යෙහෝවඃවහන්සේ තුළ ප්‍රීතිවන්න!
“ස්වාමීන්වහන්සේ තුළ [සෑමවිටම, NW] ප්රීතිවෙයල්ලා. ප්රීතිවෙයල්ලා යයි නැවතත් කියමි.”—පිලිප්පි 4:4.
1. ක්‍රිස්තියානීන් සෑමවිටම ප්රීතිවිය යුතුයයි පාවුල් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්දැයි යන්න අපට කල්පනා විය හැක්කේ මන්ද?
මේ කාලයෙහි, ප්‍රීතිවීම සඳහා තිබෙන හේතු එන්ට එන්ටම අඩුවේගන යයි. දූවිලිවලින් සෑදී සිටින මිනිස්සු, අව්‍යාජ ක්‍රිස්තියානීහු පවා, විරැකියාව, දුර්වල සෞඛ්‍යය, ප්රේමනීයයෙකුගේ වියෝව, පෞද්ගලිකත්ව අතර ඝට්ටන, හෝ නොඇදහිලිකාර පවුල් සාමාජිකයන්ගෙන් හෝ කලින් මිත්රයන්ව සිටි අයගෙන් පැමිණෙන විරෝධතා වැනි ශෝකය දනවන තත්ත්වයන්ට මුහුණ පාති. එසේනම්, ‘සෑමවිටම ප්රීතිවෙයල්ලා’ යනුවෙන් පාවුල් දුන් අවවාදය අප විසින් තේරුම් ගත යුත්තේ කෙසේද? අප සියල්ලන්ටම මුහුණ පාන්නට සිදුවී තිබෙන මෙම අප්‍රසන්න සහ පරීක්ෂණාත්මක තත්ත්වයන් සම්බන්ධව කල්පනා කර බලන කල, මෙය කරන්නටවත් හැකි දෙයක්ද? මෙම වචනවල අවට පාඨ සම්බන්ධය සලකා බලන විට, මෙම කාරණය පැහැදිලි කර ගැනීමට එය අපට ඉවහල් වනවා ඇත.
ප්‍රීතිවීම—මන්ද සහ කෙසේද?
2, 3. යේසුස්වහන්සේ සහ ඉපැරණි ඉශ්‍රායෙලිතයන් සම්බන්ධව උපහැරණය කළාක් මෙන්, ප්‍රීතියේ වැදගත්කම කුමක්ද?
2 “ස්වාමීන්වහන්සේ තුළ [සෑමවිටම, NW] ප්රීතිවෙයල්ලා. ප්රීතිවෙයල්ලා යයි නැවතත් කියමි.” මීට සියවස් 24කට පමණ පෙර ඉශ්‍රායෙලිතයන්ට යොමු කරන ලද වදන් මෙමගින් අපට සිහිගන්වනවා විය හැක: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය [බලකොටුවය, NW]” නැතහොත් මොෆට් පරිවර්තනයට අනුව, “සදාකාලික තැනැත්තාණන් කෙරෙහි ප්‍රීතිවීම ඔබගේ ශක්තියය.” (නෙහෙමියා 8:10) ප්‍රීතිය ශක්තිය සපයන අතර, යමෙකුට සහනය හා ආරක්ෂාව ලැබීම සඳහා ඇතුළට දිව යා හැකි බලකොටුවක් වැන්න. පරිපූර්ණ මිනිසාවූ යේසුස්වහන්සේට පවා විඳදරාගැනීමට ප්‍රීතිය මහත් පිටුවහලක් විය. “උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, . . . [වධ කණුව, NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.” (හෙබ්‍රෙව් 12:2) දුෂ්කරතා හමුවේ ප්‍රීතිවීමට හැකිවීම, ගැළවීම සඳහා අත්‍යවශ්‍ය බව පැහැදිලිය.
3 පොරොන්දු දේශයට ඇතුල්වීමට පෙර, ඉශ්රායෙල්වරුන්ට මෙසේ අණකරනු ලැබ තිබිණි: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹටද නුඹේ පවුලටද දුන් සියලු යහපත් දේ ගැන නුඹද ලෙවීයයාද නුඹලා අතරෙහි වසන විදේශීයාද ප්රීතිවෙයල්ලා.” යෙහෝවඃවහන්සේට ප්‍රීතියෙන් යුතුව සේවය කිරීමට අසමත්වීමේ විපාක දරුණු වනු ඇත: මක්නිසාදයත් “මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙනතුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය. . . . සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් [හෘදයන්, NW] සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] සේවය නොකළ නිසා[ය].”—ද්විතීය කථාව 26:11; 28:45-47.
4. අප ප්‍රීතිවීමට අසමත් විය හැක්කේ මන්ද?
4 එමනිසා, අදදින ආලේප ලත් ඉතිරි කොටස සහ ඔවුන්ගේ සහායකයන් වන ‘වෙනත් බැටළුවන්’ ප්‍රීතිවීම අනිවාර්ය දෙයක්ය! (යොහන් 10:16) “නැවතත් කියමි,” යනුවෙන් තම උපදෙස යළිත් සඳහන් කළ පාවුල්, යෙහෝවඃවහන්සේ අප උදෙසා කර ඇති යහපත් දේවල් සියල්ල සම්බන්ධව ප්රීතිවීමේ වැදගත්කම අවධාරණය කළේය. අප එසේ කරනවාද? නැතහොත් ප්‍රීතිවීම සඳහා අපට තිබෙන බොහෝ හේතු අමතක වී යන තරමට අප එදිනෙදා දින චර්යාව තුළට හිරවී සිටිනවාද? රාජ්‍යය සහ එහි ආශීර්වාද සම්බන්ධ අපගේ දෘෂ්ටිය වැසී යන තරමටම අපට ගැටලු ගොඩගැසෙනවාද? වෙනත් දේවලට, එනම්, දෙවියන්වහන්සේගේ නීතිවලට අකීකරුවීම, දිව්‍ය ප්‍රතිපත්ති නොසලකා හැරීම හෝ ක්‍රිස්තියානි වගකීම් නොසලකා හැරීම වැනි දේවලට අපගේ ප්‍රීතිය සොරා ගැනීමට අප ඉඩ හරිනවාද?
5. අසාධාරණ පුද්ගලයෙකුට ප්‍රීතිවීම අසීරු දෙයක් වන්නේ මන්ද?
5 “නුඹලාගේ සාධාරණකම සියලු මිනිසුන්ට දැනගැනීමට සලස්වන්න, ස්වාමීන්වහන්සේ ළංව සිටින සේක.” (පිලිප්පි 4:5, NW) අසාධාරණ පුද්ගලයෙක් සමබරතාවෙන් හීනව සිටී. තම සෞඛ්‍යය කෙරෙහි නිසි සැලකිල්ලක් දැක්වීමට අසමත් වන ඔහු, අනවශ්‍ය ආතතීන් හෝ කාන්සාවලට තම සිරුර අනවශ්‍ය ලෙස යටත් කර ගනී. සමහරවිට, ඔහු තම සීමාවන් පිළිගෙන ඊට අනුකූලව ජීවත්වීමට ඉගෙන ගෙන නැතුවා විය හැකියි. ඔහු තම ඉලක්ක ඕනෑවට වඩා ඉහළින් තබා ගෙන සිටිනවා විය හැකි අතර, තමන්ට මුහුණ පාන්නට සිදුවන ඵල විපාක කුමක් හෝ වේවා එම ඉලක්ක කරා එළඹීමට උත්සාහ දරයි. එසේ නැත්නම්, තම වේගය අඩුකිරීමට හෝ දරන උත්සාහය අවම කිරීමට ඔහු තම සීමාවන් නිදහසට කරුණක් සේ යොදා ගන්නවා විය හැක. සමබරතාවෙන් හීනව අසාධාරණව සිටින ඔහුහට ප්‍රීතිවීම අසීරුය.
6. (අ) සෙසු ක්‍රිස්තියානීන් අප තුළ දැකිය යුත්තේ කුමක්ද, තවද තත්ත්වය මෙසේ වනු ඇත්තේ කිනම් අවස්ථාවේ පමණක්ද? (ආ) දෙවන කොරින්ති 1:24 සහ රෝම 14:4හි පාවුල්ගේ වචන සාධාරණවීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?
6 විරුද්ධකාරයන් අප අන්තවාදීන් ලෙස දුටුවද, සෙසු ක්‍රිස්තියානීන්ට සෑමවිටම අපගේ සාධාරණකම දැකගැනීමට හැකිවිය යුතුය. අප සමබර වී, අප අපගෙන් හෝ අන්‍යයන්ගෙන් හෝ පරිපූර්ණත්වය අපේක්ෂා නොකරන්නේ නම්, ඔවුන් අපේ සාධාරණකම දකිනවා ඇත. මේ සියල්ලටම වඩා, දෙවියන්වහන්සේගේ වචනයේ ඉල්ලා සිටින දේ ඉක්මවා අන්‍යයන් මත පීඩාකාරි බර පැටවීමෙන් අප සියලු දෙනාම වැළකී සිටිය යුතුය. ප්‍රේරිත පාවුල් මෙසේ කීවේය: “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව, නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමු.” (2 කොරින්ති 1:24) අධිකාරය විසින් නියම කොට පනවනු ලැබූ දැඩි නීති නිසා ප්‍රීතියට වැටකඩොලු බැඳ තිබූ බවත්, ඒ අතරම සෙසු වැඩකරුවන් විසින් ඉදිරිපත් වුණු උපකාරවත් යෝජනාවලින් එය වැඩිවූ බවත්, කලින් ඵරිසිවරයෙකු වශයෙන්, පාවුල් හොඳින් දැන සිටියේය. ‘තව කෙනෙකුගේ ගෙයි සේවකයා විනිශ්චය කිරීමට’ තමාට අයිති නැති දෙයක් බවත්, ‘ඔහු නැගී සිටියත් වැටුණත් ඔහු තමාගේම ස්වාමියාටම අයිති’ බවත්, “ස්වාමීන්වහන්සේ ළංව සිටින සේක” යන සැබෑ කරුණ සාධාරණ පුද්ගලයෙකු සිහියට ගත යුතුය.—රෝම 14:4.
7, 8. ගැටලු ඇතිවීම ක්‍රිස්තියානීන් අපේක්ෂා කළ යුත්තේ මන්ද, එහෙත් දිගටම ප්‍රීතිවීමට ඔවුන්ට හැකියාවක් තිබෙන්නේ කෙසේද?
7 “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද, කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා.” (පිලිප්පි 4:6) අප අද අද්දකිමින් සිටින්නේ, පාවුල් ලිවූ ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්ය.’ (2 තිමෝති 3:1-5, NW) එබැවින්, ක්‍රිස්තියානීන් ගැටලුවලට මුහුණ දීම අපේක්ෂා කළ යුතුය. ඉඳහිට කලකිරුණු තත්ත්වයකට පත්වීමක් හෝ අධෛර්යවීමක් පක්ෂපාත ක්‍රිස්තියානියෙකුට මුහුණ පාන්නට වීමේ හැකියාව, “[සෑමවිටම, NW] ප්රීතිවෙයල්ලා” යන පාවුල්ගේ වචනවලින් සහමුලින්ම ඉවත් කර දමන්නේ නැත. පාවුල්ගේම තත්ත්වය තුළ, ඔහු යථාර්ථවාදීව මෙසේ පිළිගත්තේය: “අපි හැම අතින්ම මඩිනු ලබමු. එහෙත් හිර නොවී සිටිමු; වියවුල්ව සිටිමු, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමු, එහෙත් අත්හරිනු නොලබමු; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමු.” (2 කොරින්ති 4:8, 9) කෙසේවෙතත්, ක්‍රිස්තියානියෙකුගේ ප්‍රීතිය, ඔහුට තාවකාලික වශයෙන් ඇතිවන කනස්සල්ල හා ශෝකයේ වේදනාව සැහැල්ලු කර, අවසානයේදී ඒවා අභිබවා යයි. ඉදිරියට අදිටනින් ඇදී යෑම සඳහා අවශ්‍ය කරන ශක්තිය ඒ මගින් ඔහුහට සපයන්නේ, ප්‍රීතිවීම සඳහා තිබෙන බොහෝ හේතු කිසිවිටෙකත් ඔහුගේ දසුනෙන් ඉවත් නොකරමිනි.
8 ගැටලු පැනනගින කල, ඒවායේ ස්වභාවය කුමත් වුවත්, ප්‍රීතිමත් ක්‍රිස්තියානියෙක්, නිහතමානීව යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේගේ උපකාරය පතා අයදී. ඔහු දැඩි කලකිරීමෙන් යටපත් වන්නේ නැත. ගැටලුව විසඳා ගැනීමට සාධාරණ වශයෙන් තමාට කළ හැකි දෙය කිරීමෙන් පසු, ඔහු එහි ඵලවිපාකය යෙහෝවඃවහන්සේගේ හස්තයට භාර කරන්නේ මෙම ආරාධනාවට එකඟවය: “නුඹේ [පීඩාකාරි, NW] බර ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලන සේක.” මේ අතරම, එම කිතු බැතියා, යෙහෝවඃවහන්සේගේ සියලු යහපත්කම් සම්බන්ධයෙන් උන්වහන්සේට දිගටම ප්‍රශංසා කරයි.—ගීතාවලිය 55:22; එමෙන්ම මතෙව් 6:25-34ද බලන්න.
9. සත්‍යය පිළිබඳ දැනුම මනසේ සමාදානය ඇති කරන්නේ කෙසේද, මෙය ක්‍රිස්තියානියෙකු මත ඇති කරවන යහපත් බලපෑම කුමක්ද?
9 “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද [හෘදද මානසික ශක්තීන්ද, NW] ආරක්ෂා කරනවා ඇත.” (පිලිප්පි 4:7) බයිබල් සත්‍යය පිළිබඳ දැනුමක්, ක්‍රිස්තියානියෙකුගේ මනස බොරුවෙන් නිදහස් කරවන අතර, සාරවූ චින්තන රටාවන් දියුණු කර ගැනීමට ඔහුට එය උපකාරවත් වෙයි. (2 තිමෝති 1:13) අන්‍යයන් සමඟ තමාගේ සාමකාමී සබඳතා උවදුරේ හෙළිය හැකි වැරදි හෝ අඥාන හැසිරීමෙන් වැළකීමට මෙසේ ඔහුට එය පිටුවහලක්ද වෙයි. අයුක්තිය සහ දුෂ්ටකම නිසා කලකිරෙනවා වෙනුවට, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය මගින් මිනිස්වර්ගයාගේ ගැටලු විසඳීමට හේ උන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබයි. එවැනි මානසික සමාදානයක් ඔහුගේ හෘදය ආරක්ෂා කරන අතර, ඔහුගේ චේතනාවන් නිර්මලව තබා, ඔහුගේ සිතිවිලි ධර්මිෂ්ඨකමේ මාර්ගවල හසුරුවයි. අනෙක් අතට, අවුල් වියවුල්වී තිබෙන ලෝකයකින් ගෙනෙන ගැටලු සහ පීඩන අභිබවා ගොස්, නිර්මල චේතනා සහ හරි සිතිවිලි ප්‍රීතිවීම සඳහා අනන්ත අප්‍රමාණ හේතු ලබා දෙයි.
10. සැබෑ ප්‍රීතිය අද්දැකිය හැක්කේ කුමක් පමණක් ගැන කථාකිරීමෙන් හෝ සිතීමෙන්ද?
10 “ඉතින් සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් [දිගටම, NW] මෙනෙහි කරපල්ලා.” (පිලිප්පි 4:8) නරක දේවල් ගැන කථා කිරීමෙන්වත් ඒවා ගැන සිතීමෙන්වත් ක්‍රිස්තියානියෙක් සතුට ලබන්නේ නැත. මේ මගින්, මේ ලෝකයෙන් සැපයෙන විනෝදාස්වාද බොහොමයක් ඉබේම දුරුකෙරේ. තමාගේ මනස සහ හෘදය, බොරු, මෝඩ විහිළු, අධර්මිෂ්ඨ, දුරාචාර, කිසි ගුණයක් නැති, ද්වේෂසහගත හා පිළිකුල්සහගත කාරණාවලින් පුරවන කිසිවෙකුට ක්‍රිස්තියානි ප්‍රීතිය පවත්වා ගත නොහැක. පැහැදිලිව කිවහොත්, තම මනසේ සහ හෘදයේ අශික්ෂිත දේ පුරවාගෙන සැබෑ ප්‍රීතිය සොයා ගැනීමට කිසිවෙකුට බැරිය. සාතන්ගේ මෙම දූෂිත ලෝකය තුළ, සිතීමට හා සාකච්ඡා කිරීමට ක්‍රිස්තියානීන්ට මෙතරම් බොහෝ යහපත් දේවල් තිබෙන බව දැනගැනීම මොනතරම් ගොඩනංවනසුලුද!
ප්‍රීතිවීම සඳහා අප්‍රමාණ හේතු
11. (අ) කිසිවිටෙකත් සැහැල්ලුවට නොගත යුත්තේ කුමක්ද, තවද එසේ නොවිය යුත්තේ මන්ද? (ආ) ජාත්‍යන්තර සමුළුවකට පැමිණ සිටි අයගෙන් එහි පැමිණ සිටි එක් නියෝජිතයෙකුට හා ඔහුගේ භාර්යාවට ඇති කළ බලපෑම කුමක්ද?
11 ප්‍රීතිවීම සඳහා තිබෙන හේතු ගැන කථා කිරීමේදී, අපගේ ජාත්‍යන්තර සහෝදරත්වය ගැන කිසිවිටෙකත් අපි අමතක නොකරමු. (1 පේතෘස් 2:17) ලෝකයේ ජාතික හා වාර්ගික කණ්ඩායම් එකිනෙකා කෙරෙහි තද වෛරයකින් වෙලී සිටින විට, දෙවියන් වහන්සේගේ ජනයා ප්‍රේමයෙන් යුතුව එකට සමීප වෙති. ඔවුන්ගේ එක්සත්කම විශේෂයෙන්ම දකින්නට ලැබෙන්නේ ජාත්‍යන්තර සමුළුවලය. වර්ෂ 1993දී යුක්රේනයේ කියෙව්හිදී පවත්වන ලද මෙවැනි සමුළුවකට, එක්සත් ජනපදවල සිට පැමිණි නියෝජිතයෙක් ඒ ගැන මෙසේ පැවසුවේය: “වර්ණවත් කුඩ හා ලේන්සු ලෙළවූ කණ්ඩායම්වල සිටි අයගේ ප්‍රීතිමත් කඳුළු, දීප්තිමත් ඇස්, එක පවුලේ අය මෙන් එකිනෙකා වැළඳගැනීම් සහ ක්‍රීඩා භූමිය හරහා යවනු ලැබූ ආචාරකිරීම් යන මේ සියල්ලෙන්ම පැහැදිලිව කියවූයේ දිව්‍යාණ්ඩු එක්සත්කමක්. ලෝක ව්‍යාප්ත සහෝදරත්වය තුළ යෙහෝවඃවහන්සේ ආශ්චර්යජනක අන්දමින් ඉටු කර ඇති දෙය සම්බන්ධව අපගේ හදවත් ආඩම්බරයකින් පිරී ඉතිරී ගියා. මෙය මගේ භාර්යාවටත් මටත් ඉමහත් ගැඹුරින් බලපෑවා මෙන්ම එය අපගේ ඇදහිල්ලට නැවුම් අර්ථයක් ලබා දී තිබෙනවා.”
12. යෙසායා 60:22 අපගේ ඇස්පනාපිටම ඉටු වෙමින් තිබෙන්නේ කෙසේද?
12 තමන්ගේ ඇස්පනාපිටම බයිබල් අනාවැකි ඉටු වෙනවා දැකීම අදදින ක්‍රිස්තියානීන්ට කොතරම් ඇදහිල්ල ශක්මත්කරවන්නක්ද! නිදසුනක් වශයෙන්, යෙසායා 60:22හි වචන සලකා බලන්න: “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ [යෙහෝවා වන, NW] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” වර්ෂ 1914දී රාජ්‍යය බිහිවීමත් සමඟම, දේශනා කිරීමෙහි ක්‍රියාශීලීව සිටියේ 5,100දෙනෙකු එනම් කුඩා තැනැත්තෙකු පමණි. එහෙත්, පසුගිය වසර පහ පුරා, ලෝක ව්‍යාප්ත සහෝදරත්වයේ ප්‍රමාණය, වැඩි වන වේගය කොතරම්ද යත්, සෑම සතියකම බව්තීස්ම වන නවකයන්ගේ සාමාන්‍යය 5,628කි! වර්ෂ 1993දී, ක්‍රියාශීලී සාක්ෂිකරුවන්ගේ උපරිමය 47,09,889ක් විය. කල්පනා කර බලන්න! මින් අදහස් කරන්නේ, 1914දී සිටි “කුඩා තැනැත්තා” වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, “දහසක්” බවට පත්වීමට සමීපව සිටින බවය!
13. (අ) වර්ෂ 1914 පටන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්, දෙවන කොරින්ති 9:7හි සඳහන් පාවුල්ගේ වචනවල ප්‍රතිපත්තිය පිළිපදින්නේ කෙසේද?
13 වර්ෂ 1914 සිට, මෙසියානු රජ තම සතුරන් මධ්‍යයෙහි යටත් කර ගැනීමෙහි ඉදිරියට ගොස් තිබේ. ලෝක ව්‍යාප්ත දේශනා කර්තව්‍ය මෙන්ම ජාත්‍යන්තර ඉදිකිරීමේ ව්‍යාපෘතියක් කරගෙන යෑම පිණිස තම කාලයෙන්, ශක්තියෙන්, හා මුදලින් දායකවන, කැමැත්තෙන් ඉදිරිපත් වන මිනිස් අනුගාමිකයන් මගින් උන්වහන්සේගේ පාලනයට අනුග්‍රහ ලැබී තිබේ. (ගීතාවලිය 110:2, 3) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී මුදල් ගැන සඳහන් වන්නේ ඉතාමත් කලාතුරකින් වුවත්, මෙම ක්‍රියාකාරකම් නිමාව දක්වා කර ගෙන යෑම පිණිස මුදලින් සම්මාදම් කරනු ලබනවා දැකීම ගැන ඔවුහු සතුටු වෙති.a (1 ලේකම් 29:9 සසඳන්න.) දීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන්ට බල කළ යුතු නැත; සෑම කෙනෙක්ම, “අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, සිය [හෘදයේ, NW] කැමැත්තෙන්ම තීරණය කරගත් ලෙස” දීමෙන්, තමන්ගේ තත්ත්වය ඉඩ දෙන තරමට තමන්ගේ රජුට අනුග්‍රහ දැක්වීම වරප්‍රසාදයක් කොට ඔවුහු සලකති.—2 කොරින්ති 9:7, නව අනුවාදය.
14. වර්ෂ 1919 පටන්, දෙවියන්වහන්සේගේ ජනයා අතර දක්නට ලැබී ඇති තත්ත්වය කුමක්ද, එමගින් ප්‍රීතිවීම සඳහා ඔවුන්ට දෙන හේතුව කුමක්ද?
14 දෙවියන්වහන්සේගේ ජනයා අතර සැබෑ නමස්කාරයේ යළි පිහිටුවීම පිළිබඳව කලින් පුරෝකථනය කර තිබීම, ආත්මික පාරාදීසයක් බිහිවීමට හේතු වී තිබේ. වර්ෂ 1919 පටන්, එය එහි සීමාවන් ප්රගතිශීලී අන්දමින් පුළුල් කර තිබේ. (ගීතාවලිය 14:7; යෙසායා 52:9, 10) ප්‍රතිඵලය? සැබෑ ක්‍රිස්තියානීහු, “සන්තෝෂයද ප්‍රීතිමත්කමද” අද්දකිති. (යෙසායා 51:11) මින් ප්‍රතිඵල කරවන යහපත් ඵලදාව, අසම්පූර්ණ මිනිසුන් කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය මගින් ඉටු කරමින් සිටින දේ සම්බන්ධව සාක්ෂියක්ය. සියලු ප්‍රශංසාව හා ගෞරවය යන්නේ යෙහෝවඃවහන්සේටය, නමුත් දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරුවන් වෙනවාට වඩා වෙන කුමන උතුම් වරප්‍රසාදයක් තිබිය හැකිද? (1 කොරින්ති 3:9) අවශ්‍ය නම්, ගල් මගින් සත්‍යයේ හඬ මොරගස්වාලීමට යෙහෝවඃවහන්සේට බලය තිබේ. එහෙත්, මෙම ක්‍රමය යොදා නොගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේ තෝරාගෙන ඇති අතර, නමුත් ඒ වෙනුවට, ස්වකීය කැමැත්ත කරගෙන යෑම සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වන දූවිල්ලෙන් සැදි මැවිලි පොලඹවා තිබේ.—ලූක් 19:40.
15. (අ) අප උනන්දුවෙන් බලා සිටින නවීන සිද්ධීන් මොනවාද? (ආ) ප්‍රීතියෙන් යුතුව ඔවුන් ඉතා ආශාවෙන් බලා සිටින්නේ කුමන සිද්ධියද?
15 ලෝක සිද්ධීන්, කැපී පෙනෙන බයිබල් අනාවැකිවලට සම්බන්ධ වන විට, යෙහෝවඃවහන්සේගේ සේවකයෝ ඒවා දෙස ගරුබියෙන් යුතුව දැන් බලා සිටිති. ජාතීන් ස්ථිරසාර සාමය අත්කර ගැනීමට බොහෝ වෙහෙසවී යත්න දැරුවත්, ඒවා සියල්ල නිෂ්ඵලය. සිදුවන සිද්ධීන් මගින් ඔවුන්ට බල කර සිටින්නේ, ලෝකයේ ගැටුම් සිදුවන තැන් කෙරෙහි ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට හඬ ගැසීමටයි. (එළිදරව් 13:15-17) මේ අතරතුර, දෙවියන්වහන්සේගේ ජනයා, සිදුවීමට තිබෙන වඩාත් ප්‍රීතිමත් සිද්ධිය දෙස දැනටමත් මහත් අපේක්ෂාවෙන් ඉදිරිය දෙස බලා සිටින අතර, එය එන්ට එන්ටම ළං වෙමින් තිබේ. “අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු. උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍යය පැමිණියේය. උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය.”—එළිදරව් 19:7.
දේශනා කිරීම—පීඩාකාරී බරක්ද නැතහොත් ප්‍රීතියක්ද?
16. ක්‍රිස්තියානිවරයෙක් තමන් ඉගෙන ගෙන ඇති දෙය පිළිපැදීමට අසමත්වීම, ඔහුගේ ක්‍රිස්තියානි ප්‍රීතිය අහිමිවීමට හේතුවන ආකාරය උපහැරණය කරන්න.
16 “නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරපල්ලා. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.” (පිලිප්පි 4:9) තමන් ඉගෙනගෙන තිබෙන දේ පිළිපැදීම මගින්, ක්‍රිස්තියානීන්ට දෙවියන්වහන්සේගේ ආශීර්වාද අපේක්ෂා කළ හැකිය. ඔවුන් ඉගෙනගෙන තිබෙන වඩාත්ම වැදගත් දේවලින් එකක් නම්, අන්‍යයන්ට රාජ්‍යය දේශනා කිරීමේ අවශ්‍යතාවයි. ඇත්ත වශයෙන්ම, යම් පුද්ගලයෙක්, තමා විසින් අවංක අයට තොරතුරු කියා දීමට තිබියදී, එමෙන්ම එම තොරතුරුවලට සවන්දීම මත එම අයගේ ජීවිත රඳා පැවත තිබියදී, ඔහු එසේ කියා නොදෙනවා නම්, මනසේ සමාදානයක් හා ප්‍රීතියක් භුක්ති විඳීමට ඔහුට හැකිවේවිද?—එසකියෙල් 3:17-21; 1 කොරින්ති 9:16; 1 තිමෝති 4:16.
17. අපගේ දේශනා කිරීමේ ක්‍රියාකාරකම සෑමවිටම ප්‍රීතියේ උල්පතක් විය යුත්තේ මන්ද?
17 යෙහෝවඃවහන්සේ ගැන ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින බැටළුගුණැති පුද්ගලයන් සොයා ගැනීමට ලැබීම කොතරම් ප්‍රීතියක්ද! ඇත්ත වශයෙන්ම, හරි චේතනාවකින් සේවය කරන අය සෑමවිටම රාජ්‍යය සේවය, ප්‍රීතියේ උල්පතක් බව සොයා ගන්නවා ඇත. මෙය මෙසේ වන්නේ මන්දයත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමේ ප්‍රධාන හේතුව, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමත්, පරමාධිපති පාලකයාණන් වශයෙන් උන්වහන්සේගේ තත්ත්වය තහවුරු කිරීමත් වන නිසාය. (1 ලේකම් 16:31) මෙය වටහාගන්නා පුද්ගලයා, තමා ගෙන යන ශුභාරංචිය මිනිසුන් විසින් අඥාන ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවත්, ප්‍රීති වනු ඇත. නොඇදහිලිකාරයන්ට දේශනා කිරීම යම් දිනක නිමාවකට පත් වන බවත්, යෙහෝවඃවහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීම සදහටම සිදුවන බවත් හේ දනී.
18. යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට ක්රිස්තියානිවරයෙකු පොලඹවන්නේ කුමක්ද?
18 සැබෑ ආගම පිළිපදින අය, යෙහෝවඃවහන්සේ විසින් ඉල්ලා සිටිනු ලබන දේවල් කිරීමට පෙලඹෙන්නේ ඔවුන්ට ඒවා කිරීමට තිබෙන නිසා නොව, නමුත් ඔවුන්ට ඒවා කිරීමට වුවමනා වන නිසාය. (ගීතාවලිය 40:8; යොහන් 4:34) බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට අසීරු දෙයක් බව හැඟේ. එක් කාන්තාවක්, තමාට කථා කළ සාක්ෂිකාරියකට මෙසේ කීවාය: “මා ඔබට ප්‍රශංසා කළ යුතුයි. මම ඔබ කරන්නාක් වගේ මගේ ආගම ගැන දේශනා කිරීමට ගෙයින්ගෙට නම් කවදාවත් යන්නේ නැහැ.” සාක්ෂිකාරිය මඳ සිනහවක් පාමින් මෙසේ පිළිතුරු දුන්නාය: “ඔබට හැඟෙන විදිහ ගැන මට තේරෙනවා. මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වීමට පෙර, වෙනත් අයට ආගම ගැන කථා කිරීමට යෑමට මම කැමති වුණේ නැහැ. නමුත් දැන් මට එසේ කිරීමට වුවමනායි.” මොහොතක් කල්පනා කළ කාන්තාව අවසානයේදී මෙසේ කීවාය: “පෙනෙන විදිහට මගේ ආගම නොදෙන දෙයක් ඔබගේ ආගමේ තිබෙනවා වෙන්නට පුළුවන්. සමහරවිට මා මේ ගැන සොයා බැලිය යුතුයි.”
19. වෙනකවරදාටත් වඩා ප්‍රීතිවීමට තිබෙන කාලය දැන් වන්නේ මන්ද?
19 අපගේ රාජ්‍යය ශාලාවල කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර ඇති 1994 වාර්ෂික පදය නිතරම අපට මෙසේ සිහිගන්වයි: “ඔබගේ මුළු හදින් යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න.” (හිතෝපදේශ 3:5, NW) අපට රැකවරණය පතා දිව යා හැකි අපගේ බලකොටුව වන යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තබනවාට වඩා ප්‍රීතිවීමට වෙනත් මහත් හේතුවක් තිබිය හැකිද? ගීතාවලිය 64:10 මෙසේ පැහැදිලි කරයි: “ධර්මිෂ්ඨයා ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] තුළ සන්තෝෂවන්නේය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේය [උන්වහන්සේ තුළ ඇත්තෙන්ම රැකවරණය ලබන්නේය, NW].” මෙය දෙගෙඩියාවෙන් සිටීමට හෝ අත්හැර දැමීමට කාලය නොවේ. ගෙවී යන සෑම මාසයක්ම, අපව සමීප කරවන්නේ, ආබෙල්ගේ දවසේ පටන් යෙහෝවඃවහන්සේගේ සේවකයන් ඉතා ආශාවෙන් බලා සිටි දෙයෙහි යථාර්ථය වෙතටය. ප්‍රීතිවීම සඳහා අපට මීට පෙර කවරදාකවත් මෙතරම් හේතු නොතිබුණු බව දන්නා අපට, අපගේ මුළු හදින් යෙහෝවඃවහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට කාලය මෙයයි!
[පාදසටහන්වල]
a සමුළුවලදී, සහ මසකට වරක් සභාවලදී, ලැබුණු ස්වේච්ඡා සම්මාදම් මෙන්ම වියදම් පිළිබඳව කෙටි ප්රකාශනයක් කියවනු ලැබේ. එම පරිත්‍යාග දීමනා භාවිත කරන අන්දම පිළිබඳ දැනුම් දෙමින් යම් යම් අවස්ථාවන්හිදී ලිපි යවනු ලැබේ. මෙසේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩයේ මූල්‍යමය තත්ත්වය පිළිබඳව සෑම කෙනෙකුටම සිහිගැන්වීමක් කෙරේ.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ නෙහෙමියා 8:10ට අනුව, අප ප්‍රීති විය යුත්තේ මන්ද?
◻ ද්විතීය කථාව 26:11 සහ 28:45-47 ප්රීතිවීමේ වැදගත්කම පෙන්වන්නේ කෙසේද?
◻ පිලිප්පි 4:4-9, සෑමවිටම ප්‍රීතිවීමට අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?
◻ වර්ෂ 1994 වාර්ෂික පදය ප්‍රීතිවීම සඳහා අපට දෙන්නේ කිනම් හේතුවද?
[16වන පිටුවේ පින්තූරය]
රුසියානු සහ ජර්මානු සාක්ෂිකරුවෝ ජාත්‍යන්තර සහෝදරත්වයක කොටසක් වීම ගැන ප්‍රීතිවෙති
[17වන පිටුවේ පින්තූරය]
අන්‍යයන් සමඟ සත්‍යය බෙදා ගැනීම ප්‍රීතිවීම සඳහා හේතුවකි