පීඩනය යටතේ සිටින දෙමාපියෝ
අලුත් දෙමාපියෝ බොහෝවිට අතිශයින්ම උද්යෝගයට පත් වන බවක් පෙනෙනවා. තම බිළිඳා සම්බන්ධ සෑම දෙයක්ම ඔවුන්ව කුල්මත් කරවන බව පෙනෙනවා. බිළිඳාගේ මුල් හිනාව, මුල් වචන ටික වගේම මුල්ම පියවර දෙමාපියන් හට වැදගත් සිදුවීම්. කතා කියමින් ඡායාරූප ගනිමින් ඔවුන් මිතුරන්ට සහ නෑදෑයන්ට විශාල භෝජන සංග්‍රහ පවත්වනවා. කිසිම සැකයක් නැහැ, ඔවුන් ඔවුන්ගේ දරුවාට ආදරෙයි.
කෙසේවෙතත්, අවුරුදු ගණනාවක් ගත වෙද්දී සමහර පවුල්වල දුක්ඛිත සිදුවීම් දිගහැරෙනවා. දෙමාපියෙකුගේ ආදර ඇඟෑලුම්කම රළු සහ පහත් වචනවලට හැරෙනවා; ස්නේහවන්ත වැලඳගැනීම් කෝපාවිෂ්ට පහර දීම්වලට හැරෙනවා නැත්නම් කොහෙත්ම ස්පර්ශ නොකරන තත්වයට පත් වෙනවා; දෙමාපිය ආඩම්බරය වෙනුවට තික්තකම හටගන්නවා. “මට එක ළමයෙක්වත් නොඉන්නයි තිබුණෙ” කියල බොහෝදෙනෙක් කියනවා. තවත් පවුල්වල ගැටලුව ඊටත් වඩා නරකයි—දරුවා බිළිඳෙකුව සිටියදීම ආදරය පෙන්වීමට අසමත් වෙනවා! මේ ඕනෑම සිද්ධියකදී, සිද්ධ වුණේ මොකක්ද? කෝ ආදරය?
දරුවන් ඇත්තවශයෙන්ම, එවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට එතරම් දක්ෂ නැහැ. එනමුත් එය ඔවුන්ගේම නිගමනවලට එළඹීම නවත්වන්න යන්නෙත් නැහැ. හෘදයේ ඇතුළාන්තයෙන්ම දරුවෙක් මෙහෙම නිගමනය කරන්න ඉඩ තියෙනවා; ‘අම්මි හරි තාත්ති හරි මට ආදරේ නැත්තං ඒකට මගෙ මොකක් හරි වරදක් ඇති. මම හරිම නරක ඇති.’ මෙය ගැඹුරු ලෙස මුල්බැසගත් විශ්වාසයක් බවට පත් වෙන්න පුළුවන්—කෙනෙකුට ජීවිත කාලය පුරා හානි කරන හේතුවක් වෙන්න පුළුවන්.
කෙසේවෙතත් සැබෑව නම්, විවිධාකාර හේතූන් රාශියක් නිසා දරුවෙකුට අවශ්‍ය කරන ආදරය පෙන්වන්න දෙමාපියන් අසමත් වීම වෙන්න පුළුවන්. අදදින දෙමාපියන් පුදුමාකාර පීඩනයකට මුහුණ දෙන බව පිළිගත යුතු අතර, ඉන් සමහරක් පෙර නොවූවිරූ පරිමාණයක ඒවා. මේවා සමඟ නිසියාකාරයෙන් කටයුතු කරන්න සූදානම් නැති දෙමාපියෝ, දෙමාපියන් හැටියට මේ පීඩනවලට මුහුණ දීමේ ඔවුන්ගේ හැකියාව හානි කරගන්නවා. එක් පුරාණ ඥානෝපදේශයක් මෙහෙම ප්‍රකාශ කරනවා: “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.”—දේශනාකාරයා 7:7.
“කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්”
කල්පිත යුගයක්. මේ සියවසේදී වර්ධනය වෙනවා දකින්න බොහෝදෙනෙක් බලාපොරොත්තු වුණේ එයයි. හිතන්න—තවදුරටත් ආර්ථික පීඩන, සාගත, නියං, යුද්ධ නැහැ! නමුත් එවන් බලාපොරොත්තු ඉටු නොවී ගිහින්. ඒ වෙනුවට, අද ලෝකය මුල් සියවසේදී බයිබල් ලේඛකයෙක් අනාවැකි කී තත්වයට පත් වෙලා. අපගේ දවස්වලදී ‘කටයුතු කිරීමට අසීරු, අර්බුදකාරි කාලවල්වලට’ මුහුණ දෙන බව ඔහු ලිව්වා. (2 තිමෝති 3:1-5) බොහෝ දෙමාපියෝ, මේ වචනවලට සැණෙකින් එකඟ වන්නාවූ මුල්ම අයයි.
අද ලෝකයේ දරුවන් හදා වඩාගැනීම විශාල මුදලක් යට කරන අන්දුන් කුන්දුන් කරවන්නක් බව බොහෝ අලුත් දෙමාපියන් දැනගන්න යනවා. බොහෝවිට, මූලික අවශ්‍යතා සපුරාගන්න මාපිය දෙපළම රැකියාවේ නිරත විය යුතුයි. වෛද්‍ය වියදම්, ඇඳුම්, පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ආහාරපාන සහ ඉඳුම් හිටුම් පවා, බිල්පත්වල මාසික රැල්ලට දායක වෙන්න පුළුවන්; එලෙස තමන් එහි ගිලෙන්න යනවාදෝ කියන හැඟීම බොහෝ දෙමාපියන් තුළ ඇති වෙන්න පුළුවන්. අදදින ආර්ථික තත්වය, එක දවසකට සෑහෙන අවශ්‍යතා මිල දී ගැනීමට මුළු දවසක වැටුප මිනිසුන් වැය කරන කාලය ගැන එළිදරව් පොතේ පුරෝකථනය කරන අනාවැකිය බයිබල් ශිෂ්‍යයන්ට මතක් කරවනවා!—එළිදරව් 6:6.
තම දෙමාපියන් මුහුණ දෙන මේ සෑම පීඩනයක්ම තේරුම්ගනී කියලා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒකට හේතුව, ස්වභාවයෙන්ම, දරුවන් ආදරයට සහ අවධානයට සාගින්නක් මෙන්ම අවශ්‍යතාවක් ඇතුව සිටීමයි. අලුත්ම සෙල්ලම් බඩුවක්, ඇඳුමක් හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක් ලබාගැනීමට පාසැල් මිතුරන්ගෙන් සහ ජනසන්නිවේදන මාධ්‍යයෙන් උරාගන්නා පීඩනය, බොහෝවිට වැඩි වෙන්නාවූ අවශ්‍යතා ලැයිස්තුව සපයන්න දෙමාපියන් මත පීඩනයක් යොදවනවා.
දෙමාපියන් මත යෙදෙන තවත් පීඩනයක් වන්නේ, මේ දවස්වල වඩා නරක ලෙස පෙනෙන කැරලිකාරකමයි. සිත්ගන්නා ලෙස, අපගේ ගැටලු සහිත කාලයේ තවත් ඇඟවීමක් ලෙස පැතිර පවතින්නාවූ දරුවන් දෙමාපියන්ට අකීකරු වීම ගැන බයිබලය අනාවැකි කියා තිබුණා. (2 තිමෝති 3:2) ඇත්තයි, දරුවන්ව හික්මවීමේ ගැටලු අලුත් නැහැ. ඒ වගේම දරුවෙකුව අනිසි ලෙස සලකන්නේ ඔහුගේ නොමනා හැසිරීම නිසා කියා කිසිම දෙමාපියෙකුට සාධාරණ ලෙස දොස් නඟන්න බැහැ. ඒත් අදදින දෙමාපියන් මුළුමනින්ම කැරලිකාර වූ සංස්කෘතියක් තුළ දරුවන්ව හදා වඩාගත යුතුයි කියන එකට ඔබ එකඟ වන්නේ නැද්ද? ජනප්‍රිය සංගීතය කෝපයට, විප්ලවයට සහ කනස්සල්ලට අනුබල දෙනවා; රූපවාහිනී වැඩසටහන්, දෙමාපියන් විකාරකාරයෝ බවත් දරුවන් ඔවුන්ගේ දක්ෂ උසස් මොළකාරයෝ බවත් පැහැදිලි කරනවා; චිත්‍රපට සාහසික වේශය උසස් කර රඟ දක්වනවා—අදදින දරුවන් එවැනි බලපෑම්වලින් බලවත් සේ පහර ලබා තියෙනවා. මේ කැරලිකාර සංස්කෘතිය උරාගන්න සහ අනුගමනය කරන දරුවන්, තම දෙමාපියන්ව අතිශයින් දරුණු අපහසුතාවකට පත් කරවනවා.
“ජන්ම ස්නේහය නැත්තෝව”
කෙසේවෙතත්, අදදින පවුල් ගැටලු වඩා වැඩි කරන තවත් අංගයක් මේ පුරාණ අනාවැකියෙහිම පුරෝකථනය කර තියෙනවා. එයින් අඟවන්නේ මිනිසුන් මහත් සංඛ්‍යාවක් ‘ජන්ම ස්නේහය නැතුව’ සිටිනවා කියලයි. (2 තිමෝති 3:3) පවුල එක් කර තබාගන්නේ ජන්ම ස්නේහයයි. බයිබල් අනාවැකි බොහෝ සේ සැක කරන අයට වුණත්, අපගේ කාලයේ පවුල් ජීවිතය කම්පා කරවන ලෙස බිඳවැටී ඇති බව පිළිගන්න සිදු වෙනවා. ලෝකය පුරාම දික්කසාද අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ නැඟ තියෙනවා. බොහෝ ප්‍රජාවන්වල පාරම්පරික පවුල්වලට වඩා තනි-මාපිය පවුල් සහ සුළු-පවුල් වඩා සාමාන්‍ය දෙයක් වෙලා. සමහරවිට තනි-මාපියන් සහ සුළු-මාපියන් විශේෂ අභියෝග සහ පීඩනවලට මුහුණ දෙන අතර, දරුවන්ට අවශ්‍ය ආදරය පෙන්වන්න ඔවුන්ට අපහසු වෙලා තියෙනවා.
කෙසේවෙතත්, එහි ගැඹුරු බලපෑමක් තියෙනවා. අදදින බොහෝ දෙමාපියන් හැදී වැඩුණේ, “ජන්ම ස්නේහය” ටිකක් ලැබුණු හෝ කොහෙත්ම නොලැබුණු නිවෙස්වලයි. එනම් කාමමිථ්‍යාචාරය සහ දික්කසාදය නිසා වෙන් වූ නිවෙස්; උණුසුම්භාවයක් නැතිවීමෙන් සහ වෛරය නිසා නුරුස්නා තැන් බවට පත් වූ නිවෙස්; සමහරවිට වාචික, චිත්තවේගීය, ශාරීරික සහ ලිංගික අයුතු බලපෑමට ලක්වීම පොදු දෙයක් වූ නිවෙස්වලයි. එවැනි නිවාසවල වැඩෙන එක දරුවන්ට හානියක් වෙනවා විතරක් නෙවෙයි, ඔවුන් වැඩිහිටියන් බවට පත් වුණාමත් එයින් හානි වෙනවා. සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ අඳුරු පින්තූරයක්—වැඩි වශයෙන් තම දරුවන්ට අනිසි ලෙස සලකා තියෙන්නේ, දරුවන් හැටියට අනිසි ලෙස සැලකීමක් ලැබූ දෙමාපියන්. බයිබල් කාලවල යුදෙව්වරුන් අතර මෙවැනි කියමනක් තිබුණා: “පියවරු ඇඹුල් මිදිඵල කන්නෝය, දරුවන්ගේ දත් හිරිවැටෙන්නේය.”—එසකියෙල් 18:2.
කෙසේවෙතත්, එය එසේ විය යුතු නැති බව දෙවි තම සෙනඟට කිව්වා. (එසකියෙල් 18:3) වැදගත් කාරණයක් මෙහිදී තහවුරු කළ යුතුයි. දෙමාපියන් මත ඇති මේ සියලුම පීඩන තම දරුවන්ව අනිසි ලෙස සලකනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි බව අදහස් කරනවාද? ස්ථිරවම නැහැ! ඔබ කලින් සඳහන් කළ පීඩන සමඟ පොරබදිමින් සිටින දෙමාපියෙක් නම්, කවදාහරි හොඳ දෙමාපියෙක් වෙන්න පුළුවන් වෙයිද කියල කරදර වෙමින් සිටිනවා නම් ධෛර්යවත් වෙන්න! ඔබ සංඛ්‍යා ලේඛනයක් නෙවෙයි. ඔබේ අතීතය ස්වයංක්‍රීය ලෙස අනාගතය ගැන ලියන්න යන්නේ නැහැ.
වැඩිදියුණු විය හැකි බවට ඇති ශුද්ධ ලියවිලිමය සහතිකයට එකඟව, හෙල්ති පේරන්ටිං (හිතකර මාපියභාවය) යන පොතේ මෙම අදහස දක්වනවා: “ඔබේ දෙමාපියන්ට වඩා වෙනස් ලෙස හැසිරෙන්න හිතාමතාම [ඔබේ] පියවර නොගත්තොත්, ඔබට අවශ්‍ය වුවත් නැතත් ඔබේ ළමාවියේ ජීවන රටාව යළි යළි ඉස්මතු වෙන්න යනවා. මේ චක්‍රය කඩන්න නම්, ඔබ ළඟ සැමදා තිබුණාවූ අහිතකර ජීවන රටාවන් ගැන සාවධානි වී ඒවා වෙනස් කරන්නේ කොහොමද කියල ඉගෙනගන්න අවශ්‍ය වෙනවා.”
ඔව්, අවශ්‍ය නම්, අනිසි ලෙස ක්‍රියා කරන දෙමාපියභාවයේ චක්‍රය බිඳදැමිය හැකියි! ඒ වගේම අදදින දෙමාපියභාවයේ සිටීම ඉතා දුෂ්කර කරවන්නාවූ පීඩන සමඟ කටයුතු කරන්න පුළුවන්. ඒත් ඒ කොහොමද? හිතකර දෙමාපියභාවය සඳහා හොඳම, ඉතා විශ්වාසවන්තම ප්‍රමිති ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද? අපේ ඊළඟ ලිපිය මේ කාරණය සලකා බලන්න යනවා.
[6වන පිටුවේ පින්තූරය]
පීඩනය යටතේ, සමහර දෙමාපියන් තම දරුවන් වෙත ආදරය ප්‍රකාශ කරන්න අසමත් වෙනවා
[7වන පිටුවේ පින්තූරය]
දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය ආදරය ප්‍රකාශ කළ යුතුයි