‘සතුටු සිතින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය’
යෙහෝවා පරිත්‍යාගශීලිත්වයේ පුද්ගලාරෝපණයයි. ඇත්තෙන්ම, ඔහු “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” දෙන තැනැත්තා බව බයිබලය ප්‍රකාශ කරනවා. (යාකොබ් 1:17) උදාහරණයක් වශයෙන්, දෙවි මැවූ දේවල් සලකා බලන්න. ඔහු, නීරස නොව නමුත් ප්‍රණීත ආහාර, අවලස්සන නොව නමුත් වර්ණවත් මල් මෙන්ම අදීප්තිමත් නොව නමුත් මනබඳින හිරු බැස යෑම් ඇති කළා. ඔව්, යෙහෝවාගේ මැවිල්ලේ සෑම අංගයක්ම ඔහුගේ ප්‍රේමය හා පරිත්‍යාගශීලිත්වය සම්බන්ධයෙන් සාක්ෂි සපයනවා. (ගීතාවලිය 19:1, 2; 139:14) එපමණක් නොව, යෙහෝවා සතුටු සිතින් දෙන තැනැත්තෙක්. තමාගේ සේවකයන් වෙනුවෙන් යහපත කිරීමේදී ඔහු ප්‍රීති වෙනවා.—ගීතාවලිය 84:11; 149:4.
එකිනෙකා සමඟ කටයුතු කරද්දී දෙවිගේ පරිත්‍යාගශීලිත්වය විදහාපෑමට ඉශ්රායෙල්වරුන්ට අණ කර තිබුණා. “ඔබේ හෘදය දැඩි කරගන්නවත්, ඔබේ දිළිඳු සහෝදරයා වෙතින් ඔබේ අත වළක්වාගන්නවත් එපා” කියා මෝසෙස් ඔවුන්ට පැවසුවා. “ඔබ ඔහුට දෙන්ටම ඕනෑය; ඔබ ඔහුට දෙන විට ඔබේ හෘදයේ ලෝභකමක් නොතිබිය යුතුයි.” (ද්විතීය කථාව 15:7, 10, NW) දීම හටගත යුත්තේ හෘදයෙන් නිසා, පරිත්‍යාගශීලිත්වයේ ක්‍රියාවලදී ඉශ්රායෙල්වරුන් ප්‍රීතිය ලැබිය යුතුව තිබුණා.
ක්‍රිස්තියානීන්ට එවැනිම උපදෙසක් දී තිබුණා. ඇත්තෙන්ම, “දීම සන්තෝෂයක්” බව යේසු පැවසුවා. (ක්‍රියා 20:35, NW) සතුටු සිතින් දීමේදී යේසුගේ ගෝලයන් ආදර්ශයක් වුණා. උදාහරණයකට, යෙරුසලමේ ඇදහිලිවන්තයන් බවට පත් වූ අය “තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය” කියා බයිබලය වාර්තා කරනවා.—ක්‍රියා 2:44, 45.
නමුත් මේ පරිත්‍යාගශීලී යුදෙව්වන් පසුව දිළිඳුභාවයට පත් වුණා. ඔවුන්ගේ තත්වයට හේතු වුණේ කුමක්ද කියා බයිබලය හරියටම කියන්නේ නැහැ. හේතුව වෙන්න ඇත්තේ ක්‍රියා 11:28, 29හි පවසා ඇති සාගතය විය හැකියි කියා ඇතැම් විශාරදයන් පවසනවා. කෙසේනමුත්, යුදයේ ක්‍රිස්තියානීන් අසරණ තත්වයකට වැටී සිටි අතර, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන බව සහතික කරගැනීමට පාවුල්ට වුවමනා වුණා. ඔහු එය කරන්නේ කෙසේද?
දුප්පතුන් සඳහා සම්මාදමක්
මකිදෝනිය වැනි දුර බැහැර සභාවලින් පවා පාවුල් උපකාරය ලබාගත් අතර, දිළිඳුකමින් පහර ලබා සිටි යුදයේ ක්‍රිස්තියානීන් වෙනුවෙන් සම්මාදමක් එකතු කිරීමට ඔහු සැලසුම් කළා. කොරින්තිවරුන්ට පාවුල් මෙසේ ලිව්වා: “ගලාතියේ සභාවලට මා නියමකළ ලෙස නුඹලාත් කරන්න. . . . සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා [තම තමාගේ ගෘහයෙහි යමක් රැස් කොට තබාගනීවා, NW].”a—1 කොරින්ති 16:1, 2.
යෙරුසලමේ සහෝදරයන්ට විගස මේ අරමුදල් දීමට පාවුල් බලාපොරොත්තු වූ නමුත් පාවුල්ගේ උපදෙස්වලට ප්‍රතිචාරය දක්වන්න කොරින්තිවරුන් ප්‍රමාද වුණා. ඇයි? තම යුදෙව් සහෝදරයන් වැටී සිටි දුක්ඛිත තත්වය සම්බන්ධයෙන් ඔවුන් අසංවේදීව සිටියාද? නැහැ, හේතුව, කොරින්තිවරුන් “ඇදහිල්ලෙන්ද කථාවෙන්ද ඥානයෙන්ද සියලු උත්සාහවලින්ද . . . අධිකව” සිටි බව පාවුල් දැනගෙන සිටියා. (2 කොරින්ති 8:7) පාවුල් ඔවුන්ට ලියූ මුල් ලිපියේ සඳහන් කළ වෙනත් වැදගත් කාරණාවල ඔවුන් නිරත වෙමින් බෙහෙවින් කාර්ය බහුලව සිටින්න ඇති. නමුත් මේ අවස්ථාවේදී යෙරුසලමේ හදිසිතාවෙන් යුතු තත්වයක් ඇති වී තිබුණා. එබැවින් පාවුල් කොරින්තිවරුන්ට ලියූ තම දෙවන ලිපියේදී මේ ප්රශ්නය ගැන සඳහන් කළා.
පරිත්‍යාගශීලී වීමට ආයාචනා කරමින්
සහනාධාර සැපයීමේ ප්රයත්නයට ප්‍රතිචාරය දැක්වීමේදී හොඳ ආදර්ශයක් වූ මකිදෝනිවරුන් ගැන පාවුල් මුලින්ම කොරින්තිවරුන්ට පැවසුවා. “බොහෝ දුක්විඳීම නැමති පරීක්ෂාවකදී ඔවුන්ගේ ප්‍රීතිය වැඩිවූ බවත්, ඔවුන්ගේ මහත් දිළිඳුකමේ ප්‍රමාණයට ඔවුන් ඔවුන්ගේ තෑගිවන්තකම නැමති ධනයෙන් වැඩිවූ බවත්” පාවුල් ලිව්වා. මකිදෝනිවරුන්ට දෙන්න කියා පෙරැත්ත කරන්න ඕන වුණේ නැහැ. ඊට පටහැනිව, පාවුල් පවසා සිටියේ “උපස්ථානකිරීමට පංගුකාරයන්වීමේ ප්‍රසාදය බොහෝ කන්නලව් ඇතුව ඔව්හු අපගෙන් ඉල්ලුවෝය” කියායි. මකිදෝනිවරුන්ම “මහත් දිළිඳුකමේ” සිටීම ගැන අප සලකා බලද්දී, ඔවුන් සතුටු සිතින් පරිත්‍යාගශීලිත්වය දැක්වීම ඉතා විශිෂ්ටයි.—2 කොරින්ති 8:2-4.
මකිදෝනිවරුන්ට ප්‍රශංසා කිරීමේදී, කොරින්තිවරුන් අතර තරඟකාරි ස්වභාවයක් ඇවිස්සීමට පාවුල් වෑයම් කරමින් සිටියාද? කොහෙත්ම නැහැ, මන්ද පෙලඹවීම සඳහා මෙය සුදුසු ක්‍රමයක් නොවුණු බව ඔහු දැන සිටි නිසායි. (ගලාති 6:4) එපමණක්ද නොව, කොරින්තිවරුන්ව ලජ්ජාවට පත් කිරීම මගින් හරි දේ කරවාගැනීමට අවශ්‍ය නැති බව ඔහු දැනගෙන හිටියා. ඒ වෙනුවට, කොරින්තිවරුන් තමන්ගේ යුදෙව් සහෝදරයන්ට ඇත්තෙන්ම ප්‍රේම කළ බවටත්, සහනාධාර සැපයීමේ ප්රයත්නයට දායක වීමට ආශාවක් දැක්වූ බවටත් ඔහුට නිසැකකමක් තිබුණා. ‘අවුරුද්දකට කලින්, ඒක කරන්ට පමණක් නොව ඊට කැමති වෙන්ටත් නුඹලා පටන්ගත්තා’ කියා පාවුල් ඔවුන්ට පැවසුවා. (2 කොරින්ති 8:10) ඇත්තෙන්ම, සහනාධාර සැපයීමේ ප්රයත්නයේ යම් යම් පැතිවලදී, කොරින්තිවරුන්ම හොඳ ආදර්ශයක් වුණා. “නුඹලාගේ මනාපකම දනිමි, . . . මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි” කියා පාවුල් ඔවුන්ට පැවසූ අතර, ඊට මෙසේද එකතු කළා: “නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.” (2 කොරින්ති 9:2) ඒත්, මෙවිට, කොරින්තිවරුන් තම ජ්වලිතකම හා මනාපකම ක්‍රියාවට නංවන්න යුතුව තිබුණා.
මේ හේතුවෙන්, පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා: “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට [දෙවි] ප්‍රේමකරන්නේය.” (2 කොරින්ති 9:7) එවිට, පාවුල්ගේ ඉලක්කය වුණේ කොරින්තිවරුන්ට පීඩනයක් එල්ල කිරීමට නොවෙයි; මන්ද කෙනෙකුගෙන් බලාත්කාරකමින් ගත්තොත් එය සතුටු සිතකින් දීමක් වෙන්නේ නැති නිසයි. පැහැදිලිවම, එක් එක්කෙනා කලින් නියම කරගෙන තිබුණු නිසා ඒ වන විටත් හරි චේතනාවක් තිබුණ බව පාවුල් පිළිගත්තා. ඊට අමතරව පාවුල් ඔවුන්ට මෙසේ පැවසුවා: “මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.” (2 කොරින්ති 8:12) ඔව්, මනාපය තිබෙන විට, එනම් පුද්ගලයෙක් ප්‍රේමයෙන් පෙලඹී සිටින විට ඔහු ඉදිරිපත් කරන දෙය ඉතා සුළු ප්‍රමාණයක් මෙන් පෙනෙන්න තිබුණත්, එය දෙවිට පිළිගත හැකියි.—ලූක් 21:1-4 සසඳන්න.
අදදින සතුටු සිතින් දෙන්නන්
යුදයේ ක්‍රිස්තියානීන් වෙනුවෙන් කළ සහනාධාර දීමේ ප්රයත්නය අපේ දවසට විශිෂ්ට ආදර්ශයක් සපයනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආත්මිකව හාමතේ සිටින මිලියන සංඛ්‍යාතයකට පෝෂණය දෙමින් ලෝක ව්‍යාප්ත දේශනා වැඩක් භාරගෙන තිබෙනවා. (යෙසායා 65:13, 14) ඔවුන් මෙය කරන්නේ යේසුගේ මෙම අණට කීකරු වෙමිනුයි: “ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, . . . ඔවුන් බව්තීස්මකරන්න. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20.
මේ උපදෙස ඉටු කිරීම පහසු කාර්යයක් නොවෙයි. මිෂනාරි නිවාස හා ලොව පුරා ශාඛා කාර්යාල සියගණනකටත් වඩා පවත්වාගෙන යෑම ඊට ඇතුළත් වෙනවා. යෙහෝවාගේ නමස්කාරකයන්ට හමුවීමට හා එකිනෙකාව දිරිගැන්වීමට සුදුසු ස්ථාන තිබීම සඳහා රාජ්‍ය ශාලා හා එක්රැස්වීමේ ශාලා ගොඩනැඟීමත් ඊට අයත් වෙයි. (හෙබ්‍රෙව් 10:24, 25) ඇතැම් අවස්ථාවලදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ස්වාභාවික විපත්ති මගින් විනාශ වී ගිය ප්‍රදේශවලටත් සහනාධාර සපයනවා.
මුද්‍රණය සඳහා යන අතිවිශාල වියදම ගැනත් සිතා බලන්න. සෑම සතියකම, මුරටැඹ පිටපත් 2,20,00,000කට වඩා හෝ පිබිදෙව්! පිටපත් 2,00,00,000ක පමණ සාමාන්‍යයක් මුද්‍රණය කෙරෙනවා. මෙලෙස නිතිපතා ආත්මික ආහාර සපයනවාට අමතරව, සෑම වසරකම පොත්, විවරණිකා, ශ්‍රව්‍ය කැසට් පට හා දෘශ්‍ය කැසට් පට මිලියන සංඛ්‍යාවක් නිපදවයි.
මේ වැඩවලට ආධාර ලැබෙන්නේ කෙසේද? ස්වේච්ඡා සම්මාදම්වලින්. මේවා දෙන්නේ ප්‍රසිද්ධියක් ලැබීමට හෝ ආත්මාර්ථකාමී චේතනාවකින් හෝ නොව නමුත් සැබෑ නමස්කාරය වැඩිදියුණු කිරීමටයි. මේ නිසා, එවැනි දීමෙන්, දෙන්නාට දෙවිගේ ආශීර්වාදය සමඟින් සන්තෝෂය ලැබෙනවා. (මලාකී 3:10; මතෙව් 6:1-4) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දරුවන් පවා තමන් පරිත්‍යාගශීලී, සතුටු සිතින් දෙන්නන් බව පෙන්වනවා. උදාහරණයකට, සැඩ කුණාටුවෙන් එක්සත් ජනපදයේ එක් ප්‍රදේශයක ඇති වූ විනාශය ගැන දැනගත් පසු හතර-හැවිරිදි ඇලිසන් ඩොලර් 2ක් (රු. 120ක්) සම්මාදම් කළා. “මගේ කැටේ සල්ලි තියෙන්නේ මෙච්චරයි” ඇය ලිව්වා. “ළමයින්ගේ සෙල්ලම් බඩු, පොත්, බෝනික්කෝ නැති වුණා කියලා මම දන්නවා. මගේ වයසේම ඉන්න පොඩි ගෑනු ළමයෙක්ට මේ සල්ලිවලින් පොතක් අරන් දෙන්න ඕගොල්ලන්ට පුළුවන් වෙයි.” කුණාටුවෙන් කිසිම සහෝදරයෙක් මැරුණේ නැති එක ගැන වයස අටක් වූ මක්ලේන් සතුට පළ කරමින් ලිව්වා. ඔහු මෙසේත් පැවසුවා: “මගේ තාත්ති එක්ක හබ්කැප් විකුණලා ඩොලර් 17ක් (රු. 1,020ක්) හොයාගත්තා. මගේ සල්ලිවලින් මම වෙන දෙයක් ගන්නයි හිතාගෙන හිටියේ; ඒත් මම සහෝදරයන් ගැන හිතුවා.”—ඉහත කොටුවද බලන්න.
ඇත්තෙන්ම, ‘ඔවුන්ගේ සම්පතින් යෙහෝවාට ගෞරව කිරීම’ මගින් තරුණ මහලු සැමෝම ඔහුගේ රාජ්‍යයේ කටයුතුවලට මුල්තැන දෙනවා දකින විට යෙහෝවා හෘදයෙන්ම සතුටු වෙනවා. (හිතෝපදේශ 3:9, 10) සැබවින්ම, යෙහෝවාට සියල්ලම අයිති නිසා ඇත්තෙන්ම කාටවත් යෙහෝවාව ධනවත් කරන්න බැහැ. (1 ලේකම් 29:14-17) නමුත් වැඩයට ආධාර දීම, යෙහෝවාට ඇති තම ප්‍රේමය විදහාපෑමට නමස්කාර කරන්නාට ප්‍රස්තාවක් උදා කරන වරප්‍රසාදයක්. එවන් ආකාරයකින් තම හෘද පොලඹවාගෙන සිටින හැම කෙනෙකුටම අපි කෘතඥ වන්නෙමු.
[පාදසටහන]
a පාවුල් ‘නියම කළත්,’ දිය යුතුමයි කියා හිතුවක්කාර ලෙස බලෙන් ඉල්ලීමක් ඉන් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට පාවුල් කළේ සභා කීපයකින් දීමට තිබුණු සම්මාදම පිළිබඳව අධීක්ෂණය කිරීම පමණයි. ඊට අමතරව, හැම කෙනාටම ‘තම තමාගේ කාරණා සඵල වන ප්‍රකාරයට තම තමාගේ ගෘහයෙහි රැස් කොට තිබෙන යමක්’ දෙන්න කියා පාවුල් පැවසුවා. වෙනත් විදිහකට පවසනවා නම්, සෑම සම්මාදමක්ම පෞද්ගලික හා ස්වේච්ඡා ක්‍රමයකට දිය යුතුව තිබුණා. කිසිවෙකුට බලාත්කාරකමක් පෑවේ නැහැ.
[26, 27වන පිටුවල කොටුව]
ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් දීමට සමහරු තෝරාගන්නා ක්‍රම
“සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් මුදලක් ඉතිරි කරනවා නැතහොත් වෙන් කරනවා. සෑම මසකම සභාවන් මෙම මුදල් නියූ යෝක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරනවා.
ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් ලංකා, 711 දුම්රියපොළ පාර, වත්තල 11300, ශ්‍රී ලංකාව යන ලිපිනයට හෝ ඔබේ රටේ සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.
කොන්දේසි සහිතව ප්රදානය කිරීමේ විධිවිධානය
පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට විශේෂ කොන්දේසියක් යටතේ, වොච් ටවර් සමිතියට මුදල් දීමට හැකියි. තවත් තොරතුරු සඳහා, ඉහත සඳහන් ලිපිනයට සමිතිය අමතන්න.
සැලසුම් කරන ලද පරිත්‍යාග
සම්පූර්ණ තෑග්ගක් හැටියට මෙන්ම කොන්දේසි සහිතව මුදල් ප්රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජන අත් කරගැනීම සඳහා දීමට වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත්:
රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම/විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.
බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික නැතහොත් පෞද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැකියි.
ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැකියි.
නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබාගෙන, විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැකියි. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පවරන්ට කලින් එම තැනැත්තා එසේ කිරීමට වූ තම අදහස සමිතියට දැනුම් දිය යුතුයි.
අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හා මුදල් පවරා දෙන්ට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්න පුළුවන්. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැකියි.
ඕනෑම දෙයක් දීමට සතුටු අය, ඉහත සඳහන් ලිපිනයට සමිතියට හෝ ඔබේ රටෙහි සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. මෙම විධිවිධානවලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.
[28වන පිටුවේ කොටුව]
දරුවනුත් සතුටු සිතින් දෙන්නන්!
අපිට තවත් පොත් හදන්න මේක ඕගොල්ලන්ට දෙන්න මට ඕනෙ. මගේ තාත්තිට උදව් කරලා මම මේ සල්ලි ඉතුරු කළා. ඕගොල්ලෝ මහන්සි වෙලා කරන වැඩවලට ගොඩක් ස්තුතියි.—පැමලා, වයස හතයි.
තවත් රාජ්‍ය ශාලාවල් හදන්න උදව් කරන්න මම ඩොලර් 6.85ක් (රු. 411ක්) ඕගොල්ලන්ට එවනවා. මම මේක හොයාගත්තේ නිවාඩු කාලයේදී ලෙමනේඩ් විකුණලයි.—සෙලේනා, වයස හයයි.
මං කිකිළියෙක් ඇති කළා; උගෙන් කුකුළෙකුයි තවත් කිකිළියෙකුයි ලැබුණා. පස්සේ ඒ කිකිළිව මම යෙහෝවාට කැප කළා. උගෙන් කිකිළියෝ තුන්දෙනෙක් ලැබුණා; මං උංව විකුණුවා. මේ සල්ලි යෙහෝවාගේ වැඩට ගන්න.—ටයරෙ, වයස අටයි.
මං ළඟ තියෙන්නේ මේ සල්ලි ටික විතරයි! කරුණාකරලා ඥානවන්තව මේක පාවිච්චි කරන්න. ඒක ඉතුරු කරගත්තේ හරිම අමාරුවෙන්. ඩොලර් 21ක් (රු. 1,260ක්) මෙතන තියෙනවා.—සාරා, වයස දහයයි.
පාසැල් තරඟයකින් මට පළවෙනි තෑග්ග ලැබුණා; ඒ නිසා මට දිශා මට්ටමේ තරඟයට යන්න සිද්ධ වුණා. ඒකෙනුත් මට පළවෙනි තෑග්ග ලැබුණා; ඊට පස්සේ දිස්ත්‍රික්ක මට්ටමේ අවසාන තරඟයෙන් දෙවෙනි තෑග්ග ලැබුණා. මේ හැම තෑග්ගකටම ලැබුණේ මුදල්. ඒ මුදල්වලින් ටිකක් සමිතියට දෙන්න මම කැමතියි. මම හිතනවා මට මේ තෑගි දිනාගන්න ලැබුණේ දිව්‍යාණ්ඩු සේවා පාසැලෙන් මට ලැබුණු පුහුණුව නිසා කියලා. විනිශ්චකරුවන් ඉදිරියේ මගේ වාර්තාව දෙද්දී මට කිසිම අපහසුතාවයක් දැනුණේ නැහැ.—ඇම්බ, හයවන පංතිය.
යෙහෝවා වෙනුවෙන් මම මේක ඕගොල්ලන්ට දෙන්න කැමතියි. එයාගෙන් අහන්න ඒකෙන් මොනවද කරන්න ඕනෙ කියලා. එයා හැම දෙයක්ම දන්නවා.—කැරන්, වයස හයයි.
[25වන පිටුවේ පින්තූර]
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතුවලට ආධාර ලැබෙන්නේ ස්වේච්ඡා සම්මාදම්වලින්