පාඨකයන්ගෙන් ප්‍රශ්න
හෙබ්‍රෙව් 4:15, 16හි සඳහන් පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්තම පූජක සේවාවේ ප්‍රයෝජන දැන් ‘වෙනත් බැටළුවන්ට’ අදාළ වන්නේ කෙසේද?
උත්තම පූජකයාණන් වශයෙන් යේසුස්වහන්සේගේ කාර්යභාරය මූලික වැදගත්කමක් ගන්නේ, උන්වහන්සේ සමඟ ස්වර්ගයෙහි සිටිනු ඇති අය වෙනුවෙන් වුවද, භූමික බලාපොරොත්තුව සහිත ක්‍රිස්තියානීහු දැන් පවා යේසුස්වහන්සේගේ පූජක සේවාවන්ගෙන් ප්‍රයෝජන ලබති.
ආදම්ගේ පටන්, මිනිස්සු පාපයෙන් බරවී ඇත්තාහ. ඉශ්රායෙල්වරුන් මෙන් උරුම වූ අසම්පූර්ණකමින් අපි දුක් විඳින්නෙමු. තමන්ගේම පාප උදෙසාද, එමෙන්ම ජනයාගේ පාප උදෙසාද, පූජා ඔප්පු කළාවූ, උත්තම පූජකයන්ගේ හා පූජකයන්ගේ දිගු පෙළක් වෙතට සහය සඳහා ඔවුහු හැරුණෝය. නියමිත කාලයේදී, “මෙල්කිසදෙක්ගේ ආකාරයට අනුව” යේසුස්වහන්සේව පූජකයාණන් ලෙසට අභිෂේක කරන ලදි. නැවත නැගිටුවනු ලැබුවායින් පසු, සිය පරිපූර්ණ මිනිස් පූජාවේ වටිනාකම ඔප්පු කිරීම පිණිස යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි පෙනී සිටිසේක.—ගීතාවලිය 110:1, 4, NW.
අදදින අප සඳහා මින් අදහස් කරන්නේ කුමක්ද? හෙබ්‍රෙව්වරුන්ට යවන ලද ලිපිය තුළ, උත්තම පූජකයාණන් වශයෙන් යේසුස්වහන්සේගේ සේවය ගැන පාවුල් සාකච්ඡා කළේය. හෙබ්‍රෙව් 5:1හි අපට මෙසේ කියවීමට තිබේ: “සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පුකරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණා සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත්කරනු ලබන්නෝය.” අනතුරුව, හෙබ්‍රෙ 5:5 සහ 6 පදවල, අප සඳහා ප්‍රයෝජන ලබා දිය හැකි උත්තම පූජකයෙකු බවට යේසුස්වහන්සේ පත්වූයේයයි පාවුල් පෙන්වීය.
ඒ කෙසේද? පාවුල් මෙසේ ලීවේය: “උන්වහන්සේ පුත්රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණකරනු ලැබ, තමන්වහන්සේට කීකරුවෙන්නාවූ සියල්ලන්ටම සදාකාල ගැළවීමේ කර්තෘවූසේක.” (හෙබ්‍රෙව් 5:8, 9අ, 10) දෙවියන්වහන්සේට සහ යේසුස්වහන්සේට පක්ෂපාත අයගේ පව්කාර තත්වය ඉවත් කරනු ලැබ, සදාකාල ජීවනය ලබන විට, එම කාලයේදී, නව ලෝකය තුළ ප්‍රයෝජනගැනීමට අපට හැකි වන්නේ කෙසේද කියා, පළමුවෙන්ම සිතා බැලීමට මෙම පද අපව පෙළඹවිය හැක. එය වනාහි, යේසුස්වහන්සේගේ මිදීමේ වටිනාකම සහ උත්තම පූජකයා වශයෙන් උන්වහන්සේගේ සේවය මත පදනම් වූ වලංගු අපේක්ෂාවකි.
එහෙත්, ඇත්තෙන්ම, උත්තම පූජකයාණන් වශයෙන් උන්වහන්සේගේ කාර්යභාරයෙන් අපි දැන්ම ප්‍රයෝජන ලබන්නෙමු. හෙබ්‍රෙව් 4:15, 16හි සඳහන් දෙය සැලකිල්ලට ගන්න: “අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය. එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී [නියමිත කාලයේදී, NW] අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.” “නියමිත කාලය” වනු ඇත්තේ කවදාද? ඒ අපට දයාව සහ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව අවශ්‍ය වේලාවයි. අපගේ අසම්පූර්ණකම් නිසා අප සියල්ලන්ටම මෙම අවශ්‍යතාව දැන් දැනී යා යුතුය.
දැන් ස්වර්ගයෙහි පූජකයෙකුව සිටින යේසුස්වහන්සේ, මිනිසෙකුව සිටි නිසා උන්වහන්සේට සංවේදනීය විය හැකි බව හෙබ්‍රෙව් 4:15, 16හි අපට පෙන්වයි. කා කෙරෙහිද? අප කෙරෙහිය. කවදාද? දැන්ය. මිනිසෙකුව සිටි විට, යේසුස්වහන්සේ මිනිසුන්ට පොදු වූ වෙහෙසවීම් හා පීඩනයන් අද්දුටුසේක. එක් අවස්ථාවකදී, යේසුස්වහන්සේ කුසගිනිව, පිපාසිතව සිටිසේක. තවද පරිපූර්ණව සිටියද, උන්වහන්සේ වෙහෙසට පත්වූසේක. එය අපට ධෛර්යයක් හා නිසැකකමක් ලබා දිය යුතුය. මන්ද? යේසුස්වහන්සේ ස්වාභාවික වෙහෙස අද්දුටු නිසා, අපට බොහෝවිට හැඟෙන ආකාරය ගැන උන්වහන්සේ සාවධානව සිටිනසේක. තම ප්‍රේරිතයන් අතර ඇති වූ දැඩි වාද විවාද දරාගැනීමට යේසුස්වහන්සේට සිදුවූ බව මතක් කරන්න. (මාර්ක් 9:33-37; ලූක් 22:24) එසේය, උන්වහන්සේගේ බලාපොරොත්තු කඩවුණු අවස්ථා තිබිණ. අපේ බලාපොරොත්තු කඩවුණු අවස්ථාවලදී, අධෛර්යයට පත්වූ අවස්ථාවලදී උන්වහන්සේ අපව තේරුම්ගන්නා බවට අප තුළ නිසැකකමක් ඇති නොවිය යුතුද? ඇත්තෙන්ම එසේ විය යුතුය.
ඔබව අධෛර්යයට පත්වූ විට, ඔබට කුමක් කළ හැකිද? නව ලෝකය තුළදී, ඔබගේ උත්තම පූජකයාණන් ඔබට මානසිකව හා ශාරීරිකව පරිපූර්ණ වීමට උපකාර කරන තෙක් ඔබ බලා සිටිය යුතු බවක් පාවුල් පැවසුවාද? නැත. “අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී [නියමිත කාලයේදී, NW] අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද” බලා සිටිය හැකි බව පාවුල් පැවසුවේය. එපමණක්ද නොව, යේසුස්වහන්සේ මිනිසෙකුව සිටියදී “සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු” ලැබීමෙහිලා දුක සහ අමාරුකම් අද්දුටුසේක. එබැවින්, අප එවන් දේවලට මුහුණ දෙන විට, අප අද්දකිමින් සිටින දේ පිළිබඳ උන්වහන්සේගේ අවබෝධය මත පදනම්ව, උන්වහන්සේ අපට උපකාර කිරීමට සූදානමින් සිටිනසේක. එය ඔබව උන්වහන්සේ වෙතට ඇදගන්නේ නැද්ද?
දැන් හෙබ්‍රෙ 4:16වන පදය සලකා බලන්න. අපට, එනම්, අභිෂේක ලත් අයට සහ වෙනත් බැටළුවන්ට, කතා කිරීමේ නිදහසින් යුතුව දෙවියන්වහන්සේ වෙතට ළඟා විය හැක. (යොහන් 10:16) අපට වුවමනා සෑම දෙයක්ම, එනම් කෝපාවිෂ්ට ලෙස අගෞරවනීය දේවල් පවා යාච්ඤාව තුළින් පැවසිය හැකි බව ප්‍රේරිත පාවුල් අදහස් කළේ නැත. ඒ වෙනුවට, උත්තම පූජකයාණන් වශයෙන් යේසුස්වහන්සේගේ මිදීමේ පූජාව සහ උන්වහන්සේගේ කාර්යභාරය පදනම් කරගෙන, අප පව්කාරයන්ව සිටියදීම අපට දෙවියන්වහන්සේ වෙතට ළඟා විය හැක.
අපගේ උත්තම පූජකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සේවාවන්වලින් දැන් පවා අපට ප්‍රයෝජන ලැබිය හැකි තවත් මාර්ගයකට, අපගේ පාප හෝ දෝෂ ඇතුළත් වෙයි. සහතිකවම, වත්මන් දේවළ පිළිවෙළ තුළදී යේසුස්වහන්සේ සිය පූජාවේ මුළු වටිනාකම අප සඳහා අදාළ කරාවියයි අපට අපේක්ෂා කළ නොහැකිය. උන්වහන්සේ එසේ කළද, අපට තවමත් සදාකාල ජීවනය ලබාගත නොහැකිය. වහලයක සිදුරක් තුළින් තම යහන සමඟ බිමට බස්සනු ලැබූ අංශභාග රෝගියා සම්බන්ධ, ලූක් 5:18-26හි වාර්තා කර ඇති සිද්ධිය මතක් කරන්න. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මනුෂ්‍යය, නුඹේ පව් නුඹට කමාකරනල[ද්දේය].” යම් විශේෂාකාර පව් නිසා ඔහුට අංශභාග රෝගය වැළඳුණු බවක් මින් අදහස් කළේ නැත. එය යම් තරමකට, දුක් පීඩා ඇති කිරීමට හේතුවන ඔහුගේ උරුම වූ අසම්පූර්ණකම් සහ එම මිනිසාගේ පොදු පාපයන් බවට අදහස් කළා විය යුතුය.
අශාශෙල්ට වූ එළුවා සමගි කිරීමේ දවසේදී, ඉශ්රායෙල් ජනයාගේ පව් ඉවතට රැගෙන ගියාක් මෙන්, තමා විසින් ඔප්පු කරන්ට යන පූජාවේ පදනම මත එම මිනිසාගේ පාප ඉවත් කරන්ට යේසුස්වහන්සේට හැකි විණ. (ලෙවී කථාව 16:7-10) එහෙත්, අංශභාග රෝගයට ගොදුරු වූ තැනැත්තා තවමත් මිනිසෙකු වූයේය. ඔහු නැවතත් පව් කරනු ඇත, තවද පව්කාරයන්ට සිදුවන්නාක් මෙන්, නියමිත කාලයේදී ඔහු මියගියේය. (රෝම 5:12; 6:23) යේසුස්වහන්සේ පැවසූ දෙයින් අදහස් කළේ, ඔහු එම අවස්ථාවේදීම සදාකාල ජීවනය ලැබූ බවක් නොවේ. එහෙත්, එම මිනිසා එම අවස්ථාවේදී යම් තරමකට සමාව ලබමින් ආශීර්වාද ලැබීය.
දැන් අපගේ තත්වය සලකා බලන්න. අසම්පූර්ණව සිටින අපි දිනපතා වැරදි කරන්නෙමු. (යාකොබ් 3:2) අපට ඒ ගැන කුමක් කළ හැකිද? හොඳයි, යෙහෝවඃවහන්සේ වෙත යාච්ඤාවෙන් ළඟාවීමට අපට හැකි දයානුකම්පිත උත්තම පූජකයෙක් අපට ස්වර්ගයේ සිටී. එසේය, පාවුල් ලීවාක් මෙන්, අප සියලුදෙනාටම, ‘දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී [නියමිත කාලයේදී, NW] අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවීමට’ හැකිය. මේ අතරතුර, වෙනත් බැටළුවන්ට අයත් සියලුදෙනා සහතිකවම ක්‍රිස්තුස්වහන්සේගේ උත්තම-පූජක සේවාවන්ගෙන් පුදුමාකාර ප්‍රයෝජන ලබමින් සිටින අතර, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතිවීමද මීට ඇතුළත් වේ.
භූමික බලාපොරොත්තුව ඇති සියලු ක්‍රිස්තියානීන්ට, එළඹෙමින් තිබෙන නව ලෝකයේ ඉමහත් ප්‍රයෝජන ගැන බලා සිටින්ට හැක. එවිට, අපගේ ස්වර්ගික උත්තම පූජකයාණන් සිය පූජාවේ වටිනාකම අපට මුළුමනින්ම අදාළ කරන අතර, එය අපගේ සම්පූර්ණ පව් සමාවට හේතු වෙනවා ඇත. ජනයාගේ මාංසික හා ආත්මික සෞඛ්‍යය කෙරෙහිද සැලකිල්ල දැක්වීම මගින්, උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ප්‍රයෝජන තවදුරටත් විදහා දක්වනවා ඇත. තවද නීතිය ඉගැන්වීම ඉශ්රායෙලයේ පූජකයන්ගේ ප්‍රධාන වගකීමක් වූ බැවින්, පොළොව මත සිටින දෙවියන්වහන්සේගේ ජනයාගේ අධ්‍යාපනයද යේසුස්වහන්සේ විසින් තවත් පුළුල් කරනු ලබනවා ඇත. (ලෙවී කථාව 10:8-11; ද්විතීය කථාව 24:8; 33:8, 10) මෙබැවින්, යේසුස්වහන්සේගේ පූජක සේවාවන්ගෙන් දැන් අපි ප්‍රයෝජන ලබනු ඇති අතර, ඉදිරියේදී බලා සිටීමට තවත් ප්‍රයෝජන බොහොමයක් තිබේ!