යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තබන්න
“ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය.”—ගීතාවලිය 9:10.
1. අපේ නවීන කාලයේදී, යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දිගටම දැඩි විශ්වාසය ඇතුව අපට සිටිය හැක්කේ මන්ද?
දෙවියන්වහන්සේ හා ස්වකීය වචනය වන බයිබලය තුළ දැඩි විශ්වාසය තැබීමට වූ ඇරයුම, මෙම නවීන ලෝකයේ ප්‍රායෝගික නොවන යථාර්ථවාදී නොවන යමක් සේ දිස්විය හැක. එහෙත් දෙවියන්වහන්සේගේ ප්‍රඥාව කාලය නමැති පරීක්ෂණයෙන් සමත් වී ඇත. පුරුෂයා හා ස්ත්‍රියගේ මැවුම්කරු, විවාහයේ හා පවුල් ජීවිතයේ මූලාරම්භකයාණන් වන අතර, වෙන කිසිවෙකුට වඩා උන්වහන්සේ අපේ අවශ්‍යතා හොඳින් දන්නාසේක. මූලික මානව අවශ්‍යතා වෙනස් වී නැත්තාක් මෙන්ම, එම අවශ්‍යතා සපුරාලීමේ මූලික මාර්ගද එක සමානව පැවත ඇත. සියවස් ගණනාවකට පෙර ලියනු ලැබුවත්, ජීවත්වීම හා ගැටලු නිරාකරණය කිරීම ගත් කල, සාර්ථක ප්‍රතිඵල නෙළාගැනීමට බයිබලයේ ප්‍රඥාවන්ත උපදෙස් හොඳ මාර්ගෝපදේශ තවමත් සපයයි. අප ජීවත් වන නවීන, විද්‍යාත්මක ලෝකයේ පවා, එයට අවනත වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඉමහත් සන්තෝෂයක් අත් වේ!
2. (අ) දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවීමෙන් යෙහෝවඃවහන්සේගේ ජනයා තුළ කවර හොඳ ඵලදාවක් හටගෙන තිබේද? (ආ) යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනයට කීකරුවන්නන්හට උන්වහන්සේ තවදුරටත් පොරොන්දු වන්නේ කුමක්ද?
2 යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තැබීමෙහි හා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් දිනපතා ප්‍රායෝගික ප්‍රයෝජන අත් වේ. බයිබලයේ උපදෙස් අදාළ කිරීමට දැඩි විශ්වාසය හා නිර්භීතකම ඇතුව සිටි ලෝ වටා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිලියන ගණනකගේ ජීවිත තුළ මේ සම්බන්ධයෙන් සාක්ෂි දිස් වේ. මැවුම්කරු හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තැබීම ඔවුන් සඳහා ප්‍රයෝජනදායක යමක් වී තිබේ. (ගීතාවලිය 9:9, 10) දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරුවීම හේතුකොටගෙන, පිරිසිදුකම, අවංකකම, කඩිසරකම, ජීවිතයට හා අනුන්ගේ දේපොළට ගරු කිරීම සහ ආහාර පාන සම්බන්ධයෙන් පමණදැන කටයුතු කිරීම ගැන ඔවුහු වඩාත් හොඳ පුද්ගලයෝ වී ඇත්තාහ. එය පවුල් කවය තුළ නිසි ප්‍රේමයට හා පුහුණුවට මෙන්ම ආගන්තුක සත්කාරශීලී වීමට, දයාන්විත වීමට මෙන්ම සමාව දීමට කැමති ස්වභාවයක් දැක්වීමට හා වෙනත් දේවල් රැසකට මං උදා කර තිබේ. කෝපය, වෛරය, මිනීමැරීම, කුඩුකේඩුකම, භය, අලසකම, උඩඟුකම, බොරු කීම, අපහාස කිරීම, අනාචාරය හා දුරාචාරය මගින් නෙළනු ලබන අයහපත් ඵලදාවෙන් බොහෝදුරට වැළකී සිටීමට ඔවුන්ට හැකි වී තිබේ. (ගීතාවලිය 32:10) එහෙත් ස්වකීය නීති පිළිපදින අයට යහපත් ප්‍රතිඵලයක් ගැන පොරොන්දු වනවාට වඩා වැඩි යමක් දෙවියන්වහන්සේ කරනසේක. ක්‍රිස්තියානි මාර්ගය අනුගමනය කරන අය “දැන් මේ කාලයේදී . . . මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද” ලබනු ඇති බව යේසුස්වහන්සේ පැවසූසේක.—මාර්ක් 10:29, 30.
ලෞකික ප්‍රඥාව තුළ දැඩි විශ්වාසය තැබීමෙන් වළකින්න
3. යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තැබීමේදී, ඇතැම්විට ක්‍රිස්තියානීන්ට කුමන ගැටලුවට මුහුණ දීමට සිදු වේද?
3 දෙවියන්වහන්සේ අපේක්ෂා කරන දේ සුළු කොට තැකීමේ හෝ අමතක කර දැමීමේ ප්‍රවණතාව අසම්පූර්ණ මිනිසුන්ට තිබෙන ගැටලුවකි. ඔවුන් හැම දෙයක්ම දන්නා බවත්, එසේ නැතහොත් මේ ලෝකයේ බුද්ධිමතුන්ගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට වඩා උසස් බවත්, එය නූතන කාලයට වඩා ගැළපෙන බවත් කල්පනා කිරීමට ඔවුහු පහසුවෙන්ම නැඹුරු වෙති. දෙවියන්වහන්සේගේ සේවකයන් මේ ලෝකය මධ්‍යයෙහි ජීවත්ව සිටින බැවින්, ඔවුන්ටත් පහසුවෙන්ම මෙම ආකල්පය වර්ධනය කරගත හැක. මෙසේ, ස්වකීය උපදෙස්වලට සවන් දීම සඳහා ප්‍රේමනීය ආරාධනයක් ඉදිරිපත් කිරීමේදී, අපේ ස්වර්ගික පියාණෝ උචිත අවවාදද ඇතුළත් කරති: “මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරපන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත. නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගනින්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙයන්න.”—හිතෝපදේශ 3:1, 2, 5-7.
4. “මේ ලෝකයේ ප්‍රඥාව” කොතරම් පුළුල්ව පැතිර ගොස් තිබේද, තවද එය “දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකම[ක්]” වන්නේ මන්ද?
4 මේ ලෝකයේ ප්‍රඥාව බහුලව හා මූලාශ්‍ර බොහොමයකින් ලබාගත හැක. ඉගෙනුමේ ආයතන බොහොමයක් තිබෙන අතර, “බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත.” (දේශනාකාරයා 12:12) පරිගණක ලෝකයේ තොරතුරු ලැබීමේ සුපිරි මාර්ගය ආසන්න වශයෙන් ඕනෑම විෂයක් මත අසීමිත දත්ත සැපයීමට පොරොන්දු වෙයි. එහෙත් මේ දැනුම් සම්භාරය තිබුණත්, ඉන් ලෝකය වැඩි දක්ෂතාවක් ලබන්නේවත් එහි ගැටලු නිරාකරණය කරනු ලබන්නේවත් නැත. ඒ වෙනුවට, ලෝක තත්වය දිනෙන් දින දරුණු වෙමින් පවතී. “මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය,” කියා බයිබලය අපට පවසන්නේ හොඳ හේතු ඇතුවය.—1 කොරින්ති 3:19, 20.
5. “මේ ලෝකයේ ප්‍රඥාව” සම්බන්ධයෙන් බයිබලය දෙන අවවාද කවරේද?
5 අන්තිම දවස්වල මෙම අවසාන අදියරේ, බයිබලයෙහි සත්‍යවාදීකම සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය දුර්වල කිරීමට වෑයමක් වශයෙන් ප්‍රධාන මුළාකරන්නා වන සාතන් නමැති යක්ෂයා බොරු රැසක් ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කළ යුතුමය. බයිබලයේ සත්‍යතාව විවේචනයට භාජන කරන්නෝ, බයිබලයේ නිරවද්‍යතාව හා විශ්වසනීයභාවයට අභියෝග එල්ල කරන අනුමාන අදහස් ඉදිරිපත් කරන පොත් රැසක් පළ කොට ඇත්තාහ. පාවුල් සෙසු ක්‍රිස්තියානි භක්තිකයෙකුට මෙසේ අවවාද කළේය: “තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, නුඹට භාරදුන් දෙය ආරක්ෂාකරපන්න; සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය.” (1 තිමෝති 6:20, 21) බයිබලය තවදුරටත් මෙසේ අවවාද කරයි: “ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගනිල්ලා.”—කොලොස්සි 2:8.
සැක කිරීමේ ප්රවණතාවට එරෙහි වන්න
6. හෘදය තුළ සැක පහළවීමෙන් වැළකී සිටීම සඳහා අවදිව සිටීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
6 මනස තුළ සැකයේ බීජ වැපිරීම යක්ෂයාගේ තවත් කූට උපක්රමයකි. ඇදහිල්ලේ යම් දුර්වලකමක් දැක, ඉන් උපරිම වාසියක් අත් කරගැනීමට ඔහු හැමවිටම අවදියෙන් සිටියි. එවන් සැක පිටුපස සිටින්නේ ඒවට මෙසේ පැවසූ තැනැත්තා බව සැක කිරීම් අද්දකින ඕනෑම කෙනෙකු සිහියේ තබාගත යුතුය: “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාද”? වරදට පොලඹවන්නා ඇගේ මනස තුළ සැකයක් රෝපණය කළ විට, ඊළඟ පියවර වූයේ ඇයට බොරුවක් කීමය, මෙය ඈ විශ්වාස කළාය. (උත්පත්ති 3:1, 4, 5) ඒවගේ ඇදහිල්ලට සිදු වූවාක් මෙන්, අපේ ඇදහිල්ලත් සැකය මගින් විනාශයට ලක් කරගැනීමෙන් වැළකීම සඳහා, අප අවදියෙන් සිටිය යුතුය. යෙහෝවඃවහන්සේ, එමෙන්ම ස්වකීය වචනය හෝ සංවිධානය පිළිබඳව අල්පමාත්රයක සැකයක් හෝ ඔබේ හෘදයේ පැවතීමට පටන්ගෙන තිබෙනවා නම්, එය ඔබේ ඇදහිල්ල විනාශ කර දැමිය හැකි යමක් දක්වා ඔඩු දුවන්ට පෙර, එය ඉවත් කර දැමීමට වහාම පියවර ගන්න.—1 කොරින්ති 10:12, සසඳන්න.
7. සැක තුරන් කිරීමට කුමක් කළ හැකිද?
7 කළ හැක්කේ කුමක්ද? නැවතත්, මෙයට පිළිතුර නම්, යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තැබීමයි. “නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.” (යාකොබ් 1:5, 6; 2 පේතෘස් 3:17, 18) එනිසා යෙහෝවඃවහන්සේට උනන්දුවෙන් යාච්ඤා කිරීම පළමු පියවර වේ. (ගීතාවලිය 62:8) ඊළඟට, සභාවේ ප්‍රේමනීය අවේක්ෂකයන්ගෙන් උපකාර ඉල්ලීමට මැළි නොවන්න. (ක්‍රියා 20:28; යාකොබ් 5:14, 15; යූද් 23අ) ඔබේ සැකවල මූලාශ්‍රය නිශ්චය කරගැනීමට ඔවුන් ඔබට උපකාර කරනු ඇති අතර, එම සැක උඩඟුකම නැතහොත් යම් වැරදිසහගත කල්පනාවක් නිසා මතු වූවා විය හැක.
8. ඇදහිල්ල අත්හැරීමට මඟ පාදන කල්පනාව බොහෝදුරට ඇරඹෙන්නේ කෙසේද, තවද ඊට පිළියම කුමක්ද?
8 ඇදහිල්ල අත්හළ අයගේ අදහස් නැතහොත් ලෞකික දර්ශන කියවීම නැතහොත් ඒවාට සවන් දීම තුළින් විෂ සහිත සැක ඇති වී තිබේද? ප්‍රඥාවන්ත ලෙස බයිබලය මෙසේ උපදෙස් දෙයි: “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරපන්න. නුමුත් අපහාසිකවූ හිස් දෙඩවිලිවලින් අහක්ව සිටපන්න. ඔවුන් අභක්තියේ තව දුරට ගමන්කරනවා ඇත, ඔවුන්ගේ වචනයද පිළිකාවක් මෙන් කාවදිනවා ඇත.” (2 තිමෝති 2:15-17) ඇදහිල්ල අත්හැරයෑමට ගොදුරු වූ බොහෝදෙනෙකු, මුලින්ම වැරදි දිශාවට යොමු වූයේ, යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ තමුන්ට ලැබෙන සැලකිල්ල ගැන ඔවුන්ට හැඟුණු ආකාරය සම්බන්ධයෙන් පළමුකොට මැසිවිලි නැඟීමෙන් බව සිතට ගත යුතු කරුණකි. (යූද් 16) විශ්වාස කරන දේවල දෝෂ සෙවීම පැමිණියේ පසුවය. පිළිකාවක් කපා ඉවත් කරදැමීමට වහාම ක්‍රියා කරන ශල්‍ය වෛද්‍යවරයෙකු හා සමානව, මැසිවිලි නැඟීමට, එනම් ක්‍රිස්තියානි සභාව තුළ දේවල් සිදු කරනු ලබන ආකාරය ගැන නොසෑහීමට පත්වීමේ ඕනෑම ප්‍රවණතාවක් වහාම මනසින් මුලිනුපුටා දැමීමට ක්‍රියා කරන්න. (කොලොස්සි 3:13, 14) එවන් සැක පෝෂණය කරන ඕනෑම දෙයක් සහමුලින්ම ඉවතලන්න.—මාර්ක් 9:43.
9. ඇදහිල්ලේ සෞඛ්‍යසම්පන්නව සිටීමට හොඳ දිව්‍යාණ්ඩු පිළිවෙතක් අනුගමනය කිරීම අපට උපකාර කරනු ඇත්තේ කෙසේද?
9 යෙහෝවඃවහන්සේට හා ස්වකීය සංවිධානයට සමීපව ඇලුම්ව සිටින්න. “ස්වාමීනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය,” කියා අධිෂ්ඨානපූර්වකව ප්‍රකාශ කළ පේතෘස්ව පක්ෂපාතව අනුකරණය කරන්න. (යොහන් 6:52, 60, 66-68) “නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට” හැකි විශාල පලිහක් මෙන්, ඔබේ ඇදහිල්ල ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා යෙහෝවඃවහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට හොඳ කාලසටහනක් සකස් කරගන්න. (එපීස 6:16) අනුන් සමඟ රාජ්‍ය පණිවිඩය ප්‍රේමනීය ලෙස බෙදාගනිමින්, ක්‍රිස්තියානි දේවසේවයෙහි ක්‍රියාශීලීව යෙදී සිටින්න. යෙහෝවඃවහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන අන්දම ගැන දිනපතා අගය කිරීමකින් යුතුව මෙනෙහි කරන්න. සත්‍යය පිළිබඳ දැනුම ඔබට තිබීම ගැන ස්තුතිපූර්වක වන්න. හොඳ ක්‍රිස්තියානි පිළිවෙළකට අනුව මේ දේවල් සියල්ලම කිරීම, සන්තෝෂයෙන් සිටීමටත්, විඳදරාගැනීමටත්, සැකයෙන් නිදහස්ව සිටීමටත් ඔබට උපකාර කරනවා ඇත.—ගීතාවලිය 40:4; පිලිප්පි 3:15, 16; හෙබ්‍රෙව් 6:10-12.
විවාහය තුළ යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කිරීම
10. ක්‍රිස්තියානි විවාහයේදී මඟ පෙන්වීම සඳහා යෙහෝවඃවහන්සේ මත රඳා සිටීම විශේෂයෙන්ම වැදගත් වන්නේ මන්ද?
10 විවාහක යුවළක් සේ එකට ජීවත්වීමට පුරුෂයා සහ ස්ත්‍රියට විධිවිධාන යෙදීමෙන්, පොළොව අවහිරයකින් තොරව පිරවීමට පමණක් නොව, නමුත් ඔවුන්ගේ සන්තෝෂය වැඩි කිරීමටද යෙහෝවඃවහන්සේ අරමුණු කළසේක. කෙසේවෙතත්, පාපය හා අසම්පූර්ණකම හේතුකොටගෙන විවාහ සබඳතාවේ බැරෑරුම් ගැටලු ඉස්මතු විය. ක්‍රිස්තියානි භක්තිකයන්ද අසම්පූර්ණව නූතන කාලයේ ජීවිතයට අදාළ පීඩන අද්දකිමින් සිටින නිසා, ඔවුහුද මින් නිදහස්ව නොසිටිත්. කෙසේදයත්, ක්‍රිස්තියානීන් යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තබන තරමට, විවාහ ජීවිතය තුළ හා දරුවන් හදා වඩා ගැනීම තුළ ඔවුන්ට හොඳ සාර්ථකත්වයක් ලබාගත හැක. ක්‍රිස්තියානි විවාහ ජීවිතය තුළ ලෞකික ව්‍යවහාරයන් හා හැසිරීම සඳහා කිසිදු තැනක් නැත. දේවවචනය අපට මෙසේ අවවාද කරයි: “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.”—හෙබ්‍රෙව් 13:4.
11. විවාහක ගැටලු නිරාකරණය කිරීමේදී, කලත්‍රයන් දෙදෙනා කුමක් තේරුම්ගත යුතුද?
11 බයිබල් උපදෙස්වලට අනුකූලව හැඩගස්වනු ලබන විවාහ ජීවිතයට, ප්‍රේමය, බැඳීම හා සුරක්ෂිතභාවය සමන්විත වාතාවරණයක් තිබේ. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය තේරුම්ගෙන ඊට ගෞරවය දක්වති. දුෂ්කරතා ඉස්මතු වන විට, එසේ සිදු වන්නේ බොහෝදුරට බයිබලයේ උපදෙස් අදාළ කිරීමේදී යම් සැලකිල්ලක් නොදැක්වීම නිසාය. යම් කලක් තිස්සේ පවතින ගැටලුවක් නිරාකරණය කිරීමේදී, දක්නට ලැබෙන ලක්ෂණ සමඟ කටයුතු කරනවා වෙනුවට, සැබවින්ම ගැටලුව කුමක්ද කියා අවංකව අවබෝධ කරගෙන, ඊට හේතු වූ දේ සමඟ කටයුතු කිරීම කලත්‍රයන් දෙදෙනාටම ඉතා වැදගත්ය. මෑතක කරන ලද සාකච්ඡා සුළු එකඟතාවකට හෝ කිසිම එකඟත්වයකට හෝ මඟ පාදා නැත්නම්, ප්‍රේමනීය අවේක්ෂකයෙකු පැති නොගෙන ලබා දෙන උපකාර යුවළට පැතිය හැක.
12. (අ) බයිබලය උපදෙස් සපයන්නේ විවාහය තුළ තිබෙන කුමන පොදු ගැටලු හා සම්බන්ධවද? (ආ) කලත්‍රයන් දෙදෙනාටම දේවල් යෙහෝවඃවහන්සේගේ ක්‍රමයට කිරීම සඳහා අවශ්‍යතාවක් ඇත්තේ මන්ද?
12 ගැටලුව පවතින්නේ අදහස් හුවමාරු කිරීම, එකිනෙකාගේ හැඟීම්වලට ගරු කිරීම, මූලිකත්වයට ගෞරවය දැක්වීම නැතහොත් තීරණ ගත යුතු අන්දම හා සම්බන්ධවද? දරුවන් ඇති දැඩි කිරීම, ලිංගික අවශ්‍යතා සම්බන්ධයෙන් සමබර වීම මීට අදාළද? එසේ නැතහොත්, පවුලේ අයවැය, විනෝදාස්වාදය, භාර්යාව රැකියාවක් කළ යුතුද යන්න නැතහොත් ඔබ පදිංචි වන ස්ථානය ඊට සම්බන්ධව පවතීද? ගැටලුව කුමක්වෙතත්, නීති මගින් ඍජුව එසේ නැතහොත් ප්‍රතිපත්ති මගින් වක්‍රාකාරව බයිබලය ප්‍රායෝගික උපදෙස් පිරිනමයි. (මතෙව් 19:4, 5, 9; 1 කොරින්ති 7:1-40; එපීස 5:21-23, 28-33; 6:1-4; කොලොස්සි 3:18-21; තීතස් 2:4, 5; 1 පේතෘස් 3:1-7) ආත්මාර්ථකාමී ඉල්ලීම් කිරීමෙන් කලත්‍රයන් දෙදෙනා වැළකී සිට, සිය විවාහය තුළ ප්‍රේමය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ වීමට ඉඩ දෙන විට, වැඩි සන්තෝෂයක් අත් වේ. අවශ්‍ය වෙනස්කම් කිරීමටත්, දේවල් යෙහෝවඃවහන්සේගේ ක්‍රමයට කිරීමටත්, විවාහක කලත්‍රයන් දෙදෙනාම තුළ ඉමහත් ආශාවක් තිබිය යුතුය. “දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය.”—හිතෝපදේශ 16:20.
යෞවනයෙනි—දේවවචනයට සවන් දෙන්න
13. යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් ඇතුව වැඩීම ක්‍රිස්තියානි තරුණයන්ට පහසු දෙයක් නොවන්නේ මන්ද?
13 දුෂ්ට ලෝකයෙන් වට වී සිටින ක්‍රිස්තියානි යෞවනයන්ට ඇදහිල්ල තුළ ශක්තිමත්ව වැඩීම පහසු නැත. “මුළු ලෝකයා නපුරා” වන සාතන් නමැති යක්ෂයා “තුළ” පැවතීම එක් හේතුවකි. (1 යොහන් 5:19) නරක දේවලට යහපත් පෙනුමක් දිය හැකි මෙම කෲර සතුරාගේ ප්‍රහාරවලට යෞවනයෝ ලක් වෙති. මමත්වය පිළිබඳ ආකල්ප, ආත්මාර්ථකාමී අභිලාෂ, දුරාචාර මෙන්ම කෲර වූ දේවල් සඳහා තෘෂ්ණාව සහ විනෝදාස්වාදය පසුපස අස්වාභාවික ලෙස හඹා යෑම යන සියල්ල, “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය” හැටියට බයිබලයෙහි විස්තර කර තිබෙන පොදු බලපවත්වන චින්තන විලාසය තුළ ගැබ්ව තිබේ. (එපීස 2:1-3) පාසැල් පාඩම් පොත්වල, ලබාගත හැකි සංගීත වැඩි හරියක් තුළ, ක්‍රීඩාවල හා විනෝදාස්වාදයේ වෙනත් පාර්ශ්වවල සාතන් මෙම “ආත්මය[ට]” කූට ලෙස දිරි දී තිබේ. යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසයක් ඇතුව වැඩීමට සිය දරුවන්ට උපකාර කිරීම තුළින්, එවන් බලපෑම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා දෙමාපියන් අවදිව සිටිය යුතුය.
14. තරුණ තරුණියන්ට “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව” සිටිය හැක්කේ කෙසේද?
14 පාවුල් පියෙකුට සමානව සිය තරුණ ආශ්‍රිතයෙකු වූ තිමෝතිට මෙම උපදෙස් දුන්නේය: “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව පලයන්න.” (2 තිමෝති 2:22) “යෞවන වයසේ තෘෂ්ණා” සැමෙකක්ම නරක නොවුවත්, දේවභක්තික කටයුතුවල නියැලීම සඳහා සුළු කාලයක් ඉතිරි කරමින් නැතහොත් කාලයක් කිසිසේත් ඉතිරි නොකරමින්, මේ දේවල ඇලී ගැලී සිටීමට ඔවුන් ඉඩ නොහළ යුතු බව, යෞවනයන් ඉන් “දුරු” විය යුතුය යන්නෙන් අදහස් කරයි. කාය වර්ධනය, ක්‍රීඩා, සංගීතය, විනෝදාංශ හා ගමන් බිමන් යෑම අනිවාර්යයෙන්ම වැරදිසහගත දේවල් නොවුවත්, ඒවා ජීවිතයේ අතිවැදගත් දේවල් බවට පත් වන්නේ නම්, ඒවා මලපතක් බවට පත් විය හැක. අරමුණකින් තොර සංවාදවලින්, නිකරුණේ කාලය ගත කිරීමෙන්, ලිංගික කාරණා කෙරෙහි අසාමාන්‍ය උනන්දුවකින්, කාලය අපතේ හැරීමෙන්, නිරසභාවයෙන් සහ ඔබේ දෙමාපියන් ඔබව තේරුම්ගන්නේ නැතැයි කියා මැසිවිලි නැඟීමෙන් සම්පූර්ණයෙන්ම දුරුව සිටින්න.
15. නිවස වැනි පෞද්ගලික ස්ථානයක, දෙබිඩි ජීවිතයක් ගත කිරීමට යෞවනයන්හට හේතු පාදක විය හැකි කුමන දේවල් සිදු විය හැකිද?
15 නිවස වැනි පෞද්ගලික වාතාවරණයක පවා, යෞවනයන් සඳහා අන්තරායන් රැක සිටී. දුරාචාරයෙන් හෝ සාහසිකකමින් පිරුණු රූපවාහිනී හා වීඩියෝ වැඩසටහන් නරඹනු ලැබේ නම්, නරක දේවල් කිරීමට වූ තෘෂ්ණාව පැලපදියම් විය හැක. (යාකොබ් 1:14, 15) බයිබලය මෙසේ උපදෙස් දෙයි: “ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්.” (ගීතාවලිය 97:10; 115:11) යමෙක් දෙබිඩි ජීවිතයක් ගත කිරීමට තැත් කරන්නේ නම්, යෙහෝවඃවහන්සේ ඒ බව දන්නාසේක. (හිතෝපදේශ 15:3) ක්‍රිස්තියානි යෞවනයෙනි, ඔබේ කාමරය දෙස හොඳින් බලන්න. ක්‍රීඩා හා සංගීත ලෝකයේ දුරාචාර ප්රවීණයන්ගේ පෝස්ටර් ඔබ ප්‍රදර්ශනය කරන්නෙහිද, එසේ නැතහොත් හොඳ සිහිගැන්වීම් වන හිතකර දේවල් ඔබ ප්‍රදර්ශනය කරන්නෙහිද? (ගීතාවලිය 101:3) ඔබේ අල්මාරියෙහි, ඔබට තිබෙන්නේ විනීත ඇඳුම් පැළඳුම්ද, එසේ නැතහොත් මේ ලෝකයේ අන්තයට ගිය ඇඳුම් පැළඳුම්වල විලාසිතා ඔබේ ඇඳුම් පැළඳුම්වලින් පිළිබිඹු වේද? නරක දේ අත්හදා බැලීමට වූ පරීක්ෂාවට ඔබ ගොදුරු වන්නෙහි නම්, සූක්ෂ්ම ක්‍රම උපයෝගි කරගනිමින් යක්ෂයාට ඔබව හසු කරගත හැක. බයිබලයේ මෙම උපදෙස ප්‍රඥාවන්තය: “සිහි ඇතිව, අවදිව ඉඳිල්ලා. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘස් 5:8.
16. යෞවනයෙකු ගැන සැලකිලිමත් වන සෑම කෙනෙකුටම ඔහු ගැන ආඩම්බර වීමට ඉවහල් වන පරිදි, බයිබලයේ උපදෙස් එම යෞවනයාට උපකාරවත් විය හැක්කේ කෙසේද?
16 ඔබේ ආශ්‍රය ගැන පරෙස්සම් වීමට බයිබලය ඔබට කියයි. (1 කොරින්ති 15:33) ඔබේ ආශ්‍රිතයන් යෙහෝවඃවහන්සේට භය වන අය විය යුතුය. සම වයසේ අයගෙන් එල්ල වන පීඩනයට යටත් නොවන්න. (ගීතාවලිය 56:11; හිතෝපදේශ 29:25) ඔබේ දේවභයැති දෙමාපියන්ට කීකරු වන්න. (හිතෝපදේශ 6:20-22; එපීස 6:1-3) මඟ පෙන්වීම හා දිරිගැන්වීම සඳහා වැඩිමහල්ලන්ගේ පිහිට පතන්න. (යෙසායා 32:1, 2) ඔබේ මනස සහ ඇස් ආත්මික සාරධර්ම හා ඉලක්ක වෙත දිගටම යොමු කරන්න. ආත්මික දියුණුව ලබාගැනීමටත්, සභා ක්‍රියාකාරකම්වල සහභාගි වීමටත් ප්‍රස්තා සොයන්න. ඔබේ අත්වලින් දේවල් කිරීමට ඉගෙනගන්න. ඇදහිල්ල තුළ ශක්තිමත්ව හා සෞඛ්‍යසම්පන්නව වැඩෙන්න, එවිට ඔබ සැබවින්ම වටිනා කෙනෙකු—එසේය, යෙහෝවඃවහන්සේගේ නව ලොවෙහි ජීවනය ලැබීමට වටිනා කෙනෙකු බව ඔප්පු වනවා නිසැකය! අපේ ස්වර්ගික පියාණන් ඔබ ගැන ආඩම්බර වනවා ඇත, ඔබේ භූමික දෙමාපියන් ඔබ කෙරෙහි ඉමහත් සතුටක් ලබනවා ඇත, තවද ඔබේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ඔබෙන් දිරිගැන්වීමක් ලබනවා ඇත. සැබවින්ම වැදගත් වන්නේ මෙයයි!—හිතෝපදේශ 4:1, 2, 7, 8.
17. යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තබන අයට කුමන ප්‍රයෝජන අත් වේද?
17 කාව්‍යමය ස්වරූපයකින් මෙසේ ලිවීමට ගීතිකාකරු ආනුභාවය ලැබීය: යෙහෝවඃවහන්සේ “අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක. සේනාවල ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. (ගීතාවලිය 84:11, 12) එසේය, යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය වන බයිබලය තුළ දැඩි විශ්වාසය තබන සියලුදෙනාට අත් වන්නේ, බලාපොරොත්තු කඩවීම හා අසාර්ථකකම නොව, සන්තෝෂය හා සාර්ථකකමය.—2 තිමෝති 3:14, 16.
ඔබ කෙසේ උත්තර දෙන්නෙහිද?
◻ ක්‍රිස්තියානීන් “මේ ලෝකයේ ප්‍රඥාව” කෙරෙහි සිය විශ්වාසය නොතැබිය යුත්තේ මන්ද?
◻ යමෙකු තුළ සැක පහළ වේ නම්, කුමක් කළ යුතුද?
◻ යෙහෝවඃවහන්සේගේ ක්‍රමයට දේවල් කිරීම විවාහය තුළ සාර්ථකත්වය හා සන්තෝෂය අත් කර දෙන්නේ කෙසේද?
◻ “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව” සිටීමට බයිබලය යෞවනයන්හට උපකාර කරන්නේ කෙසේද?
[23වන පිටුවේ පින්තූරය]
“මේ ලෝකයේ ප්‍රඥාව” මෝඩකම හැටියට ප්‍රතික්ෂේප කරන ක්‍රිස්තියානීහු, යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය වෙත හැරෙති
[25වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ හා ස්වකීය වචනය තුළ දැඩි විශ්වාසය තබන පවුල්වලට හොඳ සාර්ථකත්වයක් හා සන්තෝෂයක් අත් වේ