27වෙනි පරිච්ඡේදය
පාවුල් “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙයි
රෝමයේ සිරගතව සිටියත් පාවුල් දිගටම නිර්භීතව සාක්ෂි දරයි
1. රෝමයට ගිය ගමන සාර්ථක වෙනවා කියලා පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට නිසැකකමක් තිබුණේ ඇයි?
මේ ක්‍රි.ව. 59වෙනි අවුරුද්දයි. “සියුස්ගේ පුතුන්ගේ රූප” කැටයම් කරලා තියෙන ධාන්‍ය රැගත් නැවක් මෝල්ටාවේ සිට ඉතාලිය බලා පිටත් වෙනවා. හේවායන්ගේ භාරයේ ඉන්න පාවුල් සහ ඔහුගේ මිත්‍රයන් වන ලූක් හා අරිස්තාකස් මේ නැවේ ඉන්නවා. (ක්‍රියා 27:2) පේන විදිහට මේ නැවේ ගමන් කරන අය ගමනට රැකවරණය පතන්නේ සියුස් කියන ග්‍රීක දෙවියාගේ නිවුන් පුතුන් දෙන්නාගෙන් (ඒ කියන්නේ කැස්ටර් හා පොලොක්ස්). නමුත් පාවුල් හා ඔහුගේ මිත්‍රයන් ඒ වගේ දෙවිවරුන්ගෙන් රැකවරණය පැතුවේ නැහැ. (ක්‍රියා 28:11) මොකද පාවුල් රෝමයේදී සාක්ෂි දරනවා කියලත් ඔහු සීසර් ඉස්සරහට යනවා කියලත් ඔවුන් නමස්කාර කරන සැබෑ දෙවි යෙහෝවා ඔවුන්ට පොරොන්දු වෙලා තිබුණා. එහෙමනම් මේ ගමන සාර්ථක වන බවට ඔවුන්ට නිසැකකමක් තිබුණ එක පුදුමයක් නෙවෙයි.—ක්‍රියා 23:11; 27:24.
2, 3. පාවුල් ගිය නැව ගමන් කළේ මොන මාර්ගයේද? පාවුල්ට ලැබුණේ කාගේ උපකාරයද?
2 දින තුනකට පස්සේ සිසිලියේ පිහිටි සිරකූසය කියන අලංකාරවත් නගරයට ඔවුන් ආවා. ඒක ඇතන්ස් හා රෝමය වගේ ඉතා ප්‍රසිද්ධ නගරයක්. එතනින් පිටත් වුණ ඔවුන් ඊළඟට ළඟා වුණේ ඉතාලියේ දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් වුණ රෙජියම්වලට. දකුණු දෙසින් හමපු සුළඟ නිසා රෙජියම් සිට කිලෝමීටර් 320ක් ඈතින් පිහිටි පුටෙයෝලිය වරාය වෙතට (අද දින නේපල්ස් විදිහට හඳුන්වන ස්ථානය අසලට) සිතුවාටත් වඩා වේගයෙන් යන්න ඔවුන්ට පුළුවන් වුණා.—ක්‍රියා 28:12, 13.
3 දැන් පාවුල් ඔහුගේ ගමනාන්තය වන රෝමයට ළඟා වෙනවා. එහෙදී ඔහු අධිරාජ්‍යයා වුණ නීරෝ ඉදිරියේ පෙනී ඉන්නයි යන්නේ. සිසේරියේ සිට රෝමය දක්වා ආපු මේ ගමනේදී “ඕනෙම අවස්ථාවකදී අපිව සනසන දෙවි” යෙහෝවාගේ උපකාරය පාවුල්ට ලැබුණා. (2 කොරි. 1:3) දෙවියන්ගේ උපකාරය ඔහුට දිගටම ලැබුණු විදිහ ගැනත් පාවුල් දිගටම උද්යෝගයෙන් සේවය කරපු විදිහ ගැනත් දැන් අපි බලමු.
“පාවුල්ගේ හිතට ලොකු ධෛර්යයක් ඇවිත් එයා දෙවියන්ට ස්තුති කළා” (ක්‍රියා 28:14, 15)
4, 5. (අ) සහෝදරයන් පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට ආගන්තුක සත්කාරය පෙන්නුවේ කොහොමද? පාවුල්ට සහෝදරයන් එක්ක කාලය ගත කිරීමට නිදහස ලැබෙන්න ඇත්තේ ඇයි? (ආ) තම යහපත් හැසිරීම නිසා සිරගෙවල්වලදී පවා ක්‍රිස්තියානීන්ට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?
4 පුටෙයෝලිය වරායට ආවාම පාවුල්ට හා ඔහුගේ මිත්‍රයන්ට එහේ හිටපු “සහෝදරයන්ව හම්බ වුණා.” වාර්තාවේ මෙහෙම කියනවා. “එයාලා අපිට කිව්වා එයාලා එක්ක දවස් හතක් නැවතිලා ඉන්න කියලා.” (ක්‍රියා 28:14) ආගන්තුක සත්කාරය පෙන්වීම සම්බන්ධයෙන් ඒ සහෝදරයන් කදිම ආදර්ශයක්. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් සමඟ එකට කාලය ගත කිරීමෙන් ඒ සහෝදරයන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා. නමුත් රෝම නිලධාරියා තමන් භාරයේ ඉන්න සිරකරුවෙක් වුණ පාවුල්ට සහෝදරයන් සමඟ කාලය ගත කිරීමට නිදහස දුන්නේ ඇයි? සමහරවිට පාවුල් වැඩ කරපු විදිහ දැකලා රෝම නිලධාරියාට පාවුල් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙන්න ඇති.
5 අදත් යෙහෝවා දෙවිගේ සේවකයන්ට ඔවුන්ගේ යහපත් හැසිරීම නිසා සිරගෙවල්වල හා ගාල් කඳවුරුවල ඉන්න නිලධාරීන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයකට මංකොල්ල කෑමක් නිසා අවුරුදු 75ක සිරදඬුවමක් ලබපු රුමේනියාවේ පුද්ගලයෙක්ගේ අද්දැකීම බලන්න. සිරගෙදර ඉද්දී ඔහු බයිබලය පාඩම් කරන්න පටන් අරන් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව තම ජීවිතයේ හුඟක් වෙනස්කම් කළා. ප්‍රතිඵලයක් විදිහට සිරගෙදරට අවශ්‍ය බඩු මිල දී ගැනීම සඳහා නගරයට යන්න නිලධාරීන් ඔහුට අවසර දුන්නා. ඔවුන් ඔහුව කොතරම් විශ්වාස කළාද කියනවා නම් නගරයට යද්දී කිසිම නිලධාරියෙක්ව ඔහු එක්ක යැව්වේ නැහැ. ඇත්තෙන්ම ඔහුගේ යහපත් හැසිරීම නිසා යෙහෝවාට ලැබුණේ මොන තරම් ගෞරවයක්ද!—1 පේතෘ. 2:12.
6, 7. රෝමයේ හිටපු සහෝදරයන් ඔවුන්ගේ ආදරේ පෙන්නුවේ කොහොමද?
6 පුටෙයෝලියෙන් පිටත් වුණ පාවුල් හා ඔහුගේ මිත්‍රයන්, කිලෝමීටර් 50ක් විතර පයින් ගමන් කරලා කැපුවා කියන නගරයට ආවා. ඔවුන් ගමන් කළේ රෝමය දක්වා ගිය ඇපියන් මාර්ගය හරහා. ඒ මාර්ගය විශාල, පැතලි ගල් අතුරලා ඉදි කරලා තිබුණා. ඇපියන් මාර්ගය හරහා ගිය කෙනෙක්ට ඉතාලියේ ගම්බද ප්‍රදේශය දැක බලා ගැනීමට හැකි වුණා. ඒ මාර්ගයේ සමහර තැන් තිබුණේ මධ්‍යධරණී මුහුද අසල. ඒකේ ගමන් කරද්දී වගුරුබිම් සහිත පෙන්සියානෙ කියන ප්‍රදේශයත් පහු කරන්න වෙනවා. අප්පියස්ගේ වෙළඳපොළ තිබුණේ එතන. රෝමය තිබුණේ එතන ඉඳන් කිලෝමීටර් 60ක් විතර දුරිනුයි. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් “එනවා කියලා ආරංචි වෙලා එහේ හිටපු සහෝදරයෝ” ඔවුන්ව හමු වෙන්න අප්පියස්ගේ වෙළඳපොළ දක්වාම ඇවිත් හිටියා. තවත් සමහරු තුන් තානායම කියන ස්ථානයට ඇවිත් පාවුල් එන කල් බලන් හිටියා. තුන් තානායම කියන ස්ථානයේ සිට රෝමය පිහිටා තිබුණේ කිලෝමීටර් 50ක් විතර දුරින්. ඇත්තෙන්ම රෝමයේ සිටි සහෝදරයන් වැඩ කරපු විදිහෙන් ඔවුන්ට සහෝදරයන් ගැන මොන තරම් ආදරයක් තිබුණාද කියලා පැහැදිලියි.—ක්‍රියා 28:15.
7 අප්පියස්ගේ වෙළඳපොළ කියන්නේ වෙහෙසට පත් වෙලා හිටපු මඟීන්ට සැපපහසුවට ඉන්න පුළුවන් තැනක් නම් නෙවෙයි. රෝම ජාතික කවියෙක් වුණ හොරස් ඒ වෙළඳපොළ විස්තර කරන්නේ මෙහෙමයි. “ඒක නැවියන්ගෙන් හා කිසි කමකට නැති තැබෑරුම්කරුවන්ගෙන් පිරුණු ස්ථානයක්. එහේ තිබුණ ජලය හරිම අපවිත්‍රයි.” ඒ ස්ථානයේ සිට ආහාරයක් ගැනීමටවත් හොරස් කැමති වුණේ නැහැ. නමුත් රෝමයෙන් ආපු සහෝදරයන් ඒ තරම් අපහසුකම් මැද පාවුල් හා ඔහුගේ මිත්‍රයන් එන කල් එතනට වෙලා බලාගෙන හිටියා. ඔවුන්ට වුවමනා වුණේ ඒ ස්ථානයේ සිට රෝමය දක්වා පාවුල් සමඟ එකට ගමන් කිරීමටයි.
8. පාවුල් සහෝදරයන්ව දැක්කාම දෙවියන්ට ස්තුති කළේ ඇයි?
8 වාර්තාවේ සඳහන් වන්නේ “එයාලව දැක්කාම පාවුල්ගේ හිතට ලොකු ධෛර්යයක් ඇවිත් එයා දෙවියන්ට ස්තුති කළා” කියායි. (ක්‍රියා 28:15) එතනට ඇවිත් හිටපු සමහර සහෝදරයන් පාවුල්ව හොඳින් දැන හඳුනන අය වෙන්න ඇති. ඔවුන් සියලුදෙනාවම දැකීමෙන් පාවුල් මොන තරම් සැනසීමක්, දිරිගැන්වීමක් ලබන්න ඇද්ද! පාවුල් සහෝදරයන්ව දැකලා දෙවියන්ට ස්තුති කළේ ඔවුන් තමන් ගැනවත් නොසිතා ඒ විදිහට ආදරේ පෙන්වන්න පෙලඹුණේ දෙවියන්ගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වුණ නිසා කියලා තේරුම්ගත්ත නිසයි. ඇත්තෙන්ම දෙවියන්ගේ බලය ඒ සහෝදරයන් තුළ ක්‍රියාත්මක වෙන විදිහ දැක්ක පාවුල්, ලොකු ධෛර්යයක් ලැබුවා. (ගලා. 5:22) අනිත් අයට අවශ්‍ය උපකාර හා සැනසීම ලබා දීමට සැබෑ ක්‍රිස්තියානීන් වන අප පෙලඹෙන්නෙත් දෙවියන්ගේ බලය අප තුළ ක්‍රියාත්මක වන නිසයි.—1 තෙස. 5:11, 14.
9. අපට රෝමයේ හිටපු සහෝදරයන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
9 උදාහරණයකට චාරිකා සේවකයන්ට, මිෂනාරිවරුන්ට හා පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන අනිත් අයට විවිධ පැතිවලින් උපකාර ලබා දෙන්න සහෝදර සහෝදරියන්ගේ සිත් පොලඹවන්නේ දෙවියන්ගේ බලයයි. පූර්ණකාලීනව සේවය කරන සහෝදර සහෝදරියන් මොන තරම් කැප කිරීම් කර තිබෙනවාද! එහෙමනම් අප හැම කෙනෙක්ම මේ ප්‍රශ්න ගැන කල්පනා කරන එක හරිම වැදගත්. ‘චාරිකා සේවකට හා ඔහු විවාහක නම් ඔහුගේ භාර්යාවට ආගන්තුක සත්කාරය පෙන්වීම හෝ වෙනත් විදිහකින් උපකාරයක් ලබා දීම සම්බන්ධයෙන් මට තව දියුණු විය හැකිද? ඔවුන් සමඟ සේවයේ හවුල් වෙන්න මට කලින්ම සැලසුම් යෙදිය හැකිද?’ එහෙම කරන එකෙන් ඔබට හුඟක් ආශීර්වාද ලබාගත හැකියි. ටිකක් සිතන්න. පාවුල් හා ඔහුගේ මිත්‍රයන් රෝමයෙන් ආපු සහෝදරයන් සමඟ දිරිගන්වනසුලු, ගොඩනංවනසුලු අද්දැකීම් බෙදාගත්තාම සහෝදරයන් කොතරම් ප්‍රීතියක් ලබන්න ඇද්ද!—ක්‍රියා 15:3, 4.
“හැම තැනකම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරනවා” (ක්‍රියා 28:16-22)
10. රෝමයේදී පාවුල් හිටපු තත්වය විස්තර කරන්න. රෝමයට ඇවිත් වැඩි දවසක් යන්න කලින් ඔහු කළේ මොකක්ද?
10 පාවුල් හා පිරිස රෝමයට ඇතුල් වුණාම “පාවුල්ට අවසර ලැබුණා වෙනම තැනක නතර වෙන්න. එයාව මුර කරන්න හේවායෙක්ව පත් කරලා තිබුණා.” (ක්‍රියා 28:16) සාමාන්‍යයෙන් ඒ විදිහට අත්අඩංගුවේ ඉන්න සිරකරුවෙක් පැනලා යන එක වළක්වන්න ඔහුගේ අත් දම්වැලකින් බැඳලා ඒක ඔහුව මුර කරපු හේවායාට සම්බන්ධ කළා. පාවුල්වත් ඒ විදිහට දම්වැලකින් බැඳලා තිබුණත් ශුභාරංචිය දේශනා කිරීම නම් ඔහු නතර කළේ නැහැ. වාර්තාවේ කියන්නේ පාවුල් රෝමයට ඇවිත් දවස් තුනකට පස්සේ එහේ හිටපු යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට ඇවිත් තමාව හමු වන්න කියා පණිවිඩයක් යවපු බවයි. පේන විදිහට දවස් තුනක් වගේ කෙටි කාලයකින් ගමන් මහන්සිය නිවාගත්ත පාවුල්, යුදෙව්වන්ගේ ප්‍රධානීන්ට තමන්ව හඳුන්වලා දීලා ශුභාරංචිය ගැන සාක්ෂි දරන්න සූදානම් වුණා.
11, 12. තමා ගැන යුදෙව්වන්ට යම් වැරදි මතයක් තිබුණා නම් ඒක නැති කරන්න පාවුල් කළේ මොකක්ද?
11 යුදෙව්වන්ගේ ප්‍රධානීන් පාවුල්ව හම්බ වෙන්න ආවාම පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “මගේ සහෝදරයෙනි, මම මිනිස්සුන්ටවත් අපේ මුතුන්මිත්තන්ගේ චාරිත්රවලටවත් විරුද්ධව කිසි දෙයක් කළේ නැහැ. ඒ වුණත් යෙරුසලමේදී මාව හිරකාරයෙක් විදිහට අල්ලගෙන රෝමවරුන්ට භාර දුන්නා. නඩු විභාගයකින් පස්සේ එයාලට තේරුණා මරණ දඬුවම ලබන්න තරම් වටින කිසිම දෙයක් මං කරලා නැහැ කියලා. ඉතින් එයාලට ඕනෙ වුණේ මාව නිදහස් කරන්න. ඒත් යුදෙව්වරුන් ඒකට විරුද්ධ වුණ නිසා මට සිද්ධ වුණා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලන්න. ඒත් මං එහෙම කළේ මගේ ජාතියට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න නෙමෙයි.”—ක්‍රියා 28:17-19.
12 තමාව හමු වෙන්න ආපු යුදෙව්වන්ව පාවුල් ඇමතුවේ “මගේ සහෝදරයෙනි” කියලා. ඔවුන්ව ඒ විදිහට අමතපු එකෙන් පාවුල් කළේ තමා ගැන ඔවුන්ට යම් වැරදි මතයක් තියෙනවා නම් ඒක නැති කරලා ඔවුන්ගේ සිත් දිනාගැනීමටයි. (1 කොරි. 9:20) තමා රෝමයට ආවේ සීසර්ගෙන් තීන්දුවක් ලබාගැනීමට මිස තම ජාතියේ අයට ඒ කියන්නේ යුදෙව්වන්ට විරුද්ධව චෝදනා එල්ල කිරීමට නෙවෙයි කියලත් ඔහු ඔවුන්ට කිව්වා. නමුත් පුදුමයට කරුණක් තමයි පාවුල් ඒ දේවල් කියන කල් ඔහුගේ නඩුව හා සම්බන්ධ කිසිම දෙයක් එහේ හිටපු යුදෙව්වන් දැන නොසිටීම. (ක්‍රියා 28:21) ඒකට හේතුව ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. “පාවුල් ආපු නැව ශීත කාලය අවසන් වුණාට පස්සේ ඉතාලියට ආපු මුල්ම නැව්වලින් එකක් වෙන්න ඇති. ඒ නිසා යෙරුසලමේ ඉඳන් ආපු යුදෙව් නියෝජිතයන්වත් නඩුව ගැන සඳහන් ලිපියක්වත් ඒ වෙන කල් රෝමයට ඇවිත් තියෙන්න නැතුව ඇති.”
13, 14. දේවරාජ්‍යය ගැන දේශනා කරන්න පාවුල් අඩිතාලම දැම්මේ කොහොමද? අපට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
13 තමා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලපු හේතුව පැහැදිලි කළාට පස්සේ පාවුල් ඔවුන්ට මෙහෙම කිව්වා. “මාව මේ දම්වැල්වලින් බැඳලා තියෙන්නේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් ඉන්න තැනැත්තාව මං විශ්වාස කරන නිසයි.” (ක්‍රියා 28:20) පාවුල් ඒ වගේ දෙයක් කිව්වේ දේවරාජ්‍යය ගැන පණිවිඩය ඔවුන්ට කියන්න අඩිතාලමක් දාන අරමුණෙන්. ඔහුට අවශ්‍ය වුණේ ඊශ්‍රායෙල්වරුන් බලාපොරොත්තුවෙන් හිටපු තැනැත්තා ඒ කියන්නේ පොරොන්දු වුණ ගැලවුම්කරුව ඔවුන්ට හඳුන්වලා දෙන්නයි. පේන විදිහට පාවුල්ට සවන් දෙන්න ඒ යුදෙව්වන් තුළ උනන්දුවක් ඇති වුණා. ඔවුන් ඔහුට මේ දේ කිව්වේ ඒ නිසයි. “හැම තැනකම මිනිස්සු මේ නිකායට විරුද්ධව කතා කරනවා කියලා අපි දන්නවා. ඉතින් අපි ආසයි ඔයාට කියන්න තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.”—ක්‍රියා 28:22.
14 අපත් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ශුභාරංචිය දේශනා කරද්දී සවන් දෙන අයට උනන්දුවක් ඇති කරන විදිහට අපේ පණිවිඩය කියන්න අප උත්සාහ කරනවා. උනන්දුව ඇති කරන යම් කාරණයක් ගැන සඳහන් කිරීමෙන් හෝ යම් ප්‍රශ්නයක් ඇසීමෙන් අපට ඒ දේ කරන්න පුළුවන්. ඒ සඳහා කදිම යෝජනා අපට සේවා පාසැල් පොතෙන් හා උගන්වන සඟරාවෙන් හොයාගන්න පුළුවන්. ඒවාවල සඳහන් යෝජනා සේවයේදී අදාළ කරගැනීම හොඳ දෙයක් නෙවෙයිද?
“දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දුන්න” පාවුල් (ක්‍රියා 28:23-29)
15. පාවුල් සාක්ෂි දරපු විදිහෙන් අපට ඉගෙනගන්න පුළුවන් කාරණා හතර මොනවාද?
15 පාවුල් එක්ක කතාබහ කිරීමට නියම කරගත්ත දවසේදී යුදෙව්වන් “විශාල පිරිසක්” ඔහු නවාතැන් ගත්ත ස්ථානයට ආවා. පාවුල් “උදේ ඉඳන් හවස් වෙන කල්ම එයාලට දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දුන්නා. එයා මෝසෙස්ගේ නීතියේ තිබුණ දේවලුයි, අනාගතවක්තෘවරුන් ලියපු දේවලුයි පාවිච්චි කරලා යේසුස් ගැන විශ්වාසයක් ඇති වෙන විදිහේ තර්ක ඉදිරිපත් කළා.” (ක්‍රියා 28:23) පාවුල් සාක්ෂි දරපු විදිහෙන් අපට කාරණා හතරක් ඉගෙනගන්න පුළුවන්. එකක් තමයි ඔහු පණිවිඩය ඉදිරිපත් කරද්දී වැඩි අවධානයක් දුන්නේ දේවරාජ්‍යයට. දෙවෙනි කාරණය තමයි තමන්ට සවන් දෙන අයගේ හදවතට තොරතුරු කාවද්දන්න ඔහු “විශ්වාසයක් ඇති වෙන විදිහේ තර්ක ඉදිරිපත් කළා.” තුන්වෙනි කාරණය තමයි ඔහු දේවල් පැහැදිලි කරන්න පදනම විදිහට යොදාගත්තේ ශුද්ධ ලියවිල්ලයි. ඔහු “උදේ ඉඳන් හවස් වෙන කල්ම” සාක්ෂි දරපු බවත් වාර්තාවේ කියනවා. ඔහු තමා ගැනවත් නොසිතා තම පැවරුම ඉටු කළ බව ඒකෙන් පැහැදිලියි. ඒක අපට ඉගෙනගන්න පුළුවන් හතරවෙනි කාරණයයි. පාවුල්ට සවන් දුන් අය ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ලූක් වාර්තා කරන්නේ පාවුල් කියපු දේවල් ‘සමහරු විශ්වාස කළත්’ තවත් සමහරු විශ්වාස නොකළ බවයි. ප්‍රතිඵලයක් විදිහට ඔවුන් අතරේ මතභේදයක් ඇති වෙලා ඔවුන් ‘එතනින් යන්න හැදුවා.’—ක්‍රියා 28:24, 25අ.
16-18. යුදෙව්වන් දක්වපු ප්‍රතිචාරය ගැන පාවුල් පුදුම නොවුණේ ඇයි? අපේ පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වද්දී අපි කරන්න ඕනෙ මොනවාද?
16 ඒ යුදෙව්වන් ප්‍රතිචාරය දක්වපු විදිහ ගැන පාවුල් පුදුම වුණේ නැහැ. මොකද ඒ හා සමාන ප්‍රතිචාරයක් ඔහු කලින් අවස්ථාවලදී අද්දැකලා තිබුණා වගේම ඒ වගේ දෙයකට මුහුණ දෙන්න වෙනවා කියලා ශුද්ධ ලියවිල්ලෙත් සඳහන් කරලා තිබුණා. (ක්‍රියා 13:42-47; 18:5, 6; 19:8, 9) ඔහු කියපු දේවල් පිළිගන්න අකමැතිව එතනින් යන්න සූදානම් වුණ අයට ඔහු මෙහෙම කිව්වා. “දෙවියන්ගේ බලය අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් ඔයාලාගේ මුතුන්මිත්තන්ට දන්වපු දේ කොච්චර ඇත්තද! යෙසායාට මෙහෙම දැන්නුවා. ‘ගිහින් මේ සෙනඟට මේ පණිවිඩේ කියන්න. “ඔබට ඇහුණත් ඔබ කිසි දෙයක් තේරුම්ගන්නේ නැහැ. ඔබ බැලුවත් කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ. මොකද මේ සෙනඟ ඔවුන්ගේ හිත් මුරණ්ඩු කරගෙන.”’” (ක්‍රියා 28:25ආ-27) ඔවුන්ගේ සිත් කොතරම් “මුරණ්ඩු කරගෙන” තිබුණාද කියනවා නම් දේවරාජ්‍යය ගැන පණිවිඩය ඔවුන්ගේ හදවතට කිසිම විදිහකින් බලපෑවේ නැහැ. ඔවුන් හිටියේ මොන තරම් භයානක තත්වයකද!
17 දේවරාජ්‍යය ගැන පණිවිඩයට යුදෙව්වන් හොඳ ප්‍රතිචාරයක් නොදැක්වුවත් ‘වෙනත් ජාතීන් නම් අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙයි’ කියලා පාවුල් තම කතාව අවසන් කළා. (ක්‍රියා 28:28; ගීතා. 67:2; යෙසා. 11:10) වෙනත් ජාතීන්ට අයත් හුඟදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන විදිහ පාවුල් ඇස් දෙකෙන්ම දැකලා තිබුණා. ඒ දේ ඔහු ලොකු නිසැකකමකින් කිව්වේ ඒ නිසයි.—ක්‍රියා 13:48; 14:27.
18 අප කියන පණිවිඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් නොදක්වද්දී අප පාවුල්ව ආදර්ශයට අරන් අනවශ්‍ය විදිහට කනගාටු නොවිය යුතුයි. මොකද ජීවනයට යන පාර හොයාගන්නේ ටිකදෙනෙක් විතරයි කියලා අප හොඳින් දන්නවා. (මතෙ. 7:13, 14) නමුත් කෙනෙක් ශුභාරංචිය පිළිගෙන සැබෑ දෙවියන්ට නමස්කාර කිරීම සඳහා අපත් එක්ක එකතු වෙද්දී අප කොතරම් සතුටු විය යුතුද! අපේ සහෝදරත්වයට ඔහුව හද පිරි ආදරෙන් පිළිගනිමු.—ලූක් 15:7.
පාවුල් දිගටම “දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා” (ක්‍රියා 28:30, 31)
19. නිවාස අඩස්සියේ ගත කරපු කාලයෙන් පාවුල් උපරිම ප්‍රයෝජන ගත්තේ කොහොමද?
19 නියෝජිතයන්ගේ ක්‍රියා ගැන තමා ලියපු වාර්තාව ලූක් අවසන් කරන්නේ මෙහෙමයි. “පාවුල් අවුරුදු දෙකක්ම හිටියේ එයාටම කියලා කුලියට ගත්ත ගෙදරක. එයාව හම්බ වෙන්න ආපු හැමෝවම එයා ආදරෙන් පිළිගත්තා. එයා කිසිම බයක් නැතුව ලොකු උද්යෝගයකින් දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරලා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන අනිත් අයට ඉගැන්නුවා. ඒකට එයාට කිසිම බාධාවක් තිබුණේ නැහැ.” (ක්‍රියා 28:30, 31) ආගන්තුක සත්කාරය, විශ්වාසය හා උද්යෝගය සම්බන්ධයෙන් පාවුල් අපට කදිම ආදර්ශයක්!
20, 21. පාවුල් රෝමයේදී කරපු සේවයෙන් ප්‍රයෝජන ලබපු අය ගැන සඳහන් කරන්න.
20 පාවුල් නිවාස අඩස්සියේ ඉද්දී ඔහුව හමු වෙන්න ආපු අයගෙන් එක් කෙනෙක් තමයි ඔනෙසිමස්. ඔහු කොලොස්සියේ සිට තම ස්වාමියාව අත්හැරලා පලා ආපු දාසයෙක්. ඔහුට ක්‍රිස්තියානියෙක් වෙන්න පාවුල් උපකාර කළා වගේම ඔහුත් පාවුල්ට ‘ආදරණීය, විශ්වාසවන්ත සහෝදරයෙක්’ වුණා. ඔනෙසිමස් සමඟ ගත කරපු කාලය පාවුල්ට ලොකු දිරිගැන්වීමක් වුණ බව නිසැකයි. ඔනෙසිමස්ව තමා ‘දරුවෙක්’ විදිහට සලකන බව පාවුල් තම ලිපියක සඳහන් කළේ ඒ නිසයි.a—කොලො. 4:9; ෆිලෙ. 10-12.
21 පේන විදිහට පාවුල්ගේ ආදර්ශයෙන් තව හුඟදෙනෙක් ප්‍රයෝජන ලැබුවා. ඔහු ෆිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “ශුභාරංචිය තව වැඩියෙන් පැතිරෙන්න මං දැන් ඉන්න තත්වය උදව් වෙලා තියෙනවා. . . . මාව හිරේ දාලා තියෙන්නේ මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා කියන දේ අධිරාජ්‍යයාගේ ආරක්ෂක නිලධාරීන් අතරෙත් අනිත් හැමෝම අතරෙත් ප්‍රසිද්ධ වෙලයි තියෙන්නේ. මං හිරේ ඉන්නවා දැකලා ස්වාමීන්ට සේවය කරන සහෝදරයන් හුඟදෙනෙක්ගේ ධෛර්යය තවත් වැඩි වෙලා තියෙනවා. දැන් එයාලා කලින්ටත් වඩා නිර්භීතව දෙවියන්ගේ පණිවිඩය ගැන කතා කරනවා.”—ෆිලි. 1:12-14.
22. පාවුල් නිවාස අඩස්සියේ හිටපු කාලය යොදාගත්තේ මොනා කරන්නද?
22 පාවුල් නිවාස අඩස්සියේ සිටි කාලය අතරතුරේදී ලියපු ලිපි කිහිපයක්ම ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කරලා තියෙනවා.b මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඒ ලිපිවලින් හුඟක් ප්‍රයෝජන ලැබුවා. අපිත් ඒවායින් ප්‍රයෝජන ලබනවා. මොකද දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියපු ඒ තොරතුරු එදා වගේම අදටත් ගැළපෙනවා.—2 තිමෝ. 3:16, 17.
23, 24. මෑත කාලවලදීත් සාක්ෂිකරුවන් පාවුල් වගේ වැඩ කරලා තියෙන්නේ කොහොමද?
23 පාවුල් නිදහස් වුණ එක ගැන ක්‍රියා පොතේ සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහු අවුරුදු හතරක්වත් ඒ කියන්නේ සිසේරියේ අවුරුදු දෙකක් හා රෝමයේ අවුරුදු දෙකක් සිරභාරයේ සිටි බව පැහැදිලියි.c (ක්‍රියා 23:35; 24:27) ඒ කාලය පුරා ඔහු තමාට කළ හැකි උපරිමයෙන් හා ප්‍රීතියෙන් තම පැවරුම ඉටු කළා. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවාගේ සේවකයන්ව මෑත කාලවලදීත් අසාධාරණ විදිහට සිරගත කර තිබෙනවා. නමුත් ඔවුනුත් පාවුල් වගේ අත් නෑර ශුභාරංචිය දේශනා කරනවා. තමන් සිටින තත්වය ගැන අනවශ්‍ය විදිහට කනස්සලු වෙමින් ඔවුන් තම ප්‍රීතිය අහිමි කරගන්නේ නැහැ. උදාහරණයකට ස්පාඤ්ඤයේ ජීවත් වුණ සහෝදර අඩොල්ෆෝගේ අද්දැකීම බලන්න. දේශපාලන වශයෙන් පැති ගත්තේ නැති නිසා ඔහුව සිරගත කෙරුවා. එහේ හිටපු නිලධාරියෙක් දිනක් ඔහුට මේ වගේ දෙයක් කිව්වා. “අපි නිතරම උත්සාහ කළේ ඔයාගේ ජීවිතේ ඔයාට තිත්ත කරවන්නයි. අපේ උත්සාහය අපි තව තවත් වැඩි කරද්දී ඔයා අපිට තව තවත් කරුණාවන්තව සැලකුවා. ඔයාගේ මුහුණේ හිනාව කවදාවත් අඩු වුණේ නැහැ.”
24 කාලයක් ගත වුණාට පස්සේ නිලධාරීන්ට සහෝදර අඩොල්ෆෝ ගැන කොතරම් විශ්වාසයක් ඇති වුණාද කියනවා නම් ඔවුන් ඔහුගේ සිරකුටියේ දොර විවෘත කරලා තිබ්බා. බයිබලය සම්බන්ධයෙන් විවිධ දේවල් දැනගැනීම සඳහා ඔවුන් ඔහුව හමු වෙන්නත් ගියා. එක මුරකරුවෙක් බයිබලය කියවන්න ඔහුගේ සිරකුටිය ඇතුළටම ආවා. ඒ වගේ අවස්ථාවලදී සහෝදර අඩොල්ෆෝ වෙනත් අය එනවාද කියලා විපරමින් හිටියා. ඇත්තටම ඒ වගේ අවස්ථාවලදී වුණේ සිරකරුවෙක් මුරකරුව ආරක්ෂා කරපු එකයි! දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඒ වගේ සහෝදර සහෝදරියන්ගේ අද්දැකීම් බලද්දී දුෂ්කරතා මැද වුණත් “කලින්ටත් වඩා නිර්භීතව දෙවියන්ගේ පණිවිඩය ගැන කතා කරන්න” අප පෙලඹෙන්නේ නැද්ද?
25, 26. පාවුල් අද්දැක්කේ මොන අනාවැකියේ ඉටු වීමද? අප ජීවත් වන කාලයේ ඒක ඉටු වෙලා තියෙන්නේ කොහොමද?
25 නිවාස අඩස්සියේ සිටි පාවුල් තමාව හමු වෙන්න ආපු හැමෝටම ලොකු උද්යෝගයකින් “දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කළා.” ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා ඇතුළත් ප්‍රබල වාර්තාව ඒ වචන පෙළ සමඟින් අවසන් වෙනවා. යේසුස් තම අනුගාමිකයන්ට දුන්න පැවරුම ගැන ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔයාලට දෙවියන්ගේ බලය ලැබුණාම ඔයාලා ශක්තිමත් වෙයි. ඊටපස්සේ ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි.” (ක්‍රියා 1:8) යේසුස් ඒ පැවරුම භාර දීලා අවුරුදු 30ක්වත් ගත වෙන්න කලින් දේවරාජ්‍යය ගැන පණිවිඩය “මුළු පොළොව පුරාම දේශනා” කරපු බව පාවුල් පැවසුවා.d (කොලො. 1:23) යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවියන්ගේ බලයේ උපකාරය ලැබුණු බවට ඒක මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද!—සෙක. 4:6.
26 පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ඔවුන්ට සහයෝගය ලබා දෙන වෙනත් බැටළුවන් දෙවියන්ගේ බලයේ උපකාරයෙන් අදත් රටවල් 240ක දිගටම “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” ලබා දෙනවා. (යොහ. 10:16; ක්‍රියා 28:23) ඔබත් හැකි උපරිමයෙන් ඒ කාර්යයට හවුල් වෙනවාද?
a ඔනෙසිමස්ව තමා ළඟ තබාගැනීමට පාවුල්ට වුවමනා වුණත් ඒක රෝම නීතිය වගේම ඔහුගේ ස්වාමියාගේ අයිතීන් කඩ කිරීමක් බව පාවුල් දැනන් හිටියා. ඒ නිසා ඔනෙසිමස්, තම ස්වාමියා හා ක්‍රිස්තියානි සහෝදරයෙක් වුණ ෆිලෙමොන් ළඟට නැවත ගියා. පාවුල් ඔනෙසිමස් අත ෆිලෙමොන්ට ලිපියක් යැව්වා. ඔනෙසිමස්ව දාසයෙක් විදිහට නෙවෙයි ක්‍රිස්තියානි සහෝදරයෙක් විදිහට පිළිගන්න කියලා පාවුල් ඒ ලිපිය මාර්ගයෙන් ෆිලෙමොන්ට උනන්දු කළා.—ෆිලෙ. 13-19.
b “පාවුල් රෝමයේ මුල්ම වතාවට සිරගතව ඉද්දී ලියපු ලිපි” කියන කොටුව බලන්න.
c “ක්‍රිස්තු වර්ෂ 61න් පස්සේ පාවුල්ට සිදු වුණේ මොකක්ද?” කියන කොටුව බලන්න.
d “මුළු පොළොව පුරාම දේශනා කරපු ශුභාරංචිය” කියන කොටුව බලන්න.