බයිබල් පොත් අංකය 51—කොලොස්සි
ලේඛකයා: පාවුල්
ලියූ ස්ථානය: රෝමය
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු. 60-61 පමණ
මිනිසුන් දෙදෙනෙක් එපීසයෙන් පිටත්ව මියැන්ඩ (මෙන්ඩරේස්) නදිය දිගේ කුඩා ආසියාව හරහා ගමන් කළහ. පිරිගිය නම් ප්‍රදේශයේ පිහිටි ලයිකස් නම් අතු ගංගාව අසලට ළඟා වූ විට, ඔවුහු ගිනිකොනදිග දෙසට හැරී, කඳුවලින් වට වූ නිම්නයක් හරහා ගඟ දිගේ දිගටම ගමන් කළහ. විශාල බැටළු රැළවල් සිටින, හරිත වර්ණයෙන් යුත් සාරවත් තණබිම්වල අලංකාර දසුනක් ඔවුන් ඉදිරියෙහි දිස් විය. (ලොම් නිෂ්පාදන මේ ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය.a) නිම්නය දිගේ ගමන් කරන අතරේදී, මෙම සංචාරකයෝ දකුණු දෙසින් පිහිටි, එම දිස්ත්‍රික්කයේ රෝම පරිපාලනයේ මධ්‍යස්ථානය වූ ලවොදිකය නම් ධනවත් නගරය පසු කරමින් ගමන් ගත්හ. ඔවුන්ගේ වම් දෙසින් ගඟෙන් එගොඩ පිහිටි හියරපොලිසය දැකගත හැකි විය; එහි තිබෙන සිද්ධස්ථාන හා උණු දිය උල්පත් නිසා එය ප්‍රසිද්ධත්වයක් ඉසිලීය. මේ නගර දෙකෙහි මෙන්ම නිම්නයේ සිට කිලෝමීටර් 16ක් පමණ ඈතින් පිහිටි කුඩා නගරයක් වූ කොලොස්සියේද ක්‍රිස්තියානි සභා පිහිටා තිබිණ.
2 කොලොස්සිය මේ සංචාරකයන් දෙදෙනාගේ ගමනාත්තය විය. මොවුහු දෙදෙනාම ක්‍රිස්තියානීන් වූහ. අඩුම තරමින් මොවුන්ගෙන් එක්කෙනෙකු හෝ කොලොස්සියේ පදිංචිකරුවෙකු වූ නිසා මෙම ප්‍රදේශය ගැන හොඳින් දැන සිටියේය. ඔහුගේ නම ඔනේසිමස්ය. ඔහු, එහි පිහිටා තිබූ සභාවේ සාමාජිකයෙකු වූ තම ස්වාමියාගේ නිවසට ආපසු පැමිණෙමින් සිටි දාසයෙකු විය. ඔනේසිමස්ගේ සගයා වූ තුඛීකස් නිදහස් වැසියෙකු විය. මොවුන් දෙදෙනාම ප්‍රේරිත පාවුල්ගේ නියෝජිතයන් වූ අතර, ‘ක්‍රිස්තුස් තුළ එක්සත්ව කොලොස්සියේ සිටින විශ්වාසවන්ත සහෝදරයන්ට’ ඔහු විසින් ලියන ලද ලිපියක් මොවුහු රැගෙන ගියහ. අප දන්නා තරමින් පාවුල් කිසි දිනක කොලොස්සියට ගියේ නැත. වැඩි වශයෙන් යුදෙව් නොවන්නන්ගෙන් සමන්විත වූ එම සභාව, මොවුන් සමඟ වෙහෙස මහන්සිව වැඩ කළ එපප්‍රස් විසින් පිහිටුවනු ලැබුවා විය හැක. මේ අවස්ථාවේදී, ඔහු පාවුල් සමඟ රෝමයේ සිටියේය.—කොලො. 1:2, 7; 4:12.
3 මෙම ලිපියේ ආරම්භක හා අවසන් වදන්වල සඳහන් වන්නාක් මෙන් මෙහි ලේඛකයා පාවුල් විය. (1:1; 4:18) ඔහු මෙය සිරගෙදර සිට ලියූ බව ඔහුගේ අවසන් වදන්වල සඳහන් වේ. මෙය ඔහු ප්‍රථමවරට රෝමයේ සිරගතව සිටි පො.යු. 59-61 අතර කාලය විය. මේ කාලපරිච්ඡේදයේදී ඔහු දිරිගැන්වීමේ ලිපි ගණනාවක් ලියූ අතර, කොලොස්සිවරුන්ට ලියන ලද ලිපිය පිලෙමොන්ට ලියූ ලිපිය සමඟ යවන ලදි. (කොලො. 4:7-9; පිලෙ. 10, 23) එපීසවරුන්ට ලියූ ලිපියෙහි සඳහන් අදහස් හා වාක්යඛණ්ඩ ගණනාවක් මෙම ලිපියේ සඳහන් ඒවාට සමාන බැවින්, පෙනෙන ආකාරයට මෙම ලිපි දෙකම එකම කාල සීමාවකදී ලියනු ලැබිණ.
4 කොලොස්සිවරුන්ට ලියන ලද ලිපියෙහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් සැක ඇති කරගැනීමට කිසිම හේතුවක් නොමැත. මෙම ලිපිය පාවුල්ගේ ලිපිවලින් එකක් ලෙස මුල් සියවසේ විසූ ක්‍රිස්තියානීන් පිළිගත් බව, පො.යු. 200දී පමණ ලියන ලද චෙස්ට’ බීටි පැපිරස් අංක 2හි (P46) සඳහන් පාවුල්ගේ සෙසු ලිපි සමඟ මෙයද ඇතුළත් වීමෙන් පෙනී යයි. පාවුල්ගේ සෙසු ලිපිවල නිරවද්‍යතාව සහතික කරන මුල් අධිකාරීන් විසින්ම මෙහි විශ්වාසවන්තබව සහතික කරනු ලබයි.
5 කොලොස්සිවරුන්ට ලිපියක් ලිවීමට පාවුල් තුළ පෙලඹීමක් ඇති කළේ කුමක්ද? එක් දෙයක් නම්, ඔනේසිමස් ආපසු කොලොස්සිය බලා පිටත් වීමයි. එපප්‍රස් පාවුල් හා එක් වී වැඩි කලක් ගත වී නොතිබූ අතර, කොලොස්සියේ පැවති තත්වය පිළිබඳව ඔහු සැපයූ වාර්තාව, මෙම ලිපිය ලිවීමට තවත් හේතුවක් විය. (කොලො. 1:7, 8; 4:12) එහි පිහිටි ක්‍රිස්තියානි සභාවට යම් අනතුරක් හේතුවෙන් තර්ජනයක් එල්ල විය. එවකට පැවති ආගම් කොටස්වලට කැඩී බිඳී යමින් තිබූ අතර, පැරණි ආගම්වල කොටස් එක්වීමෙන් නව ආගම් නිරන්තරයෙන් බිහි වෙමින් පැවතිණ. තපස, භූතවාදය මෙන්ම රූප නමස්කාරය හා බැඳි අන්ධ විශ්වාසයන් ඇතුළත් මිථ්‍යා දෘෂ්ටික දර්ශනයන්, ඇතැම් ආහාරවලින් යුදෙව්වන් වැළකී සිටීම මෙන්ම චාරිත්‍රානුකූලව දවස් විශේෂ කොට සැලකීම සමඟ මිශ්රවීම සභාවේ සිටි සමහර අයට බලපෑවා විය හැක. ගැටලුව කුමක් වුවත්, රෝමය දක්වා දිගු ගමනක යෙදෙමින් පාවුල්ව හමුවීමට තරම් ප්‍රමාණවත් හේතු එපප්රස්ට තිබූ බව පෙනෙයි. කෙසේවෙතත්, සමස්තයක් හැටියට මුළු සභාවම අනතුරක ආසන්නයෙහි නොපැවති බව ඔවුන්ගේ ප්‍රේමය හා නොසැලෙන ස්ථාවරය පිළිබඳ එපප්රස්ගේ දිරිගන්වනසුලු වාර්තාවෙන් පැහැදිලි වේ. මෙම වාර්තාවට සවන් දීමත් සමඟම, කොලොස්සි සභාවට ලිපියක් ලිවීම මගින් ඒකාන්ත දැනුම හා පවිත්‍ර නමස්කාරයට පක්ෂව පාවුල් ප්‍රබල ලෙස කරුණු දැක්වුවේය. මිථ්‍යා දෘෂ්ටික දර්ශන, දේවදූතයන්ට නමස්කාර කිරීම හා යුදෙව් සම්ප්‍රදායන් හමුවෙහි ක්‍රිස්තුස්ට දෙවි විසින් දානය කරන ලද උත්තරීතරභාවය මෙයින් අවධාරණය කෙරෙයි.
ප්‍රයෝජනවත් වීමට හේතු
12 රෝමයේ සිට සහෝදරයන් දෙදෙනාගේ පැමිණීම මොන තරම් ඉක්මනින් කොලොස්සියේ විසූ සහෝදරයන්ට දැනගන්න ලැබුණාද කියා අපට සිතාගත හැක. ඔවුන් මහත් බලාපොරොත්තු ඇතුව පාවුල්ගේ ලිපියේ සඳහන් දේවලට සවන් දීමට ඇතැම්විට පිලෙමොන්ගේ නිවසට එක්රැස් වූවා විය හැක. (පිලෙ. 2) යෝග්‍ය ලෙස ක්‍රිස්තුස්ට හිමි තත්වය හා ඒකාන්ත දැනුම ලබාගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මොන තරම් ප්‍රාණවත් කරවන සත්‍යයන් එය සපයනු ලැබුවේද! මිනිසුන්ගේ දර්ශනයන් හා යුදෙව් සම්ප්‍රදායන් හෙළාදකිමින් සමාදානය සහ ක්‍රිස්තුස්ගේ වචනය ඉතා ඉහළින් අගය කිරීම මොන තරම් පැහැදිලි ලෙස ඉදිරිපත් කළේද! මෙහි අඩංගු දේවල් සභාවේ සිටින සියලුදෙනාගේම, එනම් අවේක්ෂකයන්, ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, පියවරුන්, දරුවන්, ස්වාමිවරුන් හා දාසයන් යන අයගේ මනස හා හදවත පෝෂණය කරන යමක් විය. පිලෙමොන් හා ඔනේසිමස් නැවත වරක් ස්වාමියා හා දාසයා අතර තිබෙන සබඳතාව ගොඩනඟා ගන්නා විට ඔවුන් දෙදෙනාටද කදිම අවවාදයක් මෙහි ඇතුළත් විය. රැළේ සාමාජිකයන්ව මූලික ඉගැන්වීම් තුළ නිවැරදි ලෙස යළි පිහිටුවීමේදී, අවේක්ෂකයන්ට මොන තරම් කදිම මඟ පෙන්වීමක් දී තිබුණේද! ප්‍රාණ-පූර්ණව යෙහෝවාට සේවය කිරීමේ තම වරප්‍රසාදය සම්බන්ධයෙන් කොලොස්සිවරුන් තුළ මොන තරම් තියුණු අගය කිරීමක් පාවුල්ගේ වදන්වලින් ඇති කළේද! එමෙන්ම තමන් වහල්ව සිටින සිතුවිලිවලින් හා ලෝකයේ ව්‍යවහාරවලින් නිදහස් වීම සම්බන්ධයෙන් කොලොස්සිවරුන්ට දුන් ගොඩනංවනසුලු උපදේශය, අද තිබෙන සභා සඳහා දිගටම ජීවමාන පණිවිඩයක්ව පවතී.—කොලො. 1:9-11, 12ආ, 17, 18; 2:8; 3:15, 16, 18-25; 4:1.
13 ක්‍රිස්තියානි දේවසේවකයා සඳහා විශිෂ්ට අවවාදයක් කොලොස්සි 4:6හි මෙසේ සඳහන් වේ: ‘එකිනෙකාට උත්තර දිය යුත්තේ කෙසේද කියා දැනගන්නා පිණිස, ඔබේ කතාව නිතරම ලුණෙන් රසවත්ව අනුග්‍රහයෙන් [කාරුණික වදන්වලින්, NW] යුක්තව තිබේවා!’ සත්‍යයේ කාරුණික වදන් අවංක හදවත් ඇති මිනිසුන් තුළ රුචියක් ඇති කරවන අතර, ඒවායින් ඔවුන්ට කල්පවතින ප්‍රයෝජන අත් වනු ඇත. එමෙන්ම ක්‍රිස්තියානියෙකු හොඳින් අවදිව සිටිමින් අගය කිරීමෙන් යුත් හදවතකින් ඉදිරිපත් කරන යාච්ඤාව යෙහෝවාගේ මහඟු ආශීර්වාදවලට හේතු වේ: “ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න.” තවද ක්‍රිස්තියානි ඇසුර මගින් මොන තරම් ප්‍රීතියක් හා ගොඩනංවනසුලු ප්රබෝධයක් ඇති කරවනවාද! ‘එකිනෙකාට උගන්වමින් හා දැනමුතුකම් දෙමින්, නුඹලාගේ හදවත්වලින් යෙහෝවාට ගී ගයන්න’ කියා පාවුල් පවසයි. (4:2; 3:16) කොලොස්සිවරුන්ට ලියා තිබෙන ලිපිය ඔබ පරීක්ෂා කර බලන විට, එහි තිබෙන නැණවත් හා ප්‍රායෝගික උපදෙස්වලින් යුත් මැණික් ඔබට සොයාගත හැක.
14 ව්‍යවස්ථාව පැවැත්වීම සම්බන්ධයෙන් ලිපියෙහි මෙසේ පැවසේ: ‘ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නමුත් සිරුර ක්රිස්තුස්ගේය [යථාර්ථය හිමි වන්නේ ක්රිස්තුස්ටය, NW].’ (2:17) කොලොස්සිවරුන්ට ලියූ ලිපියෙහි කැපීපෙනෙන්න සලස්වා තිබෙන්නේ ක්‍රිස්තුස් පිළිබඳ මෙම යථාර්ථයයි. ක්‍රිස්තුස් හා එක්සත්ව සිටින අය උදෙසා ස්වර්ගයෙහි තිබෙන තේජවත් බලාපොරොත්තුවට මෙම ලිපියෙහි නිතර නිතර යොමු දැක්වේ. (1:3ආ, 5, 27; 3:4) පියා දැනටමත් අන්ධකාරයේ බලයෙන් ඔවුන්ව මුදවාගෙන, ‘තම ප්‍රේමයේ පුත්‍රයාගේ රාජ්‍යයට’ ඔවුන්ව පමුණුවා තිබීම ගැන එවැනි අයට බොහෝ සෙයින් ස්තුතිවන්ත විය හැක. මෙසේ ‘අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපය හා මුළු මැවිල්ලේ කුලුඳුලා’ යටතට ඔවුන් පැමිණ තිබේ. ‘මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහි ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල ඔහු කරණකොටගෙන මවා තිබේ.’ දෙවිගේ රාජ්‍යයෙහි දැහැමින් පාලනය කිරීමට මොහු විශිෂ්ට ලෙස සුදුසුකම් ලබා සිටී. එමනිසා, පාවුල් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ දැනමුතුකම් සපයයි: ‘එහෙයින් නුඹලා ක්‍රිස්තුස් සමඟ නැඟුටුවනු ලැබුවෙහි නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයන්න. එහි ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ වැඩහිඳින්නේය.’—1:12-16; 3:1.
[පාදසටහන]
a ද නියූ වෙස්ට්මිනිස්ට’ ඩික්ෂනරි ඔෆ් ද බයිබල්, 1970, පිටුව 181.