යෙහෝවා දෙවිගේ සෙනඟ ‘අධර්මිෂ්ඨකමට පිටු පානවා’
“යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි.”—2 තිමෝ. 2:19.
1. දෙවිට කරන නමස්කාරයේදී වැදගත් තැනක් හිමි වෙන්නේ මොකටද?
සමහර ගොඩනැඟිලිවල, කෞතුකාගාරවල යෙහෝවා කියන දෙවිගේ නම දකින්න තියෙනවා. ඔබත් ඒ වගේ තැනකට ගිහින් තියෙනවද? එහෙමනම් දෙවිගේ නම දැකලා ඔබටත් ලොකු සතුටක් දැනෙන්න ඇති. මොකද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන අපිට දෙවිගේ නම හරිම විශේෂයි. වෙන කිසිම සෙනඟක් දෙවිගේ නම අපි තරම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නම දරන ඔහුගේ සාක්ෂිකරුවෙක් වෙන්න ලැබිලා තියෙන වරප්‍රසාදයත් අපි හුඟක් අගය කරනවා. ඒත් එක්කම අපිට ලොකු වගකීමකුත් පැවරිලා තියෙනවා. ඒ තමයි දෙවිගේ නමට ගෞරවයක් ගේන විදිහට වැඩ කරන එක.
2. දෙවිගේ නම දරන සෙනඟ විදිහට අපිට තියෙන වගකීම මොකක්ද?
2 දෙවිගේ අනුමැතිය දිනාගන්න නම් ‘නපුරට පිටු පාලා’ දෙවි දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන එක අපිට තියෙන වගකීමක්. (ගීතා. 34:14) ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි.” (2 තිමෝති 2:19 කියවන්න.) දෙවිට සේවය කරන අය විදිහට ‘අධර්මිෂ්ඨකමට පිටු පාන්න’ අපිට පුළුවන් කොහොමද?
වැරදි දේවලින් “අහක් වෙන්න”
3, 4. හුඟක් අයට තේරුම්ගන්න අමාරු මොන කාරණයද? ඒ ඇයි?
3 පාවුල් 2 තිමෝති 2:19 සඳහන් කරපු ‘දෙවි පිහිටුවා ඇති ස්ථිර අත්තිවාරම’ ගැන අපි කලින් ලිපියේ සාකච්ඡා කළා. ඒ අත්තිවාරමේ කාරණා දෙකක් ගැන සඳහන් වෙනවා කියලත් “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය” කියන පළවෙනි කාරණාව ගැනත් අපි කතා කළා. ඒත් දෙවෙනි කාරණාවෙන්, ඒ කියන්නේ “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි” කියන දේ හුඟදෙනෙකුට තේරුම්ගන්න අමාරුයි. ඒ ඇයි?
4 ඒකට හේතුව පළවෙනි කාරණාව පාවුල් උපුටා ගත්තේ ගණන් කතාව 16:5න් කියලා පැහැදිලි වුණත් දෙවෙනි කාරණාව කෙළින්ම හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දක්වලා තියෙනවා කියලා පැහැදිලිව දකින්න නැති නිසයි. එහෙමනම් “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි” කියන දෙයින් පාවුල් අදහස් කළේ මොකක්ද? පාවුල් ඒ දෙවෙනි කාරණාවේදී කතා කළෙත් කෝරා සහ ඔහු එක්ක හිටපු පිරිස ගැනමද?
5-7. 2 තිමෝති 2:19 සඳහන් දේ ලියද්දී පාවුල්ගේ මනසේ තිබුණේ මොන සිද්ධීන්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
5 දාතාන් සහ අබිරාම් කියන දෙන්නත් කෝරාත් එක්ක එකතු වෙලා කැරලිගහන්න නායකත්වය දුන්නා. (ගණන්. 16:1-5) ඔවුන් මෝසෙස්ට ගෞරව කළේ නැහැ. දෙවි මෝසෙස්ට දුන්න අධිකාරියත් ඔවුන් ප්‍රතික්ෂේප කළා. එහෙම කරකර ඔවුන් ජීවත් වුණේ ඊශ්‍රායෙල්වරුන් අතරෙමයි. ඒක සෙනඟට අනතුරක්. ඒ නිසා තමන්ගේ අනුමැතිය තියෙන්නේ කාටද කියලා පෙන්නන්න කලින් දෙවි යම් අණක් දුන්නා.
6 “යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. ‘“කෝරාගේ, දාතාන්ගේ හා අබිරාම්ගේ කූඩාරම් ළඟින් දැන්ම ඉවත් වන්න” කියා සෙනඟට කියන්න.’ මෝසෙස් එතැනින් නැඟිට ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් සමඟ දාතාන් හා අබිරාම් සිටි ස්ථානයට ගියේය. මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. ‘මේ දුෂ්ට මිනිසුන්ගේ කූඩාරම් ළඟින් අහක් වෙන්න. ඔවුන්ට අයිති කිසිම දෙයකට අත තබන්න එපා. නැත්නම් ඔවුන්ගේ පාපය නිසා ඔබත් විනාශ වෙයි.’ එය ඇසූ විගස සෙනඟ කෝරාගේ, දාතාන්ගේ හා අබිරාම්ගේ කූඩාරම් ළඟින් ඉවත්ව ගියෝය.” (ගණන්. 16:23-27) ඊටපස්සේ දෙවි හැම කැරලිකරුවෙක්වම විනාශ කෙරුවා. ඒත් දෙවිට විශ්වාසවන්තව හිටපු අය බේරුණා. ඔවුන් බේරුණේ කැරලිකරුවන්ගෙන් ඉවත් වෙලා ‘අධර්මිෂ්ඨකමට පිටු පානවා’ කියලා පෙන්නපු නිසයි.
7 2 තිමෝති 2:19 තියෙන “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය” කියන දේ පාවුල් උපුටා ගත්තේ ගණන් කතාව 16:5න් කියලා පැහැදිලියි. ඊටපස්සේ “යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි” කියලා කියද්දී ඔහුගේ මනසේ තිබුණේ ගණන් කතාව 16:23-27 ඇති සිද්ධිය වෙන්න පුළුවන්. එහෙමනම් පාවුල් කියපු කාරණා දෙකෙන්ම ඔහු අදහස් කළේ කෝරාගේ සිද්ධියයි. පාවුල් කියපු දෙයින් අපිට ඉගෙනගන්න වටිනා පාඩමක් තියෙනවා. ඒ තමයි දෙවිට පුළුවන් මිනිසුන්ගේ හිත්වල තියෙන දේවල් දකින්න කියන දේ. තමන්ට විශ්වාසවන්තව සේවය කරන්නේ කවුද කියන දේ ඔහු දන්නවා. ඒ වගේම ඔවුන් නපුරු අයගෙන් වෙන් වෙයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා.
“තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයව ප්‍රතික්ෂේප කරන්න”
8. දෙවිගේ නම පාවිච්චි කරමින් සභාවකට අයිති වෙලා ඉන්නවට අමතරව අපි කරන්න ඕනෙ මොනවද?
8 මෝසෙස්ගේ කාලේ සිද්ධ වුණු ඒ දේ ගැන කියලා පාවුල් තිමෝතිට යමක් මතක් කළා. ඒ තමයි දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්න තිමෝති ලොකු වෑයමක් දරන්න ඕනෙ කියන දේ. සභාවකට අයිති වෙලා ඉන්නවට වඩා වැඩි දෙයක් ක්‍රිස්තියානීන් කරන්න ඕනේ. මෝසෙස්ගේ කාලේ හිටපු විශ්වාසවන්ත සේවකයන් වගේම ඔවුනුත් දෙවිගේ නම පාවිච්චි කරනවට වඩා වැඩි දෙයක් කරන්න ඕන වුණා. දෙවිට විශ්වාසවන්තව ඉන්න හැම කෙනෙක්ම ‘අධර්මිෂ්ඨකමට පිටු පාන’ එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. පාවුල් කියපු දේ තිමෝතිට අදාළ වුණේ කොහොමද? අපිට ඒ වචනවලින් ඉගෙනගන්න පුළුවන් මොනවද?
9. ‘කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයගෙන්’ සභාවට ඇති වුණේ මොන වගේ බලපෑමක්ද?
9 දුෂ්ට දේවල් ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියලා පාවුල් තිමෝතිට ලියපු ලිපියේ සඳහන් කළා. උදාහරණෙකට ‘වචන ගැන වාද නොකරන්න’ කියලත් “හිස් කතාවලින් අහක් වී සිටින්න” කියලත් ඔහු කිව්වා. (2 තිමෝති 2:14, 16, 23 කියවන්න.) ඒ වෙනකොට සභාවේ හිටපු සමහරු අසත්‍ය ඉගැන්වීම් සභාවේ පතුරුවමින් හිටියා. තවත් අය වාදවිවාදවලට හේතු වෙන දේවල් ගැන කතා කළා. ඔවුන් කියපු සමහර දේවල් කෙළින්ම දේවවචනයට විරුද්ධ නැති වුණත් ඒ අදහස් නිසා සභාවේ තිබුණු සාමය නැති වෙන්න ඉඩ තිබුණා. ඒ නිසයි පාවුල් කිව්වේ “කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න අසන අයව ප්‍රතික්ෂේප කරන්න” කියලා.
10. බයිබලේ සඳහන් දේවලට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් අපි කරන්න ඕනෙ මොනවද?
10 සභාව තුළම ඉඳගෙන අසත්‍ය ඉගැන්වීම් පතුරුවන අය අද නම් නැති තරම්. ඒ වුණත් බයිබලේ සඳහන් ඉගැන්වීම්වලට විරුද්ධ, ඒවා ගැන සැකයක් ඇති කරන සමහර අදහස් අදටත් අපිට ඇහෙන්න පුළුවන්. ඒ අදහස් කොහෙන් ආවත් ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න අපි තුළ අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ වගේ වැරදි අදහස් පතුරුවන අයව හම්බ වෙලා හරි ඉන්ටර්නෙට් එකෙන් හරි වෙන ඕනම විදිහකින් හරි සාකච්ඡා කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. සමහරවිට අපිට ඕනෙ ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න වෙන්න ඇති. ඒත් දෙවි අපිට කියන්නේ ඒ වගේ අය එක්ක කතා කරන්න එපා කියලයි. ඒක දෙවිට අකීකරු වීමක්.
11. සභාවේ එකමුතුකමට බාධාවක් වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද? ආදර්ශයක් වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?
11 සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ අදහස්වලට අමතරව සභාවේ සාමයට බාධා වෙන තවත් දේවල් තියෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානීන්ට සුදුසු මොන වගේ විනෝදාංශද කියන එක ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. තමන්ගේ අදහස් අනිත් අයට පොවන්න ගියොත් වෙන්නේ “කිසි තේරුමක් නැති මෝඩ ප්‍රශ්න” ඇති වෙන එක විතරයි. ඒත් කෙනෙක් දෙවි දීල තියෙන සදාචාර ප්‍රතිපත්ති කඩ වෙන විදිහේ විනෝදාංශයක් සභාවේ අය අතරේ ප්‍රචලිත කරන්න හදනවා නම් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවලදී තේරුමක් නැති වාදවිවාද ඇති වෙයි කියලා හිතලා ඒ කාරණය සැහැල්ලුවට ගන්නවා වෙනුවට වැඩිමහල්ලන් ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා. (ගීතා. 11:5; එෆී. 5:3-5) ඒ වුණත් විනෝදයට කරන දේවල් ගැන තමන්ගේ පෞද්ගලික අදහස් අනිත් අයට බලෙන් පොවන්නේ නැතුව ඉන්න වැඩිමහල්ලන් පරෙස්සම් වෙනවා. ඒ වෙනුවට ඔවුන් බයිබලේ සඳහන් මේ උපදෙස පිළිපදිනවා. ‘ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. දෙවිට අයිති අය කෙරෙහි අනිසි ලෙස බලය නොපවත්වා, රැළට ආදර්ශයක් වෙමින් එසේ කරන්න.’—1 පේතෘ. 5:2, 3; 2 කොරින්ති 1:24 කියවන්න.
12, 13. (අ) තෝරගන්න ඕනෙ මොන වගේ විනෝදාංශද කියලා සාක්ෂිකරුවන් තීරණය කරන්නේ කොහොමද? ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවද? (ආ) 12වෙනි ඡේදයේ සඳහන් ප්‍රතිපත්ති ජීවිතේ අනිත් කාරණාවලදීත් අදාළ කරගන්න පුළුවන් කොහොමද?
12 අපි තෝරගන්න ඕනෙ මොන වගේ චිත්රපටිද වීඩියෝ ක්‍රීඩාද සිංදුද කියවන්න ඕනේ මොන වගේ පොත්ද කියලා සංවිධානයෙන් ලැයිස්තුවක් දීලා නැහැ. මොකද බයිබලේ කියන්නේ හැම කෙනෙක්ම තමන්ගේ හෘදය සාක්ෂිය ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරමින් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න’ පුළුවන් විදිහට පුහුණු කරගන්න ඕනෙ කියලයි. (හෙබ්‍රෙ. 5:14) විනෝදෙට කරන දේවල් ගැන ඥානවන්තව තීරණ ගන්න බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. අපි ගන්න ඒ තීරණ ‘ස්වාමීන්ට ප්රසන්නද කියලා නිතරම හොයලා බලලා ඒක අපිටම තහවුරු කරගන්න’ එක අත්‍යවශ්‍යයි. (එෆී. 5:10) ඒ වගේම පවුලේ මූලිකයාට දෙවි යම් අධිකාරියක් දීලා තියෙනවා. ඒ නිසා යම් විනෝදාංශයක් තමන්ගේ පවුලේ අයට සුදුසු නැහැ කියලා තීරණය කරන්න ඔහුට අයිතියක් තියෙනවා.a—1 කොරි. 11:3; එෆී. 6:1-4.
13 ඉහත සඳහන් බයිබල් ප්‍රතිපත්ති ජීවිතයේ වෙනත් කාරණාවලදීත් ඥානවන්ත තීරණ ගන්න උදව් වෙනවා. උදාහණයකට ඇඳුම් පැළඳුම්, ශරීර සෞඛ්‍යය, කෑම බීම ඇතුළු පුද්ගලික කාරණා ගැන විවිධ අයට විවිධ මත තියෙන්න පුළුවන්. සමහරු හදන්නේ තමන්ට තියෙන මතය අනිත් අයටත් බලෙන්ම පොවන්නයි. එතකොට වාදවිවාද ඇති වෙනවා. ඒත් ඒ කාරණාවලදී බයිබල් ප්‍රතිපත්තියක් කඩ වෙන්නේ නැත්නම් ඒ ගැන වාද කරන එක තේරුමක් නැහැ. බයිබලේ කියන්නේ මෙහෙමයි. “ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.”—2 තිමෝ. 2:24.
නරක ආශ්රයෙන් ඈත් වෙන්න
14. නරක ආශ්රයෙන් ඈත් වීම ගැන පාවුල් උදාහරණයකින් පැහැදිලි කළේ කොහොමද?
14 දෙවිගේ සේවකයන් වෙන අපිට ‘අධර්මිෂ්ඨකමට පිටු පාන්න’ පුළුවන් තවත් විදිහක් තමයි නරක ආශ්රයෙන් ඈත් වෙන එක. පාවුල් ඒ දේ උදාහරණයකින් විස්තර කරනවා. ‘දෙවි පිහිටුවා ඇති ස්ථිර අත්තිවාරම’ ගැන කිව්වට පස්සේ ඔහු “විශාල නිවසක්” ගැන සඳහන් කරනවා. ඒ නිවසේ “විවිධාකාර බඳුන්” තියෙනවා. ඒ අතරේ “රනින් හා රිදීයෙන් සෑදූ ඒවා පමණක් නොව ලී සහ මැටිවලින් සෑදූ ඒවාද තිබේ. සමහර බඳුන් භාවිත කරන්නේ ගෞරවනීය අරමුණක් උදෙසාය. තවත් ඒවා භාවිත කරන්නේ එතරම් ගෞරවනීය අරමුණක් උදෙසා නොවේ” කියලා පාවුල් කියනවා. (2 තිමෝ. 2:20, 21) ඔහු ඊළඟට ක්‍රිස්තියානීන්ට කියන්නේ “එතරම් ගෞරවනීය අරමුණක් උදෙසා” භාවිත නොකරන බඳුන් හා සමාන අයගෙන් ‘ඈත් වෙලා ඉන්න’ කියලයි.
15, 16. “විශාල නිවස” ගැන උදාහරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
15 පාවුල් කතා කරන ඒ “විශාල නිවස” සභාවට සමාන කරන්න පුළුවන්. ‘විවිධාකාර බඳුන්වලින්’ නියෝජනය කරන්නේ සභාවේ ඉන්න එක් එක් පුද්ගලයන්වයි. ගෙදරක තියෙන සමහර බඳුන් අපවිත්‍ර වුණොත් ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. උදාහරණයකට උයන්න පාවිච්චි කරන පිරිසිදු බඳුන් එක්ක අපිරිසිදු බඳුන් තිබ්බොත් ඒකෙන් හානියක් වෙනවා කියලා දන්න නිසා නිවසේ අයිතිකරු පිරිසිදු බඳුන් වෙන් කරලා තියනවා.
16 අද ඉන්න දෙවිගේ සෙනඟටත් ඒක අදාළයි. ජීවිතේ හැම පැත්තකින්ම පිරිසිදුව ඉන්න ඕනෙ නම් සභාවේ ඉන්න දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න අදිමදි කරන අයගෙන් අපි ඈත් වෙන්න ඕනේ. (1 කොරින්ති 15:33 කියවන්න.) සභාවෙම ඉන්න සමහර අයගේ නරක ආශ්රයෙන් අපි ඈත්වෙන්න ඕනෙ නම් සභාවෙන් පිටත ඉන්න අයගේ ආශ්රයෙන් අපි කොයි තරම් ඈත් වෙන්න ඕනෙද? මොකද සභාවෙන් පිට ඉන්න හුඟදෙනෙක් ‘මුදලට ලොල් වෙලා ඉන්න, දෙමාපියන්ට අකීකරු, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, නින්දා කරන, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් දක්වන්නේ නැති, අනුන්ව පාවා දෙන, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අයයි.’—2 තිමෝ. 3:1-5.
විශ්වාසවන්තව හිටියොත් දෙවි ආශීර්වාද කරයි
17. විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන් ‘අධර්මිෂ්ඨකමට පිටු පෑවේ’ කොහොමද?
17 “කෝරාගේ, දාතාන්ගේ හා අබිරාම්ගේ කූඩාරම් ළඟින් දැන්ම ඉවත් වන්න” කියලා යෙහෝවා දෙවි කිව්වම විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරු ‘එය ඇසූ විගස ඒ කූඩාරම් ළඟින් ඉවත්ව ගියා.’ (ගණන්. 16:24, 27) කැරලිකරුවන් ළඟින් ඉවත් වෙනවද නැද්ද කියලා හිතහිතා පරක්කු වෙවී හිටියේ නැහැ. ඉක්මනින්ම එතනින් ඉවත් වුණා. ඔවුන් මුළු හදවතින්ම දෙවිට කීකරු වෙන්න කැමැත්තෙන් හිටියා. තමන් දෙවිට සහයෝගය දක්වනවා කියලත් අධර්මිෂ්ඨ අයව ප්‍රතික්ෂේප කරනවා කියලත් ඔවුන් පැහැදිලිව පෙන්නුවා. ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
18. “යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න” කියලා තිමෝතිට කියපු දෙයින් පාවුල් අදහස් කළේ මොකක්ද?
18 දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය අපිට හුඟක් වටිනවා. ඒක ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් දේ අපි ඉක්මනින්ම කරන්න ඕනේ. “යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න” කියලා පාවුල් තිමෝතිට කිව්වේ ඒ නිසයි. (2 තිමෝ. 2:22) ඒ වෙනකොට තිමෝති හිටියේ වයස තිස් ගණන්වල වෙන්න ඇති. ඒත් වැඩිහිටියෙක් තුළ වුණත් “යොවුන් වියට ආවේණික වූ ආශාවන්” ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආශාවන් ඇති වෙද්දී ඒවා “පලවාහරින්න” තිමෝතිට සිද්ධ වුණා. ඒ වගේම දෙයක් යේසුත් කිව්වා. ඔහු කිව්වේ “ඔබේ ඇස නිසා ඔබ වරදක් කරන්න පෙලඹෙනවා නම් එයද උගුලා අහකට විසි කරන්න” කියලයි. (මතෙ. 18:9) දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය ආරක්ෂා කරගන්න කැමති අය ඒ අවවාදයට කීකරු වෙන්න ඉක්මනින්ම පියවර ගන්න ඕනේ.
19. යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ආරක්ෂා කරගන්න සමහරු කරලා තියෙන්නේ මොනවද?
19 සමහරුන් දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ආරක්ෂා කරගෙන තියෙන්නේ කොහොමද? කලින් මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු අය කොහොමටවත් මත්පැන් නොගන්න අධිෂ්ඨානයක් අරගෙන. විනෝදයට බලන සමහර දේවල් වැරදි නැති වුණත් ඒ දේවල්වලින් හැඟීම් ඇවිස්සෙන්න පුළුවන් නිසා ඒවා නොබලා ඉන්න තවත් සමහරු තීරණයක් අරගෙන. (ගීතා. 101:3) එක සහෝදරයෙක් සාක්ෂිකරුවෙක් වෙන්න කලින් නැටුම් ගැයුම් තිබුණු අනාචාරයට බර උත්සවවලට යන්න පුරුදු වෙලා හිටියා. ඒත් සත්‍යයට ආවට පස්සේ කොහොමටවත් අඩුම තරමේ සාක්ෂිකරුවන්ගේ උත්සවයකදීවත් නටන්නේ නැතුව ඉන්න අධිෂ්ඨානයක් අරගත්තා. ඔහු එහෙම කළේ වැරදි ආශාවන් ආයෙත් ඔහුගේ මනසට එනවට අකමැති වුණු නිසයි. ඒකෙන් අදහස් කරන්නේ හැම සාක්ෂිකරුවෙක්ම මත්පැන්, නැටුම් ගැයුම් වගේ සමහර දේවල් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෙ කියන එක නෙමෙයි. ඒත් ඒ එක දේකින් හරි දෙවි එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන අපි සෝදිසියෙන් ඉන්න ඕනේ.
20. ‘අධර්මිෂ්ඨකමට පිටු පාන’ එක ලේසි නැති වුණත් අපිට සහනයක් වෙන්නේ මොකක්ද?
20 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන නම අපිට ලැබිලා තියෙන එක වරප්‍රසාදයක්. ඒත් ඒ වරප්‍රසාදයත් එක්කම අපිට ලොකු වගකීමකුත් පැවරිලා තියෙනවා. අපි “අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි.” ඒ වගේම “නපුරට පිටු පා” ඉන්නත් අදිටන් කරගන්න ඕනේ. (ගීතා. 34:14) එහෙම කරන එක හැම වෙලේම ලේසි නැහැ. ඒත් යෙහෝවා දෙවිට කීකරු වෙන ‘ඔහුගේ අනුමැතිය තියෙන අයට’ ආදරේ කරනවා කියලා දැනගන්න ලැබුණු එක මොන තරම් සහනයක්ද!—2 තිමෝ. 2:19; 2 ලේකම් 16:9අ කියවන්න.
a “ඔයගොල්ලෝ සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු ඔයගොල්ලන්ගේ සාමාජිකයන්ට තහනම් කරනවද?” කියන ලිපිය www.jw.org/si වෙබ් අඩවියේ අපි ගැන > නිතර අසන ප්‍රශ්න යටතේ බලන්න.