ක්‍රිස්තියානි යුගයෙහි දිව්‍යාණ්ඩු පරිපාලනය
“ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල [ක්‍රිස්තුස්] තුළ එක්රාශිකරන්ට, [තමන්] තුළ අදහස්කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට[ය].”—එපීස 1:9, 10.
1, 2. (අ) පොදු යුගයේ 33 පටන්, “ස්වර්ගයෙහි දේවල්” එක්රාශි කිරීම සිදු වුණේ කොහොමද? (ආ) වර්ෂ 1914 පටන් ආලේප ලත් ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ සහ එලියාගේ ආත්මය විදහාපෙන්වා තියෙන්නේ කොහොමද?
“ස්වර්ගයෙහි දේවල්” මෙලෙස එක්රාශි කිරීම ආරම්භ වුණේ, ‘දෙවිගේ ඉශ්රායෙල්’ බිහි වුණු පො.යු. 33දියි. (ගලාති 6:16; යෙසායා 43:10; 1 පේතෘස් 2:9, 10) පොදු යුගයේ පළමුවන සියවසෙන් පස්සේ, (“තිරිඟු” හැටියට යේසු හැඳින්වූ) අව්‍යාජ ක්‍රිස්තියානීන් අබිබවා, සාතන් වැපුරූ ඇදහිල්ල අත්හළ “කිරිඳි” වැඩෙද්දී, එක්රාශි කිරීම අඩාල වුණා. ඒත්, “අන්තිම කාලය” එළඹීමත් සමඟම, සැබෑ දෙවිගේ ඉශ්රායෙල් නැවතත් මනුෂ්‍යයන් අතරෙන් හිස එසවූ අතර, 1919දී යේසු සන්තක සියල්ල කෙරෙහි පත් කරනු ලැබුවා.a—මතෙව් 13:24-30, 36-43; 24:45-47; දානියෙල් 12:4.
2 පළමුවන ලෝක යුද්ධය අතරතුරේදී, ආලේප ලත් ක්‍රිස්තියානීන්, මෝසෙස් සහ එලියා කර තිබුණාක් මෙන්ම බලවත් ක්‍රියා සිදු කළා.b (එළිදරව් 11:5, 6) වර්ෂ 1919 පටන් ඔවුන් එදිරිවාදී ලොවක ශුභාරංචිය දේශනා කර තියෙන අතර, එහෙම කරලා තියෙන්නේ එලියාගේ එඩිතරකම ඇතුවයි. (මතෙව් 24:9-14) එමෙන්ම මෝසෙස් පුරාණ මිසරය පිටට දෙවිගේ වසංගත ගෙනාවාක් මෙන්, 1922 ඉඳන් ඔවුන් යෙහෝවාගේ විනිශ්චයන් මනුෂ්‍යවර්ගයාට ප්‍රකාශ කර තියෙනවා. (එළිදරව් 15:1; 16:2-17) මෙම ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස, අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නව ලෝක සමාජයේ න්‍යෂ්ටියයි.
පාලක මණ්ඩලයක් ක්‍රියාත්මක වෙමින්
3. මුල් ක්‍රිස්තියානි සභාව හොඳින් සංවිධානය වූ බව පෙන්නුම් කරන්නේ මොන සිද්ධීන්ද?
3 මුල ඉඳලම, යේසුගේ ආලේප ලත් අනුගාමිකයන් සංවිධානය වෙලා හිටියා. ගෝලයන්ගේ සංඛ්‍යාව ප්‍රගුණ වූවාත් සමඟම, ප්‍රාදේශීය සභා පිහිටුවා වැඩිමහල්ලන්ව පත් කරනු ලැබුවා. (තීතස් 1:5) පොදු යුගයේ 33න් පස්සේ, ප්‍රේරිතයන් 12දෙනා බලය ඇති මධ්‍යම පාලක මණ්ඩලයක් හැටියට ක්‍රියා කළා. එහෙම ක්‍රියා කරමින්, ඔවුන් සාක්ෂිදැරීමේ කාර්යයෙහි අභීතව පෙරමුණ ගත්තා. (ක්‍රියා 4:33, 35, 37; 5:18, 29) අගහිඟකම් ඇති අයට ආහාර බෙදාහැරීම ඔවුන් සංවිධානය කළ අතර, සමාරියේ තිබුණු උනන්දුව පිළිබඳ වාර්තා ගැන යමක් කිරීමේ අදහසින් ඔවුන් පේතෘස් සහ යොහන්ව යැව්වා. (ක්‍රියා 6:1-6; 8:6-8, 14-17) කලින් පීඩාකරන්නෙකු වූ පාවුල් දැන් යේසුගේ අනුගාමිකයෙක් බව සනාථ කරන්න, බාර්ණබස් ඔහුව ඔවුන් ළඟට කැඳවාගෙන ගියා. (ක්‍රියා 9:27; ගලාති 1:18, 19) එමෙන්ම පේතෘස් කොර්නේලියස් සහ ඔහුගේ පවුලට දේශනා කළායින් පස්සේ, ඔහු නැවතත් යෙරුසලමට ගිහිල්ලා, ශුද්ධාත්මය මේ සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත අඟවලා තිබුණ ආකාරය ප්‍රේරිතයන්ට සහ යුදයේ වෙනත් සහෝදරයන්ට පැහැදිලි කරලා දුන්නා.—ක්‍රියා 11:1-18.
4. පේතෘස්ව ඝාතනය කරන්න ගත් උත්සාහය මොකක්ද? නමුත් ඔහුගේ ජීවිතය බේරාගනු ලැබුවේ කොහොමද?
4 ඉන්පසුව පාලක මණ්ඩලය කෲර ප්‍රහාරයකට ලක් වුණා. පේතෘස්ව සිරගත කරනු ලැබූ අතර, ඔහුගේ ජීවිතය ගළවනු ලැබුවේ දේවදූත මැදිහත් වීමකින් විතරයි. (ක්‍රියා 12:3-11) එවිට මුල්ම වතාවට ප්‍රේරිතයන් 12දෙනාගෙන් එක්කෙනෙක් නොවූ අයෙක් යෙරුසලමෙහි ප්රමුඛ තත්වයක පෙනී සිටියා. පේතෘස්ව සිරභාරයෙන් නිදහස් කරනු ලැබූ විට, යොහන් මාර්ක්ගේ අම්මාගේ නිවසෙහි රැස්ව සිටි කණ්ඩායමකට ඔහු මෙහෙම කිව්වා: “[යේසුගේ අර්ධ සහෝදර] යාකොබ්ටද සහෝදරයන්ටද මේ කාරණා දන්වන්න.”—ක්‍රියා 12:17.
5. යාකොබ්ගේ ප්‍රාණ පරිත්‍යාගී මරණයෙන් පස්සේ පාලක මණ්ඩලයේ සැකැස්ම වෙනස් කරනු ලැබුවේ කොහොමද?
5 මීට කලින්, ද්‍රෝහී වූ ප්‍රේරිත යූදස් ඉස්කාරියොත් සියදිවි හානි කරගත්තායින් පස්සේ, ප්‍රේරිතයෙක් වශයෙන් “ඔහුට හිමි අවේක්ෂණ කාර්යභාරය” [NW] යේසුගේ දේවසේවා කාලයේදී ඔහු සමඟ සිටි, ඔහුගේ මරණය සහ නැවත නැඟිටීම තම ඇස්වලින්ම දැක්ක කෙනෙක්ට දීමේ අවශ්‍යතාව අවබෝධ වුණා. කොහොම වුණත්, යොහන්ගේ සහෝදර වූ යාකොබ්ව ඝාතනය කළාම, 12දෙනාගෙන් කෙනෙක් වශයෙන් ඔහු වෙනුවට තව කෙනෙක්ව පත් කළේ නැහැ. (ක්‍රියා 1:20-26; 12:1, 2) ඒ වෙනුවට, පාලක මණ්ඩලය ගැන ශුද්ධ ලියවිල්ලේ කතා කරන ඊළඟ වතාවෙන් පෙනී යන්නේ එය වැඩි කර තිබුණු බවයි. යේසුව අනුගමනය කළ අන්‍යජාතිකයන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යටත් විය යුතුද කියන එක ගැන විවාදයක් හටගත් විට, තීරණයක් සඳහා කාරණය ඉදිරිපත් කරනු ලැබුවේ ‘යෙරුසලමේ සිටි ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ටයි.’ (ක්‍රියා 15:2, 6, 20, 22, 23; 16:4) පෙනෙන ප්‍රකාරයට එවිට “වැඩිමහල්ලන්” පාලක මණ්ඩලයට අයත්ව සිටියේ ඇයි? බයිබලය ඒ ගැන සඳහන් නොකළත්, පැහැදිලි ප්‍රයෝජනයක් තිබුණා. යාකොබ්ගේ මරණය සහ පේතෘස්ව සිරගත කිරීමෙන් පෙන්නුම් කර තිබුණේ, ප්‍රේරිතයන් කවදාහරි සිරගත වීමට හෝ මරුමුවට හෝ පත් විය හැකි බවයි. එවැනි දේවල් වෙන්න පුළුවන්කම තිබෙද්දී, පාලක මණ්ඩල ක්‍රියා පිළිවෙත් ගැන අද්දැකීම් තිබූ වෙනත් සුදුසුකම් තියෙන වැඩිමහල්ලන් සිටීම, පිළිවෙළකට අවේක්ෂණය දිගටම සිදු කරගෙන යෑම සහතික කරනවා.
6. පාලක මණ්ඩලයේ මුල් සාමාජිකයන් යෙරුසලමේ නොසිටියදී පවා, එය දිගටම එම නගරයෙහි ක්‍රියාත්මක වුණේ කොහොමද?
6 පාවුල් පො.යු. 56දී පමණ යෙරුසලමට පැමිණි විට, ඔහු යාකොබ්ට වාර්තා කළ අතර, බයිබලය මෙහෙම කියයි: “සියලු වැඩිමහල්ලෝද එහි සිටියෝය.” (ක්‍රියා 21:18) මෙම රැස්වීමේදී ප්‍රේරිතයන් ගැන කිසිම සඳහනක් නැත්තේ ඇයි? නැවතත්, බයිබලය ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. ඒත්, පො.යු. 66ට යම් කාලයකට කලින්, “ඉතිරි ප්‍රේරිතයන්, මාරාන්තික කුමන්ත්‍රණවල අන්තරාවට නිරන්තරයෙන්ම මුහුණ දුන් නිසා, ඔවුන්ට යුදයෙන් පලා යන්න සිදු වුණා” කියලා ඉතිහාසඥ යූසීබියස් පස්සේ වාර්තා කළා. “ඒත් ඔවුන්ගේ පණිවිඩය ඉගැන්වීමට ඔවුන් ක්‍රිස්තුස්ගේ බලයෙන් හැම දේශයකටම ගමන් කළා.” (යූසීබියස්, III, V පොත, 2 ඡේ.) යූසීබියස්ගේ වදන් දේවානුභාවය තියෙන වාර්තාවේ කොටසක් නොවන බව සැබෑවක් වුණත්, ඒවා ඒ වාර්තාව කියන දේට එකඟ වෙනවා. උදාහරණයක් හැටියට, පො.යු. 62 වන විට, පේතෘස් යෙරුසලමෙන් බොහෝ ඈතින් පිහිටි බබිලෝනියෙහි සිටියා. (1 පේතෘස් 5:13) කොහොම වුණත්, පො.යු. 56දී සහ ඇතැම්විට පො.යු. 66 දක්වාම, යෙරුසලමේ පාලක මණ්ඩලයක් පැහැදිලිවම ක්‍රියාශීලීව කටයුතු කළා.
නවීන කාලවලදී පරිපාලනය
7. පළමුවන සියවසේ පාලක මණ්ඩලය සමඟ සසඳද්දී, අදදින පාලක මණ්ඩලයේ සැකැස්මේ තියෙන්නේ මොන කැපීපෙනෙන වෙනසද?
7 පොදු යුගයේ 33 ඉඳන් යෙරුසලම පිට පැමිණි පීඩාව දක්වා, පාලක මණ්ඩලය යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් සෑදුණු බව පැහැදිලියි. පොදු යුගයේ 56දී කළ බැහැදැකීමකදී, පාවුල් දැනගත්තා ‘අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ඇදහිල්ල දැරූ’ යෙරුසලමේ යුදෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක්, තවමත් “[මෝසෙස්ගේ] ව්‍යවස්ථාව ගැන ජ්වලිතව සිටි[න]” බව.c (යාකොබ් 2:1; ක්‍රියා 21:20-25) එවැනි යුදෙව්වන්ට, පාලක මණ්ඩලයේ අන්‍යජාතිකයෙක් ඉන්නවා කියන එක හිතාගන්නත් අමාරු වෙන්න ඇති. කොහොම වුණත්, නවීන කාලවලදී මෙම මණ්ඩලයේ සැකැස්මේ තවත් වෙනසක් වෙලා තියෙනවා. අදදින, එය සම්පූර්ණයෙන්ම ආලේප ලත් අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගෙන් සැකසී තියෙන අතර, යෙහෝවා ඔවුන්ගේ අවේක්ෂණයට ඉමහත් සේ ආශීර්වාද කර තියෙනවා.—එපීස 2:11-15.
8, 9. නවීන කාලවලදී පාලක මණ්ඩලයෙහි සිදු වෙලා තියෙන්නේ මොන වර්ධනය වීම්ද?
8 වර්ෂ 1884හි පෙන්සිල්වේනියා වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ සංස්ථාගත කිරීමේ ඉඳන් 1972 දක්වා, සමිතියේ සභාපති යෙහෝවාගේ සංවිධානයෙහි ඉමහත් අධිකාරයක් හෙබවූ අතර, පාලක මණ්ඩලය සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයට සමීපව සම්බන්ධ වෙලා තිබුණා. යෙහෝවා එම විධිවිධානය පිළිගත් බව ඔප්පු වෙන්නේ, ඒ අවුරුදු ගණනාව තුළදී භුක්ති වින්ද ආශීර්වාද නිසයි. වර්ෂ 1972 සහ 1975 අතර කාලයේදී, පාලක මණ්ඩලය සාමාජිකයන් 18 දක්වා විශාල කරනු ලැබුවා. මෙම විශාල කරනු ලැබූ මණ්ඩලයට වැඩි අධිකාරයක් දෙනු ලැබූ විට, තත්වය පළමුවන සියවසේ විධිවිධානයට වඩාත් සමීප වුණා; මේ සාමාජිකයන් සමහරදෙනෙක්, පෙන්සිල්වේනියා වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතියේ අධ්‍යක්ෂකවරුන්.
9 වර්ෂ 1975 ඉඳන් මෙම පුද්ගලයන් 18දෙනාගෙන් කිහිපදෙනෙක් තම භූමික ජීවිතය නිම කර තියෙනවා. ඔවුන් ලෝකයෙන් ජයගෙන ඇති අතර, ‘යේසු සමඟ ඔහුගේ ස්වර්ගික සිංහාසනයෙහි හිඳගෙන’ තියෙනවා. (එළිදරව් 3:21) මේ හේතුව සහ වෙනත් හේතූන් නිසා, පාලක මණ්ඩලයෙහි දැන් සාමාජිකයන් දහදෙනෙක් ඉන්න අතර, එයට 1994දී එකතු කළ කෙනෙක්ද ඇතුළත් වෙනවා. බොහෝදෙනෙක් සෑහෙන වයස්ගතව සිටිනවා. කොහොම වුණත්, මේ ආලේප ලත් සහෝදරයන් තම භාරදූර වගකීම් ඉටු කිරීමෙහි නියැලෙත්ම ඔවුන්ට කදිම ආකාරයකින් සහාය ලැබෙනවා. ඒ සහාය ලැබෙන්නේ කොහෙන්ද? දෙවිගේ සෙනඟ අතර දකින්න ලැබෙන නවීන දින වර්ධනය වීම් ඒ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙනවා.
දෙවිගේ ඉශ්රායෙල් සඳහා සහාය
10. මේ අන්තිම දවස්වලදී, යෙහෝවාගේ සේවයට ආලේප ලත් අය හා සමඟ සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? එමෙන්ම මෙය පුරෝකථනය කළේ කොහොමද?
10 වර්ෂ 1884දී, දෙවිගේ ඉශ්රායෙල් සමඟ ඇසුරු කළ හැම කෙනෙක්ම වාගේ ආලේප ලත් ක්‍රිස්තියානීන්. කොහොම වුණත්, ක්‍රමානුකූලව තවත් කණ්ඩායමක් මතු වෙන්න පටන්ගත් අතර, 1935දී මෙම කණ්ඩායම එළිදරව් 7වන පරිච්ඡේදයේ සඳහන් “මහත් සමූහය” හැටියට හඳුන්වනු ලැබුවා. භූමික බලාපොරොත්තුවක් ඇති මොවුන්, යෙහෝවා, ක්‍රිස්තුස් තුළ එක්රාශි කරන්න අරමුණු කරන “පොළොවෙහි දේවල්” නියෝජනය කරනවා. (එපීස 1:9) ඔවුන් බැටළු ගාල් පිළිබඳ යේසුගේ උපමාවේ “වෙනත් බැටළු[වන්ව]” නියෝජනය කරනවා. (යොහන් 10:16) වර්ෂ 1935 පටන්, වෙනත් බැටළුවන් යෙහෝවාගේ සංවිධානයට එක්රොක් වෙලා තියෙනවා. ඔවුන් “වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද” ඇවිල්ලා තියෙනවා. (යෙසායා 60:8) මහත් සමූහයා වැඩි වන හින්දත්, ආලේප ලත් අය වැඩිහරියක් මියයෑමෙන් භූමික ජීවිතය අවසන් කිරීම නිසා අඩු වන හින්දත්, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලදී සුදුසුකම් තියෙන වෙනත් බැටළුවෝ වැඩි වශයෙන් වැඩකොටසක් දරන්න පටන්ගෙන තියෙනවා. මොන ආකාරවලින්ද?
11. මුලදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ට සීමා වූ මොන වරප්රසාදද වෙනත් බැටළුවන්ට දීලා තියෙන්නේ?
11 යෙහෝවාගේ උත්කෘෂ්ටතාවන් පුළුල්ව ප්‍රකාශ කිරීම, හැමවිටම වාගේ දෙවිගේ “ශුද්ධ ජාති[යේ]” විශේෂ වගකීමක් වෙලා තියෙනවා. පාවුල් එය දේවමාළිගා පූජාවක් හැටියට කතා කළ අතර, යේසු “රාජකීය පූජකයෝ” වෙන්න හිටි අයට දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ බලපැවරුම දුන්නා. (නික්මයාම 19:5, 6; 1 පේතෘස් 2:4, 9; මතෙව් 24:14; 28:19, 20; හෙබ්‍රෙව් 13:15, 16) කොහොම වුණත්, මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1932 අගෝස්තු 1 කලාපය, යෝනාදාබ්ගෙන් පූර්වාදර්ශනය වූ අයට විශේෂයෙන්ම දිරිගැන්නුවා, මෙම ක්‍රියාවෙහි සහභාගි වෙන්න. ඇත්තෙන්ම, එවැනි වෙනත් බැටළුවන්ගෙන් බොහෝදෙනෙක් ඒ වන විටත් එහෙම කරමින් හිටියා. අදදින, වෙනත් බැටළුවන් “[දෙවිගේ] මාළිගාවේ රෑ දාවල් [ඔහුට] සේවය” කිරීමෙහි ප්රමුඛ අංගයක් වශයෙන්, දේශනා කිරීමේ වැඩෙන් වැඩිහරියක්ම කරනවා. (එළිදරව් 7:15) ඒ හා සමානව, යෙහෝවාගේ සෙනඟගේ නවීන දින ඉතිහාසයේ මුල් භාගයේදී, සභා වැඩිමහල්ලන් වශයෙන් කටයුතු කළේ, යේසුස් ක්‍රිස්තුස්ගේ දකුණතේ හිටි “තාරකා” වන ආලේප ලත් ක්‍රිස්තියානීන්. (එළිදරව් 1:16, 20) ඒත් මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1937 මැයි 1 කලාපය නිවේදනය කළා, සුදුසුකම් තියෙන වෙනත් බැටළුවන්ට පුළුවන් කියලා පිරිසගේ සේවකයන් (මුලසුන භාර අවේක්ෂකයන්) වෙන්න. ආලේප ලත් පුරුෂයන් හිටියත්, මේ වගකීම බලාකියා ගන්න ආලේප ලත් පුරුෂයන්ට බැරි වුණොත්, වෙනත් බැටළුවන්ව පාවිච්චි කරන්න පුළුවන් වුණා. අදදින, සභා වැඩිමහල්ලන් සියල්ලන්ම පාහේ වෙනත් බැටළුවන්ට අයත් වෙනවා.
12. සුදුසුකම් තියෙන වෙනත් බැටළුවන් සංවිධානය හා බැඳි බැරෑරුම් වගකීම් ලැබීම සම්බන්ධයෙන් තියෙන්නේ මොන ශුද්ධ ලියවිලිමය පූර්වාදර්ශයන්ද?
12 වෙනත් බැටළුවන්ට එවැනි බැරෑරුම් වගකීම් දෙන එක වැරදිද? නැහැ, එය ඓතිහාසික පූර්වාදර්ශයක් අනුගමනය කිරීමක් වෙනවා. ඇතැම් විදේශික ලබ්ධිලාභීන් (පරදේශික වැසියන්) පුරාණ ඉශ්රායෙල්හි වැදගත් තනතුරු හෙබෙව්වා. (2 සාමුවෙල් 23:37, 39; යෙරෙමියා 38:7-9) බබිලෝනීය වහල්භාවයෙන් පස්සේ, කලින් ලෙවීවරුන්ට පමණක් අයත් වූ දේවමාළිගා සේවා වරප්‍රසාද සුදුසුකම් ලබා සිටි නෙතිනීම්වරුන්ට (ඉශ්රායෙලිත නොවූ දේවමාළිගා සේවකයන්ට) දෙනු ලැබුවා. (එස්රා 8:15-20; නෙහෙමියා 7:60) ඊට අමතරව, යේසු සමඟ අන්වෙසක් වීමේ දර්ශනයේ දැකගන්න පුළුවන් වුණ මෝසෙස්, මිදියන් ජාතික යෙත්‍රෝ ඉදිරිපත් කළ කදිම උපදෙස් පිළිගත්තා. පසුව, යෙත්‍රෝගේ පුතා වූ හොබාබ්ගෙන් ඔහු ඉල්ලා සිටියා ඔවුන්ට පාළුකරය තුළින් මඟ පෙන්වන්න කියලා.—නික්මයාම 18:5, 17-24; ගණන් කථාව 10:29.
13. සුදුසුකම් තියෙන වෙනත් බැටළුවන්ට නිහතමානීව වගකීම් පැවරීමේදී, ආලේප ලත් අය අනුකරණය කරමින් ඉඳලා තියෙන්නේ කාගේ කදිම ස්වභාවයද?
13 පාළුකරයේ ගත කළ අවුරුදු 40හි අවසානය ළඟා වෙද්දී, පොරොන්දු දේශයට තමා යන්නේ නැති බව දැන සිටි මෝසෙස්, අනුප්‍රාප්තිකයෙක් සපයන්න කියලා යෙහෝවාට යාච්ඤා කළා. (ගණන් කථාව 27:15-17) සියලු ජනයා ඉදිරියෙහි යෝෂුවාට බලය පවරන්න කියලා යෙහෝවා ඔහුට කිව්ව අතර, මෝසෙස් ඒ වන විටත් කාය ශක්තියෙන් හොඳ තත්වයක සිටියත්, ඉශ්රායෙල්ට කළ සේවය වහාම නතර නොකළත්, ඔහු එහෙම කළා. (ද්විතීය කථාව 3:28; 34:5-7, 9) ඒ හා සමාන නිහතමානී ආත්මයක් ඇතුව, ආලේප ලත් අය වෙනත් බැටළුවන් අතුරින් සුදුසුකම් තියෙන පුරුෂයන්ට වැඩිමනත් වරප්‍රසාද මේ වන විටත් දීලා තියෙනවා.
14. සංවිධානය සම්බන්ධයෙන් වෙනත් බැටළුවන්ගේ වැඩි වෙමින් පවතින වැඩකොටසට යොමු දක්වන්නේ මොන අනාවැකිද?
14 සංවිධානය තුළ වෙනත් බැටළුවන්ට තියෙන වැඩි වෙමින් පවතින වැඩකොටසත්, අනාවැකියට භාජන වෙලා තියෙන විෂයක්. ඉශ්රායෙල් නොවූ පිලිස්තිවරයා “යූදාහි අධිපතියෙකු [ෂීක්වරයෙකු, NW] මෙන්” සිටී කියලා සෙකරියා පුරෝකථනය කළා. (සෙකරියා 9:6, 7) ෂීක්වරුන් ගෝත්‍රික නායකයන්; ඒ හින්දා ඉශ්රායෙල්හි කලින් සතුරෙක් සැබෑ නමස්කාරය වැලඳගෙන, පොරොන්දු දේශයේ ගෝත්‍රික නායකයෙක් වගේ වෙයි කියලා සෙකරියා කියමින් හිටියා. තවදුරටත්, දෙවිගේ ඉශ්රායෙල් අමතද්දී, යෙහෝවා මෙහෙම කිව්වා: “විදේශියෝ [අමුත්තෝ, NW] සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය. නුඹලා වනාහි [යෙහෝවාගේ] පූජකයෝයයි කියනු ලබන්නෝය. . . . අපේ [දෙවිගේ] සේවකයෝයයි කියනවා ඇත.” (යෙසායා 61:5, 6) “අමුත්තෝ” සහ “විදේශියෝ” කියන්නේ වෙනත් බැටළුවන්ටයි. වයසට යමින් ඉන්න ආලේප ලත් ඉතිරි කොටස තම භූමික ජීවිතය අවසන් කර, අපේ ‘දෙවිගේ සේවකයන්’ හැටියට, යෙහෝවාගේ මහිමයේ සිංහාසනය වටා, සම්පූර්ණ අර්ථයකින් ‘යෙහෝවාගේ පූජකයන්’ ලෙස සේවය කරන්න පෙනී සිටින කල, තව තවත් වැඩ භාරගන්න හැකි වන පිණිස මේ වෙනත් බැටළුවන්ට වගකීම් පවරලා තියෙනවා.—1 කොරින්ති 15:50-57; එළිදරව් 4:4, 9-11; 5:9, 10.
‘පැමිණෙන්න සිටින පරම්පරාව’
15. මේ අන්තිම කාලයේදී, “මහලු” වෙලා ඉන්නේ මොන ක්‍රිස්තියානි කණ්ඩායමද? එමෙන්ම ‘පැමිණෙන්න සිටින පරම්පරාව’ නියෝජනය කරන්නේ මොන කණ්ඩායමද?
15 වෙනත් බැටළුවන්ව වැඩිමනත් වගකීම් සඳහා පුහුණු කරන්න ආලේප ලත් ඉතිරි කොටස මහත් ආශාවක් දක්වලා තියෙනවා. ගීතාවලිය 71:18 මෙහෙම කියනවා: අහෝ දෙව්නි, “ඔබගේ ශක්තිය එන පරම්පරාවටත් ඔබගේ බලය මතු පැමිණෙන [පැමිණෙන්න සිටින, NW] සියල්ලන්ටත් මා විසින් ප්‍රකාශ කරන තෙක්, මහලුව හිස පැසුණු කල්හි පවා මා අත්[නාරින්න].” මේ පදය ගැන අදහස් දක්වමින්, 1948 දෙසැම්බර් 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්), ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව මහලු වයසට නිසැකවම එළඹී තිබුණා කියලා පෙන්නුම් කළා. ආලේප ලත් අය “බයිබල් අනාවැකි නමැති ආලෝකයෙන් අලුත් පරම්පරාවක් දකින්න” සන්තෝෂයෙන් “අපේක්ෂා කරනවා” කියලා එය තවදුරටත් පැවසුවා. මෙය විශේෂයෙන් යොමු දක්වන්නේ කාටද? මුරටැඹ මෙහෙම කිව්වා: “යේසු ඔවුන් ගැන කතා කළේ ඔහුගේ ‘වෙනත් බැටළුවෝ’ හැටියටයි.” ‘පැමිණෙන්න සිටින පරම්පරාව’ යොමු දක්වන්නේ, ස්වර්ග රාජ්‍යයේ පාලනය යටතේ තියෙන අලුත් භූමික පරිපාලනය යට ජීවත් වන මනුෂ්‍යයන්ටයි.
16. ‘පැමිණෙන්න සිටින පරම්පරාවට’ අයත් අය අපේක්ෂාවෙන් සිටින්නේ මොන ආශීර්වාදද?
16 ආලේප ලත් ක්‍රිස්තියානීන් සියලුදෙනා, මේ ‘පැමිණෙන්න සිටින පරම්පරාවෙන්’ සෑදී සිටින ඔවුන්ගේ සහෝදරයන් අත්හැර, යේසුස් ක්‍රිස්තුස් සමඟ තේජසට පත් වෙන්නේ කවදාද කියලා බයිබලය පැහැදිලිව කියන්නේ නැහැ. ඒත් මේ සඳහා කාලය ළං වන බව මේ ආලේප ලත් අයට නිසැකයි. “අන්තිම කාලය” පිළිබඳ යේසුගේ ශ්‍රේෂ්ඨ අනාවැකියේ පුරෝකථනය කළ සිද්ධීන්, 1914 ඉඳන් ඉටු වෙලා තියෙන අතර, මේ ලෝකයේ විනාශය ළඟ බව එයින් පෙන්නුම් කරනවා. (දානියෙල් 12:4; මතෙව් 24:3-14; මාර්ක් 13:4-20; ලූක් 21:7-24) ළඟදීම, යෙහෝවා නව ලොවක් උදා කරන අතර, එහිදී ‘පැමිණෙන්න සිටින පරම්පරාව’ ‘ලෝකයේ පටන්ගැන්මේ සිට ඔවුන්ට සූදානම් කර තියෙන රාජ්‍යය උරුම කරගනීවි.’ (මතෙව් 25:34) පාරාදීසය නැවත පිහිටුවීම ගැන සහ හේදීසයෙන් මළවුන් දශලක්ෂ ගණනාවක්ම නැඟිටවීම ගැන අපේක්ෂාවෙන් සිටීම, ඔවුන්ගේ ඉමහත් ප්‍රීතියට හේතුවක්. (එළිදරව් 20:13) නැවත නැඟිටුවනු ලබන මේ අයව සාදරයෙන් පිළිගන්න ආලේප ලත් අය ඉඳීවිද? වර්ෂ 1925දී, මැයි 1 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) මෙහෙම කිව්වා: “දෙවි එහෙම කරයි හෝ නොකරයි කියලා අපි හිතුවක්කාරව නොකිව යුතුයි. . . . [ඒත්] සභාවේ සාමාජිකයන් [ආලේප ලත් ක්‍රිස්තියානීන්] පුරාණ ඇදහිලිවන්තයන්ගේ [ක්‍රිස්තියානි යුගයට කලින් සිටි විශ්වාසවන්ත සාක්ෂිකාරයන්ගේ] නැවත නැඟිටීමට කලින් තේජසට පත් වෙයි කියන නිගමනයට එළඹෙන්න අපි පෙලඹෙනවා.” ඒ හා සමානව, නැවත නැඟිටුවනු ලබන අයව සාදරයෙන් පිළිගන්න ආලේප ලත් අයගෙන් සමහරෙක් ඉඳීද කියන එක ගැන සාකච්ඡා කරමින්, 1990 ජූලි 1 මුරටැඹ මෙහෙම කිව්වා: “මෙය අවශ්‍ය නොවනු ඇත.”d
17. කණ්ඩායමක් වශයෙන් ආලේප ලත් අය, සිංහාසනාරූඪ වූ යේසුස් ක්‍රිස්තුස් සමඟ හවුලේ භුක්ති විඳින්න යන්නේ මොන මහිමාන්විත වරප්රසාදද?
17 හැම ආලේප ලත් ක්‍රිස්තියානියෙකුටම පෞද්ගලිකව මොනව සිදු වෙයිද කියලා අපි නොදන්න බව සැබෑවක්. ඒත් අන්වෙසක් වීමේ දර්ශනයේ යේසු සමඟ මෝසෙස් සහ එලියා සිටීමෙන් අඟවන්නේ, යේසු තම තේජශ්‍රීයෙන් එක් එක්කෙනාගේ විනිශ්චය තීන්දු කොට ක්‍රියාත්මක කරද්දී, “එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක” දෙන්න පැමිණෙන විට නැවත නැඟිටුවනු ලැබූ ආලේප ලත් ක්‍රිස්තියානීන් ඔහු සමඟ ඉඳීම අපේක්ෂා කරන බවයි. තවදුරටත්, ‘ජයගන්න’ ආලේප ලත් ක්‍රිස්තියානීන් යේසු සමඟ අර්මගෙදොන්හිදී ‘ජාතීන්ව යදණ්ඩකින් ආණ්ඩු කරන’ එකට හවුල් වන බවට වූ යේසුගේ පොරොන්දුව අපිට මතක් වෙනවා. යේසු තේජසින් එද්දී, “ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින්” ඔවුන් ඔහු සමඟ ඉඳගනීවි. යේසු සමඟ, ඔවුන් ‘සාතන්ව තමුන්ගේ පාද යට දමා පොඩි කරාවි.’—මතෙව් 16:27–17:9; 19:28; එළිදරව් 2:26, 27; 16:14, 16; රෝම 16:20; උත්පත්ති 3:15; ගීතාවලිය 2:9; 2 තෙසලෝනික 1:9, 10.
18. (අ) ‘ක්‍රිස්තුස් තුළ ස්වර්ගයෙහි දේවල් එක්රාශි කිරීම’ ගත්තහම තත්වය මොකක්ද? (ආ) ‘ක්‍රිස්තුස් තුළ පොළොවෙහි දේවල් එක්රාශි කිරීම’ ගැන අපිට මොකක්ද කියන්න පුළුවන්?
18 දේවල් සම්බන්ධයෙන් තම පරිපාලනයට එකඟව, යෙහෝවා ප්‍රගතිශීලීව “සියල්ල [ක්‍රිස්තුස්] තුළ එක්රාශිකරන්ට” ක්‍රියා කරමින් සිටිනවා. “ස්වර්ගයෙහි දේවල්” ගත්තහම, ඔහුගේ අරමුණ එහි නිමාව කරා එළඹෙනවා. ‘බැටළුපැටවාගේ සරණමංගල්‍යය’ සඳහා ස්වර්ගයෙහි 1,44,000දෙනාම යේසු සමඟ එක්වීමට කාලය ළඟයි. එබැවින්, තම ආලේප ලත් සහෝදරයන්ට අත හිත දීමක් වශයෙන්, “පොළොවෙහි දේවල්” නියෝජනය කරන වෙනත් බැටළුවන්ට අයත් දිගු කලක් ඉඳ ඇති තව තවත් මේරූ සහෝදරයන්ට වඩාත් බැරෑරුම් වගකීම් පවරා තියෙනවා. අපි ජීවත් වෙන්නේ මොනතරම් උනන්දුව උපදවන කාලවලද! යෙහෝවාගේ අරමුණ එහි ඉටුවීම කරා ඇදෙන ආකාරය දැකීම මොනතරම් උද්යෝගයකට හේතුවක්ද! (එපීස 1:9, 10; 3:10-12; එළිදරව් 14:1; 19:7, 9) එමෙන්ම, විශ්වයේ ශ්‍රේෂ්ඨ පරමාධිපති යෙහෝවා දෙවිගේ ගෞරවය පිණිස, රජ වන යේසුස් ක්‍රිස්තුස්ට යටත් වෙමින් “එක එඬේරෙක්” යටතේ සිටින “එක රැළක්” සේ කණ්ඩායම් දෙකම එකට සේවය කරද්දී, මේ වෙනත් බැටළුවන් තම ආලේප ලත් සහෝදරයන්ට අත හිත දීමෙන් මොනතරම් ප්‍රීතියක් ලබනවාද!—යොහන් 10:16; පිලිප්පි 2:9-11.
[පාදසටහන්වල]
b උදාහරණයක් වශයෙන්, 1914 පටන්, කොටස් හතරකින් යුත් දෘශ්‍ය මෙන්ම පටිගත කරන ලද ඉදිරිපත් කිරීමක් වූ “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” (ඉංග්‍රීසියෙන්), බටහිර ලෝකය පුරාම හොඳටම පිරුණු නෘත්යශාලාවල ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කරනු ලැබුවා.
c ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන ජ්වලිතව සිටීම ගැන තියෙන්න පුළුවන් හේතු විමසා බැලීමට, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි කෙරෙහි තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) 2 වෙළුම, පිටු 1163-4 බලන්න.
පැහැදිලි කරන්න පුළුවන්ද?
◻ දෙවිගේ සංවිධානය පළමුවන සියවසේදී ඉදිරියට ඇදී ගියේ කොහොමද?
◻ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නවීන දින ඉතිහාසය තුළදී, පාලක මණ්ඩලය වර්ධනය වෙලා තියෙන්නේ කොහොමද?
◻ යෙහෝවාගේ සංවිධානය තුළ වෙනත් බැටළුවන්ට අධිකාරය දීම වලංගු කරන ශුද්ධ ලියවිලි පාඨයන් මොනවාද?
◻ “ස්වර්ගයෙහි දේවල්” සහ “පොළොවෙහි දේවල්” ක්‍රිස්තුස් තුළ එක්රාශි කර තියෙන්නේ කොහොමද?
[16වන පිටුවේ පින්තූරය]
එහි මුල් සාමාජිකයන් තවදුරටත් යෙරුසලමෙහි නොසිටියත්, පාලක මණ්ඩලයක් දිගටම එහි ක්‍රියාත්මක වුණා
[18වන පිටුවේ පින්තූර]
මේරූ ආලේප ලත් ක්‍රිස්තියානීන් යෙහෝවාගේ සෙනඟට ආශීර්වාදයක් වෙලා තියෙනවා
සී. ටී. රසල් 1884-1916
ජේ. එෆ්. රද’ෆ’ඩ් 1916-42
එන්. එච්. නෝර් 1942-77
එෆ්. ඩබ්. ෆ්රාන්ස් 1977-92
එම්. ජී. හෙන්ෂල් 1992-