්ති 10:13; පිලිප්පි 4:13; එළිදරව් 2:10) වෙනත් අවස්ථාවලදී, යෙහෝවඃවහන්සේ කාරණාවලට මැදිහත් වී ඇති අතර, අපේ සහෝදරයන්ව මරණයෙන් ගැළවී තිබේ. මෙලෙස ගැළවී ඇති අය “මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි” වැඩි විශ්වාසයක් වර්ධනය කරගෙන ඇති බවට කිසිම සැකයක් නැත. (2 කොරින්ති 1:9) ඉන් අනතුරුව, දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන පණිවිඩය අන්‍යයන් සමඟ බෙදාගනිද්දී, වඩා වැඩි විශ්වාසයකින් කතා කරන්ට ඔවුන්ට හැකි විය.—මතෙව් 24:14.
17-19. රුවන්ඩාවේ සිටින අපේ සහෝදරයන් දෙවියන්වහන්සේගේ සැනසිල්ල සාමූහිකව බෙදාගෙන ඇති බව කුමන අද්දැකීම්වලින් පෙන්නුම් කරනු ලැබේද?
17 මෑතකදී, රුවන්ඩාවේ සිටින අපේ හිතවත් සහෝදරයෝ පාවුල් හා ඔහුගේ ආශ්‍රිතයන්ගේ අද්දැකීමට සමාන එකක් අද්දුටුවෝය. බොහෝදෙනෙකුගේ ජීවිත අහිමි වුවද, ඔවුන්ගේ ඇදහිල්ල විනාශ කිරීමට වූ සාතන්ගේ වෑයම් අසාර්ථක විය. ඒ වෙනුවට, මෙම රටෙහි සිටින අපේ සහෝදරයන් දෙවියන්වහන්සේගේ සැනසිල්ල පෞද්ගලික ක්‍රම රාශියකින් අද්දැක ඇත. රුවන්ඩාවේ වෙසෙන ටුට්සි හා හුටු ගෝත්රිකයන්ව සමූහ වශයෙන් ඝාතනය කරද්දී, ටුට්සි ගෝත්රිකයන්ව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය පරදුවට තැබූ හුටු ගෝත්‍රිකයෝද, හුටු ගෝත්රිකයන්ව ආරක්ෂා කළ ටුට්සි ගෝත්‍රිකයෝද සිටියහ. තම සෙසු ඇදහිලිවන්තයන් ආරක්ෂා කළ නිසා අන්තවාදීන් විසින් ඇතමෙකුව ඝාතනය කරන ලදි. උදාහරණයක් වශයෙන්, ෂන්ටාල් නමැති ටුට්සි ගෝත්‍රික සාක්ෂිකාරියක සඟවා ගත් නිසා, හුටු ගෝත්‍රික සාක්ෂිකරුවෙකු වූ ගාහීසිව ඝාතනය කරන ලදි. ෂන්ටාල්ගේ ටුට්සි ගෝත්‍රික පුරුෂයා වන ජාන්, ෂාර්ලොට් නමැති හුටු ගෝත්‍රික සහෝදරිය විසින් වෙනත් තැනක සඟවන ලදි. දින 40ක් පුරා, ජාන්ද වෙනත් ටුට්සි ගෝත්‍රික සහෝදරයෙකුද, විශාල චිමිනියක සැඟවී සිටි අතර, ඔවුන් පිටතට ආවේ රාත්‍රි කාලයේදී ඉතා සුළු කාලයකට පමණි. ෂාර්ලොට් හුටු හමුදා කඳවුරක් ළඟ ජීවත් වුවත්, මේ මුළු කාලය පුරාම ඈ ඔවුන්ට ආහාර පාන හා ආරක්ෂාව සැපයුවාය. මෙම පිටුවෙහි, නැවත එකතු වූ ජාන් හා ෂන්ටාල්ගේ පින්තූරයක් ඔබට දැකගත හැකිය; ප්‍රිස්කා හා අකිලා ප්‍රේරිත පාවුල්ට කළාක් මෙන්, ඔවුන් වෙනුවෙන් “තමුන්ගේ බෙල්ල දුන්” තම සෙසු හුටු ගෝත්‍රික නමස්කාරකයන්ට ඔවුහු කෘතඥපූර්වක වෙති.—රෝම 16:3, 4.
18 සෙසු ටුට්සි ගෝත්‍රික ඇදහිලිවන්තයන් ආරක්ෂා කරගැනීම නිසා, රුආකාබූබූ නමැති තවත් හුටු ගෝත්‍රික සාක්ෂිකරුවෙකුව, ඉන්ටාරමාරා යන පුවත්පතෙහි පැසසුමට ලක් විය.a එහි මෙසේ ප්‍රකාශ විය: “තම සහෝදරයන් අතර (සෙසු ඇදහිලිවන්තයන්, එකිනෙකාට අමතන්නේ මෙසේය;), ජනයාව සැඟවූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වන රුආකාබූබූ නමැත්තා ගැනද සඳහන් කළ යුතුයි. ඔහුට ඇදුම රෝගය තිබුණත්, ඔහු මුළු දවසම ගෙව්වේ, ඔවුන්ට ආහාර හා පානය කිරීමට ජලය ගෙන ඒමෙනි. එහෙත් දෙවියන්වහන්සේ ඔහුට පුදුමාකාර ශක්තියක් දුන්සේක.”
19 නීකොඩැම් සහ අටනාසි නමැති උනන්දුවක් දැක්වූ හුටු ගෝත්‍රික යුවළගේ අද්දැකීමත් සලකා බලන්න. ඝාතන සිදුවීමට කලින්, මෙම විවාහක යුවළ, අල්ෆෝන්ස් නමැති ටුට්සි ගෝත්‍රික සාක්ෂිකරුවෙකු සමඟ බයිබලය පාඩම් කරමින් සිට තිබිණ. ඔවුන්ගේ ජීවිත පරදුවට තබමින්, ඔවුහු අල්ෆෝන්ස්ව තම නිවසෙහි සඟවා තැබුවෝය. ඔවුන්ගේ හුටු ගෝත්‍රික අසල්වාසීන් තම ටුට්සි ගෝත්‍රික මිත්‍රයා ගැන දැනසිටි නිසා, එම නිවස ආරක්ෂා සහිත ස්ථානයක් නොවූ බව ඔවුන්ට පසුව අවබෝධ විය. එබැවින්, නීකොඩැම් සහ අටනාසි තම වත්තෙහි වළක අල්ෆෝන්ස්ව සඟවා තැබුවෝය. අසල්වාසීන් හැම දිනකම පාහේ අල්ෆෝන්ස්ව සොයමින් පැමිණි නිසා, මෙය හොඳ වෙනස් කිරීමක් විය. මෙම වළෙහි දවස් 28ක් පුරා සැඟවී සිටිද්දී, යෙරිකෝවේ පිහිටි තම නිවසේ වහලේ ඉශ්‍රායෙලිතයන් දෙදෙනෙකු සඟවා තැබූ රාහාබ්ගේ කතාව වැනි බයිබල් වාර්තා ගැන අල්ෆෝන්ස් මෙනෙහි කළේය. (යෝෂුවා 6:17) අදදින, ඔහු වෙනුවෙන් තම ජීවිත පරදුවට තැබූ තම හුටු බයිබල් ශිෂ්‍යයන්ගේ උත්සාහය අගය කරමින්, අල්ෆෝන්ස් රුවන්ඩාවෙහි ශුභාරංචිය දේශනාකරන්නෙකු ලෙස තම සේවය දිගටම කරගෙන යයි. එමෙන්ම, නීකොඩැම් සහ අටනාසි ගැන කුමක් කිව හැකිද? දැන් යෙහෝවඃවහන්සේගේ කැප වූ සාක්ෂිකරුවන් ලෙස සේවය කරන ඔවුහු, උනන්දුවක් ඇති අය සමඟ බයිබල් පාඩම් 20කටත් වඩා පවත්වති.
20. යෙහෝවඃවහන්සේ රුවන්ඩාවේ සිටින අපේ සහෝදරයන්ට සැනසිල්ල දී තිබෙන්නේ කවර ආකාරවලින්ද, නමුත් ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තිබෙන නිරන්තර අවශ්‍යතාව කුමක්ද?
20 රුවන්ඩාවේ ඝාතන ආරම්භ වූ අවස්ථාවේ, එම රටෙහි ශුභාරංචිය ප්‍රකාශ කළ අය 2,500දෙනෙක් සිටියහ. සිය ගණනක් ජීවිතක්ෂයට පත්වුවත්, සියගණනකට රටින් පලායෑමට සිදු වුණත්, සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 3,000 දක්වා වැඩි වී ඇත. දෙවියන්වහන්සේ ඇත්තටම අපේ සහෝදරයන්ව සැනසූ බවට සාක්ෂියකි, එය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර සිටින අනාථ දරුවන් හා වැන්දඹු ස්ත්‍රීන් ගැන කුමක් කිව හැකිද? මෙම අය තවමත් පීඩා විඳින බවත්, දිගටම සැනසිල්ල අවශ්‍ය බවත් අමුතුවෙන් කිව යුතු නොවේ. (යාකොබ් 1:27) ඔවුන්ගේ කඳුළු සම්පූර්ණයෙන්ම පිසදමනු ලබන්නේ, දෙවියන්වහන්සේගේ නව ලොවෙහි නැවත නැඟිටීම සිදු වන විටදී පමණි. කෙසේවෙතත්, ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ට උපකාර කරන නිසාත්, ඔවුන් “සෑම සැනසිල්ලේ දෙවි[ගේ]” නමස්කාරකයන් වන නිසාත්, මෙයට උර දීමට ඔවුන්ට පුළුවන.
21. (අ) දෙවියන්වහන්සේගේ සැනසිල්ල සඳහා අපේ සහෝදරයන්ට දැඩි අවශ්‍යතාවක් තිබෙන්නේ වෙනත් කොතැන්හිද, එමෙන්ම අප සියල්ලන්ටම උපකාරවත් විය හැකි එක මාර්ගයක් නම් කරන්න. (“සිව් වසරක යුද්ධය පැවති කාලයේදී සැනසිල්ල” යන කොටුව බලන්න) (ආ) සැනසිල්ල සඳහා අපේ අවශ්‍යතාව සම්පූර්ණයෙන් තෘප්තිමත් කරනු ලබන්නේ කවදාද?
21 ඉරෙට්රියාව, සිංගප්පූරුව සහ කලින් යුගොස්ලාවියාව වූ ප්‍රදේශය වැනි වෙනත් බොහෝ තැන්වල, පීඩා මධ්‍යයෙහි අපේ සහෝදරයෝ යෙහෝවඃවහන්සේට දිගටම විශ්වාසවන්තව සේවය කරති. ඔවුන්ට සැනසිල්ල ලබා දෙන මෙන්, නිරතුරුවම ආයාචනා කරමින්, මෙම සහෝදරයන්ට අපි උපකාර කරමු. (2 කොරින්ති 1:11) එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ සම්පූර්ණ අර්ථයකින් “[අපේ] ඇස්වලින් සියලු කඳුළු පිසදමන” කාලය පැමිණෙන තාක් කල්, අපිද විශ්වාසවන්තව විඳදරා සිටිමු. එවිට, යෙහෝවඃවහන්සේ තම ධර්මිෂ්ඨකමේ නව ලොවෙහි සපයනු ඇති සැනසිල්ල පූර්ණ ආකාරයකින් අද්දැකීමට අපට පුළුවන් වනවා ඇත.—එළිදරව් 7:17; 21:4; 2 පේතෘස් 3:13.
[පාදසටහන]
a රුආකාබූබූගේ දුව වන ඩෙබෝරාගේ අද්දැකීම, 1995 ජනවාරි 1 මුරටැඹහි 26වන පිටුවේ විස්තර කොට තිබිණ; ඇය කළ යාච්ඤාව හුටු සෙබළුන් පිරිසකගේ සිතට කෙතරම් කාවැදුණාද කිවහොත්, ඔවුහු ඇගේ පවුල ඝාතනය නොකොට යන්ට හැරියෝය.
ඔබ දන්නවාද?
◻ යෙහෝවඃවහන්සේව “සෑම සැනසිල්ලේ දෙවි” කියා අමතන්නේ මන්ද?
◻ අප පීඩා සැලකිය යුත්තේ කෙසේද?
◻ අපට සැනසිල්ල බෙදාගත හැක්කේ කා සමඟද?
◻ සැනසිල්ල සඳහා අපට තිබෙන අවශ්‍යතාව මුළුමනින්ම තෘප්තිමත් කරනු ලබන්නේ කෙසේද?
[17වන පිටුවේ පින්තූරය]
ටුට්සි ගෝත්‍රික සාක්ෂිකරුවන් වුවද, රුවන්ඩාවේ ඝාතන සමයේදී ජාන් සහ ෂන්ටාල්ව, හුටු ගෝත්‍රික සාක්ෂිකරුවන් විසින් වෙන වෙන ස්ථානවල සඟවනු ලැබීය
[17වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ රුවන්ඩාවේ වෙසෙන තම අසල්වාසීන් සමඟ දෙවියන්වහන්සේගේ සැනසිල්ල ගෙන දෙන පණිවිඩය දිගටම බෙදාගනිති