වෙනත් බැටළුවන් සහ අලුත් ගිවිසුම
“සබත් දවස කඩ නොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට [පමුණුවන්නෙමි].”—යෙසායා 56:6, 7.
1. (අ) යොහන්ගේ දර්ශනයට අනුව, යෙහෝවාගේ විනිශ්චයේ සුළඟ වළක්වාගනිමින් සිටින කාලය අතරතුර සම්පූර්ණ කරනු ලබන්නේ කුමක්ද? (ආ) යොහන් දුටුවේ කුමන ආකාරයේ අපූර්ව සෙනඟක්ද?
‘දෙවිගේ ඉශ්රායෙල්ට’ අයත් සියලුම සාමාජිකයන්ව මුද්‍රා කිරීම සම්පූර්ණ කරනු ලබමින් සිටි කාලය අතරතුර වළක්වාගෙන සිටි යෙහෝවාගේ විනිශ්චයේ විනාශකාරි සුළඟ ප්‍රේරිත යොහන් එළිදරව් පොතේ සඳහන් සතරවන දර්ශනයේදී දුටුවා. ආබ්‍රහම්ගේ වංශයේ ප්‍රධාන කොටස වන යේසු කරණකොටගෙන මුලින්ම ආශීර්වාද ලබන්නේ මොවුනුයි. (ගලාති 6:16; උත්පත්ති 22:18; එළිදරව් 7:1-4) ‘සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවිටත් බැටළු පැටවාටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් මොරගසන, සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ එම දර්ශනයේදීම යොහන් දුටුවා. (එළිදරව් 7:9, 10) ‘අපේ බැටළු පැටවාට ගැළවීම අයිතිය’ කියා පැවසීමෙන් මහත් සමූහය පෙන්වන්නේ, තමන්ද ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන බවයි.
2. මහත් සමූහය පෙනී සිටියේ කවදාද? එමෙන්ම එය හඳුනාගනු ලබන්නේ කෙසේද?
2 මෙම මහත් සමූහය 1935දී හඳුනාගනු ලැබූ අතර, අද එහි සාමාජිකයන් ගණන මිලියන පහකට වඩා වැඩියි. මහත් පීඩාවෙන් බේරී ජීවත් වීමට ලකුණු කර සිටින එහි සාමාජිකයන්ව, යේසු “එළුවන්” කෙරෙන් “බැටළුවන්” වෙන් කරන කාලයේදී, සදාකාල ජීවනය සඳහා වෙන් කරනු ලබන්න යනවා. මහත් සමූහයට අයත් ක්‍රිස්තියානීන් බැටළු ගාල් පිළිබඳ යේසුගේ උපමාවේ ‘වෙනත් බැටළුවන්’ අතර සිටිනවා. පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.—මතෙව් 25:31-46; යොහන් 10:16; එළිදරව් 21:3, 4.
3. අලුත් ගිවිසුම සම්බන්ධයෙන් ගත් කල, ආලේප ලත් ක්‍රිස්තියානීන් වෙනත් බැටළුවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද?
3 එක්ලක්ෂ සතළිස් සාරදහස්දෙනා සඳහා ආබ්‍රහම් ආශ්රිත ගිවිසුමේ ආශීර්වාද අලුත් ගිවිසුම මගින් පරිපාලනය කරනු ලබනවා. මෙම ගිවිසුමේ හවුල්කරුවන් වශයෙන්, ඔවුන් “ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව යටතට” හා ‘ක්‍රිස්තුස් කෙරෙහි ව්‍යවස්ථාව යටතට’ පැමිණෙනවා. (රෝම 6:15, NW; 1 කොරින්ති 9:21) එනිසා යේසුගේ මරණය සිහි කිරීම පවත්වන අවස්ථාවේදී, දෙවිගේ ඉශ්රායෙල්ට අයත් සාමාජිකයන් 1,44,000දෙනා පමණක් යෝග්‍ය ලෙස සංකේතවලට පංගුකාරයන් වෙනවා; එමෙන්ම ඔවුන් සමඟ පමණයි යේසු රාජ්‍යයක් සඳහා තම ගිවිසුම පිහිටුවාගත්තේ. (ලූක් 22:19, 20, 29) මහත් සමූහයට අයත් සාමාජිකයන් මෙම අලුත් ගිවිසුමේ හවුල්කරුවන් වන්නේ නැහැ. කෙසේවෙතත්, ඔවුන් දෙවිගේ ඉශ්රායෙල් සමඟ ඇසුරු කරමින් ඔවුන්ගේ ‘දේශයේ’ ඔවුන් සමඟ වාසය කරනවා. (යෙසායා 66:8) එනිසා ඔවුන්ද යෙහෝවාගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව යටතට හා ක්‍රිස්තුස් කෙරෙහි ව්‍යවස්ථාව යටතට පැමිණෙන බව පැවසීම සාධාරණයි. අලුත් ගිවිසුමෙහි හවුල්කරුවන් නොවුණත්, ඔවුන් එහි ප්‍රයෝජන ලබන්නන් වෙනවා.
“විදේශීන්” සහ ‘දෙවිගේ ඉශ්රායෙල්’
4, 5. (අ) යෙසායා පවසන පරිදි, යෙහෝවාට සේවය කළේ කුමන කණ්ඩායමද? (ආ) යෙසායා 56:6, 7 මහත් සමූහය කෙරෙහි ඉටු වෙන්නේ කෙසේද?
4 අනාගතවක්තෘ යෙසායා මෙසේ ලිව්වා: ‘යෙහෝවාට මෙහෙකරන්ටත් ඔහුගේ නාමයට ප්‍රේම කරන්ටත් ඔහුගේ සේවකයන්ව සිටින්ටත් යෙහෝවාට එකතු වන්නාවූ, සබත් දවස කඩ නොකර ඒක රක්ෂා කරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිර ලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.’ (යෙසායා 56:6, 7) ඉශ්රායෙල් සම්බන්ධයෙන් මෙයින් අදහස් වූයේ, “විදේශීන්,” එනම් ඉශ්රායෙල් නොවන්නන්, යෙහෝවාගේ නාමයට ප්‍රේම කරමින්ද ව්‍යවස්ථා ගිවිසුමේ නියමයන්ට කීකරු වෙමින්ද සබත් පවත්වමින් හා දේවමාළිගාවෙහි, එනම් දෙවිගේ ‘යාච්ඤා ගෘහයෙහි’ පූජා ඔප්පු කරමින්ද ඔහුට නමස්කාර කළ බවයි.—මතෙව් 21:13.
5 අපගේ දවසේදී, ‘යෙහෝවාට එකතු වී සිටින විදේශීන්’ වන්නේ මහත් සමූහයයි. මොවුන් දෙවිගේ ඉශ්රායෙල් සමඟ ඇසුරු කරමින් යෙහෝවාට සේවය කරනවා. (සෙකරියා 8:23) දෙවිගේ ඉශ්රායෙල් මෙන් ඔවුන්ද එම පිළිගත හැකි පූජා ඔප්පු කරනවා. (හෙබ්‍රෙව් 13:15, 16) ඔවුන් දෙවිගේ ආත්මික දේවමාළිගාව වන ඔහුගේ ‘යාච්ඤා ගෘහයෙහි’ නමස්කාර කරනවා. (එළිදරව් 7:15 සසඳන්න.) ඔවුන් සතිපතා සබත් පවත්වනවාද? මෙසේ කරන්න කියා ආලේප ලත් අයටවත් වෙනත් බැටළුවන්ටවත් අණ කර නැහැ. (කොලොස්සි 2:16, 17) කෙසේවෙතත්, පාවුල් ආලේප ලත් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ පැවසුවා: ‘දෙවිගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද දෙවි තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක් මෙන්, ඔහුගේ විශ්රාමස්ථානයට ඇතුල් වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය.’ (හෙබ්‍රෙව් 4:9, 10) එම හෙබ්‍රෙව්වරුන් ‘දෙවිගේ ධර්මිෂ්ඨකමට’ තමුන්වම යටත් කරගත් විට, ඔවුන් මෙම ‘සබත් නිවාඩුවට’ ඇතුල් වූ අතර, ව්‍යවස්ථාවේ ක්‍රියා පැවැත්වීමෙන් තමන් ධර්මිෂ්ඨ බව ඔප්පු කිරීම සඳහා උත්සාහ කිරීමෙන් නිවාඩු ගත්තා. (රෝම 10:3, 4) ආලේප ලත් අන්‍යජාතික ක්‍රිස්තියානීන් යෙහෝවාගේ ධර්මිෂ්ඨකමට තමන්වම යටත් කරගැනීමෙන් එම නිවාඩුවම භුක්ති විඳිනවා. එම නිවාඩුව භුක්ති විඳීමේදී මහත් සමූහය ඔවුන් හා එක් වෙනවා.
6. අදදින වෙනත් බැටළුවන් අලුත් ගිවිසුම සම්බන්ධයෙන් ස්ථිරව සිටින්නේ කෙසේද?
6 තවදුරටත්, පුරාණයේ විසූ විදේශීන් ව්‍යවස්ථා ගිවිසුමෙහි ස්ථිර ලෙස පැවතියාක් මෙන් වෙනත් බැටළුවන්ද අලුත් ගිවිසුමෙහි ස්ථිරව පවතිනවා. කිනම් ආකාරයෙන්ද? එහි හවුල්කරුවන් බවට පත්වීමෙන් නොව, නමුත් ඒ හා සම්බන්ධ නීතිවලට යටත් වීමෙන් හා එහි විධිවිධානයන්ගෙන් ප්‍රයෝජන ගැනීමෙනුයි. (යෙරෙමියා 31:33, 34 සසඳන්න.) ඔවුන්ගේ ආලේප ලත් සහකාරයන් මෙන් වෙනත් බැටළුවන්ද යෙහෝවාගේ ව්‍යවස්ථාව ‘තමන්ගේ හෘදයේ’ ලියාගෙන තිබෙනවා. ඔවුන් යෙහෝවාගේ ආඥාවලට හා ප්‍රතිපත්තිවලට ගැඹුරු ප්‍රේමයක් පෙන්වමින් ඒවාට කීකරු වෙනවා. (ගීතාවලිය 37:31, NW; 119:97) ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන් ඔවුන්ද යෙහෝවාව හඳුනනවා. (යොහන් 17:3) චර්මච්ඡේදනය ගැන කුමක් කිව හැකිද? අලුත් ගිවිසුම පිහිටුවීමට අවුරුදු 1,500කට පමණ කලින්, මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගෙන් මෙසේ ඕනෑකමින් ඉල්ලා සිටියා: “නුඹලාගේ හෘදයවල චර්මාග්‍රය ඡෙද්යකරගන්න.” (ද්විතීය කථාව 10:16; යෙරෙමියා 4:4) අනිවාර්ය මාංසික චර්මච්ඡේදනය අහෝසි වුණත්, ආලේප ලත් අය මෙන්ම වෙනත් බැටළුවන්ද තමන්ගේ හෘද “චර්මඡේද්‍යය” කරගත යුතුයි. (කොලොස්සි 2:11) අවසානයේදී, යෙහෝවා යේසු වැගුරූ ‘ගිවිසුමේ ලේ’ නමැති පදනම මත වෙනත් බැටළුවන්ගේ වැරදිවලට කමාව දෙනවා. (මතෙව් 26:28; 1 යොහන් 1:9; 2:2) දෙවි 1,44,000දෙනා මෙන් ඔවුන්ව ආත්මික පුත්‍රයන් හැටියට හදාවඩා ගන්නේ නැහැ. නමුත්, ආබ්‍රහම්ව දෙවිගේ මිත්‍රයා වශයෙන් ධර්මිෂ්ඨකොට ගණන් ගත්තාක් මෙන් වෙනත් බැටළුවන්වද ඔහු ධර්මිෂ්ඨකොට ගණන් ගන්නවා.—මතෙව් 25:46; රෝම 4:2, 3; යාකොබ් 2:23.
7. අදදින වෙනත් බැටළුවන් සඳහා දිගහැරෙන්නේ කිනම් අපේක්ෂාවද? ආබ්‍රහම් මෙන් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලබන්නේ කවුරුන්වද?
7 එක්ලක්ෂ සතළිස් සාරදහස්දෙනා සම්බන්ධයෙන් ගත් කල, ධර්මිෂ්ඨ කොට ගණන්ගනු ලැබීම මගින් යේසුස් සමඟ ස්වර්ගික රාජ්‍යයෙහි පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට මඟ විවෘත වෙනවා. (රෝම 8:16, 17; ගලාති 2:16) වෙනත් බැටළුවන් සම්බන්ධයෙන් ගත් කල, දෙවිගේ මිත්‍රයන් වශයෙන් ධර්මිෂ්ඨකොට ගණන්ගනු ලැබීම මගින් ඔවුන්ට—මහත් සමූහයේ කොටසක් හැටියට අර්මගෙදොන්වලින් බේරී ජීවත් වීමෙන් හෝ ‘ධර්මිෂ්ඨයන්ගේ නැවත-නැඟිටීමෙන්’—පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව වැලඳගැනීමට ඉඩ සැලසෙනවා. (ක්‍රියා 24:15) එවන් බලාපොරොත්තුවක් ඇතුව සිටීමත්, විශ්වලෝක පරමාධිපතිගේ මිතුරෙක් වීමට හා “ඔහුගේ මණ්ඩපයෙහි ආගන්තුකයෙකු” වීමට ලැබීමත් මොනතරම් මාහැඟි වරප්‍රසාදයක්ද! (ගීතාවලිය 15:1, 2, NW) ඔව්, ආබ්‍රහම්ගේ වංශය වන යේසු කරණකොටගෙන ආලේප ලත් අය හා වෙනත් බැටළුවන් යන දෙපිරිසම ආශීර්වාද ලබනවා.
වඩා උතුම් සමගි කිරීමේ දවසක්
8. ව්‍යවස්ථාව යටතේ පැවති සමගි කිරීමේ දවසේ පූජාවලින් පූර්වාදර්ශනය කොට දැක්වූයේ කුමක්ද?
8 අලුත් ගිවිසුම ගැන සාකච්ඡා කරමින් සිටියදී, ව්‍යවස්ථා ගිවිසුම යටතේ පැවති වාර්ෂික සමගි කිරීමේ දවස ගැන පාවුල් තම පාඨකයන්ට සිහිගැන්වුවා. එම දවසේදී, වෙන් කරන ලද පූජා ඔප්පු කළා; එකක් පූජක ලෙවී ගෝත්‍රය සඳහා වූ අතර, අනෙක පූජකයන් අයත් නොවූ ගෝත්‍ර 12 සඳහායි. මෙය ස්වර්ගික බලාපොරොත්තුවක් සමඟින් 1,44,000දෙනාටද භූමික බලාපොරොත්තුවක් තිබෙන දශලක්ෂ ගණනකටද ප්‍රයෝජන ගෙනෙන යේසුගේ උතුම් පූජාවේ පූර්වාදර්ශයක් වශයෙන් බොහෝ කලක සිට පැහැදිලි කර තිබෙනවා.a එහි ඉටුවීමේදී, අලුත් ගිවිසුම යටතේ වඩා උතුම් සමගි කිරීමේ දවසක් මගින් යේසුගේ පූජාවේ ප්‍රයෝජන පරිපාලනය කරනු ලබන බව පාවුල් පැහැදිලි කළා. මෙම වඩා උතුම් දවසේ උත්තම පූජකයා වශයෙන් යේසු මිනිසුන්ට “සදාකාල මිදීම” ලබාගැනීම සඳහා සමගි කිරීමේ පූජාවක් ලෙස තමාගේ පරිපූර්ණ ජීවිතය දුන්නා.—හෙබ්‍රෙව් 9:11-24.
9. අලුත් ගිවිසුම යටතේ සිටීමෙන් ආලේප ලත් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට වැලඳගැනීමට හැකි වූයේ කුමක්ද?
9 පළමු සියවසේ විසූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් මේ වන විටත් “[මෝසෙස්ගේ] ව්‍යවස්ථාව ගැන ජ්වලිතව” සිටියා. (ක්‍රියා 21:20) පසුව, පාවුල් යෝග්‍ය ලෙස ඔවුන්ට මෙසේ සිහිගැන්වුවා: “[යේසු] අලුත් ගිවිසුමක මැදිහත්කාරයාව [සිටියි]. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධවූ බැවින්, කැඳවනු ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය.” (හෙබ්‍රෙව් 9:15) අලුත් ගිවිසුම මගින් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ව තමන්ගේ පාප හෙළි කළ පරණ ගිවිසුමෙන් නිදහස් කළා. අලුත් ගිවිසුමේ පිහිටෙන් “සදාකාල [ස්වර්ගික] උරුමයේ පොරොන්දුව” වැලඳගන්න ඔවුන්ට හැකි වුණා.
10. ආලේප ලත් අය මෙන්ම වෙනත් බැටළුවන් දෙවිට ස්තුතිවන්ත වෙන්නේ කුමක් සඳහාද?
10 “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නංවන” “සෑමදෙනාම” මිදීමේ පූජාවේ ප්‍රයෝජන ලබන්න යනවා. (යොහන් 3:16, 36, NW) පාවුල් මෙසේ පැවසුවා: ‘බොහෝදෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජා වූ ක්‍රිස්තුස් [තමන්ගේ ගැළවීම සඳහා තමා දෙස උනන්දුවෙන්, NW] බලාසිටින්නන්ට පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශ වෙයි.’ (හෙබ්‍රෙව් 9:28) අදදින, දෙවිගේ ඉශ්රායෙල්ට අයත් තවමත් ජීවත් වෙමින් සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් හා මහත් සමූහය සාදන දශලක්ෂ ගණන්දෙනාද යේසු දෙස උනන්දුවෙන් බලාසිටින්නන්ට ඇතුළත් වෙනවා; ඔවුන්ටද සදාකාලික උරුමයක් තිබෙනවා. අලුත් ගිවිසුම සඳහා මෙන්ම ඒ සමඟ බැඳී පවතින වඩා උතුම් සමගි කිරීමේ දවස හා ස්වර්ගික අතිශුද්ධස්ථානයේ වසන උත්තම පූජකයා වන යේසුගේ සේවය ඇතුළත් ජීවනදායක ආශීර්වාද සඳහා මෙම කණ්ඩායම් දෙකම දෙවිට ස්තුතිවන්ත වෙනවා.
පරිශුද්ධ සේවයෙහි කාර්ය බහුලව
11. යේසුගේ පූජාව මගින් හෘදය සාක්ෂිය පවිත්‍ර කරගැනීමත් සමඟම ආලේප ලත් අය හා වෙනත් බැටළුවන් යන දෙපිරිසම සතුටින් කුමක් කරනවාද?
11 පරණ ගිවිසුම යටතේ ඔප්පු කළ පාප පූජාවන් හා සසඳා බලද්දී, අලුත් ගිවිසුමේ විධිවිධානය තුළ යේසුගේ පූජාවේ උතුම් වටිනාකම පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ තම ලිපියේදී අවධාරණය කළා. (හෙබ්‍රෙව් 9:13-15) යේසුගේ වඩාත් උතුම් පූජාව මගින් ‘ජීවමාන දෙවිට සේවය කරන පිණිස මළ ක්‍රියාවලින් අපේ හෘදය සාක්ෂිය පිරිසිදු කරගැනීමේ’ හැකියාව ලබා දෙනවා. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල, “පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ [වැරදි]” “මළ [ක්‍රියාවලට]” ඇතුළත් වුණා. අද සිටින ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල, ඒවාට ඇතුළත් වන්නේ, සැබෑ පසුතැවිල්ලක් වී තිබෙන හා දෙවි සමාව දී තිබෙන අතීතයේ කරන ලද පාපයි. (1 කොරින්ති 6:9-11) හෘදය සාක්ෂි පවිත්‍ර කරගැනීමත් සමඟ, ආලේප ලත් ක්‍රිස්තියානීන් ‘ජීවමාන දෙවිට පරිශුද්ධ සේවය පිරිනමනවා.’ එමෙන්ම මහත් සමූහයද ඒ දෙයම කරනවා. ‘බැටළු පැටියාගේ ලෙයින්’ තමන්ගේ හෘදය සාක්ෂි පවිත්‍ර කරගැනීමෙන් පසු, ඔවුන් ‘දෙවිට රෑ දාවල් පරිශුද්ධ සේවය පිරිනමමින්’ ඔහුගේ උතුම් ආත්මික දේවමාළිගාවේ සිටිනවා.—එළිදරව් 7:14, 15, NW.
12. අපට ‘ඇදහිල්ලේ පූර්ණ නිසැකකම’ තිබෙන බව අප පෙන්වන්නේ කෙසේද?
12 ඊට අමතරව, පාවුල් මෙසේ පැවසුවා: “නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව [ඇදහිල්ලේ පූර්ණ, NW] නිසැකකමින් ළඟාවෙමු.” (හෙබ්‍රෙව් 10:22) අපට ‘ඇදහිල්ලේ පූර්ණ නිසැකකම’ තිබෙන බව පෙන්විය හැක්කේ කෙසේද? පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියා: “අපේ [ස්වර්ගික] බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් [තැනැත්තා] විශ්වාසව [සිටියි]. තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.” (හෙබ්‍රෙව් 10:23-25) අපේ ඇදහිල්ල ජීවමාන නම්, අපි ‘අපේ රැස්වීම අත්හරින්න’ යන්නේ නැහැ. ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අපේ සහෝදරයන්ව පෙලඹවීමටත්, ඔවුන් විසින් පොලඹවනු ලැබීමටත්, අපේ බලාපොරොත්තුව භූමික හෝ වේවා ස්වර්ගික හෝ වේවා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අතිවැදගත් වැඩය සඳහා ශක්තිමත් කරනු ලැබීමටත් අපි සතුටු වේවි.—යොහන් 13:35.
‘සදාකාල ගිවිසුම’
13, 14. අලුත් ගිවිසුම සදාකාල එකක් වන්නේ කිනම් ආකාරවලින්ද?
13 එක්ලක්ෂ සතළිස් සාරදහස්දෙනාට අයත් අන්තිම තැනැත්තන් තමන්ගේ ස්වර්ගික බලාපොරොත්තුව අත් පත් කරගත් විට කුමක් සිදු වෙයිද? අලුත් ගිවිසුම ක්‍රියාත්මක වීම නතර වෙයිද? ඒ කාලයේදී දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ඉතිරි වී සිටින සාමාජිකයන් කිසිවෙක් පොළොව මත සිටින්න යන්නේ නැහැ. අලුත් ගිවිසුමෙහි හවුල්කරුවන් සියලුදෙනාම යේසු සමඟ ‘ඔහුගේ පියාගේ රාජ්‍යයෙහි’ සිටින්න යනවා. (මතෙව් 26:29) නමුත් පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියෙහි සඳහන් කළ ඔහුගේ මෙම වදන් අපට මතකයි: ‘සමාදානයේ දෙවි සදාකාල ගිවිසුමක ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරාව මළවුන්ගෙන් නැවත ගෙනාවේය.’ (හෙබ්‍රෙව් 13:20; යෙසායා 55:3) අලුත් ගිවිසුම සදාකාල එකක් වන්නේ කිනම් අර්ථයෙන්ද?
14 පළමුව, ව්‍යවස්ථා ගිවිසුම මෙන් නොව කවදාවත් ඒ වෙනුවට තව එකක් පිහිටුවන්න යන්නේ නැහැ. දෙවනුව, එහි ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල, යේසුගේ රාජ්‍යතන්ත්‍රය මෙන් නිත්‍යයයි. (ලූක් 1:33 සමඟ 1 කොරින්ති 15:27, 28 සසඳන්න.) ස්වර්ගික රාජ්‍යයට යෙහෝවාගේ අරමුණ තුළ සදාකාල තැනක් හිමි වී තිබෙනවා. (එළිදරව් 22:5) තුන්වෙනුව, වෙනත් බැටළුවන් අලුත් ගිවිසුමේ විධිවිධානයෙන් දිගටම ප්‍රයෝජන ගන්න යනවා. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය කාලයේදී, ඇදහිලිවන්ත මිනිසුන් මේ කාලයේදී කරන්නාක් මෙන් දිගටම ‘යෙහෝවාගේ මාළිගාවේ රෑ දාවල් ඔහුට පරිශුද්ධ සේවය පිරිනමන්න’ යනවා. යේසුගේ “ගිවිසුමේ [ලේවල]” පදනම මත කමා කරනු ලැබූ ඔවුන්ගේ අතීත පාප යෙහෝවා නැවත අවධානයට ලක් කරන්න යන්නේ නැහැ. ඔවුන් යෙහෝවාගේ මිතුරන් වශයෙන් දිගටම ධර්මිෂ්ඨ තත්වයක් භුක්ති විඳින්න යන අතර, ඔහුගේ ව්‍යවස්ථාව ඒ වන විටත් ඔවුන්ගේ හෘදවල ලියා තිබෙන්න යනවා.
15. නව ලොවෙහි තම භූමික නමස්කාරකයන් සමඟ යෙහෝවාගේ සම්බන්ධතාව විස්තර කරන්න.
15 ‘මම ඔවුන්ගේ දෙවිය, ඔවුන් මාගේ සෙනඟය’ කියා මෙම මිනිස් සේවකයන් සම්බන්ධයෙන් යෙහෝවාට ඒ කාලයේදී පවසන්න හැකි වේවිද? ඔව්. ‘ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුන් ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟ සිටින්නේය.’ (එළිදරව් 21:3) ඔවුන් “ශුද්ධවන්තයන්ගේ කඳවුර” හා “ප්‍රියවූ නුවර” වන යේසුස් ක්‍රිස්තුස්ගේ ස්වර්ගික මනාලියගේ භූමික නියෝජිතයන් බවට පත් වෙන්න යනවා. (එළිදරව් 14:1; 20:9; 21:2) මේ සෑම දෙයක්ම සිදුවීමට ඉඩ කඩ සැලසෙන්නේ යේසු වැගිරූ “ගිවිසුමේ ලේ” කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල හා පොළොව මත සිටියදී දෙවිගේ ඉශ්‍රායෙල්ව සිටි ස්වර්ගික රජවරුන්ට හා පූජකයන්ට ඔවුන්ගේ යටත් වීම නිසයි.—එළිදරව් 5:10.
16. (අ) සිදු විය හැකි කුමන දේවල්ද පොළොව මත නැවත නැඟිටවනු ලබන අයට බලාපොරොත්තු විය හැක්කේ? (ආ) දහස් අවුරුදු පාලනය අවසානයේදී කිනම් ආශීර්වාද ලැබේවිද?
16 පොළොව මත නැවත නැඟිටීම ලබන මියගිය අය ගැන කුමක් කිව හැකිද? (යොහන් 5:28, 29) ආබ්‍රහම්ගේ වංශය වන යේසු කරණකොටගෙන ‘ආශීර්වාද ලැබීමට’ ඔවුන්ටද ආරාධනා කරන්න යනවා. (උත්පත්ති 22:18) ඔවුන්ටද යෙහෝවාගේ නාමයට ප්‍රේම කරන්නත් ඔහුට සේවය කරන්නත් පිළිගත හැකි පූජා ඔප්පු කරන්නත් ඔහුගේ යාච්ඤා ගෘහයෙහි පරිශුද්ධ සේවය පිරිනමන්නත් සිදු වෙනවා. එසේ කරන අය දෙවිගේ විශ්රාමස්ථානයට ඇතුල් වෙන්න යනවා. (යෙසායා 56:6, 7) අවුරුදු දහස නිමා වන විට, යේසුස් ක්‍රිස්තුස්ගේ සහ ඔහුගේ හවුල් පූජකයන් 1,44,000දෙනාගේ සේවාව මගින් ඇදහිලිවන්ත සියලුදෙනාවම මිනිස් පරිපූර්ණත්වය කරා ගෙනැවිත් තිබේවි. ඔවුන් ධර්මිෂ්ඨ අය වෙන්න යනවා; එය හුදෙක් දෙවිගේ මිතුරන් ලෙස ගණන් ගැනීම පමණක් නොවෙයි. ඔවුන් ආදම්ගෙන් උරුම වූ පාපයෙන් සහ මරණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වී සිටීම නිසා, ඔවුන් “ජීවනයට පැමිණෙන්න” යනවා. (එළිදරව් 20:5, NW; 22:2) එය මොනතරම් මාහැඟි ආශීර්වාදයක් වේවිද! අද අපගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, යේසුගේ හා 1,44,000දෙනාගේ පූජක සේවය ඒ කාලයේදී සම්පූර්ණ වී තිබෙන්න යන බව පේනවා. වඩා උතුම් සමගි කිරීමේ දවසේ ආශීර්වාද පූර්ණ ලෙස අදාළ වීම සිදු වෙන්න යනවා. ඒ විතරක් නොවෙයි, යේසු ‘රාජ්‍යය තම පිය වූ දෙවිට භාර දෙන්න’ යනවා. (1 කොරින්ති 15:24) මනුෂ්‍යවර්ගයා සඳහා අවසන් පරීක්ෂණයක් තිබෙන්න යන අතර, ඉන් පසුව සාතන්ව හා ඔහුගේ භූතයන්ව සදහටම විනාශ කරන්න යනවා.—එළිදරව් 20:7, 10.
17. අප ඉදිරියෙහි තිබෙන ප්‍රීතිය සලකා බලද්දී, අප එක් එක්කෙනා කුමක් කිරීමට අදිටන් කරගත යුතුද?
17 ඒ වන විට ආරම්භ වෙන හැඟීම් දනවන කාලයේදී ‘සදාකාල ගිවිසුමට’ යම් වැඩකොටසක් තිබේ නම්, එය ඉටු කරන්න යන්නේ කුමන වැඩකොටසක්ද? ඒ ගැන යමක් පැවසීම අපට අයිති දෙයක් නොවෙයි. මේ දක්වා යෙහෝවා එළිදරව් කර තිබෙන දේවල් දැනට ප්‍රමාණවත්. එය අපව ගරුබිය දනවන හැඟීම්වලින් පුරවයි. ‘අලුත් අහසේ සහ අලුත් පොළොවේ’ අංගයක් වන සදාකාල ජීවනය ගැන නිකමට සිතා බලන්න! (2 පේතෘස් 3:13) එම පොරොන්දුව උරුම කරගැනීම සඳහා අප තුළ තිබෙන ආශාව කිසිවකින් දුර්වල නොවේවා! නොසැලී ස්ථිරව සිටීම පහසු දෙයක් නොවිය හැකියි. පාවුල් මෙසේ පැවසුවා: “[දෙවිගේ] කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල [විඳදරාගැනීම, NW] ඕනෑය.” (හෙබ්‍රෙව් 10:36) ජයගැනීමට සිදු වන ගැටලුව කුමක් වුවත්, මැඩලීමට සිදු වන විරුද්ධවාදිකම කුමක් වුවත්, අප ඉදිරියෙහි තිබෙන ප්‍රීතිය සමඟ ඒවා සලකා බලද්දී, ඒවායේ ගණනකට ගත යුතු දෙයක් නැහැ. (2 කොරින්ති 4:17) එනිසා, අපගෙන් කිසිවෙක් ‘විනාශ වන ලෙස පසුබට නොවෙමු.’ ඒ වෙනුවට අපි ‘ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇතුව සිටින’ අය බව පෙන්වමු. (හෙබ්‍රෙව් 10:39, NW) අපි එක් එක්කෙනාගේ මෙන්ම සෑම කෙනෙකුගේම සදාකාල ආශීර්වාද සඳහා, අප සියලුදෙනාම ගිවිසුම්වල දෙවි වන යෙහෝවා කෙරෙහි පූර්ණ ලෙස දැඩි විශ්වාසය තබමු.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත අලුත් පොළොවකට බේරී ජීවත් වීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ 13වන පරිච්ඡේදය බලන්න.
ඔබ තේරුම්ගත්තාද?
◻ ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අමතරව, ආබ්‍රහම්ගේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබමින් සිටින්නේ කවුද?
◻ අලුත් ගිවිසුම මගින් ආශීර්වාද ලැබීමේදී, වෙනත් බැටළුවන් පරණ ගිවිසුම යටතේ සිටි යුදෙව් ආගමට හැරුණු අයට සමාන වන්නේ කෙසේද?
◻ වඩා උතුම් සමගි කිරීමේ දවස හා සම්බන්ධ විධිවිධාන මගින් වෙනත් බැටළුවන් ආශීර්වාද ලබන්නේ කෙසේද?
◻ පාවුල් අලුත් ගිවිසුම ‘සදාකාල ගිවිසුමක්’ කියා හැඳින්වූයේ ඇයි?
[21වන පිටුවේ කොටුව]
දේවමාළිගාවෙහි පරිශුද්ධ සේවය
ආලේප ලත් ක්‍රිස්තියානීන් සමඟ මහත් සමූහය යෙහෝවාගේ උතුම් ආත්මික දේවමාළිගාවේ භූමික මළුවෙහි නමස්කාරයේ නියැලී සිටිනවා. (එළිදරව් 7:14, 15; 11:2) අන්‍යජාතීන් සඳහා වෙන් කරන ලද මළුවක ඔවුන් සිටින බව නිගමනය කිරීමට කිසිම හේතුවක් නැහැ. යේසු පොළොව මත සිටි කාලයේදී, දේවමාළිගාවෙහි අන්‍යජාතීන්ගේ මළුවක් තිබුණා. කෙසේවෙතත්, සාලමොන් සහ එසකියෙල් දිව්‍යමය ආනුභාවයෙන් ලැබූ දේවමාළිගා සැලසුම්වල අන්‍යජාතීන්ගේ මළුවක් සඳහා කිසිම සැපයුමක් තිබුණේ නැහැ. සාලමොන්ගේ දේවමාළිගාවෙහි පිටත මළුවක් තිබුණා; එහි ඉශ්රායෙල්වරුන් මෙන්ම යුදෙව් ආගමට හැරුණු අයද පුරුෂයන් හා ස්ත්‍රීන්ද එකට එක් වී නමස්කාරයෙහි යෙදුණා. මෙය ආත්මික දේවමාළිගාවේ භූමික මළුව පිළිබඳ අනාවැකිමය ආකෘතියයි; මහත් සමූහයක් මෙහි පරිශුද්ධ සේවය පිරිනමමින් සිටිනවා යොහන් දුටුවා.
කෙසේවෙතත්, උතුම් පූජාසනය පිහිටා තිබූ ඇතුල් මළුවට ඇතුල් වීමට හැකි වූයේ පූජකයන්ට හා ලෙවීවරුන්ට පමණයි; ශුද්ධස්ථානයට ඇතුල් වීමට හැකි වූයේ පූජකයන්ට පමණයි; එමෙන්ම අතිශුද්ධස්ථානයට ඇතුල් වීමට හැකි වූයේ උත්තම පූජකයාට පමණයි. ඇතුල් මළුව හා ශුද්ධස්ථානය මගින් පොළොව මත සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ අද්විතීය ආත්මික තත්වය පෙර ඡායාවක් කොට දක්වන බව වැටහෙනවා. එමෙන්ම අතිශුද්ධස්ථානයෙන් නියෝජනය කෙරෙන්නේ, ආලේප ලත් ක්‍රිස්තියානීන් තමන්ගේ ස්වර්ගික උත්තම පූජකත්වය සමඟින් අමරණීය ජීවිතය ලබාගන්නාවූ ස්වර්ගයයි.—හෙබ්‍රෙව් 10:19, 20.
[23වන පිටුවේ පින්තූරය]
අප ඉදිරියෙහි තිබෙන ප්‍රීතිය සැලකිල්ලට ගනිමින්, අපි ‘ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇතුව සිටිමු’