ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ජීවත්වීම
“එකිනෙකාගේ [පීඩාකාරි, NW] බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරපල්ලා.”—ගලාති 6:2.
1. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව යහපත සඳහා අදදින ප්‍රබල බලපෑමක් කියා පැවසිය හැක්කේ මන්ද?
රුවන්ඩාවේ හුටු හා ටුට්සි ගෝත්‍රික යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, මෑතකදී එම දේශය වැනසූ වාර්ගික ඝාතනවලින් එකිනෙකාව ආරක්ෂා කරගැනීම සඳහා, තම ජීවිත අවදානමට ලක් කළහ. ජපානයේ කෝබේහි සිදු වූ ප්‍රබල භූමිකම්පාවට ගොදුරු වූ පවුල් සාමාජිකයන් සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, ඔවුන්ගේ වියෝවෙන් ඉමහත් සේ කම්පා වූහ. එහෙත් ගොදුරු වූ වෙනත් අයව බේරාගැනීමට ඔවුහු වහාම ක්‍රියාත්මක වූහ. ඔව්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදදින ක්‍රියාත්මක වෙමින් පවතින බව, ලොව වටා ලබාගත හැකි හද උණුසුම් කරවන ආදර්ශ මගින් නිරූපණය වේ. එය යහපත සඳහා ප්‍රබල බලපෑමකි.
2. ක්‍රිස්තියානි ලෝකයට ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රාය තේරුම්ගැනීමට නොහැකි වී තිබෙන්නේ කෙසේද, එම ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට අපට හැක්කේ කෙසේද?
2 ඒ සමඟම මෙම අර්බුදකාරි “අන්තිම දවස්” පිළිබඳව බයිබල් අනාවැකියක් ඉටු වෙමින් පවතී. බොහෝදෙනෙක් “දේවභක්තියේ වේසය දරන” නමුත්, ‘එහි බලය එපා කළ අයව සිටිති.’ (2 තිමෝති 3:1, 5) විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ ආගම යනු හෘදයට සම්බන්ධ කාරණයක් නොව, නමුත් නිරර්ථක චාරිත්රයකි. එය සිදු වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ජීවත්වීම අමාරු වැඩි නිසාද? නැත. යේසුස්වහන්සේ අනුගමනය කළ නොහැකි ව්‍යවස්ථාවක් අපට දෙන්නේ නැත. ක්‍රිස්තියානි ලෝකයට එම ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රාය තේරුම් ගොස් නැත. මෙම දේවානුභාවය ලත් වචන අනුගමනය කිරීමට ඇය අසමත් වී තිබේ: “එකිනෙකාගේ [පීඩාකාරි, NW] බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරපල්ලා.” (ගලාති 6:2) අප “ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ” කරන්නේ එකිනෙකාගේ පීඩාකාරි බර ඉසිලීමෙන් මිස, ඵරිසිවරුන්ව අනුකරණය කරමින් අපේ සහෝදරයන්ගේ බරවලට තවත් දේ අසාධාරණ ලෙස එකතු කිරීමෙන් නොවේ.
3. (අ) ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් ආඥා සමහරක් මොනවාද? (ආ) ක්‍රිස්තුස්වහන්සේගේ ඍජු ආඥාවලට අමතරව ක්‍රිස්තියානි සභාවට කිසිම නීතියක් නොතිබිය යුතු බව නිගමනය කිරීම වැරදිසහගත වන්නේ ඇයි?
3 දේශනා කිරීම හා ඉගැන්වීම, ඇස නිර්මලව හා සරලව තබාගැනීම, අපේ අසල්වාසියා සමඟ සමාදානයෙන් සිටීමට වෑයම් කිරීම හෝ සභාවෙන් අපවිත්‍රකම ඉවත් කිරීම හෝ වේවා, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සියලුම ආඥා ඇතුළත්ය. (මතෙව් 5:27-30; 18:15-17; 28:19, 20; එළිදරව් 2:14-16) ඇත්තෙන්ම, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වෙත යොමු කර තිබෙන බයිබලයේ සෑම ආඥාවක්ම පැවැත්වීමට ක්‍රිස්තියානීහු බැඳී සිටිති. තවත් බොහොමයක් දේ තිබේ. යෙහෝවඃවහන්සේගේ සංවිධානය මෙන්ම එක් එක් සභාවද, හොඳ පිළිවෙළක් රැකගැනීමට අත්‍යවශ්‍ය නීති හා ක්‍රියා පිළිවෙත් පිහිටුවිය යුතුය. (1 කොරින්ති 14:33, 40) ඇත්තෙන්ම, රැස්වීම් පැවැත්විය යුත්තේ කුමන වේලාවටද, කොතැනද හා කෙසේද යන්න ගැන නීති නොතිබුණේ නම්, ක්‍රිස්තියානීන්ට එකට රැස්වීමට පවා බැරි වන්නේය! (හෙබ්‍රෙව් 10:24, 25) සංවිධානයේ යම් අධිකාරයක් හොබවන අය විසින් පිහිටුවා ඇති සාධාරණ මාර්ග දර්ශක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට අයත් වන්නේය.—හෙබ්‍රෙව් 13:17.
4. නිර්මල නමස්කාරය සඳහා පොලඹවන බලය කුමක්ද?
4 ඒ කෙසේදයත්, සැබෑ ක්‍රිස්තියානීහු තම නමස්කාරය නීතිවලින් පාලනය වන තේරුමක් නැති දෙයක් වීමට ඉඩ නොදෙති. ඔවුන් යෙහෝවඃවහන්සේට සේවය කරන්නේ, යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ඔවුන්ට එසේ කරන්නයයි කියන නිසා නොවේ. ඇත්තෙන්ම, නමස්කාරය සඳහා ඔවුන්ව පොලඹවන බලය ප්‍රේමයයි. පාවුල් මෙසේ ලීවේය: “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය.” (2 කොරින්ති 5:14) යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ආඥා කළේ එකිනෙකාට ප්‍රේම කරන ලෙසටයි. (යොහන් 15:12, 13) ආත්ම-පරිත්‍යාගශීලී ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ පදනම වන අතර, එය පවුලේ මෙන්ම සභාවේ සිටින සැබෑ ක්‍රිස්තියානීන් කෙරෙහිම බලපවත්වයි; එසේත් නැතහොත් ඔවුන්ව පොලඹවයි. ඒ කෙසේද කියා අපි බලමු.
පවුලේදී
5. (අ) නිවසේදී දෙමාපියන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කළ හැක්කේ කෙසේද? (ආ) දරුවන්ට තම දෙමාපියන්ගෙන් අවශ්‍ය වන්නේ කුමක්ද, ඒ අවශ්‍යතාව පිරිමැසීම සඳහා දෙමාපියන් ජයගත යුතු බාධක මොනවාද?
5 ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරපල්ලා.” (එපීස 5:25) ස්වාමිපුරුෂයෙකු ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරමින්, තම භාර්යාවට ප්‍රේමයෙන් හා අවබෝධයෙන් සලකන විට, ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ අතිවැදගත් අංගයක් ඉටු කරයි. එපමණක්ද නොව, යේසුස්වහන්සේ ළාබාල දරුවන්ව වඩාගනිමින්, ඔවුන් පිට අත් තබා ආශීර්වාද කරමින්, ඔවුන්ට විවෘතව සෙනෙහස පෙන්වූසේක. (මාර්ක් 10:16) ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ඉටු කරන දෙමාපියෝ තම දරුවන්ටත් සෙනෙහස විදහාපාති. මේ සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීම අභියෝගයක් හැටියට සලකන දෙමාපියන්ද සිටින බව සැබෑය. සමහරු ස්වභාවයෙන්ම තම හැඟීම් එළිපිට ප්‍රකාශ නොකරති. දෙමාපියෙනි, ඔබේ දරුවන් කෙරෙහි ඔබට හැඟෙන ප්‍රේමය පෙන්වීමට එවැනි කාරණා බාධාවක් කර නොගන්න! ඔබේ දරුවන්ට ඔබ ප්‍රේම කරන බව ඔබ පමණක් දැන සිටීම මදිය. ඒ බව ඔවුනුත් දැන සිටිය යුතුයි. එමෙන්ම ඔබේ ප්‍රේමය පෙන්වීමට ඔබ ක්‍රම සොයන්නේ නැත්නම්, එය දැනගැනීමට ඔවුන්ටද අවස්ථාවක් ලැබෙන්නේ නැත.—මාර්ක් 1:11, සසඳන්න.
6. (අ) දරුවන්ට දෙමාපියන් විසින් පනවන නීති අවශ්‍යද, ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි? (ආ) පවුලක නීති තිබීමේ කුමන මූලික හේතුව දරුවන් වටහාගත යුතුද? (ඇ) පවුලේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව බලපවත්වන විට, කුමන අන්තරාවන්ගෙන් වැළකිය හැකිද?
6 ඒත් සමඟම, දරුවන්ට සීමාවන් තැබීම අවශ්‍යය; ඉන් අදහස් කරන්නේ, ඔවුන්ගේ දෙමාපියන් නීති පැනවිය යුතු බවත්, හික්මවීමෙන් ඇතැම්විට මෙම නීතිවලට කීකරු වනවාද කියා වගබලා ගත යුතු බවත්ය. (හෙබ්‍රෙව් 12:7, 9, 11) ඒ කෙසේවෙතත්, මෙම නීතිවලට මුල් වන හේතුව දැකබලා ගැනීමට දරුවන්ට ප්‍රගතිශීලීව උපකාර කළ යුතුයි: එනම් ඔවුන්ගේ දෙමාපියෝ ඔවුන්ට ප්‍රේම කරති. එමෙන්ම තම දෙමාපියන්ට කීකරු වීම සඳහා හොඳම හේතුව ප්‍රේමය බව ඔවුන් ඉගෙනගත යුතුයි. (එපීස 6:1; කොලොස්සි 3:20; 1 යොහන් 5:3) දැනුම් තේරුම් ඇති දෙමාපියෙකුගේ ඉලක්කය නම්, ළාබාල අයට තම ‘තර්ක කිරීමේ හැකියාව’ පාවිච්චි කිරීමට ඉගැන්වීමයි; එසේ කිරීමෙන් අවසානයේදී තනිවම හොඳ තීරණ ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. (රෝම 12:1, NW; සසඳන්න 1 කොරින්ති 13:11.) අනික් අතට, නීති අනවශ්‍ය ප්‍රමාණයක් නොතිබිය යුතු අතර, හික්මවීම අනවශ්‍ය ලෙස දැඩි නොවිය යුතුය. පාවුල් මෙසේ පවසයි: “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.” (කොලොස්සි 3:21; එපීස 6:4) ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව පවුල තුළ බලපවත්වයි නම්, පාලනයකින් තොර කෝපයකින් හෝ වේදනා ගෙන දෙන ඇනුම් පද සහිතව හික්මවීමක් ලබා දීමට ඉඩක් නැත. එවැනි නිවහනක, දරුවන්ට පීඩාවක් හෝ අධෛර්යයක් නොව, සුරක්ෂිතභාවයක් හා වර්ධනයක් දැනෙයි.—ගීතාවලිය 36:7, සසඳන්න.
7. නිවසේදී නීති පැනවීම සම්බන්ධයෙන් බෙතෙල් නිවෙස් ආදර්ශයක් විය හැක්කේ කුමන ආකාරවලින්ද?
7 ලොව වටා තිබෙන බෙතෙල් නිවෙස්වලට ගොස් ඇති අය කියා සිටින්නේ, පවුලක් සඳහා නීති හා සම්බන්ධ කාරණයේදී මේවා සමබරතාව සම්බන්ධයෙන් හොඳ ආදර්ශ බවයි. එහි වැඩිහිටියන් සිටියත්, එවැනි ආයතන පවුල්වලට සමානව ක්‍රියාත්මක වෙයි.a බෙතෙල්හි ක්‍රියාකාරකම් ඉතා සංකීර්ණයි; එනිසා ක්‍රියාකාරිත්වය සඳහා සෑහෙන නීති ප්‍රමාණයක් අවශ්‍යයි. ඇත්තෙන්ම සාමාන්‍ය පවුලකට වඩා නීති බොහොමයක් අවශ්‍යයි. කෙසේවෙතත්, බෙතෙල් නිවාස, කාර්යාල හා කර්මාන්ත ශාලා ක්‍රියාකාරකම්වලදී පෙරමුණ ගන්නා වැඩිමහල්ලෝ, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදාළ කිරීමට වෑයම් කරති. ඔවුහු, වැඩ සංවිධානය කිරීම පමණක් නොව, නමුත් ආත්මික ප්‍රගතිය හා සෙසු සේවකයන් අතර “යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිය” වැඩිවර්ධනය කිරීම තමුන්ගේ පැවරුම හැටියට සලකති. (නෙහෙමියා 8:10, NW) එමනිසා, දේවල් ඒකාන්ත හා දිරිගන්වනසුලු ආකාරයකින් කිරීමට ඔවුන් වෑයම් කරන අතර, සාධාරණ වීමට ඔවුහු ප්රයත්න දරති. (එපීස 4:31, 32) එසේනම්, බෙතෙල් පවුල් තම ප්‍රීතිමත් ස්වභාවය වෙනුවෙන් ප්‍රසිද්ධියක් ඉසිලීම ගැන පුදුම විය යුතු නැත!
සභාවේදී
8. (අ) සභාවේදී, හැමවිටම අපේ ඉලක්කය විය යුත්තේ කුමක්ද? (ආ) ඇතැම් අය නීති ඉල්ලා තිබෙන හෝ නීති පැනවීමට වෑයම් කර තිබෙන්නේ කවර තත්වයන් යටතේද?
8 ඒ හා සමානවම සභාවේදීද අපේ ඉලක්කය විය යුත්තේ, ප්‍රේමයේ ස්වභාවයෙන් එකිනෙකාව ගොඩනැංවීමයි. (1 තෙසලෝනික 5:11) එබැවින් පෞද්ගලික තේරීම් කළ යුතු කාරණාවලදී තම පෞද්ගලික අදහස් බලපැවැත්වීමට සැලැස්වීමෙන්, අනුන්ගේ පීඩාකාරි බරවලට අමතර යමක් එකතු නොකිරීමට ක්‍රිස්තියානීන් පරෙස්සම් විය යුතුය. ඇතැම්විට, සමහර චිත්‍රපට, පොත් පත් හා සෙල්ලම් බඩු පවා තමුන් සැලකිය යුතු අන්දම පිළිබඳ කාරණා සම්බන්ධව වොච් ටවර් සමිතියෙන් නියමයන් ඉල්ලමින් සමහරුන් ලිපි ලියා ඇත. එහෙත්, එවැනි දේවල් සෝදිසි කොට, ඒවා සම්බන්ධයෙන් විනිශ්චයන් නියම කිරීම සඳහා සමිතියට බලය පැවරී නැත. බොහෝ අවස්ථාවලදී මේ කාරණා එක් එක් පුද්ගලයා හෝ ගෘහ මූලිකයා විසින් තීරණය කළ යුතුයි; එසේ කරද්දී බයිබල් ප්‍රමිතිවලට ඔහුට තිබෙන ප්‍රේමය ඔහු පදනමක් කරගනී. තවත් අය සමිතියේ යෝජනා හා මාර්ග දර්ශක නීති බවට පරිවර්තනය කරති. 1996 මාර්තු 15 මුරටැඹ කලාපයේ, සභා සාමාජිකයන්ව නිතිපතා බැහැදැකීමට වැඩිමහල්ලන්ව දිරිගැන්වූ කදිම ලිපියක් තිබිණ. එහි අරමුණ නීති පිහිටුවීමද? නැත. එහි සඳහන් යෝජනා අනුගමනය කළ හැකි අයට බොහෝ ප්‍රයෝජන නෙළාගත හැකි වුවත්, එසේ කිරීමට සෑම වැඩිමහල්ලෙකුටම හැකියාවක් නැත. ඊට සමානව, 1995 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බව්තීස්මය ගැන සාකච්ඡා කරද්දී, එම අවස්ථාවට හිමි විය යුතු ගෞරවාන්විතභාවය නැති කළ හැකි නොහික්මුණු සාදයන් හෝ ප්‍රීති උත්සව පැවැත්වීම වැනි සීමාව ඉක්මවා යෑම්වල නියැලීමට එරෙහිව අවවාද කළේය. ඇතමුන් මෙම මේරූ උපදෙස් අන්තයටම ගෙන ගොස් ඇත; උදාහරණයක් හැටියට, මෙම අවස්ථාවේදී දිරිගන්වනසුලු කාඩ්පතක් යැවීම වැරදිසහගත බවට නීතියක් පැනවීමෙනි!
9. එකිනෙකාව විවේචනය කිරීමට හා විනිශ්චය කිරීමට අනවශ්‍ය කැමැත්තක් දැක්වීමෙන් වැළකී සිටීම වැදගත් වන්නේ ඇයි?
9 අප අතර “නිදහස්කමට අයත් අංග සම්පූර්ණ ව්‍යවස්ථාව” බලපවත්වන්ට යනවා නම්, සෑම ක්‍රිස්තියානි හෘදය සාක්ෂියක්ම එක සමාන නොවන බව අප පිළිගත යුතු බවත් සැලකිල්ලට ගන්න. (යාකොබ් 1:25, NW) පුද්ගලයන් ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති උල්ලංගනය නොකරන පෞද්ගලික තේරීම් කරන විට, අප ඒ ගැන කලබලයට පත් විය යුතුද? නැත. එසේ කිරීම භේද ඇති කරවයි. (1 කොරින්ති 1:10) පාවුල්, සෙසු ක්‍රිස්තියානියෙකුව විනිශ්චය කිරීමට එරෙහිව අපට අවවාද කළ අවස්ථාවේදී මෙසේ පැවසුවේය: “ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක්හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.” (රෝම 14:4) හෘදය සාක්ෂිය මත පදනම්ව පෞද්ගලික තීරණයක් ගත යුතු කාරණාවලදී අප එකිනෙකාට විරුද්ධව කතා කරනවා නම්, දෙවියන්වහන්සේව අප්‍රසන්න කිරීමේ අවදානමට අපි වැටෙන්නෙමු.—යාකොබ් 4:10-12.
10. සභාව බලාකියා ගැනීමේ පැවරුම තිබෙන්නේ කාටද, අප ඔවුන්ට අනුබල දිය යුත්තේ කෙසේද?
10 වැඩිමහල්ලන්ට දෙවියන්වහන්සේගේ රැළ බලාකියා ගැනීමේ පැවරුම තිබෙන බවත් අපි මතක තබාගනිමු. (ක්‍රියා 20:28) උපකාර කිරීමට ඔවුහු සිටිති. ඔවුන් බයිබලය හදාරන අය නිසාත්, වොච් ටවර් සමිතියේ සඟරා පොත් පත්වල සාකච්ඡා කරනු ලබන දේ හොඳින් දන්නා නිසාත්, උපදෙස් ලැබීමට ඔවුන් වෙත එළඹීමට අපට බාධාවක් නොදැනිය යුතුයි. ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති උල්ලංගනය කිරීමට මඟ පෑදිය හැකි හැසිරීම වැඩිමහල්ලන්ගේ අවධානයට හසු වේ නම්, ඔවුහු නිර්භීතව අවශ්‍ය උපදෙස් පිරිනමති. (ගලාති 6:1) සභාවේ සාමාජිකයෝ, ඔවුන් අතර පෙරමුණ ගන්නා මෙම හිතවත් එඬේරුන්ට සහයෝගය දැක්වීමෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අනුගමනය කරති.—හෙබ්‍රෙව් 13:7.
වැඩිමහල්ලෙනි, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදාළ කරන්න
11. වැඩිමහල්ලන් සභාවේදී ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදාළ කරන්නේ කෙසේද?
11 සභාව තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට වැඩිමහල්ලෝ උත්සුක වෙති. ඔවුහු ශුභාරංචිය දේශනා කිරීමෙහි පෙරමුණ ගෙන, හෘදයන් වෙත ළඟා විය හැකි පරිද්දෙන් බයිබලයෙන් උගන්වන අතර, ප්‍රේමනීය මුදු මොළොක් එඬේරුන් වශයෙන් “ක්ලාන්ත සිත් ඇත්තන්[ට]” කතා කරති. (1 තෙසලෝනික 5:14) ක්‍රිස්තියානි ලෝකයේ ආගම් බොහොමයක තිබෙන ක්‍රිස්තියානි විරෝධී ආකල්ප ඔවුහු මඟහරිති. මෙම ලෝකය ශීඝ්‍රයෙන් පිරිහෙන බවත්, පාවුල් මෙන්, වැඩිමහල්ලන්ට රැළ ගැන කනස්සල්ලක් දැනිය හැකි බවත් ඇත්තය; නමුත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ක්‍රියා කරන විට, ඔවුහු සමබරතාව පවත්වාගනිති.—2 කොරින්ති 11:28.
12. ක්‍රිස්තියානි භක්තිකයෙකු උපකාරය සඳහා වැඩිමහල්ලෙකු වෙත එළඹෙන විට, වැඩිමහල්ලාට ඊට ප්‍රතිචාරය දැක්විය හැක්කේ කෙසේද?
12 උදාහරණයක් හැටියට, කෙළින්ම ශුද්ධ ලියවිල්ලේ සඳහන් දෙයකින් ආවරණය නොවන හෝ විවිධාකාර ක්‍රිස්තියානි ප්‍රතිපත්ති සමබර කොට සලකා බැලීම ඉල්ලා සිටින වැදගත් කාරණයක් ගැන වැඩිමහල්ලෙකුගෙන් අදහස් විමසීමට ක්‍රිස්තියානියෙකු කැමති විය හැක. ඇතැම්විට වැඩි වැටුපක් ගෙවන මුත් වැඩි වගකීම් දැරීමක් ඉල්ලා සිටින රැකියාවේ උසස් වීමක් ඔහුට ඉදිරිපත් කර තිබෙනවා විය හැක. එසේ නැතහොත් තරුණ ක්‍රිස්තියානියෙකුගේ නොඇදහිලිකාර පියා, තරුණයාගේ සේවයට බලපාන ආකාරයකින් ඔහුගෙන් යම් දේවල් බලෙන් ඉල්ලා සිටිනවා විය හැක. මෙවැනි අවස්ථාවලදී වැඩිමහල්ලා පෞද්ගලික මතයක් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියි. ඒ වෙනුවට, ඇතැම්විට බයිබලය විවෘත කොට, අදාළ ප්‍රතිපත්ති ගැන තර්ක කිරීමට ඔහු පුද්ගලයාට උපකාර කරනු ඇත. මේ විෂය ගැන “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මුරටැඹ හා වෙනත් ප්රකාශනවල පවසා ඇති දේ සොයා බැලීමට, වොච් ටවර් පබ්ලිකේෂන්ස් ඉන්ඩෙක්ස් තිබේ නම්, ඔහු එය පාවිච්චි කරයි. (මතෙව් 24:45) ඉන්පසුව වැඩිමහල්ලාගේ අදහසට අනුව, එම ක්‍රිස්තියානි භක්තිකයා නුවණට හුරු තීරණයක් ගන්නේ නැත්නම් කුමක් කිව හැකිද? ගත් තීරණය කෙළින්ම බයිබල් ප්‍රතිපත්ති හෝ නීතිවලට විරුද්ධව යන්නේ නැත්නම්, ක්‍රිස්තියානි භක්තිකයා “එකිනෙකා තම තමාගේ බර උසුල[න]” බව දන්නා නිසා, එවැනි තීරණයක් ගැනීමට එම පුද්ගලයාට තිබෙන අයිතිය වැඩිමහල්ලා පිළිගන්නා බව ඔහුට පෙනී යනවා ඇත. කෙසේවෙතත්, “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය” යන කාරණය ක්‍රිස්තියානියෙකු මතක තබාගත යුතුය.—ගලාති 6:5, 7.
13. ප්‍රශ්නවලට කෙළින්ම උත්තර දෙන්නේ හෝ තමාගේම මත ඉදිරිපත් කරන්නේ නැතුව, කාරණා සම්බන්ධයෙන් තර්ක කිරීමට වැඩිමහල්ලන් අනුන්ට උපකාර කරන්නේ මන්ද?
13 අද්දැකීම් ලත් වැඩිමහල්ලා මෙයාකාරයෙන් කටයුතු කරන්නේ ඇයි? අඩුම තරමින් හේතු දෙකක් නිසාය. පළමුව, තමා ‘ඔවුන්ගේ ඇදහිල්ල කෙරෙහි බලය පවත්වන්නේ’ නැති බව පාවුල් සභාවකට කීවේය. (2 කොරින්ති 1:24) තම සහෝදරයාට ශුද්ධ ලියවිලි මත තර්ක කිරීමටත්, තමා දන්නා දේ මත පදනම් වූ තීරණයක් ගැනීමටත් උපකාර කරන වැඩිමහල්ලා, පාවුල්ගේ ආකල්පය අනුකරණය කරමින් සිටී. යේසුස්වහන්සේ තම අධිකාරයට සීමා තිබෙන බව තේරුම්ගත්තාක් මෙන්, තමාගේ අධිකාරයට සීමා තිබෙන බව ඔහුත් පිළිගනී. (ලූක් 12:13, 14; යූද් 9) ඒ සමඟම අවශ්‍යතාව පැනනඟින විට, වැඩිමහල්ලෝ කැමැත්තෙන්ම උපකාරවත්, ඇතැම්විට ඍජු උපදෙස් පවා පිරිනමති. දෙවනුව, ඔහු තම සෙසු ක්‍රිස්තියානි භක්තිකයාව පුහුණු කරමින් සිටී. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසීය: “දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.” (හෙබ්‍රෙව් 5:14) එබැවින්, මේරූභාවය කරා වර්ධනය වීමට නම්, අප වෙනුවෙන් තීරණ ගැනීමට හැමවිටම අනුන් කෙරෙහි රඳා නොසිට, අපේම විමර්ශන හැකියාව පාවිච්චි කළ යුතුය. ශුද්ධ ලියවිලි මත පදනම්ව තර්ක කිරීමට තම සහෝදරයාට උපකාර කරන වැඩිමහල්ලා, ඔහුට ප්‍රගතියක් ලබාගැනීමට උපකාර කරන්නේය.
14. යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය දක්වන බව මේරූ අයට පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
14 යෙහෝවඃ දෙවියන්වහන්සේ තම ශුද්ධාත්මය මගින් සැබෑ නමස්කාරකයන්ගේ හෘදවලට බලපෑම් කරන බවට අපට විශ්වාසය තැබිය හැක. මෙසේ, මේරූ ක්‍රිස්තියානීන් තම සහෝදරයන් තුළ හෘදයාංගම පෙලඹවීමක් ඇති කරවන අතර, ප්‍රේරිත පාවුල් කළාක් මෙන් ඔවුන්ව පොලඹවයි. (2 කොරින්ති 8:8; 10:1; පිලෙමොන් 8, 9) මූලික වශයෙන් වැරදි නොකිරීමට බාධකයක් හැටියට සවිස්තර නීති අවශ්‍ය වන්නේ අධර්මිෂ්ඨයන්ට මිස, ධර්මිෂ්ඨයන්ට නොවන බව පාවුල් දැනසිටියේය. (1 තිමෝති 1:9) ඔහු තම සහෝදරයන් කෙරෙහි සැකයක් හෝ අවිශ්වාසයක් නොව, විශ්වාසය පළ කළේය. එක් සභාවකට ඔහු මෙසේ ලීවේය: “නුඹලා ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමු.” (2 තෙසලෝනික 3:4) පාවුල්ගේ විශ්වාසය, ඒකාන්තභාවය හා නිසැකකම මෙම ක්‍රිස්තියානීන්ව පෙලඹවීම සඳහා උපකාරවත් වූ බවට සැකයක් නැත. අදදින වැඩිමහල්ලන්ට හා සංචාරක අවේක්ෂකයන්ට මීට සමාන ඉලක්ක තිබේ. මෙම විශ්වාසවන්ත මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ රැළ ප්‍රේමනීය ලෙස රැකබලාගන්නා විට, එය රැළට මොනතරම් ප්‍රබෝධයක්ද!—යෙසායා 32:1, 2; 1 පේතෘස් 5:1-3.
ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ජීවත්වීම
15. සහෝදරයන් සමඟ අපේ සම්බන්ධතාවේදී, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදාළ කරනවාද නැද්ද කියා දැකබලා ගැනීමට අපෙන්ම ඇසිය හැකි ප්‍රශ්න සමහරක් මොනවාද?
15 අප ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ජීවත් වනවාද කියාත් ඊට අනුබල දෙනවාද කියාත් බැලීමට, අප සියලුදෙනාම නිතිපතා ආත්ම සෝදිසියක් කිරීම අවශ්‍යය. (2 කොරින්ති 13:5) ඇත්තෙන්ම, මෙසේ ඇසීමෙන් අප සියලුදෙනාටම ප්‍රයෝජන ලබාගත හැක: ‘මම වර්ධනය ගෙන දෙනවාද නැතහොත් විවේචනය කරනවාද? මම සමබරද නැතහොත් අන්තවාදීද? මම අනුන් කෙරෙහි සැලකිල්ල දක්වනවාද නැතහොත් මගේම අයිතිවාසිකම් රැකීමට බල කර ඉල්ලනවාද?’ බයිබලයෙහි විශේෂ ලෙස සාකච්ඡා කර නොතිබෙන කාරණාවලදී, තම සහෝදරයා ගත යුතු හෝ නොගත යුතු පියවර කුමක්දැයි නියම කිරීමට ක්‍රිස්තියානියෙකු වෑයම් කරන්නේ නැත.—රෝම 12:1; 1 කොරින්ති 4:6.
16. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ අතිවැදගත් අංගයක් ඉටු කරමින්, අපට තමන් ගැනම නිෂේධාත්මක අදහස් තිබෙන අයට උපකාර කළ හැක්කේ කෙසේද?
16 මෙම අර්බුදකාරි කාලවල, එකිනෙකාව දිරිගැන්වීමට අප මාර්ග සෙවීම වැදගත්ය. (හෙබ්‍රෙව් 10:24, 25; සසඳන්න මතෙව් 7:1-5.) අප අපේ සහෝදර සහෝදරියන් දෙස බලන විට, ඔවුන්ගේ දුර්වලකම්වලට වඩා ඔවුන්ගේ යහපත් ගුණාංගවලට අපේ සිත ඇදී යන්නේ නැද්ද? යෙහෝවඃවහන්සේට සෑම කෙනෙකුවම ඉතා අනර්ඝයි. තමුන් ගැන පවා, බොහෝදෙනෙකුට එසේ නොහැඟීම කනගාටුවට කරුණකි. බොහෝදෙනෙක් තම පෞද්ගලික දෝෂ හා අසම්පූර්ණකම් පමණක් දැකීමට නැඹුරු වෙති. එවැනි අයව මෙන්ම වෙනත් අයවද දිරිගැන්වීමේ අරමුණින්, සෑම රැස්වීමකදීම එක්කෙනෙකු හෝ දෙදෙනෙකු සමඟ කතා බහ කොට, ඔවුන් රැස්වීමට පැමිණසිටීමත්, සභාවේ අභිවෘද්ධියට ඔවුන්ගේ දායකත්වයේ වැදගත්කමත් අප අගය කරන්නේ මන්ද කියා දැනගැනීමට සලස්වන්ට අපට පුළුවන්ද? මෙලෙස පීඩාකාරි වූ ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!—ගලාති 6:2.
ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙමින් පවතී!
17. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ඔබේ සභාව තුළ ක්‍රියාත්මක වන අන්දම ඔබ දකින විවිධ ආකාරයන් මොනවාද?
17 ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාත්මක වෙමින් පවතී. සෙසු සාක්ෂිකරුවන් ශුභාරංචිය ගැන අනුන්ට කියන විට, ඔවුන් එකිනෙකාව දිරිගන්වන විට, ඉතා අමාරු ගැටලු මධ්‍යයෙහි යෙහෝවඃවහන්සේට සේවය කිරීමට ඔවුන් පොරබදින විට, යෙහෝවඃවහන්සේට ප්‍රීතිමත් හෘදවලින් ප්‍රේම කිරීමේ අරමුණෙන් තම දරුවන්ව ඇති දැඩි කිරීමට දෙමාපියන් වෑයම් කරන විට හා යෙහෝවඃවහන්සේට සදහටම සේවය කිරීම සඳහා දැවෙන ජ්වලිතයක් රැළ තුළ දල්වමින්, අවේක්ෂකයන් දේවවචනය ප්‍රේමයෙන් හා උණුසුම්භාවයෙන් උගන්වන විට, අපට මෙය දෛනිකව දැකගත හැක. (මතෙව් 28:19, 20; 1 තෙසලෝනික 5:11, 14) පුද්ගලයන් වශයෙන් අප ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අපේම ජීවිතයන්හි ක්‍රියාත්මක වීමට සලස්වන විට, යෙහෝවඃවහන්සේගේ හෘදය කෙතරම් ප්‍රීති සන්තෝෂ වනවාද! (හිතෝපදේශ 23:15) උන්වහන්සේගේ අංග සම්පූර්ණ ව්‍යවස්ථාවට ප්‍රේම කරන සියලුදෙනාම සදාකල් ජීවත්වනවා දැකීම උන්වහන්සේගේ අභිප්‍රායයි. මතු පැමිණෙන පාරාදීසයෙහි, මනුෂ්‍යවර්ගයා පරිපූර්ණව සිටින කාලයක්, නීතිය උල්ලංගනය කරන අය නොසිටින කාලයක් හා අපේ හදවත්වල සෑම නැඹුරුවාවක්ම පාලනය කළ හැකි කාලයක් අප දකිනු ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත්වීම වෙනුවෙන් එය මොනතරම් ශ්‍රේෂ්ඨ විපාකයක් වනු ඇද්ද!
[පාදසටහන]
a එවැනි නිවෙස් ක්‍රිස්තියානි ලෝකයේ පූජකාරාමවලට සමාන නොවේ. ඒ අර්ථයෙන් ගත් කල, “ඇබට්වරුන්” හෝ ‘පියවරුන්’ නැත. (මතෙව් 23:9) වගකීම් උසුලන සහෝදරයන්ට ගෞරවය දෙන මුත්, සියලුම වැඩිමහල්ලන්ට මඟ පෙන්වීම සපයන ප්‍රතිපත්ති මගින් ඔවුන්ගේ සේවය මෙහෙයවනු ලැබේ.
ඔබේ අදහස කුමක්ද?
◻ ක්‍රිස්තියානි ලෝකයට ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ මූලික අභිප්‍රාය තේරී නැත්තේ මන්ද?
◻ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අපට පවුල තුළ අදාළ කළ හැක්කේ කෙසේද?
◻ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සභාවේදී අදාළ කිරීමට නම්, අප කුමකින් වැළකී සිටිය යුතුද, එසේම කුමක් කළ යුතුද?
◻ සභාව සමඟ කටයුතු කරද්දී, වැඩිමහල්ලන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු විය හැක්කේ කෙසේද?
[23වන පිටුවේ පින්තූරය]
ඔබේ දරුවාගේ ලොකුම අවශ්‍යතාව ප්‍රේමයයි
[24වන පිටුවේ පින්තූරය]
අපේ ප්‍රේමනීය වැඩිමහල්ලන්ගෙන් ලැබෙන්නේ මොනතරම් ප්‍රබෝධයක්ද!