මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍යය
“ඔබ යෙහෝවඃවහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, තවද ඔබ දෙවියන්වහන්සේම පිළිබඳ වූ දැනුම අත් කරගන්නෙහිය.”—හිතෝපදේශ 2:5, NW.
1. මනුෂ්‍ය හෘදය දිව්‍ය නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ කෘතියක් බව පැවසිය හැක්කේ මන්ද?
මේ දැන් පොළොව මත මනුෂ්‍ය හෘද 5,60,00,00,000ක් පමණ ස්පන්දනය වෙමින් පවතී. සෑම දිනකම, 1,00,000 වාරයක් ස්පන්දනය වන ඔබේ හෘදය, ඔබේ ශරීරයේ කිලෝමීටර් 1,00,000ක් දිග හෘත්සනාල පද්ධතිය පුරා ලීටර් 7,600කට සමාන රුධිර ප්‍රමාණයක් පොම්ප කරයි. දිව්‍ය නිර්මාණ ශිල්පයේ මෙම ශ්‍රේෂ්ඨ කෘතිය තරම් වෙහෙස මහන්සිය නොබලා ක්‍රියා කරන වෙනත් කිසිදු පේශියක් නැත.
2. ඔබ උපමේය හෘදය විස්තර කරනු ඇත්තේ කෙසේද?
2 පොළොව මත ක්‍රියාත්මක වන උපමේය හෘද 5,60,00,00,000ක්ද තිබේ. උපමේය හෘදය තුළ අපේ චිත්තවේග, අපේ චේතනා, අපේ ආශා ගැබ්ව පවතී. එය වූ කලි අපේ චින්තනයේ, අපේ අවබෝධයේ, අපේ අධිෂ්ඨාන ශක්තියේ මධ්‍යස්ථානය වේ. උපමාලංකාර හෘදයට උඩඟුව නැතහොත් නිහතමානීව, දොම්නසින් නැතහොත් සොම්නසින්, අන්ධකාරව නැතහොත් ආලෝකවත්ව සිටිය හැක.—නෙහෙමියා 2:2; හිතෝපදේශ 16:5; මතෙව් 11:29; ක්‍රියා 14:17; 2 කොරින්ති 4:6; එපීස 1:15ආ-19.
3, 4. ශුභාරංචිය සමඟින් හෘද කරා ළඟා වනු ඇත්තේ කෙසේද?
3 යෙහෝවඃවහන්සේට මනුෂ්‍ය හෘදය කියවන්ට පුළුවන. හිතෝපදේශ 17:3හි මෙසේ පැවසේ: “රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් [හෘද, NW] සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.” කෙසේවෙතත්, නිකම්ම එක් එක් හෘදය කියවා විනිශ්චයක් තීන්දු කරනවා වෙනුවට, ශුභාරංචිය සමඟින් මනුෂ්‍ය හෘද කරා ළඟාවීමට, යෙහෝවඃවහන්සේ ස්වකීය සාක්ෂිකරුවන්ව උපයෝගි කරගන්නාසේක. මෙය ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන්වලට අනුකූල වේ: “ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසූවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.”—රෝම 10:13-15.
4 “යහපත්දේ ගැන ශුභ ආරංචිය” ප්‍රකාශ කිරීමට පොළොවේ කෙළවර දක්වා ස්වකීය සාක්ෂිකරුවන් එවීම ගැනත්, ප්‍රතිචාරය දක්වනසුලු හෘද ඇති අය සෙවීම ගැනත් යෙහෝවඃවහන්සේ සතුටු වී ඇත්තාහ. අපේ සංඛ්‍යාව දැන් 50,00,000ක් ඉක්මවා යයි—එය පොළොවේ සෑම පුද්ගලයන් 1,200දෙනෙකුට එක් සාක්ෂිකරුවෙකු බැගින් වේ. ශුභාරංචිය සමඟින් පොළොවේ ජීවත්වන බිලියන ගණන් කරා ළඟාවීම ලෙහෙසි පහසු යමක් නොවේ. එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මෙම කර්තව්‍යය මෙහෙයවන දෙවියන්වහන්සේ අවංක සිත් ඇති අය ඇදගන්නාසේක. මෙසේ, යෙසායා 60:22හි වාර්තාගත අනාගතවාක්‍යය සැබෑ බවට ඔප්පු වෙමින් පවතී: “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.”
5. දැනුම යනු කුමක්ද, තවද ලෝකයේ ප්‍රඥාව ගැන කුමක් කිව හැකිද?
5 ඒ කාලය දැන්ය, ඇරත් එක් දෙයක් පැහැදිලිය—පොළොවේ බිලියන ගණන් ජනයාට දැනුම අවශ්‍යය. මූලිකව ගත් කල, දැනුම වූ කලි, අද්දැකීමෙන්, නිරීක්ෂණයෙන් හෝ අධ්‍යයනයෙන් ලබාගත් කාරණා හොඳින් දැනහඳුනා ගැනීම වේ. ලෝකයා දැනුම් සම්භාරයක් ගොඩගසා තිබේ. ප්රවාහණය, සෞඛ්‍ය සාත්තුව හා සන්නිවේදනය වැනි ක්ෂේත්රවල ප්‍රගතියක් ලැබී තිබේ. එහෙත් ඇත්තෙන්ම මිනිස්වර්ගයාට අවශ්‍ය වන්නේ ලෞකික දැනුමද? අවශ්‍ය නැති තරම්ය! යුද්ධ කෝලාහල, හිරිහැර, රෝග හා මරණය දිගටම මිනිස්වර්ගයාහට මහත් හිසරදයක් වේ. කාන්තාරයේ කුණාටුවක එහා මෙහා විසිවෙන වැල්ලට ලෝකයේ ප්‍රඥාව බොහෝ අවස්ථාවලදී සමාන වී තිබේ.
6. රුධිරය සම්බන්ධයෙන් ගත් කල, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම ලෞකික ප්‍රඥාව හා සැසඳෙන්නේ කෙසේද?
6 මෙය නිදර්ශනය කිරීමට: දැනට සියවස් දෙකකට පමණ පෙර, ලේ ගැලීමට සැලැස්වීම රෝග සුව කරන බවට විශ්වාසයක් තිබූ නිසා, එසේ කිරීම සිරිතක්ව තිබිණ. එක්සත් ජනපදයේ පළමු ජනාධිපති වූ ජෝර්ජ් වොෂිංටන්, සිය ජීවිතයේ අන්තිම පැය කිහිපය තුළදී විටින් විට ලේ ගලා යෑමට සැලැස්වූයේය. යම්කිසි අවස්ථාවක හේ මෙසේ පැවසීය: “මට නිසොල්මනේ මැරෙන්ට ඉඩ දෙන්න; මට වැඩි කලක් ජීවත් වෙන්න බැහැ.” ඔහු එම දවසේදීම—එනම් 1799 දෙසැම්බර් 14වන දින—මියගිය හෙයින්, ඔහු කිවූ දෙය නිවැරදි විය. ලේ ගැලීමට සලස්වනවා වෙනුවට, අදදින මිනිස් සිරුර තුළට රුධිරය ප්‍රවේශනය කිරීම අවධාරණය කෙරේ. ක්‍රියා පිළිවෙත් දෙකම මාරාන්තික ගැටලුවලින් සමන්විතය. කෙසේවෙතත්, දේවවචනය අඛණ්ඩව මෙසේ පවසා ඇත: ‘ලෙයින් වැළකී සිටින්න.’ (ක්‍රියා 15:28, 29) දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම හැමවිටම හරිය, විශ්වසනීයය, කාලීනය.
7. දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් නිරවද්‍ය ශුද්ධ ලියවිලිමය දැනුම, ලෞකික ප්‍රඥාව හා සැසඳෙන්නේ කෙසේද?
7 අවිශ්වසනීය ලෞකික ප්‍රඥාව පිළිබඳ තවත් උදාහරණයක් සලකා බලන්න. දරුවන් ඇති දැඩි කිරීමට නිර්බාධ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පක්ෂව මනෝවිද්‍යාඥයන් වර්ෂ ගණනාවක් පුරා කතා කළත්, ඊට පක්ෂව කතා කළ අයෙකු පසුව කියා සිටියේ එය වැරදීමක් වූ බවය. “තරුණ තරුණියන් සමඟ අපට දැන් තිබෙන ගැටලුවලට” නිර්බාධ ප්‍රතිපත්තිය “අඩුම වශයෙන් වක්‍රාකාරව වගකිව යුතු” බව ජර්මානු වාග් විද්‍යා සංගමය වරක් පැවසීය. සුළඟින් ගසාගෙන යනවාට සමානව ලෞකික ප්‍රඥාව ඒ පැත්තට මේ පැත්තට වැනෙනවා විය හැකි මුත්, නිරවද්‍ය වූ ශුද්ධ ලියවිලිමය දැනුම නොසැලෙන තත්වයක පැවත ඇත. දරුවන් පුහුණු කිරීම පිළිබඳව බයිබලය සමබර උපදෙස් සපයා දෙයි. “නුඹේ පුත්‍රයාට දඬුවම්කරපන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය,” යි හිතෝපදේශ 29:17 පවසයි. එවන් හික්මවීමක් ප්‍රේමයෙන් යුතුව පිරිනැමිය යුතු වේ, මන්දයත් පාවුල් මෙසේ ලිවූ බැවිනි: “පියවරුනි, ඔබේ දරුවන්ව කෝපයට පත් නොකරන්න, නමුත් යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද, මානසික ශික්ෂණයෙන්ද ඔවුන්ව දිගටම ඇති දැඩි කරන්න.”—එපීස 6:4, NW.
“දෙවියන්වහන්සේම පිළිබඳ වූ දැනුම”
8, 9. මිනිස්වර්ගයාට සැබවින්ව අවශ්‍ය වන දැනුම පිළිබඳව හිතෝපදේශ 2:1-6 පවසන දේ ඔබ පහදා දෙනු ඇත්තේ කෙසේද?
8 පාවුල් දැන උගත් මනුෂ්‍යයෙක් වුවත්, ඔහු මෙසේ පැවසීය: “නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා. මක්නිසාද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය.” (1 කොරින්ති 3:18, 19) මිනිස්වර්ගයාට සැබවින්ම අවශ්‍ය වන දැනුම සැපයිය හැක්කේ දෙවියන්වහන්සේට පමණි. ඒ සම්බන්ධයෙන්, හිතෝපදේශ 2:1-6හි මෙසේ පැවසේ: “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.”
9 යහපත් හෘදවලින් පොලඹවනු ලබන අය, දෙවියන්වහන්සේ දානය කරන දැනුම නිසි ලෙස උපයෝගි කරගනිමින් ප්‍රඥාවට අවධානය යොමු කරති. විචාර බුද්ධියට තම හෘද නැඹුරු කරන ඔවුහු, තමුන් ඉගෙනගනිමින් සිටින කාරණා පරෙස්සමින් කිරා මැන බලති. ඇත්තවශයෙන්ම, ඔවුහු අවබෝධ කරගැනීමට නොහොත් යම් විෂයක අංග එකිනෙක හා සම්බන්ධ වන අන්දම දැකගැනීමට තිබෙන හැකියාවට හඬගසති. හරි ආකාරයකින් පොලඹවනු ලබන හෘද ඇත්තන් වැඩ කරන්නේ, තමුන් රිදී සඳහා කැනීම් කරමින්, සැඟවුණු නිධාන සොයන්නාක් මෙනි. එහෙත් ප්‍රතිචාරය දක්වනසුලු හෘද ඇත්තන් විසින් සොයාගනු ලබන විශිෂ්ට නිධානය කවරේද? එය වූ කලි, “දෙවියන්වහන්සේම පිළිබඳ වූ දැනුම” වේ. ඒ කුමක්ද? සරලව කියනවා නම්, එය දේවවචනය වන බයිබලය තුළ ගැබ්ව ඇති දැනුම වේ.
10. යහපත් ආත්මික සෞඛ්‍ය තත්වයක් භුක්තිවිඳීමට අප කුමක් කළ යුතුද?
10 දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම ස්ථිරසාරය, ස්ථාවරය, ජීවන-දායකය. එය ආත්මික සෞඛ්‍යසම්පන්නභාවය වඩවයි. පාවුල් තිමෝතිගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටපන්න.” (2 තිමෝති 1:13) භාෂාවකට වචනවල ආදෘශයක් තිබේ. ඒ හා සමානව, ශුද්ධ ලියවිලිමය සත්‍යතාවෙන් යුත් “නිර්මල භාෂාව” ප්‍රධාන වශයෙන් බයිබලයේ තේමාව වන රාජ්‍යය මගින් යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීම මත පදනම් වූ “සාරවූ වචනවල ආදෘශය[ක්]” සතුය. (ශෙපනියා 3:9, NW) සාර වූ වචනවල මෙම ආදෘශය මනසෙහි හා හෘදයෙහි තබාගැනීම අපට අවශ්‍යය. උපමේය හෘදයේ ආබාධවලින් වැළකී සිටීමටත්, ආත්මික වශයෙන් සෞඛ්‍යසම්පන්නව සිටීමටත් අපට අවශ්‍ය නම්, දෛනික ජීවිතය තුළ බයිබලය අදාළ කරගත යුතු අප, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් දෙවියන්වහන්සේ ලබා දෙන ආත්මික සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන නෙළාගත යුතුය. (මතෙව් 24:45-47; තීතස් 2:2) යහපත් ආත්මික සෞඛ්‍ය තත්වයක් සඳහා අපට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය බව සැමවිටම මතක තබාගනිමු.
11. මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය වීමට ඇතැම් හේතු කවරේද?
11 පොළොවේ බිලියන සංඛ්‍යාත ජනකායට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය වීමට වෙනත් හේතු සලකා බලන්න. පොළොව හා මිනිසා බිහිවූයේ කෙසේද කියා ඔවුහු සියල්ලෝම දනිද්ද? නැත, ඔවුහු නොදනිති. මුළු මිනිස්වර්ගයා සැබෑ දෙවියන්වහන්සේව හා ස්වකීය පුත්‍රයාණන්ව දැනහඳුනත්ද? දිව්‍යමය පරමාධිපත්‍යය හා මිනිස් අඛණ්ඩතාව පිළිබඳව සාතන් විසින් ඉස්මතු කරන ලද වාද විෂයන් ගැන සියලුදෙනාම අවබෝධයෙන් සිටිද්ද? නැවතත් උත්තරය නැත වේ. අප මහලු වී මියයන්නේ මන්දැයි කියා පොදු ජනයා දනිද්ද? නැවතත් අප නැත කියා පැවසිය යුතුය. දෙවියන්වහන්සේගේ රාජ්‍යය දැන් පාලනය කරන බවත්, අප අන්තිම දවස්වල ජීවත් වන බවත් පොළොවේ සියලු වැසියෝ තේරුම්ගෙන සිටිද්ද? දුෂ්ට ආත්ම බලවේග ගැන ඔවුහු අවබෝධයෙන් සිටිද්ද? සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්තිවිඳිය හැකි අන්දම පිළිබඳව සෑම මිනිසෙකුටම විශ්වසනීය දැනුම තිබේද? තවද කීකරු මිනිස්වර්ගයා සඳහා අපේ මැවුම්කරුගේ අරමුණ, පාරාදීසයක ප්‍රීතිදායක ජීවිතයක් බව මහජනයා දනිද්ද? මෙම ප්‍රශ්නවලටත් උත්තරය නැත කියා වේ. එසේනම්, මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය බව මොනවට පැහැදිලිය.
12. අපට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” දෙවියන්වහන්සේට නමස්කාර කළ හැක්කේ කෙසේද?
12 සිය භූමික ජීවිතයේ අන්තිම රාත්‍රියේ යාච්ඤා කරද්දී, යේසුස්වහන්සේ පැවසූ දෙය නිසාත් මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය වේ. “මින් සදාකාල ජීවනය අදහස් කෙරේ, එනම් එකම සැබෑ දෙවියන්වහන්සේ වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් ඔවුන් විසින් දැනුම ලබාගැනීමය,” යනුවෙන් යේසුස්වහන්සේ පවසනවා ඇසීමෙන් උන්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ සිත් තුළ ඉඳුරාම ඉමහත් පෙලඹීමක් ඇති වූවා විය යුතුය. (යොහන් 17:3, NW) දෙවියන්වහන්සේට ප්‍රසන්න වන ආකාරයකින් නමස්කාර කළ හැකි එකම අන්දම වනාහි, එවන් දැනුමක් අදාළ කරගැනීමය. “දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි” යේසුස්වහන්සේ වදාළසේක. (යොහන් 4:24) අප ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් පිරුණු හෘදවලින් පොලඹවනු ලබන විට, අපි දෙවියන්වහන්සේට “ආත්මයෙන්” නමස්කාර කරන්නෙමු. අප උන්වහන්සේට “සැබෑකමෙන්” නමස්කාර කරන්නේ කෙසේද? ස්වකීය වචනය අධ්‍යයනය කොට, ස්වකීය එළිදරව් කරන ලද වචනය වන “දෙවියන්වහන්සේම පිළිබඳ වූ දැනුම” අනුව උන්වහන්සේට නමස්කාර කිරීමෙනි.
13. ක්‍රියා 16:25-34හි වාර්තා කර තිබෙන්නේ කවර සිදුවීමද, තවද අපට ඉන් කුමක් උගත හැකිද?
13 වසරක් වසරක් පාසා යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට දහස් සංඛ්‍යාතයක් ආරම්භ කරති. එහෙත්, උනන්දුව දක්වන අය සමඟ දිගු කලක් පුරා බයිබල් පාඩම් පැවැත්විය යුතුද, එසේ නැතහොත් අවංක හෘද ඇති අයට බව්තීස්මයේ කඩ ඉම කරා වඩාත් ශීඝ්‍රයෙන් පිවිසිය හැකිද? හොඳයි, ක්‍රියා 16:25-34හි සඳහන් හිරගෙයි මුලාදෑනියා සහ ඔහුගේ ගෙවැසියන් පිළිබඳ සිද්ධියේදී සිදු වූ දේ සලකා බලන්න. පාවුල්ද සීලස්ද පිලිප්පියේ සිර කරනු ලැබ සිටියත්, මධ්‍යම රාත්රියේදී, මහත් භූමිකම්පාවක් හේතුකොටගෙන හිරගෙයි සියලු දොරවල් විවෘත විය. හිරකරුවන් සියලුදෙනාම පැනගොස් ඇතැයිද, තමාට බරපතළ දඬුවමක් ලැබේයයිද සිතමින් සිටි හිරගෙයි මුලාදෑනියා සිය දිවි නසාගැනීමට සූදානම් වෙද්දී, සියලුදෙනාම එහි සිටි බව පාවුල් ඔහුට පැවසීය. පාවුල්ද සීලස්ද “ඔහුගේ ගෙදර වැසි සියල්ලන් ඇතුළුව ඔහුට ස්වාමීන්වහන්සේගේ වචනය කියාදුන්නෝය.” එම හිරගෙයි මුලාදෑනියාද ඔහුගේ පවුලද වූ කලි, ශුද්ධ ලියවිලි සම්බන්ධයෙන් කිසිදු පසුබිමක් නැතුව සිටි අන්යජාතිකයෝ වූහ. එහෙත්, එම රාත්‍රියේදීම, ඔවුහු ඇදිහිලිවන්තයෝ බවට පත් වූහ. එපමණක්ද නොව, “ඔහුද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද එකෙණෙහිම බව්තීස්මකරනු ලැබුවෝය.” එය අසාමාන්‍ය තත්වයක් වුවද, නවකයන්ට මූලික සත්‍යතාවන් උගන්වනු ලැබීය, අනතුරුව ඔවුහු වෙනත් දේවල් සභා රැස්වීම්වලදී ඉගෙනගත්තෝය. ඒ හා සමාන යමක් අදදින සිදු කළ යුතුය.
ගොයම නම් බොහෝය!
14. වඩාත් කෙටි කාලපරිච්ඡේදයක් තුළදී, වැඩි ඵලදායීබවකින් යුත් බයිබල් පාඩම් වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?
14 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වඩාත් කෙටි කාලයක් තුළ ඵලදායී බයිබල් පාඩම් වැඩි සංඛ්‍යාවක් පැවැත්විය හැකි නම්, එය කදිම දෙයක් වනු ඇත. මේ සඳහා ඉමහත් අවශ්‍යතාවක් ඇත. උදාහරණයක් වශයෙන්, නැඟෙනහිර යුරෝපීය දේශවල, බයිබල් පාඩම් සඳහා ලැයිස්තුවකට ඇතුල් වී බලාසිටීමට ජනයාට සිදු වේ. වෙනත් ප්රදේශවලද තත්වය ඒ හා සමානය. ඩොමිනිකානු සමූහාණ්ඩුවේ එක් නගරයක, සාක්ෂිකරුවන් පස්දෙනෙකු වෙත කොතරම් ඉල්ලුම් ඉදිරිපත් කරනු ලැබුවාද කිවහොත්, බයිබල් පාඩම් සියල්ලම පැවැත්වීමට ඔවුන්ට බැරි විය. ඔවුන් කළේ කුමක්ද? උනන්දුව දැක්වූ අයට රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට පැමිණ, බයිබල් පාඩම් සඳහා ලැයිස්තුවකට ඇතුල් වී බලාසිටීමට ඔවුහු දිරිගැන්වූහ. පොළොව පුරා බොහෝ ස්ථානවල ඒ හා සමාන තත්වයක් පවතී.
15, 16. දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම වඩාත් ශීඝ්‍රයෙන් පතළ කිරීම සඳහා සපයා තිබෙන්නේ කුමක්ද, තවද ඒ පිළිබඳව ඇතැම් සාධක කවරේද?
15 අස්වැන්න නෙළීම සඳහා විශාල ක්ෂේත්රයන් වන පුළුල්ව පැතිර ගොස් ඇති බල ප්‍රදේශ දෙවියන්වහන්සේගේ ජනයා සඳහා විවෘත වෙමින් පවතී. “ගොයමේ ස්වාමියා” වන යෙහෝවඃවහන්සේ, තව තවත් වැඩකරුවන් එවමින් සිටියද, කිරීමට තවත් බොහෝ දේ තිබේ. (මතෙව් 9:37, 38) එමනිසා, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම වඩාත් ශීඝ්‍රව පතුරුවාලීම සඳහා, බයිබල් ශිෂ්‍යයන්ට සෑම පාඩමක් පාසා ආත්මික ප්‍රගතියක් ලබාගැනීමට ඉවහල් වන පරිදි, නිශ්චිත තොරතුරු සංක්ෂිප්තව ඉදිරිපත් කරන යමක් ‘විශ්වාස වූ දාසයා’ විසින් සපයනු ලැබ ඇත. එය වනාහි නිවාස බයිබල් පාඩම්වලදී සෑහෙන දුරට ඉක්මනින්ම—ඇතැම්විට මාස කිහිපයක් තුළදී—පියවිය හැකි නව ප්රකාශනයකි. තවද එය අපේ ලිපිගොනු මලුවල, අපේ අත් බෑග්වල හෝ අපේ සාක්කුවල පවා පහසුවෙන් රැගෙන යා හැකිය! සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන මැයින් යුත් පිටු 192කින් සමන්විත මෙම නව පොත ලබාගැනීමට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” දිස්ත්‍රික් සමුළුවල එක්රැස්වූ සිය දහස් සංඛ්‍යාත ජනකාය ප්‍රීතියෙන් ඉපිළ ගියෝය.
16 විවිධ දේශවල ලේඛකයන් තොරතුරු එක්රැස් කළ අතර, මේවා පරෙස්සමින් දැනුම පොත සඳහා අංග සම්පූර්ණ තත්වයකට ගෙනයන ලදි. එමනිසා එය ජාත්‍යන්තර සිත් ඇදගැනීමකට පාත්‍ර විය යුතුය. එහෙත් ලෝ වටා ජනයාගේ භාෂාවලින් මෙම නව ප්රකාශනය මුදාහැරීමට බොහෝ කල් ගත වේවිද? නැත, මන්දයත් වඩාත් විශාල පොත්වලට වඩා පිටු 192කින් සමන්විත පොතක් වඩාත් ඉක්මනින් පරිවර්තනය කළ හැකි බැවිනි. වර්ෂ 1995 ඔක්තෝබර් වන විට, පාලක මණ්ඩලයේ ලේඛන කමිටුව, මෙම පොත ඉංග්‍රීසි භාෂාවෙන් භාෂා 130කට වැඩි ප්‍රමාණයකින් පරිවර්තනය කිරීමට අවසර දී තිබිණ.
17. දැනුම පොත උපයෝගි කරගැනීම පහසු කරවීමට ඉවහල් විය යුතු සාධක කවරේද?
17 දැනුම පොතේ එක් එක් පරිච්ඡේදය තුළ ඇති නිශ්චිත තොරතුරු, ශිෂ්‍යයන්ට සෑහෙන දුරට ශීඝ්‍ර ආත්මික ප්‍රගතියක් ලැබීමට ඉවහල් විය යුතුය. පොතේ ශුද්ධ ලියවිලිමය සත්‍යතා, වර්ධනය ගෙන දෙනසුලු අන්දමකින් ඉදිරිපත් කෙරේ. එය බොරු ධර්ම ඉගැන්වීම් ගැන වැඩි විස්තරයක් සපයා නොදෙයි. බයිබල් පාඩම් පැවැත්වීමටත්, දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අත් කරගැනීමට ජනයාට උපකාර කිරීමටත්, භාෂාවේ පැහැදිලිකම හා තර්කානුකූලව කරුණු ගොඩනංවා තිබීම පහසු කළ යුතුය. උපුටා දක්වන ලද ශුද්ධ ලියවිලි පාඨවලට අමතරව, සාකච්ඡාවට සූදානමක් වශයෙන් ශිෂ්‍යයාට බලාගත හැකි, සඳහන් කරන ලද බයිබල් පාඨ ඇත. කාලය ඉඩ දෙන පරිදි මේවා පාඩම අතරතුර කියවිය හැකි නමුත්, මූලික කරුණු වසං කළ හැකි බාහිර තොරතුරු ඇතුළත් කිරීම නුවණට හුරු දෙයක් නොවනු ඇත. ඒ වෙනුවට, සෑම පරිච්ඡේදයක්ම ඒත්තුගැන්වීමට වෑයම් කරන දේ තේරුම්ගැනීමටත්, එය ශිෂ්‍යයාට ගෙනහැර දැක්වීමටත්, බයිබල් පාඩම් පවත්වන්නන් උත්සාහ කළ යුතුය. ගුරුවරයාගේ මනස තුළ මූලික අදහස් පැහැදිලිව තිබෙනු පිණිස, ඔහු උත්සාහවන්ත අධ්‍යයනයක යෙදිය යුතු බව මින් අදහස් කෙරේ.
18. දැනුම පොත භාවිත කිරීම සම්බන්ධයෙන් දී තිබෙන යෝජනා මොනවාද?
18 ගෝලයන් සෑදීමේ වැඩය වේගවත් කිරීමට, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතට හැක්කේ කෙසේද? පිටු 192කින් යුත් මෙම පොත සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් තුළදී පාඩම් කළ හැකි අතර, එය පාඩම් කිරීමෙන් යෙහෝවඃවහන්සේට කැපවී බව්තීස්ම වීමට ප්‍රමාණවත් තොරතුරු ඉගෙනගැනීමට “සදාකාල ජීවනයට නිසි ප්‍රවණතාවක් දක්වන” අයට පුළුවන් විය යුතුය. (ක්‍රියා 13:48, NW) එනිසා අපි දේවසේවය තුළ දැනුම පොත හොඳින් උපයෝගි කරගනිමු. බයිබල් ශිෂ්‍යයෙකු වෙනත් පොතක් සෑහෙන දුරට අධ්‍යයනය කර ඇත්නම්, එය අවසන් කිරීම ප්‍රායෝගික විය හැක. එසේ නැතහොත්, බයිබල් පාඩම් දැනුම පොතට වෙනස් කිරීමට යෝජනා කර තිබේ. මෙම නව ප්රකාශනය සම්පූර්ණ කිරීමෙන් පසු, එම ශිෂ්‍යයා සමඟ දෙවන පොතකින් පාඩමක් පැවැත්වීමට යෝජනා කර නැත. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණීමෙන්, බයිබලය හා විවිධ ක්‍රිස්තියානි ප්‍රකාශන පෞද්ගලිකව කියවීමෙන්, තම දැනුම පුළුල් කිරීමට සත්‍යය වැලඳගන්නා අයට හැකිය.—2 යොහන් 1, 2.
19. දැනුම පොත භාවිත කරමින් බයිබල් පාඩම් පැවැත්වීමට පෙර, අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම යන්නෙහි 175 සිට 218 පිටු පුනරීක්ෂණය කිරීම උපකාරවත් වනු ඇත්තේ මන්ද?
19 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් බව්තීස්ම වීමට ආශාව දක්වන, බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් සමඟ පුනරීක්ෂණය කරන ප්‍රශ්න සියල්ලට උත්තර දීම සඳහා, පුද්ගලයෙකුට උපකාර කිරීමේ පරමාර්ථයෙන්, දැනුම පොත ලියනු ලැබීය. එබැවින්, දැනට ඔබ පවත්වන බයිබල් පාඩම් මෙම නව ප්රකාශනයට මාරු කිරීමට කලින්, අපගේ දේව සේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීමa යන පොතෙහි 175 සිට 218 පිටුව දක්වා ඇති ප්‍රශ්න පුනරීක්ෂණය කිරීමට පැය කිහිපයක් ගත කිරීම නිර්දේශ කර තිබේ. දැනුම පොත භාවිත කරමින් බයිබල් පාඩම් පවත්වන විට, එවන් ප්‍රශ්නවලට උත්තර කාවැද්දීමට මෙය ඔබට උපකාරවත් වනු ඇත.
20. සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොත සමඟ ඔබ සැලසුම් කරන්නේ කුමක් කිරීමටද?
20 සෑම තැනකම වෙසෙන ජනයා ශුභාරංචිය ඇසිය යුතුය. එසේය, මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍යය, තවද එය පතළ කිරීමට යෙහෝවඃවහන්සේට ස්වකීය සාක්ෂිකරුවෝ සිටිත්. විශ්වාස වූ නුවණ ඇති දාසයා තුළින් අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් විසින් සපයන ලද නව පොතක් දැන් අප සතුය. සත්‍යය ඉගැන්වීමටත්, යෙහෝවඃවහන්සේගේ පරිශුද්ධ නාමයට ගෞරවය ගෙන දීමටත්, ඔබ එය උපයෝගි කරගන්නෙහිද? සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම බොහෝදෙනෙකුට ලබා දීම සඳහා ඔබ සෑම වෑයමක්ම දරන අතරතුර, යෙහෝවඃවහන්සේ ඔබට ආශීර්වාද කරනවා නොඅනුමානය.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
ඔබ කෙසේ උත්තර දෙන්නෙහිද?
◻ ඔබ උපමේය හෘදය විස්තර කරනු ඇත්තේ කෙසේද?
◻ දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම යනු කුමක්ද?
◻ දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම මිනිස්වර්ගයාට අවශ්‍ය වන්නේ මන්ද?
◻ දැන් ලබාගත හැකි වන්නේ කුමන නව ප්රකාශනයද, තවද එය භාවිත කිරීමට ඔබ සැලසුම් කරන්නේ කෙසේද?
[10වන පිටුවේ පින්තූරය]
පොළොවේ බිලියන සංඛ්‍යාත ජනයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍ය වීමට හේතු බොහොමයක් ඇත