14වන පරිච්ඡේදය
ඔබ පිළිගත යුත්තේ කාගේ අධිකාරයද?
1, 2. අධිකාරයේ සෑම ස්වරූපයක්ම හානිකරද? පැහැදිලි කරන්න.
“අධිකාරයකට යටත් වනවා” කියද්දී එය වැඩිදෙනෙකු තුළ ඇති කරන්නේ අප්‍රියජනක හැඟීමකි. රැකියාවේදී, පවුල් කවය තුළ මෙන්ම ආණ්ඩුක්‍රම මගින් අධිකාරය නොහොත් බලය අයුතු ලෙස යොදාගැනෙන නිසා මෙවන් හැඟීමක් ඇතිවීම සාධාරණයි. ඒ ගැන බයිබලයේ මෙසේ යථාර්ථවාදීව පැවසේ: “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” ඇත. (දේශනාකාරයා 8:9) කෲර සේ පාලනය කර ඇති බොහෝදෙනෙක්, එය තම වාසියට යොදාගෙන ඇති අවස්ථාද එමටය.
2 නමුත් සෑම අධිකාරිත්වයක්ම හානිකර නොවේ. උදාහරණයක් හැටියට අපේ සිරුර අප කෙරෙහි අධිපතිකම් කරන බව කිව හැකියි. හුස්ම ගැනීමට, කෑමට, බීමට හා නිදාගැනීමට එය අපට “අණ” කරයි. මෙය පීඩාකාරි යමක්ද? නැත. මෙම ඉල්ලීම්වලට අවනත වීමෙන් අපට යහපතක් අත් වේ. අපේ ශාරීරික අවශ්‍යතාවලට යටත් වීම නිරායාසයෙන්ම සිදු වන්නක් වූවත්, අප කැමැත්තෙන්ම යටත් විය යුතු වෙනත් අධිකාරීයන්ද ඇත. දැන් උදාහරණ කිහිපයක් සලකා බලමු.
ඉහළම අධිකාරය
3. යෙහෝවාව “පරමාධිපති ස්වාමින්” හැටියට හැඳින්වීම උචිත වන්නේ ඇයි?
3 බයිබලය පුරා වාර තුන්සියයකටත් වැඩියෙන් යෙහෝවාව හඳුන්වා ඇත්තේ “පරමාධිපති ස්වාමින්” [NW] හැටියටයි. පූර්ණ අධිකාරියක් නොහොත් බලයක් හිමි පුද්ගලයෙකුව පරමාධිපතියෙක් ලෙස හඳුන්වයි. යෙහෝවාට මෙවන් පදවියක් හිමි කරගැනීමට ඇති අයිතිය කුමක්ද? එළිදරව් 4:11හි මෙසේ පිළිතුරු දේ: ‘අපගේ ස්වාමිනි, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවන ලද්දේය.’
4. යෙහෝවා තම අධිකාරය ක්‍රියාත්මක කිරීමට තෝරාගන්නේ කොහොමද?
4 අපේ මැවුම්කරු හැටියට, යෙහෝවාට තම අධිකාරය තමාට රිසි ලෙස හෙබවීමේ අයිතිය ඇත. දෙවිගේ “බලයේ මහත්කම” ගැන සිතද්දී මෙයින් යම් භීතියක් ඇතිවීම ස්වාභාවිකයි. ඔහුව හඳුන්වා ඇත්තේ ‘සර්වපරාක්‍රම වූ දෙවි’ හැටියටයි. තවද මෙම යෙදුමේ හෙබ්‍රෙව් අරුතින් අඟවන්නේ අසමසම ශක්තියකි. (යෙසායා 40:26; උත්පත්ති 17:1) නමුත් යෙහෝවාගේ ප්‍රධානතම ගුණාංගය ප්‍රේමය වන හෙයින්, ඔහු තම බලය යහපත් ආකාරයකින් විදහාපෙන්වයි—1 යොහන් 4:16.
5. යෙහෝවාගේ අධිකාරයට යටත් වීම අපහසු නොවන්නේ ඇයි?
5 පසුතැවිලි නොවන වරදකරුවන් පිට දඬුවම් පමුණුවන බවට යෙහෝවා අනතුරු අඟවා තිබුණත්, ‘[සැබෑ දෙවි වූ ඔහුට, NW] ප්‍රේමකරමින් ඔහුගේ ආඥා පවත්වන්නන් සමඟ . . . ගිවිසුම සහ කරුණාව පවත්වන්නාවූ විශ්වාසවන්ත දෙවිකෙනෙකු’ හැටියටයි මෝසෙස් ඔහුව මූලික වශයෙන් දැන සිටියේ. (ද්විතීය කථාව 7:9) මේ ගැන මඳකට සිතන්න! විශ්වයේ ඉහළම අධිකාරය හොබවන තැනැත්තා බලාත්කාරයෙන් අපේ සේවය නොඉල්ලයි. ඒ වෙනුවට, අප ඔහු වෙතට ඇදෙන්නේ ඔහුට ඇති ප්‍රේමය නිසයි. (රෝම 2:4; 5:8) යෙහෝවාගේ අධිකාරයට යටත් වීම ප්රියජනකයි. මන්දයත් ඔහුගේ නීතිවලින් අපට සැමවිටම පාහේ පරම යහපතක් අත් වන බැවිනි.—ගීතාවලිය 19:7, 8.
6. ඒදන් උයනේදී අධිකාරය පිළිබඳ වාද විෂය හටගත්තේ කොහොමද? කුමන ප්‍රතිඵලයක් ඇතුවද?
6 අපේ මුල් දෙමාපියන් දෙවිගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කරන්නට විය. ඔවුන්ට තනිවම හොඳ නරක තීරණය කිරීමටයි වුවමනා වූයේ. (උත්පත්ති 3:4-6) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ව පාරාදීස නිවසෙන් පිටමං කළේය. යෙහෝවා එතැන් සිට මිනිසුන්ට විවිධ අධිකාරිමය පාලන ක්‍රම පිහිටුවාගැනීමට අවසර ලබා දුණි. මෙමගින් අසම්පූර්ණ වුවත් නිසි පිළිවෙළකට සකස් වූ සමාජයක ජීවත් වීමට ඉඩ කඩ සැලසීය. මෙවන් අධිකාරිත්වයන් සමහරක් මොනවාද? එමෙන්ම ඒවාට කොතරම් දුරකට යටත් වෙන්න කියාද දෙවි අපිට කියන්නේ?
“උසස් බලධාරීන්”
7. “උසස් බලධාරීන්” කියන්නේ කාටද? ඔවුන්ගේ තත්වය දෙවිගේ අධිකාරයට සම්බන්ධ වන්නේ කොහොමද?
7 ප්‍රේරිත පාවුල් මෙසේ ලියන්නට විය: “හැමදෙනාම උසස් බලධාරීන්ට යටත් වෙත්වා. මක්නිසාද දෙවිගෙන් මිස කිසි බලතලයක් නැත්තේය [NW].” “උසස් බලධාරීන්” කියන්නේ කාටද? එයින් අදහස් වන්නේ මිනිස් ආණ්ඩුවල බලධාරීන් බව ඊළඟ පදවල පාවුල් පවසා ඇති දෙයින් අපට තේරුම්ගත හැකියි. (රෝම 13:1-7; තීතස් 3:1, 2ආ) යෙහෝවා මිනිස් ආණ්ඩුවල බලධාරීන්ව පත් කළ තැනැත්තා නොවූවත් ඒවා පැවතීමට ඔහු ඉඩ දී ඇත. එනිසා පාවුල්ට මෙසේ ලිවීමට හැකි විය: “ඇත්තාවූ බලතල දෙවි විසින් ඒවායේ සාපේක්ෂ තත්වයන්ට නියම කර තිබේ [NW].” භූමික බලතලයන් නොහොත් අධිකාරිත්වයන් ගැන මෙයින් අඟවන්නේ කුමක්ද? ඉන් අඟවන්නේ ඒවා දෙවිගේ අධිකාරයට නොහොත් බලයට වඩා පහත් බවයි. ඊට යටත් බවයි. (යොහන් 19:10, 11) එනිසා, මිනිසාගේ නීතිය දෙවිගේ නීතිය සමඟ ගැටෙන අවස්ථාවකදී, බයිබලයට අනුව පුහුණු කරන ලද තම හෘදය සාක්ෂියට එකඟව ක්‍රිස්තියානීන් ක්‍රියා කළ යුතුයි. ඔවුන් ‘මනුෂ්‍යයන්ට වඩා [පාලකයා වශයෙන්, NW] දෙවිට . . . කීකරු විය යුතුය.’—ක්‍රියා 5:29.
8. ඔබ උසස් බලධාරීන්ගෙන් ප්‍රයෝජන ලබන්නේ කොහොමද? ඔවුන්ට යටත්කම පෙන්විය හැක්කේ කොහොමද?
8 කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී ආණ්ඩුවල උසස් බලධාරීන් ‘අපේ යහපත පිණිස දෙවිගේ සේවකයා’ වශයෙන් ක්‍රියා කරයි. (රෝම 13:4) කිනම් ආකාරවලින්ද? උසස් බලධාරීන්ගෙන් ලැබෙන තැපැල් සේවය, පොලිස් මෙන්ම ගිනි නිවන හමුදා සේවය, සෞඛ්‍යාරක්ෂාව හා අධ්‍යාපනය වැනි විවිධාකාර වූ සේවාවන් ගැන කල්පනා කර බලන්න. “නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ [දෙවිගේ] සේවකයෝය” කියා පාවුල් ලීවේය. (රෝම 13:6) අයබදු ගෙවීම හෝ වෙනත් ඕනෑම නීතික වගකීමක් සම්බන්ධයෙන් අප “අවංකව හැසිරිය” යුතුයි.—හෙබ්‍රෙව් 13:18, NW.
9, 10. (අ) උසස් බලධාරීන් දෙවිගේ විධිවිධානයට ගැළපෙන්නේ කොහොමද? (ආ) උසස් බලධාරීන්ට විරුද්ධ වීම වැරදි වන්නේ ඇයි?
9 ඇතැම් අවස්ථාවන්හිදී, උසස් බලධාරීන් ඔවුන් සතු බලය අනිසි ලෙස යොදාගනී. මෙමගින් ඔවුන්ට යටත් වීමට වූ වගකීමෙන් අප නිදහස් වෙනවාද? එසේ සිදු නොවේ. මෙම උසස් බලධාරීන්ගේ අපරාධ යෙහෝවාගේ අවධානයට ලක් වේ. (හිතෝපදේශ 15:3) මිනිසාට පාලනය කිරීමට ඉඩ දීමෙන්, සිදු වන දූෂණයන් ඔහු ගණන් නොගෙන සිටින බවක් ඉන් අදහස් නොකරයි. තවද ඒවා අපේ අවධානයෙන් ගිලිහී යනවාටද ඔහු කැමති නැත. ඇත්තටම කියනවා නම්, දෙවි ළඟදීම “ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති” කොට, තම ධර්මිෂ්ඨ ආණ්ඩු පාලනය ඒ වෙනුවට පිහිටුවනු ඇත. (දානියෙල් 2:44, 45) නමුත් එසේ සිදු වන තෙක් උසස් බලධාරීන්ගෙන් වැදගත් කාර්යයක් ඉටු වේ.
10 පාවුල් මෙසේ පැහැදිලි කළේය: “බලධාරීන්ට විරුද්ධව සිටින්නා දෙවිගේ විධිවිධානයට විරුද්ධව සිටියි.” (රෝම 13:2, NW) උසස් බලධාරීන් යම් ආකාරයක පිළිවෙළක් රැකගැනීමට දායක වන හෙයින් ඔවුන් දෙවිගේ ‘විධිවිධානයේ’ කොටසක් වේ. මන්දයත් ඔවුන් නොමැතිව උද්ගත වන තත්වය වියවුල්, විප්ලවකාරි එකක් වන බැවිනි. ඔවුන්ට විරුද්ධ වීම ශුද්ධ ලියවිල්ලට පටහැනි දෙයක් වන අතර නිරර්ථකද වේ. එය මෙසේ නිදර්ශනය කරමු: ශල්‍යකර්මයකට අනතුරුව තුවාලයට මැහුම් දැම්මායයි සිතන්න. මැහුම් ශරීරයට අයිති දෙයක් නොවුවද කෙටි කාලයක් සඳහා ඉන් අරමුණක් ඉටු වේ. නියම කාලයට පෙර ඒවා ගැළවීම හානිදායක විය හැකියි. ඊට සමානව, මිනිස් ආණ්ඩුමය බලධාරීන් දෙවිගේ මුල් අරමුණේ කොටසක් වූයේ නැත. කෙසේවෙතත්, ඔහුගේ රාජ්‍යය පොළොව සම්පූර්ණයෙන්ම පාලනය කරන තුරු, මිනිස් ආණ්ඩු සමාජය බිඳවැටීමෙන් වළකාලයි. මෙසේ මේවා, වර්තමානයට ගැළපෙන, දෙවිගේ කැමැත්තට එකඟ වූ කාර්යයක් ඉටු කරයි. එනිසා අප දෙවිගේ නීතියට හා අධිකාරයට මුල් තැන දෙන අතරවාරයේ උසස් බලධාරීන්ට යටත් විය යුතුයි.
පවුල තුළ මූලිකත්වය
11. ඔබ මූලිකත්වයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?
11 පවුල මිනිස් සමාජයේ මූලික ඒකකයයි. එම ඒකකය තුළ ස්වාමිපුරුෂයෙකුට හා භාර්යාවකට ඵලදායී මිත්‍රත්වයක් ගොඩනඟා ගත හැකි අතර, ළමුන්ව ආරක්ෂා කරමින් වැඩිහිටිභාවය සඳහා ඔවුන්ව පුහුණු කළ හැකියි. (හිතෝපදේශ 5:15-21; එපීස 6:1-4) සාමයෙන් හා සමඟියෙන් කල් ගෙවීමට පවුලට හැකි වන පරිද්දෙන්, එවන් උතුම් විධිවිධානයක් සංවිධානය කළ යුතුයි. යෙහෝවා මෙය ඉටු කරන්නේ මූලිකත්වය නමැති ප්‍රතිපත්තිය යොදාගෙනයි. පළමුවන කොරින්ති 11:3හි සඳහන්ව ඇති මෙම වදන්වල එය කැටි කොට දක්වා ඇත: ‘එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස්ය, ස්ත්‍රියගේ හිස පුරුෂයාය, ක්‍රිස්තුස්ගේ හිස දෙවිය.’
12, 13. පවුලේ හිස කවුද? යේසුස් මූලිකත්වය ක්‍රියාත්මක කළ ආකාරයෙන් කුමක් උගත හැකිද?
12 පවුලේ හිස වන්නේ ස්වාමිපුරුෂයාය. කෙසේවෙතත්, ඔහුට ඉහළින් හිසක් එනම් යේසුස් ක්‍රිස්තුස් සිටී. පාවුල් ඒ ගැන මෙසේ ලිව්වේය: “පුරුෂයෙනි, [ක්‍රිස්තුස්] සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.” (එපීස 5:25) යේසුස් සැමවිටම සභාවට සලකා ඇති ආකාරයටම ස්වාමිපුරුෂයාත් තම භාර්යාවට සැලකිල්ල දක්වන විට ඔහු ක්‍රිස්තුස්ට සිය යටත්කම නිරූපණය කරයි. (1 යොහන් 2:6) යේසුස්ට මූලිකත්වය දැරීමට ඉමහත් අධිකාරයක් පැවරී තිබුණත් ඔහු එය විදහාපෙන්වන්නේ පුදුමාකාර වූ මුදුමොළොක්, ප්‍රේමනීය හා සාධාරණ හැඟීමකිනි. (මතෙව් 20:25-28) යේසුස් මිනිසෙකුව සිටියදී කිසිදාක එම අධිකාරය අනිසි ලෙස යොදාගත්තේ නැත. ඔහු “සිතින් මෘදුව යටත්ව” සිටි අතර, තම අනුගාමිකයන්ව ඇමතුවේ ‘දාසයන්’ හැටියට නොව ‘මිත්‍රයන්’ හැටියටයි. “මම නුඹලාට සහනය දෙමි” කියා ඔවුන්ට පොරොන්දු වූ ඔහු එසේම කළේය.—මතෙව් 11:28, 29; යොහන් 15:15.
13 ක්‍රිස්තියානි මූලිකත්වයෙන් කර්කශ ආධිපත්‍යයක් අදහස් නොවන බව යේසුස්ගේ ආදර්ශයෙන් ස්වාමිපුරුෂයන්ට උගත හැකියි. ඒ වෙනුවට එය ගෞරවයෙන් හා ආත්ම පරිත්‍යාගශීලී ප්‍රේමයෙන් යුත් තත්වයකි. කලත්‍රයෙකුට කායිකව හෝ වාචිකව පහර දීම නුසුදුසු බව අමුතුවෙන් කිව යුතු නැත. (එපීස 4:29, 31, 32; 5:28, 29; කොලොස්සි 3:19) ක්‍රිස්තියානි පුරුෂයෙක් තම භාර්යාවට මෙලෙස හිංසා පීඩා කරනවා නම්, ඔහු කරන අනිකුත් යහපත් ක්‍රියා නිරර්ථක වන අතර ඔහුගේ යාච්ඤාවලට බාධා පැමිණෙනු ඇත.—1 කොරින්ති 13:1-3; 1 පේතෘස් 3:7.
14, 15. ස්වාමිපුරුෂයාට යටත්ව සිටීම සඳහා දෙවි පිළිබඳ දැනුම භාර්යාවකට උපකාර වන්නේ කොහොමද?
14 ස්වාමිපුරුෂයෙක් ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුකරණය කරන විට, ඔහුගේ භාර්යාවට එපීස 5:22, 23හි වදන්වලට අනුකූල වීමට වඩාත් පහසු වේ. එහි මෙසේ පැවසේ: “භාර්යාවෙනි, [ස්වාමීන්ට] මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටින්න. මක්නිසාද [ක්‍රිස්තුස්] සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි.” ස්වාමිපුරුෂයෙක් ක්‍රිස්තුස්ට යටත් විය යුතු සේම, භාර්යාව තම ස්වාමිපුරුෂයාට යටත් විය යුතුයි. එමෙන්ම දක්ෂ භාර්යාවකගේ දේවප්‍රඥාව හා කඩිසරභාවය වෙනුවෙන් ඇයට ගෞරවයත් ප්‍රශංසාවත් හිමි විය යුතු බව බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කරයි.—හිතෝපදේශ 31:10-31.
15 ක්‍රිස්තියානි භාර්යාව තම ස්වාමිපුරුෂයාට දක්වන යටත්කම සාපේක්ෂ එකකි. මින් අදහස් වන්නේ, යම් කාරණයකට අවනත වීමේදී දිව්‍ය නීති උල්ලංගනය කිරීමක් අදහස් වේ නම්, මිනිසාට වඩා දෙවිට කීකරු විය යුතු බවයි. එවන් අවස්ථාවකදී පවා භාර්යාවකගේ නොසැලෙන ස්ථාවරය “මෘදුවූ නිශ්චලවූ ගතිය” සමඟ මුසුව තිබිය යුතුයි. දෙවි පිළිබඳ දැනුමෙන් ඇය වඩාත් හොඳ භාර්යාවක් වී ඇති බව පැහැදිලි විය යුතුයි. (1 පේතෘස් 3:1-4) ක්‍රිස්තියානි පුරුෂයෙකුගේ භාර්යාව නොඇදහිලිකාරියක් වන විටදීත් තත්වය එසේම වනු ඇත. බයිබලයේ ප්‍රතිපත්තිවලට අවනත වීමෙන් ඔහු වඩාත් හොඳ ස්වාමිපුරුෂයෙකු බවට පත් විය යුතුයි.
16. යේසුස්ගේ යොවුන් වියේ ආදර්ශය දරුවන්ට අනුකරණය කළ හැක්කේ කොහොමද?
16 එපීස 6:1හි දරුවන්ගේ කාර්යය මෙසේ දක්වා ඇත: “නුඹලාගේ දෙමවුපියන්ට [ස්වාමීන්] තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය [කිරීම ධර්මිෂ්ඨය, NW].” වැඩෙමින් සිටියදී තම දෙමාපියන්ට යටත් වූ යේසුස්ගේ ආදර්ශය ක්‍රිස්තියානි දරුවන් අනුගමනය කරයි. කීකරු දරුවෙක් වශයෙන්, ඔහු “ප්‍රඥාවෙන් හා උස මහතින්ද [දෙවිගෙත්] මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද [වැඩුණේය].”—ලූක් 2:51, 52.
17. දෙමාපියන් මූලිකත්වය ගෙන කටයුතු කරන ආකාරයෙන් දරුවන්ට ඇති විය හැකි බලපෑම කුමක්ද?
17 දෙමාපියන් තම වගකීම් හසුරුවන ආකාරය, තම දරුවන් අනාගතයේදී මූලිකත්වයට ගෞරව කරයිද නැත්නම් ඊට විරුද්ධව කැරලිගසයිද යන්න කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ඇත. (හිතෝපදේශ 22:6) එනිසා, දෙමාපියන් තමන්ගෙන් මෙවන් ප්‍රශ්න අසාගැනීම උචිතය: ‘මම මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ප්‍රේමනීය ආකාරයකටද නැත්නම් කර්කශ ආකාරයකටද? මම ඕනෑම දෙයක් කරන්න ඉඩ දෙනවාද?’ දේවභක්තික දෙමාපියෙක් ප්‍රේමනීය මෙන්ම සැලකිලිමත් කෙනෙකු වන අතරවාරයේම දේවප්‍රතිපත්තිවලට තදින් ඇලී සිටිය යුතුයි. යෝග්‍ය ලෙස පාවුල් මෙසේ ලීවේය: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප [පදගතාර්ථයෙන්ම, ‘ඔවුන්ව කෝපයට පත් කිරීම’] නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන්ද, NW] ඔවුන් ඇතිකරන්න.”—එපීස 6:4; කොලොස්සි 3:21.
18. දෙමාපියන් හික්මවීම ලබා දිය යුත්තේ කොහොමද?
18 දරුවන් තමන්ට කීකරු වී එනයින් තම සිත්වලට සතුටක් ගෙන දෙනවා දැකීමට දෙමාපියන් ආශා කරයි නම්, දෙමාපියන් තම පුහුණු කිරීමේ ක්‍රමවලට කිට්ටු අවධානයක් දිය යුතුයි. (හිතෝපදේශ 23:24, 25) හික්මවීම මූලික වශයෙන් උපදෙස් දීමේ ක්‍රමයක් ලෙස බයිබලයේ පෙන්වා ඇත. (හිතෝපදේශ 4:1; 8:33) එය බැඳී පවතින්නේ කෝපයවත් කුරිරුකමවත් සමඟ නොව, ප්‍රේමය හා මෘදුකම සමඟයි. එනිසා, ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ව හික්මවන විට, ඔවුන් ප්‍රඥාවෙන් හා සංයමයෙන් යුතුව ක්‍රියා කළ යුතුයි.—හිතෝපදේශ 1:7.
සභාව තුළ මූලිකත්වය
19. ක්‍රිස්තියානි සභාවේ වැඩකටයුතු පිළිවෙළකින් යුතුව කරගෙන යෑමට දෙවි සපයා ඇත්තේ කාවද?
19 යෙහෝවා පිළිවෙළකින් යුත් දෙවිකෙනෙකු නිසා, ඔහු තම සෙනඟට මූලිකත්වයකින් යුත් හොඳින් සංවිධානය වූ නායකත්වයක් සපයාවියයි සිතීම සාධාරණයි. ඊට එකඟව ඔහු ක්‍රිස්තියානි සභාවේ හිස වශයෙන් යේසුස්ව පත් කොට ඇත. (1 කොරින්ති 14:33, 40; එපීස 1:20-23) ක්‍රිස්තුස්ගේ අදෘශ්‍යමාන නායකත්වය යටතේ දෙවි යම් විධිවිධානයක් සකස් කොට ඇත. එම විධිවිධානය යටතේ එක් එක් සභාවලට පත් කර ඇති වැඩිමහල්ලන් සිටින අතර, ඔවුන් උනන්දුවෙන්, කැමැත්තෙන් මෙන්ම ප්‍රේමයෙන් රැළ රැකබලාගනී. (1 පේතෘස් 5:2, 3) උපස්ථායක සේවකයන් විවිධ ආකාරවලින් ඔවුන්ට සහය වෙමින් සභාවට අනගි සේවාවක් පිරිනමයි.—පිලිප්පි 1:1.
20. පත් කරන ලද ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට අප යටත් විය යුත්තේ ඇයි? මෙය ප්‍රයෝජනදායක වන්නේ ඇයි?
20 ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සම්බන්ධයෙන් පාවුල් ලිව්වේ මෙසේය: “නුඹලාගේ ප්‍රධානියෝ [නුඹලා අතරේ පෙරමුණ ගන්නන්, NW] ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න.” (හෙබ්‍රෙව් 13:17) සභා සාමාජිකයන්ගේ ආත්මික අවශ්‍යතා රැකබලා ගැනීමේ වගකීම දෙවි නැණවත් ලෙස ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට විශ්වාසයෙන් යුතුව භාර දී ඇත. මෙම වැඩිමහල්ලන් පූජක පන්තියක් නොවේ. ඔවුන් දෙවිගේ සේවකයන් හා දාසයන් වේ. අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මෙන් ඔවුන්ද තම සෙසු නමස්කාරකයන්ගේ අවශ්‍යතා රැකබලා ගනී. (යොහන් 10:14, 15) ශුද්ධ ලියවිලිමය සුදුසුකම් ඇති පුරුෂයන් අපේ ප්‍රගතිය හා ආත්මික දියුණුව ගැන උනන්දු වන හෙයින්, එය අපව දිරිගන්වන්නේ සහයෝගයෙන් මෙන්ම යටත්කමින් කටයුතු කිරීමටයි.—1 කොරින්ති 16:16.
21. පත් කරන ලද වැඩිමහල්ලන් සෙසු ක්‍රිස්තියානීන්ට ආත්මිකව උපකාර කිරීමට වෑයම් කරන්නේ කොහොමද?
21 ඇතැම් අවස්ථාවන්හිදී බැටළුවන් නොමඟ යා හැකියි. එසේත් නැතිනම් හානිකර ලෞකික දේවලින් අනතුරට ලක් විය හැකියි. නායක එඬේරාගේ නායකත්වය යටතේ උපඑඬේරුන් ලෙස කටයුතු කරන වැඩිමහල්ලන්, තම භාරයේ සිටින්නන්ගේ අවශ්‍යතා ගැන සාවධානයෙන් සිටින අතර, ඔවුන්ට යුහුසුලුව පෞද්ගලික අවධානය ලබා දේ. (1 පේතෘස් 5:4) ඔවුන් සභා සාමාජිකයන්ව බැහැදකිමින් ඔවුන්ව දිරිගන්වනසුලු වචනවලින් සනසයි. දෙවිගේ සෙනඟ අතරේ පවතින සාමය බිඳදැමීමට යක්ෂයා මාන බලන බව දන්නා වැඩිමහල්ලන්, ඕනෑම ගැටලුවක් සමඟ කටයුතු කිරීමේදී ඉහළින් පැමිණෙන ප්‍රඥාව විදහාපෙන්වයි. (යාකොබ් 3:17, 18) යේසුස් පවා යාච්ඤා කළ දෙයක් වන ඇදහිල්ලේ එක්සත්කම හා ඒකත්වය පවත්වාගැනීමට ඔවුන් දැඩි ප්රයත්නයක් දරයි.—යොහන් 17:20-22; 1 කොරින්ති 1:10.
22. වරදක් සිදු කර තිබෙන අවස්ථාවකදී වැඩිමහල්ලන් සපයන්නේ කෙබඳු උපකාරයක්ද?
22 ක්‍රිස්තියානියෙකු යම් කරදරයකට වැටී ඇත්නම් හෝ යම් පාපයක් කිරීම නිසා අධෛර්යයට පත් වී ඇත්නම් තත්වය කුමක්ද? සැනසීම ගෙන දෙන බයිබල් උපදෙස් මෙන්ම ඒ තැනැත්තා වෙනුවෙන් වැඩිමහල්ලන් කරන හෘදයාංගම යාච්ඤාද ඔහුව ආත්මික වශයෙන් යළි ගොඩනැංවීමට උපකාරි වේ. (යාකොබ් 5:13-15) වැරදි ක්‍රියාමාර්ගයක නොකඩවා යෙදෙන හෝ සභාවේ ආත්මික හා සදාචාරමය පිරිසිදුකමට තර්ජනයක් එල්ල කරන ඕනෑම කෙනෙකුව හික්මවීමටත්, තරවටු කිරීමටත් ශුද්ධාත්මයෙන් පත් කරන ලද මෙම පුරුෂයන්ට අධිකාරියක් නොහොත් බලයක් ඇත. (ක්‍රියා 20:28; තීතස් 1:9; 2:15) සභාවේ පිරිසිදුකම රැකගැනීම සඳහා, ඇතැම් අවස්ථාවලදී, බරපතළ වරදක් ගැන වාර්තා කිරීම අවශ්‍ය වනු ඇත. (ලෙවී කථාව 5:1) බරපතළ වරදක් කර තිබෙන ක්‍රිස්තියානියෙක් ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ හික්මවීම හා තරවටුව පිළිගනිමින්, තමා අව්‍යාජ ලෙස පසුතැවිලි වී ඇති බවට සාක්ෂි ඉදිරිපත් කෙරේ නම් ඔහුට උපකාර පිරිනමයි. නමුත් පසුතැවිලි නොවී දෙවිගේ නීතිය දිගටම උල්ලංගනය කරන අය සභා ඇසුරෙන් ඉවත් කරන බව නොකිවමනායි.—1 කොරින්ති 5:9-13.
23. සභාවේ යහපත පිණිස ක්‍රිස්තියානි අවේක්ෂකයන් ලබා දෙන්නේ කුමක්ද?
23 රජ වූ යේසුස් ක්‍රිස්තුස් යටතේ දෙවිගේ සෙනඟට සැනසීමත් ආරක්ෂාවත් ප්‍රබෝධයත් සැපයීම සඳහා ආත්මික මේරූ පුරුෂයන් පත් කරන බව බයිබලය පුරෝකථනය කළේය. (යෙසායා 32:1, 2) ආත්මික වර්ධනයට දිරි දීම සඳහා ඔවුන් එවැන්ජලිස්තවරුන්, එඬේරුන් හා ගුරුවරුන් වශයෙන් පෙරමුණ ගනු ඇත. (එපීස 4:11, 13, 16) ඇතැම් අවස්ථාවලදී ක්‍රිස්තියානි අවේක්ෂකයන් සෙසු ඇදහිලිවන්තයන්ට තරවටු කළත්, තදින් අවවාද කළත්, ඔවුන්ට අනුශාසනා කළත්, දේවවචනය මත පදනම් වූ වැඩිමහල්ලන්ගේ සුවදායක ඉගැන්වීම් අදාළ කරගැනීම, සියලුදෙනාටම ජීවනයට මඟ පෙන්වන මාර්ගයේ දිගටම රැඳී සිටීමට දායක වනු ඇත.—හිතෝපදේශ 3:11, 12; 6:24; තීතස් 2:1.
අධිකාරය පිළිබඳ යෙහෝවාගේ දෘෂ්ටිය පිළිගන්න
24. අපව දෛනිකව පරීක්ෂාවට ලක් වන වාද විෂය කුමක්ද?
24 අධිකාරයට යටත් වීමේ වාද විෂය සම්බන්ධයෙන් පළමු පුරුෂයා හා ස්ත්රියව පරීක්ෂා කරනු ලැබීය. අද අපත් එවැනිම පරීක්ෂණයකට දෛනිකව මුහුණ දීම පුදුමයට හේතුවක් නොවේ. සාතන් නමැති යක්ෂයා මනුෂ්‍යවර්ගයා අතරේ කැරලිකාරකමේ ස්වභාවයකට අනුබල දී ඇත. (එපීස 2:2) යටත් වීමට වඩා ස්වාධීනත්වය සිත් ඇදගන්නාසුලු උත්තරීතර යමක් සේ දිස්වීමට සලස්වා ඇත.
25. ලෝකයේ කැරලිකාර ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමෙත්, දෙවි ක්‍රියාවට නංවන හෝ අවසර දෙන අධිකාරයට යටත් වීමෙත් ඇති ප්‍රයෝජන මොනවාද?
25 කෙසේවෙතත්, අප ලෝකයේ කැරලිකාර ස්වභාවය ප්‍රතික්ෂේප කළ යුතුයි. එසේ කිරීමෙන්, දේවභක්තික යටත්කමෙන් අගනා ඵලවිපාක අත් වන බව අපට වැටහෙනු ඇත. උදාහරණයක් හැටියට ලෞකික බලධාරීන් සමඟ අනවශ්‍ය ලෙස ප්‍රශ්න ඇති කරගන්නන් පොදුවේ අද්දකින කනස්සල්ල හා කලකිරීමෙන් අප නිදහස් වේ. පවුල් බොහොමයක දක්නට තිබෙන ඝට්ටන අපි අඩු කරගන්නෙමු. එමෙන්ම අපේ සෙසු ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් සමඟ උණුසුම්, ප්‍රේමනීය ඇසුරක් භුක්ති විඳීමේ ප්‍රයෝජන අප නෙළාගනු ඇත. ඒ සියල්ලටත් වඩා අපේ දේවභක්තික යටත්කමේ ප්‍රතිඵලයක් හැටියට ඉහළම අධිකාරිය වන යෙහෝවා සමඟ යහපත් සබඳතාවක් අපට ඇති කරගත හැකියි.
ඔබේ දැනුම මැන බලන්න
යෙහෝවා තම අධිකාරය නොහොත් බලය ක්‍රියාවට නංවන්නේ කොහොමද?
“උසස් බලධාරීන්” කියන්නේ කාටද? අප ඔවුන්ට යටත්කම පෙන්වන්නේ කොහොමද?
මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය සෑම පවුල් සාමාජිකයෙක් පිටම තබන්නේ කුමන වගකීමක්ද?
ක්‍රිස්තියානි සභාව තුළ අපට යටත්කම පෙන්විය හැක්කේ කොහොමද?
[134වන පිටුවේ කොටුව]
යටත්ය, කඩාකප්පල්කාරි නොවේ
සැබෑ සාමය හා සුරක්ෂිතභාවය සඳහා මනුෂ්‍යවර්ගයාට ඇති එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ප්‍රසිද්ධ දේශනා කිරීමේ ක්‍රියාකාරකමෙන් පෙන්නුම් කරයි. නමුත් දේවරාජ්‍යයේ මෙම ජ්වලිත ප්‍රකාශකයන්, තමන් යටත්ව සිටින ආණ්ඩුවලට විරුද්ධව කොයි ආකාරයකින්වත් කඩාකප්පල්කාරි ලෙස කටයුතු නොකරයි. ඊට හාත්පසින්ම වෙනස්ව, ගෞරවාන්විතව හැසිරෙන, නීතිගරුක පුරවැසියන් හැටියට සාක්ෂිකරුවන්ව සැලකේ. “හැම ආගමික කණ්ඩායමක්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ කටයුතු කළා නම්, මිනීමැරුම්, සොරකම්, බාලාපචාරය, හිරගෙවල්, පරමාණු බෝම්බ තිබෙන එකක් නැහැ. ඒ වගේම රෑ දවල් දෙකේ දොරවල්වලට අගුල් දාන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ” කියා එක් අප්‍රිකානු රටක නිලධාරියෙක් පැවසීය.
රටවල් බොහොමයක නිලධාරීන් මෙය අවබෝධ කරගෙන, සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීමේ කර්තව්‍යය බාධාවකින් තොරව කරගෙන යෑමට අවසර දී ඇත. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමාජයට යහපතක් බව තේරුම්ගත් තවත් රටවල බලධාරීන් ඔවුන් මත පනවා තිබූ සීමා තහංචි අහෝසි කොට ඇත. උසස් බලධාරීන්ට කීකරු වීම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ලියූ දෙයට එය සමාන වේ: “යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ.”—රෝම 13:1, 3.