3 පාඩම
බයිබලය—අපේ ප්‍රධාන පාඩම් පොත
1, 2. බයිබලය ලිවීමේ ආරම්භය සහ අවසානය සිදු වූයේ කවදා ද, එමෙන් ම බයිබලය කොතරම් දුරට ප්‍රචාරය වී ඇද්ද?
1 දිව්‍යාණ්ඩු සේවා පාසලේ අපේ ප්‍රධාන පාඩම් පොත බයිබලය වන අතර, ශුභාරංචියේ සේවකයන් වශයෙන් අපි එය හොඳින් දැන සිටිය යුත්තෙමු. එය නිෂ්පාදනය කරන ලද්දේ කෙසේ ද, එහි අඩංගු දෑ මොනවා ද එමෙන් ම එය භාවිතා කළ යුත්තේ කෙසේ ද කියා අපි දැන සිටිය යුත්තෙමු.
2 වාර්තාව ආරම්භ කරන ලෙසට පො.යු.පෙ. 1513 දී මෝසෙස්ට අණ ලැබුණු අවස්ථාවේ පටන් බයිබලය ලිවීම ආරම්භ විය. බයිබලය ලිවීම කෙළවර වූයේ පො.යු. පළමුවන ශතවර්ෂය අවසානයේ ප්‍රේරිත යොහන් තමාගේ ලිවීම නිම කිරීමත් සමඟ ය—එනම් ශතවර්ෂ දහසයකට පමණ පසු ව ය. අද භාෂා 2,000කින් පමණ බයිබලය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් ලබා ගත හැකි ය. මිලියන ගණනින් ප්‍රචාරය වන්නේ පොත් ස්වල්පයක් වුවත්, බයිබලය මිලියන දහස් ගණනින් ප්‍රචාරය වී ඇත. වෙන කිසි ම පොතක් මීට සමාන වාර්තාවක් තබා නැත. ඇත්ත වශයෙන් ම, ආගමික පොතක් ලිවීම, එය අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ආරක්ෂා කර ගැනීම හෝ මිලියන ගණන් පුද්ගලයන් විසින් එය සම්මානනීය ග්රන්ථයක් වශයෙන් සැලකීම පමණක් ම එහි දිව්‍ය ආරම්භය සනාථ නොකරයි. එහි දිව්‍යමය කර්තෘත්වයට සාක්ෂි තිබිය යුතුයි, එය දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියනු ලැබූ බවට සනාථ විය යුතු ය. බයිබලයට මෙවැනි සාක්ෂි තිබෙන බවට එය සුපරීක්ෂාකාරී ව පරීක්ෂා කරන අවංක පුද්ගලයන්ට ඒත්තු යනු ඇත.
3, 4. බයිබලය මුලින් ලියන ලද්දේ කුමන ස්වරූපයෙන් ද, තව ද එය පරිච්ඡේදවලට සහ පදවලට බෙදන ලද්දේ කවදා ද?
3 අප දන්නා තරමට පොත් හැටහයකින් සමන්විත බයිබලය මුලින් ලියන ලද්දේ හෙබ්‍රෙව්, ඇරමේක් සහ ග්‍රීක් භාෂාවලින් ය. නියම වශයෙන් ඇති පොත් සංඛ්‍යාව හෝ ඒවා එකිනෙකට අනුපිළිවෙළින් ඉදිරිපත් කොට ඇති අන්දම හෝ වැදගත් නැත. (සමහර විට පොත් කිහිපයක් එකට එකතු කර තිබූ අතර වෙන අවස්ථාවල දී ඒවා වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලදි) දේවානුභාවයෙන් ලියන ලද පොත්වල ග්‍රන්ථාවලිය හෝ නාමාවලිය නිම කොට බොහෝ කලක් යන තුරු ම එම පොත් වෙන් වෙන් වශයෙන් පැවතුණු අතර, ඒවා ලැයිස්තු ගත කළ අනුපිළිවෙළ පුරාණ නාමාවලිවල විවිධ වශයෙන් දැක්වේ. කෙසේ වුවත්, ඉතා වැදගත් වන්නේ කුමන පොත් ඇතුළත් කර ඇද්ද යන්නයි. ඇත්ත වශයෙන් ම, දේවානුභාවයෙන් ලියන ලද බවට ස්ථිර සාක්ෂියක් ඇත්තේ දැනට බයිබල් ග්රන්ථාවලියට ඇතුළත් කර ඇති පොත්වලට පමණ ය. පුරාණ කාලවල පටන් වෙනත් ලියවිලි එකතු කිරීමට දැරූ වෑයමට දැඩි විරුද්ධතාවයක් පෙන්වා ඇත.
4 බයිබලය මුලින් ම ලියන ලද්දේ අඛණ්ඩ, වෙන් නොකළ අකුරු පේළි වශයෙන් ය. විරාම ලක්ෂණ යොදා වාක්‍යවලට වෙන් කිරීමේ යම් ක්‍රමයක් පොදු යුගයේ 9වන සියවස වන තුරු නොපැවතුණේ ය. මුද්‍රණ ශිල්පය හඳුන්වා දීමේ ප්‍රතිඵලය වශයෙන් පො.යු. 15වන සියවසේ දී නවීන විරාම ලක්ෂණ ක්‍රමය ආරම්භ විය. බයිබලය පරිච්ඡේද හා පදවලට වෙන් කිරීම මුල් ලේඛකයන් විසින් කරන ලද දෙයක් ද නොවේ. (කිං ජේම්ස් වර්ෂන් යන අනුවාදය පරිච්ඡේද 1,189කින් ද පද 31,102කින් ද සමන්විත ය) මෙය කරන ලද්දේ ශතවර්ෂ ගණනාවකට පසු ව ය. මැසරයිට්වරු නම් යුදෙව් විද්වතුන් පිරිසක් හෙබ්‍රෙව් ලියවිලි පදවලට බෙදුවෝ ය. ඉන් පසු පො.යු. දහතුන්වන සියවසේ දී ඒවා පරිච්ඡේදවලට බෙදන ලදි.
5, 6. බයිබලය ආනුභාසම්පන්නයි කියන්නේ කුමන අර්ථයෙන් ද, එමෙන් ම එහි අන්තර්ගත විවිධ ලේඛන ශෛලියන් පැහැදිලි කරන්නේ කුමක් ද?
5 දේවානුභාවයෙන් ලියන ලද පොත් එකතුව. යෙහෝවඃ වහන්සේගේ ආනුභාසම්පන්න වචනය ලේඛන ගත කිරීමට පුද්ගලයන් 40ක් පමණ උතුම් කර්තෘවරයාණන්ට ලේකම්වරුන් වශයෙන් සේවය කළෝ ය. සියලු ම ශුද්ධ ලියවිලි ‘දේවානුභාවයෙන් ලියවුණු’ ඒවා ය. මේවාට ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ඇතුළු ව ‘අන් ලියවිලි ද’ අඩංගු වේ. (2 තිමෝ. 3:16; 2 පේතෘ. 3:15, 16) “ආනුභාවය” යන්නෙන් අදහස් කරන්නේ ඉතා උසස් සාධන මට්ටමකට බුද්ධිය සහ චිත්ත වේගයන් උත්තේජනය කිරීම නොවේ, (බොහෝ විට, පරිබාහිර කලාකරුවන් සහ කවියන් සම්බන්ධයෙන් එසේ කියනු ලැබේ) නමුත් ආනුභාවය යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේ විසින් ම ලියන ලද්දක් සේ සමාන ආධිපත්‍යයක් ඇති නොවරදින සුලු ලියවිලි නිෂ්පාදනය කිරීමයි. දෙවියන් වහන්සේ ඇදහිලිවන්ත මනුෂ්‍යයන් කෙරෙහි තමන් වහන්සේගේ ම ආත්මය ක්‍රියා කිරීම සිදු කොට තමන් වහන්සේගේ අණ පරිදි දේවල් ලේඛන ගත කිරීමට ඔවුන් ව උපයෝගි කර ගත් සේක. “කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය, NW] විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය,” යනුවෙන් ප්‍රේරිත පේතෘස්ට ප්‍රකාශ කළ හැකි වූයේ ඒ නිසා ය. (2 පේතෘ. 1:21) කෙසේ වුවත්, අවම වශයෙන් එක් අවස්ථාවක දී දෙවියන් වහන්සේ විසින් ම ලිඛිත ස්වරූපයෙන් තොරතුරු සපයන ලදි. මේ වනාහි දස පනත ය, එනම් මෝසෙස්ට දෙන ලද “දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි” දෙක ය.—නික්. 31:18.
6 සමහර අවස්ථාවල දී තොරතුරු වාචික අණ මගින් වචනයක් වචනයක් පාසා ලැබෙන්නට සලස්වන ලදි. (නික්. 34:27) ඉදිරිපත් කිරීම සඳහා අනාගතවක්තෘවරුන්ට ද සුවිශේෂ පණිවුඩ දෙන ලදි. (1 රාජා. 22:14; යෙරෙ. 1:7) කෙසේ වුවත්, ලියවිලි ලේඛන ගත කිරීම සඳහා දෙවියන් වහන්සේ උපයෝගි කළ මිනිසුන්, ලිවීම සඳහා කියවන ලද කරුණු නිකම් ම ලේඛන ගත නොකළ බවට සාක්ෂි ඇත. නිදසුනක් හැටියට, එළිදරව් පොත යොහන්ට ලැබුණේ දෙවියන් වහන්සේගේ දූතයා විසින් දෙන ලද ‘ලකුණුවලින්’ ය, “නුඹ දකින දේ පොතක ලියා . . . පන්න” යයි යොහන්ට කියන ලදි. (එළි. 1:1, 2, 10, 11) මෙසේ තමන් දුටු දර්ශන විස්තර කිරීමට වචන සහ වාක්‍ය විධි බයිබල් ලේඛකයන්ට ම තෝරා ගැනීමට ඉඩ හැරීම හොඳ යයි දෙවියන් වහන්සේ කල්පනා කළ බව පෙනේ. කෙසේ වුවත්, අවසාන කෘතිය නිවැරදි සහ තමන් වහන්සේගේ අරමුණට ගැළපෙන එකක් වන අයුරින් උන් වහන්සේ සැමවිට ම ඔවුනට ප්‍රමාණවත් මඟ පෙන්වීමක් දුන් සේක. (දේශ. 12:10) බයිබලයේ පොත්වල දක්නට ලැබෙන නොයෙක් ලේඛන ශෛලියන්ට හේතුව මෙය බව නිසැක ය.
7. හෙබ්‍රෙව් ලියවිලිවල ලේඛකයන් සමහරෙකු කවරහු ද, තව ද ඔවුහු පිළිපැද්දේ සැබෑ අනාගතවක්තෘන්ට තිබිය යුතු කුමන අවශ්‍යතාවයන් ද?
7 අභ්‍යන්තර සාක්ෂිවලට අනුව මෝසෙස්ගේ ලියවිලි දේවානුභාවයෙන් ලියන ලද බවට නිසැක ය. ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධානියා වීමට මෝසෙස්ට අදහසක් නොතිබුණි. මුල දී මෝසෙස් එම යෝජනාවට විරුද්ධ විය. (නික්. 3:10, 11; 4:10-14) එහෙත්, දෙවියන් වහන්සේ මෝසෙස් ව තෝරා ගෙන ඔහුට ප්රාතිහාර්යන් සිදු කිරීමේ බලය දුන් සේක. මෝසෙස් කළ දේ දෙවියන් වහන්සේගෙන් නික්මුණු බව, මන්ත්‍ර ගුරුකම් කළ පූජකවරුන්ට පවා පිළිගන්නට සිදු විය. (නික්. 4:1-9; 8:16-19) දෙවියන් වහන්සේගේ නියෝගයට කීකරු වෙමින් ශුද්ධාත්මයේ දිව්‍යමය සුදුසුකම්වල ආධාරයෙන්, ප්‍රථමයෙන් කථා කිරීමටත්, ඉන් පසු බයිබලයේ කොටසක් ලිවීමටත් මෝසෙස් පෙලඹුණේ ය. (නික්. 17:14) මෝසෙස්ගේ මරණයෙන් පසු යෝෂුවා, සාමුවෙල්, ගාද්, නාතාන් යන අයගේ ලියවිලි (යෝෂුවා, විනිශ්චයකාරයන්ගේ පොත, රූත්ගේ කථාව, පළමුවන හා දෙවන සාමුවෙල්) එකතු කරන ලදි. වර්ධනය වෙමින් පැවති ශුද්ධ ලියවිලි ග්රන්ථ සමූහයට දාවිත් සහ සාලමොන් රජවරු දායක වූහ. ඉන් පසු යෝනා පටන් මලාකි දක්වා අනාගතවක්තෘවරුන් එක් එක්කෙනා බයිබල් ග්රන්ථාවලියට දායක වූහ. එක් එක්කෙනා සැබෑ අනාගතවක්තෘවරුන් පිළිබඳ ව යෙහෝවඃ වහන්සේ ඉදිරිපත් කළ අවශ්‍යතාවයන්ට අනුකූල වූහ; එනම් ඔවුහු යෙහෝවඃ වහන්සේගේ නමින් කථා කළෝ ය, ඔවුන්ගේ අනාවැකි ඉටු විය, ඔවුහු ජනයා ව දෙවියන් වහන්සේ වෙතට හැරෙව්වෝ ය.—ද්වි. 13:1-3; 18:20-22.
8. හෙබ්‍රෙව් ලියවිලි පිළිගත් ග්රන්ථ සමූහයට අයත් බවට තිබෙන ප්රබලතම සාක්ෂිය කුමක්ද?
8 ලිවීමට මිනිසුන්ට යෙහෝවඃ වහන්සේ ආනුභාවය දුන් සේ ම, මෙම ආනුභාසම්පන්න ලිපි එකතු කිරීමට ද උන් වහන්සේ මඟ පෙන්වූ බව සිතීම තර්කානුකූල ය. පිටුවහල් ව සිටි යුදෙව්වරු නැවත යුදාවේ පදිංචි කළ පසු, එස්රා මේ කාර්යයෙහි නිරත වූ බව යුදෙව් සම්ප්රදාය පවසයි. බයිබලයේ දේවානුභාවය ලත් ලේඛකයෙක්, පූජකයෙක් සහ “මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්” වූ ඔහු මේ කාර්යය සඳහා හොඳින් සුදුසුකම් ලබා සිටි පුද්ගලයෙකි. (එස්රා 7:1-11) පොදු යුගයට පෙර පස් වැනි සියවස අවසානයේ දී හෙබ්‍රෙව් ලියවිලිවල ග්‍රන්ථාවලිය හොඳින් තීරණය වී තිබුණේ ය. එයට අඩංගු වූයේ අද අප සතු ව ඇති ලියවිලි ම ය, අද අප ඒවා පොත් තිස් නවයකට බෙදා ඇත. ඒවා ග්රන්ථාවලියට ඇතුළත් කළේ මිනිස් මණ්ඩලයක් විසින් නොවේ; ඒවායේ පටන්ගැන්මේ සිට ඒවාට දිව්‍ය අනුමැතිය ලැබී තිබුණේ ය. හෙබ්‍රෙව් ලියවිල්ලේ ග්‍රන්ථාවලිය පිළිබඳ අවසාන ඒකාන්ත සාක්ෂි පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්දෝෂ වචනයෙන් සහ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල ලේඛකයන්ගේ වචනයෙන් ය. ඔවුන් දේවානුභාව සම්පන්න හෙබ්‍රෙව් ලියවිලි නිදහසේ භාවිතා කළත්, ද්විතීය සම්මත ග්රන්ථවලින් ඔවුන් කිසි විටෙකත් උපුටා දැක්වූයේ නැත.—ලූක් 24:44, 45.
9, 10. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි ඇත්ත වශයෙන් ම පිළිගත් බයිබල් ග්රන්ථ සමූහයට අයිති බවට ඇත්තේ කුමන ස්ථිර සහතිකය ද?
9 ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලට අයත් පොත් විසි හත ලිවීම සහ එකතු කිරීම හෙබ්‍රෙව් ලියවිලිවලට සමාන විය. ක්‍රිස්තුස් වහන්සේ “මිනිසුන් තුළ දීමනා පිරිනැමූ සේක” ඔව්, “උන් වහන්සේ සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් අනාගතවක්තෘවරුන් ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් ද සමහරුන් එඬේරුන් ද සමහරුන් ගුරුවරුන් ද කොට දුන් සේක.” (එපී. 4:8, 11-13, NW) දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය ඔවුන් වෙත ඇති ව, ක්‍රිස්තියානි සභාව සඳහා ඔවුහු සාර ගර්භිත ධර්මයන් පිහිටෙව්වෝ ය. දෙවියන් වහන්සේගේ ආත්මය, උගන්වමින්, තමන් වහන්සේගෙන් ඇසූ දෑ සිහිපත් කරමින්, මතු සිදු වන්නට තිබෙන දෑ එළිදරව් කරමින් උදව් කරන බව යේසුස් වහන්සේ සිය ප්‍රේරිතයන්ට සහතික වශයෙන් ප්‍රකාශ කළ සේක. (යොහන් 14:26; 16:13) මෙය ශුභාරංචි වාර්තාවල සත්‍යතාවය සහ නිරවද්‍යතාවය තහවුරු කළේ ය.
10 එක්තරා පොතක් කී වාරයක් උපුටා දක්වා ඇද්ද යන්න හෝ ප්‍රේරිතයෙක් නොවන කිනම් ලේඛකයෙක් විසින් උපුටා දක්වා ඇද්ද යන්න හෝ, එය ග්රන්ථාවලියට ඇතුළු කිරීමේ නියම පරීක්ෂණය නොවේ. පොතේ අන්තර්ගත දේ ම එය ශුද්ධාත්මයේ නිමැයුමක් බවට සාක්ෂි දිය යුතු ය. ඒ හේතුවෙන් මිථ්‍යා විශ්වාස, යක්ෂ ගුරුකම්, සතුන්ට වන්දනා කිරීම යන ඒවාට දිරිගැන්විය නොහැක. එය බයිබලයේ අනෙක් කොටස්වලට සම්පූර්ණයෙන් ම එකඟ විය යුතු ය. එක් එක් පොත යේසුස් වහන්සේගේ ඉගැන්වීම්වලට එකඟ ව දිව්‍යමය ‘සාර වූ වචනවල ආදෘශයට’ අනුකූල විය යුතු ය. (2 තිමෝ. 1:13) පැහැදිලි ව ම ප්‍රේරිතවරු දිව්‍ය ආධිපත්‍යය ඇති ව කථා කළෝ ය. ශුද්ධාත්මයේ ආධාරයෙන් ඒවා දෙවියන් වහන්සේගෙන් ද නැද්ද කියා “විමසීමට” ඔවුන්ට හැකියාව තිබුණි. (1 කොරි. 12:4, 10) අවසාන ප්‍රේරිතයා වූ යොහන්ගේ අභාවයත් සමඟ ම දේවානුභාවය ලත් මිනිසුන්ගේ විශ්වාසදායක දම්වැල කෙළවර විය. එබැවින් එළිදරව් පොත, යොහන්ගේ සුවිශේෂය සහ ඔහුගේ හසුන්වලින් (පත්‍ර) බයිබල් ග්‍රන්ථාවලිය සම්පූර්ණ විය. පොත් 66කින් සමන්විත බයිබලයේ එකඟතාවය තුළින්, එය එක ඒකකයක් බව සහතික වන අතර, ඇත්ත වශයෙන් ම, එය දේවානුභාවයෙන් ලද යෙහෝවඃ වහන්සේගේ සත්‍යය වූ වචනය බවට අපට නිර්දේශ කරයි.
11. බයිබලය සමන්විත වනුයේ මිනිසුන්ට වෙන කොතැනකින්වත් ලබා ගත නොහැකි කුමන තොරතුරුවලින් ද?
11 අන්තර්ගතය. මිනිසුන්ට වෙනත් තැනකින් ලබා ගත නොහැකි තොරතුරු බයිබලයේ අන්තර්ගත වේ. නිදසුනක් හැටියට, උත්පත්ති පොතේ වාර්තාව, පොළොවේ මැවීම පිළිබඳ තොරතුරු සපයයි; මිනිසාගේ සම්භවයට කලින් සිදු වූ දේවල් පිළිබඳ ව දැනුමක් එය අපට ලබා දෙයි. (උත්. 1:1-31) ස්වර්ගයේ සිදු වූ සම්භාෂණයන් පිළිබඳ ව බයිබලය අපට කියයි, දෙවියන් වහන්සේ ඒවා පිළිබඳ ව අපට තොරතුරු සැපයුවොත් මිස, එවන් දෑ මිනිස් කන්වලට නෑසේ.—යෝබ් 1:6-12; 1 රාජා. 22:19-23.
12, 13. යෙහෝවඃ වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ශුද්ධ ලියවිලිවලින් අපට උගත හැක්කේ කුමක් ද?
12 ඊට වඩා වැදගත් කාරණය නම්, බයිබලය අපට යෙහෝවඃ වහන්සේ ව දැනහඳුනා ගැනීමට සැලැස්වීමයි. තමන් වහන්සේගේ සේවකයන්ට යෙහෝවඃ වහන්සේ අනුග්‍රහ පූර්වක ව දුන් ආශ්චර්යවත් දර්ශනයන් බයිබලය කියාපායි. (දානි. 7:9, 10) එමෙන් ම, බයිබලය අපට “යෙහෝවඃ” යන දෙවියන් වහන්සේගේ නාමය හඳුන්වා දෙයි, හෙබ්‍රෙව් ලියවිලිවල මැසොරෙටික පිටපතේ මෙම නාමය 6,800කට වඩා යෙදේ. ප්‍රේමය, ප්‍රඥාව, යුක්තිය, දයාව, බොහෝ-ඉවසිලිවන්තකම, ත්‍යාගශීලීවන්තකම, දැනුමේ පරිපූර්ණත්වය, නොවෙනස්වන සුලු භාවය වැනි යෙහෝවඃ වහන්සේගේ කැපී පෙනෙන ගුණාංග ගැන අපි බයිබලයෙන් ඉගෙන ගනිමු. (නික්. 34:6, 7) මීට අමතර ව, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ගැනත්, දෙවියන් වහන්සේගේ අරමුණ තුළ උන් වහන්සේ දරන වැදගත් ස්ථානය ගැනත් බයිබලය අපට කියා දෙයි. (කොලො. 1:17, 18; 2:3; 2 කොරි. 1:20) අනික් සියල්ලන්ට ම වඩා මේ ලෝකයේ සිටිය දී දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යෙහෝවඃ වහන්සේ පිළිබඳ ව අපගේ දැනුම පුළුල් කළ සේක. මක්නිසා ද, “මා දුටු තැනැත්තේ පියාණන්වහන්සේ දුටුවේ” යයි කීමට උන් වහන්සේට හැකි විය.—යොහන් 14:9.
13 දෙවියන් වහන්සේගේ අරමුණ වර්ධනය වීම පිළිබඳ ව විස්තර බයිබලය එළිදරව් කරයි. කීකරු මනුෂ්‍ය වර්ගයා සඳහා පුරෝකථනය කරන ලද ආශීර්වාද සියල්ලක් ම යෙහෝවඃ වහන්සේ විසින් පත් කරන ලද පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් තුළ කේන්ද්‍ර ගත විය. ඒදන් උයනේ දී දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේ ව විස්තර කරන ලද්දේ දෙවියන් වහන්සේගේ ස්ත්‍රියගේ “වංශය” හැටියට ය. (උත්. 3:15) මෙම වංශය ආබ්‍රහම්ගෙන් නික්මෙන බව කල්යාමේ දී දෙවියන් වහන්සේ පොරොන්දු වූ සේක. (උත්. 22:18) මෙම පොරොන්දු වූ ගැලවුම්කරුවාණන් “මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ” සදාකාල රජ කෙනෙක් සහ පූජකයෙක් වන බව උන් වහන්සේ පෙන්වූ සේක. (ගීතා. 110:4; හෙබ්‍රෙ. 7:1-28) “මතු පැමිණෙන යහපත් දේවල පෙර-ඡායාවක්” වූ පූජකත්වය සහ යාග ඇතුළු ව්‍යවස්ථා ගිවිසුම උන් වහන්සේ ඊශ්‍රායෙල්ට දුන් සේක. (හෙබ්‍රෙ. 10:1, NW; කොලො. 2:17, NW) රජකම සදහට ම තමාගේ පවුල තුළ රැඳෙන බව දාවිත්ට පොරොන්දු වන ලදි. (2 සාමු. 7:11-16) එම පොරොන්දුවේ උරුමක්කරුවාණන් මෙන් ම, සියලු ම අනාවැකි විසින් ගැලවුම්කරුවාණන් වශයෙන් දක්වා ඇති තැනැන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව පෙන්වා දී ඇත. ඇත්ත වශයෙන් ම, බයිබලය එහි පිටු තුළින් නාභි ගත කරන්නේ දේවානුභාවසම්පන්න ලියවිලිවල තේමාව කෙරෙහි ය. එනම් යෙහෝවඃ වහන්සේගේ අරමුණ ඉටු කිරීම සඳහා තමන් වහන්සේ විසින් සපයා ඇති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතේ තිබෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි.
14-17. බයිබල් අනාවැකි සහ සදාචාරය පිළිබඳ ව බයිබලයේ ඇති උපදෙස් අප සියලු දෙනාට ම මහත් වටිනාකමකින් යුක්ත වන්නේ මන්ද?
14 අනාවැකි පොතක් හැටියට බයිබලය කැපී පෙනෙයි. මේ අනුව ඓතිහාසික සිද්ධීන්වල අර්ථය පෙන්වා දෙන අතර, ඒවා එලෙස සිදු වූයේ මන්දැයි පැහැදිලි කරයි. (ලූක් 19:41-44) ලෝකයේ වර්තමාන ආණ්ඩුවල අනාගතය ගැන එය පෙන්වා දෙයි. (දානි. 2:44, 45ආ) අපේ කාලයේ සිද්ධීන් එය පැහැදිලි කරයි, අප ජීවත් වන්නේ පුරෝකථනය කරන ලද, මේ පරණ පිළිවෙළේ අවසාන කාලයෙහි බවත්, නොබෝ කලකින් දෙවියන් වහන්සේ සියලු දුෂ්ටයන් පහ කරන්ට යන බවත්, එය පෙන්වා දෙයි.—2 තිමෝ. 3:1-5; ගීතා. 37:9, 10.
15 බයිබලය නැති ව අපට ජීවිතයේ සැබෑ අරමුණ දැනගත නොහැක. (දේශ. 12:13) මිනිසා අහඹු සිද්ධියක ප්‍රතිඵලයක් නොව, මිනිස් වර්ගයා සඳහා ප්‍රේමනීය අරමුණක් ඇත්තා වූ දෙවියන් වහන්සේගේ මැවිල්ලක් බව එය පැහැදිලි කරයි. අප සඳහා දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක් ද එමෙන් ම, අප ජීවිතයේ සැබෑ තෘප්තිය ලබා ගන්නේ කෙසේ ද කියා එය පැහැදිලි කරයි.—එළි. 4:11; 1 තිමෝ. 2:3, 4; ගීතා. 16:11.
16 මිනිසාට දෙවියන් වහන්සේගෙන් වෙන් ව තමා යා යුතු මඟ සාර්ථක ලෙස නියම කර ගත නොහැකි බව මානව ඉතිහාසය ඔප්පු කරයි. ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම සපයන්නේ බයිබලය පමණ ය. දෙවියන් වහන්සේ අනුමත කරන්නේ කුමක් ද, හෙලා දකින්නේ කුමක් ද කියා පෙන්වා දෙමින් එය ඔහුට සදාචාරය පිළිබඳ ව උපදෙස් දෙයි. (ගලා. 5:19-23) සදාචාර සංවරය ඉවත දමා තිබෙන ලෝකයක එය ඉතා ප්‍රායෝගික උපකාරයක් බවට ප්රත්යක්ෂ ය. දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණය දැනගැනීමටත්, උන් වහන්සේ ව සතුටු කිරීමටත් එය අපට උපකාර කරයි. එමෙන් ම, දෙවියන් වහන්සේගේ නව ලෝකයේ සදාකාලික ජීවිතයට එය අපට මඟ පෙන්වයි.—යොහන් 17:3.
17 මේ අද්විතීය පොත අපේ ප්‍රධාන පාඩම් පොත විය යුතු බව පැහැදිලි නොවන්නේ ද? “ඔබගේ වචනය සත්‍යතාවය” යනුවෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් විසින් ඇමතුවා වූ තැනැන් වහන්සේ කරණ කොට ගෙන කර්තෘත්වය දරන ලද මෙම පොත සෝදිසි කිරීම පිළිබඳ ව, ක්‍රිස්තියානිහු සියල්ලකට වඩා, දැඩි සැලකිල්ලක් දක්වති. (යොහන් 17:17) ඒ නිසා බයිබලය දිව්‍යාණ්ඩු සේවා පාසල් පාඨ මාලාවේ මුල් තැන ගනී.