දේව සේවකයෝ—සංවිධානය වූ මෙන්ම සන්තෝෂවත් සෙනඟකි
යෙහෝවඃවහන්සේ තම දෙවියන්වහන්සේ කොට ගත් සෙනඟ සන්තෝෂවත්ය.”—ගීතාවලිය 144:15, NW.
1, 2. (අ) ස්වකීය සේවකයන්ට ප්‍රමිති තැබීමට යෙහෝවඃවහන්සේට අයිතියක් ඇත්තේ මන්ද? (ආ) අපට විශේෂාකාරයෙන් අනුකරණය කිරීමට අවශ්‍ය විය යුත්තේ යෙහෝවඃවහන්සේගේ කුමන අංග ලක්ෂණ දෙකද?
යෙහෝවඃවහන්සේ විශ්වනීය පරමාධිපතියාණෝ, සර්වබලධාරි දෙවියන්වහන්සේ, මැවුම්කරුවාණෝ වනසේක. (උත්පත්ති 1:1; ගීතාවලිය 100:3) එබැවින්, ස්වකීය සේවකයන්හට වඩාත්ම හොඳ දෙය දන්නාවූ උන්වහන්සේට, හැසිරීම පිළිබඳ ප්‍රමිති නියම කිරීමට අයිතියක් ඇත. (ගීතාවලිය 143:8) තවද උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රධාන ආදර්ශකයාණන් වන අතර ඔවුන් උන්වහන්සේගේ ගුණාංග අනුකරණය කළ යුතුය. “නුඹලා ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයල්ලා” යයි ප්‍රේරිතවරයෙක් ලිව්වේය.—එපීස 5:1.
2 අප අනුකරණය කළ යුතු දෙවියන්වහන්සේගේ අංග ලක්ෂණයක්, සංවිධානය කිරීම හා බැඳී පවතී. උන්වහන්සේ ‘වියවුල්කමේ දෙවිකෙනෙක්’ නොවනසේක. (1 කොරින්ති 14:33) දෙවියන්වහන්සේ මවා ඇති දෙය අප සැලකිල්ලෙන් නිරීක්ෂණය කරන විට, උන්වහන්සේ විශ්වයේ වඩාත්ම සංවිධානය වූ උත්තමයා බව නිගමනය කිරීමට අපට සිදුවේ. කෙසේවෙතත්, ස්වකීය සේවකයන් අනුකරණය කිරීමට උන්වහන්සේ විසින් අවශ්‍ය කරවන තවත් දේව ලක්ෂණයකි, උන්වහන්සේගේ සන්තෝෂවත්කම. ඒ මන්දයත්, උන්වහන්සේ “ශුභාන්විත [සන්තෝෂවත්, NW] දෙවියන්වහන්සේ” වන නිසාය. (1 තිමෝති 1:11) මෙසේ, උන්වහන්සේගේ සංවිධානාත්මක හැකියාව සන්තෝෂයත් සමඟ සමබරව පවතී. මෙහිදී එක් ලක්ෂණයකට හානියක් සිදුවන ලෙසින් තවෙකකට ප්රමුඛත්වයක් ලබා දී නැත.
3. සංවිධානය කිරීමට තිබෙන දෙවියන්වහන්සේගේ හැකියාව තරුවලින් හෙබි ආකාශය කෙසේ නිරූපනය කරයිද?
3 යෙහෝවඃවහන්සේ විශාලම සිට කුඩාම දෙය දක්වා සාදා ඇති සියල්ල, උන්වහන්සේ සංවිධානයේ දෙවිකෙනෙක් බවට සාක්ෂි දරයි. උදාහරණයක් හැටියට, දෘශ්‍යමාන විශ්වය සලකා බලන්න. එහි තාරකා බිලියන දහස් සංඛ්‍යාවක් ඇත. එහෙත් මේවා අක්‍රමවත් ලෙස විසුරුවා හැර නැත. “තාරකාවල සංවිධානයට රටාවක් තිබේ” යයි තාරකා භෞතික විද්‍යාඥ ජෝර්ජ් ග්‍රීන්ස්ටයින් නිරීක්ෂණය කරයි. ඒවා මන්දාකිණි හෙවත් තාරකා මණ්ඩල හැටියට හඳුන්වනු ලබන රාශීන්ට සංවිධානය වී ඇති අතර මින් සමහරක තරු බිලියන සිය ගණනක් ගැබ්ව ඇත. තවද ගණන් බලා ඇති ආකාරයට මන්දාකිණි සංඛ්‍යාව බිලියන ගණනකි! මෙම මන්දාකිණි තිබෙන්නේද සංවිධානයක් ඇතිවය, එනම් ඒවා යම් ප්‍රමාණයක් (කීපයක සිට දහස් ගණනක් දක්වා) මන්දාකිණි පොකුරු හැටියට ඒකරාශී වී ඇත. එමෙන්ම මන්දාකිණි පොකුරුද සුපිරි පොකුරු හැටියට හඳුන්වනු ලබන වඩාත් විශාල ඒකක බවට සංවිධානය වී ඇති බව කල්පනා කෙරේ.—ගීතාවලිය 19:1; යෙසායා 40:25, 26.
4, 5. පොළොව මත ජීවමාන දේවල් අතර සංවිධානාත්මකභාවය පිළිබඳ උදාහරණ ඉදිරිපත් කරන්න.
4 දෙවියන්වහන්සේගේ මනා සංවිධානය පෙනෙන ආකාශයේ පමණක් නොව ශතසහස්‍ර සංඛ්‍යාත වූ ජීවමාන දේවල් පවතින පොළොව මත සෑම තැනකද දැකිය හැක. මේ සියල්ල සම්බන්ධයෙන්, භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය තැන්පත්, පෝල් ඩේවීස් ලිව්වේ, නිරීක්ෂකයන් “භෞතික ලෝකයේ මහානුභාවසම්පන්න හා දුරවබෝධ සංවිධානය” මගින් “ගරුබියට” පත්ව ඇති බවය.—ගීතාවලිය 104:24.
5 ජීවමාන දේවල දක්නට ලැබෙන “දුරවබෝධ සංවිධානය” පිළිබඳ ආදර්ශයන් කීපයක් සලකා බලන්න. ස්නායු ශල්‍ය වෛද්‍ය ජෝසෆ් එවන්ස් මනුෂ්‍ය මොළය හා සුෂුම්නාව ගැන පැවසුවේ “එහි ඉතා ක්‍රමවත්භාවයක් පිළිබඳ සැබෑ තත්ත්වය බොහෝදුරට අදහා ගත නොහැකි තරම්ය” යනුවෙනි. අණ්වීක්ෂිය ජීව සෛලය පිළිබඳව බැක්ටීරියා විද්‍යාඥ, එච්. ජේ. ෂෝනසි පැවසුවේ මෙසේය: “ක්ෂුද්‍ර ජෛවවේදී ලෝකයේ සංකීර්ණත්වය හා අලංකාර රටාව කොතරම් පුදුමාකාර ලෙස නිර්මාණය වී තිබේද කියතොත්, එය දිව්‍යමය වශයෙන් නියම කරන ලද පද්ධතියක කොටසක් බව පෙනේ.” තවත් අණුක ජීව විද්‍යාඥ මයිකල් ඩෙන්ටන් සෛලයක් තුළ පවතින ප්රවේණි සංග්‍රහය (DNA) ගැන පැවසුවේ මෙසේය: “එය කොතරම් කාර්යක්ෂමද කියතොත් . . . මෙම ග්‍රහයා මත මෙතෙක් ජීවත් වී ඇති ජීවීන්ගේ සියලුම වර්ගවල මෝස්තරය නිශ්චිත වශයෙන් සඳහන් කරන්ට අවශ්‍ය වන්නාවූ . . . සියලුම තොරතුරු . . . තේ හැන්දක දැරිය හැකි අතර මෙතෙක් ලියන ලද සෑම පොතකම සියලු තොරතුරු සඳහාද එහි තවත් ඉඩ තිබෙනවා ඇත.”—ගීතාවලිය 139:16 බලන්න.
6, 7. ආත්ම මැවිලි තුළ දක්නට ලැබෙන්නේ කුමන සංවිධානයක්ද, එමෙන්ම තම මැවුම්කරුවාණන් සඳහා ඔවුහු කෙසේ ඇගයීම ප්‍රකාශ කරත්ද?
6 යෙහෝවඃවහන්සේ ස්වකීය ද්‍රව්‍යමය මැවිලි පමණක් නොව ස්වර්ගයෙහි සිටින ස්වකීය ආත්ම මැවිලිද සංවිධානය කරනසේක. සංඛ්‍යාත්මක වශයෙන් දේව දූතයන් ‘දසදහස්වර දසදහස් දෙනෙක් යෙහෝවඃවහන්සේ ඉදිරියේ සිටි’ බව දානියෙල් 7:10 අපට දන්වා සිටී. මෙහි බලගතු ආත්ම මැවිලි මිලියන සියයක් සිටින අතර, ඒ සෑම කෙනෙකුටම උචිත වැඩ කොටසක් පවරා ඇත! එවන් අතිවිශාල සංඛ්‍යාවන් සංවිධානය කිරීමට අවශ්‍ය කරවන දක්ෂතාව ගැන කල්පනා කිරීම අතිශයින් පුදුමසහගතය. යෝග්‍ය ලෙස, බයිබලය මෙසේ පවසයි: “උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] [දේවදූතමය] සේනා සියල්ලෙනි, එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.”—ගීතාවලිය 103:20, 21; එළිදරව් 5:11.
7 මැවුම්කරුවාණන්ගේ නිර්මාණයන් කොතරම් විශිෂ්ට ලෙස සංවිධානය කර තිබේද එමෙන්ම කාර්යක්ෂමව පවතීද! ස්වර්ගීය ස්ථානවල සිටින බලසම්පන්න ආත්ම මැවිලි ගෞරවාන්විත හා යටහත් පහත් ආකාරයකට මෙසේ පැවසීම පුදුමයක් නොවේ: “අපගේ ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්සේ, NW], අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.”—එළිදරව් 4:11.
8. යෙහෝවඃවහන්සේ පොළොව මත ස්වකීය සේවකයන්ව සංවිධානය කරන බව පෙන්වන්නේ කුමන උදාහරණද?
8 යෙහෝවඃවහන්සේ පොළොව මත සිටින ස්වකීය සේවකයන්වද සංවිධානය කරනසේක. පොදු යුගයට පෙර 2370 නෝවාගේ දවසේ උන්වහන්සේ ජලගැල්ම ගෙනාවිට, පවුල් සංවිධානයක් හැටියට නෝවා හා තවත් හත්දෙනෙක් ජලගැල්මෙන් බේරුණාහ. පොදු යුගයට පෙර 1513 නික්මයෑමේදී, යෙහෝවඃවහන්සේ මිලියන කීපයක් වූ ස්වකීය ජනතාව මිසරයේ වහල්භාවයෙන් පිටතට ගෙනා අතර ඔවුන්ගේ දෛනික වැඩකටයුතු හා නමස්කාරය සංවිධානය කර ගැනීමට විස්තරාත්මක නීති සංග්‍රහයක් ලබා දුන්සේක. තවද ඉන්පසු, පොරොන්දු දේශයේදී, ඔවුන්ගෙන් දස දහස් සංඛ්‍යාත අයව දේව මාළිගාවේ සුවිශේෂිත සේවාවන් සඳහා සංවිධානය කරනු ලැබීය. (1 ලේකම් 23:4, 5) පළමු ශතවර්ෂයේදී, ක්‍රිස්තියානි සභාවන් සංවිධානය කරනු ලැබුවේ දිව්‍ය මඟ පෙන්වීම යටතේය: “උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන්ද, NW] සමහරුන් ගුරුවරුන්ද කොටදුන්සේක. එසේ දුන්නේ . . . ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවයකිරීමේ වැඩය පිණිස[ය].”—එපීස 4:11-13.
නවීන-දින සේවකයෝද සංවිධානය වී සිටිති
9, 10. යෙහෝවඃවහන්සේ අපගේ කාලයේ ස්වකීය ජනතාව සංවිධානය කර ඇත්තේ කෙසේද?
9 යෙහෝවඃවහන්සේ ස්වකීය නවීන-දින සේවකයන් සංවිධානය කොට ඇත්තේ අදදින සඳහා ස්වකීය වැඩය බලපෑමෙන් යුක්තව කිරීමට හැකිවන පරිදිය—එනම් මෙම වර්තමාන අභක්තික දේවල පිළිවෙළ උන්වහන්සේ විසින් නිමාවකට ගෙනෙන්ට පෙර උන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයය. (මතෙව් 24:14) මෙම සමස්ත ලෝක ක්‍රියාවට අදාළ වන දෙයත්, ඊට මනා සංවිධානය කොතරම් වැදගත්ද යන්නත් සලකා බලන්න. බයිබලයේ සත්‍යතාවන් අන්‍යයන්ට ඉගැන්වීමට මිලියන සංඛ්‍යාත පුරුෂයෝ, ස්ත්‍රීහු හා දරුවෝ පුහුණු කරනු ලබති. මෙම පුහුණුවට උපකාර කරනු පිණිස, බයිබල් හා බයිබලය මත පදනම් ප්‍රකාශන විශාල ප්‍රමාණයක් මුද්‍රණය කරනු ලැබේ. ඇයි, මුරටැඹ සඟරාවේ සෑම කලාපයක්ම දැන් භාෂා 118කින් පිටපත් මිලියන 16කට වඩා වැඩි ප්‍රමාණයකුත් පිබිදෙව්! සඟරාව භාෂා 73කින් පිටපත් මිලියන 13ක් පමණ ප්‍රමාණයකුත් මුද්‍රණය කෙරේ. යෙහෝවඃවහන්සේගේ සේවකයන් සියලු දෙනාටම පාහේ එකම තොරතුරු එකම වේලාවට ලැබිය හැකි ලෙසින් බොහෝ දුරට මේ සියලුම කලාප සමගාමීව මුද්‍රණය කරනු ලැබේ.
10 මීට අමතරව, බයිබල් උපදෙස් ලැබීම සඳහා නිතිපතා එක්රැස්වීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සභාවන් 73,000කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය වී සිටී. (හෙබ්‍රෙව් 10:24, 25) සෑම වසරකම, විශාල රැස්වීම්—එනම්, චාරිකා එක්රැස්වීම් හා දිස්ත්‍රික් සමුළු—දහස් සංඛ්‍යාවක්ද පවත්වනු ලැබේ. අලුත් හෝ වැඩිදියුණු කළ රාජ්‍යය ශාලා, එක්රැස්වීමේ ශාලා, බෙතෙල් නිවාස, මෙන්ම බයිබල් ප්‍රකාශන මුද්‍රණය සඳහා පහසුකම් යනාදිය පිණිස විශාල පරිමාණයේ සමස්ත ලෝක ගොඩනැගීමේ කාර්යයක් සිදු වෙමින් පවතී. මිෂනාරිවරුන් සඳහා වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් මෙන්ම ලොවපුරා රටවල පවත්වනු ලබන පුරෝගාමි සේවා පාසැල යනාදි වශයෙන් බයිබල් ගුරුවරුන්ට උසස් පුහුණුවක් ලබා දීම සඳහා වෙන්වූ පාසැල් ඇත.
11. මනා ලෙස සංවිධානය වීම දැන් ඉගෙන ගැනීමෙන් ලැබෙන්ට යන අනාගතික ප්‍රයෝජන මොනවාද?
11 යෙහෝවඃවහන්සේ ‘ස්වකීය සේවය කරන දේවදූතයන්ගේ සහය ඇතිව’ පොළොව මත සිටින තමන්වහන්සේගේ සෙනඟ කොතරම් හොඳින් සංවිධානය කර තිබේද! (2 තිමෝති 4:5; හෙබ්‍රෙව් 1:13, 14; එළිදරව් 14:6) දැන් මනා සංවිධානයේ මාර්ගයන්හි ස්වකීය සේවකයන්ට උපදෙස් දීම මගින්, දෙවියන්වහන්සේ වෙනත් යමක්ද ඉටු කරමින් සිටිනසේක. තමන් මෙම දේවල පිළිවෙළේ නිමාව තුළින් ගැළවෙනවාත් සමඟම අලුත් ලෝකයේ ජීවිතය ආරම්භ කිරීමට ඔවුන් සංවිධානය වී සිටින පිණිස ස්වකීය සේවකයන්ව හොඳින් සූදානම් කරනු ලැබේ. එවිට, යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම යටතේ සංවිධානාත්මක ආකාරයකට, ඔවුන් සමස්ත ලෝක පාරාදීසය ගොඩනගන්ට පටන් ගන්නවා ඇත. එමෙන්ම ඔවුන් මරණයෙන් නැවත නැගිටුවනු ලබන බිලියන සංඛ්‍යාත අයට ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ සවිස්තරාත්මක අවශ්‍යතාවන් ඉගැන්වීමට හොඳින් සූදානම්ව සිටිනු ඇත.—යෙසායා 11:9; 54:13; ක්‍රියා 24:15; එළිදරව් 20:12, 13.
සංවිධානය වී එහෙත් සන්තෝෂයෙන්
12, 13. ස්වකීය සෙනඟ සතුටින් සිටීම යෙහෝවඃවහන්සේට අවශ්‍ය කරවන බව අපට කිව හැක්කේ මක්නිසාද?
12 යෙහෝවඃවහන්සේ අතිදක්ෂ වැඩකරුවෙකු මෙන්ම උත්කෘෂ්ට සංවිධායකයෙකු වුවත්, උන්වහන්සේ අනුකම්පා රහිත, දැඩි, හෝ යාන්ත්‍රික කෙනෙක් නොවනසේක. ඒ වෙනුවට උන්වහන්සේ වනාහි අපගේ සන්තෝෂය ගැන සැලකිල්ලක් දක්වන ඉතා උණුසුම්, සන්තෝෂවත් උත්තමයෙකි. “උන්වහන්සේ නුඹලා ගැන සලකන” සේකැයි 1 පේතෘස් 5:7 පවසයි. ස්වකීය සේවකයන් සන්තෝෂයෙන් සිටීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ සැලකිල්ල හා ආශාව උන්වහන්සේ මනුෂ්‍යයන් සඳහා කර තිබෙන දෙයින් අපට බලාගත හැකිය. උදාහරණයක් වශයෙන්, දෙවියන්වහන්සේ පරිපූර්ණ මිනිසා සහ ස්ත්‍රිය මැවූ අවස්ථාවේදී, උන්වහන්සේ ඔවුන්ව තැබුවේ ආස්වාදයේ පාරාදීසයකය. (උත්පත්ති 1:26-31; 2:8, 9) තමන්ව උපරිම ආකාරයෙන් සන්තෝෂවත් තත්ත්වයකට පත් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය කරන සෑම දෙයක්ම උන්වහන්සේ ඔවුන්ට දුන්සේක. එහෙත් ඔවුන් ඒ සියල්ලම නැති කර ගත්තේ කැරලි ගැසීම තුළින්ය. ඔවුන්ගේ පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් අපි අසම්පූර්ණත්වය හා මරණය උරුම කර ගත්තෙමු.—රෝම 3:23; 5:12.
13 දැන් අසම්පූර්ණව සිටියත් දෙවියන්වහන්සේ සාදා ඇති දේවලින් මනුෂ්‍යයන් වන අපට තවදුරටත් සන්තෝෂය ලබා ගත හැකිය. අපට ප්‍රීතිය ගෙනෙන්නාවූ බොහෝ දේවල් ඇත—මේවා නම්, ප්රතාපවත් කඳු; අලංකාරවත් විල්, ගංගා, සාගර හා වෙරළවල්; වර්ණවත්, සුවදැති මල් මෙන්ම නිමාවක් නැති විවිධත්වයකින් යුත් වෙනත් වෘක්ෂලතාදිය; රසවත් ආහාරවල බහුලත්වයක්; නැරඹීමෙන් අප වෙහෙසට පත් නොවන මන බන්ධනීය ඉරු බැසයෑම්; රාත්‍රියේ එළිමහනේ අප සැලකිල්ලට භාජන කිරීමට සතුටු තරු ගහණ අහස; අතිවිශාල විවිධත්වයකින් යුත් සත්ත්ව මැවිල්ලත් සිත්ගන්නා පැටවුන්ගේ විහිළු ක්‍රියාත්; සිත් ප්‍රබෝධවත් කරවන සංගීතය; සිත් ගන්නා හා ප්‍රයෝජනවත් වැඩකටයුතු; හොඳ මිත්‍රයන් යනාදියයි. මෙයින් පැහැදිලි වන්නේ මෙවන් දේවල් සකස් කළ තැනැත්තා අන්‍යයන් සන්තෝෂවත් කිරීමෙහි යම් වින්දනයක් ලබන සන්තෝෂවත් කෙනෙකු බවය.
14. තමන්වහන්සේව අනුකරණය කිරීමෙහිලා යෙහෝවඃවහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ කුමන සමබරතාවක්ද?
14 මෙසේ බලන විට යෙහෝවඃවහන්සේට අවශ්‍ය කරවන්නේ හුදු සංවිධානාත්මක කාර්යක්ෂතාව නොවේ. තමන්වහන්සේ සන්තෝෂයෙන් සිටින්නාක් මෙන් සිය සේවකයන්ද සන්තෝෂයෙන් සිටීම උන්වහන්සේට අවශ්‍ය කරවයි. තමන්ගේ සන්තෝෂයට හානියක් සිදුවන ආකාරයට කාරණා උමතුවෙන් මෙන් සංවිධානය කිරීම උන්වහන්සේට අවශ්‍ය කරවන්නේ නැත. උන්වහන්සේ කරන ආකාරයට, දේව සේවකයන් සංවිධානාත්මක හැකියාව සන්තෝෂයෙන් සමතුලනය කර ගත යුතුය, මන්දයත් උන්වහන්සේගේ බලගතු ශුද්ධාත්මය පවතින තැන ප්‍රීතිය ඇත්තේය. ඇත්ත වශයෙන්ම, ගලාති 5:22 පෙන්වනුයේ ස්වකීය ජනතාව කෙරෙහි ක්‍රියාත්මක වන දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ දෙවන ඵලය “ප්‍රීතිය” බවය.
ප්‍රේමය සන්තෝෂය හටගන්වයි
15. අපගේ සන්තෝෂයට ප්‍රේමය මෙතරම් වැදගත් වන්නේ මන්ද?
15 “දෙවියන්වහන්සේ ප්‍රේමය” යයි බයිබලය පවසන බව සැලකිල්ලට ගැනීම බෙහෙවින් වටී. (1 යොහන් 4:8, 16) “දෙවියන්වහන්සේ සංවිධානය” යයි එය කිසිවිටෙකත් නොපවසයි. ප්‍රේමය දෙවියන්වහන්සේගේ ප්‍රධාන ගුණාංගය වන අතර එය ස්වකීය සේවකයන් විසින් අනුකරණය කළ යුතුය. ගලාති 5:22හි ලැයිස්තු ගත කර ඇති දෙවියන්වහන්සේගේ ආත්මයේ පළමු ඵලය “ප්‍රේමය” වන්නෙත්, “ප්‍රීතිය” ඉන් අනතුරුව දක්වා ඇත්තෙත් ඒ නිසාය. ප්‍රේමය ප්‍රීතිය හටගන්වයි. අන්‍යයන් සමඟ අපගේ කටයුතුවලදී අප යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය අනුකරණය කරන විට, ඒ සමඟ සන්තෝෂය ඇති වේ, මන්දයත් ප්‍රේමනීය ජනයා සන්තෝෂවත් ජන පිරිසක් වන නිසාය.
16. ප්‍රේමයේ වැදගත්කම යේසුස්වහන්සේ කෙසේ නිරූපනය කළසේක්ද?
16 දේව ප්‍රේමය අනුකරණය කිරීමේ වැදගත්කම යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වල විශිෂ්ට ලෙස කැපී පෙනෙන්ට සලස්වා ඇත. උන්වහන්සේ පැවසුවේ, “මාගේ පියාණන්වහන්සේ මට ඉගැන්වූ ලෙස මේ දේවල් කිය(මි)” යනුවෙනි. (යොහන් 8:28) පසුව යේසුස්වහන්සේ විසින් අන්‍යයන්ට උගන්වනු ලැබු කුමක් විශේෂයෙන්ම උන්වහන්සේට උගන්වනු ලැබීද? එම ශ්‍රේෂ්ඨතම ආඥා දෙක වනාහි දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම හා අසල්වැසියන්ට ප්‍රේම කිරීමය. (මතෙව් 22:36-39) යේසුස්වහන්සේ එවන් ප්‍රේමයක ආදර්ශයක් වශයෙන් කැපී පෙනී සිටිසේක. “මා පියාණන්වහන්සේට ප්‍රේමකර[ම්]” යයි උන්වහන්සේ වදාළ අතර මරණය දක්වා දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමෙන් එය සනාථ කළසේක. උන්වහන්සේ ජනයා සඳහා සිය ප්‍රේමය පෙන්වූයේ ඔවුන් වෙනුවෙන් මිය යෑමෙන්ය. ප්‍රේරිත පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන්ට කියා සිටියේ, ‘ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, නුඹලා වෙනුවට තමන්ම පාවාදුන්සේක’ යනුවෙනි. (යොහන් 14:31; එපීස 5:2) මෙසේ, යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට කියා සිටියේ: “මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්රේමකරපල්ලාය යනුය.”—යොහන් 15:12, 13.
17. ප්‍රේමය අන්‍යයන්ට ප්‍රකාශ කිරීම වැදගත් බව පාවුල් පෙන්වූයේ කෙසේද?
17 පාවුල් මෙසේ පැවසීමෙන් මෙම දේව ප්‍රේමය කොතරම් වැදගත්දැයි ප්‍රකාශ කළේය: “මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි. මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත. . . . දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.”—1 කොරින්ති 13:1-3, 13.
18. අපගේ සන්තෝෂයට තවත් දායකවන කුමක් අපට යෙහෝවඃවහන්සේගෙන් අපේක්ෂා කළ හැකිද?
18 අප යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය අනුකරණය කරන විට, අප වැරදි කරන විට පවා, අප කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි අපට විශ්වාසය තැබිය හැකිය, මන්දයත් උන්වහන්සේ වනාහි “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.” (නික්මයාම 34:6) අප වැරදි කළ විට අපි අවංකව පසුතැවිලි වන්නෙමු නම්, දෙවියන්වහන්සේ මේවා පිළිබඳව ගණන් තබා නොගන්නාමුත්, ප්‍රේමනීයව අපට සමාව දෙනසේක. (ගීතාවලිය 103:1-3) එසේය, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) මෙය දැන සිටීම අපගේ සන්තෝෂයට දායක වේ.
දැන් සාපේක්ෂිත සන්තෝෂයක්
19, 20. දැන් පූර්ණ සන්තෝෂයක් අත්කර ගත නොහැක්කේ මක්නිසාද? (ආ) මේ කාලයේ අපට සාපේක්ෂිත සන්තෝෂයක් ඇතිව සිටිය හැකි බව බයිබලය කෙසේ පෙන්වයිද?
19 කෙසේ නමුත්, අසනීප හා මරණය අපව පිරිවරා සිටින, සාතන් යටතෙහිවූ අපරාධ-පිරි, සාහසික, දුරාචාර ලෝකයේ මෙම අන්තිම දවස්වල අප ජීවත්ව සිටින බැවින්, අදදින සන්තෝෂයෙන් සිටීමට හැකියාවක් තිබේද? “බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්රීතිවෙයල්ලා” යනුවෙන් උන්වහන්සේගේ වචනය පුරෝකථනය කරන ආකාරයට, දෙවියන්වහන්සේගේ නව ලෝකයේ පවතින්ට යන සන්තෝෂයේ පරිමාණය, ඇත්ත වශයෙන්ම, අපට අපේක්ෂා කළ නොහැකිය.—යෙසායා 65:17, 18.
20 දේව සේවකයන්හට දැන් ලබා ගත හැකිව ඇත්තේ සාපේක්ෂිත සන්තෝෂයකි, මන්දයත් ඔවුන් උන්වහන්සේගේ කැමැත්ත දන්නා අතර උන්වහන්සේගේ පාරාදීසමය නව ලෝකයේ ඉක්මනින්ම ලැබෙන්ට යන ආශ්චර්යවත් ආශීර්වාදයන් පිළිබඳව ඒකාන්ත දැනුමක් ඔවුන්ට තිබෙන නිසාය. (යොහන් 17:3; එළිදරව් 21:4) බයිබලය මෙසේ පවසනුයේ එබැවිනි: [අහෝ, NW] “සේනාවල ස්වාමිනි [යෙහෝවඃවහන්ස, NW], ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත්ය, NW],” “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය [සන්තෝෂවත්හුය, NW],” “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය [සන්තෝෂවත්හුය, NW]; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.” (ගීතාවලිය 84:12; 128:1; මතෙව් 5:5) මෙසේ, අපට පොර බදින්ට සිදුවී ඇති වත්මන් දුෂ්කර තත්ත්වයන් තිබියදීත්, අපට යම් පරිමාණයක සන්තෝෂයක් ඇතිව සිටිය හැක. අපට අයහපත් දේවල් සිදුවන විට පවා, යෙහෝවඃවහන්සේව නොදන්නා මෙන්ම සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව නැති අය හා සමානව අපි ශෝකයට පත් නොවන්නෙමු.—1 තෙසලෝනික 4:13.
21. තමන්ව ඉදිරිපත් කිරීම යෙහෝවඃවහන්සේගේ සේවකයන්ගේ සන්තෝෂයට දායක වී ඇත්තේ කෙසේද?
21 යෙහෝවඃවහන්සේගේ සේවකයන් තමන්ගේ කාලය, ශක්තිය හා සම්පත් බයිබල් සත්‍යතාවන් අන්‍යයන්ට, විශේෂාකාරයෙන් සාතන්ගේ ලෝකයෙහි සිදු කරනු ලබන ‘සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන’ මනුෂ්‍යයන්ට ඉගැන්වීමෙහි වැය කරන බැවින්ද සන්තෝෂය පැමිණේ. (එසකියෙල් 9:4) බයිබලය මෙසේ පවසයි: “දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය [සන්තෝෂවත්ය, NW]. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඔහු මුදනසේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඔහු රක්ෂාකරනසේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් [සන්තෝෂ ලද්දෙක්, NW] වන්නේය.” (ගීතාවලිය 41:1, 2) යේසුස්වහන්සේ වදාළ ආකාරයට, “ගැනීමට වඩා දීම ආශීර්වාදය[කි] [සන්තෝෂයකි, NW].”—ක්‍රියා 20:35.
22. (අ) සන්තෝෂය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ සේවකයන් හා උන්වහන්සේට සේවය නොකරන්නන් අතර වෙනස සසඳන්න. (ආ) අප සන්තෝෂයෙන් සිටීමට අපේක්ෂා කළ යුත්තේ කිනම් විශේෂ හේතුව උදෙසාද?
22 මෙසේ දේව සේවකයන්හට උත්තරීතර සන්තෝෂයක් මෙම වත්මන් කාලයේ අපේක්ෂා කළ නොහැකි වුවත්, දෙවියන්වහන්සේට සේවය නොකරන්නන් විසින් භුක්ති නොවිඳින සන්තෝෂයක් ඔවුන්ට ලබාගත හැකිය. “මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ [හෘදයේ, NW] ප්‍රීතියෙන් [යහපත් ස්වභාවයෙන්, NW] ගීකියන කල්හි නුඹලා සිතේ [හෘදයේ, NW] වේදනාවෙන් කෑගසමින් ආත්මයේ පෙළීම නිසා කෑමොර ගසන්නහුය” යයි යෙහෝවඃවහන්සේ පවසනසේක. (යෙසායා 65:14) තවද, දෙවියන්වහන්සේට සේවය කරන්නන්ට දැන් සන්තෝෂයෙන් සිටීම සඳහා සුවිශේෂ හේතුවක් ඇත—“දෙවියන්වහන්සේ විසින් තමන්ට [පාලකයාණන් හැටියට, NW] කීකරුවෙන්නන්ට දුන්” ස්වකීය ශුද්ධාත්මය ඔවුන්ට ඇත. (ක්‍රියා 5:32) තවද, දෙවියන්වහන්සේගේ ආත්මය ඇති තැන, සන්තෝෂයද ඇති බව මතක තබා ගන්න.—ගලාති 5:22.
23. අපගේ මීළඟ පාඩමේදී අප කුමක් සලකා බලනවා ඇද්ද?
23 දෙවියන්වහන්සේගේ සංවිධානයේ අදදින, යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ සන්තෝෂයට දායක වෙමින්, සභාවන්හි පෙරමුණ ගන්නා අය, එනම් “වැඩිමහල්ලන්” විසින් වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලැබේ. (තීතස් 1:5) මේ අය තමන්ගේ වගකීම් දෙසත් තමන්ගේ ආත්මික සහෝදර සහෝදරියන් කෙරෙහි තමන්ගේ සම්බන්ධතාව දෙසත් බැලිය යුත්තේ කෙසේද? අපගේ මීළඟ ලිපිය මෙය සාකච්ඡා කරනවා ඇත.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ සංවිධානය වී සිටීම කෙරෙහි මැවිල්ල සාක්ෂි දරන්නේ කෙසේද?
◻ අතීතයේ හා වර්තමානයේ යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ව සංවිධානය කර ඇත්තේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ කුමන සමබරතාවක්ද?
◻ අපගේ සන්තෝෂය සඳහා ප්‍රේමය කොතරම් වැදගත් වන්නේද?
◻ අපගේ කාලයේ අපට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයේ සන්තෝෂයක්ද?
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Top: Courtesy of ROE/Anglo-Australian Observatory, photograph by David Malin