සෝදිසියෙන් ඉන්න! සාතන්ට ඕනෙ ඔයාව ගිල දමන්නයි
“සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.”—1 පේතෘ. 5:8.
1. දේවදූතයෙක් සාතන් බවට පත් වුණේ කොහොමද?
එක කාලෙකදී ඔහුට යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් තිබුණා. ඒත් කාලයක් යද්දී ඒ දේවදූතයාට ඕන වුණා මිනිසුන්ගේ නමස්කාරය තමන්ට ලබාගන්න. ඒ වැරදි ආශාව නැති කරගන්නවා වෙනුවට ඒ ගැන තව තවත් හිතපු ඔහු, අන්තිමේදී දෙවිට විරුද්ධව පව් කළා. (යාකො. 1:14, 15) ඔහුගේ නම මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒත් දැන් අපි ඔහුව හඳුන්වන්නේ සාතන් කියලා. “ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ.” දෙවිට විරුද්ධව කැරලිගහපු ඔහු “බොරුවේ පියායි.”—යොහ. 8:44.
2, 3. දෙවිගේ ලොකුම සතුරාව “සාතන්,” “යක්ෂයා,” “සර්පයා” සහ “මකරා” කියලා හඳුන්වලා තියෙන්නේ ඇයි?
2 කැරලිගහපු දවසේ ඉඳලම සාතන් යෙහෝවා දෙවිගෙත් මිනිසුන්ගෙත් ලොකුම සතුරා වුණා. බයිබලේ ඔහුව හඳුන්වලා තියෙන විදි දිහා බලද්දී ඔහු මොන තරම් දූෂිත කෙනෙක්ද කියලා පේනවා. සාතන් කියන නමේ තේරුම “විරුද්ධකාරයා” කියන එකයි. ඔහු දෙවිගේ පාලනයට විරුද්ධව සටන් කරන්න ඔහුට පුළුවන් හැම දේම කරනවා. ඔහුට ඕනෙ යෙහෝවා දෙවිගේ පාලනය නැති කරලා දාන්නයි.
3 එළිදරව් 12:9 සාතන්ව හඳුන්වන්නේ “යක්ෂයා” කියලා. ඒකේ තේරුම “අපහාසකරන්නා” කියන එකයි. දෙවි බොරුකාරයෙක් කියලා ඔහු දෙවිට අගෞරව කළා. ඔහුව “මුල් සර්පයා” කියලත් හඳුන්වනවා. ඒ නම කියද්දී ඔහු ඒවව රවට්ටන්න සර්පයෙක්ව යොදාගත්ත හැටි අපිට මතක් වෙනවා. “මහත් මකරා” කියන නමත් ඔහුටම ගැළපෙනවා. මොකද ඔහු දරුණු, කුරිරු, දුෂ්ට කෙනෙක්. ඔහුට ඕනෙ දෙවිගේ අරමුණ ඉටු වෙන එක නවත්තන්නයි. ඒ වගේම දෙවිගේ සෙනඟව විනාශ කරන එකත් ඔහුට තියෙන දුෂ්ට බලාපොරොත්තුවක්.
4. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
4 දෙවි ගැන අපිට තියෙන විශ්වාසය කඩන්න බලාගෙන ඉන්න ප්‍රධානම සතුරා සාතන්. ඒ නිසා “සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි” කියලා බයිබලේ අපිට අනතුරු අඟවනවා. (1 පේතෘ. 5:8) අපේ සතුරාට තියෙන ගතිලක්ෂණ 3ක් ගැන අපි මේ ලිපියෙන් බලමු. අපි සෝදිසියෙන් ඉන්න ඕනෙ ඇයි කියලා තේරුම්ගන්න ඒක අපිට උදව් වෙයි.
සාතන් බලවත් කෙනෙක්
5, 6. (අ) දේවදූතයන් “බලසම්පන්නයි” කියන්නේ ඇයි? (ආ) “මරණය ගෙන ඒමට බලය” සාතන්ට තියෙනවා කියන්නේ ඇයි?
5 දේවදූතයන් හුඟක් “බලසම්පන්නයි.” (ගීතා. 103:20) ඔවුන් මිනිසුන්ට වඩා බුද්ධිමත්. ඒ වගේම ශක්තිමත්. දෙවිට විශ්වාසවන්ත දේවදූතයන් ඔවුන්ගේ බලය යොදාගෙන හුඟක් හොඳ දේවල් කරලා තියෙනවා. උදාහරණෙකට එක දේවදූතයෙක් ඇසිරියානු හමුදාවේ 1,85,000දෙනෙක්ව මරලා දැම්මා. ඒ දේ මිනිසෙක්ට නම් කවදාවත් කරන්න බැහැ. විශාල හමුදාවකට වුණත් ඒක කරන්න අමාරුයි. (2 රාජා. 19:35) තවත් අවස්ථාවකදී දේවදූතයෙක් යේසුස්ගේ නියෝජිතයන්ව හිරගෙයින් බේරගත්තා. ඒ වෙලාවේ එතන මුරකරුවන් හිටියත් ඒ දේවදූතයා ඔවුන්ට නොදැනෙන්න දොරවල් ඇරලා නියෝජිතයන්ව එළියට අරන් ආයෙත් ඒවා වහලා දැම්මා.—ක්‍රියා 5:18-23.
6 හුඟක් දේවදූතයන් ඔවුන්ගේ බලය යොදාගෙන තියෙන්නේ හොඳ දේවල් කරන්න වුණත් සාතන් ඒ බලය යොදාගන්නේ නපුරු දේවල් කරන්නයි. ඔහුව “ලෝකයේ පාලකයා” කියලත් “මේ සමාජයේ දෙවියා” කියලත් බයිබලේ හඳුන්වලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ ඔහුට ලොකු බලයක් තියෙනවා කියන එකයි. (යොහ. 12:31; 2 කොරි. 4:4) ඒ වගේම “මරණය ගෙන ඒමට බලය ඇති” තැනැත්තා හැටියටත් සාතන්ව හඳුන්වලා තියෙනවා. (හෙබ්‍රෙ. 2:14) ඒකෙන් අදහස් කරන්නේ හැම කෙනෙක්වම කෙළින්ම මරලා දාන්නේ සාතන් කියන එක නෙමෙයි. ඒත් සාතන්ගේ නපුරු, සැහැසික ආකල්ප අද ලෝකෙ ඉන්න වැඩිදෙනෙක්ට බලපාලා තියෙනවා. ලෝකෙ මේ තරම් අපරාධ, මිනී මැරුම් සිද්ධ වෙන්නේ ඒ නිසයි. ඒ වගේම සියලුම මිනිසුන්ට පාපය සහ මරණය උරුම වුණේ ඒව සාතන් කියපු බොරුව විශ්වාස කරලා ආදම් එක්ක දෙවිට අකීකරු වුණු නිසයි. (රෝම 5:12) යේසුස් සාතන්ව “මිනී මරුවෙක්” කියලා හැඳින්නුව එක පුදුමයක්ද! (යොහ. 8:44) ඇත්තටම අපේ සතුරා හුඟක් බලවත්.
7. තමන් බලවත් කියලා භූතයන් පෙන්නලා තියෙන්නේ කොහොමද?
7 අපි සාතන්ට විරුද්ධ වෙනවා කියන්නේ ඔහුට සහය දෙන, දෙවිගේ පාලනයට විරුද්ධව වැඩ කරන හැමෝටම විරුද්ධ වෙනවා කියන එකයි. දෙවිට අකීකරු වුණු විශාල දේවදූතයන් පිරිසකුත් ඒ අයට ඇතුළත්. ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් කියලයි. (එළි. 12:3, 4) ඔවුන් මිනිසුන්ට වඩා බලවත් කියලත් මිනිසුන්ට වධ හිංසා කරන්න ඔවුන්ට පුළුවන් කියලත් පෙන්නලා තියෙනවා. (මතෙ. 8:28-32; මාක් 5:1-5) ඔවුන්ටත් ඔවුන්ගේ පාලකයා වන සාතන්ටත් ලොකු බලයක් තියෙනවා කියලා අමතක කරන්න එපා. (මතෙ. 9:34) යෙහෝවා දෙවිගේ උදව් නැතුව අපිට කොහොමටවත් සාතන් එක්ක සටන් කරලා ජය ගන්න බැහැ.
සාතන් කුරිරු කෙනෙක්
8. (අ) සාතන්ගේ අරමුණ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) මේ සමාජය සාතන් වගේ කුරිරුයි කියලා ඔයා දකින දේවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?
8 පේතෘස් සාතන්ව “ගොරවන සිංහයෙකුට” සමාන කළා. ‘ගොරවනවා’ කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනෙන් බඩගින්නේ ඉන්න මෘගයෙක් කේන්තියෙන් කෑගහනවා කියන එක අදහස් වෙනවා. සාතන් වගේ කුරිරු, දුෂ්ට කෙනෙක්ට ඒ විස්තරය කදිමට ගැළපෙනවා. ඔහුගේ පාලනය යටතේ මුළු ලෝකෙම තිබුණත් ඔහුට ඒ මදි. බඩගින්නේ ඉන්න සිංහයෙක් වගේ ඔහුට ඕනෙ තව තව අයව ගොදුරු කරගන්න. (1 යොහ. 5:19) ඔහුගේ ප්‍රධානම ඉලක්කය අභිෂේක ලත් අය. ඔවුන්ට සහය දෙන “වෙනත් බැටළුවන්වත්” ඔහු ගොදුරු කරගන්න මාන බලනවා. (යොහ. 10:16; එළි. 12:17) ඔහුගේ අරමුණ කොහොමහරි යෙහෝවා දෙවිගේ සෙනඟව මේ පොළොවෙන් අතු ගාලා දාන්නයි. පළවෙනි සියවසේ ඉඳන් අද වෙන කල් ඔවුන්ට විඳින්න සිද්ධ වෙලා තියෙන වධ හිංසාවලින් ඒක හොඳටම ඔප්පු වෙනවා.
9, 10. (අ) ඊශ්‍රායෙල්වරුන්ව ගොදුරු කරගන්න සාතන් උත්සාහ කළේ කොහොමද? (උදාහරණ දෙන්න.) (ආ) සාතන් ඔවුන්වම ගොදුරු කරගන්න හැදුවේ ඇයි? (ඇ) යෙහෝවා දෙවිගේ සේවකයෙක් බරපතළ වරදක් කරද්දී සාතන්ට කොහොම හැඟෙනවා ඇතිද?
9 සාතන්ගේ කුරිරුකම පැහැදිලි වෙන තවත් පැත්තක් තියෙනවා. බඩගින්නේ ඉන්න සිංහයෙක් තමන්ගේ ගොදුරට කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. ගොදුරු කරගන්න සතාව මරන්න කලින්වත් ඊටපස්සෙවත් ඔහුට ඒ සතා ගැන කිසිම දුකක් දැනෙන්නේ නැහැ. සාතනුත් ඒ වගේ. තමන්ට ගොදුරු වෙන අය ගැන ඔහුට කිසිම අනුකම්පාවක් නැහැ. ඊශ්‍රායෙල්වරුන් ගැන හිතන්න. ඔවුන් අනාචාරයට, කෑදරකමට ගොදුරු වුණු හැම වතාවකම ඔහුට කොහොම හැඟෙන්න ඇද්ද! සිම්රී අනාචාරයේ යෙදුණු වෙලාවේ, ගෙහාසී කෑදර විදිහට වැඩ කරපු වෙලාවේ සාතන්ට තමන්ගේ ජයග්‍රහණය ගැන කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද!—ගණන්. 25:6-8, 14, 15; 2 රාජා. 5:20-27.
10 සාතන් ඇයි ඊශ්රායෙල්වරුන්වම ගොදුරු කරගන්න උත්සාහ කළේ? ඒකට හේතුව ගැලවුම්කරුයි. ඔහු තමයි සාතන්ව විනාශ කරලා පාලනය කරන්න යෙහෝවා දෙවිට තියෙන අයිතිය තහවුරු කරන්නේ. (උත්. 3:15) ඒ ගැලවුම්කරු පැමිණෙන්නේ ඊශ්‍රායෙල් ජාතියෙන් කියලා සාතන් දැනගෙන හිටයා. ඒ නිසයි ඊශ්‍රායෙල් සෙනඟට දෙවිගේ අනුමැතිය නැති වෙනවා දකින්න ඔහුට ඕන වුණේ. ඔවුන්ව අපවිත්‍ර සෙනඟක් කරන්න ඔහු නොගත්ත උත්සාහයක් නැහැ. වරදක් කරපු නිසා මෝසෙස්ට පොරොන්දු දේශයට යන්න බැරි වුණු එක ගැන සාතන්ට අනුකම්පාවක් දැනුණා කියලා ඔයා හිතනවද? දාවිත් අනාචාරයට වැටුණා කියලා සාතන්ට පොඩි දුකක් හරි දැනුණා කියලා ඔයා හිතනවද? නැහැ. දෙවිගේ සේවකයන් බරපතළ වරදක් කරන වතාවක් ගාණේ ඔහු සතුටු වෙනවා. දෙවිට සරදම් කරන්න ඔහු ඒවා අවස්ථාවන් කරගන්නවා.—හිතෝ. 27:11.
11. සාතන් සාරාව ගොදුරු කරගන්න උත්සාහ කළේ ඇයි?
11 සාතන්ට වැඩියෙන්ම ඕනෙ වුණේ පොරොන්දු වුණු ගැලවුම්කරු එන්න තිබුණු පෙළපත නැති කරලා දාන්නයි. උදාහරණෙකට යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කතා කරලා ඔහුගෙන් “මහත් ජාතියක්” බිහි වෙනවා කියලා කිව්වට පස්සේ වුණු දේ බලන්න. (උත්. 12:1-3) ආබ්‍රහම් සහ සාරා ඊජිප්තුවේ ඉද්දී පාරාවෝ රජ, සාරාව ඔහුගේ මාලිගාවට අරන් ගියා. ඔහුට ඕන වුණේ සාරාව තමන්ගේ බිරිඳ කරගන්න. ඒත් යෙහෝවා දෙවි සාරාව බේරගත්තා. (උත්පත්ති 12:14-20 කියවන්න.) ඊසාක් ඉපදෙන්න ටික කාලෙකට කලින් ඔවුන් ගෙරාර් නුවරේ ඉද්දීත් ඒ වගේම දෙයක් වුණා. (උත්. 20:1-7) ඒ දේවල් පිටිපස්සේ හිටියේ සාතන් වෙන්න බැරිද? මතකද, සාරා කියන්නේ ධනවත් නගරෙක සැපවත් ජීවිතයක් අත්හැරලා කූඩාරම්වල ජීවත් වෙන්න ආපු කෙනෙක් කියලා. පාරාවෝගේ සහ අබිමෙලෙක්ගේ රජමැදුර දැකලා අත්හැරලා ආපු සැපවත් ජීවිතේ ලබාගන්න සාතන් සාරාගේ හිතේ ආශාවක් ඇති කරන්න හැදුවද? සාරා තමන්ගේ සැමියාටත් යෙහෝවා දෙවිටත් ද්‍රෝහි වෙලා ඒ රජ කෙනෙක් එක්ක විවාහ වෙයි කියලා සාතන් හිතුවද? බයිබලේ ඒ ගැන කියන්නේ නැහැ. ඒත් එහෙම කරලා ගැලවුම්කරුගේ පෙළපතින් සාරාව අයින් කරන්න පුළුවන් වුණා නම් සාතන් ලොකු සතුටක් ලබයි කියලා නම් අපි දන්නවා. සාරා වගේ යහපත් කෙනෙක්ගේ විවාහ ජීවිතේ බිඳ වැටුණා කියලා සාතන් දුක් වෙයිද? එයා දිනාගෙන තිබුණු හොඳ නම, යෙහෝවා දෙවි එක්ක තිබුණු බැඳීම නැති කරගත්තා කියලා සාතන් දුක් වෙයි කියලා හිතනවද? කවදාවත් නැහැ. සාතන් කොයි තරම් කුරිරු, දුෂ්ට කෙනෙක්ද!
12, 13. (අ) යේසුස් ඉපදුණාට පස්සේ සාතන්ගේ කුරිරුකම පැහැදිලි වුණේ කොහොමද? (ආ) යෙහෝවා දෙවිට ආදරේ කරන අද ඉන්න යෞවනයන් ගැන සාතන්ට කොහොම හැඟෙනවා ඇති කියලද ඔයා හිතන්නේ?
12 ඊට අවුරුදු සිය ගාණකට පස්සේ යේසුස් ඉපදුණා. සාතන් ඔහුව දැක්කේ හුරතල්, හුරුබුහුටි දරුවෙක් විදිහටද? ඒ දරුවා වැඩිහිටියෙක් වුණාම පොරොන්දු වුණු ගැලවුම්කරු වෙනවා කියලා සාතන් දැනගෙන හිටියා. ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණෙන ප්‍රධානම තැනැත්තා වන යේසුස් අනාගතයේදී “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමට” නියමිතව තිබුණා. (1 යොහ. 3:8) අසරණ දරුවෙක්ව මරලා දාන එක කුරිරු දෙයක් කියලා සාතන් හිතුවද? හරි වැරැද්ද ගැන හිතන්න සාතන්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට ඕනෙ වුණේ ළදරු යේසුස්ව මරලා දාන්න. ඔහු ඒක කරන්න හැදුවේ කොහොමද?
13 “යුදෙව්වරුන්ව පාලනය කරන රජෙක්” ඉපදිලා කියලා ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් දැනගත්ත වෙලාවේ ඉඳන් හෙරොද් රජ හිටියේ කේන්තියෙන්. ඔහුට ඕන වුණා ඒ දරුවාව මරලා දාන්න. (මතෙ. 2:1-3, 13) ඒ නිසා බෙත්ලෙහෙමේ සහ ඒ අවට සියලු ප්‍රදේශවල හිටපු අවුරුදු 2ට අඩු සියලුම පිරිමි දරුවන්ව මරලා දාන්න කියලා ඔහු නියෝග කළා. (මතෙව් 2:13-18 කියවන්න.) ඒත් ඒ කුරිරු සමූල ඝාතනයෙන් යේසුස් බේරුණා. ඒ සිද්ධියෙන් අපිට තේරෙන්නේ සාතන්ට ජීවිත ගැන කිසිම වටිනාකමක් නැහැ කියලා නේද? අඩු තරමේ අසරණ බිලිඳුන් ගැනවත් ඔහුගේ හිතේ කිසිම අනුකම්පාවක් නැහැ. සාතන් කියන්නේ කුරිරු, ගොරවන සිංහයෙක් වගේ කෙනෙක්.
සාතන් රැවටිලිකාරයෙක්
14, 15. සාතන් මිනිසුන්ගේ ‘මනස් අන්ධ කරලා’ තියෙන්නේ කොහොමද?
14 අපේ ආදරණීය දෙවිගෙන් මිනිසුන්ව ඈත් කරන්න සාතන්ට පුළුවන් වෙන්නේ ඔවුන්ව රවට්ට ගත්තොත් විතරයි. (1 යොහ. 4:8) සාතන් වැඩිදෙනෙක්ව රවට්ටගෙන තියෙන නිසා “දෙවිගේ මඟ පෙන්වීම්” තමන්ට ඕනෙ කියලා ඔවුන් තේරුම්ගන්නේ නැහැ. (මතෙ. 5:3) ඔහු මිනිසුන්ගේ ‘මනස් අන්ධ කර ඇති’ නිසා යෙහෝවා දෙවි ගැන සත්‍යය ඔවුන්ගේ ඇස් පනා පිටම තිබුණත් ඔවුන්ට ඒක පේන්නේ නැහැ.—2 කොරි. 4:4.
15 මිනිසුන්ව රවට්ටන්න සාතන් යොදාගන්න ප්‍රධානම දේ අසත්‍යය උගන්වන ආගම්. යෙහෝවා දෙවි “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා” කියලා සාතන් දන්නවා. (නික්. 20:5) ඒ නිසා මිනිසුන් මුතුන්මිත්තන්ට, ස්වභාවධර්මයට, සතුන්ට එහෙම නැත්නම් වෙන ඕනම කෙනෙකුට, ඕනම දේකට නමස්කාර කරනවා දකිද්දී සාතන් කොයි තරම් සතුටු වෙනවා ඇද්ද! තමන්ගේ නමස්කාරය දෙවි පිළිගන්නවා කියලා හිතන හුඟක් අයට තියෙන්නේ වැරදි විශ්වාසයන්. ඔවුන් කරන්නේ කිසි තේරුමක් නැති වත්පිළිවෙත්. ඔවුන් හරියට යෙසායාගේ කාලේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟ වගේ. දෙවි ඔවුන්ට මෙහෙම කිව්වා. “ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද? මට සවන් දී, හොඳ දේ කන්න. දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.”—යෙසා. 55:2.
16, 17. (අ) “සාතන්! මගෙන් අහකට යන්න” කියලා යේසුස් පේතෘස්ට කිව්වේ ඇයි? (ආ) සෝදිසියෙන් ඉන්න එක නතර කරන්න සාතන් අපිව රවට්ටන්නේ කොහොමද?
16 සාතන්ට පුළුවන් උද්යෝගයෙන් දෙවිට සේවය කරන කෙනෙක්ව වුණත් රවට්ටගන්න. පේතෘස් ගැන හිතන්න. තමන්ගේ මරණය ගැන යේසුස් කතා කරපු වෙලාවේ ඔහුට හුඟක් ආදරේ කරපු පේතෘස් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ.” ඒ වෙලාවේ යේසුස් ඔහුට කිව්වේ “සාතන්! මගෙන් අහකට යන්න” කියලයි. (මතෙ. 16:22, 23) ඔහු පේතෘස්ට “සාතන්” කිව්වේ ඇයි? තමන්ගේ ජීවිතේ පූජා කරන්න නියමිත වෙලාව ළං වෙමින් තියෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ ජීවිත පූජාවේ ප්‍රතිඵලයක් විදිහට සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු වෙනවා. යේසුස්ට මුහුණ දෙන්න තිබුණේ මිනිස් ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවටයි. ඒක යේසුස්ට තමන් ගැන හිතන්න වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ යේසුස් සෝදිසියෙන් ඉන්නේ නැතුව තමන් ගැන හිතනවා දකින්න සතුටු වුණේ වෙන කවුරුත් නෙමෙයි සාතන් කියලා යේසුස් තේරුම්ගත්තා.
17 මේ දුෂ්ට සමාජයේ අවසානයට තව වැඩි දවසක් නැහැ. අපි ජීවත් වෙන්නේ තීරණාත්මක කාලෙක. සාතන්ට ඕනෙ නැති වෙන්න තියෙන මේ දුෂ්ට සමාජයේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න හිතාගෙන අපි වැඩ කරනවා දකින්නයි. අපි ජීවත් වෙන්නේ අවසාන දවස්වල කියලා අපිට අමතක වෙනවටයි. ඒ වගේම අපි සෝදිසියෙන් ඉන්න එක නතර කරනවා දකින්නයි. ඒ දේ ඔයාට වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට “සෝදිසියෙන් ඉන්න.” (මතෙ. 24:42) අවසානයට තව කල් තියෙනවා කියලා නැත්නම් ඒක කවදාවත් එන එකක් නැහැ කියලා සාතන් ඔයාගේ හිතට කොඳුරලා කියන බොරුවට රැවටෙන්න එපා.
18, 19. (අ) සාතන් අපිව රවට්ටන්න අපිට අපි ගැන හැඟෙන විදහ යොදාගන්නේ කොහොමද? (ආ) දිගටම සෝදිසියෙන් ඉන්න යෙහෝවා දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?
18 සාතන් අපිව රවටන තවත් විදිහක් තියෙනවා. ඒ තමයි දෙවිගේ ආදරේ ලබන්න තරම් අපි වටින්නේ නැහැ, යෙහෝවා දෙවි අපිට කවදාවත් සමාව දෙන්නේ නැහැ කියන හැඟීම් අපි තුළ ඇති කරන එක. ඒත් පොඩ්ඩක් හිතන්න, දෙවිගේ ආදරේ ඇත්තටම නැති කරගෙන තියෙන්නේ කවුද? ඒ සාතන් නේද? යෙහෝවා දෙවි කවදාවත් සමාව දෙන්නේ නැත්තේ කාටද? සාතන්ට නේද? ඒත් අපිට දෙවි සලකන්නේ එහෙම නෙමෙයි. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ.” (හෙබ්‍රෙ. 6:10) යෙහෝවා දෙවි වෙනුවෙන් අපි කරන හැම දෙයක්ම ඔහුට හුඟක් වටිනවා. අපි ඔහු වෙනුවෙන් කරන සේවය කවදාවත් වතුරේ යන්නේ නැහැ. (1 කොරින්ති 15:58 කියවන්න.) ඒ නිසා සාතන්ගේ බොරුවලට රැවටෙන්න එපා.
19 සාතන් මොන තරම් බලවත්, කුරිරු, රැවටිලිකාර කෙනෙක්ද කියලා අපිට පැහැදිලියි. ඒ වගේ බලවත් කෙනෙක් එක්ක සටන් කරලා ජය ගන්න අපිට පුළුවන්ද? ඔව්. අපේ උදව්වට යෙහෝවා දෙවි ඉන්නවා. සාතන් “කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද” කියලා දැනගන්න දෙවිගේ වචනය අපිට උදව් කරනවා. (2 කොරි. 2:11) සාතන් අපිට පහර දෙන විවිධ ක්‍රම අපි හඳුන ගත්තොත් සෝදිසියෙන් ඉන්න අපිට ලේසියි. ඒත් ඔහුගේ උපක්‍රම දැනගෙන ඉඳලා විතරක් මදි. බයිබලේ කියන්නේ “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියලයි. (යාකො. 4:7) සාතන් එක්ක සටන් කරලා ජය ගන්න උදව් වෙන පැති 3ක් ගැන ඊළඟ ලිපියෙන් බලමු.