ඔබේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද?
“ඔබ ස්ථිරව සිටින්නේ ඔබේම ඇදහිල්ල නිසාය.”—2 කොරින්ති 1:24, NW.
1, 2. අපට ඇදහිල්ල තිබිය යුත්තේ මන්ද? එය තවත් ශක්තිමත් කරගත හැක්කේ කෙසේද?
තමුන්ට ඇදහිල්ල තිබිය යුතු බව යෙහෝවාගේ සේවකයෝ දනිති. ඇත්තටම පවසනවා නම්, ‘ඇදහිල්ල නැතිව දෙවිව කිසිසේත් සතුටු කළ නොහැක.’ (හෙබ්‍රෙව් 11:6, NW) එමනිසා, අපි ශුද්ධාත්මය හා එහි ඵලයක් වන ඇදහිල්ල ඉල්ලා යාච්ඤා කරන්නෙමු. (ලූක් 11:13; ගලාති 5:22, 23) අප තුළ තිබෙන මෙම ගුණාංගය ශක්තිමත් කරගැනීමට සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමද උපකාරවත් වේ.—2 තිමෝති 1:5; හෙබ්‍රෙව් 13:7.
2 සියලුම ක්‍රිස්තියානීන් සඳහා දේවවචනයෙහි පෙන්වා ඇති ගමන් මාර්ගයෙහි අපද අඛණ්ඩව ගමන් කරනවා නම්, අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වනු ඇත. දිනපතා බයිබලය කියවීමෙන් හා ‘විශ්වාසවන්ත ගබඩාකාරයා’ මාර්ගයෙන් සපයන ලද ප්‍රකාශන ඇසුරෙන් ශුද්ධ ලියවිල්ල උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන්ද ඇදහිල්ල වැඩි කරගත හැකිය. (ලූක් 12:42-44; යෝෂුවා 1:7, 8) ක්‍රිස්තියානි රැස්වීම්වලට, එක්රැස්වීම්වලට හා සමුළුවලට නිතිපතා පැමිණීමෙන්ද එකිනෙකාගේ ඇදහිල්ලෙන් අපි දිරිගැන්වීමක් ලබමු. (රෝම 1:11, 12; හෙබ්‍රෙව් 10:24, 25) අප අන් අයට දේවසේවයේදී කතා කරන විටත් අපගේ ඇදහිල්ල ශක්තිමත් වේ.—ගීතාවලිය 145:10-13; රෝම 10:11-15.
3. ඇදහිල්ල සම්බන්ධයෙන් ගත් කල, ප්‍රේමණීය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් අප ලබන්නේ කවර උපකාරද?
3 ශුද්ධ ලියවිල්ලෙන් උපදෙස් සහ දිරිගැන්වීම් සැපයීමෙන් ප්‍රේමණීය ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අපට උපකාර කරන්නේ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමටය. ඔවුන්ගේ ආකල්පය ප්‍රේරිත පාවුල්ගේ ආකල්පයට සමානය. ඔහු කොරින්තිවරුන්ට මෙසේ පැවසුවේය. “ඔබේ ප්‍රීතිය සඳහා ඔබත් සමඟ හවුල් සේවකයෝ වන්නෙමු. මන්ද, ඔබ ස්ථිරව සිටින්නේ ඔබේම ඇදහිල්ල නිසාය.” (2 කොරින්ති 1:23, 24, NW) තවත් පරිවර්තනයක එය දක්වන්නේ මෙලෙසය. “අප ඔබත් සමඟ වැඩ කරමින් සිටින්නේ ඔබව සතුටු කිරීමටය. මන්දයත් ඔබේ ඇදහිල්ල එමගින් ශක්තිමත් වන බැවිනි.” (Contemporary English Version) ධර්මිෂ්ඨයන්ගේ ජීවිතයට පදනම ඇදහිල්ල වේ. කෙසේවෙතත්, අප වෙනුවෙන් ඇදහිල්ල පෙන්වන්නටවත්, අපව පක්ෂපාතී අඛණ්ඩතාව රකින්නන් කරන්නටවත් වෙනත් කිසිවෙකුට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සම්බන්ධයෙන් ‘අප අපගේම වගකීම නමැති බර ඉසිලිය යුතුය.’—ගලාති 3:11; 6:5, NW.
4. දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් ගැන ශුද්ධ ලියවිල්ලේ පළ වී ඇති වාර්තා අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට උපකාරවත් විය හැක්කේ කෙසේද?
4 ඇදහිල්ලෙන් සිටි අය පිළිබඳව වාර්තා ශුද්ධ ලියවිල්ලෙහි පිරී පවතී. ඔවුන් කළ කැපීපෙනෙන දේවල් කිහිපයක් ගැන අප දැනුවත් වී සිටිනවා වන්නට පුළුවන. එනමුත්, දෛනික ජීවිතයේදී නැතහොත් ජීවිත කාලය පුරාම ඔවුන් පෙන්වූ ඇදහිල්ල ගැන කුමක් කිව හැකිද? ඔවුන් මෙම ගුණාංගය, අප මුහුණ දෙන තත්වයන්ට සමාන තත්වයන්වලදී විදහාපෙන්වූ ආකාරය ගැන මෙනෙහි කිරීම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට රුකුලක් විය හැක.
ඇදහිල්ල අපට ධෛර්යය ලබා දෙයි
5. දේවවචනය ධෛර්යයෙන් යුතුව ප්‍රකාශ කිරීමට ඇදහිල්ල අපව ශක්තිමත් කරන බවට ඇති ශුද්ධ ලියවිලිමය සාක්ෂිය කුමක්ද?
5 දේවවචනය ධෛර්යයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අපව ශක්තිමත් කරන්නේ ඇදහිල්ලයි. ඒනොක් දිව්‍ය විනිශ්චයක් ක්‍රියාත්මක වන බව මහත් ධෛර්යයෙන් යුතුව පුරෝකථනය කළේය. ඔහු පැවසුවේ මෙසේය. “බලන්න! යෙහෝවා දසදහස් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ ආවේය. එසේ කළේ සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැනද, අභක්තික පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව පවසන ලද පරුෂ වචන ගැනද ඔවුන් වරදට පත් කරන පිණිසත්ය.” (යූද් 14, 15, NW) මෙවැනි වචන ඇසූ කල, ඒනොක්ව ඝාතනය කර දැමීම ඔහුගේ සතුරන්ගේ අභිප්‍රාය වූ බවට කිසිදු සැකයක් නැත. කෙසේවෙතත්, ඔහු ඇදහිල්ලෙන් එඩිතරව කතා කළ අතර, දෙවි විසින් ඔහුව ‘ගෙන යන ලද්දේය.’ පෙනෙන ප්‍රකාරයට මින් අදහස් වන්නේ දෙවි මරණයේ වේදනාව අද්දැකීමට ඔහුට ඉඩ නොදුන් බවත්, ඔහු වේදනාවක් නොවිඳ මරණය නමැති නින්දට පිවිසි බවත්ය. (උත්පත්ති 5:24; හෙබ්‍රෙව් 11:5, NW) අප එවැනි ආශ්චර්යයන් අද්දුටුවේ නැතත්, යෙහෝවා අපගේ යාච්ඤාවලට සවන් දෙයි. එමනිසා ඔහුගේ වචනය ඇදහිල්ලෙන් හා ධෛර්යයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබේ.—ක්‍රියා 4:24-31.
6. දෙවිගෙන් ලද ඇදහිල්ල හා ධෛර්යය නෝවාට උපකාරවත් වූයේ කෙසේද?
6 නෝවා ඇදහිල්ලෙන් යුතුව “තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.” (හෙබ්‍රෙව් 11:7, NW; උත්පත්ති 6:13-22) මීට අමතරව, නෝවා දෙවිගේ අනතුරු ඇඟවීම් තම සමකාලීනයන්ට එඩිතරව ප්‍රකාශ කළ ‘ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්ද’ විය. (2 පේතෘස් 2:5) වර්තමානයේ පවතින සමාජ ක්‍රමය ළඟදීම විනාශ වන බවට ශුද්ධ ලියවිල්ලෙන් සාක්ෂි සපයන විට ජනයා අපට සරදම් කරන්නාක් මෙන්, පැමිණෙන ජලගැල්ම පිළිබඳව ඔහුගේ පණිවිඩයටද ඔවුන් සරදම් කරන්නට ඇත. (2 පේතෘස් 3:3-12) කෙසේවෙතත්, ඒනොක් සහ නෝවාට සමානව අපටද එවැනි පණිවිඩයක් ඉදිරිපත් කළ හැක්කේ දෙවිගෙන් ලද අපගේ ඇදහිල්ල හා ධෛර්යය හේතුවෙනි.
ඇදහිල්ල අපට ඉවසිලිවන්තව සිටීමට රුකුලකි
7. ආබ්‍රහම් සහ වෙනත් අය ඇදහිල්ල හා ඉවසිලිවන්තකම විදහාපෙන්වූයේ කෙසේද?
7 මෙම දුෂ්ට සමාජ ක්රමයෙහි අවසානය බලාපොරොත්තුවෙන් සිටින මෙම කාලයේදී ඇදහිල්ල හා ඉවසිලිවන්තකම සඳහා අපට විශේෂ අවශ්‍යතාවක් තිබේ. ‘ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම මාර්ගයෙන් පොරොන්දු උරුම කරගන්නා’ අය අතරට දේවභයැති කුලදෙටු ආබ්‍රහම්ව නම් කරන්නට පුළුවන. (හෙබ්‍රෙව් 6:11, 12, NW) සැප පහසුකම්වලින් පිරුණු නගරයක් වූ ඌර් අත්හැර, දෙවි විසින් පොරොන්දු කරන ලද විදේශීය රටක විදේශිකයෙකු බවට ඔහු පත් වූයේ ඇදහිල්ල හේතුවෙනි. ඊසාක්ද යාකොබ්ද එම පොරොන්දුවේම උරුමක්කරුවෝ වූහ. කෙසේවෙතත්, “ඔවුන් පොරොන්දුවල ඉටුවීම අත්නොදැක්කත්,” “ඇදහිල්ල ඇතිව මොවුහු සියල්ලෝම මිය ගියහ.” ඇදහිල්ලෙන් ඔවුහු “වඩා උතුම් ස්ථානයක්, එනම් ස්වර්ගීය ස්ථානයක් අත් කරගන්න වෑයම්” කළෝය. මේ නිසා දෙවි “ඔවුන් සඳහා නුවරක් සූදානම් කර තිබේ.” (හෙබ්‍රෙව් 11:8-16, NW) එසේය, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ ඔවුන්ගේ දේවභක්තික භාර්යාවෝ දෙවිගේ ස්වර්ගික රාජ්‍යය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියෝය. ප්‍රතිඵලයක් ලෙස එම රාජ්‍යය යටතේ ඔවුහු මිහිපිට ජීවනය සඳහා නැවත නැඟිටුවනු ලබති.
8. ආබ්‍රහම්, ඊසාක් හා යාකොබ් ඉවසිලිවන්තකම හා ඇදහිල්ල විදහාපෙන්වූයේ කවර තත්වයන් මධ්යයෙහිදීද?
8 ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් තම ඇදහිල්ල අහිමි කරගත්තේ නැත. පොරොන්දු දේශය ඔවුන් සතු නොවීය. ආබ්‍රහම්ගේ වංශය මාර්ගයෙන් සියලු ජාතීන් තමුන්ටම ආශීර්වාද සලසාගන්නවා යන්න ඉටු වූ ආකාරයද ඔවුහු නොදුටූහ. (උත්පත්ති 15:5-7; 22:15-18) ‘දෙවි විසින් නිර්මාණය කරන ලද නුවර’ යථාර්ථයක් වූයේ සියවස් ගණනාවක් ගතවීමෙන් අනතුරුවය. එසේ වුවත්, මෙම පුරුෂයෝ තම මුළු ජීවිත කාලය පුරාම ඇදහිල්ල හා ඉවසිලිවන්තකම නොකඩවා විදහාපෙන්වූවෝය. දැන් මෙසියානු රාජ්‍යය ස්වර්ගයෙහි පවතින යථාර්ථයකි. එසේනම්, අපත් ඒ හා සමානව කටයුතු කළ යුතු බව නොකිවමනාය.—ගීතාවලිය 42:5, 11; 43:5.
ඇදහිල්ල අප ඉදිරියෙහි උතුම්ම ඉලක්ක තබයි
9. ඇදහිල්ල ඉලක්කයන් හා පරමාර්ථයන් කෙරෙහි බලපාන්නේ කෙසේද?
9 ඇදහිලිවන්ත කුලදෙටුවන් කානාන්හි වැසියන්ගේ පහත් ජීවන රටාවට කිසි දිනෙකවත් යොමු වූයේ නැත. මන්දයත් එම කුලදෙටුවන්ගේ ඉලක්කයන් හා පරමාර්ථයන් ඉතා උතුම් ඒවා වූ බැවිනි. ඒ හා සමානව ඇදහිල්ල අප ඉදිරියෙහි ආත්මික ඉලක්ක තබයි. එමගින් නපුරා වන සාතන් නමැති යක්ෂයාගේ බලයෙහි පවතින ලෝකයේ බලපෑමට හසුවීමේ අනතුරට එරෙහිව සිටිය හැක.—1 යොහන් 2:15-17; 5:19.
10. යෝසෙප් ලෝකයේ ප්‍රසිද්ධත්වයක් ලබාගැනීමට වඩා ඉතා උතුම් වූ ඉලක්කයක් පසුපස හඹා ගිය බව අප දන්නේ කෙසේද?
10 යාකොබ්ගේ පුත් යෝසෙප් දෙවිගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවේ ආහාර පරිපාලක ලෙස සේවය කළද, ලෝකයේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු වීම ඔහුගේ ඉලක්කය නොවීය. යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම කෙරෙහි ඇදහිල්ල පෙන්වමින්, 110වන වියේ පසු වූ යෝසෙප් තම සහෝදරයන්ට පැවසුවේ මෙසේය. ‘මම නසිමි. එහෙත් දෙවි සැබවින් නුඹලා දෙස බලා, ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙන යනවා ඇත.’ යෝසෙප් ඉල්ලා සිටියේ තමාව පොරොන්දු දේශයෙහි භූමදාන කරන ලෙසටය. ඔහු මිය ගිය විට, ඔහුගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා ඊජිප්තුවේ මිනි පෙට්ටියක තබන ලදි. එනමුත් ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවේ ග්රහණයෙන් මුදනු ලැබූ විට, අනාගතවක්තෘ මෝසෙස් යෝසෙප්ගේ ඇටකටු පොරොන්දු දේශයෙහි භූමදාන කරන පිණිස ගෙන යෑමට විධිවිධාන යෙදීය. (උත්පත්ති 50:22-26; නික්මයාම 13:19, නව අනුවාදය) යෝසෙප්ට සමාන ඇදහිල්ලක් තිබීමේ ප්‍රතිඵලයක් ලෙස, ලෝකයේ ප්‍රසිද්ධ වීමට වඩා බෙහෙවින් උතුම් වූ ඉලක්කයන් පසුපස හඹා යෑමට අප තුළ පෙලඹීමක් ඇති විය යුතුය.—1 කොරින්ති 7:29-31.
11. තමාට ආත්මික ඉලක්ක තිබූ බවට මෝසෙස් සාක්ෂි ඉදිරිපත් කළේ කෙලෙසද?
11 මෝසෙස් ඊජිප්තුවේ රජ පවුලේ මනා අධ්‍යාපනයක් ලද සාමාජිකයෙකු ලෙස “තාවකාලික වූ පාපයේ සැප භුක්ති විඳිනවාට වඩා දෙවිගේ සෙනඟ හා හිංසා පීඩා විඳීම තෝරාගත්තේය.” (හෙබ්‍රෙව් 11:23-26, NW; ක්‍රියා 7:20-22) මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ කීර්තිය හා ඇතැම්විට එක්තරා සුප්‍රසිද්ධ ඊජිප්තු සුසාන භූමියක විසිතුරු සොහොන් ගෙයක ගෞරවාන්විත භූමදානයක් ලැබීමේ ප්‍රස්තාවද ඔහුට අහිමි විය. කෙසේවෙතත්, ‘සැබෑ දෙවිගේ මනුෂ්‍යයෙකු’ වීම, නීතිය හා බැඳි ගිවිසුමේ මැදහත්කරු වීම, යෙහෝවාගේ අනාගතවක්තෘ හා බයිබල් ලේඛකයෙකු වීමේ වරප්‍රසාදය හා සසඳන කල, එවැනි දේවලට ඇති වටිනාකම කුමක්ද? (එස්රා 3:2) ඔබේ ආශාව වන්නේ ලෞකික ක්ෂේත්රයෙහි හිණිපෙත්තටම නැඟ මහත් කීර්තියක් ලබාගැනීමද? එසේ නැතහොත් ඇදහිල්ල ඔබට වඩාත් උතුම් ආත්මික ඉලක්ක ලබා දී තිබෙනවාද?
ඇදහිල්ල තෘප්තිමත් ජීවිතයකට මඟ පාදයි
12. ඇදහිල්ල රාහබ්ගේ ජීවිතයට බලපෑවේ කෙසේද?
12 ඇදහිල්ල නිසා පුද්ගලයන් උතුම්ම ඉලක්ක පසුපස හඹා යනවා පමණක් නොව, ඔවුහු තෘප්තිමත් ජීවිතයක්ද අද්දකිති. වේශ්‍යාවක ලෙස යෙරිකෝවේ විසූ රාහබ් තම ජීවිතය තුළින් එතරම් හරයක් අත් නොදකින්නට ඇත. එනමුත් ඇය ඇදහිල්ල පෙන්වන්නට පටන්ගත් විට, එම තත්වය හාත්පසින්ම වෙනස් විය. ‘[ඊශ්‍රායෙලිත] පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙන මඟකින් පිටත් කර යැව්වායින් පසු ඇය ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවේ [ඇදහිල්ලේ] ක්‍රියාවලින්ය.’ (යාකොබ් 2:24-26, NW) ප්‍රතිඵලයක් ලෙස මෙම පණිවිඩකරුවන්ට තම කානාන් ජාතික සතුරන්ගෙන් බේරිය හැකි විය. යෙහෝවා සැබෑ දෙවි ලෙස පිළිගනිමින්, රාහබ් ඇදහිල්ල පෙන්වූ තවත් ආකාරයක් වූයේ තම ගණිකා වෘත්තිය අත්හැරීමයි. (යෝෂුවා 2:9-11; හෙබ්‍රෙව් 11:30, 31) තවද ඇය නොඇදහිලිකාර කානාන් ජාතිකයෙකු හා විවාහ වනවා වෙනුවට, යෙහෝවාගේ සේවකයෙකු හා විවාහ වූවාය. (ද්විතීය කථාව 7:3, 4; 1 කොරින්ති 7:39) මෙසියස්ගේ මුතුන්මිත්තනියක වීමේ උතුම් වරප්‍රසාදය රාහබ්ට ලැබිණ. (1 ලේකම් 2:3-15; රූත් 4:20-22; මතෙව් 1:5, 6) දුරාචාරමය ජීවිතයක් අත්හැර තිබෙන අය ඇතුළු වෙනත් අයට මෙන් ඇයටද තවත් විපාකයක් ලැබෙනු ඇත. එනම් පාරාදීස පොළොවක ජීවත් වීම සඳහා නැවත නැඟිටීමේ විපාකයයි.
13. බැත්-ෂෙබා සම්බන්ධයෙන් දාවිත් කළ පාපය විස්තර කරන්න. එනමුත් ඔහු විදහාපෙන්වූයේ කවර ආකල්පයක්ද?
13 රාහබ් තම පාපිෂ්ඨ ජීවිතය අත්හැරීමෙන් අනතුරුව, නිර්දෝෂ දිවියක් ගත කළ බව පෙනේ. කෙසේවෙතත්, බොහෝ කලක් පුරා දෙවිට කැප වී සිට ඇති අය බරපතළ පාපවලට ඇද වැටී ඇත. දාවිත් රජ බැත්-ෂෙබා සමඟ පරදාර සේවනයෙහි යෙදී, ඇගේ පුරුෂයාව සටන් පෙරමුණට යවා ඝාතනය කිරීමට සලස්වා, තම භාර්යාව ලෙස ඇයව විවාහ කරගත්තේය. (2 සාමුවෙල් 11:1-27) ගැඹුරු ශෝකයකින් පසුතැවුණු දාවිත් යෙහෝවාගෙන් මෙසේ බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව.” දාවිත්ට දෙවිගේ ආත්මය අහිමි වූයේ නැත. යෙහෝවා දයාන්විත නිසා පාපය හේතුවෙන් “බිඳුණාවූ තැළුණාවූ සිතක්” ඔහු සුළු කොට නොතකන බවට දාවිත් ඇදහිල්ලෙන් විශ්වාස කළේය. (ගීතාවලිය 51:11, 17; 103:10-14) දාවිත් සහ බැත්-ෂෙබා ඇදහිල්ල පෙන්වූ නිසා මෙසියස්ගේ පෙළපතේ පුරුකක් වීමේ විපාකය ඔවුහු භුක්ති වින්දෝය.—1 ලේකම් 3:5; මතෙව් 1:6, 16; ලූක් 3:23, 31.
සහතිකයන් තුළින් ශක්තිමත් වන ඇදහිල්ල
14. ගිඩියොන්ට ලැබුණේ කවර සහතිකයන්ද? මෙම වාර්තාව අපගේ ඇදහිල්ලට බලපෑ හැක්කේ කෙසේද?
14 අප ඇදහිල්ලෙන් ගමන් කරනවා වුවත්, ඇතැම් අවස්ථාවලදී දිව්‍ය උපකාර ලැබෙන බවට සහතිකයක් අපට අවශ්‍ය විය හැක. ‘ඇදහිල්ල මාර්ගයෙන් රාජ්‍යයන් පරාජය කළ’ එක් අයෙකු වූ විනිසුරු ගිඩියොන් සම්බන්ධයෙන් එය සැබෑවක් විය. (හෙබ්‍රෙව් 11:32, 33) මිදියන්වරුන් හා ඔවුන්ගේ පාක්ෂිකයන් ඊශ්‍රායෙලය ආක්‍රමණය කළ විට, දෙවිගේ ආත්මය ගිඩියොන් තුළ ක්‍රියාත්මක විය. යෙහෝවා තමා සමඟ සිටි බවට සහතිකයක් බලාපොරොත්තුවෙන් සිටි ඔහු, රාත්‍රියක් පුරා පාවරක හෝ කමතක එළිමහනේ තබා තිබුණු ලොම් මිටියක් භාවිත කරමින් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට යෝජනා කළේය. මුල් පරීක්ෂණයේදී මුළු බිම වියළිව තිබුණු අතර, පින්න පතිත වූයේ ලොම් මිටිය මතට පමණි. දෙවන පරීක්ෂණයේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙය සිදු විය. මෙසේ ලැබුණු සහතිකවලින් ශක්තිමත් වී, සිහි නුවණින් කටයුතු කළ ගිඩියොන් ඇදහිල්ලෙන් ක්‍රියාත්මක වී ඊශ්‍රායෙල්හි සතුරන්ව පරාජය කළේය. (විනිශ්චයකාරයන් 6:33-40; 7:19-25) තීරණයක් ගැනීමට සිදු වන අවස්ථාවකදී අප යම් සහතිකයක් අපේක්ෂාවෙන් සිටීමෙන්, අපට ඇදහිල්ලේ ඌනතාවක් තිබෙන බව අදහස් වන්නේ නැත. ඇත්තෙන්ම තීරණ ගන්නා විට බයිබලය හා ක්‍රිස්තියානි ප්‍රකාශන විමර්ශනය කිරීමෙන් හා ශුද්ධාත්මයේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤා කිරීමෙන් අප පෙන්නුම් කරන්නේ අපට ඇදහිල්ල තිබෙන බවයි.—රෝම 8:26, 27.
15. බාරාක්ගේ ඇදහිල්ල ගැන මෙනෙහි කිරීමෙන් අපට උපකාරයක් ලැබිය හැක්කේ කෙසේද?
15 විනිසුරු බාරාක්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන ලද්දේ දිරිගැන්වීමේ ස්වරූපයෙන් ලැබූ සහතිකයක් මගිනි. කානාන් ජාතික යාබින්ගේ පීඩිත පාලනයෙන් ඊශ්‍රායෙලිතයන්ව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට අනාගතවක්තෘවරියක වූ දෙබොරා ඔහුව ධෛර්යවත් කළාය. දිව්‍ය උපකාර ලැබෙන බවට ලද සහතිකයන් හා ඇදහිල්ල ඇතුව, බාරාක් පෙරමුණ ගෙන එතරම් සවි සම්පන්න නොවූ පුරුෂයන් 10,000ක් සමඟින් සටන් බිමට අවතීර්ණ වී, සිසෙරාගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ යාබින්ගේ වඩාත් ප්‍රබල බල ඇණිවලට එරෙහිව ජය අත් කරගත්තේය. මෙම ජයග්‍රහණය සමරන ලද්දේ දෙබොරා හා බාරාක් හැඟීම් දනවන ගීතිකාව ගැයීමෙන්ය. (විනිශ්චයකාරයන් 4:1–5:31) ඊශ්‍රායෙල් වෙනුවෙන් දෙවි විසින් පත් කරන ලද නායකයා ලෙස ක්‍රියාත්මක වීමට බාරාක්ට දෙබොරාගෙන් දිරිගැන්වීම් ලැබිණ. තවද ඔහු ඇදහිල්ල මාර්ගයෙන් ‘විදේශිකයන්ගේ සේනා පලවාහැරිය’ යෙහෝවාගේ සේවකයන්ගෙන් එක් අයෙකු විය. (හෙබ්‍රෙව් 11:34, NW) යෙහෝවාගේ සේවය තුළ යම් අභියෝගාත්මක පැවරුමක් ඉටු කිරීම සම්බන්ධයෙන් අප තුළ යම් බයාදු ස්වභාවයක් ඇත්නම්, බාරාක් ඇදහිල්ලෙන් ක්‍රියා කළ නිසා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැන මෙනෙහි කිරීමෙන් අපවද ක්‍රියාවට පෙලඹවිය හැකිය.
ඇදහිල්ල සාමයේ උන්නතියට දායක වෙයි
16. සාමය ලුහුබැඳීමේදී ලොත් සමඟ කටයුතු කළ ආකාරයෙන් ආබ්‍රහම් තැබුවේ කවර කදිම ආදර්ශයක්ද?
16 දෙවිගේ සේවයේදී අසීරු පැවරුම් ඉටු කිරීමට ඇදහිල්ල අපට උපකාර කරන්නාක් මෙන්, එය සාමය හා සමඟියේ උන්නතියට දායක වෙයි. වයසින් වැඩි ආබ්‍රහම් තම සහෝදරයාගේ පුත්‍රයා වන ලොත්ට හොඳම ගොදුරු බිම තේරීමට අවස්ථාව ලබා දුන්නේ ඔවුනොවුන්ගේ එඬේරුන් අතර දබර ඇති වී වෙන්වීමට සිදු වූ විටය. (උත්පත්ති 13:7-12) මෙම ගැටලුව නිරාකරණය කිරීමට දෙවිගේ උපකාරය ඉල්ලා ආබ්‍රහම් ඇදහිල්ලෙන් යාච්ඤා කරන්නට ඇත. ඔහු තම ඕනෑ එපාකම්වලට මුල් තැන දෙනවා වෙනුවට, ගැටලුව සාමයෙන් නිරාකරණය කරගැනීමට සමත් විය. අපගේ ක්‍රිස්තියානි සහෝදරයෙකු සමඟ අප යම් මතභේදයක පටලැවී සිටිනවා නම්, අප ඇදහිල්ලෙන් යාච්ඤා කර, ආබ්‍රහම් ප්‍රේමණීය ලෙස සැලකිල්ල දැක්වූ ආකාරය මනසෙහි තබාගෙන ‘සාමය සොයමු.’—1 පේතෘස් 3:10-12.
17. පෙනෙන ප්‍රකාරයට පාවුල්, බාණබස් හා මාක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුව සාමදායී ආකාරයකින් නිරාකරණය කරගත් බව අපට පැවසිය හැක්කේ මන්ද?
17 ඇදහිල්ලෙන් යුතුව ක්‍රිස්තියානි ප්‍රතිපත්ති අදාළ කරගැනීම, සාමයේ උන්නතිය තකා කටයුතු කිරීමට අපට උපකාර කළ හැකි ආකාරය සලකා බලමු. පාවුල් තම දෙවන මිෂනාරි ගමන අරඹන්නට යද්දී සයිප්‍රසය හා සුළු ආසියාවේ සභාවන් යළිත් බැහැදැකීම සඳහා යෑමට කළ යෝජනාවට බාණබස් එකඟ විය. කෙසේවෙතත්, තම ඥාති සොහොයුරු මාක්ව ගෙන යෑමට බාණබස් කැමැත්තක් දැක්වීය. ඔවුන් පම්පිලියේ සිටි අවස්ථාවේදී මාක් ඔවුන්ව අත්හැර ගිය නිසා, පාවුල් ඊට එකඟ වූයේ නැත. ප්‍රතිඵලයක් ලෙස, ඔවුන් “කෝපයෙන් පිපිරී” ගිය අතර, මෙම මතභේදය හේතුවෙන් වෙන්වීමක් සිදු විය. බාණබස් මාක් කැටුව සයිප්‍රසයට ගියද, පාවුල් තම හවුල් සේවකයා හැටියට සීලස්ව තෝරාගෙන “සභා ශක්තිමත් කරමින් සිරියාව සහ සිලීසියාව හරහා ගියේය.” (ක්‍රියා 15:36-41, NW) කල් යත්ම, පෙනෙන්නට තිබුණු මෙම ඈත්වීමට හේතු වූ ගැටලුව නිරාකරණය කරනු ලැබීය. පාවුල් රෝමයේ සිටි විට මාක් ඔහු සමඟ සිටි අතර, එම ප්‍රේරිතවරයා ඔහු ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. (කොලොස්සි 4:10; පිලෙමොන් 23, 24) පොදු යුගයේ 65දී පමණ පාවුල් රෝමයේ සිර භාරයෙහි සිටි විට ඔහු තිමෝතිට මෙසේ පැවසීය. “මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මන්ද දේවසේවයේදී ඔහු මට ප්රයෝජනවත්ය.” (2 තිමෝති 4:11, NW) පෙනෙන ප්‍රකාරයට බාණබස් හා මාක් සමඟ ඇති තම සබඳතාව පාවුල් සිය ඇදහිල්ලේ යාච්ඤාවල විෂයක් කරගත් අතර, ප්‍රතිඵලයක් ලෙස “දෙවිගේ සමාදානය” හා බැඳි සමඟියක් හටගත්තේය.—පිලිප්පි 4:6, 7.
18. යුවෝදියා හා සින්ටීකි සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද?
18 ඇත්ත වශයෙන්ම අසම්පූර්ණත්වය හේතුවෙන් “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු.” (යාකොබ් 3:2) ක්‍රිස්තියානි ස්ත්‍රීන් දෙදෙනෙකු අතර ගැටලු හටගත් අතර, ඔවුන් සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “මා යුවෝදියාටත් සින්ටීකිටත් උනන්දු කරන්නේ, ස්වාමීන් සමඟ එකඟත්වයෙන් එකම ආකල්පයෙන් යුක්තව සිටින්න කියාය.” ‘මා සමඟ ශුභාරංචිය සඳහා එකට වෙහෙස මහන්සි වුණු මෙම ස්ත්රීන්ට උපකාර කරමින් සිටින ලෙස ඉල්ලමි.’ (පිලිප්පි 4:1-3, NW) මෙම දේවභක්තික ස්ත්‍රීන් මතෙව් 5:23, 24හි වාර්තා වී ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් තම ගැටලුව සමාදානයෙන් නිරාකරණය කරගත් බව විශ්වාස කිරීමට බොහෝ ඉඩ කඩ ඇත. අදදිනත් ඇදහිල්ලෙන් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීම සාමයේ උන්නතියට බෙහෙවින් දායක වනු ඇත.
ඇදහිල්ල අපට විඳදරාගැනීමට උපකාර කරයි
19. ඊසාක් හා රෙබෙකාගේ ඇදහිල්ල බිඳ දැමීමට අසමත් වූයේ කවර අසීරු තත්වයද?
19 ඇදහිල්ල මාර්ගයෙන් යම් අභාග්‍යසම්පන්න සිදුවීම් විඳදරාගැනීමටද අපට පුළුවන. ඇතැම්විට අපගේ පවුලේ බව්තීස්ම ලත් සාමාජිකයෙකු නොඇදහිලිකාරයෙකු හා විවාහ වීමෙන් දෙවිට අකීකරු වී ඇති නිසා අප යම් ශෝකයකින් සිටිනවා විය හැක. (1 කොරින්ති 7:39) ඊසාක් සහ රෙබෙකාගේ පුත් ඒසව් අභක්තික ස්ත්‍රීන් හා විවාහ වූ නිසා ඔවුහු දෙදෙනා දුක් වූවෝය. ඔහුගේ හිත්තීය භාර්යාවන් ඔවුන්ව කොතරම් “සිත් වේදනාවට” පත් කළාද කිවහොත් රෙබෙකා මෙසේ පැවසුවාය. ‘හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. යාකොබ්ද මේ රටේ ස්ත්‍රීන් වැනි හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් ඇති වැඩේ මොකක්ද?’ (උත්පත්ති 26:34, 35; 27:46, න.අ.) එහෙත්, මෙම අසීරු තත්වය නිසා ඊසාක් හා රෙබෙකාගේ ඇදහිල්ල බිඳී ගියේ නැත. යම් අසීරු තත්වයන්ට මුහුණ දීම අපට අභියෝගයක් වෙනවා නම්, අපිද ශක්තිමත් ඇදහිල්ලක් පවත්වාගනිමු.
20. නායොමි හා රූත් අපට ඇදහිල්ල සම්බන්ධයෙන් ලබා දෙන්නේ කවර ආදර්ශයක්ද?
20 මහලු වෙමින් සිටි වැන්දඹුවක වූ නායොමි යූදා ගෝත්‍රයට අයත් වූ අතර, යූදා ගෝත්‍රයෙහි ඇතැම් ස්ත්රීන්ට මෙසියස්ගේ මුතුන්මිත්තන් වනු ඇති පුත්‍රයන් බිහි කිරීමේ භාග්‍යය අත් වන බව ඈ දැන සිටියාය. ඇගේ පුතුන් දරුවන් නොමැතිව මිය ගිය නිසාත්, ඇයද දරුවන් වැදීමේ වයස පසු කොට තිබූ නිසාත් මෙසියානු පෙළපතට දායක වීමේ අවස්ථාවක් ඇගේ පවුලට උදාවීම උගහට වූ යමක් මෙන් පෙනිණ. කෙසේවෙතත්, වැන්දඹුවක වූ ඇගේ ලේලි වූ රූත් මහලු බෝවස්ගේ භාර්යාව වී ඔහුට පුත්‍රයෙකු වදා, මෙසියස් වන යේසුස්ගේ මුතුන්මිත්තනියක බවට පත් වූවාය! (උත්පත්ති 49:10, 33; රූත් 1:3-5; 4:13-22; මතෙව් 1:1, 5) නායොමි සහ රූත්ගේ ඇදහිල්ල ඔවුන් විඳි අභාග්‍යසම්පන්න සිදුවීම් අභිභවා යමින් ඔවුන්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය. අභාග්‍යසම්පන්න සිදුවීම් හමුවේ අපගේ ඇදහිල්ල පවත්වාගන්නවා නම්, අපටද ඉමහත් ප්‍රීතියක් අද්දැකිය හැක.
21. ඇදහිල්ලෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?
21 උදා වන සෑම දිනයක් පාසා අපට පෞද්ගලිකව සිදු වන්නේ කුමක්ද කියා අපට පැවසිය නොහැකි වුවත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා අපට ඇදහිල්ල උපකාරවත් වේ. ඇදහිල්ල අපට ධෛර්යය හා ඉවසිලිවන්තකම ලබා දෙයි. ඉන් අපට උතුම්ම ඉලක්ක පසුපස හඹායෑමට හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මඟ පාදයි. අන් අය සමඟ තිබෙන අපගේ සබඳතාවලට ධනාත්මක ලෙස ඇදහිල්ල බලපාන අතර එය අභාග්‍යසම්පන්න සිදුවීම් අභිභවා යයි. එමනිසා “ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති අයගේ ගණයට අයත් වෙමු.” (හෙබ්‍රෙව් 10:39, NW) අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවාගේ ශක්තියෙන්, ඔහුගේ ගෞරවය පිණිස අපි ශක්තිමත් ඇදහිල්ලක් පෙන්වීමට නොකඩවා වෙර දරමු.
ඔබේ පිළිතුර කුමක්ද?
• ඇදහිල්ල අපව ධෛර්යවත් කළ හැකි බවට ඇති ශුද්ධ ලියවිලිමය සාක්ෂි කවරේද?
• ඇදහිල්ල තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන බව අපට පැවසිය හැක්කේ මන්ද?
• ඇදහිල්ල සාමයේ උන්නතියට දායක වන්නේ කෙසේද?
• අභාග්‍යසම්පන්න සිද්ධීන් විඳදරාගැනීමට ඇදහිල්ල අපට උපකාරවත් වන බවට තිබෙන සාක්ෂි මොනවාද?
[16වන පිටුවේ පින්තූර]
ඇදහිල්ල නිසා නෝවාට හා ඒනොක්ට යෙහෝවාගේ පණිවිඩ ප්‍රකාශ කිරීමට ධෛර්යය ලැබිණ
[17වන පිටුවේ පින්තූර]
මෝසෙස් හා සමාන ඇදහිල්ලක් තිබීම ආත්මික ඉලක්කයන් පසුපස හඹා යෑමට අපව පොලඹවයි
[18වන පිටුවේ පින්තූර]
දෙවිගෙන් උපකාර ලැබෙන බවට ලද සහතික මගින් බාරාක්, දෙබොරා හා ගිඩියොන්ගේ ඇදහිල්ල ශක්තිමත් විය