පූර්ණ නිසැකකමකින් යුතුව ශුභාරංචිය දේශනා කිරීම
1 ශුභාරංචිය දේශනා කිරීමේ සහ ‘සියලු ජාතීන් ගෝලයන් කිරීමේ’ පැවරුම යේසුස් තම ගෝලයන්ට දුන්නේ පළවෙනි ශතවර්ෂයේ මුල් කාලයෙදියි. (මතෙ. 24:14; 28:19, 20) යෙහෝවාගේ සාක්ෂිකරුවන් යේසුස්ගේ මෙම උපදේශය බැරෑරුම් ලෙස සැලකූ නිසා විසිවන ශතවර්ෂයේ අවසානය වන විට රටවල් 234ක අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වය 59,00,000 ඉක්මවා තිබෙනවා. ඇත්තෙන්ම මෙය අපගේ ස්වර්ගික පියාට ප්‍රශංසා කිරීමට මොනතරම් කදිම හේතුවක්ද!
2 අප දැන් 21වන සියවසට පා නඟා හමාරයි. මෙම රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ මහත් වැඩය අඩාල කිරීමට අපේ සතුරා ඉතාමත් සූක්ෂ්ම ලෙස උත්සාහ දරන බව කිසිවිටකත් අමතක කරන්න එපා. මෙම වර්තමාන පිළිවෙළින් ගෙනෙන පීඩන සහ කාලය කා දමන නොයෙකුත් අනවශ්‍ය දේ මගින් ඔහු අපගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ දරයි. ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය කුමක්ද කියා තීරණය කිරීමට මෙම පිළිවෙළට ඉඩ නොදී දේවවචනයේ පවසන දේ බලන්න. එහි පවසන්නේ වඩාත් වැදගත්ම දෙය යෙහෝවාගේ කැමැත්ත කිරීම බවයි. (රෝම 12:2) එයින් අදහස් කරන්නේ ‘කලටත් අකලටත් ශුභාරංචිය දේශනා කිරීම සහ අපේ සේවය සම්පූර්ණ කිරීම’ යන ශුද්ධ ලියවිලිමය උපදේශයට ඔබ දක්වන කීකරුකමයි.—2 තිමෝ. 4:2, 5.
3 පූර්ණ නිසැකකමක් වර්ධනය කරගැනීම: ක්‍රිස්තියානීන් ‘දෙවිගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටිය’ යුතුයි. (කොලො. 4:12) “යම් දෙයක් හොඳින් ඒත්තුගෙන සිටීම හෝ ගැඹුරු විශ්වාසයක්” ලෙස ‘නිසැකකම’ නිර්වචනය කළ හැකියි. දෙවිගේ අනාවැකිමය වදන්වල ඇති විශ්වාසනීයභාවය සහ අප අන්තිම දවස්වල ජීවත් වන බව ක්‍රිස්තියානීන් හැටියට අපි හොඳින් ඒත්තුගෙන එසේ නැතහොත් අවබෝධ කරගෙන සිටිය යුතුයි. ඒ වගේම ශුභාරංචිය ගැන ප්‍රේරිත පාවුල්ට තිබූ විශ්වාසයම අපටත් තිබිය යුතුයි. ‘අදහන්නාවූ සියල්ලන්ටම, ගැළවීම පිණිස එය දෙවිගේ බලයව තිබේ’ කියා ඔහු පැවසුවා.—රෝම 1:16.
4 අන් අයව නොමඟ යැවීම සඳහා මුළා වී සිටින දුෂ්ට මනුෂ්‍යයන්ව සහ වංචාකාරයන්ව සාතන් යොදාගන්නවා. (2 තිමෝ. 3:13) මෙම අනතුරු ඇඟවීම කර තිබෙන නිසා, අපේ නිසැකකම ශක්තිමත් කරගැනීමට පියවර ගත යුතුයි. මන්ද අපට සත්‍යය ලැබී තිබෙනවා. එමනිසා, ජීවිතයේ කාන්සාවන්ට අපේ ජ්වලිතය අඩු කිරීමට ඉඩ නොදී රාජ්‍යයට පළමු තැන දෙමු. (මතෙ. 6:33, 34) ඒ වගේම මේ පිළිවෙළේ අවසානයට තව කල් තියෙනවා කියා සිතීමෙන් අප තුළ තිබිය යුතු හදිසිතාවයේ හැඟීම කිසිවිටකත් නැති කරගන්නත් අපට අවශ්‍යතාවයක් නැහැ. මන්ද එය වෙන කවරදාකටත් වඩා ළං වී තිබෙනවා. (1 පේතෘ. 4:7) සමහර ප්‍රදේශ හොඳින් පියවා ඇති නිසා ශුභාරංචිය දේශනා කිරීම එතරම් ප්‍රතිඵලදායක නෑ කියා අපට සිතෙන්න පුළුවන්. එහෙත් අනතුරු ඇඟවීම දිගටම කළ යුතුයි.—එසකි. 33:7-9.
5 මෙම අවසාන කාලයේදී ඇසිය යුතු වඩා වැදගත්ම ප්‍රශ්න වන්නේ මේවායි: ‘යේසු දුන් ගෝලයන් සෑදීමේ පැවරුම මම බැරෑරුම්ව සලකනවාද? මම ශුභාරංචිය දේශනා කරන විට රාජ්‍යය ඇත්තටම සැබෑ දෙයක් කියා මා තුළ නිසැකකමක් තියෙනවාද? මෙම ජීවිත ගළවන වැඩයෙහි මගේ උපරිමයෙන්ම සහභාගි වීමට අධිෂ්ඨානයක් තියෙනවාද?’ අප අවසාන කාලයේ අගටම පැමිණ තිබෙන බව අවබෝධ කරගෙන, අප කෙරෙහිත් අපගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ පැවරුම කෙරෙහිත් අප අවධානය යොමු කළ යුතුයි. මෙසේ කිරීම අපවත් අපට සවන් දෙන අයවත් ගළවාගන්න ඉවහල් වෙනවා. (1 තිමෝ. 4:16) දේවසේවකයන් වශයෙන් අප සියලුදෙනාම අපගේ නිසැකකම ශක්තිමත් කරගන්නේ කොහොමද?
6 තෙසලෝනිකවරුන්ව අනුකරණය කිරීම: ප්‍රේරිත පාවුල් තෙසලෝනිකයේ සහෝදරයන් වෙහෙස මහන්සි වී කළ වැඩය සිහි කරමින් මෙසේ පැවසුවා. ‘අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් පූර්ණ නිසැකකමත් ඇතුවය. නුඹලා නිසා අපි නුඹලා අතරෙහි කොයි ආකාර අය වීමුදැයි නුඹලා දන්නහුය. නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්ද අනුව යන්නෝ වූහ.’ (1 තෙස. 1:5, 6, ඇල අකුරු අපගේය.) පාවුල් තෙසලෝනික සභාවට ප්‍රශංසා කිරීමට හේතුව වූයේ, ඔවුන් තමන්ට කොතරම් පීඩා පැමිණියත් පූර්ණ නිසැකකමකින් සහ ජ්වලිතයකින් වචනය දේශනා කිරීමයි. ඔවුන්ට එසේ කිරීමට හැකි කරවූයේ කුමක්ද? බොහෝදුරට පාවුල් සහ ඔහුගේ සෙසු අනුගාමිකයන් තුළ තිබූ ජ්වලිතය සහ නිසැකකම ඔවුන්ට විශාල බලපෑමක් වුණා. ඒ කෙසේද?
7 දෙවිගේ ශුද්ධාත්මය පාවුල් සහ ඔහුගේ සංචාරක මිත්‍රයන් තුළ තිබූ බව හොඳින් විද්‍යමාන වූ අතර, ඔවුන් දේශනා කළ දෙය මුළු හෘදයෙන්ම විශ්වාස කළා. පාවුල් සහ සීලස් තෙසලෝනිකයට පැමිණීමට පෙර ඔවුන්ව පිලිප්පියේදී ඉතාමත් පහත් අන්දමින් සලකනු ලැබුවා. කිසිම නඩු විභාගයකින් තොරව පහර දී සිර කුටියක දමා දඬුකඳේ බැන්දා. එහෙත් මෙම පීඩාකාරි අද්දැකීම් ශුභාරංචිය සඳහා ඔවුන් තුළ තිබූ ජ්වලිතය කිසිවිටකත් අඩු කළේ නැහැ. පසුව දිව්‍ය මැදිහත් වීමක් හේතුවෙන් ඔවුන් නිදහස් වූ අතර, එය සිරගෙදර මුලාදෑනියා සහ ඔහුගේ පවුලේ අයට සත්‍යය වැලඳගැනීමටත් මෙම සහෝදරයන්ට නැවත සේවය කරගෙන යෑමටත් මාර්ගය උදා කළා.—ක්‍රියා 16:19-34.
8 පාවුල් ශුද්ධාත්මයෙන් ශක්තිය ලැබ තෙසලෝනිකයට පැමිණියා. එහිදී ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීමට ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, තෙසලෝනිකයේ සත්‍යය ඉගැන්වීමට වැඩි කාලයක් යෙදෙව්වා. ශුභාරංචිය දේශනා කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම ඔහු ප්‍රයෝජනයට ගත්තා. (1 තෙස. 2:9) පාවුල් පූර්ණ නිසැකකමකින් යුතුව දේශනා කිරීම, එහි සිටි වැසියන්ට ඔවුන්ගේ රූප නමස්කාරය අත්හැර සැබෑ දෙවි වන යෙහෝවාගේ සේවකයන් වීමට තරම් ප්‍රබල බලපෑමක් වුණා.—1 තෙස. 1:8-10.
9 නවක ඇදහිලිවන්තයන් තමන්ට පැමිණි පීඩා, දේශනා සේවයට බාධාවක් කරගත්තේ නැහැ. තමන් උද්යෝගයෙන් වැලඳගත් සත්‍යය දේශනා කිරීමට තෙසලෝනිකවරුන්ව පෙලඹවූයේ, නව ඇදහිල්ල සහ තමන්ට උරුම වන ආශීර්වාද හොඳින් ඒත්තුගෙන සිටීමයි. ඔවුන් එලෙස කටයුතු කළ නිසා සභාවේ තිබූ ජ්වලිතය සහ ඇදහිල්ල ගැන පුවත මකිදෝනියේ වෙනත් ප්‍රදේශවලට සහ අකාය දක්වා පැතිරුණා. පාවුල් තම පළමු ලිපිය තෙසලෝනිකවරුන්ට ලියන විට ඔවුන්ගේ යහපත් ක්‍රියා ගැන ඔහු හොඳින් දැන සිටියා. (1 තෙස. 1:7) මොනතරම් කැපීපෙනෙන ආදර්ශයක්ද!
10 දෙවිට සහ මනුෂ්‍යයන්ට ඇති ප්‍රේමයෙන් පෙලඹී: අදදින අප දේශනා කරන විට තෙසලෝනිකවරුන් මෙන් අප තුළ පූර්ණ නිසැකකමක් පවත්වාගන්නේ කෙසේද? ඔවුන් ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඇදහිල්ලේ ක්‍රියාද ප්‍රේමය නිසා දැරූ වෙහෙසද අපි නොකඩවා සිහි කරන්නෙමු.” (1 තෙස. 1:2, NW පාදසටහන) යෙහෝවා දෙවිට සහ ඔවුන් දේශනා කළ අය සඳහා ගැඹුරු මෙන්ම හෘදයාංගම ප්‍රේමයක් ඔවුන්ට තිබුණ බව හොඳින් පැහැදිලි වෙනවා. තෙසලෝනිකයේදී ‘ශුභාරංචිය පමණක් නොව [තම] ප්‍රාණත් දෙන්ට’ පාවුල්ව සහ ඔහුගේ මිත්රයන්ව පෙලඹුවේ මෙම ප්‍රේමයයි.—1 තෙස. 2:8.
11 මීට සමානව, දෙවි දුන් දේශනා වැඩය උපරිමයෙන් ඉටු කිරීමට අපව පොලඹවනු ලබන්නේ යෙහෝවා දෙවිට සහ අපගේ අසල්වැසියන්ට ඇති ගැඹුරු ප්‍රේමයයි. එවැනි ප්‍රේමයක් ශුභාරංචිය දේශනා කිරීම දෙවිගෙන් අප ලද පෞද්ගලික වගකීමක් කියා තේරුම්ගැනීමට ඉවහල් වෙනවා. “සැබෑ ජීවනය” ලබාගැනීමට දෙවි අප සඳහා කර තිබෙන දෙය ගැඹුරට සිතා බලා අගය කරනවා නම්, අපි මුළු හෘදයෙන්ම විශ්වාස කරන සත්‍යය අනික් අයට පැවසීමට ඉබේම පෙලඹෙනවා.—1 තිමෝ. 6:19, NW.
12 අප දේශනා සේවයේ වැඩියෙන් හවුල් වන විට යෙහෝවා සඳහාත් මනුෂ්‍යයන් සඳහාත් ඇති අපේ ප්‍රේමය වර්ධනය විය යුතුයි. එවිට අප ගෙයින් ගෙට සේවය මෙන්ම අපට විවෘත වන ඕනෑම සාක්ෂි දැරීමේ ක්‍රමයක් පුළුල් කිරීමට වෑයම් කරන බව සහතිකයි. අපගේ නෑදෑයන්ට, අසල්වැසියන්ට සහ මිතුරන්ට අවිධිමත් ලෙස සාක්ෂි දැරීමේ අවස්ථා ප්‍රයෝජනයට ගත හැකියි. එහෙත් බොහෝ මනුෂ්‍යයන් අප ඉදිරිපත් කරන පණිවුඩය ප්‍රතික්ෂේප කිරීමට හෝ රාජ්‍යය පිළිබඳව දැනුම් දීම නතර කිරීමට පවා උත්සාහ දැරිය හැකියි. එසේවුවත් අපිට ප්‍රීතියක් අද්දකින්න පුළුවන්. මන්ද? රාජ්‍යය ගැන සාක්ෂි දැරීමටත් මනුෂ්‍යයන්ට ගැළවීම ලබා දීම සඳහාත් අපේ උපරිමය කළ නිසයි. අවංක හෘද ඇති අයව සෙවීමට අප දරන වෑයමට යෙහෝවා ආශීර්වාද කරාවි. ජීවිතයේ මුහුණ දෙන නොයෙකුත් ප්‍රශ්නවලින් මිරිකෙන විට සාතන් අපේ ප්‍රීතිය නැති කිරීමට මාන බැලුවත්, අපට පුළුවන් අන්‍යයන්ට සාක්ෂි දැරීමේදී ජ්වලිතය සහ අපේ පූර්ණ නිසැකකම පවත්වාගන්න. අප සියලුදෙනාම තම තමාගේ වගකීම ඉටු කරන විට තෙසලෝනික සභාව මෙන් ශක්තියෙන් සහ ජ්වලිතයෙන් පිරිපුන් සභාවක් අපටත් තියේවි.
13 පීඩා හමුවේ අත් නොහැර සිටින්න: විවිධ පරීක්ෂාවන්ට මුහුණ දීමටත් අපට නිසැකකම අවශ්‍යයි. (1 පේතෘ. 1:6, 7) යේසුස් තම අනුගාමිකයන්ට පැහැදිලි කළා, තමාව අනුකරණය කරනවා නම් ඔවුන්ට “සියලු ජාතීන් විසින් වෛරකරනු [ලබන]” බව. (මතෙ. 24:9) පාවුල් සහ සීලස් පිලිප්පියේ සිටින විට මෙය ඔවුන්ට අද්දකින්න සිදු වුණා. පාවුල් සහ සීලස්ව ඇතුල් සිරකුටියකට දමා දඬුකඳේ ගැසුවා කියා ක්‍රියා 16වන පරිච්ඡේදයෙහි පවසනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන සිරකුටිය වාතාශ්‍රය සහ ආලෝකය ලැබෙන සම්පූර්ණයෙන්ම වසා නැති ගොඩනැඟිල්ලක් හෝ තාප්පයකින් වට වූ බිම් ප්‍රදේශයක්. එහෙත් මේ ඇතුල් සිරකුටිය අඳුරු, හරිහැටි වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක්. පාවුල් සහ සීලස්ට එහි තිබූ අඳුර, අපිරිසිදු වාතය සහ දුර්ගන්ධය දරාගෙන සිටීමට සිදු වුණා. ටිකක් සිතා බලන්න ඔවුන් අද්දුටු වේදනාව. පැය ගණනාවක්ම ඔවුන්ව දඬුකඳේ ගසා තැබුවා. ඒ මදිවට කස පහරින් තුවාල වූ ලේ ගැලූ ඔවුන්ගේ පිටවල්ද ඔවුන් අද්දුටු අපහසුතාවය වැඩි කරන්න ඇති.
14 මෙම පීඩා තිබුණත්, පාවුල් සහ සීලස් විශ්වාසවන්තව සිටියා. මොන පරීක්ෂාවක් පැමිණියත් ඇතුළාන්තයෙන්ම නිසැකකමක් තිබේ නම් යෙහෝවාට විශ්වාසවන්තව දිගටම සේවය කිරීමට හැකි බව ඔවුන් මනා ලෙස ඔප්පු කළා. ඔවුන්ට තිබූ නිසැකකම 16වන පරිච්ඡේදයේ 25වන වගන්තියේ කැපීපෙනෙනවා. එහි පවසන්නේ “පාවුල්ද සීලස්ද යාච්ඤාකරමින් [දෙවිට] ගී [කිවූ]” බවයි. ඔවුන් සිටියේ ඇතුල් සිරකුටියේ. එහෙත් දෙවිගේ අනුමැතිය තිබූ බවට ස්ථිර විශ්වාසයක් ඔවුන්ට තිබූ නිසා, ඔවුන් අනිත් සිරකරුවන්ටත් ඇසෙන සේ මහත් ශබ්දයකින් ගීතිකා ගැයුවා! අදදින අපගේ ඇදහිල්ල සම්බන්ධයෙන් පරීක්ෂාවන්ට මුහුණ දෙන විට අපටත් ඒ හා සමාන නිසැකකමක් තිබිය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?
15 යක්ෂයා අප මතට එල්ල කරන පරීක්ෂා බොහෝය. මින් සමහරකි අපගේ පවුල තුළින්ම පැමිණෙන පීඩා. අපගේ බොහෝ සහෝදරයන් නීතියේ මාර්ගයෙන් පැමිණෙන අභියෝගවලට මුහුණපානවා. ඇදහිල්ල අත්හැර ගිය අයගෙන්ද පීඩා එල්ල වෙනවා. ආර්ථික ගැටලු සහ ජීවිකාව ගෙනයෑමේදී ඇති වන පීඩාද අමතක නොකළ යුතුයි. තව දෙයක් වන්නේ යෞවනයන්ට පාසලේදී මුහුණපෑමට සිදු වන තුල්‍ය පීඩනයයි. අපි මෙවැනි පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? ඒ වගේම නිසැකකම ඇති කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
16 වැදගත්ම දෙය වන්නේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වාගැනීමයි. පාවුල් සහ සීලස් ඇතුල් සිරකුටියේ සිටින විට ඔවුන්ට මුහුණපෑමට සිදු වූ තත්වය ගැන මැසිවිලි නැඟීමට හෝ තමන් ගැන දුක්වීමට ඔවුන් උත්සාහ ගත්තේ නැහැ. ඒ වෙනුවට යාච්ඤාවෙන් දෙවි වෙතට හැරී ඔහුට ගීතිකාවලින් ප්‍රශංසා කළා. එසේ කිරීමට හැකි වුණේ ඔවුන් තම ස්වර්ගික පියා සමඟ ඇති කරගෙන තිබූ කිට්ටු පෞද්ගලික සම්බන්ධතාවය නිසයි. තමන් පීඩා විඳින්නේ ධර්මිෂ්ඨකම නිසා බවත් ඒ වගේම ඔවුන්ගේ ගැළවීම රඳා පවතින්නේ යෙහෝවාගේ හස්තයේ බවත් ඔවුන් හොඳින් අවබෝධ කරගත්තා.—ගීතා. 3:8.
17 අදදින අප පරීක්ෂාවලට මුහුණ දෙන විට අපත් බැලිය යුත්තේ යෙහෝවා දෙසයි. පාවුල් ක්‍රිස්තියානි අපව දිරිගැන්වූ ආකාරය බලන්න. ‘කන්නලව්වෙන් නුඹලාගේ ඉල්ලීම් දෙවිට දන්වන්න; එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරන්නේය.’ (පිලි. 4:6, 7) අප පරීක්ෂාවලට මුහුණ දෙන විට යෙහෝවා අපව තනි කරන්නේ නෑ කියා දැනසිටීම මොනතරම් සහනයක්ද! (යෙසා. 41:10) අප සැබෑ නිසැකකමින් ඔහුට සේවය කරන තාක් කල් ඔහු නිරතුරුවම අප සමඟයි.—ගීතා. 46:7.
18 නිසැකකම පවත්වාගැනීමට උපකාරයක් වන තවත් දෙයකි යෙහෝවාගේ සේවයේ කාර්යබහුලව සිටීම. (1 කොරි. 15:58) පාවුල්ව සහ සීලස්ව සිර කරනු ලැබුවේ ඔවුන් දේශනා සේවයේ කාර්යබහුලව සිටින විට බව අමතක නොකරන්න. ඔවුන්ට මුහුණ දීමට සිදු වූ පරීක්ෂා නිසා දේශනා සේවය නැවැත්වූවාද? කොහෙත්ම නෑ. ඔවුන් සිරකුටියේ සිටින විට දේශනා කළ අතර, පසුව නිදහස් කරනු ලැබූ විට තෙසලෝනිකයට ගොස් යුදෙව්වරුන්ගේ සිනගෝගයේදී ‘ලියවිලිවලින් තෝරා දෙමින්’ ඔවුන්ට දේශනා කළා. (ක්‍රියා 17:1-3) යෙහෝවා කෙරෙහි ස්ථිර විශ්වාසයක් ඇත්නම් සහ අපට සත්‍යය ලැබී තියෙනවා කියා ඒත්තුගෙන හෝ අවබෝධ කරගෙන සිටී නම්, ‘යේසුස් ක්‍රිස්තුස් තුළ ඇත්තාවූ දෙවිගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්ට කිසිම දෙයකට නුපුළුවන.’—රෝම 8:35-39.
19 පූර්ණ නිසැකකම පෙන්වූ නවීන දින ආදර්ශ: පාවුල් සහ සීලස්ට සමානව පූර්ණ නිසැකකම නිරූපණය කළ බොහෝ කැපීපෙනෙන ආදර්ශ අපේ කාලයෙත් තිබෙනවා. ඖෂ්විට්ස් ගාල් කඳවුරේ සිටි අපගේ සහෝදර සහෝදරියන්ගේ නොසැලෙන ඇදහිල්ල සහ නිසැකකම සම්බන්ධයෙන්, එයින් දිවි ගළවාගත් සහෝදරියක් පැවසූ දේ බලන්න. “ප්‍රශ්න කරන අවස්ථාවේ නිලධාරියෙක් මිට මොළවගෙන කේන්තියෙන් මගේ ළඟට ඇවිත්, ‘ඇත්තටම තමුසෙලාට මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. අත්අඩංගුවට ගත්තාම කිසිම ගානක් තිබුණේ නෑ. සිරගෙදරට ඇරියාම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ ගාල් කඳවුරට, ඒත් එච්චරයි, අන්තිමට මරණ දඬුවම තීන්දු කරාම කිසිම ගානක් නැතුව හිටගෙන ඉන්නවා. මොනවාද තමුසෙලාට අපි කරන්නේ’ කියා කිව්වා.” ඇත්තටම එවැනි දරුණු පීඩාවක් යටතේ පවා අපගේ සහෝදරයන්ට තිබූ ඇදහිල්ල දකින විට මොනතරම් දිරිගැන්වීමක්ද! ඔවුන් විඳදරාගැනීමට අවශ්‍ය උපකාරය සඳහා නිරතුරුවම යෙහෝවා දෙස බැලුවා. එයයි ඔවුන්ගේ නිසැකකමේ රහස.
20 මෑත අවුරුදුවලදී ඇති වූ ජාතිවාදි අරගලවලදී අපගේ සහෝදරයන්ට තිබූ නිසැකකම කිසිවිටකත් අමතක නොකරමු. ඔවුන්ගේ ජීවිත අනතුරක තිබෙන විටදී පවා සහෝදර සහෝදරියන්ගේ ආත්මික අවශ්‍යතා සොයා බැලීමට වගකීම් ලත් සහෝදරයන් මහත් උත්සාහයක් දරමින් සිටිනවා. ‘ඔවුන්ට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය’ යන වචන මත විශ්වාසය තබමින් සියලුදෙනාම තම නිසැකකම දිගටම පවත්වනවා.—යෙසා. 54:17.
21 නොඇදහිලිවන්ත කලත්‍රයන් සිටින බොහෝ සහෝදර සහෝදරියනුත් තම විශ්වාසවන්තකම සහ විඳදරාගැනීම පවත්වාගන්නවා. ග්වාඩලුප්හි සහෝදරයෙක්ට තම නොඇදහිලිවන්ත භාර්යාවගේ දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න සිදු වුණා. සහෝදරයාව අධෛර්යය කිරීමට සහ රැස්වීම් යෑම වැළැක්වීමට ඔහුගේ කෑම, රෙදි සේදීම, ඇඳුම් මැදීම වැනි කිසිම වැඩක් ඔහු වෙනුවෙන් කර දුන්නේ නෑ. ඒ විතරක් නොවෙයි බොහෝ කාලයක් කතා නොකරත් සිටියා. එහෙත් මෙම සහෝදරයා යෙහෝවාට සේවය කිරීමට තිබූ හෘදයාංගම නිසැකකම පෙන්වමින්, උපකාරය පතා යාච්ඤාවෙන් යෙහෝවා වෙත හැරීම නිසා සෑම දෙයක්ම විඳදරාගැනීමට හැකියාවක් ලැබුණා. කොයිතරම් කාලයකටද? අවුරුදු 20කට. පසුව ඔහුගේ භාර්යාවගේ සිත ටිකෙන් ටික වෙනස් වීමට පටන්ගත් අතර, අවසානයේදී ඇය දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය පිළිගත්තා.
22 පාසලේදී මිත්‍රයන්ගේ පීඩන සහ අභියෝගවලට පූර්ණ නිසැකකමකින් මුහුණ දෙන අපගේ යෞවන සහෝදර සහෝදරියන්වත් අමතක නොකළ යුතුයි. පාසලේදී මුහුණ දීමට සිදු වන පීඩනයක් ගැන එක් සහෝදරියක් මෙසේ පැවසුවා. “අපිට පාසලේදී හැමෝම දිරිගන්වන්නේ පොඩි චණ්ඩි වැඩක් හරි කරන්න කියලා. මොනවහරි ලොකු චණ්ඩි වැඩක් කළොත් මිතුරන්ගෙන් ලැබෙන පිළිගැනීමත් වැඩි වෙනවා.” අපේ යෞවන අය මුහුණ දෙන පීඩනය කොයිතරම්ද කියලා බලන්න! ඇත්තෙන්ම ඔවුන් හෘදයෙන් සහ මනසින් අධිෂ්ඨාන කරගත යුතුයි මෙවැනි පරීක්ෂාවන්ට එරෙහි වීමට.
23 බොහෝ යෞවන අය පරීක්ෂා පැමිණියත් තම පක්ෂපාතකම පවත්වාගනිමින් සිටිනවා. ප්‍රංශයේ ජීවත් වන යෞවන සහෝදරියකගේ උදාහරණය සලකා බලන්න. එක් දවසක් දහවල් කෑමෙන් පසු පිරිමි ළමුන් කීපදෙනෙක් ඇයට බල කළා ඔවුන්ව සිපගන්න කියලා. එහෙත් ඇය යාච්ඤා කර එය තදින්ම ප්‍රතික්ෂේප කළා. පසුව එම පිරිමි ළමයි ඇයව අත්හැර ගියා. ටික කාලයකට පසු එක් පිරිමි ළමයෙක් පැමිණ ඇයට තිබූ ධෛර්යය ගැන ප්‍රශංසා කෙරුවා. එයින් ඇයට අවස්ථාවක් ලැබුණා රාජ්‍යය ගැනත්, එහි ආශීර්වාද භුක්ති විඳින්න කැමති සියල්ලන්ට දෙවි පිහිටුවා තිබෙන උසස් ප්‍රමිති ගැනත් පහදා දෙන්න. ඒ වගේම පාසැල් කාලය තුළදී මුළු පංතියටම ඇගේ විශ්වාසයන් ගැනත් ඇය පැහැදිලි කර දුන්නා.
24 යෙහෝවා තම කැමැත්ත ගැන පූර්ණ නිසැකකමකින් කතා කිරීමට යොදාගන්නා අය අතරේ අපටත් සිටින්න ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! (කොලො. 4:12) මීට අමතරව, ගොරවන සිංහයෙකු බඳු සතුරා වන සාතන්ගේ ප්‍රහාර යටතේ පක්ෂපාතකම ඔප්පු කිරීමටත් ඒ මගින් කදිම ප්‍රස්තාවක් උදා වෙනවා. (1 පේතෘ. 5:8, 9) දේශනා කරන අය සහ ඊට සවන් දෙන අයට ගැළවීම සඳහා යෙහෝවා රාජ්‍ය පණිවුඩය යොදාගන්නා බව අමතක කරන්න එපා. ඒ වගේම අප ගන්නා තීරණ සහ ජීවන රටාවෙන් රාජ්‍යයට මුල් තැන දෙන බව ඔප්පු කරමු. ඒ වගේම අපි පූර්ණ නිසැකකමකින් යුතුව ශුභාරංචිය දේශනා කිරීමෙහි නිරත වෙමු!