10වෙනි පරිච්ඡේදය
දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
1. අපි දේවදූතයන් ගැන දැනගන්න ඕනෙ ඇයි?
යෙහෝවා දෙවියන් කැමති ඔහුගේ පවුලේ ඉන්න හැම කෙනෙක් ගැනම අපි දැනගන්නවාට. දේවදූතයන් කියන්නෙත් දෙවියන්ගේ පවුලට අයිති පිරිසක්. බයිබලයේ එයාලව හඳුන්වන්නේ ‘දෙවිගේ පුත්‍රයෝ’ කියලා. (යෝබ් 38:7) දේවදූතයන් කරන්නේ මොනවාද? එයාලා අතීතයේදී මිනිසුන්ට උදව් කරලා තියෙන්නේ කොහොමද? අපිට උදව් කරන්නත් එයාලට පුළුවන්ද?—8වෙනි අමතර සටහන බලන්න.
2. දේවදූතයන්ව නිර්මාණය කළේ කවුද? දේවදූතයන් කීදෙනෙක් ඉන්නවාද?
2 යෙහෝවා දෙවියන් යේසුස්ව නිර්මාණය කළාට පස්සේ ඔහුවත් හවුල් කරගෙන ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි අනිත් හැම දෙයක්ම හැදුවා’ කියලා කොලොස්සි 1:16 කියනවා. ඒ නිර්මාණයන් අතර දේවදූතයනුත් හිටියා. දේවදූතයන් මිලියන ගාණක් ඉන්නවා කියලා බයිබලයේ කියනවා.—ගීතාවලිය 103:20; එළිදරව් 5:11.
3. දේවදූතයන් ගැන යෝබ් 38:4-7 කියන්නේ මොනවාද?
3 දේවදූතයන්ව නිර්මාණය කළේ පොළොව නිර්මාණය කරන්න කලින්. පොළොව නිර්මාණය කරද්දී දේවදූතයන් ගොඩක් සතුටු වුණා. ඒ කාලේ යෙහෝවා දෙවියන්ගේ පවුලේ හැමෝම එකමුතුව දෙවියන්ට සේවය කළා.—යෝබ් 38:4-7.
දේවදූතයන් දෙවියන්ගේ සෙනඟට උදව් කරනවා
4. දේවදූතයන් මිනිසුන් ගැන සැලකිලිමත් කියලා අපි දන්නේ කොහොමද?
4 මිනිසුන්ව නිර්මාණය කරපු කාලේ ඉඳලම දේවදූතයන්ට මිනිසුන් ගැන තිබුණේ ලොකු උනන්දුවක්. පොළොව ගැන, මිනිසුන් ගැන දෙවියන්ගේ අරමුණ ඉටු වෙන විදිහ ගැන එයාලා ඉන්නේ ලොකු උනන්දුවකින්. (හිතෝපදේශ 8:30, 31; 1 පේතෘස් 1:11, 12) ඒ නිසා ආදම්, ඒව දෙවියන්ට අකීකරු වුණු වෙලාවේ දේවදූතයන්ට ලොකු දුකක් දැනෙන්න ඇති. අද ඉන්න වැඩිදෙනෙක් දෙවියන්ට අකීකරු වෙනවා දැක්කාම එයාලට ඊටත් වඩා දුකක් දැනෙනවා ඇති. අනිත් අතට කෙනෙක් තමන් කරපු වැරදි ගැන දුක් වෙලා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න උත්සාහ කරද්දී දේවදූතයන් සතුටු වෙනවා. (ලූක් 15:10) විශේෂයෙන්ම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන අය ගැන දේවදූතයන් ඉන්නේ ලොකු උනන්දුවකින්. ඒ නිසා යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උදව් කරන්න, ආරක්ෂා කරන්න දේවදූතයන්ව යොදාගන්නවා.—හෙබ්‍රෙව් 1:7, 14.
5. අතීතයේදී දේවදූතයන් දෙවියන්ගේ සේවකයන්ට උදව් කළේ කොහොමද?
5 යෙහෝවා දෙවියන් සොදොම්, ගොමෝරා නගර විනාශ කරද්දී ලොත්වයි පවුලේ අයවයි බේරාගන්න එව්වේ දේවදූතයන් දෙන්නෙක්ව. (උත්පත්ති 19:15, 16) සතුරන් දානියෙල්ව සිංහ ගුහාවකට දැම්මත් ‘දෙවි ඔහුගේ දූතයෙකුව එවලා සිංහයන්ගේ කටවල් වහලා දැම්මා.’ (දානියෙල් 6:22) හිරගෙදර හිටිය පේතෘස්ව නිදහස් කරන්නත් යෙහෝවා දෙවියන් එව්වේ දේවදූතයෙක්ව. (ක්‍රියා 12:6-11) යේසුස් පොළොවේ ඉද්දී දේවදූතයන් යේසුස්ටත් උදව් කළා. උදාහරණෙකට යේසුස් බව්තීස්ම වුණාට පස්සේ “දේවදූතයෝ ඇවිත් ඔහුට උපස්ථාන කළා.” (මාක් 1:13) යේසුස්ගේ සතුරන් ඔහුව මරන්න කලිනුත් දේවදූතයෙක් “ඔහුව ශක්තිමත් කළා.”—ලූක් 22:43.
6. (අ) දේවදූතයන් දැනුත් දෙවියන්ගේ සෙනඟට උදව් කරනවා කියලා අපි දන්නේ කොහොමද? (ආ) අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?
6 දේවදූතයන් මේ කාලෙදී මිනිසුන්ට පේන්න එන්නේ නැති වුණත් දෙවියන් තාමත් ඔහුගේ සෙනඟට උදව් කරන්න දේවදූතයන්ව යොදාගන්නවා. බයිබලයේ කියන්නේ “යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ ඔවුන්ව ගලවාගන්නවා” කියලයි. (ගීතාවලිය 34:7) අපිට දේවදූතයන්ගේ ආරක්ෂාව ඕන ඇයි? අපිට හානි කරන්න අපිට වඩා බලවත් සතුරන් පිරිසක් බලන් ඉන්නවා. ඒ කවුද? එයාලා ආවේ කොහෙන්ද? එයාලා අපිට හානි කරන්න හදන්නේ කොහොමද?
නොපෙනෙන බලවත් සතුරන්
7. සාතන් මිනිසුන්ව පොලඹවන්නේ මොනවා කරන්නද?
7 දේවදූතයෙක් මිනිසුන්ගේ නමස්කාරය ලබාගන්න හදපු විදිහ අපි 3වෙනි පරිච්ඡේදයෙන් බැලුවා. එයාව හඳුන්වන්නේ සාතන් නැත්නම් යක්ෂයා කියලයි. (එළිදරව් 12:9) එයාට ඕන වුණේ දෙවියන්ට විරුද්ධව වැඩ කරන්න අනිත් අයවත් පොලඹවන්න. එයා ඒවව රවට්ටලා ඒ දේ ඉටු කරගත්තා. එදා ඉඳන් වැඩිදෙනෙක්ව රවටන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඒත් ආබෙල්, ඒනොක්, නෝවා වගේ සමහරු සාතන්ට රැවටුණේ නැහැ. එයාලා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා.—හෙබ්‍රෙව් 11:4, 5, 7.
8. (අ) දේවදූතයන් පිරිසක් භූතයන් වුණේ කොහොමද? (ආ) ජලගැල්මෙන් බේරෙන්න ඒ භූතයන් කළේ මොනවාද?
8 නෝවා ජීවත් වුණු කාලේ දේවදූතයන් පිරිසක් දෙවියන්ට අකීකරු වෙලා මිනිසුන් විදිහට ජීවත් වෙන්න පොළොවට ආවා. එයාලට ඕන වුණේ ගැහැනු අයව විවාහ කරගන්න. (උත්පත්ති 6:2 කියවන්න.) ඒක වරදක්. (යූද් 6) එයාලා වගේම ඒ කාලේ හිටිය හුඟක් මිනිස්සුත් නරක ජීවිත ගත කරන්න පටන්ගත්තා. ඒ නිසා යෙහෝවා දෙවියන් තීරණය කළා ජලගැල්මක් ගෙනල්ලා නරක මිනිසුන්ව විනාශ කරන්න. ඒත් දෙවියන් ඔහුට නමස්කාර කරපු අයව බේරාගත්තා. (උත්පත්ති 7:17, 23) ජලගැල්ම ආවාම ඒ නරක දේවදූතයන් ආයෙත් ස්වර්ගයට ගියා. බයිබලයේ භූතයන් කියලා හඳුන්වන්නේ ඒ අයවයි. එයාලා ස්වර්ගයට ගිහින් සාතන්ට එකතු වුණා. ඊටපස්සේ එයාලගේ පාලකයා වුණේ සාතන්.—මතෙව් 9:34.
9. (අ) ස්වර්ගයට ගියාට පස්සේ භූතයන්ට වුණේ මොනවාද? (ආ) අපි ඊළඟට ඉගෙනගන්නේ මොනවා ගැනද?
9 කැරලිගහපු ඒ භූතයන්ව යෙහෝවා දෙවියන් ඔහුගේ පවුලෙන් අයින් කළා. (2 පේතෘස් 2:4) එයාලට ආයෙත් මිනිස් වෙස් ගන්න බැහැ. ඒත් එයාලා තවමත් “මුළු පොළොවම නොමඟ යවනවා.” (එළිදරව් 12:9; 1 යොහන් 5:19) භූතයන් අද ඉන්න හුඟක් අයව රවට්ටන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.—2 කොරින්ති 2:11 කියවන්න.
භූතයන් මිනිසුන්ව රවට්ටන විදි
10. භූතයන් මිනිසුන්ව රවට්ටන්නේ කොහොමද?
10 භූතයන් මිනිසුන්ව රවට්ටන්නේ භූතවාදය යොදාගෙන. භූතවාදය කියන්නේ මිනිසුන් භූතයන් එක්ක කෙළින්ම හරි කට්ටඩියන් මාර්ගයෙන් හරි සම්බන්ධ වෙලා කරන දේවලටයි. බයිබලයේ අපිට කියනවා භූතවාදයට සම්බන්ධ කිසිම දේකට හවුල් වෙන්න එපා කියලා. (ගලාති 5:19-21) ඒ ඇයි? දඩයක්කරුවෙක් උගුලක් පාවිච්චි කරලා සතුන්ව අල්ලාගන්නවා වගේ භූතයනුත් විවිධ උගුල් පාවිච්චි කරලා මිනිසුන්ව රවට්ටගන්නවා.—25වෙනි අමතර සටහන බලන්න.
11. පේන කීම කියන්නේ මොකක්ද, අපි ඒකෙන් වළකින්න ඕනෙ ඇයි?
11 එක උගුලක් තමයි පේන කීම. ඒකෙදී කරන්නේ අනාගතේ වෙන දේවල් ගැන නැත්නම් නොදන්නා දෙයක් ගැන අද්භූත බලයකින් හෙළි කරන්න හදන එකයි. සමහරු පහන් දැල්ලක්, වතුර වීදුරුවක් වගේ දේවල් ඒකට යොදාගන්නවා. අත බලලා, හඳහන් බලලා පේන කියන අයත් ඉන්නවා. හුඟක් අය හිතන්නේ ඒ දේවලින් හානියක් වෙන්නේ නැහැ කියලා. ඒත් ඒක හරිම භයානකයි. මිනිසුන් සාස්තර කියන්නේ භූතයන්ගේ බලයෙන් කියලා බයිබලයේ පැහැදිලිවම කියනවා. ‘භූතයෙක් වැහුණු නිසා පේන කීමේ හැකියාවක්’ තිබුණු තරුණියක් ගැන බයිබලයේ ක්‍රියා 16:16-18 පදවල සඳහන් වෙනවා. ඒ තරුණියව භූත බලයෙන් නිදහස් කළාම පේන කියන්න එයාට තිබුණු හැකියාවත් නැති වුණා.
12. (අ) මැරුණු අය එක්ක කතා කරන එක භයානක ඇයි? (ආ) දෙවියන්ගේ සෙනඟ භූතවාදයට සම්බන්ධ චාරිත්‍රවලට හවුල් වෙන එකෙන් වළකින්න ඕනෙ ඇයි?
12 භූතයන් මිනිසුන්ව රවටන තවත් උගුලක් තියෙනවා. ඒ තමයි මැරුණු අය කොහේ හරි ජීවත් වෙනවා, එයාලා එක්ක කතා කරන්න පුළුවන්, අපිට හානියක් කරන්න එයාලට පුළුවන් වගේ දේවල් විශ්වාස කරන්න සලස්වන එක. මැරුණු අයගේ ආත්ම ගෙන්නලා එයාලා එක්ක කතා කරන්න පුළුවන් කියලා සමහරු කියනවා. ඒ අය මැරුණු කෙනා ගැන විස්තරයක් කියනවා. නැත්නම් මැරුණු කෙනාගේ කටහඬින් කතා කරනවා. (1 සාමුවෙල් 28:3-19) මළ ගෙවල්වල කරන ගොඩක් චාරිත්‍ර ඇති වෙලා තියෙන්නේ මැරුණු කෙනා කොහේ හරි ජීවත් වෙනවා කියන විශ්වාසය මත. නිදි මරන එක, ඉටිපන්දම් නැත්නම් පහන් නිවෙන්න නොදී තියාගන්න එක, දේහයේ හිස යොමු කර තියන්න ඕන දිශාව තීරණය කරන එක, ඡායාරූප පිටුපස හරවලා තියන එක, මුහුණ බලන කණ්ණාඩි රෙදි කඩකින් වහන එක, දාන දෙන එක ඒ චාරිත්‍රවලින් කිහිපයක්. දෙවියන්ට නමස්කාර කරන අය ඒවාට හවුල් වෙන්නේ නැති නිසා සමහරවිට පවුලේ අය, නෑදෑයෝ, ගමේ අය, එයාලට විහිළු කරන්න, දොස් කියන්න, ආශ්‍රය කරන එක නවත්වන්න ඉඩ තියෙනවා. ඒත් දෙවියන්ගේ සෙනඟ දන්නවා මැරුණු අය කොහේවත් ජීවත් වෙන්නේ නැහැ කියලා. මැරුණු අය එක්ක කිසිම විදිහකින්වත් කතා කරන්න බැහැ. අපිට හානියක් කරන්නවත් එයාලට බැහැ. (ගීතාවලිය 115:17) ඒ නිසා කවදාවත් මැරුණු කෙනෙක් එක්ක කතා කරන්න උත්සාහ කරන්න එපා. භූතයන්ට සම්බන්ධ කිසිම චාරිත්‍රයකට සම්බන්ධ වෙන්නත් එපා.—ද්විතීය කතාව 18:10, 11 කියවන්න; යෙසායා 8:19.
13. භූතයන්ට බයෙන් හිටිය සමහර අයට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවාද?
13 භූතයන් මිනිසුන්ව රවටනවා වගේම බය කරන්නත් දේවල් කරනවා. සාතනුත් භූතයනුත් දන්නවා එයාලට ඉතුරු වෙලා තියෙන්නේ “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” කියලා. (එළිදරව් 12:12, 17) දෙවියන් එයාලව පොළොවෙන් අයින් කරන්න කලින් ඉතුරු වෙලා තියෙන ටික කාලයේ තවත් දරුණු විදිහට එයාලා වැඩ කරනවා. ඒත් භූතයන්ට බයෙන් හිටපු දහස් ගාණක් දැන් ඒ බයෙන් නිදහස් වෙලා තියෙනවා. ඒ කොහොමද?
භූතයන්ට විරුද්ධව ඉඳලා එයාලගෙන් නිදහස් වෙන්න
14. භූතයන්ගේ බලපෑමෙන් නිදහස් වෙන විදිහ ගැන මුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
14 භූතයන්ට විරුද්ධ වෙන්න පුළුවන් විදිහත් එයාලගෙන් නිදහස් වෙන්න පුළුවන් විදිහත් බයිබලයේ තියෙනවා. එෆීසයේ හිටපු සමහර ක්‍රිස්තියානීන් දෙවියන් ගැන ඉගෙනගන්න කලින් භූතයන්ට සම්බන්ධ දේවල් කළා. එයාලට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ කොහොමද? බයිබලයේ මෙහෙම කියනවා. “ඔවුන් අතර සිටි මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැමුවා.” (ක්‍රියා 19:19) ක්‍රිස්තියානීන් වෙන්න තිබුණු ආසාව නිසා ඒ අය එයාලා ළඟ තිබුණු භූතවාදයට සම්බන්ධ හැම පොතක්ම පිච්චුවා. අදත් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න කැමති අය භූතයන්ට සම්බන්ධ හැම දෙයක්ම අයින් කරන්න ඕනේ. අද්භූත දේවල කිසිම වරදක් නැහැ කියලා පෙන්වන, සිත් ඇද ගන්නා විදිහට හදලා තියෙන පොත්, සඟරා, දැන්වීම් පුවරු, හඳහන්, චිත්‍රපටි, සංගීතය, ක්‍රීඩා, ආරක්ෂාවට පළඳින සුර වගේ දේවලුත් ඒවාට අයිතියි.—1 කොරින්ති 10:21.
15. සාතන්ටයි භූතයන්ටයි විරුද්ධව ඉන්න නම් අපි ළඟ තියෙන්න ඕනෙ මොනවාද?
15 එෆීසයේ හිටපු අය භූතයන්ට සම්බන්ධ පොත් විනාශ කරලා අවුරුදු කීපයක් ගියාට පස්සේ පාවුල් කිව්වා “භූත සේනාවන්ට විරුද්ධව” කරන “පොරබැදීම” දිගටම කරන්න කියලා. (එෆීස 6:12) එහෙම කිව්වේ භූතයන් දිගටම එයාලට හානි කරන්න හදපු නිසයි. ඒ නිසා එයාලට තවත් දෙයක් කරන්න තිබුණා. ඒ ගැන පාවුල් කිව්වේ මෙහෙමයි. “විශ්වාසය නමැති විශාල පලිහ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ.” (එෆීස 6:16) සොල්දාදුවෙක් ළඟ පලිහක් තිබුණොත් එයාට ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. විශ්වාසයත් හරියට ඒ පලිහ වගේ. අපිව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියන ස්ථීර විශ්වාසය තියෙනවා නම් සාතන්ටයි භූතයන්ටයි විරුද්ධව ඉන්න අපිට පුළුවන්.—මතෙව් 17:20.
16. අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
16 විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? හැමදාම බයිබලය කියවලා අපිව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියන විශ්වාසය තවත් වැඩි කරගන්න ඕනේ. එතකොට අපිට හානි කරන්න සාතන්ටවත් භූතයන්ටවත් බැහැ.—1 යොහන් 5:5.
17. භූතයන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට උදව් වෙන තව දෙයක් මොකක්ද?
17 එෆීසයේ ක්‍රිස්තියානීන්ට තව දෙයක් කරන්න තිබුණා. එයාලා ජීවත් වුණේ භූතවාදය පිරුණු නගරයක නිසා පාවුල් එයාලට කිව්වා ‘සෑම අවස්ථාවකදීම යාච්ඤා කරන්න’ කියලා. (එෆීස 6:18) එයාලව ආරක්ෂා කරන්න කියලා නිතරම යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න එයාලට සිද්ධ වුණා. අද අපි ඉන්නෙත් භූතවාදය පිරුණු සමාජයක. අපිව ආරක්ෂා කරන්න කියලා අපිත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනේ. යාච්ඤා කරද්දී දෙවියන්ගේ නම පාවිච්චි කරන එක හුඟක් වැදගත්. (හිතෝපදේශ 18:10 කියවන්න.) සාතන්ගෙන් අපිව බේරාගන්න කියලා අපි දිගටම යාච්ඤා කරනවා නම් යෙහෝවා දෙවියන් අපිට උදව් කරනවා.—ගීතාවලිය 145:19; මතෙව් 6:13.
18, 19. (අ) සාතනුයි භූතයනුයි එක්ක කරන සටනෙන් ජය ගන්න අපිට පුළුවන් කොහොමද? (ආ) ඊළඟ පරිච්ඡේදයෙන් බලන්නේ මොන ප්රශ්නය ගැනද?
18 භූතවාදයට සම්බන්ධ හැම දේම අයින් කරනවා නම් ඒ වගේම අපිව ආරක්ෂා කරන්න කියලා යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් අපිටත් පුළුවන් සාතන්ටයි භූතයන්ටයි විරුද්ධ වෙන්න. එතකොට එයාලට බයෙන් ජීවත් වෙන්න ඕනෙ නැහැ. (යාකොබ් 4:7, 8 කියවන්න.) යෙහෝවා දෙවියන් භූතයන්ට වඩා හුඟක් බලවත්. නෝවාගේ කාලෙදී යෙහෝවා දෙවියන් භූතයන්ට දඬුවම් කළා. අනාගතයේදී ඔහු භූතයන්ව විනාශ කරනවා. (යූද් 6) භූතයන් එක්ක කරන සටනේදී ඔයා තනි වෙලා නැහැ. යෙහෝවා දෙවියන් දේවදූතයන්ව යොදාගෙන අපිට උදව් කරනවා. (2 රාජාවලිය 6:15-17) දෙවියන්ගේ උදව්වෙන් සාතන්වයි භූතයන්වයි පරාජය කරන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්.—1 පේතෘස් 5:6, 7; 2 පේතෘස් 2:9.
19 ඒත් සාතනුයි භූතයනුයි නිසා මිනිසුන් මෙච්චර දුක් විඳිද්දීත් දෙවියන් තවමත් එයාලව විනාශ කරලා නැත්තේ ඇයි? උත්තරේ ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.