‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජූනි 3-9
දේවවචනය නිධානයක් | ගලාති 4-6
“’සංකේතවත් අර්ථයක්’ තියෙන සිද්ධියක් තේරුම්ගමු”
it-1-E 1018 2¶
හාගර්
හාගර් හා සම්බන්ධ සිද්ධීන්වලට සංකේතවත් අර්ථයක් තියෙනවා කියලා පාවුල් පැහැදිලි කළා. හාගර්ගෙන් නියෝජනය වුණේ සීනයි කන්දේදී යෙහෝවා දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගත්ත ඊශ්‍රායෙල් ජාතිය. ඒ ගිවිසුම යටතේ බිහි වුණු ‘දරුවෝ දාසයන්.’ මොකද පව්කාරකම උරුම කරගෙන හිටිය නිසා ඊශ්‍රායෙල්වරුන්ට බැරි වුණා ඒ ගිවිසුමට ඇතුළත් හැම දෙයක්ම ඉටු කරන්න. ඒකෙන් පැහැදිලි වුණා එයාලා පාපයේ ග්‍රහණයට අහු වෙලා හිටිය, මරණය ලබන්න වටින අය කියලා. (යොහ 8:34; රෝම 8:1-3) පාවුල්ගේ කාලය වෙද්දී හාගර්ගෙන් නියෝජනය වුණේ ඊශ්‍රායෙල්වරුන්ගේ අගනුවර වන යෙරුසලමයි. මොකද ඒ කාලය වෙද්දී යෙරුසලමෙන් නියෝජනය වුණු ඊශ්‍රායෙල් ජාතියත් ඒ ජාතියට බිහි වුණු දරුවනුත් දාසයන් කියලා හොඳටම පැහැදිලි වුණා. ඒත් යෙහෝවා දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළ ක්‍රිස්තියානීන්ව හැඳින්නුවේ දෙවියන්ගේ සංකේතවත් ස්ත්‍රිය වන ‘ඉහළ තියෙන යෙරුසලමේ’ දරුවන් විදිහටයි. ‘ඉහළ තියෙන යෙරුසලම’ කියන්නේ දෙවියන්ගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටසයි. ඒ සංකේතාත්මක ස්ත්‍රිය කවදාවත් දාසියක් වෙලා හිටියේ නැහැ. ඇය සාරා වගේ නිදහස් ස්ත්‍රියක්. ඇගේ දරුවන්වත් යේසුස් නිදහස් කරලයි තිබුණේ. ඉෂ්මායෙල් ඊසාක්ට හිංසා කළා වගේ ඊශ්‍රායෙල්වරුනුත් ‘ඉහළ තියෙන යෙරුසලමේ’ දරුවන්ට පීඩා කළා. ඒත් ආබ්‍රහම් හාගර්වයි, එයාගේ පුතාවයි එළවා දැමුවා වගේ යෙහෝවා දෙවියනුත් ඊශ්‍රායෙල්වරුන්ව ජාතියක් විදිහට ප්‍රතික්ෂේප කළා.—ගලා 4:21-31; යොහ 8:31-40ත් බලන්න.
ජූනි 10-16
දේවවචනය නිධානයක් | එෆීස 1-3
“යෙහෝවා දෙවියන් තම අරමුණ ඉටු කරන්න ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළක්”
it-2-E 837 4¶
පරිශුද්ධ රහස
ක්‍රිස්තුස්ගේ අතට භාර දෙන දේවරාජ්‍යය. ක්‍රිස්තුස් තුළ සැඟවිලා තිබුණු පරිශුද්ධ රහස ගැන පාවුල් තම ලිපිවල හොඳින් පැහැදිලි කළා. දෙවියන් “පරිශුද්ධ රහසක් වූ තම කැමැත්ත ගැන” අපව දැනුවත් කරලා තියෙනවා කියලා පාවුල් කිව්වා. ඒ ගැන පාවුල් විස්තර කළේ මෙහෙමයි. “ඒ පරිශුද්ධ රහස ඔහු කිරීමට සතුටු වන දේ හා ඔහු අරමුණු කරන දේට එකඟය. ඔහුගේ අරමුණ ඉටු වීම සඳහා ඔහු නියමිත කාල සීමාවක් පුරා දිව යන යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. එමගින් ස්වර්ගයෙහි හා පොළොවෙහි තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ එක්සත් කරනු ලැබේ. ඒ සියල්ල එක්සත් කරනු ලබන්නේ ක්‍රිස්තුස් යටතේය. එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.” (එෆී 1:9-11) ඒ ‘පරිශුද්ධ රහසෙන්’ කියවෙන්නේ ආණ්ඩුවක් ගැන. ඒ ආණ්ඩුව ක්‍රිස්තුස්ගේ අතට භාර දෙන දෙවියන්ගේ රාජ්‍යයයි. ‘ස්වර්ගයෙහි තිබෙන සියල්ල’ කියද්දී ඒකෙන් යොමු දක්වන්නේ ක්‍රිස්තුස් එක්ක එකට පාලනය කරන්න යන අයවයි. ‘පොළොවෙහි තිබෙන සියල්ල’ කියන්නේ ඒ රාජ්‍යයේ යටත්වැසියන් විදිහට මේ පොළොවේ ජීවත් වෙන්න යන අයයි. යේසුස් එක අවස්ථාවකදී ගෝලයන්ට කිව්වා ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ පරිශුද්ධ රහස තේරුම්ගන්න ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා’ කියලා. පරිශුද්ධ රහසෙන් කියවෙන්නේ දේවරාජ්‍යය ගැනයි කියලා ඒකෙනුත් පැහැදිලි වෙනවා.—මාක් 4:11.
ජූනි 17-23
දේවවචනය නිධානයක් | එෆීස 4-6
ගැඹුරින් හොයමු
it-1-E 1128 3¶
ශුද්ධකම
දෙවියන්ගේ බලය. යෙහෝවා දෙවියන් හැම වෙලේම තම බලය යොදාගන්නේ තම අරමුණ ඉටු කරන්නයි. කිසි පාලනයකින් තොරව ඔහු ඒ බලය පාවිච්චි කරන්නේ නැහැ. ඒ බලය ‘දෙවිගේ අතිශුද්ධ බලය’ විදිහට හඳුන්වලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා ඔහු හැම වෙලේම ඒ බලය යොදාගන්නේ පවිත්‍ර චේතනාවකින් වගේම යහපත් අරමුණක් වෙනුවෙනුයි කියලා. (ගීතා 51:11; ලූක් 11:13; රෝම 1:4; එෆී 1:13) දෙවියන්ගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී එයාගේ සිතුවිලිත් හැසිරීමත් පවිත්‍රයි. ඒ කියන්නේ ශුද්ධයි. ඒත් කෙනෙක් පුරුද්දක් විදිහට දෙවියන් අකමැති, අපවිත්‍ර දෙයක් කරනවා නම් එයා දෙවියන්ගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ‘දෙවිට දුක් දෙනවා.’ (එෆී 4:30) ඒ වගේම කෙනෙක් දිගින් දිගටම දෙවියන් අකමැති දෙයක් කළොත් එයා තුළ “දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට තිබෙන ප්‍රස්තාවට බාධා” ඇති වෙන්න පුළුවන්. (1තෙස 5:19) ඒ කෙනා මුරණ්ඩු විදිහට දිගටම දෙවියන්ගේ බලයට විරුද්ධව වැඩ කළොත් දෙවියන් දුකට පත් වෙලා ඒ කෙනාව ඔහුගේ සතුරෙක් විදිහට සලකන්නත් ඉඩ තියෙනවා. (යෙසා 63:10) දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් ඒකට විරුද්ධව අපහාස කරන්න පවා ඒ කෙනා පෙලඹෙන්න පුළුවන්. යේසුස් කිව්වා දෙවියන්ගේ බලයට අපහාස කරන කෙනෙක්ට නම් මේ කාලයේදීවත් පැමිණෙන්න තිබෙන කාලයේදීවත් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ කියලා.—මතෙ 12:31, 32; මාක් 3:28-30.
it-1-E 1006 2¶
කෑදරකම
ක්‍රියාවෙන් පැහැදිලි වෙනවා. කෙනෙක්ගේ හිතේ යම් වැරදි දේකට කෑදරකමක් තියෙනවා නම් කොයි වෙලාවක හරි එයා කටයුතු කරන විදිහෙන් ඒක පැහැදිලි වෙනවා. යාකොබ් කියනවා කෙනෙක් තමන් තුළ ඇති වෙන වැරදි ආශාවක් පාලනය කරගත්තේ නැත්නම් ඒ කෙනා පව් කරන්න පෙලඹෙනවා කියලා. (යාකො 1:14, 15) කෑදරකමින් කටයුතු කරන කෙනෙක් රූප වඳින කෙනෙකුට සමානයි කියලා පාවුල් කියනවා. (එෆී 5:5) මොකද ඒ වගේ කෙනෙක් මුල් තැන දෙන්නේ හැම දේකම නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ටවත් ඔහුට කරන සේවයටවත් නෙවෙයි, තමන්ගේ නුසුදුසු ආශාවන් ඉටු කරගන්න එකටයි. එහෙම බලද්දී ඒ වගේ කෙනෙක් තමන් ආශා කරන දේ තමයි තමන්ගේ දෙවියන් විදිහට සලකන්නේ.—රෝම 1:24, 25.
ජූනි 24-30
දේවවචනය නිධානයක් | ෆිලිප්පි 1-4
ගැඹුරින් හොයමු
it-2-E 528 5¶
පූජා
පාන පූජා. අනිත් පූජා ඔප්පු කරන ගමන් තමයි පාන පූජාත් ඔප්පු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පාන පූජා ඔප්පු කරලා තියෙන්නේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයේ පදිංචි වුණාට පස්සෙයි. (ගණන් 15:2, 5, 8-10) පාන පූජාවට ඔප්පු කළේ වයින් (“මත්පැන්”). ඒක පූජාසනය මත වත් කළා. (ගණන් 28:7, 14; නික් 30:9; ගණන් 15:10 බලන්න.) ෆිලිප්පියේ හිටිය ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කිව්වා. “ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය. ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි.” ඒ අවස්ථාවේදී පාවුල් පාන පූජාවක් කියන යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ සංකේතාත්මක අර්ථයකින්. එයා ඒ දේ කිව්වේ සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් වෙහෙස නොබලා සේවය කරන්න එයා කැමැත්තෙන් ඉන්නවා කියන එක පෙන්වලා දෙන්නයි. (ෆිලි 2:17) තමන්ගේ මරණයට ටික කාලෙකට කලින් පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. “මා වත් කරනු ලබන වයින් පූජාවක් හා සමානය. මා නිදහස ලබන මොහොතද ඉතා ආසන්නය.”—2තිමෝ 4:6.