බයිබල් පොත් අංකය 60—1 පේතෘස්
ලේඛකයා: පේතෘස්
ලියූ ස්ථානය: බබිලෝනිය
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු. 62-64 පමණ
මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ උත්කෘෂ්ටතාවන් සැම තැනකම ප්‍රකාශයට පත් කරමින් සිටි කාලයේදී, රාජ්‍ය වැඩය රෝම අධිරාජ්‍යය පුරා සමෘද්ධිමත්ව වැඩිවර්ධනය විය. කෙසේවෙතත්, මෙම ජ්වලිතවත් කණ්ඩායම ගැන ඇතැම් වරදවා වටහාගැනීම් ඉස්මතු විය. එක් දෙයක් නම්, ඔවුන්ගේ ආගම යෙරුසලමෙන් සහ යුදෙව්වන් අතරින් බිහි වූ බවය. එමෙන්ම, රෝම වහල්භාවය යටතේ කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වූ දේශපාලනික මත දරන යුදෙව් අන්තවාදීන් හා ප්‍රාදේශීය ආණ්ඩුකාරයන්ට නිතර ගැටලු ඇති කළ අය සමඟ සමහරු ඔවුන්ව සම්බන්ධ කර දැක්වූහ. එපමණක්ද නොව, ක්‍රිස්තියානීන් අධිරාජ්‍යයාට පූජා ඔප්පු කිරීම හා එදා පැවති මිථ්‍යා දෘෂ්ටික ආගමික උත්සවවලට හවුල් වීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුහු වෙනස් අය වූහ. ඔවුන්ට විරුද්ධව කතා කළ අතර, ඇදහිල්ල නිසා බොහෝ පීඩාවලට මුහුණ දෙන්න ඔවුන්ට සිදු විය. මෙය දේවානුභාවයෙන් බව අඟවමින් සුදුසුම කාලයේදී මෙන්ම දූරදර්ශී ලෙස පේතෘස් තම පළමු ලිපිය ඔවුන්ට ලිව්වේය. එමගින් පේතෘස් ස්ථිරව සිටීමට ක්‍රිස්තියානීන්ව දිරිගන්වමින්, ඒ කාලයේ සිටි අධිරාජ්‍යයා වූ නීරෝගේ පාලනය යටතේ තමන්ගේ හැසිරීම පවත්වාගත යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දුන්නේය. මෙම ලිපිය ලිවීමත් සමඟම වාගේ විනාශකාරි ලෙස හමා ආ පීඩා රැල්ල සලකා බැලීමෙන් පෙනී යන්නේ, මෙය ඉතාමත් කාලෝචිත ලිපියක් වූ බවය.
2 පේතෘස්ගේ කර්තෘත්වය ආරම්භක වදන්වලින් තහවුරු වේ. එපමණක්ද නොව, අයිරීනියස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්, ඔරිගන් හා ට’ටූලියන් යන සියලුදෙනාම ලේඛකයා වශයෙන් පේතෘස්ව නම් කරමින් මෙම ලිපියෙන් උපුටා දක්වති.a දේවානුභාවයෙන් ලියන ලද සියලුම ලිපිවල මෙන්ම පේතෘස්ගේ පළමු ලිපියෙහිද නිරවද්‍යතාව සහතික කර ඇත. සභා වැඩිමහල්ලන් මෙම ලිපියේ තොරතුරු නොපැකිලිව යොදාගත් බව යූසීබියස් අපට පවසයි. ඔහුගේ කාලයේදී (පො.යු. 260-342 පමණ) මෙම ලිපියේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් කිසිඳු ප්‍රශ්නයක් පැනනැඟී නොතිබිණ. දෙවන සියවසේ මුල්භාගයේ විසූ ඉග්නේෂස්, හ’මස් සහ බර්ණබස් යන අය එයට යොමු දක්වති.b පළමු පේතෘස් දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස් සමඟ සම්පූර්ණ එකඟතාවක් දක්වන අතර, කුඩා ආසියාවට අයත් ප්‍රදේශ වන “පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසිරගොස් විදේශීව සිටින්නාවූ” අය ලෙස වාසය කරමින් සිටි යුදෙව් හා යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට එය ප්‍රබල පණිවිඩයක් සපයයි.—1 පේතෘ. 1:1.
3 මෙම ලිපිය ලියනු ලැබුවේ කවදාද? මිථ්‍යා දෘෂ්ටිකයන් හෝ නොහැරුණු යුදෙව්වන් විසින් ඇති කරන ලද පීඩාවලට ක්‍රිස්තියානීන් මුහුණ දෙමින් සිටි බවත්, නීරෝ විසින් පො.යු. 64දී දියත් කරන ලද හිංසා පීඩා සිදු කිරීමේ ව්‍යාපාරය ඒ වන විටත් ආරම්භ වී නොතිබුණු බවත් මෙම ලිපියේ විලාසයෙන් ඇඟවෙයි. පේතෘස් මෙම ලිපිය ඊට ටිකකට කලින්, ඇතැම්විට පො.යු. 62 සහ 64 අතර කාලපරිච්ඡේදය තුළ ලියූ බව පෙනෙන්න තිබේ. මාර්ක් මේ කාලය වන විටත් පේතෘස් සමඟ සිටීම, එම නිගමනයට අනුබලයකි. පාවුල් මුල්වරට රෝමයේ සිරගතව සිටි කාලයේදී (පො.යු. 59-61 පමණ) මාර්ක් පාවුල් සමඟ සිටියත්, කුඩා ආසියාවට ගමන් කිරීමට නියමිතව සිටියේය. පාවුල්ගේ දෙවන සිරගත වීම සිදු වූ කාලයේදී (පො.යු. 65දී පමණ) නැවත වතාවක් රෝමයේදී පාවුල් හා එක්වීමට මාර්ක් සූදානමින් සිටියේය. (1 පේතෘ. 5:13; කොලො. 4:10; 2 තිමෝ. 4:11) මෙම කාල අන්තරය තුළ ඔහුට බබිලෝනියේ සිටි පේතෘස් සමඟ සිටින්න අවස්ථාවක් ලැබී තිබුණා විය හැක.
4 පළමු පේතෘස් ලියනු ලැබුවේ කොතැනක සිටද? මෙහි නිරවද්‍යතාව, පිළිගත් ග්රන්ථ සමූහයට අයත් වීම, කර්තෘත්වය හා ලියූ ආසන්න දිනය යනාදිය සම්බන්ධයෙන් බයිබල් ටීකාකරුවෝ එකඟ වූවත්, ලියූ ස්ථානය සම්බන්ධයෙන් වෙනස් මත දරති. පේතෘස්ම සපයන සාක්ෂියට අනුව, ඔහු මෙම ලිපිය ලියනු ලැබුවේ බබිලෝනියේ සිටි කාලයේදීය. (1 පේතෘ. 5:13) නමුත් ඇතැමුන් කියා සිටින්නේ ඔහු මෙය ලියනු ලැබුවේ රෝමයේ සිට කියාය. එමෙන්ම “බබිලෝනිය” යන නම රෝමයට කරන ව්‍යංග යොමු දැක්වීමක් කියාද ඔවුහු පවසති. කෙසේවෙතත් තිබෙන සාක්ෂි, එවන් මතයකට අනුබල නොදෙයි. බබිලෝනිය විශේෂාකාරයකින් රෝමයට යොමු දක්වන බවට බයිබලයෙහි කොතැනකවත් ඇඟවීමක් නොකරයි. පේතෘස් තම ලිපිය මගින් අමතනු ලැබුවේ, පොන්තස්, ගලාතිය, කප්පදොකිය, ආසියාව හා බිතිනිය යන සැබෑ ස්ථානවල විසූ අයට බැවින්, බබිලෝනිය ගැන කළ සඳහන් කිරීමේදීද ඔහු යොමු දැක්වූයේ එම නමින්ම යුත් සැබෑ ස්ථානයකටයයි සිතීම තර්කානුකූලය. (1:1) බබිලෝනියෙහි සිටීමට පේතෘස්ට හොඳ හේතු තිබිණ. ‘චර්මච්ඡේදිතයන් උදෙසා ශුභාරංචිය’ ඔහුට භාර දී තිබූ අතර, විශාල යුදෙව් ජන සමූහයක් බබිලෝනියේ වාසය කළහ. (ගලා. 2:7-9) බබිලෝනීය තල්මුඩය නිර්මාණය කිරීම ගැන සාකච්ඡා කරන විට, පොදු යුගයේ පැවති යුදෙව්වාදයට අයත් “බබිලෝනියේ උසස් ශාස්ත්රාලවලට” එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා යොමු දක්වයි.c
5 පේතෘස් රෝමයට ගිය බවට ඔහු විසින් ලියන ලද ලිපි දෙක ඇතුළුව දේවානුභාවය ලත් ශුද්ධ ලියවිලිවල කිසිම සඳහන් කිරීමක් නොමැත. තමා රෝමයේ සිටිය බව පාවුල් සඳහන් කළත්, පේතෘස් එහි සිටිය බවට ඔහු කිසිවිටකත් සඳහන් නොකරයි. පාවුල් රෝමවරුන්ට ලියන ලද ඔහුගේ ලිපියෙහි 35දෙනෙකුගේ නම් සඳහන් කරමින් 26දෙනෙකුට නමින්ම ශුභපැතුම් යැව්වත්, පේතෘස්ගේ නම සඳහන් කිරීමට ඔහු අසමත් වන්නේ මන්ද? මන්දයත් පේතෘස් ඒ කාලයේදී එහි නොසිටි බැවිනි. (රෝම 16:3-15) පේතෘස් තම පළමු ලිපිය ලියූ ස්ථානය වන “බබිලෝනිය” පැහැදිලිවම, මෙසපොතේමියාවේ යුප්රට්රීස් ගං ඉවුරු අසල පිහිටි සැබෑ බබිලෝනිය විය.
ප්‍රයෝජනවත් වීමට හේතු
11 පේතෘස්ගේ පළමු ලිපියෙහි අවේක්ෂකයන් සඳහා යහපත් අවවාද අඩංගු වේ. යොහන් 21:15-17හි සඳහන් යේසුගේ උපදේශය හා ක්‍රියා 20:25-35හි සඳහන් පාවුල්ගේ උපදේශයට අනුකූලව, එඬේරකම් කරන අවේක්ෂකයෙකුගේ වැඩය පරාර්ථකාමී ලෙසද, කැමැත්තෙන්ම මෙන්ම උනන්දුවෙන්ද කළ යුතු බව පේතෘස් නැවත වතාවක් පෙන්වා දෙයි. “ප්‍රධාන එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස්ට යටත්ව සේවය කරන අවේක්ෂකයා උපඑඬේරෙකි. එමෙන්ම ඔහු දෙවිගේ රැළ ගැන යේසුට ගණන් දිය යුතුය; ආදර්ශයක් වීමෙන් හා නිහතමානි වීමෙන් ඔහු දෙවි සන්තක දෙය රැකබලා ගත යුතුය.—5:2-4.
12 ක්‍රිස්තියානි යටත්කම හා සම්බන්ධ තවත් බොහෝ පැති පේතෘස්ගේ ලිපියෙහි සඳහන් වන අතර, විශිෂ්ට අවවාදද සපයයි. රජවරුන් හා ආණ්ඩුකාරයන් වැනි පාලකයන්ට නිසි යටත්කම පෙන්වීම ගැන උපදෙස් 1 පේතෘස් 2:13-17හි සඳහන් වේ. කෙසේවෙතත් මෙය දෙවිගේ දාසයන් වන ක්‍රිස්තියානීන් ස්වාමින් උදෙසා හා ‘දේවභය’ ඇතුව විදහාපෙන්වන සාපේක්ෂ යටත් වීමකි. තමන්ගේ ස්වාමිවරුන්ට යටත් වන ලෙසත්, ‘දෙවි කෙරෙහි වූ හෘදය සාක්ෂිය නිසා’ දුක් විඳින්න සිදු වේ නම්, එය විඳදරාගන්න ලෙසත් දාසයන්ට අනුශාසනා කරයි. නොඇදහිලිවන්ත අය ඇතුළු තම ස්වාමිපුරුෂයන්ට යටත් වීම සම්බන්ධයෙන් භාර්යාවන්ටද අනගි දැනමුතුකම් සපයා තිබේ. ඔවුන්ගේ පිරිසිදු, ගෞරවාන්විත හැසිරීම ‘දෙවි ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන’ බවත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ව සත්‍යය කෙරෙහි දිනාගන්න පවා හැකි බව මෙහි පැහැදිලි කරයි. තමා ගෙනහැර දක්වන කාරණය අවධාරණය කිරීමට පේතෘස් සාරා ආබ්‍රහම්ට ඇදහිලිවන්තව යටත් වීම යොදාගනියි. (1 පේතෘ. 2:17-20; 3:1-6; උත්. 18:12) ස්වාමිපුරුෂයන්ද “වඩා දුර්වල භාජන” කෙරෙහි නිසි සැලකිල්ල දක්වමින් තමන්ගේ මූලිකත්වය මෙහෙයවිය යුතුය. තවදුරටත් මේ මාතෘකාව ගැන කතා කරමින් පේතෘස් මෙසේ අනුශාසනා කරයි: “එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න.” අනතුරුව ඔහුගේ ලිපිය පුරා වැදගත් කොට දක්වන ක්‍රිස්තියානි ගුණාංගයක් වන මනසින් යටහත් වීම නැතහොත් නිහතමානිකම අවධාරණය කරයි.—1 පේතෘ. 3:7-9; 5:5-7; 2:21-25.
13 දරුණු හිංසා පීඩා යළි හිස ඔසවන්න පටන්ගත් කාලයේදී, පේතෘස් ශක්තිමත් කරන දිරිගැන්වීමක් ලබා දුන්නේය. අදදින එවන් පීඩාවලට මුහුණ දෙන සැමට ඔහුගේ ලිපියේ වටිනාකම ඇත්තෙන්ම කියා නිම කළ නොහැක. ඔහු යෙහෝවාගේ වදන් උපුටා දක්වමින් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි කෙරෙහි අවධානය යොමු කරවන අන්දම සැලකිල්ලට ගන්න: “මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුය.” (1 පේතෘ. 1:16; ලෙවී. 11:44) අනතුරුව, දේවානුභාවය ලත් ශුද්ධ ලියවිල්ලේ වෙනත් පොත්වලට කරන යොමු දැක්වීම් රාශියක් අඩංගු කොටසකදී, ක්‍රිස්තියානි සභාව ජීවමාන ගල්වලින් යුත් ආත්මික ගෘහයක් මෙන් අත්තිවාරම වන ක්‍රිස්තුස් මත ඉදි කෙරෙන ආකාරය ගැන ඔහු නැවතත් පැහැදිලි කරයි. එමෙන්ම කිනම් අරමුණක් ඇතුවද? පේතෘස් මෙසේ උත්තර සපයයි: “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් [තැනැත්තාගේ] උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද [පූජකතන්ත්රයක්ද, NW] ශුද්ධවූ ජාතියක්ද [දෙවි] සන්තක සෙනගක්ද වන්නහුය.” (1 පේතෘ. 2:4-10; යෙසා. 28:16; ගීතා. 118:22; යෙසා. 8:14; නික්. 19:5, 6; යෙසා. 43:21; හොෂෙ. 1:10; 2:23) රාජ්‍ය පොරොන්දුව ගැන පේතෘස් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ, දෙවිගේ මුළු ශුද්ධ ජාතියෙන් සමන්විත පොදු පූජකතන්ත්‍රය වන ‘රාජකීය පූජකතන්ත්රයටයි.’ එම රාජ්‍ය පොරොන්දුව “ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක්,” “තේජසේ නොමැළවෙන්නාවූ [පහනොවන්නාවූ, NW] ඔටුන්න,” මෙන්ම ‘ක්‍රිස්තුස් තුළ සදාකාල තේජස’ හා සම්බන්ධව පවතී. මෙලෙස, “[ක්‍රිස්තුස්ගේ] තේජසේ එළිදරව්වීමේදීත් . . . ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන” පිණිස ඔවුන්ව ඉමහත් සේ දිරිගන්වනු ලැබේ.—1 පේතෘ. 1:4; 5:4, 10; 4:13.
[පාදසටහන්වල]
a වර්ෂ 1981දී යළි මුද්‍රණය කළ ම’ක්ලින්ටොක්ගේ සහ ස්ට්රොන්ගේ සයික්ලොපීඩියා, VIII කාණ්., 15වන පිටුව.
b ජේ. ඩී. ඩග්ලස් විසින් රචිත නව බයිබල් ශබ්දකෝෂය (ඉංග්‍රීසියෙන්), දෙවන සංස්කරණය, 1986, 918වන පිටුව.
c යෙරුසලම, 1971, 15 කාණ්., 755වන තීරුව.