‘ක්‍රිස්තුස් හා එක්ව ඇවිදිමින් සිටින්න’
‘එමනිසා, ඔබ ස්වාමි වූ ක්‍රිස්තුස් යේසුස් පිළිගෙන ඇති පරිද්දෙන්, ඔහු හා එක්ව ඇවිදිමින් සිටින්න.’—කොලොස්සි 2:6, NW.
1, 2. (අ) යෙහෝවාට ඇදහිලිවන්ත සේවයක් පිරිනැමූ ඒනොක්ගේ ජීවිතය බයිබලයෙහි විස්තර කර ඇත්තේ කෙසේද? (ආ) කොලොස්සි 2:6, 7හි අඟවන පරිදි, යෙහෝවා සමඟ ඇවිදීමට ඔහු අපට උපකාර කර ඇත්තේ කෙසේද?
කුඩා දරුවෙක් තම පියා සමඟ ඇවිදිනවා ඔබ දැක තිබෙනවාද? අගයෙන් පිරුණු මුහුණකින් යුත් ඒ පොඩිත්තා තම පියා ගන්නා හැම පියවරක්ම අනුකරණය කරයි. පියා ප්‍රේමය සහ අනුමැතිය මුසු වූ මුහුණකින්, ඔහුට උපකාර කරයි. යෝග්‍ය ලෙස, තමාට ජීවිතාන්තය දක්වා පිරිනමන ඇදහිලිවන්ත සේවයක් විස්තර කිරීමට යෙහෝවා එවැනිම පින්තූරයක් යොදාගන්නවා. නිදසුනක් ලෙස, ඇදහිලිවන්ත පුරුෂයා වූ ඒනොක් “[සැබෑ] දෙවි සමඟ ඇවිදිමින් සිටියා” යයි දෙවිගේ වචනය පවසයි.—උත්පත්ති 5:24; 6:9; NW.
2 තමා සමඟ ඇවිදීමට සැලකිලිමත් පියෙක් තම ළාබාල පුතාට උපකාර කරන්නා සේම, යෙහෝවා අපට දිය හැකි හොඳම උපකාරය දී තිබෙනවා. ඔහු තම ඒකජාතක පුත්‍රයාව පොළොවට එව්වා. මිහිපිට ජීවිතාන්තය දක්වා කළ ගමනේ සෑම පියවරකදීම, යේසුස් ක්‍රිස්තුස් තම ස්වර්ගික පියාව පරිපූර්ණ ලෙස පිළිබිඹු කළා. (යොහන් 14:9, 10; හෙබ්‍රෙව් 1:3) එමනිසා දෙවි සමඟ ඇවිදීමට නම්, යේසු සමඟ ඇවිදීමට අපට සිදු වෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “එමනිසා, ඔබ ස්වාමි වූ ක්‍රිස්තුස් යේසුස් පිළිගෙන ඇති පරිද්දෙන්, ඔහු හා එක්ව ඇවිදිමින් සිට, ඔහු තුළ මුල් ඇද ගොඩනඟනු ලැබ, ඔබට ඉගැන්වූ පරිද්දෙන්ම ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා සිට, ස්තුති දීම ඇතුව ඇදහිල්ලෙන් පිරී ඉතිරී සිටින්න.”—කොලොස්සි 2:6, 7, NW.
3. කොලොස්සි 2:6, 7ට අනුව නිකම්ම බව්තීස්ම වීමට වඩා වැඩි යමක් ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමට ඇතුළත් බව අපට කිව හැක්කේ ඇයි?
3 ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පියවර අනුගමනය කිරීමට වෑයම් දරමින්, ඔහු හා එක්ව ඇවිදීමට වුවමනා නිසා, අවංක හෘද ඇති බයිබල් ශිෂ්‍යයන් බව්තීස්ම වෙනවා. (ලූක් 3:21; හෙබ්‍රෙව් 10:7-9) ලොව පුරා 1997දී 3,75,000කට අධික පිරිසක් මෙම අතිවැදගත් පියවර ගත්තා. ඒ කියන්නේ දිනකට 1,000කට වැඩි සාමාන්‍යයක්. මෙම වැඩිවර්ධනය කොතරම් සතුට දනවන්නක්ද! කෙසේවෙතත්, කොලොස්සි 2:6, 7හි වාර්තා වී ඇති පාවුල්ගේ වදන්වලින් පෙන්නුම් කරන්නේ, නිකම්ම බව්තීස්ම වීමට වඩා වැඩි යමක් ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමට ඇතුළත් බවයි. ‘ඇවිදිමින් සිටින්න’ ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් ක්‍රියාපදය දිගටම සිදු විය යුතු අඛණ්ඩව පැවතිය යුතු ක්‍රියාවක් විස්තර කරයි. තවද, ක්‍රිස්තුස් සමඟ ඇවිදීමට දේවල් හතරක් ඇතුළත් වන බව පාවුල් සඳහන් කරනවා: ක්‍රිස්තුස් තුළ මුල් ඇද සිටීම, ඔහු තුළ ගොඩනඟනු ලැබීම, ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා සිටීම සහ ස්තුති දීමෙන් පිරී ඉතිරී යෑම. අපි එක් එක් වාක්‍ය ඛණ්ඩය සලකා ක්‍රිස්තුස් හා එක්ව ඇවිදිමින් සිටීමට එය අපට උපකාර කරන්නේ කෙසේදැයි බලමු.
ඔබ ‘ක්‍රිස්තුස් තුළ මුල් ඇද’ සිටිනවාද?
4. ‘ක්‍රිස්තුස් තුළ මුල ඇද’ සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 අප ‘ක්‍රිස්තුස් තුළ මුල් ඇද’ සිටිය යුතු බව පාවුල් මුලින්ම ලියයි. (මතෙව් 13:20, 21 සසඳන්න.) ක්‍රිස්තුස් තුළ මුල් ඇද සිටීම දක්වා පුද්ගලයෙකුට වැඩ කළ හැක්කේ කෙසේද? පැළයක මුල් දැකගැනීමට බැරි වුණත්, ඒවා පැළය වෙනුවෙන් අතිවැදගත් කාර්යයක් ඉටු කරයි: එනම් ඊට ස්ථාවරත්වය දෙමින් පෝෂණය සැපයීමයි. ඒ හා සමානව, ක්‍රිස්තුස්ගේ ආදර්ශය සහ ඉගැන්වීම මුලින්ම අපට අදෘශ්‍යමාන ලෙස බලපායි. ඒ කියන්නේ අපේ මනසෙහි සහ හෘදයෙහි පැලපදියම් වීමෙන්. එහිදී ඒවා අපට පෝෂණය දෙමින් අපට ශක්තිය ගෙන දෙයි. අපේ චින්තනය, ක්‍රියා සහ තීරණ පාලනය කිරීමට අප ඒවාට ඉඩ දෙද්දී, අපේ ජීවිත යෙහෝවාට කැප කරන්න අප පෙලඹෙනවා.—1 පේතෘස් 2:21.
5. ආත්මික ආහාර සඳහා “දැඩි ආශාවක් වර්ධනය” කරගැනීමට අපට හැක්කේ කෙසේද?
5 යේසු දෙවිගෙන් ලද දැනුමට ඇලුම් කළා. ඔහු එය ආහාරවලට පවා සමාන කළා. (මතෙව් 4:4) ඔහු තම කන්ද උඩ දේශනාවේදී, හෙබ්‍රෙව් ලියවිල්ලේ පොත් අටකින් උපුටා දැක්වීම් 21ක් කළා නොවේද? ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට නම්, ප්‍රේරිත පේතෘස් අවවාද කරන්නාක් මෙන් අප කටයුතු කළ යුතුයි. එනම් “අලුත උපන් බිළිඳුන් මෙන්” ආත්මික ආහාර සඳහා “දැඩි ආශාවක් වර්ධනය කරගන්න” අවශ්‍යයි. (1 පේතෘස් 2:2, NW) අලුත උපන් ළදරුවෙකු පෝෂණයට දැඩි ආශාවක් දක්වන විට, තම තදබල ආශාව ඔහු පැහැදිලිවම දන්වයි. ආත්මික ආහාර ගැන දැනට අපට එලෙස හැඟෙන්නේ නැත්නම්, එම දැඩි ආශාව “වර්ධනය කරගන්න” කියා පේතෘස්ගේ වදන් අපට දිරිගන්වයි. ඒ කෙසේද? ගීතාවලිය 34:8හි සොයාගත හැකි ප්‍රතිපත්තිය උපකාරවත් විය හැකියි: ‘යෙහෝවා යහපත් බව රස බලා දැනගන්න.’ ඇතැම්විට දිනපතා යෙහෝවාගේ වචනය වන බයිබලයේ කොටසක් කියවමින්, එය නිතිපතා ‘රස බලනවා’ නම්, එය ආත්මික ලෙස පෝෂ්‍යදායි බවත් යහපත් බවත් අපට දැනගන්න ලැබේවි. කල් යත්ම, ඒ සඳහා අපේ දැඩි ආශාව වැඩිවර්ධනය වෙයි.
6. අප කියවන දේ මත මෙනෙහි කිරීම වැදගත් වන්නේ ඇයි?
6 කෙසේවෙතත්, ආහාර අනුභව කළායින් පසුව, එය හොඳින් දිරවීම වැදගත්. එමනිසා අප කියවන දේ මත මෙනෙහි කිරීම අවශ්‍යයි. (ගීතාවලිය 77:11, 12) නිදසුනක් ලෙස, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොත කියවද්දී, අප මදකට නතර වී: ‘මෙම වාර්තාව තුළින් ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයේ මොන මොන පැතිද මම දකින්නේ? මගේම ජීවිතය තුළ එය අනුකරණය කරන්න මට පුළුවන් වන්නේ කෙසේද?’ වැනි ප්‍රශ්න අපෙන්ම ඇසුවොත්, සෑම පරිච්ඡේදයකම වටිනාකම තව තවත් වැඩි වෙනවා. එලෙස මෙනෙහි කිරීම අප ඉගෙනගන්නා දේ අදාළ කරගැනීමට උපකාරවත් වෙනවා. එවිට, තීරණයක් ගැනීමට සිදු වෙද්දී, යේසු සිටියා නම් ඔහු කුමක් කරාවිද කියා අපෙන් අසාගැනීමට නැඹුරු වෙන්න පුළුවන්. අප ඒ අනුව තීරණයක් ගත්තොත්, අප සැබවින්ම ක්‍රිස්තුස් තුළ මුල් ඇද සිටින බවට සාක්ෂි සපයනවා.
7. දැඩි ආත්මික පෝෂණය ගැන අපට තිබිය යුත්තේ මොන වගේ දෘෂ්ටියක්ද?
7 දෙවිගේ වචනයෙහි වඩාත් ගැඹුරු සත්‍යයන්, එනම් “දැඩි ආහාර” ගැනීමටත් පාවුල් අපට උනන්දු කරයි. (හෙබ්‍රෙව් 5:14) මුළු බයිබලයම කියවීම මේ හා සම්බන්ධව අපේ මුල්ම ඉලක්කය විය හැකියි. ඊළඟට, ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව, යෙහෝවා තම සෙනඟ සමඟ ඇති කරගත් විවිධාකාර ගිවිසුම්, එසේ නැතහොත් බයිබලයෙහි ඇතැම් අනාවැකිමය පණිවිඩ වැනි අධ්‍යයනය සඳහා වඩාත් සුවිශේෂී විෂයන් තිබෙනවා. එවැනි දැඩි ආත්මික ආහාර උරාගැනීමටත් ඒවා දිරවීමටත් අපට උපකාර කරන තොරතුරු සම්භාරයක් තිබෙනවා. එවන් දැනුමක් ලබාගැනීමේ ඉලක්කය කුමක්ද? පුරසාරම් දෙඩීම සඳහා අපට හේතුවක් දීමට නොව, නමුත් යෙහෝවා සඳහා අපේ ප්‍රේමය ගොඩනැංවීමට සහ ඔහුව තව තවත් කිට්ටු කරගැනීමටයි. (1 කොරින්ති 8:1; යාකොබ් 4:8) අප මෙම දැනුම උනන්දුවෙන් ලබාගෙන, එය පෞද්ගලිකව අදාළ කොට, අනුන්ට උපකාර කරන්න එය යොදාගන්නවා නම්, අප ඇත්තටම ක්‍රිස්තුස්ව අනුකරණය කරමිනුයි සිටින්නේ. ඔහු තුළ නිසි ලෙස මුල් ඇද සිටීමට මෙය අපට උපකාර කරාවි.
ඔබව ‘ක්‍රිස්තුස් තුළ ගොඩනඟනු’ ලබනවාද?
8. ‘ක්‍රිස්තුස් තුළ ගොඩනඟනු ලැබීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
8 ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමේ ඊළඟ අංගය සඳහා, පාවුල් විගස එක දෘශ්‍ය රූපයක සිට තවෙකක් දක්වා, එනම් පැළයක සිට ගොඩනැඟිල්ලක් දක්වා මාරු වෙනවා. ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලක් ගැන කල්පනා කරද්දී, අත්තිවාරම පමණක් නොව, සියල්ලන්ටම පැහැදිලිව පෙනෙන මහත් පරිශ්රමයක ප්‍රතිඵලයක් වශයෙන් ඉදි කෙරෙන ගොඩනැඟිල්ල අපේ මනසට නැඟෙනවා. ඒ හා සමානව, ක්‍රිස්තුස්ට සමාන ගුණාංග සහ පුරුදු ගොඩනැඟීමට සෑහෙන දැඩි වෙහෙසක් දරන්න අපට සිදු වෙනවා. “ඔබේ දියුණුවීම සියල්ලන්ට දැකගැනීමට සලස්වන්න” යයි පාවුල් තිමෝතිට ලියූ පරිද්දෙන්, එවන් වෑයමක් වෙනත් අය නොදකිනවා නොවෙයි. (1 තිමෝති 4:15, NW; මතෙව් 5:16) අපව ගොඩනංවන ඇතැම් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් මොනවාද?
9. (අ) අපේ දේවසේවය තුළදී ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමට අපට මොන වගේ ප්‍රායෝගික ඉලක්ක තැබිය හැකිද? (ආ) අප අපේ දේවසේවය භුක්ති විඳීම යෙහෝවාට ඕනෑ බව අප දන්නේ කෙසේද?
9 ශුභාරංචිය දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ පැවරුම යේසු අපට දුන්නා. (මතෙව් 24:14; 28:19, 20) නිර්භීතව සහ ඵලදායි ලෙස සාක්ෂිදැරීමේදී පරිපූර්ණ ආදර්ශය තැබුවේ ඔහුයි. අප ඔහුගේ ඉස්තරම් මට්ටමට කිසිදා නොපැමිණෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේවෙතත්, ප්‍රේරිත පේතෘස් අප සඳහා මෙම ඉලක්කය තබයි: “නුඹලාගේ සිත්වලින් [ස්වාමීන්] කොට [ක්‍රිස්තුස්ට] ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළයුතුය.” (1 පේතෘස් 3:15) ‘උත්තර දෙන්න නිතර සෑදී සිටින’ බවක් ඔබට හැඟෙන්නේ නැත්නම්, අධෛර්යය නොවන්න. එම ප්‍රමිතිය කරා ක්‍රමානුකූලව ළඟාවීමට ඔබට උපකාර කරන සාධාරණ ඉලක්ක තබන්න. ඔබේ ඉදිරිපත් කිරීම අවස්ථාවට අනුව සකස් කරගන්න හෝ ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් ඇතුළත් කරගන්න කලින්ම සූදානම් වීම ඔබට හැකිකම ලබා දෙයි. වැඩියෙන් බයිබල් පොත් පත් තබායෑම හෝ වැඩියෙන් නැවත බැලීම් කිරීම හෝ බයිබල් පාඩමක් ආරම්භ කිරීම වැනි ඉලක්කයන් තබාගැනීමට පුළුවන්කමක් ඔබට තිබෙනවා. වැඩි අවධානයක් දිය යුත්තේ පැය ගණන, තබාගිය සඟරා හෝ පාඩම් ගණන වැනි ප්‍රමාණාත්මක දේවලට නොව ගුණයටයි. සාධාරණ ඉලක්ක තැබීමත්, ඒවා අත් කරගැනීමට වෑයම් දැරීමත් දේවසේවයට කැප වී වැඩ කිරීමෙන් ආස්වාදයක් ලබන්න අපට උපකාර කළ හැකියි. යෙහෝවාට “ප්‍රීතියෙන්” සේවය කරනවා දැකීම තමයි ඔහුට වුවමනා වන්නේ.—ගීතාවලිය 100:2; සසඳන්න 2 කොරින්ති 9:7.
10. අප සිදු කළ යුතු වෙනත් ක්‍රිස්තියානි ක්‍රියා මොනවාද? මේවා අපට උපකාර කරන්නේ කෙසේද?
10 අපව ක්‍රිස්තුස් තුළ ගොඩනංවන අප සභාවේදී සිදු කරන ක්‍රියාද තිබෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලක්ෂණය එකිනෙකාට ප්‍රේමය දැක්වීම වන නිසා, මෙය වඩාත්ම වැදගත් දෙය වෙයි. (යොහන් 13:34, 35) අප පාඩම් කරමින් සිටිද්දී, අපෙන් බොහෝදෙනෙකුට අපේ ගුරුවරයා කෙරෙහි බැඳීමක් ඇති වෙනවා. මෙය ස්වාභාවිකයි. කෙසේවෙතත්, සභාවේ වෙනත් අය දැනහඳුනාගැනීමෙන් “පුළුල්” වීමට වූ පාවුල්ගේ උපදෙස දැන් අනුගමනය කිරීමට අපට බැරිද? (2 කොරින්ති 6:13, NW) වැඩිමහල්ලන්ටත් අපේ ප්‍රේමය සහ අගය අවශ්‍යයි. ඔවුන් සමඟ සහයෝගීව කටයුතු කිරීමෙන්, ඔවුන්ගේ ශුද්ධ ලියවිලි මත පදනම් උපදෙස් පැතීමෙන් සහ පිළිගැනීමෙන්, ඔවුන්ගේ වෙහෙසකර කාර්යය තවත් පහසු කිරීමට අප සමත් වෙනවා. (හෙබ්‍රෙව් 13:17) ඒත් සමඟම, අපව ක්‍රිස්තුස් තුළ ගොඩනඟනු ලැබීමටත් මෙය දායක වෙනවා.
11. බව්තීස්මය සම්බන්ධව අප දැරිය යුත්තේ මොන යථාර්ථවාදී දෘෂ්ටියද?
11 බව්තීස්මය කියන්නේ ඉමහත් සතුටක් ගෙන දෙන අවස්ථාවක්! කෙසේවෙතත්, ඉන්පසුව ජීවිතයෙහි සෑම මොහොතක්ම ඒ හා සමාන සතුටක් ගෙන දෙයි කියා අප අපේක්ෂා නොකළ යුතුයි. අප ක්‍රිස්තුස් තුළ ගොඩනඟනු ලැබීම ගත් කල, වැඩි වශයෙන් ඇතුළත් වන්නේ “මෙම පුරුදු පිළිවෙළට අනුව ක්‍රමවත්ව ඇවිදීමයි.” (පිලිප්පි 3:16, NW) එයින් අප්‍රිය, නිරස ජීවන රටාවක් අදහස් කරන්නේ නැහැ. කෙළින්ම ඉදිරියට ඇවිදීම පමණයි එයින් අදහස් වන්නේ. වෙනත් වචනවලින් කිව්වොත්, හොඳ ආත්මික පුරුදු ගොඩනැඟීමත්, දවසක් දවසක් පාසා, අවුරුද්දක් අවුරුද්දක් පාසා ඒවාට අනුකූල වීමත් එයින් අදහස් වෙනවා. “අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම [විඳදරාගෙන ඇති තැනැත්තා, NW] [ගැළවෙන]” බව මතක තබාගන්න.—මතෙව් 24:13.
ඔබ ‘ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා’ ඇද්ද?
12. “ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා” සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
12 ක්‍රිස්තුස් හා එක්ව අපේ ඇවිදීම විස්තර කරන තම තුන්වන වාක්‍ය ඛණ්ඩයෙහි, “ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා” සිටීමට පාවුල් අපව උනන්දු කරවයි. පාවුල් යෙදූ ග්‍රීක් වචනයට “තහවුරු කිරීම, සහතික කිරීම, නීත්‍යනුකූලව අවලංගු කළ නොහැකියි” යන අදහස් තිබිය හැකි නිසා, එක් අනුවාදයක එය දැක්වෙන්නේ “ඇදහිල්ල සම්බන්ධව තහවුරු කරනු ලැබීම” ලෙසයි. අප දැනුමෙන් වර්ධනය වෙද්දී, යෙහෝවා දෙවි කෙරෙහි අපේ ඇදහිල්ලට හොඳ පදනමක් ඇති බවටත්, ඇත්තෙන්ම එය නීත්‍යනුකූලව ස්ථාපිත වී ඇති බවටත් අපට තවත් හේතු ලබා දෙනවා. එහි ප්‍රතිඵලය අපේ ස්ථාවරත්වය වැඩිවීමයි. අපව නම්මාගන්න සාතන්ගේ ලෝකයට දිගින් දිගටම වඩා අසීරු වෙනවා. “මේරූකම කරා වීර්යය කිරීමට” වූ පාවුල්ගේ අවවාදය මෙයින් අපට සිහිගැන්වේ. (හෙබ්‍රෙව් 6:1, NW) මේරූකම සහ ස්ථාවරත්වය අත්වැල් බැඳගෙන යයි.
13, 14. (අ) කොලොස්සියේ සිටි පළමු සියවසේ ක්‍රිස්තියානීන් තම ස්ථාවරත්වය සම්බන්ධව මොන වගේ තර්ජනවලටද මුහුණ දුන්නේ? (ආ) ප්‍රේරිත පාවුල්ගේ සැලකිල්ලට ඇතැම්විට යොමු වන්න ඇත්තේ කුමක්ද?
13 කොලොස්සියේ සිටි පළමු සියවසේ ක්‍රිස්තියානීන් තම ස්ථාවරත්වයේ තර්ජනවලට මුහුණ දුන්නා. පාවුල් මෙසේ අවවාද කළා: “[ක්‍රිස්තුස්ට] එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ [මූලික, NW] ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද [දර්ශනයද, NW] හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.” (කොලොස්සි 2:8) ‘ප්‍රේමයේ පුත්‍රයාගේ රාජ්‍යයෙහි’ යටත්වැසියන් බවට පත්ව සිටි කොලොස්සිවරුන්ව, ඔවුන්ගේ ආශීර්වාද ලත් ආත්මික තත්වයෙන් ඉවතට ගෙන, නොමඟ යවනු ලබනවා දැකීමට පාවුල්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. (කොලොස්සි 1:13) නොමඟ යවනු ලබන්නේ කුමක් මගින්ද? පාවුල් “දර්ශනය” යන්නට යොමු දක්වයි. බයිබලයෙහි මෙම වචනය සඳහන් වන එකම අවස්ථාව මෙයයි. ප්ලේටෝ සහ සොක්රටීස් වැනි ග්‍රීක් දාර්ශනිකයන් ගැනද ඔහු කතා කරමින් සිටියේ? මොවුන් සැබෑ ක්‍රිස්තියානීන්ට තර්ජනයක් එල්ල කළත්, ඒ දවස්වලදී, “දර්ශනය” යන වචනයට පුළුල් භාවිතයක් තිබුණා. චින්තන මතවාද සහ කණ්ඩායම් රාශියකට, ආගමික ඒවාට පවා මෙය පොදුව යොමු දැක්වූවා. උදාහරණයක් ගත්තොත්, ජොසීෆස් සහ ෆීලෝ වැනි පළමු සියවසේ යුදෙව්වන් තමුන්ගේම ආගම දර්ශනයක් හැටියට හැඳින්වූවා. ඇතැම්විට එසේ කළේ එය වඩාත් සිත්ගන්නා යමක් සේ දැක්වීමටයි.
14 පාවුල්ගේ සැලකිල්ලට යොමු වූ සමහර දර්ශනයන්, ආගමික ස්වරූපයක් දැරුවා. කොලොස්සිවරුන්ට ලියූ ලිපියේ එම පරිච්ඡේදයේම පසු කොටසක “අල්ලන්ටවත් රසබලන්ටවත් අත ගසන්ටවත් එපාය” යනුවෙන් ඉගැන්වූ අයව ඔහු ඇමතුවා. මෙසේ ක්‍රිස්තුස්ගේ මරණයෙන් අහෝසි කෙරුණු මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අංගයන්වලට ඔහු වක්‍රාකාරව යොමු දැක්වූවා. (රෝම 10:4) මිථ්‍යා දර්ශන සමඟම, සභාවේ ආත්මිකත්වයට තර්ජනයක් වූ බලපෑම් ක්‍රියාත්මක වෙමින් තිබුණා. (කොලොස්සි 2:20-22) “ලෝකයේ [මූලික, NW] ගුරුකම්වල” කොටසක් වූ දර්ශනයට එරෙහිව පාවුල් අවවාද කළා. එවන් බොරු උපදේශවලට තිබුණේ මනුෂ්‍ය මූලාරම්භයක්.
15. බොහෝවිට අප හමුවට පැමිණෙන ශුද්ධ ලියවිල්ලට විරුද්ධ චින්තනයන්ට නැමීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?
15 දෙවිගේ වචනය මත ස්ථිර ලෙස පදනම් වී නැති මිනිස් අදහස් සහ චින්තන උසස් කිරීම ක්‍රිස්තියානි ස්ථාවරත්වයට තර්ජනයක් ඉදිරිපත් කළ හැකියි. අදදින අප එවන් තර්ජන සම්බන්ධව සුපරීක්ෂාකාරි විය යුතුයි. ප්‍රේරිත යොහන් මෙසේ උනන්දු කළා: “ප්‍රේමවන්තයෙනි, අනුභාවයක් ඇති සියලුම ප්‍රකාශන විශ්වාස නොකරන්න; එනමුත් ඒ අනුභාවයක් ඇති ප්‍රකාශන දෙවිගෙන් ඇරඹේදැයි පරීක්ෂා කර බලන්න.” (1 යොහන් 4:1, NW) එමනිසා බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීම යල් පැනපු දෙයක් බව පාසැලේ සෙසු ශිෂ්‍යයෙක් ඔබට ඒත්තුගන්වන්න වෑයම් කළොත්, ද්‍රව්‍යවාදී ආකල්පයක් දැරීමට බලපෑම් කිරීමට අසල්වැසියෙක් නැඹුරුවාවක් දැක්වූවොත්, බයිබලය අනුව පුහුණු වූ ඔබේ හෘදය සාක්ෂිය උල්ලංගනය කිරීමට රැකියාවේ සෙසු සේවකයෙක් ඔබ කෙරෙහි සියුම් පීඩනයක් එල්ල කළොත්, එසේ නැතහොත් සෙසු ඇදහිලිවන්තයෙකු පවා තම පෞද්ගලික මතය පදනමක් කරගෙන සභාවේ අනික් අය ගැන විවේචනාත්මක, නිෂේධාත්මක අදහස් පළ කළොත්, ඔවුන් කියන දේවල් උරාගන්න එපා. දෙවිගේ වචනයට එකඟතාවක් දක්වන්නේ නැති දේවල් පෙරා ඉවත් කර දමන්න. අපි එසේ කරද්දී, ක්‍රිස්තුස් හා එක්ව ඇවිදිමින් අපේ ස්ථාවරත්වය පවත්වාගැනීමට අප සමත් වෙනවා.
“ස්තුති දීම ඇතුව ඇදහිල්ලෙන් පිරී ඉතිරී” සිටීම
16. ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමෙහි සිව්වන අංගය කුමක්ද? එමෙන්ම අපට මොන ප්රශ්නය ඇසිය හැකිද?
16 ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීම සම්බන්ධව පාවුල් සඳහන් කරන සිව්වන අංගය නම්, අප “ස්තුති දීම ඇතුව ඇදහිල්ලෙන් පිරී ඉතිරී” සිටිය යුතු බවයි. (කොලොස්සි 2:7) “පිරී ඉතිරී” යන යෙදුම, ඉවුරු දෙකින්ම පිටාර ගලන ගංගාවක් සිහියට නංවයි. ක්‍රිස්තියානීන් ලෙස, අපේ ස්තුති දීම නිරන්තර නොහොත් පුරුද්දක් ලෙස කළ යුතු දෙයක් බව මින් ඇඟවේ. ‘මම ස්තුතිපූර්වක කෙනෙක්ද’ කියා අප හැම කෙනෙකුම අපෙන්ම ඇසීම යෝග්‍යයි.
17. (අ) දුෂ්කර කාලවලදී පවා, ස්තුතිපූර්වක වීම සඳහා අප සැමට බොහෝ දේ තිබෙන බව කිව හැක්කේ ඇයි? (ආ) යෙහෝවාගෙන් ලැබී ඇති මොන තිළිණවලටද ඔබට විශේෂ ස්තුතිපූර්වකබවක් හැඟෙන්නේ?
17 ඇත්තෙන්ම, සෑමදාම යෙහෝවාට ස්තුති කිරීමෙන් පිරී ඉතිරී සිටින්න අප සැමට ඕනෑතරම් හේතු තිබෙනවා. ඉතාමත් අසීරු අවස්ථාවලදී පවා, යම් සහනයක් සපයන ඇතැම් සරල දේවල් තිබිය හැකියි. මිත්‍රයෙකු පෙන්වන සංවේදනය, ප්රේමනීයයෙකුගෙන් ලැබෙන බිය සැක දුරු කරන ස්පර්ශයක් ඊට ඇතුළත් වෙයි. සුවබර රාත්‍රී නින්දකුත් සුවදායකයි. රසවත් ආහාරයක් කුසගින්න නිවයි. කුරුල්ලෙකුගේ ගී හඬ, දරුවෙකුගේ සිනහව, බැබළෙන නිල්වන් අහස් කුසක්, පහස ගෙන දෙන මද සුළං රැල්ලක් යන මේ සියල්ල එක දවසක් ඇතුළත අප හමුවට පැමිණිය හැකි දේවල්. මෙවන් තිළිණ සුළු කොට තැකීම කොතරම් පහසුද! ඒවා ස්තුතියක් ලබන්න වටින්නේ නැද්ද? ඒ සියල්ල පැමිණෙන්නේ, ‘සෑම යහපත් දීමේද සෑම සම්පූර්ණ දීමනාවේද’ උල්පත වන යෙහෝවාගෙන්. (යාකොබ් 1:17) එපමණක්ද නොව, මෙවන් තිළිණ මැකී යන්න තරම් සලස්වන තිළිණත් ඔහු අපට දී තිබෙනවා. නිදසුනක් ලෙස, ජීවිතය ඉන් එකක්. (ගීතාවලිය 36:9) තවත්, සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාවත් ඔහු අපට දී තිබෙනවා. මෙම තිළිණය දීමට, යෙහෝවා “විශේෂයෙන්ම ප්‍රිය කළ තැනැත්තා” වන තම ඒකජාතක පුත්‍රයා එවීමෙන් කළ හැකි උපරිම පරිත්‍යාගය කළා.—හිතෝපදේශ 8:30, NW; යොහන් 3:16.
18. අප යෙහෝවාට ස්තුතිපූර්වක බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
18 ‘යෙහෝවාට ස්තුති කිරීම යහපත’ යයි පැවසූ ගීතිකාකරුගේ වදන් කොතරම් සැබෑද! (ගීතාවලිය 92:1) ඒ හා සමාන අදහසක් ඇතුව, පාවුල් තෙසලෝනිකයේ ක්‍රිස්තියානීන්ට මෙසේ සිහිගැන්වූවා: “සියල්ලේදී ස්තුතිකරන්න.” (1 තෙසලෝනික 5:18; එපීස 5:20; කොලොස්සි 3:15) වඩාත් ස්තුතිපූර්වකව සිටීමට අපෙන් හැම කෙනෙකුටම අදිටන් කළ හැකියි. අපේ අවශ්‍යතා ගැන යෙහෝවාට කරන ඉල්ලීම්වලට අපේ යාච්ඤා සීමා කිරීම අවශ්‍ය නැහැ. ඒවාටත් නිසි ස්ථානයක් තිබෙනවා. එනමුත් ඔබෙන් යමක් අවශ්‍ය වූ විටක පමණක් ඔබට කතා කළ මිතුරෙක් ඔබට සිටියා කියා සිතන්න! එසේනම් යෙහෝවාට නිකම්ම ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් යාච්ඤා කිරීම හොඳ දෙයක් නොවේද? කෙළෙහිගුණ නොසලකන මෙලොව දෙස බලද්දී, එවන් යාච්ඤා ලැබෙන විට ඔහු කොතරම් සතුටු වනවා ඇද්ද! එවන් යාච්ඤා ජීවිතයෙහි ඒකාන්ත අංග කෙරෙහි අවධානය යොමු කිරීමට, එනම් අප ඇත්තෙන්ම මොනතරම් ආශීර්වාද ලත් තත්වයක සිටිනවාදැයි සිහිගැන්වීමට අපට උපකාර කළ හැකියි යන්න දෙවන ප්‍රයෝජනයක් වෙයි.
19. කොලොස්සි 2:6, 7හි පාවුල් යොදා ඇති අදහස් ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමේදී අප සැමට දිගින් දිගටම දියුණු විය හැකි බව අඟවන්නේ කෙසේද?
19 දෙවිගේ වචනයෙහි එක කොටසකින් කොතරම් ප්‍රඥාවන්ත මඟ පෙන්වීමක් උකහාගත හැකිද යන්න පුදුමසහගත දෙයක් නොවේද? ක්‍රිස්තුස් සමඟ දිගටම ඇවිදීමට වූ පාවුල්ගේ උපදේශය අප සෑම කෙනෙකුම හෘදයට ගත යුත්තක්. ‘ක්‍රිස්තුස් තුළ මුල් ඇද’ සිටීමටත්, ‘ඔහු තුළ ගොඩනඟනු’ ලැබීමටත්, ‘ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා සිටීමටත්’ ‘ස්තුති දීමෙන් පිරී ඉතිරී’ සිටීමටත් අදිටන් කරගෙන සිටිමු. අලුතෙන් බව්තීස්ම වූ අයට මෙවන් උපදේශයක් විශේෂයෙන්ම වැදගත් වෙයි. එනමුත් එය අප සැමටත් අදාළයි. මුදුන් මුලක් තව තවත් ගැඹුරට බසින ආකාරය ගැනත්, ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලක් තව තවත් ඉහළට යන ආකාරය ගැනත් සිතන්න. ඉතින් ක්‍රිස්තුස් සමඟ අප කරන ඇවිදීම කිසිදාක නතර නොවෙයි. වර්ධනය සඳහා ඕනෑතරම් ඉඩ කඩ තිබෙනවා. තමා සමඟත් තම ප්‍රිය පුත්‍රයා සමඟත් අප ඇවිදිමින් සිටීම යෙහෝවාට ඕනෑ නිසා, අපට උපකාර කරන්න සහ ආශීර්වාද කරන්න ඔහු සිටී.
ඔබේ උත්තරය කුමක්ද?
◻ ක්‍රිස්තුස් හා එක්ව ඇවිදීමට ඇතුළත් වන්නේ මොනවාද?
◻ ‘ක්‍රිස්තුස් තුළ මුල් ඇද’ සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ ‘ක්‍රිස්තුස් තුළ ගොඩනඟනු’ ලැබීමට අපට හැක්කේ කෙසේද?
◻ “ඇදහිල්ලෙහි ස්ථිරව පිහිටා” සිටීම එතරම්ම වැදගත් වන්නේ ඇයි?
◻ ‘ස්තුති දීමෙන් පිරී ඉතිරී’ යෑමට අපට කුමන හේතු තිබේද?
[10වන පිටුවේ පින්තූරය]
ගසක මුල් දෘශ්‍යමාන නොවුණත්, ඒවා ගසට ආහාර සපයමින් හොඳින් සවිමත් කරවයි