යෞවනයෙනි—ඔබ ලුහුබඳිමින් සිටින්නේ කුමක් ද?
“යෞවන වියට ආවේණික වූ ආශාවන්ගෙන් පලා යන්න, නමුත් පවිත්‍ර හෘදයකින් යුතු ව ස්වාමීන් වහන්සේ ව අමතන අය සමඟ ධර්මිෂ්ඨකම, ඇදහිල්ල, ප්‍රේමය සමාදානය ලුහුබඳින්න.”—2 තිමෝති 2:22, NW.
1. අප අතර සිටින යෞවනයන්ට තිබෙන අපේ බලාපොරොත්තුව කුමක් ද?
ස්වීඩනයේ එක් පෙන්තකොස්ත පුවත් පතක් වන ඩාගන් (දවස) මෙසේ ප්‍රකාශ කළේ ය: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, සෑම වසරක ම නව සාමාජිකයන් විශාලතම සංඛ්‍යාවක් දිනාගන්නා වූ කණ්ඩායම වන අතර, විශාලතම යෞවන සංඛ්‍යාවක් සිටින්නේ ඔවුන්ට ය.” සමහර විට, ඔබ ද මෙම පිරිසිදු, දේව භයැති යෞවන සමූහයේ කොටසක් විය හැක. ඔබ ව ළදරු කල සිට ක්‍රිස්තියානි මාර්ගය තුළ හදා වඩා තිබෙනවා විය හැකි ය, නැතහොත් ඔබ රාජ්‍යය පණිවුඩය අසා එයට ඔබ විසින් ම ප්‍රතිචාර දක්වා තිබෙනවා විය හැකි ය. තත්ත්වය කුමක් වුවත්, ඔබ අප අතර සිටිනවා දැකීම අපට සතුටකි. තව ද, පළමු සියවසේ විසූ පක්ෂපාත ක්‍රිස්තියානි යෞවනයන් කළාක් මෙන්, ඔබ ධර්මිෂ්ඨකමේ ක්‍රියා මාර්ගයක් ලුහුබඳිනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. ප්‍රේරිත යොහන්ගේ වචනවලින් ඔබ ව හොඳින් විස්තර කෙරෙනවා වන්නට පුළුවන: “ඔබ ශක්තිමත් ය, දේව වචනය ඔබ තුළ පවතී, ඔබ දුෂ්ට තැනැත්තා ව ජය ගෙන ඇත.”—1 යොහන් 2:14, NW.
2. “යෞවනයේ මල් පූදින වියේ” දී ධර්මිෂ්ඨකමේ ක්‍රියා මාර්ගයක් ලුහුබැඳීම අසීරු කරවන සාධක මොනවා ද?
2 බොහෝ දෙනෙක්—එසේ ය, බහුතරයක්—ක්‍රිස්තියානි යෞවනයෝ අද දින ලෝකයේ පීඩනයන්ට එරෙහි ව නැගී සිටිති. එහෙත්, එවන් ක්‍රියා මාර්ගයක් පවත්වා ගෙන යාම පහසු දෙයක් නොවන බව ඔබට දැනෙනවා විය හැක. ඔබ “යෞවනයේ මල් පූදින වියේ” සිටින විට, නව සහ දැඩි චිත්ත වේගයන්ගෙන් ඔබ ව යටපත් වී යන බවක් හැඟෙන්නට පුළුවන. (1 කොරින්ති 7:36, NW) ඒ අතර ම, පාසලේ, නිවසේ සහ සභාවේ ඔබට පැවරී ඇති වගකීම්වල බර වැඩි වී ගෙන යන බවක් ද ඔබට හැඟෙනවා විය හැක. සාතන් වන යක්ෂයාගෙන් ම පැමිණෙන පීඩා ද තිබේ. තමාට හැකි තරමින් වැඩි දෙනෙකු ව මුළා කර ගැනීමට අදිටන් කර ගෙන සිටින ඔහු, ප්‍රහාර එල්ල කරන්නේ, වඩා පහසුවෙන් ගොදුරු කර ගත හැකි ලෙස පෙනෙන අයට ය—හරියට ඔහු ඒදන් උයනේ දී කළාක් මෙනි. අතීතයේ එවකට, ඔහු තමාගේ කපටි ඒත්තු ගැන්වීම යොමු කළේ, වැඩි වයසින් යුත් වඩාත් දැනුමෙන් යුත් ආදම් කෙරෙහි නොව, නමුත් වඩාත් තරුණ, මෙන් ම සාපේක්ෂ වශයෙන් අත්දැකීම්වලින් අඩු ස්ත්‍රිය වූ ඒව කෙරෙහි ය. (උත්පත්ති 3:1-5) සියවස් ගණනාවකට පසු, සාතන්, කොරින්තියේ දළුලමින් තිබූ ක්‍රිස්තියානි සභාව වෙත ඒ හා සමාන උපායන් භාවිතා කළේ ය. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසී ය: “සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම් විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් [මනස් NW] දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.”—2 කොරින්ති 11:3.
3, 4. යෞවනයන් ව මුළා කිරීමට සාතන් වන යක්ෂයා යොදා ගන්නා වූ සමහරක් මෙවලම් මොනවා ද, තව ද ඇති විය හැකි ප්‍රතිඵල මොනවා ද?
3 අද දින, ඔබගේ ක්‍රිස්තියානි දෙමාපියන් ඒ හා සමාන ව ඔබ ගැන සැලකිල්ලෙන් සිටිනවා විය හැක. ඔබ දුෂ්ටකමට නැඹුරු ව සිටිනවා කියා ඔවුන් සිතනවා නොවේ, නමුත් විශේෂයෙන් ම යෞවනයන් සාතන්ගේ “කපටි උපායන්වලට” පහසුවෙන් ගොදුරු වන සුලු බව ඔවුහු අත්දැකීමෙන් දනිති. (එපීස 6:11, NW පාද සටහන) සැක කටයුතු දේවල් ලෙස දිස් වෙනවා වෙනුවට, සාතන්ගේ මලපත් සෑදී ඇත්තේ සිත් ගන්නා සුලු, ආශා උපදවන සුලු අයුරින් ය. ද්‍රව්‍ය වාදය, සවිස්තර ව දන්වන ලිංගික ක්‍රියා, විචිත්‍ර ව දැක්වෙන ප්රචණ්ඩත්වය, සහ ආත්ම බන්ධන ක්‍රියා විනෝදාස්වාදය සේ රූපවාහිනියේ කදිමට පොදි ගසා තිබේ. යෞවනයන්ගේ මනස් ‘සැබෑ, ගරුකටයුතු, සැලකිය යුතු, ධර්මිෂ්ඨ, පිරිසිදු, සහ ප්‍රේමනීය’ නොවන දේවලින් පිරී යා හැක. (පිලිප්පි 4:8) තුල්‍ය පීඩනය ද සාතන්ගේ තවත් ප්‍රබල මෙවලමකි. තුල්‍යයන්, ඔබ ව ඔවුන්ගේ ජීවන රටාවට, ඇඳුම් පැළඳුම්වලට සහ හිසකෙස් පීරන විලාශයට එකඟ කරවා ගැනීමට දැඩි පීඩන ගෙන එන්නට පුළුවන. (1 පේතෘස් 4:3, 4) පුවත් පත් තීරු ලේඛක විලියම් බ්‍රවුන් නිරීක්ෂණය කළේ මෙසේ ය: “නහඹරයන් සඳහා යම් තනි ලෞකික දෙවි කෙනෙකු සිටී නම්, ඒ අනුකූලතාවයේ දෙවියන් ය. . . . නහඹරයන් අනෙක් අයට වඩා වෙනස් ව සිටීම, මරණයට වඩා දරුණු ඉරණමකි.” ඉතාලියේ එක් සාක්ෂිකාර ගැහැණු ළමයෙක් මෙසේ පැවසුවා ය: “මා සාක්ෂිකාරියක බව මගේ පාසලේ ළමුන් දැනගන්නවාට මම ලජ්ජාවෙන් සිටියා. යෙහෝවඃ වහන්සේ මා සමඟ සතුටු නොවී සිටින බව මා දැන සිටි නිසා, මා සිටියේ දුකෙන් කලකිරීමෙන්.”
4 වරද්දා නොගන්න—සාතන්ට වුවමනා වන්නේ ඔබ ව විනාශය කරා මෙහෙය වීමට ය. තමන් ව මුළා කරනු ලැබීමට තමන් විසින් ම ඉඩ හැරීමේ හේතුවෙන් මහත් පීඩාවේ දී ලෝකයේ සිටින බොහෝ යෞවනයන් තමන්ගේ ජීවිත අහිමි කර ගනු ඇත. (එසකියෙල් 9:6) බේරී ජීවත්වීමට තිබෙන එක ම මාර්ගය නම් හරි දෙය ලුහුබැඳීමයි.
නරක ආශ්‍රයට එරෙහි ව ආරක්ෂා වන්න
5, 6. (අ) යෞවන තිමෝති එපීසයේ ජීවත් ව සිටිය දී, මුහුණ දුන්නේ කුමන අභියෝගයන්ට ද? (ආ) තිමෝති සඳහා පාවුල්ට තිබුණේ කිනම් උපදෙස ද?
5 යෞවන තිමෝති හට ප්‍රේරිත පාවුල් දුන් අවවාදයේ සාරය එයයි. වසර දහයකට වැඩි කලක් මුළුල්ලේ, තිමෝති ප්‍රේරිත පාවුල් සමඟ ඔහුගේ මිෂනාරි චාරිකාවල යෙදී සිටියේ ය. මිථ්‍යාදෘෂ්ටික එපීස නගරයේ තිමෝති සිය දේව සේවය කරමින් සිටින කාලයේ දී, පාවුල් තම මරණය බලාපොරොත්තුවෙන් රෝමයේ සිර ගෙදරක සිටියේ ය. තමා මිය යන කාලය ළං වෙනවාත් සමඟ ම, තිමෝති කෙසේ කටයුතු කරනු ඇති ද යන්න ගැන පාවුල් සැලකිලිමත් වූ බවට කිසිදු සැකයක් නැත. එපීසය වනාහි, එහි ධනය, දුරාචාරය, සහ පිරිහුනු විනෝදාස්වාදය ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ නගරයක් වූ අතර, තිමෝතිට තම ස්නේහවන්ත ගුරුවරයාගේ අනුබලය තවදුරටත් ලැබෙන්නට යන්නේ නැත.
6 එමනිසා පාවුල් තමාගේ “ප්‍රේමවන්ත දරුවා” හට පහත සඳහන් දේ ලියා යැවී ය: “ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව, ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය [ගෞරවාන්විත අරමුණක් NW] පිණිසය, සමහරක් අගෞරවය [ගෞරවයෙන් හීන අරමුණක් NW] පිණිසය. එබැවින් යමෙක් මේවා [පසු සඳහන් කළ ඒවා NW] අත්ඇර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය [ගෞරවාන්විත අරමුණක් NW] පිණිසවූ භාජනයක් වන්නේය. යෞවන වයසේ තෘෂ්ණවලින් දුරුව, පිරිසිදු සිතින් [හෘදයකින් NW] ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමග ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව පලයන්න.”—2 තිමෝති 1:2; 2:20-22.
7. (අ) පාවුල් අනතුරු ඇඟ වූ ‘ගෞරවයෙන් හීන භාජන’ මොනවා ද? (ආ) අද දින යෞවනයන්ට පාවුල්ගේ වදන් අදාළ කර ගත හැක්කේ කෙසේ ද?
7 මෙසේ පාවුල් තිමෝතිට අනතුරු ඇඟවූයේ, සෙසු ක්‍රිස්තියානින් අතර පවා, ‘ගෞරවයෙන් හීන භාජන’—එනම් හරි ලෙස නොහැසිරෙන්නා වූ පුද්ගලයන්—සිටිය හැකි බව ය. දැන්, සමහරක් ආලේප ලත් ක්‍රිස්තියානින් සමඟ ආශ්‍රය කිරීම තිමෝති හට හානි කර දෙයක් වූවා නම්, ලෝකයේ අය සමඟ ආශ්‍රය කිරීම අද දින ක්‍රිස්තියානි යෞවනයෙකු හට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හානි කර දෙයක් වේවි ද! (1 කොරින්ති 15:33) මින් අදහස් කරන්නේ, ඔබගේ පාසලේ ළමුන් සමඟ සුහදතාවයකින් තොර ව සිටීමක් නොවේ. එහෙත්, ඔවුන් සමඟ ඕනෑවට වඩා ඇලී ගැලී නොසිටින්නට ඔබ වගබලා ගත යුතුයි. එසේ සිටීමෙන් ඇතැම් විට ඔබ තනිවී සිටින බවක් පෙනෙන්ට තිබුණත් ඔබ එලෙස ක්‍රියා කළ යුතු ය. මෙය ඉතා අසීරු දෙයක් වන්නට පුළුවන. එක් බ්‍රසීල ගැහැණු ළමයෙක් මෙසේ කියන්නී ය: “එය අමාරුයි. ක්‍රිස්තියානි යෞවනයන්ට නුසුදුසු සාදයන් සහ ස්ථානවලට යාමට එන්න කියා මගේ පාසලේ ළමුන් මා හට නිතර ම ආරාධනා කරනවා. ‘මොනවා! ඔයා යන්නේ නැහැ? ඔයාට පිස්සු!’ ඔවුන් කියන්නේ එහෙමයි.”
8, 9. (අ) ලෝකයේ සිටින හොඳ යයි පෙනෙන්ට සිටින අය සමඟ වුවත්, ආශ්‍රය කිරීම ක්‍රිස්තියානියෙකුට අනතුරු දායක විය හැක්කේ කෙසේ ද? (ආ) ඔබට යහපත් මිතුරන් සොයා ගත හැක්කේ කොහෙන් ද?
8 ලෝකයේ ඇතැම් යෞවනයන් දුම් පානය නොකරන නිසා, නරක භාෂාව භාවිතා නොකරන නිසා, හෝ දුරාචාරයේ නොයෙදන නිසා ඔවුන් හොඳ අය හැටියට පෙනෙන්නට පුළුවන. එනමුත්, ඔවුන් ධර්මිෂ්ඨකම ලුහුබඳින්නේ නැත්නම්, ඔවුන්ගේ මාංසික කල්පනාවන් සහ ආකල්පයන් පහසුවෙන් ඔබ හට බලපෑම් කළ හැක. ඇරත් ඔබට නොඇදහිලිකාරයන් සමඟ කොතරම් දුරට පොදුවේ කටයුතු කළ හැකි ද? (2 කොරින්ති 6:14-16) ඇරත්, ඔබ ආදරයෙන් තබා ගෙන සිටින ක්‍රිස්තියානි සාරධර්ම ඔවුන්ට “මෝඩකමකි”! (1 කොරින්ති 2:14) ඔබගේ ප්‍රතිපත්ති පාවා නොදී ඔබට ඔවුන් සමඟ මිත්‍රත්වයක් පවත්වා ගත හැකි ද?
9 එමනිසා, අහිතකර ආශ්‍රිතයන්ගෙන් වළකින්න. යෙහෝවඃ වහන්සේ හට සැබවින් ම ප්‍රේම කරන ආත්මික මනසකින් යුත් ක්‍රිස්තියානින්ට පමණක් ඔබගේ ආශ්‍රය සීමා කරන්න. සභාව තුළ සිටින නිෂේධාත්මක හෝ විවේචනාත්මක යෞවනයන්ගෙන් පවා ප්‍රවේසම් වන්න. ඔබ ආත්මික ව වැඩෙනවාත් සමඟ ම, ඔබ මිතුරන් තෝරා ගන්නා ආකාරයත් බොහෝ දුරට වෙනස් වනු ඇත. එක් නහඹර සාක්ෂිකාර ගැහැණු ළමයෙක් මෙසේ පවසන්නී ය: “මම විවිධ සභාවල අලුත් මිතුරන් ව ඇති කර ගනිමින් සිටිනවා. ලෝකයේ මිත්‍රයන් ඇති කිරීම කොතරම් අනවශ්යදැයි කියා ඒ මගින් මට වැටහී තිබෙනවා.”
වැරදි ආශාවන්ගෙන් පලා යාම
10, 11. (අ) “යෞවන වියට ආවේණික වූ ආශාවන්ගෙන් පලා යන්න” කීමෙන් කුමක් අදහස් කරයි ද? (ආ) යමෙකුට “වේශ්‍යාකම කෙරෙන් පලා දිව” යා හැක්කේ කෙසේ ද?
10 “යෞවන වියට ආවේණික වූ ආශාවන්ගෙන් පලා යන්න” කියා පාවුල් තිමෝතිගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. ඔබ යොවුන් වියේ පසු වන විට, ප්‍රසිද්ධ වීමට, විනෝද වීමට හෝ ලිංගික ආශාවන් තෘප්තිමත් කිරීමට තිබෙන කැමැත්ත ඉතා පොලඹන සුලු විය හැකි ය. ඒවා නිදැල්ලේ යාමට ඉඩ දුන්නොත් එවන් තෘෂ්ණාවන් ඔබ ව පාපයට මෙහෙය විය හැකියි. හානිදායක ආශාවන්ගෙන් පලා යන මෙන්—එනම් යමෙකුගේ ජීවිතය අවදානමක ඇතුවාක් සේ දුවන මෙන් පාවුල් පැවසුවේ එමනිසා ය.a
11 නිදසුනක් වශයෙන්, ලිංගික ආශාවන්, බොහෝ ක්‍රිස්තියානි යෞවනයන් ව ආත්මික විනාශය තුළට මෙහෙයවා තිබේ. එමනිසා, “වේශ්‍යාකම කෙරෙන් පලා දුවපල්ලා” යනුවෙන් බයිබලය අපට පවසන්නේ හොඳ හේතු ඇතුව ය. (1 කොරින්ති 6:18) යම් යුවළක් විවාහයට පෙර ඇසුරු කරනවා නම්, හුදෙකලා ඇසුරක යෙදී සිටිනවා නම්, දෙදෙනා පමණක් තනි ව ම කාමරයක හෝ නවතා ඇති වාහනයක් තුළට වී සිටීම වැනි දුර්පරීක්ෂාකාරී තත්ත්වයන්ගෙන් වැළකී සිටීමෙන් ඔවුන්ට මෙම ප්‍රතිපත්තිය අදාළ කර ගත හැකි ය. ආරක්ෂාව සඳහා තවත් කෙනෙකු අසල සිටීම යල් පැනගිය දෙයක් ලෙස ඔබට පෙනෙන්ට පුළුවන, නමුත් එය සැබෑ ආරක්ෂාවක් විය හැක. සමහරක් සෙනෙහසේ ප්‍රකාශ කිරීම් සුදුසු විය හැකි වුවත්, අපිරිසිදු හැසිරීමෙන් වැළකීම සඳහා සාධාරණ සීමාවන් තබා ගත යුතු ය. (1 තෙසලෝනික 4:7) වේශ්‍යාකම කෙරෙන් පලා දිවීම යන්නට, වැරදි ආශාවන් පුබුදුවාලිය හැකි සිනමා සහ රූපවාහිනි චිත්‍රපටි නැරඹීමෙන් වැළකී සිටීම ද ඇතුළත් වෙයි. (යාකොබ් 1:14, 15) ඔබගේ මනසට ඉබේම වාගේ දුරාචාර සිතිවිලි ඇතුල් වේ නම්, මනසේ විෂය මාරු කරන්න. ඇවිදීමට යන්න, යමක් කියවන්න, ගෙදර දොරේ යම් වැඩකටයුත්තක යෙදෙන්න. විශේෂයෙන් ම යාච්ඤාව මේ සම්බන්ධ ව ප්‍රබල ආධාරකයක් වෙයි.—ගීතාවලිය 62:8.b
12. නපුරු දේට වෛර කිරීමට ඔබ ඉගෙන ගන්නේ කෙසේ ද? නිදර්ශනය කරන්න.
12 මේ සියල්ලට ම වඩා, නරක දේට වෛර කිරීමටත්, පිළිකුල් කිරීමටත්, තුච්ඡ කිරීමටත් ඔබ ඉගෙන ගත යුතු ය. (ගීතාවලිය 97:10) පළමු ව විනෝදයක් හෝ වින්දනයක් ගෙන දුන්නා විය හැකි දෙයකට ඔබ වෛර කරන්නේ කෙසේ ද? ඵල විපාක ගැන සිතා බැලීමෙනි! “නොරැවටෙල්ලා; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපාගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය.” (ගලාති 6:7, 8) රාගයෙන් යටපත් වීමට පරීක්ෂා කරනු ලබන කල, මහත් ම විපාකය—එනම් මෙය යෙහෝවඃ වහන්සේගේ හෘදය කොතරම් රිදවයිද—කියා සිතා බලන්න. (ගීතාවලිය 78:41 සසඳන්න.) නුවුවමනා ගැබ්ගැනීමක් හෝ ඒඩ්ස් වැනි රෝගයක් වැළදීමේ හැකියාව ගැන ද කල්පනා කර බලන්න. ඔබ විඳිනු ඇති චිත්ත වේගීය විනාශය සහ ඔබගේ ආත්ම ගෞරවය අහිමි වීම ගැන සලකා බලන්න. දිගු කාලීන ඵල විපාක ද තිබෙන්නට පුළුවන. එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ එකඟ වන්නී ය: “මගේ ස්වාමිපුරුෂයා සහ මා එකිනෙකාව හමු වීමට පෙර, [අප වෙනත් අය සමඟ] ලිංගික සබඳතා පවත්වා තිබුණා. අද දින අප දෙදෙනා ම ක්‍රිස්තියානින් වුවත්, අපගේ අතීත ලිංගික ජීවිතය අපගේ විවාහය තුළ දබර සහ ඊර්ෂ්‍යාවේ උල්පතක් වී තිබෙනවා.” දිව්‍යාණ්ඩු වරප්‍රසාද අහිමි වීම හෝ ක්‍රිස්තියානි සභාවෙන් නෙරපා දමනු ලැබීමේ හැකියාව ගැන ද අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ! (1 කොරින්ති 5:9-13) මොහොතකට වූ කිසි යම් වින්දනයක් සඳහා එතරම් වටිනා දේවල් අහිමි කර ගැනීම වටී ද?
යෙහෝවඃ වහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවයක් ඇති ව සිටීමට වීර්යය කිරීම
13, 14. (අ) නරක දෙයින් පලා යාම පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි? (ආ) යමෙකුට “යෙහෝවඃ වහන්සේ ව දැනගැනීමට වීර්යය කළ” හැක්කේ කෙසේ ද?
13 කෙසේ වුවද, නරක දෙයින් පලා යාම පමණක් ප්‍රමාණවත් නැත. “ධර්මිෂ්ඨකම, ඇදහිල්ල, ප්‍රේමය, සමාදානය” ලුහුබඳින මෙන් තිමෝතිගෙන් උදක් ම ඉල්ලා සිටින ලදි. ප්‍රබල ශක්තිමත් ක්‍රියාවක් මින් යෝජනා කෙරේ. මීට සමාන ව, අනාගතවක්තෘ හොෂෙයා නොඇදහිලිකාර ඊශ්‍රායෙල් ජාතියෙන් මෙසේ ඉල්ලා සිටියේ ය: “ජනයෙනි එන්න, අපි යෙහෝවඃ වහන්සේ වෙතට හැරී යමු. . . . අපි යෙහෝවඃ වහන්සේ ව දැනගැනීමට වීර්යය කරමු.” (හොෂෙයා 6:1-3, NW) ඔබ විසින් එවැනි ම වෙර දැරීමක් කර තිබේ ද? නිකම් රැස්වීම්වලට පැමිණීම සහ ඔබගේ දෙමාපියන් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල්වීමට වඩා දෙයක් ඊට ඇතුළත් වෙයි. එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ කියා සිටියා ය: “මගේ දෙමාපියන් මා ව සත්‍යය තුළ ඇති දැඩි කළා, මා ළාබාල වයසක බව්තීස්මය ලැබුවා, මා රැස්වීමක් අතපසු කළේ කලාතුරකින්, කිසි විටෙකත් එක මාසයක් වත් ක්ෂේත්‍ර සේවය අතපසු කළේ නැහැ, නමුත් මා කිසි විටෙකත් යෙහෝවඃ වහන්සේ සමඟ කිට්ටු පුද්ගලික සම්බන්ධතාවයක් ගොඩනැංවූයේ නැහැ.”
14 යෙහෝවඃ වහන්සේ වනාහි අතාත්වික ආත්මයක් කියා සැලකූ තවත් යෞවනියක්, උන් වහන්සේ ව මිත්‍රයෙක් හා පියෙකු වශයෙන් දැනගැනීමට තමා ද අසමත් වූවා යයි පිළිගන්නී ය. ඈ දුරාචාරයට වැටුණු අතර, වයස අවුරුදු 18 දී විවාහ නොවූ මවක් බවට පත්වූවා ය. එම වරද ම කරන්න එපා! හොෂෙයා උදක් ම ඉල්ලා සිටියාක් මෙන්, “යෙහෝවඃ වහන්සේ ව දැනගැනීමට වීර්යය කරන්න.” යාච්ඤාව හා දින පතා යෙහෝවඃ වහන්සේ සමඟ ගමන් කිරීම මගින්, උන් වහන්සේ ව ඔබගේ විශ්වාසවන්ත මිතුරා කර ගැනීමට ඔබට හැක. (සසඳන්න මීකා 6:8; යෙරෙමියා 3:4.) අප උන් වහන්සේ ව සොයනවා නම්, “උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක.” (ක්‍රියා 17:27) මේ අනුව, පුද්ගලික බයිබල් පාඩම සඳහා නිති පතා කාල සටහනක් ඇතුව සිටීම අත්‍යවශ්‍ය දෙයකි. එවන් පුරුද්දක්, සවිස්තරාත්මක හෝ සංකීර්ණ එකක් වීම අවශ්‍ය නැත. “මා සෑම දවසක ම විනාඩි 15ක් පමණ බයිබලය කියවනවා” යයි මෙලඩි නම් වූ එක් යෞවන ගැහැණු ළමයෙක් පවසන්නී ය. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සෑම කලාපයක් ම කියවීමට කාලය වෙන් කර තබා ගන්න. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද [අන්‍යයන් ව] පොලඹවන පිණිස” සභා රැස්වීම් සඳහා සූදානම් ව පැමිණෙන්න.—හෙබ්‍රෙව් 10:24, 25.
දෙමාපියන්ට ඔබගේ හෘදය දෙන්න
15. (අ) යමෙකුට ඇතැම් අවස්ථාවල දී, තම දෙමාපියන්ට කීකරු වීමට අසීරු මන්ද? (ආ) කීකරු වීම සාමාන්‍යයෙන් යෞවනයෙකුට ප්‍රයෝජනයක් වන්නේ මන්ද?
15 දේව භයැති දෙමාපියන් සැබෑ උපකාරයේ සහ අනුබලයේ උල්පතක් විය හැකි ය. එහෙත් ඔබ විසින් කළ යුතු කොටස ගැනත් සැලකිල්ලට ගන්න: “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙයල්ලා. මක්නිසාද එසේ කරන්ට යුතුය [කිරීම ධර්මිෂ්ඨ ය NW]. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරපන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.” (එපීස 6:1-3) ඔබ වැඩිවියට පත් වෙමින් සිටින බවත්, පෙනෙන හැටියට, ඔබට වඩාත් නිදහසක් වුවමනා බවත් සැබෑවකි. ඔබගේ දෙමාපියන්ගේ සීමාවන් ගැන ඔබගේ අවබෝධය දැන් වැඩි වෙමින් තිබෙනවා විය හැකි ය. “අපගේ මිනිස් පියවරුන්ට කරන්නට හැකි වූයේ, වඩාත් හොඳ ම දේ යයි ඔවුන් සිතූ දේ පමණි” යනුවෙන් ප්‍රේරිත පාවුල් පිළිගත්තේ ය. (හෙබ්‍රෙව් 12:10, ද ජෙරූසලම් බයිබල්) ඒ කුමක් වුවත්, දිගු කාලීන ව ගත් කල, ඔවුන් හට කීකරු වීම ඔබට තවමත් ප්රයෝජනයකි. ඔබට ප්‍රේම කරන ඔබගේ දෙමාපියෝ, වෙන කිසිවෙකුටත් වඩා හොඳින් ඔබ ගැන දනිති. ඔබ ඔවුන් සමඟ සෑම විට ම එකඟ නොවන අතරේ දී, සාමාන්‍යයෙන් ඔබට යහපත සිදු වෙනවා දැකීම ඔවුන්ගේ එක ම පැතුමයි. “යෙහෝවඃ වහන්සේගේ හික්මවීමෙන් ද මානසික ශික්ෂණයෙන් ද” ඔබ ව ඇති දැඩි කිරීමට ඔවුන් දරන ප්රයත්නයට එරෙහි වන්නේ ඇයි? (එපීස 6:4, NW) ඇත්තෙන් ම, “තම පියාගේ හික්මවීමට අගෞරව කරන්නේ” මෝඩයෙක් පමණි. (හිතෝපදේශ 15:5, NW) ප්‍රඥාවන්ත යෞවනයෙක් තම දෙමාපියන්ගේ අධිකාරිත්වය පිළිගන්නා අතර, එයට නිසි ගෞරවය පෙන්වයි.—හිතෝපදේශ 1:8.
16. (අ) යෞවනයන් තම දෙමාපියන් වෙතින් ගැටලු වසං කිරීම අඥාන දෙයක් වන්නේ මන්ද? (ආ) තම දෙමාපියන් සමඟ අදහස් හුවමාරුව වැඩි දියුණු කිරීමට යෞවනයන්ට කුමක් කළ හැකි ද?
16 සත්‍යය සම්බන්ධ ව නිතර නිතර සැක ඇති වීම්, හෝ නුසුදුසු ලෙස හැසිරීමට පාත්‍ර වීම වැනි ගැටලු ඔබට තිබේ නම්, ඒවා ගැන දැනගැනීමට සලස්වමින් ඔබගේ දෙමාපියන් හට ඇත්ත කථා කිරීම ද මීට ඇතුළත් වනු ඇත. (එපීස 4:25) එවැනි කැළඹිලි සහිත තත්ත්වයන් දෙමාපියන්ගෙන් වසං කිරීම තවත් ගැටලු ඇති කරවයි. (ගීතාවලිය 26:4) ඇතැම් දෙමාපියන් කථා බහ කරන්නට දරන්නේ සුළු ප්රයත්නයක් බව පිළිගන්නට සිදු වෙයි. එක් යෞවන ගැහැණු ළමයෙක් මෙසේ පැමිණිලි කළා ය: “මගේ අම්මා කිසි විටෙකත් වාඩි වෙලා මා සමඟ කථා කරන්නේ නැහැ. ඈ මා ව විවේචනය කරයි කියා මා තුළ භයක් තිබෙන නිසා, මට හැඟෙන ආකාරය ගැන ඈට පැවසීමට මා තුළ ධෛර්යයක් නැහැ.” ඔබත් ඒ හා සමාන තත්ත්වයක සිටින්නේ නම්, ඔබට හැඟෙන ආකාරය ගැන ඔබගේ දෙමාපියන්ට දැනගැනීමට සැලැස්වීම සඳහා ඥානවන්ත ව නිසි වේලාව තෝරා ගන්න. “මාගේ පුත්‍රය, නුඹේ සිත [හෘදය NW] මට දියන්න” යනුවෙන් හිතෝපදේශ 23:26 උදක් ම ඉල්ලා සිටී. බැරෑරුම් ගැටලු උද්ගත වීමට පෙර, ඔබගේ කාරණා කටයුතු ගැන නිතර ම ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට යත්න දරන්න.
ධර්මිෂ්ඨකම ලුහුබඳිමින් සිටින්න!
17, 18. යෞවනයෙක් දිගට ම ධර්මිෂ්ඨකම ලුහුබැඳීමේ දී ඔහුට උපකාරවත් වනු ඇත්තේ කුමක් ද?
17 තම දෙවෙනි ලිපියේ නිමාවට ආසන්න ව, පාවුල් තිමෝතිට මෙසේ අනුශාසනා කළේ ය: “ඔබ ඉගෙන ගත් දේවල් සහ අදහා ගැනීමට ඒත්තු ගන්වන ලද දේවල් තුළ දිගට ම සිටින්න.” (2 තිමෝති 3:14, NW) ඔබත් එසේ කළ යුතු ය. ඔබ ව ධර්මිෂ්ඨකම ලුහුබැඳයාමෙන් ඉවතට ඩැහැ ගෙන යාමට කිසි කෙනෙකුට හෝ කිසි දෙයකට ඉඩ නොදෙන්න. සාතන්ගේ ලෝකය—එය කොතරම් චිත්තාකර්ෂණීය වුවද—දුෂ්ටකමින් ගහණ ව පවතී. ඉතා ඉක්මනින්, එය සහ එහි කොටසක් ව සිටින සියල්ලන් සමූලඝාතනයකට හසු වී යනවා ඇත. (ගීතාවලිය 92:7) සාතන්ගේ සමූහය සමඟ විනාශ නොවීමට අධිෂ්ඨාන කරගන්න.
18 එය මනසේ පෙරදැරි කර ගෙන, ඔබ ඔබගේ ඉලක්කයන්, ආශාවන්, සහ උනන්දු වන දේවල් ගැන නිරතුරු ව ම පරීක්ෂා කළ යුතු ය. ඔබගෙන් ම මෙසේ අසන්න, ‘මම මගේ දෙමාපියන් සහ සභා සාමාජිකයන් මා ව නොදකින අවස්ථාවල දී, මගේ කථාවේ දී හා හැසිරීමේ දී යෙහෝවඃ වහන්සේගේ උසස් ප්‍රමිති පවත්වා ගන්නවා ද? මා තෝරා ගන්නේ කුමන ආකාරයේ මිතුරන් ව ද? මගේ ඇඳුම් සහ හිස කෙස් පීරීම පාලනය කරන්නේ, ලෝකයේ සිටින තුල්‍යයන් ද? මම මා සඳහා ම තබා ගෙන තිබෙන්නේ කුමන ඉලක්කයන් ද? මගේ හෘදය මා තබා ගෙන තිබෙන්නේ, පූර්ණ කාලීන දේව සේවය මත ද නැතහොත් සාතන්ගේ මිය යමින් තිබෙන මෙම දේවල පිළිවෙළේ රැකියාවක් මත ද?’
19, 20. (අ) යෙහෝවඃ වහන්සේගේ අවශ්‍යතාවයන් තමාට බරක් ය යනුවෙන් යෞවනයෙකුට නොහැඟිය යුත්තේ මන්ද? (ආ) යෞවනයන්ට කුමන සැපයුම්වලින් ප්‍රයෝජන ගත හැකි ද?
19 සමහර විට, ඔබගේ කල්පනාවල යම් වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවයක් ඔබට පෙනී යයි. (2 කොරින්ති 13:11) ඔබ මත ඕනෑවට වඩා බර පැටවී ඇතැයි කියා නොසිතන්න. යෙහෝවඃ වහන්සේ ඔබගෙන් සාධාරණ ප්‍රමාණයට වඩා බලාපොරොත්තු නොවන බව මතක තබා ගන්න. අනාගතවක්තෘ මීකා මෙසේ ඇසී ය: “ධර්මිෂ්ඨකම් [යුක්තිය ඉෂ්ට NW] කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8) ඔබට උපකාර කිරීම සඳහා ඇති යෙහෝවඃ වහන්සේගේ සැපයුම්වලින් ඔබ ප්‍රයෝජන ගන්නවා නම්, මෙය ඔබට එතරම් අසීරු වන්නේ නැත. ඔබගේ දෙමාපියන්ට ළං ව සිටින්න. ක්‍රිස්තියානි සභාව සමඟ නිතර ම ඇසුරු කරන්න. විශේෂයෙන්, සභාවේ වැඩිමහල්ලන් ව දැන හඳුනා ගැනීමට වෑයමක් දරන්න. ඔබගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන ඔවුන්ට, අනුබලයේ සහ සහනයේ උල්පතක් විය හැක. (යෙසායා 32:2) සියල්ලට ම වඩා, යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ කිට්ටු, උණුසුම් සම්බන්ධතාවයක් ගොඩනඟන්න. හරි දේ ලුහුබැඳීම සඳහා අවශ්‍ය ශක්තිය හා කැමැත්ත උන් වහන්සේ ඔබට දෙනවා ඇත!
20 එහෙත්, සමහර යෞවනයෝ, අහිතකර සංගීතයට සවන් දීම මගින් ආත්මික ව වර්ධනය වීමට ඔවුන් විසින් ගන්නා ප්රයත්නයට හානි කර ගනිති. මීළඟ ලිපිය, මෙම විෂයට විශේෂ අවධානයක් යොමු කරනවා ඇත.
[පාදසටහන්වල]
a “පලා යන්න” සඳහා වූ ග්‍රීක් වදන, හෙරෝද්ගේ මිනීමරු උපායෙන් බේරීමට ‘මිසරයට පලා යන’ ලෙස මතෙව් 2:13 හි මරියා හා යෝසෙප් හට පවසන ලද විට ද භාවිතා වී තිබේ.—මතෙව් 10:23 සසඳන්න.
b ලිංගික ආශාවන් පාලනය කර ගැනීම පිළිබඳ උපකාරවත් වන යෝජනා ගණනාවක්, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්‍යු යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ක්වේස්චන්ස් යං පීපල් ආස්ක්—ආන්සර්ස් දැට් වර්ක් පොතේ 26 වෙනි පරිච්ඡේදයෙන් ඔබට සොයා ගත හැක (1992 ජූලි 8 පිබිදෙව්! පිටු 24-27 බලන්න).
ඔබට මතක ද?
◻ විශේෂයෙන් යෞවනයන් සාතන්ගේ “කපටි උපායන්වලට” පහසුවෙන් හසුවන්නේ මන්ද?
◻ ලෞකික යෞවනයන් සමඟ ළඟින් ඇසුරු කිරීම භයානක වන්නේ මන්ද?
◻ ඔබට ලිංගික දුරාචාරයෙන් පලා යා හැක්කේ කෙසේ ද?
◻ ඔබට යෙහෝවඃ වහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවයක් ඇතුව සිටීම සඳහා වීර්යය කළ හැක්කේ කෙසේ ද?
◻ ඔබගේ දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම වැදගත් වන්නේ මන්ද?
[16වන පිටුවේ පින්තූරය]
විවාහ වීමේ අරමුණින් ඇසුරු කරන යුවළයන් ඥානවන්ත ලෙස එකිනෙකා ව හඳුනා ගන්නේ, තමන් ව වෙනත් අය වෙතින් තනි නොකරන ජනයා ගැවසෙන ස්ථානවල ය