ප්රඥාවන්තයන් මෙන් ගමන් කරන්න
1 යේසුස් තමාගේ අනුගාමිකයන් වෙන්න කියා ධීවරයන් හතරදෙනෙකුට පැවසූ විට ඔවුන් ප්රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන් තීරණයක් ගැනීම කල් නොදමා ‘එකෙණෙහිම ඔහු අනුව ගියා.’ (මතෙ. 4:18-22) තාර්සස්හි සාවුල් ක්රිස්තියානියෙකු වීමෙන් හා ඔහුගේ පෙනීම යළි ලැබීමෙන් පසු ‘නොපමාව යේසුස් ගැන සිනගෝගවල දේශනා කරන්න පටන්ගත්තා.’ (ක්රියා 9:20) ගෙවී යන කාලය ආපසු ලබාගන්න නොහැකි නිසා අපි කාලය පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් ‘ප්රඥාවන්තයන් මෙන් ගමන් කළ’ යුතුයි.—එෆී. 5:15, 16.
2 බලාපොරොත්තු නොවූ සිදුවීම්: යෙහෝවා දෙවිට සේවය කිරීමට අද උදාවන ප්රස්තාවන් අත්හැරියොත් නැවත එම ප්රස්තා උදා නොවෙන්න පුළුවන්. (යාකො. 4:14) ‘බලාපොරොත්තු නොවූ සිදුවීම්වලට’ මුහුණ දෙන්න අපිට සිදු වෙනවා. (දේශ. 9:11, NW) ඒ හැර, අපි දවසින් දවස මහලු වියට පා තබන අතර ඒ සමඟ පැමිණෙන ‘දුෂ්කර දවස්’ මඟහරින්නත් අපිට බැහැ. මේ නිසා කලින් වගේ දෙවිට සේවය කිරීමට නොහැකි වෙන්න පුළුවන්. (දේශ. 12:1, NW) මින් පෙනී යන්නේ දෙවිට කැපවීම ප්රමාද කිරීම හෝ වැඩිපුර සේවයක් කරන්න දැන් හැකියාව තිබියදී, එය කල් දැමීම නැණවත් දෙයක් නොවන බවයි. (ලූක් 9:59-62) ආබ්රහම් දෙවි කෙරෙහි මහත් භක්තියක් ඇතුව ජීවත් වූ නිසා ‘මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න’ ඔහුට හැකි වුණා. මේ නිසා ඔහු ඥාවන්ත ලෙස තම ජීවිතය ගත කළා කියා පැවසිය හැකියි.—උත්. 25:8.
3 “ඇත්තේ තව කෙටි කාලයකි”: ‘කාලය කෙටි’ නිසා ප්රඥාවන්ත ලෙස කාලය පාවිච්චි කිරීම වැදගත්. (1 කොරි. 7:29-31) පවතින සමාජ ක්රමය ළඟදීම පහවීමට නියමිතයි. “පොළොවේ අස්වැන්න” නෙළන මේ කාලයේ බැටළුගුණැති අයව එක්රැස් කිරීමේ කාර්යයේ හවුල්වීමට උදාවන ප්රස්තාවන්ද ළඟදීම අවසන් වෙයි. (එළි. 14:15) දේවසේවය සඳහා යෙදවිය හැකි කාලය සොරාගැනීමට ජීවිතයේ කරදරවලට හා සිත වෙනතකට යොමු කරන නොයෙක් දේවලට ඉඩ නොදීමට අප වගබලා ගත යුතුයි. (ලූක් 21:34, 35) ජීවිතය දෙස ආපසු හැරී බලද්දී අස්වැන්න නෙළීමේ කාර්යයේ හැකි උපරිමයෙන් හවුල් වුණා කියා පවසන්න අපට පුළුවන් නම් එදාට මොන තරම් තෘප්තියක් දැනේවිද!
4 විවිධ සේවා ප්රස්තාවන් උදා වන විට ඒවා අත් නොහරින්න අපි වගබලා ගත යුතුයි. “‘අද’ යයි කිව හැකි තාක් කල්” හැකි උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කිරීමට අදිටන් කරගනිමු. (හෙබ්රෙ. 3:13) එසේ අපි ප්රඥාවන්ත පුද්ගලයන් බව පෙන්වමු. ඊට හේතුව වන්නේ ‘දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින’ නිසයි.—1 යොහ. 2:17.