විසිවන පරිච්ඡේදය
යෙහෝවාගේ දවස මනසේ ප්රමුඛව තබාගන්න
1. මේ දුෂ්ට ක්රමයේ සිත් වේදනාවලින් මිදීම ආසන්න බව මුලින්ම දැනගත් විට ඔබට හැඟුණේ කෙසේද?
මුළු පොළොවම පාරාදීසයක් බවට පත් වෙනවාය යන යෙහෝවාගේ අරමුණ ඔබ බයිබලයෙන් ඉගෙනගත් මුල්ම කාරණාවලින් එකකි. එම අලුත් ලෝකයේදී යුද්ධ, අපරාධ, දිළිඳුකම, අසනීප, දුක් වේදනා හා මරණය නොතිබෙනු ඇත. මළවුන් පවා නැවත ජීවනයට පැමිණේ. මොනතරම් පුදුමාකාර අපේක්ෂාවක්ද! පාලක රජෙකු ලෙස ක්‍රිස්තුස් අදෘශ්‍යමානව පැමිණ සිටි කාලය වර්ෂ 1914දී ඇරඹීමත්, එතැන් සිට අප සිටින්නේ මේ දුෂ්ට ලෝකයේ අන්තිම දවස්වලය යන කාරණයත් මේ සෑම දෙයකම ආසන්නභාවය සඳහා සාක්ෂි සපයන්නේය. මේ අන්තිම දවස්වල අවසානයේදී, යෙහෝවා මේ වත්මන් දුෂ්ට ක්‍රමය විනාශ කර පොරොන්දු වූ එම අලුත් ලෝකයට මඟ පෙන්වනු ඇත.
2. ‘යෙහෝවාගේ දවස’ කුමක්ද?
2 පැමිණෙන්නාවූ විනාශය “යෙහෝවාගේ දවස” ලෙස බයිබලයේ හඳුන්වයි. (2 පේතෘස් 3:10) එය සාතන්ගේ මුළු ලෝකයට එරෙහිව පියවර ගන්නා ‘යෙහෝවාගේ උදහස් දවසයි.’ (ශෙපනියා 2:3) ‘හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් [අර්මගෙදොන්] ලෙස හඳුන්වන සර්ව පරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී’ එය උච්චාවස්ථාවට පැමිණෙනු ඇත. එහිදී ‘මුළු ලෝකයේම සිටින රජුන්ව’ සහමුලින්ම විනාශ කර දමනු ලැබේ. (එළිදරව් 16:14, 16) ‘යෙහෝවාගේ මේ දවසේ’ ආසන්නභාවය ඔබට ඒත්තු ගොස් ඇති බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වනවාද?—ශෙපනියා 1:14-18; යෙරෙමියා 25:33.
3. (අ) යෙහෝවාගේ දවස පැමිණෙන්නේ කවදාද? (ආ) යෙහෝවා “දවස හෝ පැය” හෙළි කර නොතිබීම ප්‍රයෝජනදායක බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?
3 යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ වධකයා ලෙස සාතන්ගේ දුෂ්ට ක්‍රමයට එරෙහිව පැමිණෙන්නේ හරියටම කවදාදැයි බයිබලය අපට කියන්නේ නැත. “ඒ දවස හෝ පැය කිසිවෙක් දන්නේ නැත. පියාණන් මිස ස්වර්ගයේ සිටින දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත” කියා යේසුස් පැවසීය. (මාර්ක් 13:32, NW) යමෙකු යෙහෝවාට ඇත්තටම ප්‍රේම කරන්නේ නැත්නම්, ඔහු මනසින් යෙහෝවාගේ දවස කල් දමා ලෞකික දේවල් ලුහුබැඳීමට නැඹුරු විය හැකිය. එහෙත්, යෙහෝවාට සෑබෑවටම ප්‍රේම කරන අය මේ දුෂ්ට ක්රමයේ අවසානය කවදා ආවත් මුළු සිතින්ම ඔහුට සේවය කරනු ඇත.—ගීතාවලිය 37:4; 1 යොහන් 5:3.
4. යේසුස් දුන් අනතුරු ඇඟවීම කුමක්ද?
4 යෙහෝවාට ප්‍රේම කරන්නන්ට යේසුස් මෙසේ අනතුරු ඇඟවීමක් කරයි. “නියම කරන ලද කාලය කවදාදැයි ඔබ නොදන්නා හෙයින් පරෙස්සමින් සිටින්න, අවදිව සිටින්න.” (මාර්ක් 13:33-37, NW) අපේ අවධානය වෙනතක ඇදගන්නාවූ කෑමට හා බීමට හෝ ‘ජීවිතයේ කරදරවලට’ අපේ කාලය පිළිබඳ හදිසිතාවයේ දසුන බොඳ කිරීමට ඉඩ නොහරින ලෙස ලෙස ඔහු උදක්ම ඉල්ලා සිටියේය.—ලූක් 21:34-36, NW; මතෙව් 24:37-42.
5. පේතෘස් පැහැදිලි කළ ආකාරයට යෙහෝවාගේ දවස කුමක් ගෙනෙනු ඇද්ද?
5 ‘අහස ගිනි ඇවිළී නාස්ති වන, මහා භූතයන් දාලා උණු වී යන යෙහෝවාගේ දවස පැමිණීම’ මනසේ ප්රමුඛව තබාගන්නා ලෙසට යේසුස් මෙන් පේතෘස්ද උපදෙස් දුන්නේය. සියලුම මිනිස් ආණ්ඩු හෙවත් “අහස” පමණක් නොව ‘පොළොවෙන්’ නියෝජනය වන සමස්ත දුෂ්ට මිනිස් සමාජය හා එහි “මහා භූතයෝ” ලෙස හඳුන්වන දෙවි හා එකඟ නොවන්නාවූ ආකල්ප මෙන්ම දුරාචාරමය, ද්‍රව්‍යවාදී ජීවන රටාව වැනි මේ නපුරු ලෝකයේ අදහස් උදහස් හා ක්‍රියාකාරකම් විනාශ වනු ඇත. ඒ වෙනුවට, “ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද [දෙවිගේ ස්වර්ගික රාජ්‍යය] අලුත් පොළොවක්ද [අලුත් භූමික සමාජයක්]” පිහිටුවනු ලැබේ. (2 පේතෘස් 3:10-13) ලොව දෙදරවන මේ සිදුවීම් නොසිතන දවසක නොසිතන පැයක හදිසියේම ඇරඹේ.—මතෙව් 24:44.
ලකුණට තියුණු අවධානයක් දෙන්න
6. (අ) තම ගෝලයන් ඇසූ ප්‍රශ්නයට යේසුස් දුන් පිළිතුර යුදෙව් ක්රමයේ අවසානයට අදාළ වන්නේ කොතරම් දුරටද? (ආ) වර්ෂ 1914 සිට සිදු වන දේවල් හා ආකල්ප කෙරෙහි යොමු දක්වන්නේ යේසුස්ගේ පිළිතුරෙහි කිනම් කොටස්ද?
6 අප ජීවත් වන කාලය ගැන සලකා බලද්දී, “පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය” [NW] හෙවත් මේ අන්තිම දවස් සනිටුහන් කරන සංයුක්ත ලකුණ හා බැඳි තොරතුරු සම්බන්ධයෙන් අප හොඳ අවබෝධයක් ලබාගත යුතුය. මතෙව් 24:3හි වාර්තා කර ඇති යේසුස්ගේ ගෝලයන් ඇසූ ප්‍රශ්නයට උත්තර දෙමින් යේසුස් කී දෙය සම්බන්ධයෙන් මතක තබාගත යුතු යමක් ඇත. එනම්, 4වන ඡේදයේ සිට 22වන ඡේදය දක්වා විස්තර කර ඇති ඉන් සමහරක් දේවල් පො.යු. 33 සිට 70 දක්වා කාලපරිච්ඡේදය තුළදී යුදෙව් ක්‍රමය සම්බන්ධයෙන් සුළු පරිමාණයෙන් ඉටු විය. එහෙත්, මෙම අනාවැකියේ ප්‍රධාන ඉටුවීම 1914 සිට ඉදිරියට තිබෙන කාලපරිච්ඡේදය තුළ එනම්, ක්‍රිස්තුස් ‘පැමිණ සිටින කාලයේදීත් පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය’ තුළදීත් ඉටු වෙමින් තිබේ. පොදු යුගයේ 70 සිට ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය දක්වා සිදු වන්නේ කුමක්දැයි මතෙව් 24:23-28හි කියයි. මතෙව් 24:29–25:46 දක්වා විස්තර කර ඇති සිද්ධීන් සිදු වන්නේ අවසාන කාලපරිච්ඡේදය තුළදීය.
7. (අ) වර්තමාන තත්වයන් ලකුණ ඉටු කරන්නේ කෙසේද යන්න ගැන අප පෞද්ගලිකව සැලකිලිමත් විය යුත්තේ මන්ද? (ආ) වර්ෂ 1914 සිට ලකුණ ඉටු වෙමින් තිබෙන ආකාරය පෙන්වමින් මේ ඡේදය අවසානයේ ඇති ප්‍රශ්නවලට උත්තර සපයන්න.
7 මෙම ලකුණ ඉටු කිරීමට උපකාරවත් වන සිදුවීම් හා ආකල්ප ගැන අප පෞද්ගලිකව විමසිල්ලෙන් සිටිය යුතුය. මේවා බයිබල් අනාවැකි හා සම්බන්ධ කිරීම යෙහෝවාගේ දවස මනසේ ප්රමුඛව තබාගැනීමට උපකාරවත් වෙයි. එම දවසෙහි ආසන්නභාවය ගැන අනිත් අයට ඒත්තුගන්වනසුලු ස්වරයකින් අනතුරු ඇඟවීමටද එය අපට රුකුලකි. (යෙසායා 61:1, 2) අපි මේ පරමාර්ථ මනසේ පෙරදැරි කරගෙන මතෙව් 24:7 හා ලූක් 21:10, 11හි වාර්තා කර ඇති ලකුණේ කොටස් උලුප්පා දක්වන්නාවූ මීළඟට සඳහන් කර ඇති ප්‍රශ්න පුනරීක්ෂණය කරමු.
පුරෝකථනය කළ “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව” නැඟී සිටීම 1914 පටන් ඉටු වූයේ කවර පුදුම දනවන අන්දමකින්ද? එතැන් සිට යුද්ධ සම්බන්ධයෙන් සිදුව ඇත්තේ කුමක්ද?
වර්ෂ 1918දී, පළමු ලෝක මහා යුද්ධයෙන් බිලිගත් ජීවිතවලට වඩා ජීවිත ගණනක් නැති වූයේ කිනම් වසංගතය නිසාද? මිනිසාගේ වෛද්‍ය දැනුම හිණි පෙත්තටම නැඟ තිබුණත් අදදින දශලක්ෂ ගණන් ජනයාව මරා දමන්නේ කිනම් රෝගද?
පසු වූ සියවසේදී සිදු වූ විද්‍යාත්මක දියුණුව මධ්‍යයේ ආහාර හිඟය කොතරම් දුරට මේ පොළොවට බලපා ඇද්ද?
දෙවන තිමෝති 3:1-5, 13හි ඇති විස්තරය ජීවිතය කවදත් තිබූ ආකාරය නොව, නමුත් අප අවසාන දවස්වල අද්දරට යන විට තත්වය කෙමෙන් කෙමෙන් නරක් වී ඇති ආකාරය විස්තර කරන බව ඔබ පිළිගන්නේ කුමක් නිසාද?
ජනයාව වෙන් කිරීම
8. (අ) මතෙව් 13:24-30, 36-43හි විස්තර කර ඇති පරිදි, යේසුස් පවතින ක්රමයේ අවසානයට සම්බන්ධ කර දැක්වූයේ තවත් මොනවාද? (ආ) යේසුස්ගේ උපමාවේ අර්ථය කුමක්ද?
8 යේසුස් වෙනත් සුවිශේෂී සිදුවීම්ද පවතින ක්රමයේ අවසානය හා සම්බන්ධ කළේය. මේවායින් එකක් නම්, ‘දුෂ්ටයාගේ පුත්‍රයන්ගෙන් රාජ්‍යයේ පුත්‍රයන්’ වෙන් කිරීමයි. සතුරෙකු විසින් තිරිඟු කෙතේ කිරිඳි වැපිරීම පිළිබඳ තම උපමාවේදී යේසුස් මේ ගැන කතා කළේය. ඔහුගේ උපමාවේ එන ‘තිරිඟුවලින්’ නියෝජනය කරන්නේ සැබෑ ආලේප ලත් ක්රිස්තියානීන්වය. “කිරිඳි” නම් තමන් ක්‍රිස්තියානියැයි කියාගත්තත් මේ ලෝකයේ පාලකයා වන යක්ෂයාගේ ක්‍රියාවලට ඇලී සිටින නිසා තමන් ‘දුෂ්ටයාගේ පුත්‍රයන්’ බව ඔප්පු කළ අයය. ඔවුන්ව ‘[දෙවිගේ] රාජ්‍යයේ පුත්‍රයන්ගෙන්’ වෙන් කර විනාශය සඳහා ලකුණු කර තිබේ. (මතෙව් 13:24-30, 36-43) මෙය සැබවින්ම සිදු වී තිබේද?
9. (අ) පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව, ක්‍රිස්තියානීන්යැයි කියාගත්තාවූ සියලුදෙනාවම භාජන කළ මහත් වෙන් කිරීම කුමක්ද? (ආ) ආලේප ලත් ක්‍රිස්තියානීන් තමන් රාජ්‍යයේ සැබෑ සේවකයන් බවට සාක්ෂි දැරුවේ කෙසේද?
9 පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව ක්‍රිස්තියානීන්යැයි කියාගත්තාවූ සියලුදෙනාවම කණ්ඩායම් දෙකකට බෙදනු ලැබීය. (1) තම ජාතියට පක්ෂපාතී වෙමින් ජාතීන්ගේ සංගමයට (දැන් එක්සත් ජාතීන්) පූර්ණ සහයෝගය දුන් ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් හා ඔවුන්ගේ අනුගාමිකයන්. (2) ලෝකයේ ජාතීන්ට නොව දෙවිගේ මෙසියානු රාජ්‍යයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය දුන් එම යුධ සමයෙන් පසුව සිටි සැබෑ ක්‍රිස්තියානීන්. (යොහන් 17:16) ලෝකය වටා “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ කර්තව්‍යය කරට ගනිමින් තමන් දෙවිගේ රාජ්‍යයේ සැබෑ සේවකයෝ බව ඔවුහු ඔප්පු කළෝය. (මතෙව් 24:14) කිනම් ප්‍රතිඵල ඇතුවද?
10. රාජ්‍යය පිළිබඳව දේශනා කිරීමේ ක්‍රියාවලියේ මුල් ප්‍රතිඵලය කුමක් වීද?
10 මුලින්ම, ස්වර්ගික රාජ්‍යයේ කොටසක් හැටියට ක්‍රිස්තුස් සමඟ සිටීමේ අපේක්ෂාව ඇති දෙවිගේ ආත්මයෙන් ආලේප ලත් ඉතිරි කොටසේ එක්රැස් කිරීම සිදු විය. ඔවුන් විවිධ ජාතීන් අතර විසිරී සිටියත්, සංවිධානාත්මක එක්සත්භාවයක් කරා ඔවුන්ව ගෙනෙනු ලැබීය. මෙම ආලේප ලත් අයව මුද්‍රා කිරීම නිමාව කරා ළඟා වේ.—එළිදරව් 7:3, 4.
11. (අ) දිගටම ක්‍රියාත්මක වන්නාවූ එක්රැස් කිරීම කුමක්ද? මෙය සිදු වන්නේ කිනම් අනාවැකියට එකඟවද? (ආ) මේ අනාවැකියේ ඉටුවීමෙන් අර්ථවත් වන්නේ කුමක්ද?
11 පසුව, ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් [යුත්] . . . මහත් සමූහයක්” එක්රැස් කිරීම ඇරඹුණි. ‘මහත් පීඩාවෙන්’ බේරී දෙවිගේ නව ලෝකයට ඇතුල් වන ‘වෙනත් බැටළුවන්ගෙන්’ මොවුන් සමන්විත වනු ඇත. (එළිදරව් 7:9, 14; යොහන් 10:16) අවසානය පැමිණීමට පෙර දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩය මේ වර්තමාන කාලය අවසාන වන තුරුම ක්‍රියාත්මක වේ. දැනට දශලක්ෂ ගණනක් වන්නාවූ වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය, රාජ්‍යයේ මේ අතිවැදගත් පණිවිඩය ප්‍රසිද්ධ කිරීම සඳහා ආලේප ලත් ඉතිරි කොටසට පක්ෂපාත ලෙස උපකාර කරයි. මේ පණිවිඩය සියලුම ජාතීන්ට අසන්ට ප්‍රස්තාව සැලසී ඇත.
අනාගතයේ ඇත්තේ කුමක්ද?
12. යෙහෝවාගේ දවස පැමිණෙන්ට පළමුවෙන් දේශනා වැඩය තව කොපමණ දුරට කළ යුතුද?
12 ඉහත දැක්වූ සියලුම කරුණු කියාපාන්නේ අප සිටින්නේ අවසාන දවස්වල බවත්, යෙහෝවාගේ දවස අත ළඟ බවත්ය. එහෙත් එම භය උපදවන දවස ආරම්භ වීමට පෙර ඉටුවීමට වෙනත් අනාවැකි තිබේද? ඔව්. අනාවැකිවලින් එකක් වන රාජ්‍යය හා සම්බන්ධව මිනිසුන්ව වෙන් කිරීම තවමත් අවසන් වී නැත. වසර ගණනාවක් පුරා දැඩි විරෝධතා අද්දැක තිබෙන සමහර ප්‍රදේශවල ගෝලයන්ගේ ගණන දැන් වැඩිවර්ධනය වී ඇත. මිනිසුන් ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන ප්‍රදේශවල පවා අප සාක්ෂි දැරීමෙන් යෙහෝවාගේ දයාව පිළිබිඹු වේ. එමනිසා, දිගටම වැඩයේ යෙදෙමින් සිටිමු! වැඩය අවසන් වූ විට අවසානය පැමිණෙන බවට යේසුස් සහතිකයක් දෙන්නේය.
13. පළමුවන තෙසලෝනික 5:2, 3හි වාර්තා කර ඇති ලෙස ඉටුවීමට තිබෙන විශිෂ්ට සිදුවීම කුමක්ද? එයින් අපට අදහස් කරන්නේ කුමක්ද?
13 තවත් අතිවැදගත් බයිබල් අනාවැකියක් මෙසේ පුරෝකථනය කරයි. “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔවුහුද කිසිසේත් නොගැළවෙන්නෝය.” (1 තෙසලෝනික 5:2, 3) “සමාදානයය, අනතුරක් නැත” යන ප්‍රකාශය සිදු වන ආකාරය තවමත් එළිදරව් වී නැත. එහෙත්, ලෝක නායකයන් මනුෂ්‍යවර්ගයාගේ ගැටලු සැබෑවටම විසඳා ඇති බව මින් අදහස් නොකෙරෙනු ඇත. යෙහෝවාගේ දවස මනසේ ප්රමුඛව තබාගන්නාවූ අය එම ප්‍රකාශයෙන් රැවටෙන්නේ නැත. ඒ සමඟම හදිසියේම විනාශය පැමිණෙන බව ඔවුහු දනිති.
14. මහත් පීඩාව අතරතුරේදී කිනම් දේවල් සිදු වේද? කිනම් අනුපිළිවෙළකටද?
14 මහත් පීඩාවේ ආරම්භයත් සමඟම පාලකයන් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියට විරුද්ධව නැඟිට ඇයව සහමුලින්ම විනාශ කරනු ලැබේ. (මතෙව් 24:21; එළිදරව් 17:15, 16) ඉන්පසු, යෙහෝවාගේ පරමාධිපත්‍යයට පක්ෂව සිටින්නන්ට විරුද්ධව ජාතීන් නැඟිටිනු ඇත. එම ක්‍රියාව දේශපාලනික ආණ්ඩු හා ඔවුන්ගේ සහචරයන්ට විරුද්ධව යෙහෝවාගේ උදහස ඇවිළීමට හේතු වේ. ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ඔවුන්ව සම්පූර්ණෙන්ම විනාශ කරනු ඇත. එය මහත් පීඩාවේ උච්චාවස්ථාව වන අර්මගෙදොන්ය. ඒ සමඟම සාතන්වත් ඔහුගේ භූතයන්වත් මනුෂ්‍යවර්ගයාට බලපෑම් කිරීමට නොහැකි වන ලෙස පාතාලගත කරනු ලැබේ. මෙසේ යෙහෝවාගේ නාමය විශුද්ධි වීමත් සමඟම යෙහෝවාගේ දවස අවසන් වනු ඇත.—එසකියෙල් 38:18, 22, 23; එළිදරව් 19:11–20:3.
15. යෙහෝවාගේ දවස තව බොහෝ ඈතයැයි සිතීම අඥාන දෙයක් වන්නේ මන්ද?
15 වත්මන් ක්රමයේ අවසානය දෙවිගේ කාලසටහනට අනුව නියමිත වේලාවටම ඉටු වනු ඇත. එය ප්‍රමාද නොවේ. (හබක්කුක් 2:3) පොදු යුගයේ 70දී, යෙරුසලමේ විනාශය යුදෙව්වන් නොසිතූ මොහොතක අනතුරක් නැතැයි සිතූ වෙලාවක හදිසියෙන්ම පැමිණි බව මතක තබාගන්න. පුරාණ බබිලෝනිය ගැන කුමක් කිව හැකිද? එය බලවත්ව අධිවිශ්වාසයකින් වැජඹුණි. දැවැන්ත පවුරුවලින් ශක්තිමත්ව තිබුණි. එහෙත්, එක රැයකින් සියල්ල උඩු යටිකුරු විය. වත්මන් දුෂ්ට ක්‍රමය මත පැමිණෙන විනාශයද ඒ හා සමානවම හදිසියෙන්ම පැමිණෙනු ඇත. එසේ පැමිණෙන විට, අප යෙහෝවාගේ දවස මනසේ ප්රමුඛව තබාගෙන සැබෑ නමස්කාරයේ එක්සත්ව සිටීවා!
පුනරීක්ෂණ සාකච්ඡාව
• යෙහෝවාගේ දවස මනසේ ප්රමුඛව තබාගැනීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද? අපට එසේ කළ හැක්කේ කෙසේද?
• සිදු වෙමින් තිබෙන ජනයාව වෙන් කිරීමේ වැඩය අපට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද?
• යෙහෝවාගේ දවස ආරම්භ වීමට පෙර තවත් සිදුවීමට තිබෙන්නේ මොනවාද? අප පෞද්ගලිකව කුමක් කරමින් සිටිය යුතුද?
[180, 181වන පිටුවල පින්තූර]
ළඟදීම සාතන්ගේ වත්මන් ක්‍රමය විනාශ වීමත් සමඟම අන්තිම දවස් අවසන් වනු ඇත