ජනකාන්තබව මිනිසාට ප්‍රශංසාවද නැතහොත් දෙවිට මහිමයද?
“පාලකයෙක් තම යටත්වැසියන්ට වඩා විශිෂ්ට විය යුත්තේ ඇත්තෙන්ම ඔවුන්ට වඩා හොඳ වීමෙන් විතරක් නොවෙයි, නමුත් ඔහු යම් ආකාරයකින් ඔවුන්ගේ සිත්ගන්නත් ඕනෙ” කියා ප්‍රසිද්ධ ග්‍රීක් ජෙනරාල් සෙනෆන් ලිව්වා. අදදින, හුඟදෙනෙක් එවැනි ‘සිත්ගැනීමක්’ හඳුන්වන්නේ ජනකාන්තබවක් කියායි.
ඇත්තෙන්ම, සියලු මිනිස් පාලකයන්ට ජනකාන්තබවක් නැහැ. නමුත් එය තිබෙන අය භක්තිය ඇති කරන්නත්, තමන්ගේම අභිප්රායන් ඉටු කරගැනීමට ජනයාව ප්‍රයෝජනයට ගන්නත් තමන්ගේ හැකියාව පාවිච්චි කරනවා. සමහරවිට මෑතක ඉතා නරකම ආදර්ශය ඇඩොල්ෆ් හිට්ලර් විය හැකියි. “[වර්ෂ 1933දී] හිට්ලර්ට හිටි—නැතහොත් ටික කලකින් සිටින්න යන—ජර්මානුවන්ගෙන් වැඩිහරියකට වැඩි කල් නොගොස් ඇත්තෙන්ම ජනකාන්ත නායකයෙකු පිළිබඳ හැඟීමක් තිබෙයි” කියා විලියම් එල්. ෂයරර්, ද රයිස් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද ත’ඩ් රයික් (තුන්වන රයික්හි නැඟීම හා වැටීම) යන තම පොතේ ලියයි. “හරියට ඔහුට දිව්‍යමය විනිශ්චයේ අයිතියක් තිබෙන්නාක් මෙන් ඊළඟ ප්‍රචණ්ඩකාරි අවුරුදු දොළහ පුරා අන්ධ ලෙස ඔහුව අනුගමනය කරන්න ඔවුන්ට සිද්ධ වී තිබුණා.”
ආගමික ඉතිහාසයත්, තමන්ට භක්තිය දැක්වීමට ජනයාව පෙලඹවූ නමුත් තම අනුගාමිකයන් මත විපත්ති ඇති කළ ජනකාන්ත නායකයන්ගෙන් පිරී තිබුණා. “කිසිවෙකු ඔබව මුළා නොකරන හැටියට බලාගන්න” කියා යේසු අවවාද කළා. “මක්නිසාද බොහෝදෙනෙකු මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් එයි; ඔවුන් බොහෝදෙනෙකුව මුළා කරයි.” (මතෙව් 24:4, 5, ෆිලිප්ස්) ජනකාන්ත බොරු ක්‍රිස්තුවරු පෙනී සිටියේ පළමු ශතවර්ෂයේ පමණක් නොවෙයි. තමා “ජනයාගේ දේවමාළිගාවේ මෙසියස්” බවට ජිම් ජෝන්ස් 1970 ගණන්වලදී ප්‍රකාශ කළා. “ජනයා කෙරෙහි අමුතු බලයක්” තිබෙන “ජනකාන්ත දේවගැති කෙනෙක්” වශයෙන් ඔහුව විස්තර කර තිබූ අතර, ඔහු 1978දී ඉතිහාසයේ විශාලතම සිය දිවි නසාගැනීම්වලින් එකකට පෙලඹෙව්වා.a
පැහැදිලිවම, ජනකාන්තබව අනතුරුදායක දීමනාවක්. කෙසේවුවත්, බයිබලය, සියල්ලන්ට ප්‍රයෝජනවත් වීම සඳහා සියලුදෙනාටම ලබාගත හැකි දෙවිගෙන් ලැබෙන වෙනස් ආකාරයේ දීමනාවක් නැතහොත් දීමනා ගැන කතා කරනවා. මේ දීමනාව සඳහා ග්‍රීක් වචනය කʹරි·ස්මා වන අතර, එය බයිබලයෙහි 17 වතාවක් දක්නට තිබෙනවා. එක් ග්‍රීක් විශාරදයෙක් එය නිර්වචනය කරන්නේ ‘දෙවිගේ ලබන්ට නොවටින කරුණාවෙන් ලැබෙන, එමෙන්ම මිනිසාගේම වෑයමෙන් කවදාවත් අත් කරගත හෝ සතු කරගත නොහැකි, උපයා නොගත් හා ලැබීමට නුසුදුසු නොමිලේ ලැබෙන, ලබන්ට නොවටිනා දීමනාවක්’ වශයෙන්.
එබැවින් ශුද්ධ ලියවිලිමය දෘෂ්ටිකෝණයෙන් බලන කල, කʹරි·ස්මා යනු දෙවිගේ ලබන්ට නොවටිනා කරුණාවට ස්තුතිවන්ත වෙන්න ලැබුණු දීමනාවක්. දෙවි අපට කරුණාවන්තව දී තිබෙන මෙම දීමනාවලින් සමහරක් මොනවාද? තවද ඔහුට ප්‍රශංසාව ගෙන දීමට ඒවා පාවිච්චි කරන්න අපට හැක්කේ කෙසේද? මේ කරුණාබරිත දීමනාවලින් තුනක් අපි සලකා බලමු.
සදාකාල ජීවනය
සියල්ලෙන්ම ශ්‍රේෂ්ඨතම දීමනාව නිසැකවම සදාකාල ජීවනයේ දීමනාවයි. පාවුල් රෝම සභාවට මෙසේ ලිව්වා: “පාපයේ කුලී නම් මරණයය; නුමුත් [දෙවිගේ] දීමනාව [කʹරි·ස්මා] නම්, අපගේ ස්වාමිවූ යේසුස් [ක්‍රිස්තුස්] තුළ සදාකාල ජීවනයය.” (රෝම 6:23) “කුලී” (මරණය) අකමැත්තෙන් වුවත්, අපේ පාපතර ස්වභාවය මගින් අපි උපයාගෙන තිබෙන යමක් බව සැලකීම වටිනවා. අනිත් අතට, දෙවි ලබා දෙන සදාකාල ජීවනය, අපේම යහපත් ක්‍රියාවලින් කවදාවත් උපයාගත නොහැකි අපට කොහෙත්ම ලැබීමට නුසුදුසු යමක්.
සදාකාල ජීවනයේ දීමනාව ආදරයෙන් රැකගත යුතුයි, එමෙන්ම හවුලේ බෙදාගත යුතුයි. යෙහෝවාව දැනගැනීමටත්, ඔහුට සේවය කිරීමට හා එමගින් සදාකාල ජීවනයේ දීමනාව හිමි කරගැනීමටත් ජනයාට උපකාර කරන්න අපට හැකියි. එළිදරව් 22:17 මෙසේ පවසයි: “[ආත්මයද] මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.”
මේ ජීවනදායක වතුර කරා අන්‍යයන්ව මඟ පෙන්වීමට අපට හැක්කේ කෙසේද? අපේ දේවසේවය සාර්ථක කරගැනීමට ප්‍රධාන වශයෙන් බයිබලය යොදාගැනීමෙන්. ලෝකයේ ඇතැම් කොටස්වල ආත්මික දේවල් කියවන්නේ හෝ ඒ ගැන සිතන්නේ කලාතුරකින් බව ඇත්තයි; කෙසේනමුත්, කෙනෙකුගේ ‘කන පිබිද වීමට’ හැමවිටම ප්‍රස්තා තිබෙනවා. (යෙසායා 50:4) මේ සම්බන්ධයෙන්, බයිබලයේ පොලඹවන බලය කෙරෙහි අපට නිසැක විය හැකියි; “මක්නිසාද [දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ ප්‍රායෝගික ප්‍රඥාව, එය ඉදිරිපත් කරන සැනසීම හා බලාපොරොත්තුව හෝ ජීවිතයේ අරමුණ පිළිබඳ එහි පැහැදිලි කිරීම වේවා, හදවත්වලට කතා කර ජීවනයට යන මාර්ගයේ ගමන් කිරීමට මිනිසුන්ට සලස්වන්න දෙවිගේ වචනයට හැකියි.—2 තිමෝති 3:16.
ඊට අමතරව, බයිබලය මත පදනම් පොත් පත්වලට හැකියි “එන්න” කියා පැවසීමට අපට උපකාර කරන්න. ආත්මික අන්ධකාරය පවතින මේ කාලය තුළදී, තම ජනයා මත ‘යෙහෝවා ආලෝකය විහිදුවයි’ කියා අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළා. (යෙසායා 60:2) වොච් ටවර් සමිතියේ ප්‍රකාශන යෙහෝවාගෙන් වූ මෙම ආශීර්වාද ප්‍රතිබිම්බනය කරන අතර සෑම වසරකම ඒවා ආත්මික ඥානාලෝකයේ ප්රභවය වන යෙහෝවා වෙතට මිනිසුන් දහස්ගණනකට මඟ පෙන්වනවා. ඔවුන්ගේ ප්‍රකාශන තුළ පුද්ගලයන්ට ප්රමුඛත්වයක් දී නැහැ. මුරටැඹෙහි හැඳින්වීමේ පැහැදිලි කරන ආකාරයට, “මුරටැඹ සඟරාවේ අරමුණ වන්නේ, විශ්වයේ පරමාධිපති ලෙස යෙහෝවා දෙවිව මහිමවත් කිරීමය. . . . තමන් වැගිරෙවූ රුධිරය හේතුකොටගෙන මනුෂ්‍යවර්ගයා උදෙසා සදාකාල ජීවනයේ මාර්ගය විවෘත කරන්නාවූද, දැන් පාලනය කරමින් සිටින රජුද වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබීමට එය දිරිගන්වයි.”
වර්ෂ කීපයක් පුරා තම දේවසේවයේදී සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ඇති පූර්ණ-කාලීන ක්‍රිස්තියානි දේවසේවිකාවක්, දෙවිට ළඟාවීමට ජනයාට උපකාර කිරීමේදී මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල වටිනාකම පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කරනවා: “මගේ බයිබල් ශිෂ්‍යයන් මුරටැඹ හා පිබිදෙව්! කියවා, ප්‍රීතියක් ලැබීමට පටන්ගන්නා විට, ඔවුන් ශීඝ්‍ර වර්ධනයක් ලබනවා. ජනයාට යෙහෝවාව දැනගැනීමට උපකාර කිරීමේදී සඟරා අමිල ආධාරයක් බව මට පේනවා.”
සේවා වරප්‍රසාද
විශේෂ අවධානයක් ලැබිය යුතු වූ තවත් දීමනාවක් ලද තැනැත්තෙක් ක්‍රිස්තියානි ගෝලයෙකු වූ තිමෝති. ප්‍රේරිත පාවුල් ඔහුට මෙසේ කිව්වා: “වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව [කʹරි·ස්මා] ව්‍යවහාර නොකර නොසිටින්න” (1 තිමෝති 4:14) මේ දීමනාව කුමක් වුණාද? එයට වගකීමෙන් යුතුව කටයුතු කිරීමට ඔහුට තිබූ සේවා වරප්‍රසාදයක් වන සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් තිමෝතිගේ පත්වීම ඇතුළත්ව තිබුණා. එම කොටසෙහිම, පාවුල් තිමෝතිට මෙසේ අවවාද කළා: “කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න. නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.”—1 තිමෝති 4:13, 16.
වැඩිමහල්ලන් අදදිනත් තම සේවා වරප්‍රසාද අගයෙන් යුතුව රැකගැනීම අවශ්‍ය වෙනවා. පාවුල් පෙන්වා දෙන පරිදි, ‘තම ඉගැන්වීම වෙත අවධානය යොමු කිරීම’ ඔවුන්ට මෙය කළ හැකි එක ක්‍රමයක්. ලෞකික ජනකාන්ත නායකයන්ව අනුගමනය කරනවා වෙනුවට, ඔවුන් තමන් වෙතට නොව දෙවි වෙතට අවධානය යොමු කරවනවා. ඔවුන්ගේ ආදර්ශකයා වන යේසුස්ට නිසැකවම ආකර්ෂණීය පෞද්ගලිකත්වයක් තිබූ නමුත් ඔහු නිහතමානීව තම පියාට ගෞරවය දුන්නා. “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ [තැනැත්තාගේය]” කියා ඔහු ප්‍රකාශ කළා.—යොහන් 5:41; 7:16.
තම ඉගැන්වීම සඳහා අධිකාරිත්වය වශයෙන් දේවවචනය යොදාගනිමින් යේසු තම ස්වර්ගික පියාව මහිමයට පත් කළා. (මතෙව් 19:4-6; 22:31, 32, 37-40) ඒ වගේම අවේක්ෂකයන් ‘තම ඉගැන්වීමේ කලාවට එකඟ වූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටීමේ’ අවශ්‍යතාව සම්බන්ධයෙන් පාවුල් අවධාරණය කළා. (තීතස් 1:9) ප්‍රතිඵලයක් වශයෙන්, තම කතාවල් ශුද්ධ ලියවිලි මත ස්ථිර වශයෙන් පදනම් කිරීම මගින් වැඩිමහල්ලන් යේසු කිවූ ආකාරයෙන් ක්‍රියා කරනවා: “මා නුඹලාට කියන වචන මමම උපදවා කථා නොකරමි.”—යොහන් 14:10.
‘විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්න’ වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද? තමන් යොදාගන්නා පාඨ පැහැදිලි කරමින් හා අවධාරණය කරමින් තම කතා මෙන්ම රැස්වීමේ පැවරුම් දේවවචනය වටා ගොඩනැඟීම මගින්. නාට්‍යාකාර නිදසුන් හෝ සිනහ උපදන කතන්දර, විශේෂයෙන්ම වුවමනාවට වඩා වැඩියෙන් යොදාගැනීමෙන්, සභාව දේවවචනයෙන් වෙනතකට යොමු කර, කථිකයාගේම හැකියාව වෙතට අවධානය ඇදගත හැකියි. අනිත් අතට, හෘදයට ළඟා වී, සභාව පොලඹවන්න යන්නේ බයිබලයේ පදයි. (ගීතාවලිය 19:7-9; 119:40; සසඳන්න ලූක් 24:32.) එවැනි කතා මිනිසුන්ට අඩු අවධානයක් දෙන අතර දෙවිට වැඩි ගෞරවයක් දෙනවා.
වැඩිමහල්ලන්ට වඩාත් බලපෑමෙන් යුතු ගුරුවරයන් විය හැකි තවත් මාර්ගයක් තමයි එකිනෙකාගෙන් ඉගෙනගැනීම. පාවුල් තිමෝතිට උපකාර කළා වගේ, එක වැඩිමහල්ලෙක්ට හැකියි තවත් කෙනෙක්ට උපකාර කරන්න. “යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.” (හිතෝපදේශ 27:17; පිලිප්පි 2:3) අදහස් සහ යෝජනා බෙදාගැනීමෙන් වැඩිමහල්ලන් ප්‍රයෝජන ලබනවා. මෑතකදී පත් වූ වැඩිමහල්ලෙක් මෙසේ පැහැදිලි කළා: “පළපුරුදු වැඩිමහල්ලෙක්, ඔහු ප්‍රසිද්ධ කථාවක් හැදුව විදිහ මට පෙන්වන්න කාලය මිඩංගු කළා. ඔහුගේ සූදානමේදී, ප්‍රශ්න විලාසයෙන් කරන ප්‍රකාශයන්, නිදර්ශන, උදාහරණ නැත්නම් කෙටි අද්දැකීම් වගේම ඔහු ඉතා ඕනෑකමින් පර්යේෂණය කළ ශුද්ධ ලියවිලිමය කොටස් ඇතුළත් කළා. නිරස, ඒකාකාරි කතාවක් දීමෙන් වැළකීමට මගේ කතාවල් විවිධත්වයකින් දෙන ආකාරය මම ඔහුගෙන් ඉගෙනගෙන තියෙනවා.”
සේවා වරප්‍රසාද භුක්ති විඳින අපි සියලුදෙනාම, වැඩිමහල්ලන්, උපස්ථායක සේවකයන් හෝ පුරෝගාමීන් වුවත්, අපේ දීමනාව ආදරයෙන් රැකගත යුතුයි. ‘ඔහු තුළ තිබුණ දෙවිගේ දීමනාව [කʹරි·ස්මා] ගින්දර මෙන් පුබුදු කරන හැටියට’ පාවුල් තම මරණයට කෙටි කලකට පෙර තිමෝතිට සිහිගැන්නුවා; තිමෝති සම්බන්ධයෙන් ගත්තහම ආත්මයේ යම් විශේෂ දීමනාවක් ඇතුළත්ව තිබුණා. (2 තිමෝති 1:6) ඉශ්රායෙල් නිවාසවල ගින්දර තිබුණේ බොහෝවිට ගිනි අඟුරු හැටියටයි. ගිනි දැල් සහ වැඩි උෂ්ණත්වයක් ඇති කිරීමට ‘ඒවා පුබුදු වන්න’ හැකිකම තිබුණා. මෙලෙස අපට දී තිබෙන ඕනෑම ආත්මික දීමනාවක් ගින්නක් මෙන් පිබිද වීම සඳහා, අපේ හෘදය හා ශක්තිය අපේ පැවරුම් තුළ රැඳවීමට අපව දිරිගන්වා තිබෙනවා.
බෙදාගත යුතු ආත්මික දීමනා
රෝමයෙහි සිටි තම සහෝදරයන් සඳහා පාවුල්ගේ ප්‍රේමය ඔහුව මෙසේ ලිවීමට පෙලඹෙව්වා: “නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් [කʹරි·ස්මා] දෙන පිණිස නුඹලා දක්නට ආශාවෙමි. මෙසේ කියන්නේ නුඹලාගෙත් මාගෙත් අන්‍යෝන්‍ය ඇදහිල්ල කරණකොටගෙන නුඹලා සමඟ මටත් සැනසිල්ල ලැබෙන පිණිසය.” (රෝම 1:11, 12) අප අන්‍යයන්ට කතා කිරීම මගින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඇති අපේ හැකියාව, ආත්මික දීමනාවක් හැටියට පාවුල් සැලකුවා. එවැනි ආත්මික දීමනා හුවමාරු කරගැනීම, ඇදහිල්ලට රුකුලක් හා අන්‍යොන්‍ය දිරිගැන්වීමක් සඳහා හේතු වෙයි.
තවද මෙය ඇත්තෙන්ම අවශ්‍ය කරන්නක්. අප ජීවත් වන මේ දුෂ්ට පිළිවෙළේ, එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අපි හැමෝම දැඩි පීඩනවලට මූණ දෙනවා. කෙසේවුවත්, අඛණ්ඩ උත්සාහයක යෙදෙන්න අපට උපකාර කරන්න නිරතුරුවම කරන අන්‍යොන්‍ය දිරිගැන්වීමකට හැකියි. දීම සහ ගැනීම යන අන්‍යොන්‍ය හුවමාරුවේ අදහස ආත්මික ශක්තිය පවත්වාගැනීමට වැදගත්. ඇත්තයි, කලින් කලට අප සියලුදෙනාටම ධෛර්යවත් කිරීමක් අවශ්‍යයි; එනමුත්, එකිනෙකාව ගොඩනංවන්නත් අපි සියලුදෙනාටම හැකියි.
අධෛර්යයට පත්ව සිටින සෙසු ඇදහිලිවන්තයන්ව දැකීමට අප අවදිව සිටිනවා නම්, ‘අපි දෙවිගෙන් යම් සැනසිල්ලක් ලබනවාද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන්ව සනසන්ට අපට පුළුවන්’ විය හැකියි. (2 කොරින්ති 1:3-5) සැනසීම (පා·රʹක්ලෙ·සිස්) සඳහා වූ ග්‍රීක් වචනයෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ “තමාගේ පැත්තට කැඳවාගැනීම” යන්නයි. අපේ සහෝදරයාට හෝ සහෝදරියට අවශ්‍ය වෙලාවට අත දීමට අපි ළඟ සිටිනවා නම්, අවශ්‍යතාව ඇතුව සිටින විට අපද නිසැකවම එම ප්‍රේමයම ලබනු ඇත.—දේශනාකාරයා 4:9, 10; සසඳන්න ක්‍රියා 9:36-41.
එමෙන්ම වැඩිමහල්ලන්ගේ ප්‍රේමනීය එඬේර බැහැදැකීම් ඉමහත් ප්‍රයෝජනයක් වී තිබෙනවා. අවධානය දිය යුතු කාරණයක් සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිමය අවවාද දීමට බැහැදැකීම් කරන අවස්ථා තිබෙන නමුත්, එඬේර බැහැදැකීම්වලින් වැඩිහරියක් දිරිගැන්වීම, ‘සිත් සනසනු ලැබීම’ සඳහා අවස්ථාවන් වෙනවා. (කොලොස්සි 2:2) අවේක්ෂකයන් ඇදහිල්ල ශක්තිමත් කරන එවැනි බැහැදැකීම් කරන විට, ඔවුන් ඇත්තෙන්ම ආත්මික දීමනාවක් බෙදා දෙනවා. පාවුල් මෙන්, මෙම අද්විතීය ආකාරයේ දීමනාව විපාකදායක එකක් බව ඔවුන් දැනගන්න යන අතර, තම සහෝදරයන් සඳහා ඔවුන් ‘ආශාවක්’ වර්ධනය කරගනියි.—රෝම 1:11.
ස්පාඤ්ඤයේ වැඩිමහල්ලෙක් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් වුණා; ඔහු මතු දැක්වෙන අද්දැකීම විස්තර කරනවා: “එකොළොස් හැවිරිදි රිකාඩෝ, රැස්වීම්වලදී හා සාමාන්‍යයෙන් සභාවේදී ඉතා සුළු උනන්දුවක් දක්වන බව පෙනෙන්න තිබුණා. ඒ නිසා මම රිකාඩෝගේ දෙමාපියන්ගෙන් ඇහැව්වා මට ඔහුව හම්බ වෙන්න එන්න පුළුවන්ද කියලා; ඒගොල්ලෝ හුඟක් කැමති වුණා. ඔවුන් ජීවත් වුණේ මගේ ගෙදර ඉඳලා වාහනයකින් පැයකින් විතර යන්න පුළුවන් කඳුකර ප්‍රදේශයකයි. මම ඔහු කෙරෙහි දැක්වූ උනන්දුව ගැන රිකාඩෝ සතුටු වුණ බව පැහැදිලි වුණ අතර, ඒ වෙලාවෙම ඔහු ප්‍රතිචාරය දැක්වුවා. වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් හා සභාවේ කඩිසර සාමාජිකයෙක් බවට පත් වුණා. ඔහුගේ ලජ්ජාශීලී ස්වභාවය වෙනුවට හොඳ ප්‍රතිචාරයක් දක්වන සන්තෝෂවත් පෞද්ගලිකත්වයක් ඇති වුණා. සභාවේ කීපදෙනෙක් මෙහෙම ඇහැව්වා: ‘රිකාඩෝට මොකක්ද වුණේ?’ ඔවුන් ඔහුව දැක්කේ හරියට පළමු වතාවට වගෙයි. ඒ තීරණාත්මක එඬේර බැහැදැකීම ගැන කල්පනා කරන කොට මට හැඟෙන්නේ රිකාඩෝට වඩා වැඩියෙන් මම ලබාගෙන තියෙනවා කියලයි. ඔහු රාජ්‍ය ශාලාවට ඇතුල් වෙන කොට, ඔහුගේ මූණ සිනාවෙන් පිරෙනවා; මට කතා කරන්න දුවගෙන එනවා. ඔහුගේ ආත්මික දියුණුව දකින්න ලැබීම ප්‍රීතියක්.”
මේ වගේ එඬේර බැහැදැකීම් මහඟු ආශීර්වාදයක් වී තිබෙන බවට නිසැකයි. එවැනි බැහැදැකීම් යේසුගේ ආයාචනයට එකඟයි: “මාගේ බැටළුවන් කෙරෙහි එඬේරකම් කරන්න.” (යොහන් 21:16, NW) ඇත්තෙන්ම, එවැනි ආත්මික දීමනා බෙදා දිය හැකි අය වැඩිමහල්ලන් විතරක්ම නොවෙයි. අන්‍යයන්ව ප්‍රේමයටත්, යහපත් ක්රියාවලටත් පොලඹවන්න සභාවේ සිටින සැමට හැකියි. (හෙබ්‍රෙව් 10:23, 24) කන්දක් නඟින අයව එකට බැඳ තිබෙනවා වගේ අපවත් ආත්මික බැමිවලින් එක් කර තිබෙනවා. නියත වශයෙන්ම, අපි කරන, කියන දේ අන්‍යයන්ට බලපානවා. රිදවන වචන කීම හෝ දැඩි විවේචනය අපව එක් කරන බැමි බුරුල් කරනවා. (එපීස 4:29; යාකොබ් 3:8) අනිත් අතට, තෝරාගත් දිරිගැන්වීමේ වචන හා ප්‍රේමනීය සහයට හැකියි අපේ සහෝදරයන්ට ඔවුන්ගේ අමාරුකම්වලින් ගොඩ එන්න උපකාර කරන්න. මේ ආකාරයෙන් අපි සදා අගනා ආත්මික දීමනා බෙදාගන්නෙමු.—හිතෝපදේශ 12:25.
දෙවිගේ මහිමය පූර්ණ ලෙස පිළිබිඹු කිරීම
හැම ක්‍රිස්තියානියෙකුටම යම් ප්‍රමාණයක ජනකාන්තබවක් තිබෙන බව පැහැදිලියි. අපට මිල කළ නොහැකි සදා ජීවනයේ බලාපොරොත්තුව දායාද කර තිබෙනවා. එකිනෙකා සමඟ බෙදාගත හැකි ආත්මික දීමනාද අපට තිබෙනවා. එමෙන්ම නිසි පරමාර්ථයන් කරා අන්‍යයන්ව පොලඹවන්න හෝ ක්‍රියාත්මක කරවීමට පරිශ්‍රමයක් දරන්න අපට හැකියි. සමහරුන්ට සේවා වරප්‍රසාද වැනි අමතර දීමනා තිබෙනවා. මේ සියලුම දීමනා දෙවිගේ ලබන්ට නොවටිනා කරුණාවේ ඔප්පුවක්. තවද අපට යම් දීමනාවක් ලැබිලා තිබෙනවා නම් එය ලැබී තිබෙන්නේ දෙවිගෙන් නිසා පාරට්ටු කරගැනීමට අපට ඇත්තෙන්ම කිසිම හේතුවක් නැහැ.—1 කොරින්ති 4:7.
‘ “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” දෙන යෙහෝවාට මහිමය ගෙන දීමට මම මට තිබිය හැකි ඕනෑම ජනකාන්තබවක් යොදාගන්නවාද? (යාකොබ් 1:17) මගේ හැකියාවන් හා තත්වයන්ට අනුව මම යේසුව අනුකරණය කර අන්‍යයන්ට සේවය කරයිද?’ කියා ක්‍රිස්තියානීන් වශයෙන් අපි අපෙන්ම අසාගැනීම සුදුසුයි.
මේ සම්බන්ධයෙන් අපේ වගකීම ප්‍රේරිත පේතෘස් මෙසේ කැටි කොට දක්වනවා: ‘දෙවිගේ අනේකාකාර කරුණාවේ යහපත් ගබඩාකාරයන් මෙන් එකිනෙකාට ලැබුණු දීමනාවේ [කʹරි·ස්මා] හැටියට එයින් එකිනෙකාට සේවය කරන්න. යමෙක් කතා කෙරේ නම්, දෙවිගේ වාක්‍යය වශයෙන් කතා කරාවා; යමෙක් සේවය කෙරේ නම්, දෙවි සපයා දෙන ශක්තියේ ප්‍රකාර සේවය කරාවා. දෙවිට යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේ කරන්ට ඕනෑය.’—1 පේතෘස් 4:10, 11.
[පින්තූරය]
a ජිම් ජෝන්ස් ඇතුළු 913දෙනෙකු මියගියා.
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Corbis-Bettmann
UPI/Corbis-Bettmann