ඔබගේ ශක්තිය දුර්වලකමක් කර නොගන්න
ටයිටැනික් මෙලොව එළිය දුටුවේ මුහුදුබත් විය නොහැකි නෞකාව යන නාමය පටබැඳගෙනයි. ජලයට ඔරොත්තු දෙන මැදිරි 16ක්ම නැව්බඳේ සවි කර තිබීම ඊට හේතු වන්න ඇති. එමනිසා 1912 වසරේ ටයිටැනික් ඇගේ මංගල ගමන ගියේ ගෙන යා යුතුව තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුවලින් අඩක්ම නොගෙනයි. එහෙත් අනපේක්ෂිතව අයිස් කන්දක ගැටීමෙන් ටයිටැනික් මෙලොවින් සමුගත්තේ 1,500කට වැඩි ජීවිත ගණනක් බිලි දෙමිනුයි.
පුරාණ යෙරුසලමේ විසූ දේවභයැති උස්සියා රජ දක්ෂ සෙන්පතියෙකු ලෙස නම් දැරුවා. ඔහු සතුරු සේනා එක පිට එක තම අණසකට ගත්තේ යෙහෝවාගේ උපකාරයෙන්. එහි ප්‍රතිඵලය වූයේ ‘ඔහුගේ නාමය දස දෙස පතළව යෑමයි. බලවත් වීමට පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණු අතර, ඔහු බලවත් වුණා. එනමුත් නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟු වූ නිසා, ඔහුගේ දෙවි වූ යෙහෝවාට විරුද්ධව වරද කළා.’ උස්සියා රජ කුෂ්ඨ රෝගයෙන් පහර කෑවේ ඔහුගේ අහංකාරකමේ ප්‍රතිඵලයක් හැටියටයි.—2 ලේකම් 26:15-21; හිතෝපදේශ 16:18.
මෙම සිද්ධීන් දෙකෙන්ම අපට යමක් උගත හැකියි. එනම් යම් ශක්තියක් හෝ දක්ෂතාවක් ප්‍රඥාවෙන්, පමණ දැන ක්‍රියා කිරීමෙන් සහ නිහතමානීකමෙන් හසුරුවන්නේ නැත්නම්, එය දුර්වලකමක් නැතහොත් අවාසියක් බවට පත් විය හැකි බවයි. අප සැමට යම් ආකාරයකින් දක්ෂතාවන් හෝ දීමනාවන් තිබෙන නිසා, ඉහත සඳහන් දේ බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතුයි. අපගේ ආශාව විය යුත්තේ අපගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් සිදු වනවා දැකීමයි. එමෙන්ම අපගේ සහ අන්‍යයන්ගේ, විශේෂයෙන්ම අපගේ මැවුම්කරුගේ ප්‍රීතියටත් එය හේතුවක් විය යුතුයි. එසේ නම්, අපට දෙවිගෙන් යම් දීමනාවක් ලැබී ඇත්නම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කිරීම යෝග්‍යයි. එනමුත් දිගටම ඒවායින් ඵල නෙළාගැනීමට නම් එය හොඳින් හසුරුවාගැනීමටද අප වගබලා ගත යුතුයි.
නිදසුනකට, පුද්ගලයෙක් තමා නියුතුව සිටින රැකියාවට බොහෝ ඇල්මක් දැක්විය හැකියි. කෙසේවෙතත්, ඔහු එහිම ඕනෑවට වඩා නියැලුණොතින්, එම දක්ෂතාව ඔහුගේ දුර්වලකම බවට පත් විය හැකියි. පරෙස්සමින් ක්‍රියා කරන පුද්ගලයෙකුව පහසුවෙන් රවටාගත නොහැකියි. එනමුත් ඔහුගේ එම ගුණාංගය තීරණයක් නොගෙන වැට උඩ සිටීමටද හේතුවක් විය හැකියි. කාර්යක්ෂමතාව කදිම ගුණාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එනමුත් මනුස්සකම නොතකා අන්තයටම ගියොත්, ප්‍රතිඵලය වන්නේ දැඩි, නීරස ප්‍රීතියට හේතු නොවන වාතාවරණයක් බිහිවීමයි. එමනිසා ඔබගේ ශක්තීන් නොහොත් හැකියාවන් ගැන මදක් කල්පනා කිරීමට කාලය ගන්න. ඔබ ඒවා හොඳින් හසුරුවනවාද? ඒවා අනුන්ට ආශීර්වාදයක්ද? ඒ සියල්ලටම වඩා, ‘සෑම යහපත් දීමනාවල’ උල්පත වන යෙහෝවාගේ ගෞරවය පිණිස ඔබ ඒවා යොදාගන්නවාද? (යාකොබ් 1:17) එමනිසා, අපගේ නොසැලකිලිමත්කම නිසා, දුර්වලකමක් නැතහොත් ඉමහත් බරක් බවට පත් විය හැකි දක්ෂතාවන් කිහිපයක් මදකට සලකා බලමු.
මානසික හැකියාවන් ඥානවන්තව භාවිත කිරීම
හොඳ මොළයක් තිබීම කදිම දීමනාවක් වන බවට සැකයක් නැහැ. කෙසේවෙතත්, විශේෂයෙන්ම අප වැඩි වැඩියෙන් අනුන්ගේ පැසසුමට හෝ චාටුබස්වලට ලක් වෙද්දී, අප ගැන උදුම්මාගත් ආකල්පයක් ඇති කරගැනීමට හෝ නොහොබිනා විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට මඟ පෑදීමෙන් එය දුර්වලකමක් බවට පත් විය හැකියි. එසේ නැත්නම්, දෙවිගේ වචනය සහ බයිබලය මත පදනම් පොත් පත් අධ්‍යයනය කර උගත්කමක් මවාපෑමට අප පෙලඹිය හැකියි.
නොහොබිනා විශ්වාසය නොයෙක් ආකාරවලින් ප්‍රදර්ශනය විය හැකියි. නිදසුනකට, හොඳ මොළයක් ඇති කෙනෙක් ක්‍රිස්තියානි සභාවේ කතාවක් දීමට, ඇතැම්විට ප්‍රසිද්ධ කථාවක් හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතාවක් දීමට පැවරුමක් ලබද්දී, ඔහු එයට සූදානම් වීම අන්තිම මොහොත දක්වා කල් දැමිය හැකියි. ඇතැම්විට යෙහෝවාගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කිරීමට පවා ඔහුට අමතක වෙනවා ඇති. ඒ අවස්ථාවේදී ඔහු විශ්වාස කරමින් සිටින්නේ තමා එකතු කරගත් දැනුම් සම්භාරය සහ ක්ෂණිකව හොඳින් අදහස් ගළපාගැනීමේ හැකියාව ඔහුව ගොඩගනී කියලයි. එවැනි සහජ හැකියාවක් කලකට එවැනි නොසැලකිලිමත්කමක් වසං කරමින් වෙස් මුහුණක් මෙන් ක්‍රියා කළ හැකියි. එනමුත් යෙහෝවාගේ පූර්ණ ආශීර්වාද නොලැබී යෑම නිසා ඔහුගේ ආත්මික දියුණුව අඩාල වී සහමුලින්ම ඇණහිටීමට පවා පුළුවන්. මොනතරම් නාස්තියක්ද!—හිතෝපදේශ 3:5, 6; යාකොබ් 3:1.
බයිබලය සහ බයිබල් පාඩම් ආධාරක අධ්‍යයනය කරද්දී හොඳ මොළයක් තිබෙන කෙනෙක් උගත්කමක් මවාපෑමේ අරමුණින් එයට නැඹුරු විය හැකියි. කෙසේවෙතත්, එවැනි දැනුමක් හුළංවලින් පිම්බෙන බැලුමක් මෙන් ‘උඩඟුකම උපදවනවා’ පමණයි. අවැඩක් මිස ප්‍රේමනීය ක්‍රිස්තියානි සම්බන්ධතා ඇති කරගැනීමට එයින් ‘වැඩක් සිද්ධ නොවෙයි.’ (1 කොරින්ති 8:1; ගලාති 5:25ආ) ඊට වෙනස්ව, ආත්මික පුද්ගලයාට කොතරම් හොඳ මානසික හැකියාවක් තිබුණත්, දෙවිගේ ආත්මය උදෙසා යාච්ඤා කිරීමටත් එමත රඳා සිටීමටත් ඔහු කිසිදා අතපසු නොකරයි. ඉතා සමබර ලෙස ඔහු ප්‍රේමයෙන්, නිහතමානීකමෙන්, දැනුමෙන් සහ ප්‍රඥාවෙන් වැඩෙද්දී ඔහුගේ ශක්තිය තව තවත් ආශීර්වාදයක් බවට පත් වෙයි.—කොලොස්සි 1:9, 10, 12ආ.
අපි අප ගැනම උදුම්මාගත් ආකල්පයක් වර්ධනය කරගත්තොත් හැකියාව අපගේ දුර්වලකම බවට පත් විය හැකියි. එයින් අප පමණ දැන ක්‍රියා නොකරන බවයි හෙළි වන්නේ. “තමා ප්‍රඥාවන්තයයි සිතන්නා” කොතරම් දස්කම් පෑවත් යෙහෝවා ඔහුව “නොතකන” බව දක්ෂ පුද්ගලයෙකුට සහ ඔහුගේ අනුගාමිකයන්ට අමතක කළ හැකි බව පැහැදිලියි. (යෝබ් 37:24, NW) දෙවිගේ වචනයෙහි පවසන්නේ ‘ප්‍රඥාව තිබෙන්නේ යටහතුන් සමඟ’ බවයි. (හිතෝපදේශ 11:2) ප්‍රේරිත පාවුල් සෑහෙන බුද්ධිමතෙක් මෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබා තිබුණු කෙනෙක් වුවත්, ඔහු කොරින්තිවරුන්ට මෙසේ පැවසුවා: “මා නුඹලා වෙතට ආ කල්හි [දෙවිගේ] රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. . . . මම දුර්වලකමින්ද භයින්ද බොහෝ වෙවුලුමෙන්ද නුඹලා සමඟ සිටියෙමි. මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොලඹවන්නාවූ වචනවලින් නොව [ආත්මයේද] බලයේද ප්‍රකාශකිරීමෙන් විය. එසේ වුණේ නුඹලාගේ ඇදහිල්ල [දෙවිගේ] බලයෙන් මිස මනුෂ්‍යයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය.”—1 කොරින්ති 2:1-5.
සැබෑ ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා බුද්ධිය පිළිබඳ ලෝකයේ මති මතාන්තරවලටවත්, සාර්ථකත්වය පිළිබඳ එහි සංකල්පයටවත් අසු වන්නේ නැහැ. එමනිසා, මනුෂ්‍යයන්ගේ ප්‍රසාදයට ලක් වන්නවත්, ධනය එක්රැස් කිරීමටවත් තම කුසලතාවන් යොදාගන්නවා වෙනුවට, තම ජීවිතය සහ හැකියාවන් ලබා දුන් තැනැත්තා වෙනුවෙන් ඒවා යොදාගැනීමට ඔහු උපරිම වෙහෙසක් දරනවා. (1 යොහන් 2:15-17) ඒ අරමුණ පෙරදැරි කරගෙන ඔහු තම ජීවිතයෙහි රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙන්නේ “දිය ඇළවල් ළඟ හිඳුවූ” ඵලදායී “ගසක්” මෙන් කටයුතු කරමිනුයි. එසේ නම්, ‘ඔහු කරන සියල්ල සඵල වන්නේ’ ඔහුගේ සහජ හැකියාවන් නිසා නොව, යෙහෝවාගේ ආශීර්වාදය ඔහුට ලැබෙන නිසයි.—ගීතාවලිය 1:1-3; මතෙව් 6:33.
ක්‍රිස්තියානි ධර්මය ඔබට අමතර ශක්තියක් වේවා!
ක්‍රිස්තියානි ධර්මය ඒකාන්ත පැතිවලින් කොතරම් පිරිපුන්ද කිවහොත්, ලෞකික දර්ශන ඒ හා සසඳද්දී මැලවුණු ස්වභාවයක් දරනවා. ක්‍රිස්තියානි ජීවන රටාව, හොඳම පුරුෂයන්, හොඳම භාර්යාවන්, හොඳම අසල්වාසීන් මෙන්ම හොඳම සේවකයන් බිහි කරයි. අවංක, ගෞරවාන්විත, සාමකාමී සහ කඩිසර ජනතාවක් බිහි කරයි. (කොලොස්සි 3:18-23) මීට අමතරව, කථිකත්වය සහ ඉගැන්වීම දියුණු කිරීමට ලබන ක්‍රිස්තියානි පුහුණුවෙන් හොඳ අදහස් හුවමාරු කිරීමේ දක්ෂතාවක් වර්ධනය කරගන්න පුළුවන්. (1 තිමෝති 4:13-15) එසේ නම්, ක්‍රිස්තියානීන්ට අමතර වගකීම් සහ රැකියාවේ උසස් වීම් දීමට ස්වාමිවරුන් මනාපයක් දැක්වීම පුදුමයට හේතුවක් නොවෙයි. එනමුත් පරෙස්සම් වන්නේ නැත්නම්, එවැනි දක්ෂතාවන්ද අවාසියට හේතුවක් විය හැකියි. රැකියාවේ උසස් වීමක් පිළිගත්තොත් නැත්නම් හොඳ රැකියාවක් කිරීමට ලබන සිත්ගන්නා යෝජනාවක් පිළිගත්තොත්, ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම රැකියාවටම කැපවීම විය හැකියි. ඒ නිසා, නිතරම ක්‍රිස්තියානි රැස්වීම් අතපසු වීමට හෝ පවුල සමඟ ගත කළ යුතු වටිනා කාලය පරිත්‍යාග කිරීමට හෝ සිදු විය හැකියි.
ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයෙක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සහ පවුල්කාරයෙක් පමණක් නොව ඉතා සාර්ථක ව්යාපාරිකයෙක්වද සිටියා. ව්‍යාපාර ලෝකයේ හිණි පෙත්තටම නැඟීමේ ප්‍රස්තාව ඔහුට තිබුණා. එනමුත් එලෙස දියුණු වීමේ පරීක්ෂාවට ඔහු හසු වුණේ නැහැ. ඔහු මෙසේ කියයි: “මට ඕනෙ වුණේ මගේ පවුලත් එක්ක සහ ක්ෂේත්‍ර සේවයෙහි වැඩි කාලයක් ගත කරන්න. ඒ හින්දා මමයි භාර්යාවයි එකට කතා කරලා අපි තීරණයකට එළඹුණා රැකියාවේ මම වැය කරන කාලය ක්‍රම ක්‍රමයෙන් අඩු කරන්න. අත්‍යවශ්‍යම නැත්තං මං මොකටද සතියකට දවස් පහක්ම වැඩ කරන්නේ?” මෙම වැඩිමහල්ලා තම ජීවිතයෙහි කල්පනාකාරි සකස් කිරීම් කිහිපයක්ම කළා. එසේ කිරීමෙන් සතියකට දවස් තුනක් හෝ හතරක් වැඩ කිරීමෙන් පවුලේ අවශ්‍යතාවන් සපුරාගන්න පුළුවන් කියා ඔහුට පෙනී ගියා. කල් යද්දී, ඔහුට වෙනත් සේවා වරප්‍රසාද විවෘත වුණා. ප්‍රාදේශීය එක්රැස්වීම් ශාලා කමිටුවේ සේවය කිරීමට සහ දිස්ත්‍රික් කමිටු පරිපාලනයට සහභාගි වන්න ඔහුට වරම් ලැබුණා. ඔහුගේ දක්ෂතාවන් එලෙස ඥානවන්තව යොදාගත් නිසා, ඔහුටත්, ඔහුගේ පවුලටත් ඉමහත් ප්‍රීතියක් සහ තෘප්තියක් ලැබුණා.
වරප්‍රසාද ලැබීම ගැන සමබර ආකල්පයක් තිබීම
සභාවේ සේවා වරප්‍රසාද අත් කරගැනීමට උත්සාහ කරන්න කියා ක්‍රිස්තියානි පුරුෂයන්ට දිරිගන්වා තිබෙනවා. “යම් පුරුෂයෙක් අවේක්ෂකයෙකුගේ [හෝ උපස්ථායක සේවකයෙකුගේ], කාර්යභාරය අත් කරගැනීමට උත්සාහ කරනවා නම්, ඔහු යහපත් වැඩකට ආශා කරන්නේය.” (1 තිමෝති 3:1, NW) කලින් සඳහන් කළ දක්ෂතාවන් සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන්, වගකීම් පිළිගැනීමට තිබෙන කැමැත්ත හොඳ විනිශ්චයක් සමඟ කළ යුත්තක්. යෙහෝවාගේ සේවය තුළ තම ප්‍රීතිය අහිමි වන තරමටම කෙනෙක් විවිධ පැවරුම් භාර නොගත යුතුයි. යෙහෝවා ඉදිරිපත් නොවන ස්වභාවයකට මනාපයක් නොදක්වන නිසා, කැමැත්තෙන් ඉදිරිපත් වීමේ ස්වභාවයක් පැසසුමට ලක් විය යුතුයි. එනමුත් පමණ දැන, “සිහියෙන් යුක්තව” එසේ ඉදිරිපත් වීම අවශ්‍යයි.—තීතස් 2:12, 13; එළිදරව් 3:15, 16.
යේසුස් අන්‍යයන් සමඟ කාරුණිකව, සිහි බුද්ධියෙන් සහ අනුකම්පාවෙන් කටයුතු කළ නිසා, ඉතා බයාදු ගති ඇති කෙනෙකුට වුවත් අපහසුවක්වත් නොසන්සුන්කමක්වත් දැනුණේ නැහැ. අදදිනත්, ඒකාන්ත ගුණාංගයක් ලෙස අනුකම්පාව සහ සැලකිල්ල දක්වන පෞද්ගලිකත්වයක් ඇති අය සමඟ කටයුතු කරද්දී මනුෂ්‍යයන්ට පහසුවක් දැනෙනවා. ක්‍රිස්තියානි සභාවේ, එවැනි උණුසුම්, එළඹීමට පහසු වැඩිමහල්ලන් “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” ලෙස සැබෑවටම අගය කරනු ලබනවා. ඔවුන් “සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද” කටයුතු කරනවා.—එපීස 4:8, NW; යෙසායා 32:2.
එනමුත් අන්‍යයන්ට උපකාර කරන්න කාලය වැය කරන අතරතුර, පෞද්ගලික පාඩම, මෙනෙහි කිරීම, යාච්ඤාව සහ දේවසේවය සඳහාත් වැඩිමහල්ලන් කාලය සමබරව වෙන් කරගත යුතුයි. වැඩිමහල්ලෙක් විවාහ වී සිටී නම්, තම පවුල සමඟ කාලය ගත කිරීමත් අත්‍යවශ්‍යයි. ඇත්තෙන්ම ඔහු එළඹිය හැකි පුද්ගලයෙකු කියා පවුලේ සාමාජිකයන්ට විශේෂයෙන් දැනෙන්න අවශ්‍යයි.
දක්ෂ ස්ත්‍රීන්—මහඟු ආශීර්වාදයක්
දක්ෂ වැඩිමහල්ලන්ට සමානව ආත්මික මනසක් ඇති ස්ත්‍රීන් යෙහෝවාගේ සංවිධානයට මහඟු ආශීර්වාදයක් වෙනවා. සාමාන්‍යයෙන් අන්‍යයන් ගැන උනන්දුවක් දැක්වීමේ දීමනාව ස්ත්‍රී පක්ෂයට තිබෙනවා. මෙම ගුණාංගය යෙහෝවා අගය කරනවා වගේම එය වැඩි දියුණු කරගැනීමට දිරිගන්වනවා. ඊට එකඟව ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “තමාගේම කාරණා ගැන පෞද්ගලික උනන්දුව පමණක් නොව, අන්‍යයන්ගේ කාරණා කෙරෙහිත් පෞද්ගලික උනන්දුවක් දැක්වීමට උත්සුක වන්න.” (පිලිප්පි 2:4, NW) කෙසේවෙතත්, මෙම ‘පෞද්ගලික උනන්දුවට’ සීමාවක් තිබෙනවා. කිසිම ක්‍රිස්තියානියෙක් “අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන්නෙකු” වීමටවත් ඕපදූප කියන්නෙක් වීමටවත් කැමති නොවන බවට සැකයක් නැහැ.—1 පේතෘස් 4:15, NW; 1 තිමෝති 5:13.
ස්ත්රීන්ට වෙනත් දීමනා බොහොමයකුත් තිබෙනවා. නිදසුනකට, ක්‍රිස්තියානි ස්ත්‍රියක් ඇගේ පුරුෂයාට වඩා බුද්ධිමත් විය හැකියි. එනමුත්, යෙහෝවාට භය ඇති “දක්ෂ භාර්යාවක්” ලෙස, ඇය තම පුරුෂයාට ගෞරවය කරමින්, ඔහු සමඟ තරඟ වැදීමට නොව, ඔහුට රුකුලක් වශයෙන් ඇගේ දීමනාවන් භාවිත කිරීමට කටයුතු කරනවා. ඇය ගැන ඊර්ෂ්‍යාවක් හෝ අමනාපයක් ඇති කරගන්නවා වෙනුවට, ප්‍රඥාවන්ත, නිහතමානී පුරුෂයෙක් තම භාර්යාවගේ හැකියාවන් අගය කරමින් ඒවා ගැන ඉමහත් සේ ප්‍රීති වෙනවාට සැකයක් නැහැ. ඇගේ පවුල ගොඩනැංවීමටත්, ඇය මෙන් ඇගේ දරුවන්ටත් ‘යෙහෝවා කෙරෙහි භයක්’ වර්ධනය කරන්න උපකාර කිරීමටත් ඇගේ දීමනාවන් යොදාගැනීමට ඔහු ඇයට අවශ්‍ය දිරිගැන්වීම ලබා දෙනවා. (හිතෝපදේශ 31:10, NW, 28-30; උත්පත්ති 2:18) පමණ දැන, නිහතමානී ස්වභාවයක් විදහාපෙන්වන පුරුෂයන් සහ භාර්යාවන්, යෙහෝවාට සැබෑ ගෞරවයක් ගෙන දෙන විවාහයන් තුළ ඇත්තෙන්ම බොහෝ ආශීර්වාද භුක්ති විඳිනවා.
ප්‍රබල පෞද්ගලිකත්වයක් පාලනය කිරීම
ධර්මිෂ්ඨකමට මෙන්ම යෙහෝවාගේ කැමැත්ත ප්‍රාණ පූර්ණව කිරීමට ලැදි ප්‍රබල පෞද්ගලිකත්වයකට පමණ දැන ක්‍රියා කිරීම සහ නිහතමානීකම මුසු වූවොත් එය කදිම දීමනාවක් විය හැකියි. කෙසේවෙතත්, අන්‍යයන් කෙරෙහි අධිපතිකම් කිරීමට හෝ ඔවුන්ව බියගැන්වීමට එය හේතුවක් කරගන්නවා නම් එය දුර්වලකමක් බවට පත් විය හැකියි. ක්‍රිස්තියානි සභාව තුළ මෙය විශේෂයෙන්ම අදාළ වන දෙයක්. වැඩිමහල්ලන් ඇතුළුව සෙසු ඇදහිලිවන්තයන් සමඟ ආශ්‍රය කරද්දී ක්‍රිස්තියානීන්ට පහසුවක් දැනිය යුතුයි.—මතෙව් 20:25-27.
ඒ වගේම වැඩිමහල්ලන් සෙසු වැඩිමහල්ලන් සමඟ ඇසුරු කරද්දී ඔවුන්ටත් පහසුබවක් දැනිය යුතුයි. ඔවුන් එකට රැස් වෙද්දී, ඔවුන්ගේ තීරණවලට බලපෑ යුත්තේ ප්‍රබල පෞද්ගලිකත්වයක් නොව නමුත් ශුද්ධාත්මයයි. ඇත්තෙන්ම තරුණ වුණත් ඉතා නිහඬ වුණත් මණ්ඩලයේ ඕනෑම වැඩිමහල්ලෙකු තුළින් ශුද්ධාත්මයට කතා කළ හැකියි. එමනිසා ප්‍රබල පෞද්ගලිකත්වයන් ඇති අයට තමන් හරියි කියා හැඟුණත්, යටහත් ස්වභාවයක් විදහාපෙන්වීමෙන් එම ගතිය පාලනය කළ යුතුයි. මේ අනුව, ඔවුන් සෙසු වැඩිමහල්ලන්ව “ගෞරවයෙන්” සලකනවා. (රෝම 12:10) දේශනාකාරයා 7:16 මෙම කාරුණික අවවාදය දෙයි: “පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?”
‘සෑම යහපත් දීමනාවල’ උල්පත වන යෙහෝවා තම පුදුම දනවන හැකියාවන් කිසිම අඩු පාඩුවකින් තොරව මැනවින් හසුරුවනවා. (යාකොබ් 1:17; ද්විතීය කථාව 32:4) ඔහු අපගේ ගුරුවරයාය! එමනිසා අපි ඔහුගෙන් ඉගෙනගනිමු. අපගේ සහජ හැකියාවන් නොහොත් ශක්තීන් වර්ධනය කරගැනීමටත්, ඒවා ඥානවන්තව, පමණ දැන සහ ප්‍රේමනීයව හැසිරවීමටත් වීර්යය කරමු. එසේ කළොත් අප අන්‍යයන්ට මොනතරම් ආශීර්වාදයක් වේවිද!
[27වන පිටුවේ පින්තූර]
ආත්මික දියුණුවට රහස යාච්ඤාපූර්වක අධ්‍යයනය සහ යෙහෝවා මත රඳා සිටීමයි
[29වන පිටුවේ පින්තූරය]
අන්‍යයන් කෙරෙහි පමණ දැන පෞද්ගලික උනන්දුවක් විදහාපෙන්වනවා නම්, එය ආශීර්වාදයක්
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Mariners’ Museum, Newport News, VA අනුග්රහයෙනි