21වෙනි පරිච්ඡේදය
“මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්”
පාවුල් උද්යෝගයෙන් කළ සේවය හා වැඩිමහල්ලන්ට ලබා දුන් මඟ පෙන්වීම්
1-3. (අ) යුතිකස් මිය ගිය රාත්‍රියේ වුණ දේවල් විස්තර කරන්න. (ආ) පාවුල් කරපු ආශ්චර්යය මොකක්ද? ඒ සිද්ධියෙන් අපට පාවුල් ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද?
දැන් මධ්‍යම රාත්‍රියයි. පාවුල් ඉන්නේ ත්‍රෝවස නගරයෙයි. ඔහු සහෝදර සහෝදරියන් විශාල පිරිසක් සමඟ උඩුමහල් කාමරයක රැස් වෙලා ඉන්නවා. ඒ ස්ථානය ආලෝකවත් කරමින් පහන් කිහිපයක්ම දැල්වෙමින් තියෙනවා. පහන්වලින් නැඟෙන දුම කාමරය පුරා පැතිර ගිහින්. කාමරය ඇතුළේ පොඩි රස්නයකුත් තියෙනවා. පාවුල් ඔවුන් සමඟ ගත කරන අවසාන රාත්‍රිය මේකයි. ඔහු ඔවුන්ව දිරිගන්වමින් දිගු වෙලාවක් කතා කරනවා. රැස් වෙලා ඉන්න අය අතරේ යුතිකස් කියලා තරුණයෙක් ඉන්නවා. ඔහු පාවුල්ට සවන් දෙමින් ඉන්නේ ජනේලයක් මත ඉඳගෙනයි. තද නින්දකට වැටෙන ඔහු තුන්වෙනි තට්ටුවේ ජනේලයෙන් එකපාරටම පහතට වැටෙනවා.
2 වැටිලා ඉන්න ඔහුව බලන්න සහෝදරයන් පහළට දුවගෙන යනවා. වෛද්‍යවරයෙක් වුණ ලූක් ඔවුන් අතරේ ඉන්නවා. යුතිකස්ව ‘උස්සලා බලද්දී එයා මැරිලා’ කියලා ඔවුන් තේරුම්ගන්නවා. (ක්‍රියා 20:9) එතනට එන පාවුල්, යුතිකස්ව බදාගෙන “කලබල වෙන්න එපා. එයා දැන් ආයෙත් ජීවත් වෙනවා” කියලා කියනවා. පාවුල් ඒ අවස්ථාවේ කරන්නේ මහත් ආශ්චර්යයක්! යුතිකස් ආයෙත් ජීවත් වෙනවා.—ක්‍රියා 20:10.
3 හැමෝම මොන තරම් සතුටු වෙන්න ඇද්ද! ඔවුන්ට දෙවියන්ගේ බලය මොන තරම් ප්‍රබලද කියලා දැකගන්න හැකි වුණා. පාවුල් ඒ වෙන කල් සහෝදරයන් සමඟ රැස් වෙලා හිටියේ ඔවුන්ගෙන් සමුගන්න කලින් ඔවුන්ව දිරිගන්වලා සේවය දිගටම කරගෙන යන්න ඔවුන්ව ශක්තිමත් කරන්නයි. නමුත් යුතිකස්ගේ හදිසි මරණය නිසා සහෝදරයන් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගන්න ඉඩ තිබුණා. සමහර අය අධෛර්යයට පත් වෙන්නත් ඉඩ තිබුණා. කොහොමවුණත් යුතිකස්ව නැවත නැඟිට්ටවපු නිසා සහෝදරයන්ට පාවුල් සමඟ ගත කරපු අවසන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැකි වුණා. පාවුල් වැඩ කරපු විදිහෙන් ඔහු අනිත් අයගේ ජීවිත ගැන සැලකිලිමත් වුණා කියලා පැහැදිලියි. අනිත් අයගේ ජීවිත ගැන තමා වග කිව යුතුයි කියන හැඟීම ඔහු තුළ තිබුණා. පස්සේ අවස්ථාවක “මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්” කියලා ඔහු කිව්ව දේ ඔබට මතක ඇති. (ක්‍රියා 20:26) ඒ සම්බන්ධයෙන් පාවුල් තියපු ආදර්ශය දැන් අපි බලමු.
‘එයා මැසිඩෝනියාවට යන්න පිටත් වුණා’ (ක්‍රියා 20:1, 2)
4. එෆීසයේදී පාවුල් මුහුණ දුන්නේ මොන වගේ අමිහිරි අද්දැකීමකටද?
4 කලින් පරිච්ඡේදයේ ඉගෙනගත්ත විදිහට පාවුල් එෆීසයේදී අමිහිරි අද්දැකීමකට මුහුණ දුන්නා. ඔහු කරපු දේශනා සේවය නිසා තම ව්‍යාපාරය කඩාකප්පල් වෙනවා කියලා හිතුව රිදීකරුවන් එෆීසයේ මහ කෝලහලයක් ඇති කළා. “කෝලහල කරපු හැමෝම විසිරිලා ගියාට පස්සේ” වුණ දේ ලූක් මෙහෙම විස්තර කරනවා. “පාවුල් ගෝලයන්ට එන්න කියලා එයාලව දිරිගැන්නුවා. ඊටපස්සේ එයා එයාලාගෙන් සමු අරන් මැසිඩෝනියාවට යන්න පිටත් වුණා.”—ක්‍රියා 20:1.
5, 6. (අ) පාවුල් මැසිඩෝනියාවේ කොච්චර කාලයක් ගත කළාද? ඔහු එහෙදී කළේ මොකක්ද? (ආ) පාවුල්ට සහෝදරයන් ගැන තිබුණේ මොන වගේ ආකල්පයක්ද?
5 මැසිඩෝනියාවට යන අතරමඟදී ඔහු ත්රෝවස්වල වරායෙන් ගොඩ බැහැලා තීතස් එන කල් එහේ යම් කාලයක් බලන් හිටියා. ඔහු බලාපොරොත්තුවෙන් හිටියේ කොරින්තියට ගිය තීතස් එතනට එයි කියලයි. (2 කොරි. 2:12, 13) නමුත් තීතස් එන්නේ නැහැ කියලා පැහැදිලි වුණාම පාවුල් මැසිඩෝනියාවට යන්න පිටත් වුණා. එහේ අවුරුද්දක් විතර ගත කළ ඔහු “හුඟක් දේවල් කියලා එහේ හිටපු අයවත් දිරිගැන්නුවා.”a (ක්‍රියා 20:2) පස්සේ තීතස් මැසිඩෝනියාවට ආවා. එහෙදී ඔහු පාවුල්ව හමු වෙලා පාවුල් කොරින්ති සභාවට යවපු පළවෙනි ලිපියට ඔවුන් දක්වපු හොඳ ප්‍රතිචාරය ගැන කිව්වා. (2 කොරි. 7:5-7) කොරින්තිවරුන්ට තවත් ලිපියක් ලියන්න පාවුල් පෙලඹුණේ ඒ නිසයි.
6 එෆීසයේ හා මැසිඩෝනියාවේ සිටි සහෝදරයන්ව හමු වුණ අවස්ථාවලදී පාවුල් ඔවුන්ව “දිරිගැන්නුවා” කියලා වාර්තාවේ සඳහන් වෙනවා. සහෝදර සහෝදරියන් ගැන ඔහු කොයි තරම් සැලකිලිමත් වුණාද කියලා ඒකෙන් පැහැදිලියි. අනිත් අයව හෙළා දකින පරිසිවරුන්ට වඩා පාවුල් මොන තරම් වෙනස්ද! ඔහු තම සහෝදර සහෝදරියන්ව සැලකුවේ හවුල් වැඩකරුවන් විදිහටයි. ඔහු ඔවුන්ට ගෞරව කළා. (යොහ. 7:47-49; 1 කොරි. 3:9) ඔවුන්ට ඍජු උපදෙස් දෙන්න වුණාමත් ඔහු ඔවුන්ව හෙළා දකින්නේ නැතුව ආදරෙන් ඔවුන් සමඟ වැඩ කළේ ඒ නිසයි.—2 කොරි. 2:4.
7. වැඩිමහල්ලන්ට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
7 අදත් සභාවල ඉන්න වැඩිමහල්ලන් හා චාරිකා සේවකයන් උත්සාහ කරන්නේ පාවුල්ගේ ආදර්ශය අනුගමනය කරන්නයි. සහෝදරයෙක්ට අවවාදයක් දෙන්න වෙන අවස්ථාවකදී වුණත් ඔහුව හෙළා දකින විදිහට ඔවුන් ඒක කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒක කරන්නේ ඒ සහෝදරයාව ගොඩනංවන විදිහටයි. මොකද සභාවේ ඉන්න සහෝදරයන්ව බිඳ දාන එක නෙවෙයි ගොඩනංවන එක තම වගකීම කියලා ඔවුන් නිතරම මතකයේ තියාගන්නවා. බොහෝ කාලයක් පුරා චාරිකා සේවය කරපු සහෝදරයෙක් කියපු මේ දේ බලන්න. “හරි දේ කරන්න හුඟක් සහෝදර සහෝදරියන් කැමතියි. හැබැයි ඒ දේ කරන්න ඔවුන්ට ලේසි නැහැ. මොකද අධෛර්යය වෙන එක, බය හා තමන්ට හරි දේ කරන්න පුළුවන්කමක් නැහැ කියන හැඟීම් එක්ක ඔවුන් සටන් කරනවා.” ඒ වගේ අයව සවිමත් කරන්න නිතරම උත්සාහ කරන එක මොන තරම් වැදගත්ද!—හෙබ්‍රෙ. 12:12, 13.
පාවුල්ට “විරුද්ධව කුමන්ත්‍රණයක්” (ක්‍රියා 20:3, 4)
8, 9. (අ) සිරියාවට නැවෙන් යන්න පාවුල් යොදපු සැලසුම් වෙනස් කරන්න වුණේ ඇයි? (ආ) යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළේ ඇයි?
8 මැසිඩෝනියාවේ යම් කාලයක් ගත කළාට පස්සේ පාවුල් කොරින්තියටb ගියා. එහේ මාස තුනක් ගත කළාට පස්සේ පාවුල්ට, සෙන්ක්රෙයායට ගිහින් එතනින් නැවෙන් සිරියාව බලා යන්න වුවමනා වුණා. ඔහු අදහස් කළේ සිරියාවේ සිට යෙරුසලමට ගිහින් සහෝදරයන් වෙනුවෙන් ලබා දීලා තිබුණ සහනාධාර විවිධ අගහිඟකම්වලින් පෙළුණු අයට ලබා දෙන්නයි.c (ක්‍රියා 24:17; රෝම 15:25, 26) නමුත් ඔහු යන්න අදහස් කරපු ගමන් මාර්ගය ඔහුට හදිස්සියේම වෙනස් කරන්න වුණා. ඒකට හේතුව ක්‍රියා 20:3 මෙහෙම සඳහන් කරලා තියෙනවා. “යුදෙව්වරු තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා එයාට ආරංචි වුණා.”
9 යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කරපු එක පුදුමයක් නෙවෙයි. ඔවුන් ඔහුව සැලකුවේ යුදෙව් ආගමට විරුද්ධව වැඩ කරන කෙනෙක් විදිහටයි. සිනගෝගය භාරව හිටිය නිලධාරියා වුණ ක්‍රිස්පස් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණේ පාවුල් කොරින්තියට ආපු මුල් අවස්ථාවේදී ඔහුගේ ඉගැන්වීම්වලට සවන් දුන්න නිසා කියලා ඔවුන් දැනගෙන හිටියා. (ක්‍රියා 18:7, 8; 1 කොරි. 1:14) ඔවුන් පාවුල් එක්ක කේන්ති ගන්න තවත් හේතුවක් වුණේ පාවුල්ව ඇකේයා පළාතේ ආණ්ඩුකාරයා වුණ ගලියෝ ඉදිරියට අරන් ගියත් ඔහුට විරුද්ධව නඟලා තිබුණ චෝදනා ගලියෝ ප්‍රතික්ෂේප කරපු එකයි. (ක්‍රියා 18:12-17) ඒ හේතු නිසා කොරින්තියේ හිටිය යුදෙව්වන් පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණයක් යෙදුවා. වෙනත් ප්‍රදේශයකට යන්න නැව් නඟින්න පාවුල් සෙන්ක්‍රෙයාය වරායට එනවා කියලා සමහරවිට ඔවුන් දැනගෙන ඉන්න ඇති. නැත්නම් ඔහු එයි කියලා ඔවුන් සැක කරන්න ඇති. ඒ නිසා එහෙදී ඔහුව අල්ලගන්න ඔවුන් සැලසුම් යෙදුවා.
10. පාවුල් සෙන්ක්‍රෙයාය හරහා නොගියේ ඔහු බියගුලු කෙනෙක් නිසාද? පැහැදිලි කරන්න.
10 තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණ නිසාත් තමන් අරන් යන සහනාධාර ආරක්ෂා කරගන්න ඕනෙ නිසාත් පාවුල් සෙන්ක්රෙයායට යන්නේ නැතුව මැසිඩෝනියාව හරහා යන්න තීරණය කළා. මුහුදෙන් යන්නේ නැතුව ගොඩබිමෙන් යන ඒ ගමන් මඟ අවදානම් නැහැ කියලා කියන්න බැහැ. මොකද ඒ කාලයේ මහාමාර්ගවල අවි ගත්ත හොරු තැනින් තැන රැකගෙන හිටියා. තානායමුත් අනාරක්ෂිතයි. නමුත් සෙන්ක්රෙයායට ගිහින් දැන දැනම අනතුරේ වැටෙනවාට වඩා ඒ අවදානම්වලට මුහුණ දෙන්න ඔහු තීරණය කළා. ඔහු මේ ගමන ගියේ තනිවමත් නෙවෙයි. ඔහු සමඟ අරිස්තාකස්, ගායස්, සෙකන්දස්, සෝපතර්, තිමෝති, ත්‍රොෆිමස් හා තිකිකස් කියන අයත් හිටියා.—ක්‍රියා 20:3, 4.
11. ක්‍රිස්තියානීන් තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නේ කොහොමද? යේසුස් ඒ සම්බන්ධයෙන් තියපු ආදර්ශය මොකක්ද?
11 පාවුල් වගේ අපිත් සේවයේ යද්දී අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. සමහර ප්‍රදේශවලට යද්දී අප කණ්ඩායමක් හැටියට හෝ තව එක් කෙනෙක් සමඟ හෝ යන්නේ ඒ නිසයි. ඒකෙන් අදහස් කරන්නේ ශුභාරංචිය දේශනා කරන නිසා ඇති වෙන්න පුළුවන් විරුද්ධවාදිකම් මඟහරින්න අප උත්සාහ කරනවා කියන එක නෙවෙයි. මොකද ක්‍රිස්තියානීන් හැටියට අපිට අනිවාර්යයෙන්ම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා අපි දන්නවා. (යොහ. 15:20; 2 තිමෝ. 3:12) නමුත් දැන දැනම අපි අපේ ජීවිත අවදානමේ දාන්නේ නැහැ. ඒ වෙනුවට අපි කල්පනාකාරීව වැඩ කරනවා. එක අවස්ථාවක යෙරුසලමේ සිටි යුදෙව්වන් යේසුස්ට ගල් ගහන්න උත්සාහ කළාම “යේසුස් එයාලාගෙන් හැංගිලා දේවමාලිගාවෙන් එළියට ගියා.” (යොහ. 8:59) පස්සේ අවස්ථාවකදී යුදෙව්වන් ඔහුව මරලා දාන්න කුමන්ත්‍රණය කළාම “යේසුස් යුදෙව්වන්ට පේන්න එහේ මෙහේ ගියේ නැහැ. ඔහු එහෙන් පිටත් වෙලා පාළුකරයට කිට්ටුවෙන් තියෙන ප්‍රදේශයට ගියා.” (යොහ. 11:54) යේසුස් ඒ විදිහට තම ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණේ දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහුට ඕනෙ වුණ නිසයි. ක්‍රිස්තියානීන් වන අපිටත් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා දැනගෙන හිටියත් අපි අනවශ්‍ය විදිහට අපේ ජීවිත අනතුරේ හෙළන්නේ නැහැ.—මතෙ. 10:16.
“හැමෝටම දැනුණේ ලොකු සහනයක්” (ක්‍රියා 20:5-12)
12, 13. (අ) යුතිකස්ගේ නැවත නැඟිටීම සහෝදරයන්ට බලපෑවේ කොහොමද? (ආ) අප ආදරය කරන කෙනෙක් මිය ගිහින් නම් අපට ලොකු සහනයක් වෙන්නේ මොන පොරොන්දුවද?
12 පාවුල් හා ඔහු සමඟ ගමන් කරපු පිරිස මැසිඩෝනියාව පහු කරන කල් කණ්ඩායමක් විදිහට ගමන් කරලා පස්සේ බෙදිලා වෙනත් පැතිවලට ගමන් කළා. නමුත් ඔවුන් නැවතත් ‘දවස් පහකින්d ත්‍රෝවසයේදී හම්බ වුණා’ කියලා ක්‍රියා 20:6 කියනවා.e මේ පරිච්ඡේදයේ මුල සඳහන් කරපු යුතිකස් කියන තරුණයාව නැවත නැඟිට්ටෙව්වේ එහෙදියි. ඔහු නැවත ජීවත් වෙනවා කියලා දැක්කාම එහේ හිටපු සහෝදරයන් “හැමෝටම දැනුණේ ලොකු සහනයක්.”—ක්‍රියා 20:12.
13 ඒ වගේ ආශ්චර්යයන් අද වෙන්නේ නැහැ. නමුත් මිය ගිය අයව නැවත නැඟිට්ටවනවා කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව අපට “ලොකු සහනයක්.” විශේෂයෙන්ම අප ආදරය කරන කෙනෙක් මිය ගිහින් නම් ඒ පොරොන්දුව නිසා අපට ලැබෙන්නේ මොන තරම් සහනයක්ද! (යොහ. 5:28, 29) ඒ අවස්ථාවේදී යුතිකස්ව නැවත නැඟිට්ටෙව්වත් පව්කාරකම උරුම කරගෙන හිටිය නිසා ඔහු පස්සේ කාලයකදී ආයෙත් මිය ගියා. (රෝම 6:23) නමුත් පාරාදීස පොළොවේදී නැවත නැඟිට්ටවන අයට මේ පොළොවේ සදාකල් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. ස්වර්ගයේ ජීවත් වෙන්න නැවත නැඟිට්ටවන යේසුස්ගේ හවුල් පාලකයන්ට අමරණීය ජීවිතයක් ලැබෙනවා. (1 කොරි. 15:51-53) එහෙමනම් අභිෂේක ලත් කෙනෙක් වුණත් “වෙනත් බැටළුවන්ට” අයත් කෙනෙක් වුණත් “ලොකු සහනයක්” ලබන්න අපට හොඳ හේතු තිබෙනවා.—යොහ. 10:16.
“ප්රසිද්ධියෙත් ගෙයින් ගෙටත් ගිහින්” (ක්‍රියා 20:13-24)
14. තමාව හමු වෙන්න ආපු එෆීසයේ වැඩිමහල්ලන්ට පාවුල් කිව්වේ මොනවාද?
14 පාවුල් හා ඔහු සමඟ ගිය පිරිස ත්‍රෝවසයේ සිට අසොස් බලා පිටත් වුණා. එතනින් ඔවුන් මිතුලේන නගරයටත් එතනින් කියොස් දූපතටත් ඊටපස්සේ සාමොස් දූපතටත් ගියා. ඔවුන් එතනින් මිලේටස් නගරයට පිටත් වුණා. පාවුල්ට වුවමනා වුණේ පෙන්තකොස්ත උත්සවයට කලින් කොහොමහරි යෙරුසලමට යන්නයි. එෆීසය හරහා නොයන්න ඔහු තීරණය කරන්න ඇත්තේ ඒ නිසයි. නමුත් එෆීසයේ වැඩිමහල්ලන් එක්ක කතා කරන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා මිලේටස්වලට ඇවිත් තමාව හමු වන්න කියලා පාවුල් ඔවුන්ට දන්වලා යැව්වා. (ක්‍රියා 20:13-17) ඔවුන් ආවාම ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා හොඳටම දන්නවා, ආසියා පළාතට ආපු දවසේ ඉඳන් අද වෙන කල් මං ඔයාලා එක්ක වැඩ කළේ කොහොමද කියලා. මම හරිම නිහතමානීව ස්වාමීන් වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා සේවය කළා. මං කොච්චර ඇඬුවාද! යුදෙව්වන් මාව මරන්න හදපු නිසා මං කොච්චර දුක් වින්දාද! ඒත් ඔයාලට යහපතක් වෙන හැම දෙයක්ම මම හංගන්නේ නැතුව ඔයාලට කියලා දුන්නා. මම ප්රසිද්ධියෙත් ගෙයින් ගෙටත් ගිහින් අත්හරින්නේ නැතුව දිගටම ඉගැන්නුවා. මම යුදෙව්වරුන්ට සහ ග්රීකවරුන්ට සම්පූර්ණ සාක්ෂියක් දැරුවා. පසුතැවිලි වෙලා දෙවියන් වෙතට හැරෙන්න කියලත් අපේ ස්වාමීන් වන යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න කියලත් මම එයාලට කිව්වා.”—ක්‍රියා 20:18-21.
15. ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය දේශනා කරන එක වැදගත් ඇයි?
15 මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න අද අප විවිධ ක්‍රම යොදාගන්නවා. පාවුල් වගේ අපිත් මිනිසුන් වැඩියෙන් ගැවසෙන තැන්වලට ඒ කියන්නේ බස් නැවතුම්පොළවල්වලට, වීථිවලට හා වෙළඳපොළවල්වලට ගිහින් දේශනා කරනවා. නමුත් අප ශුභාරංචිය දේශනා කරන ප්‍රධාන ක්‍රමය වන්නේ ගෙයින් ගෙට යන එකයි. යෙහෝවා හැම කෙනෙක්ටම එකම විදිහට සලකන දෙවි කෙනෙක්. ඒ නිසා අපට පවරපු ප්‍රදේශයේ තියෙන හැම ගෙදරකටම නිතිපතා යන එකෙන් ශුභාරංචියට හොඳින් සවන් දෙන්න හැම කෙනෙක්ටම අප අවස්ථාව ලබා දෙනවා. අපට හමු වන නිහතමානී අයට අවශ්‍ය උදව් දෙන්නත් ඒකෙන් අපට පුළුවන් වෙනවා. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන එකෙන් අපටත් ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. දෙවියන් ගැන අපට තිබෙන විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා වගේම අපේ විඳදරාගැනීමේ හැකියාවත් දියුණු වෙනවා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න තියෙන එක ලක්ෂණයක් වන්නේ “ප්රසිද්ධියෙත් ගෙයින් ගෙටත් ගිහින්” අප මහත් උද්යෝගයෙන් කරන සේවයයි.
16, 17. විවිධ අභියෝග මැද පවා පාවුල් අදිටන් කරගෙන හිටියේ මොනවා කරන්නද? අද ඉන්න ක්‍රිස්තියානීන් ඔහුව ආදර්ශයට ගන්නේ කොහොමද?
16 නැවත යෙරුසලමට ගියාම තමන්ට මොන වගේ අනතුරුවලට මුහුණ දෙන්න වෙයිද කියලා හරියටම දන්නේ නැහැ කියලා පාවුල් එෆීසයේ වැඩිමහල්ලන්ට කිව්වා. “මට වැදගත් වෙන්නේ මගේ ජීවිතය නෙවෙයි. මට ඕනෙ මේ ධාවන තරඟය සාර්ථකව ඉවර කරන්න. ඒ වගේම මට ඕනෙ දෙවියන්ගේ මහත් කරුණාව පිළිබඳ ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීලා ස්වාමීන් වන යේසුස් මට භාර දුන්න සේවය සාර්ථකව ඉවර කරන්න. මට ඕනෙ එච්චරයි” කියලත් ඔහු කිව්වා. (ක්‍රියා 20:24) පාවුල්ට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වුණා. සමහර අවස්ථාවලදී දුර්වල සෞඛ්‍ය තත්වයන්ට හෝ දැඩි විරුද්ධවාදිකම්වලට ඔහු මුහුණ දුන්නා. නමුත් තමන්ගේ පැවරුමට බාධා කරන්න ඔහු ඒ කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ කියලා පැහැදිලියි.
17 අද ඉන්න ක්‍රිස්තියානීනුත් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. සමහර අයට තමන්ගේ නමස්කාර වැඩ කරන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවලින් පනවලා තියෙන තහංචි මැදයි. තවත් සමහර අය දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. තවත් අය විවිධ ලෙඩ රෝගවලින් පෙළෙනවා. යෞවනයන්ට ඔවුන්ගෙම වයසේ අයගෙන් එල්ල වෙන විවිධ පීඩනවලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොන දේට මුහුණ දෙන්න වුණත් පාවුල් වගේ අපිත් නොසැලී, යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා. “දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක්” ලබා දෙන්න අපි අදිටන් කරගෙන ඉන්නවා.
“ඔයාලා ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් ඉන්න” (ක්‍රියා 20:25-38)
18. තමන් හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස් කියලා කියන්න පාවුල්ට පුළුවන් වුණේ කොහොමද? ඔහුව ආදර්ශයට ගන්න නම් එෆීසයේ වැඩිමහල්ලන් කරන්න ඕනෙ වුණේ මොනවාද?
18 ඊටපස්සේ පාවුල් තමන් වැඩ කරපු විදිහ ගැන කියලා එෆීසයේ වැඩිමහල්ලන්ට යම් උපදෙස් හා මඟ පෙන්වීම් ලබා දුන්නා. තමාව හමු වෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන් කියලා දන්වපු පාවුල්, ඔවුන්ට මෙහෙම කිව්වා. “මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්. මොකද දෙවියන්ගේ කැමැත්ත ගැන මං කිසිම දෙයක් හංගන්නේ නැතුව ඔයාලට කියලා දුන්නා.” පාවුල් වගේ හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස් වෙන්න නම් එෆීසයේ වැඩිමහල්ලන් කරන්න ඕනෙ වුණේ මොනවාද? පාවුල් ඒ ගැන මෙහෙම කිව්වා. “දැන් ඔයාලා ගැනත් මුළු රැළ ගැනත් හොඳ අවධානයකින් ඉන්න. මොකද දෙවියන්ගේ බලයෙන් වැඩිමහල්ලන් විදිහට ඔයාලව පත් කරලා තියෙන්නේ එඬේරුන් වගේ ඔහුගේ සභාව රැකබලා ගන්නයි. ඒ සභාව ඔහු මිල දී ගත්තේ ඔහුගෙම පුතාගේ ලේවලින්.” (ක්‍රියා 20:26-28) “දරුණු වෘකයන්” වගේ පිරිසක් සභාවට ඇතුල් වෙලා “ගෝලයන්ව එයාලාගේ පැත්තට නම්මගන්න” අරමුණින් “සත්‍ය ඉගැන්වීම් විකෘති කරලා උගන්වයි” කියලා පාවුල් ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. එහෙමනම් සභාව හොඳින් රැකබලා ගන්න වැඩිමහල්ලන් කරන්න ඕනෙ වුණේ මොනවාද? පාවුල් කිව්වේ මෙහෙමයි. “අවදියෙන් ඉන්න. ඒ වගේම මම අවුරුදු තුනක් තිස්සේ අඬඅඬ රෑ දවල් දෙකේම අත්හරින්නේ නැතුව ඔයාලට උපදෙස් සහ අවවාද දුන්නා කියලත් අමතක කරන්න එපා.”—ක්‍රියා 20:29-31.
19. පළවෙනි සියවසේ අගභාගය වෙනකොට වුණේ මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද?
19 පළවෙනි සියවසේ අගභාගයේදී විතර “දරුණු වෘකයන්” ක්‍රිස්තියානි සභාව තුළට ඇතුල් වෙන්න පටන්ගත්තා. යොහන් ක්‍රි.ව. 98දී විතර මෙහෙම දෙයක් කිව්වා. “ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා. . . .ඒ අය අපිව අත්හැරලා ගියා. මොකද ඒ අය අපි වගේ නෙමෙයි. එයාලා අපේම අය වුණා නම් දිගටම අපිත් එක්කම ඉන්නවා.” (1 යොහ. 2:18, 19) තුන්වෙනි සියවස වෙනකොට සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව වැඩ කරපු ඒ අය පූජක පංතියක් ඇති කරගත්තා. හතරවෙනි සියවසේදී කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත ඒ කණ්ඩායම ආගමක් විදිහට නීත්‍යනුකූලව පිළිගත්තා. ඔවුන් හදාගත්ත ඒ ආගමට මිථ්‍යා චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධ කරලා ඒවාට “ක්‍රිස්තියානි” ස්වරූපයක් ලබා දුන්නා. උගන්වලා තියෙන හැම දෙයක්ම ඔවුන් “විකෘති කරලා” ඉගැන්නුවා. අදටත් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල ඉගැන්වීම් තුළින් හා චාරිත්‍ර වාරිත්‍ර තුළින් ඒ අයගේ බලපෑම පැහැදිලිව දකින්න තියෙනවා.
20, 21. පාවුල් තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අයට උදව් කළේ කොහොමද? සභාවල වැඩිමහල්ලන්ට ඔහුව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
20 ක්‍රිස්තියානි සභාවෙන් අයුතු ප්‍රයෝජන ගත්ත ඒ අයට වඩා පාවුල් කොච්චර වෙනස්ද! සභාවේ අයට බරක් නොවී තමන්ගේ අවශ්‍යතාවන් සපුරගන්න පාවුල් මහන්සි වුණා. සහෝදරයන් වෙනුවෙන් ඔහු තමන්ගේ කාලය, ශක්තිය වැය කළේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබාගන්න නෙවෙයි. ඔහු එෆීසයේ වැඩිමහල්ලන්ගෙන් ඉල්ලුවේ තමන් ගැන හිතන්නේ නැතුව “උදව් ඕනෙ අයට උදව් කරන්න” ලෑස්ති වෙලා ඉන්න කියලයි. ඔහු මෙහෙමත් කිව්වා. “ස්වාමීන් වන යේසුස් කියපු දෙයක් ඔයාලට මතක් කරලා දෙන්නත් මට ඕනෙ වුණා. ඔහු කිව්වේ ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා’ කියලයි.”—ක්‍රියා 20:35.
21 ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගම්වල ඉන්න පූජකයන් වැඩ කරන්නේ පාවුල් ලබා දුන්න ඒ උපදෙස්වලට හාත්පසින්ම වෙනස් විදිහටයි. ඔවුන් තමන්ගේ සාමාජිකයන්ගෙන් සූරා කනවා. ඊට වෙනස්ව අද ‘එඬේරුන් වගේ දෙවියන්ගේ සභාව රැකබලා ගන්න’ පත් කරලා තියෙන වැඩිමහල්ලන් පාවුල් වගේ තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අයට උදව් කරනවා. ඔවුන් තම වගකීම් ඉටු කරන්නේ වාසි ප්‍රයෝජන බලාගෙන නෙවෙයි කැමැත්තෙන්මයි. අහංකාර විදිහට වැඩ කරන අයට හා තනතුරු පස්සේ යන අයට ක්‍රිස්තියානි සභාවේ කිසිම ඉඩක් නැහැ. “තමන්ටම ගෞරවය ගන්න හදන” අය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. අන්තිමේදී ඔවුන්ගේ සැබෑ ස්වභාවය හෙළි වෙනවා. (හිතෝ. 25:27) අහංකාර කෙනෙක්ට අන්තිමේදී හිමි වෙන්නේ අගෞරවය විතරයි.—හිතෝ. 11:2.
22. සහෝදරයන් පාවුල්ට හුඟක් ආදරේ කළේ ඇයි?
22 පාවුල් සහෝදරයන්ට හුඟක් ආදරය කරපු නිසාත් ඔහු ඔවුන්ට පෙන්වපු සැලකිල්ල නිසාත් සහෝදරයනුත් ඔහුට හුඟක් ආදරේ කළා. පිටත් වෙලා යන්න වෙලාව ආවාම ‘ඒ අය හොඳටම අඬලා පාවුල්ව බදාගෙන එයාව ආදරෙන් ඉම්බා’ කියලා වාර්තාවේ සඳහන් වෙලා තියෙන එකෙන් ඒක තේරෙනවා. (ක්‍රියා 20:37, 38) පාවුල් වගේ සභාව රැකබලා ගන්න තම කාලය, ශක්තිය හා තමන්ට තියෙන වෙනත් දේවල් ලබා දෙන වැඩිමහල්ලන්ව අපත් අවංකව අගය කරනවා වගේම ඔවුන්ට හුඟක් ආදරය කරනවා. අනිත් අයගේ ජීවිත බේරගන්න තමන්ට කරන්න පුළුවන් හැම දේම පාවුල් කළා කියලා ඔහුගේ ආදර්ශය බලද්දී අපට පැහැදිලියි. “මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්” කියලා පාවුල්ට අවංකවම කියන්න පුළුවන් වුණේ ඒ නිසයි.—ක්‍රියා 20:26.
a “මැසිඩෝනියාවේදී පාවුල් ලියපු ලිපි” කියන කොටුව බලන්න.
b රෝමවරුන්ට පාවුල් තම ලිපිය ලිව්වේ ඔහු කොරින්තියට ගිය මේ අවස්ථාවේදී විය හැකියි.
c 193වෙනි පිටුවේ “පාවුල් සහනාධාර රැගෙන යන කාර්යය සාර්ථකව ඉටු කරයි” කියන කොටුව බලන්න.
d ෆිලිප්පියේ සිට ත්‍රෝවසයට යන්න ඔවුන්ට දවස් පහක් ගත වුණා. කලින් අවස්ථාවකදී ඒ ගමනට ගත වුණේ දවස් දෙකක් විතරයි. මේ වතාවේ ඊට වඩා වැඩි කාලයක් ගත වුණේ තද සුළං පැවතුණ නිසා විය හැකියි.—ක්‍රියා 16:11.
e ක්‍රියා 20:5, 6 “අපිට,” “අපි” යන යෙදුම් භාවිත කරලා තියෙන එකෙන් පැහැදිලි වන්නේ යම් කාලයක් ෆිලිප්පියේ නතර වෙලා හිටිය ලූක්, පාවුල් සමඟ ගමන් කරන්න එතන සිට එකතු වුණා කියලයි.—ක්‍රියා 16:10-17, 40.