‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දීම’
දෙවියන්වහන්සේගේ වචනය වූ කලි සාර්ථක ජීවිතයක් සඳහා වටිනා ප්රතිපත්තිවල ගබඩාවකි. දේවසේවකයෙකුට ඉගැන්වීමට, තරවටු කිරීමට හා නිවැරදි කිරීමට එයට හැක. (2 තිමෝති 3:16) කෙසේවුවද, දිව්‍යමය ලෙස සැපයූ මඟ පෙන්වීමෙන් මුළුමනින්ම ප්‍රයෝජන ලැබීම සඳහා ප්‍රේරිත පාවුල් තිමෝතිට දුන් මෙම උපදෙස අප අනුගමනය කළ යුතුය: “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරපන්න.”—2 තිමෝති 2:15
දෙවියන්වහන්සේගේ වචනය, වෙනත් දේවල් අතුරින් පෝෂ්‍යදායී කිරි, ඝන ආහාර, නැවුම් මෙන්ම පවිත්‍ර වතුරටද, කැඩපතක් සහ තියුණු කඩුවකටද සමාන කර ඇත. යෙදුම්වලින් අඟවන ලද දේ තේරුම්ගැනීම, බයිබලය දක්ෂ ලෙස භාවිත කිරීමට දේවසේවකයෙකුට උපකාර කරයි.
දේවවචනයේ කිරි බෙදා දීම
අලුත උපන් බිළිඳුන්ට දෙන ආහාරය කිරිය. බිළිඳා වැඩෙන විට, ක්‍රමක්‍රමයෙන් ඔහුගේ ආහාර වේලට දැඩි ආහාර ඇතුළත් කරනු ලබන මුත්, මුලදී ඔහුට ජීරණය කළ හැක්කේ කිරි පමණකි. බොහෝ අංගවලදී, දේවවචනය පිළිබඳව ස්වල්පයක් දන්නා අය බිළින්දෝ මෙන් වෙති. පුද්ගලයෙකු දේවවචනය කෙරෙහි අලුත උනන්දුව දක්වමින් සිටියත්, නැතහොත් යම් කලක සිට එයට හුරු වී තිබුණත්, බයිබලය පවසන දේ පිළිබඳව ඔහුට තිබෙන්නේ මූලික ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් පමණක් නම්, ඔහු ආත්මික බිළිඳෙකු වන අතර පහසුවෙන් ජීරණය වන පෝෂ්‍යපදාර්ථ—එනම් ආත්මික “කිරි” අවශ්‍ය වේ. ඔහු තවමත් “දැඩි ආහාර,” එනම් දේවවචනයේ ගැඹුරු දේවල් ජීරණය කරගැනීමට නොහැකිව සිටියි.—හෙබ්‍රෙව් 5:12.
අලුතෙන් සෑදුණු කොරින්ති සභාවේ සිටි අයට පාවුල් ලියූ විට තිබුණේ මෙවැනි තත්වයකි: “මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණයකෙළෙමි; එසේ කළේ නුඹලා ඒවා දරන්ට බැරිව සිටි නිසාය.” (1 කොරින්ති 3:2) කොරින්තිවරුන් ප්‍රථමයෙන්ම “දෙවියන්වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම්” ඉගෙනගත යුතුව තිබිණ. (හෙබ්‍රෙව් 5:12) ඔවුන්ගේ වර්ධනයේ එම අවදියේදී, ඔවුන්ට “දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල්” ජීරණය කරගැනීමට නොහැකි විය.—1 කොරින්ති 2:10.
පාවුල් මෙන්, අදදින ක්‍රිස්තියානි දේවසේවකයන් ආත්මික බිළිඳුන් වෙත තම සැලකිල්ල දක්වන්නේ, “කිරි” දීමෙනි, එනම් මූලික ක්‍රිස්තියානි ධර්මයෙහි තිරසාර ලෙස පිහිටා සිටීමට ඔවුන්ට උපකාර කිරීම මගිනි. “[වචනයට අයත් වන, NW] ආත්මිකවූ අමිශ්රවූ කිරිව[ලට] . . . බොහෝ ආශා[වක් ඇති කරගන්න]” කියා ඔවුහු එවැනි අලුත් හෝ නොමේරූ අයට දිරිගන්වති. (1 පේතෘස් 2:3) නවකයන්ට අවශ්‍ය සුවිශේෂ අවධානය තමා තේරුම්ගත් බව ප්‍රේරිත පාවුල් පෙන්නුම් කළේ මෙසේ ලිවූ විටය: “කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති.” (හෙබ්‍රෙව් 5:13) දෙවියන්වහන්සේගේ සේවකයන් නිවාස බයිබල් පාඩම් මගින් සහ සභාවෙහිදී නවක මෙන්ම අද්දැකීම් නොලත් අය සමඟ දේවවචනයේ නිර්මල කිරි හවුලේ බෙදාගන්නා විට, ඔවුන් ඉවසීම, සැලකිලිමත් වීම, තේරුම්ගැනීම සහ මොළොක්ගුණය දැක්වීම අවශ්‍යය.
දේවවචනයේ දැඩි ආහාර පහදා දීම
ගැළවීම දක්වා වර්ධනය වීම සඳහා, ක්‍රිස්තියානියෙකුට “කිරිවලට,” වඩා වැඩි දෙයක් අවශ්‍යය. බයිබලයේ මූලික සත්‍යයන් පැහැදිලිවම අවබෝධ කරගත හැකි මෙන්ම පිළිගත හැකි වූ විට, ඔහු ‘මේරූ අයට සුදුසු දැඩි ආහාර’ ලැබීමට සූදානමින් සිටියි. (හෙබ්‍රෙව් 5:14) ඔහුට මෙය කළ හැක්කේ කෙසේද? ප්‍රධාන වශයෙන්ම, නිතිපතා ක්‍රමයකට අනුව පෞද්ගලික අධ්‍යයනය සහ ක්‍රිස්තියානි රැස්වීම්වලදී කරන ඇසුර මගින්ය. ක්‍රිස්තියානියෙකු ආත්මිකව ශක්තිමත්, මේරූ හා දේවසේවයේ බලපෑමෙන් යුක්ත වීමට සලස්වනු වස්, එවන් හොඳ පුරුදු උපකාරවත් වේ. (2 පේතෘස් 1:8) දැනගැන්මට අමතරව, යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට ආත්මික ආහාරද අඩංගු බව අප අමතක නොකළ යුතුය.—යොහන් 4:34.
අදදින, දෙවියන්වහන්සේගේ සේවකයන්ට නියම වේලාවට ආහාර සැපයීමට සහ “උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව” අවබෝධ කරගැනීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට “විශ්වාසවූ නුවණ ඇති දාස[යෙක්]” පත් කර ඇත. යෙහෝවඃවහන්සේ ස්වකීය ආත්මය මගින්, ගැඹුරු ශුද්ධ ලියවිලිමය සත්‍යයන් හෙළි කරනසේක, මෙසේ කරන්නේ විශ්වාසවන්තව ‘නියම වේලාවට ආත්මික ආහාර’ ප්‍රකාශයට පත් කරන ස්වකීය පක්ෂපාත දාසයා යොදාගනිමින්ය. (මතෙව් 24:45-47; එපීස 3:10, 11; සසඳන්න එළිදරව් 1:1, 2.) එවන් ප්‍රකාශිත සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමට සෑම ක්‍රිස්තියානියෙකුටම වගකීමක් තිබේ.—එළිදරව් 1:3.
සැබවින්ම, බයිබලයෙහි තිබෙන සමහර දේවල්, මේරූ ක්‍රිස්තියානීන්ට පවා “තේරුම්ගන්ට අමාරු[ය].” (2 පේතෘස් 3:16) වැඩි අධ්‍යයනයක් සහ මෙනෙහි කිරීමක් අවශ්‍ය වන, අවබෝධ කරගැනීමට අපහසු කියමන්, අනාවැකි සහ නිදසුන් තිබේ. මෙබැවින්, දේවවචනය ගැඹුරින් අධ්‍යයනය කිරීම පෞද්ගලික පාඩමට ඇතුළත්ය. (හිතෝපදේශ 1:5, 6; 2:1-5) වැඩිමහල්ලන් සභාවට උගන්වන විට විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වගකීමක් තිබේ. සභා පොත් පාඩම හෝ මුරටැඹ පාඩම පවත්වනවා වුවත්, ප්‍රසිද්ධ කථා දෙනවා වුවත්, නැතහොත් වෙනත් ඉගැන්වීමේ ක්ෂේත්රයක සේවය කරනවා වුවත්, වැඩිමහල්ලන්ට තමන්ගේ කරුණු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබිය යුතු අතර, සභාවට දැඩි ආත්මික ආහාර ඉදිරිපත් කරන විට, තම “ඉගැන්වීමේ කලාව” වෙත අවධානය දීමට සූදානම්ව සිටිය යුතුය.—2 තිමෝති 4:2, NW.
නැවුම්බවක් ගෙන දෙන, පවිත්‍ර කරන වතුර
ළිඳ ළඟදී යේසුස්වහන්සේ සමාරිය ස්ත්‍රියට පැවසුවේ, ඇය තුළ “සදාතන ජීවනය පිණිස . . . දිය උල්පතක්” බවට පත් වන යමක්, උන්වහන්සේ විසින් ඇයට දෙනු ලබන බවය. (යොහන් 4:13, 14, නව අනුවාදය; යොහ 17:3) මෙම ජීවන-දායක වතුරට දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් මගින් ජීවිතය ලැබීම සඳහා, දෙවියන්වහන්සේගේ සැපයුම් සියල්ලම ඇතුළත් වන අතර, බයිබලයෙහි මෙම සැපයුම් ගැන විස්තර කෙරේ. එම “වතුර” සඳහා පුද්ගලයන්ට පිපාසයක් තිබෙන්නාක් මෙන්, “ජීවන-වතුර නොමිලයේ ගනීවා” යනුවෙන් ආත්මය හා ක්‍රිස්තුස්වහන්සේගේ මණාලිය විසින් දෙනු ලැබූ ආරාධනය අපි පිළිගන්නෙමු. (එළිදරව් 22:17) මෙම වතුර බීමෙන් සදාජීවනය ලැබීම අදහස් විය හැක.
තවදුරටත්, සැබෑ ක්‍රිස්තියානීන් සඳහා බයිබලය සදාචාර හා ආත්මික ප්‍රමිති ස්ථාපිත කරයි. අප මෙම දිව්‍යමයව ස්ථාපිත ප්‍රමිති අදාළ කරගන්නා විට, අපි යෙහෝවඃවහන්සේගේ වචනය තුළින් පවිත්‍ර වන්නෙමු, යෙහෝවඃ දෙවියන්වහන්සේ පිළිකුල් කරන සියලු ක්‍රියාවල් සම්බන්ධයෙන් “සෝදනු” ලබන්නෙමු. (1 කොරින්ති 6:9-11) මේ හේතුව නිසා, ආනුභාව ලත් වචනයේ අඩංගු සත්‍යය ‘සේදීමේ වතුර’ ලෙස නම් කර තිබේ. (එපීස 5:27) අපව මෙයාකාරයෙන් පවිත්‍ර කිරීමට අප දෙවියන්වහන්සේගේ සත්‍යයට ඉඩ නොහළොත්, අපේ නමස්කාරය උන්වහන්සේට පිළිගත නොහැකි වනු ඇත.
‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දෙන’ වැඩිමහල්ලන්වද වතුරට සමාන කර තිබීම සිත්ගන්නා කරුණකි. ඔවුන් “වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්” යයි යෙසායා පවසයි. (යෙසායා 32:1, 2) වැඩිමහල්ලන් ආත්මික එඬේරුන් ලෙස තම සහෝදරයන්ව බැහැදැක, ගොඩනැංවීමට, සැනසුම ගෙන දීමට, එමෙන්ම ශක්තිමත් කරන හා ධෛර්යවත් කරන ආත්මික තොරතුරු දීමට, දෙවියන්වහන්සේගේ ප්‍රබෝධවත් වචනය භාවිත කරද්දී, ඔවුහු මෙම විස්තරයට අනුකූල වෙත්.—මතෙව් 11:28, 29, සසඳන්න.a
වැඩිමහල්ලන් බැහැදකින තෙක් සභා සාමාජිකයෝ ආශාවෙන් බලාසිටිත්. “වැඩිමහල්ලන්ට කෙතරම් සහනදායී බලපෑමක් විය හැකිදැයි මා දන්නා අතර, යෙහෝවඃවහන්සේ මෙම සැපයුම ලබා දී තිබීම ගැන මම ඉතා සතුටු වෙනවා” යයි බොනි ලියයි. තනි මවක් වන ලින්ඩා, මෙසේ ලියයි: “ශුද්ධ ලියවිලි තුළින් දිරිගන්වමින්, සාර්ථකව මුහුණ දීමට වැඩිමහල්ලන් මට උපකාර කළා. ඔවුන් සවන් දුන් අතර අනුකම්පාව දැක්වුවා.” මයිකල් මෙසේ පවසයි: “සැලකිල්ල දක්වන සංවිධානයක පංගුකාරයෙකු මෙන් හැඟීමට ඔවුන් මට සැලැස්සුවා.” “තදින් කලකිරී සිටි කාලපරිච්ඡේදවල එයින් ගොඩ ඒමට වැඩිමහල්ලන්ගේ බැහැදැකීම් මට උපකාර කළා,” යයි තවත් තැනැත්තියක් පවසයි. වැඩිමහල්ලෙකු විසින් කරනු ලබන ආත්මිකව නඟාසිටුවීමේ බැහැදැකීමක් සිසිල්, ප්රබෝධය ගෙනෙන පානයක් මෙනි. බැටළු ගුණැති අයට, සිය තත්වය සඳහා ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගන්නා ආකාරය තේරුම්ගැනීමට ප්‍රේමනීය වැඩිමහල්ලන් උපකාරය පිරිනමන විට, ඔවුහු සැනසීමක් ලබති.—රෝම 1:11, 12; යාකොබ් 5:14.
දේවවචනය කැඩපතක් මෙන් යොදාගන්න
පුද්ගලයෙකු දැඩි ආහාර ගන්නා විට, අරමුණ වන්නේ හුදෙක් රස භුක්තිවිඳීමම නොවේ. ඊට වඩා, ඔහුට ක්‍රියා කිරීමට හැකි කරවන පෝෂ්‍ය පදාර්ථ ගැනීමට ඔහු අපේක්ෂා කරයි. ඔහු ළමයෙකු නම්, වැඩිහිටියෙකු බවට පත්වීම සඳහා වර්ධනය වීමට තමාට ආහාර උපකාර කරයි කියා ඔහු අපේක්ෂා කරයි. ආත්මික ආහාර සම්බන්ධයෙන්ද එලෙසමයි. පෞද්ගලික බයිබල් අධ්‍යයනය ප්‍රීතිදායක විය හැකි නමුත්, එසේ කිරීමට එකම හේතුව එය නොවේ. ආත්මික ආහාර අපව වෙනස් කළ යුතුය. ආත්මයේ ඵල නිපදවීමට එය අපට උපකාර කරන අතර, “අලුත් මනුෂ්‍යයාව [අලුත් පෞද්ගලිකත්වය, NW] මැවූ තැනැන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයා [අලුත් පෞද්ගලිකත්වය, NW]” ඇති කරගැනීමට අපට උපකාර කරයි. (කොලොස්සි 3:10; ගලාති 5:22-24) අපේ ගැටලු සමඟ කටයුතු කිරීමටත්, අනුන්ට තම ගැටලු සමඟ කටයුතු කිරීමට උපකාර කිරීමටත් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමට අපව වඩාත් නිපුණ කරවමින්, මේරූභාවය කරා වර්ධනය වීමට ආත්මික ආහාර අපට උපකාර කරයි.
බයිබලය අප මත එවැනි බලපෑමක් ඇති කරනවාදැයි පැවසීමට අපට හැක්කේ කෙසේද? අපි කැඩපතක් මෙන් බයිබලය යොදාගන්නෙමු. යාකොබ් මෙසේ පැවසීය: “වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙයල්ලා. මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැතිකරයි. නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.”—යාකොබ් 1:22-25.
අප දේවවචනය හොඳින් පිරික්සා, අපේ පවතින තත්වය, දෙවියන්වහන්සේගේ ප්‍රමිති පරිදි අප සිටිය යුතු තත්වය සමඟ සසඳන විට, අපි එය ‘තුළට’ එබී බලන්නෙමු. මෙසේ කිරීමෙන් අපි “වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ” වන්නෙමු. බයිබලය අප මත කදිම බලපෑමක් ඇති කරනු ඇත.
දේවවචනය කඩුවක් මෙන්
අවසානයේදී, දේවවචනය කඩුවක් මෙන් යොදාගැනීමට අපට හැකි ආකාරය දැනගැනීමට ප්‍රේරිත පාවුල් අපට උපකාර කරයි. “අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත්” විරුද්ධව අපට අවවාද කරන විට, “දෙවියන්වහන්සේගේ වචනය නමැති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගනිල්ලා,” කියා ඔහු අපෙන් උදක්ම ඉල්ලා සිටියි. (එපීස 6:12, 17) “දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ” ඕනෑම අදහසක් ඉවත් කර දැමීමට අපට භාවිත කළ හැකි අත්‍යවශ්‍ය ආයුධයකි, දේවවචනය.—2 කොරින්ති 10:3-5
නිසැකවම, “දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12) යෙහෝවඃවහන්සේ ස්වකීය ආනුභාවය ලත් වචනයේ පිටු මගින් මිනිස්වර්ගයාට කතා කරනසේක. අන්‍යයන්ට ඉගැන්වීමේදී හා බොරු ධර්ම හෙළි කිරීමේදී එය හොඳින් භාවිත කරන්න. අන්‍යයන්ව දිරිගැන්වීමට, වර්ධනය කිරීමට, ප්‍රබෝධවත් කිරීමට, සැනසීමට, පෙලඹවීමට හා ආත්මිකව ශක්තිමත් කිරීමට ඉන් උපරිම ප්‍රයෝජන නෙළාගන්න. තවද ඔබ සැමවිටම ‘යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව’ තිබෙන දේ කිරීමට, “උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට” උන්වහන්සේ “නුඹලා සම්පූර්ණකරනසේක්වා.”—හෙබ්‍රෙව් 13:21.
[පාදසටහන]
a වර්ෂ 1993 සැප්තැම්බර් 15 මුරටැඹ පිටු 20-3හි, “ඔවුහු දයානුකම්පාවෙන් කුඩා බැටළුවන් ව රැකබලා ගනිත්” යන මැයෙන් වූ ලිපිය බලන්න.
[31වන පිටුවේ පින්තූරය]
‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දීමට’ වැඩිමහල්ලෝ අන්‍යයන්ව දිරිගන්වති