යෙහෝවාව සතුටු කරන ප්‍රශංසාව නමැති පූජා
“නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, [දෙවි] විසින් පිළිගත හැකිවූ යාගයක් කොට [ඔප්පු කරන්න].”—රෝම 12:1.
1. මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් නියම කරන ලද පූජාවල තිබූ සීමිත වටිනාකම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
“මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.” (හෙබ්‍රෙව් 10:1) මිනිසාගේ ගැළවීම ගැන සලකා බලන කල, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව ඔප්පු කරන ලද සියලුම පූජාවල කල්පවතින වටිනාකමක් නැති බව ප්‍රේරිත පාවුල්ගේ එම ප්‍රබල ප්‍රකාශයෙන් තහවුරු වේ.—කොලොස්සි 2:16, 17.
2. ව්‍යවස්ථාව මගින් නියම කර තිබූ පඬුරු හා පූජා ගැන බයිබලයේ සඳහන් විස්තර තේරුම්ගැනීමට දරන උත්සාහය නිෂ්ඵල එකක් නොවන්නේ මන්ද?
2 පඬුරු හා පූජා ගැන පංච පුස්තකයේ සඳහන් තොරතුරුවලින් අදදින සිටින ක්‍රිස්තියානීන්ට කිසිම ප්‍රයෝජනයක් නැති බව එයින් අදහස් කරයිද? ලොව පුරා පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වී සිටින අය විසින් මෑතකදී බයිබලයේ මුල් පොත් පහ අවුරුද්දක් හා මාස කිහිපයක් තුළදී කියවන ලදි. සමහරුන් මෙහි සඳහන් සෑම විස්තරයක්ම තේරුම්ගැනීමට සෑහෙන වෑයමක් දැරීය. ඔවුන් දැරූ එම වෑයම් නිෂ්ඵල වී තිබේද? එසේ විය නොහැක. මන්ද “ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) මෙහිදී පැනනඟින ප්‍රශ්න වන්නේ, පඬුරු හා පූජා පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් තොරතුරු සම්භාරයෙන් අපට ලබාගත හැකි “සැනසිල්ල” කුමක්ද, එමෙන්ම එයින් ‘ඉගෙනගත’ හැකි දේවල් මොනවාද යන්නයි.
අපේ ඉගෙනගැනීම හා සැනසිල්ල සඳහා
3. අපට තිබෙන මූලික අවශ්‍යතාව කුමක්ද?
3 ව්‍යවස්ථාව මගින් නියම කරන ලද ආකාරයට අප පූජා ඔප්පු කිරීම අවශ්‍ය නැත. එහෙත් එම පූජා මගින් ඉශ්රායෙල්වරුන්ට යම් දුරකට අත් කර දුන් දෙය අපත් අත් කරගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. එම අවශ්‍යතාව වන්නේ දෙවිගේ අනුමැතිය භුක්ති විඳීම හා අපේ පාපවලට සමාව ලබාගැනීමයි. අප එදා මෙන් පූජා ඔප්පු නොකළත්, අපටත් ඔවුන් ලැබූ ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? සත්ව පූජාවල තිබූ සීමිත ප්‍රයෝජන ගැන සඳහන් කිරීමෙන් පසු පාවුල් මෙසේ ප්‍රකාශ කරයි. ‘යේසුස් ලෝකයට එන කල කතා කර: ඔබ පූජාවටත් පඬුරටත් කැමති නොවී, ශරීරයක් මට සූදානම් කර දුන්නේය. මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ ප්‍රසන්න වූයේ නැත. එවිට මම කතා කොට: දෙවි, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීවේය.’—හෙබ්‍රෙව් 10:5-7.
4. පාවුල් ගීතාවලිය 40:6-8හි සඳහන් දෙය යේසුස් ක්‍රිස්තුස්ට අදාළ කර දක්වන්නේ කෙසේද?
4 යේසුස් පැමිණියේ ‘පූජා සහ පඬුරුද,’ ‘දවන පූජා සහ පාප පූජාද,’ දිගටම ඔප්පු කිරීමේ තිබෙන අවශ්‍යතාව පෙන්වා දීමට නොවන බව ගීතාවලිය 40:6-8 උපුටා දක්වමින් පාවුල් පැහැදිලි කරයි. පාවුල් ඉහත සඳහන් වදන් ලියූ කාලයේදී එම පූජාවලට දෙවිගේ අනුමැතිය නොලැබිණ. යේසුස් පොළොවට පැමිණියේ සිය ස්වර්ගික පියා විසින් සූදානම් කරන ලද ශරීරයක් ඇතිවය. එම ශරීරය දෙවි ආදම්ව මැවූ අවස්ථාවේදී සූදානම් කළ ශරීරයට සෑම අතින්ම සමාන විය. (උත්පත්ති 2:7; ලූක් 1:35; 1 කොරින්ති 15:22, 45) උත්පත්ති 3:15හි පුරෝකථනය කර තිබෙන පරිදි, දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වශයෙන් යේසුස්, ස්ත්‍රියගේ ‘වංශයට’ අයත්ව තිබූ කාර්යභාරය මැනවින් ඉටු කළේය. යේසුස්ගේ ‘විලුඹ පොඩි කරනු’ ලැබීය. එහෙත් ඔහු ‘සාතන්ගේ හිස පොඩි කිරීමට’ පියවර ගනු ඇත. මෙයාකාරයෙන් යේසුස් මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීම සඳහා යෙහෝවා යොදාගනු ලැබූ මාධ්‍යය බවට පත් විය. ආබෙල්ගේ කාලයේ සිටම ඇදහිලිවන්තයන් ගැළවීම සඳහා වූ එම මාධ්‍යය දෙස බලා සිටියේය.
5, 6. දෙවි වෙතට එළඹීම සඳහා ක්‍රිස්තියානීන්ට විවෘත වී තිබෙන උතුම් මාර්ගය කුමක්ද?
5 යේසුස් විසින් ඉටු කරන ලද එම විශේෂ කාර්යභාරය ගැන පවසමින් පාවුල් මෙසේ සඳහන් කරයි. ‘අප ඔහු තුළ දෙවිගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ ඔහුව අප වෙනුවට පාපය වෙන්ට දෙවි සැලැස්සුවේය.’ (2 කොරින්ති 5:21) ‘පාපය වෙන්ට සැලැස්සුවේය’ යන ප්‍රකාශය “පාප පූජාවක් වීමට සැලැස්සුවේය [NW, පාදසටහන]” කියාද පරිවර්තනය කළ හැක. ප්‍රේරිත යොහන් ඒ ගැන මෙසේ පවසයි. “[ඔහු] අපේ පව් උදෙසා ශාන්තිකර [සමගි කිරීමේ, NW] පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.” (1 යොහන් 2:2) එදා ඉශ්රායෙල්වරුන්ට පූජා ඔප්පු කිරීම මගින් දෙවි වෙතට එළඹීම සඳහා තිබූ මාධ්‍යය තාවකාලික එකක් වුවත්, අද ක්‍රිස්තියානීන්ට දෙවි වෙතට ළඟාවීම සඳහා වඩාත් උතුම් මාධ්‍යයක් තිබේ. එය නම් යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවයි. (යොහන් 14:6; 1 පේතෘස් 3:18) දෙවි විසින් සපයා තිබෙන මිදීමේ මිල පූජාව කෙරෙහි අපි ඇදහිල්ල තබමින් ඔහුට කීකරු වන්නෙමු නම්, අපේ පාපවලට සමාව ලබාගත හැකි වන අතර දෙවිගේ අනුමැතිය සහ ආශීර්වාද අපට භුක්ති විඳිය හැක. (යොහන් 3:17, 18) ඇත්තෙන්ම එය සැනසිල්ල ගෙන දෙන්නක් නොවේද? කෙසේවෙතත්, මිදීමේ මිල පූජාව කෙරෙහි අපි ඇදහිල්ල තබා තිබෙන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?
6 දෙවි වෙතට එළඹීම සඳහා වඩාත් උතුම් මාධ්‍යයක් ක්‍රිස්තියානීන්ට තිබෙන බව පැහැදිලි කිරීමෙන් අනතුරුව, දෙවිගේ ප්‍රේමනීය සැපයුම කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල මෙන්ම අගය අපට පෙන්විය හැකි ආකාර තුනක් ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් 10:22-25හි ගෙනහැර දක්වයි. පාවුල්ගේ උපදේශය මූලිකවම අදාළ වන්නේ ‘ශුද්ධස්ථානයට ඇතුල් වීමේ මඟ’ විවෘත වී තිබෙන අයට, එනම් ස්වර්ගික ජීවිතයට කැඳවීමක් තිබෙන ආලේප ලත් ක්රිස්තියානීන්ටය. එහෙත් යේසුස්ගේ සමගි කිරීමේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්න කැමති සියලුදෙනාම පාවුල්ගේ දේවානුභාවය ලත් මෙම වදන්වලට අවධානය දීම අවශ්‍යයි.—හෙබ්‍රෙව් 10:20.
පවිත්‍ර වූ නොකැළැල් පූජා ඔප්පු කරන්න
7. (අ) පූජාවක් මගින් සිදු කළ දේවල් හෙබ්‍රෙව් 10:22හි සඳහන් දෙයින් පිළිබිඹු වන්නේ කෙසේද? (ආ) පූජාවක් දෙවිට පිළිගත හැකි බවට සහතික වීම සඳහා කළ යුතුව තිබුණේ කුමක්ද?
7 මුලින්ම පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියි. “නපුරු හෘදයසාක්ෂියකින් පිරිසිදුවීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ, අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ, සැබෑවූ සිතක් ඇතුව ඇදහීමේ නිසැකකමින් ළඟාවෙමු.” (හෙබ්‍රෙව් 10:22) මෙහිදී පාවුල් යොදාගත් වදන්වලින් පිළිබිඹු වන්නේ ව්‍යවස්ථාව යටතේ ඔප්පු කළ සංකේතාත්මක පූජාවකදී සිදු කළ දේවල් බව පැහැදිලිය. ඇත්තෙන්ම පාවුල් එම වදන් යොදාගැනීම යෝග්‍යය. මන්ද පූජාවක් පිළිගනු ලැබීමට නම්, ඔප්පු කරනු ලබන දෙය පවිත්‍රව නොකැළැල්ව තිබිය යුතු වූවාක් මෙන්ම ඔප්පු කරන්නාද එය නිවැරදි චේතනාවකින් ඔප්පු කළ යුතු වූ බැවිනි. ඔප්පු කරන ලද සත්වයා ගව රැළෙන් හෝ එළු බැටළු රැළෙන් හෝ ගනු ලැබූ පිරිසිදු වූ “කැලල් නැති” සතෙකු විය යුතුව තිබිණ. පූජා කරනු ලබන සත්වයා පක්ෂියෙක් නම්, ඌව කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ තෝරාගත යුතු විය. එම නියමයන් සියල්ලම සපුරා තිබුණා නම්, ‘එය ඔහු උදෙසා සමගිකම් කිරීමට ඔහු වෙනුවෙන් පිළිගනු [ලැබිය යුතු]’ විය. (ලෙවී කථාව 1:2-4, 10, 14; 22:19-25) අපවිත්‍රකම සංකේතවත් කරන මුහුන් මෙන්ම පැණිද ධාන්‍ය පූජාවල අඩංගු නොවීය. පැණි යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ ආහාර පැසවීමට ඉවහල් වන ද්‍රව්‍යයක් වූ පලතුරු යුෂ විය හැකි නිසා ඒවා යොදා නොගන්නා ලදි. පූජාසනය මත සත්වයෙකු හෝ ධාන්‍ය ඇතුළත් පූජා ඔප්පු කළ අවස්ථාවලදී, කල් තබාගැනීමේ ද්‍රව්‍යයක් වන ලුණු ඒවාට එකතු කරන ලදි.—ලෙවී කථාව 2:11-13.
8. (අ) පූජාවක් ඔප්පු කරන කෙනෙකුගෙන් අපේක්ෂා කළේ කුමක්ද? (ආ) අප කරන නමස්කාරය යෙහෝවාට පිළිගත හැකි එකක් බව අපට සහතික විය හැක්කේ කෙසේද?
8 පූජාව ඔප්පු කරන තැනැත්තා ගැන කුමක් කිව හැකිද? යෙහෝවා ඉදිරියට පැමිණෙන සෑම කෙනෙක්ම පවිත්‍රව හා නොකැළැල්ව සිටිය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් විය. යම් හේතුවක් නිසා කෙනෙක් අපවිත්‍ර තත්වයකින් පූජාවක් ඔප්පු කිරීමට පැමිණ තිබුණා නම්, මුලින්ම ඔහු යෙහෝවා ඉදිරියෙහි පවිත්‍ර තත්වයක් ඇතුව සිටීම සඳහා පාප හෝ අපරාධ පූජාවක් ඔප්පු කළ යුතු විය. මෙසේ කිරීමෙන් එම තැනැත්තා ඔප්පු කළ දවන පූජාව හෝ සහභාගිකමේ පූජාව දෙවිට පිළිගත හැකි තත්වයකට පත් විය. (ලෙවී කථාව 5:1-6, 15, 17) එනිසා යෙහෝවා ඉදිරියෙහි පවිත්‍ර තත්වයක් දිගටම පවත්වාගැනීමේ වැදගත්කම අදදින සිටින අප අගය කරනවාද? අපේ නමස්කාරය දෙවි විසින් පිළිගනු ලැබීමට නම්, අප දෙවිගේ නීති කඩ කිරීමෙන් සිදු වන ඕනෑම වරදක් නිවැරදි කරගැනීමට ඉක්මනින්ම පියවර ගත යුතුය. එමෙන්ම අපට උපකාර කිරීම සඳහා දෙවි දී තිබෙන සැපයුම් වන ‘සභාවේ වැඩිමහල්ලන්ගෙන්’ හා යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාවෙන්, එනම් ‘අපේ පව් උදෙසා ශාන්තිකර [සමගි කිරීමේ, NW] පූජාවෙන්’ ප්‍රයෝජන ලබාගැනීමට අප විගස ක්‍රියා කළ යුතුය.—යාකොබ් 5:14; 1 යොහන් 2:1, 2.
9. යෙහෝවාට ඔප්පු කරන ලද පූජා සහ බොරු දෙවිවරුන්ට ඔප්පු කරන ලද පූජා අතර තිබූ වෙනස කුමක්ද?
9 යෙහෝවාට පූජා ඔප්පු කිරීමේදී සියලු ආකාර අපවිත්‍රකම්වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය විය. එහෙත් ඉශ්රායෙලය අවට සිටි මිනිසුන් ඔවුන්ගේ බොරු දෙවිවරුන්ට පූජා ඔප්පු කිරීමේදී එවන් අවශ්‍යතාවක් නොතිබිණ. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පූජාවල විශේෂ ලක්ෂණ ගැන අදහස් දක්වමින් එක් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ සඳහන් කරයි. “මේ පූජාවල නිමිති බැලීම් හා පේනකීම් දක්නට නැත. ආගමික උමතුවක් හෝ ශරීරයට වධ දීමක් කිසි සේත් දැකිය නොහැක. එමෙන්ම පරිශුද්ධ ලෙස සලකන ගණිකා සේවනයද දක්නට නැත. සශ්‍රීකත්වය වෙනුවෙන් කළ කාමුක මෙන්ම සල්ලාල වතාවත් සම්පූර්ණයෙන්ම තහනම් විය. මිනිසුන් බිලි දීම හෝ මළවුන්ට පුදපූජා කිරීම මෙහිදී සිදු නොකරයි.” මේ සෑම දෙයකින්ම එක් කරුණක් අවධානයට යොමු කරයි. එනම් යෙහෝවා ශුද්ධය, ඔහු කිසිම ආකාරයක පාපයක් හෝ අපවිත්‍රකමක් අනුමත නොකරයි යන්නය. (හබක්කුක් 1:13) ඔහුට පිරිනමන නමස්කාරය මෙන්ම පූජාවන් ශාරීරිකව, සදාචාරාත්මකව හා ආත්මිකව පවිත්‍ර තත්වයක තිබිය යුතුය.—ලෙවී කථාව 19:2; 1 පේතෘස් 1:14-16.
10. රෝම 12:1, 2හි සඳහන් පාවුල්ගේ උපදේශයට අනුව අප කුමක් සම්බන්ධයෙන් ආත්ම-සෝදිසියක් කළ යුතුද?
10 පූජා පිළිබඳව පවතින මෙම තත්වය සලකා බැලීමේදී, අපි යෙහෝවාට පිරිනමන සේවය ඔහු විසින් පිළිගනු ලබන බවට සහතික කරගැනීම සඳහා අපේ ජීවිතයේ සෑම පැත්තක් ගැනම අපි හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. අපි යම් දුරකට ක්‍රිස්තියානි රැස්වීම්වලට හා දේවසේවයේ හවුල් වන නිසා අපේ පෞද්ගලික ජීවිතයේදී අපි කුමක් කළත් කමක් නැහැ කියා කවදාවත් නොසිතිය යුතුය. එමෙන්ම අපි දෙවිගේ නීති පිළිපැදීමට අසමත් වුණත්, ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වීමෙන් අපගේ වැරදිවලට යම් දුරකට සමාවක් ලබාගත හැකි බව අපි කිසිවිටකත් නොසිතිය යුතුය. (රෝම 2:21, 22) දෙවිගේ ඇස් හමුවෙහි අපවිත්‍ර වූ දේවල් මගින් අපේ සිතුවිලි හා ක්‍රියාවන් දූෂ්‍ය කරවීමට අප ඉඩහරිනවා නම් ඔහුගේ ආශීර්වාද හා අනුමැතිය අපට බලාපොරොත්තු විය නොහැක. පාවුල්ගේ මෙම වදන් මතක තබාගන්න. “සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, [දෙවි] විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට [දෙවිගේ] දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, [දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.”—රෝම 12:1, 2.
ප්‍රශංසාව නමැති පූජා මුළු හදින්ම ඔප්පු කරන්න
11. හෙබ්‍රෙව් 10:23හි සඳහන් “ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම” යන යෙදුමෙහි ඇතුළත් වන අදහස කුමක්ද?
11 හෙබ්‍රෙව්වරුන්ට සිය ලිපිය ලියන අවස්ථාවේදී පාවුල් සැබෑ නමස්කාරය හා සම්බන්ධ වැදගත් අංගයක් වෙත මෙසේ අවධානය යොමු කරයි. “අපේ බලාපොරොත්තුවේ [ප්‍රසිද්ධ, NW] ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් [තැනැත්තා] විශ්වාසව [සිටියි].” (හෙබ්‍රෙව් 10:23) “ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම” යනුවෙන් අදහස් කරන්නේ යමක් “ඒත්තුගැන්වීමට සැලැස්වීමයි.” එමෙන්ම පාවුල් “ප්‍රශංසාව නැමති පූජාව” ගැනද කතා කරයි. (හෙබ්‍රෙව් 13:15) ආබෙල්, නෝවා හා ආබ්‍රහම් වැනි ඇදහිලිවන්තයන් විසින් ඔප්පු කරන ලද පූජා කෙබඳු ආකාරයේ ඒවාද කියා අපට එයින් සිහිගැන්වෙයි.
12, 13. ඉශ්‍රායෙලිතයෙක් දවන පූජාවක් ඔප්පු කළ අවස්ථාවේදී එයින් පෙන්නුම් කළේ කුමක්ද? අපටත් ඒ ආකල්පයම පිළිබිඹු කිරීමට කුමක් කළ හැකිද?
12 ඉශ්‍රායෙලිතයෙක් දවන පූජාවක් ඔප්පු කළ අවස්ථාවේදී ඔහු එය කළේ ‘යෙහෝවා ඉදිරියෙහි වූ ඔහුගේ සිතේ මුළු කැමැත්තෙනි.’ (ලෙවී කථාව 1:3, NW) එවන් පූජාවක් ඔප්පු කිරීමෙන් යෙහෝවා තම සෙනඟට කර තිබෙන මහඟු ආශීර්වාද හා පෙන්වා තිබෙන ප්‍රේමනීය කරුණාව සඳහා තම අගය කිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. පූජාසනය මත පූජා කරන ලද දෙය සම්පූර්ණයෙන්ම දවා දැමීම, දවන පූජාවල විශේෂ ලක්ෂණයක් වූ බව මතක් කරගන්න. මෙසේ කිරීම තුළින් යෝග්‍ය ලෙස සංකේතවත් වූයේ එම පූජා ඔප්පු කළ අයගේ පූර්ණ භක්තිය හා කැපවීමයි. තවද ඒ හා සමානව, අපිත් අපේ මුළු කැමැත්තෙන්ම හා මුළු හදින්ම “තොල්වල ඵල වන ප්‍රශංසාව නැමති පූජාව” යෙහෝවාට ඔප්පු කරන විට, මිදීමේ මිල පූජාව කෙරෙහි වූ අපගේ ඇදහිල්ල හා ඒ සඳහා වූ අපගේ ස්තුතිය දෙවිට පෙන්වන්නෙමු.
13 ක්‍රිස්තියානීන් සතුන් හෝ ආහාර ඇතුළත් පූජා ඔප්පු කිරීම අවශ්‍ය නැත. නමුත් රාජ්‍යයේ ශුභාරංචිය ගැන සාක්ෂි දරමින් ජනයාව යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් කිරීමේ වගකීම ඔවුන්ට තිබේ. (මතෙව් 24:14; 28:19, 20) කීකරු මිනිසුන් සඳහා දෙවි පොරොන්දු කර තිබෙන මවිතකර දේවල් ගැන තව බොහෝදෙනෙකු දැනුවත් කිරීම සඳහා ඔබ දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ලැබෙන ප්‍රස්තා ප්‍රයෝජනයට ගන්නවාද? උනන්දුව දක්වන අයට උගන්වමින්, යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔබේ කාලය හා ශ්‍රමය වැය කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවාද? අපි දේවසේවයෙහි ජ්වලිතව හවුල් වීම, දවන පූජාවකින් නික්මෙන මිහිරි සුවඳ වැනිය. එයින් දෙවිට මහත් සතුටක් ගෙන එයි.—1 කොරින්ති 15:58.
දෙවි සහ මිනිසුන් සමඟ මිත්‍රත්වයේ සතුට භුක්ති විඳින්න
14. හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් පාවුල්ගේ වදන් සහභාගිකමේ පූජාවෙන් අදහස් වන දෙයට සමාන වන්නේ කෙසේද?
14 අපි දෙවිට නමස්කාර කිරීමේ හවුල් වන විට, සෙසු ක්‍රිස්තියානීන් සමඟ තිබෙන අපේ සම්බන්ධතාව පාවුල් අවසාන වශයෙන් මෙසේ අවධානයට ලක් කරයි. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම [එකට එක්රැස්වීම, NW] අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු [එකිනෙකාව දිරිගන්වමු, NW].” (හෙබ්‍රෙව් 10:24, 25) ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පෙලඹවීම,’ “එකට එක්රැස්වීම” හා ‘එකිනෙකාව දිරිගැන්වීම’ යන ප්රකාශයන්ගෙන් අපට මතක් වන්නේ, ඉශ්රායෙල්හි දෙවිගේ සෙනඟ වෙනුවෙන් ඔප්පු කරන ලද සහභාගිකමේ පූජා මගින් ඉටු වූ දෙයයි.
15. සහභාගිකමේ පූජාව සහ ක්‍රිස්තියානි රැස්වීම් අතර කිනම් සමානකම් තිබේද?
15 “සහභාගිකමේ පූජා” යන යෙදුම ඇතැම් අවස්ථාවලදී “සාම පූජා” යනුවෙන්ද පරිවර්තනය කරනු ලැබේ. මෙහිදී ‘සාමය’ ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය බහුවචන ස්වරූපයෙන් තිබෙන අතර, මෙවන් පූජාවලට සහභාගි වීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවි සහ සෙසු නමස්කාරයන් සමඟ සාමය ඇති වන බව ඉන් අදහස් විය හැක. සහභාගිකමේ පූජා සම්බන්ධයෙන් එක් විද්වතෙකු මෙසේ අදහස් පළ කරයි. “ඇත්තෙන්ම, සහභාගිකමේ පූජා ඔප්පු කරන අවස්ථාව ගිවිසුම මගින් තමන් බැඳීමක් ඇති කරගෙන සිටි දෙවි සමඟ සතුට ගෙන දෙන මිත්‍රත්වයක් භුක්ති විඳින අවස්ථාවක් විය. දෙවි සත්කාර කරන්නා ලෙස කටයුතු කළත්, ආහාරයක් ලෙස පූජාවක් ඔප්පු කිරීමේදී ඔහු ඉශ්රායෙල්හි සත්කාර ලබන්නා වීමට තරම් යටහත් විය.” යේසුස් දුන් මෙම පොරොන්දුව එයින් අපට සිහිපත් වේ. “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.” (මතෙව් 18:20) අපි ක්‍රිස්තියානි රැස්වීමකට යන සෑම අවස්ථාවකදීම, ලබන ගොඩනංවනසුලු ඇසුරෙන්ද, අපව දිරිමත් කරන ඉගැන්වීම්වලින්ද, අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් අප සමඟ එතැන සිටිනවාය යන සිතුවිල්ලෙන්ද අපි මහත් ප්‍රයෝජන ලබමු. මේ දේවල් ක්‍රිස්තියානි රැස්වීමක් ප්‍රීතිමත් මෙන්ම ඇදහිල්ල ශක්තිමත් කරන අවස්ථාවක් බවට පත් කිරීමට දායක වේ.
16. සහභාගිකමේ පූජාවේදී සිදු වූ දේවල් ගැන සලකා බලන කල, ක්‍රිස්තියානි රැස්වීම් විශේෂයෙන් ප්‍රීතිමත් අවස්ථා කිරීමට දායක වන්නේ මොනවාද?
16 සහභාගිකමේ පූජාවේදී පූජා කරනු ලැබූ බැටළුවාගේ බඩවැල්වල හා වකුගඩුවල තිබෙන තෙලද අක්මාවේ, තුනටියේ මෙන්ම වලිගයේ තිබෙන තෙලද පූජාසනය මත දවමින් යෙහෝවාට ඔප්පු කරන ලදි. (ලෙවී කථාව 3:3-16) තෙල සත්වයෙකුගේ ශරීරයේ හොඳම කොටස ලෙස සලකන ලදි. මෙය පූජාසනය මත ඔප්පු කිරීමෙන් සංකේතවත් කළේ යෙහෝවාට හොඳම දෙය දීමයි. ක්‍රිස්තියානි රැස්වීම් ප්‍රීතිමත් අවස්ථා බවට පත් වන්නේ අපි එහිදී දේවල් ඉගෙනගැනීමෙන් පමණක් නොව, නමුත් යෙහෝවාට ප්‍රශංසා කිරීමටද හවුල් වීමෙනි. අපේ මුළු හදින්ම ගීතිකා ගායනා කිරීමට හවුල් වීමෙන්ද, සාවධානව සවන් දීමෙන්ද, හැකි සෑම අවස්ථාවකදීම අදහස් දැක්වීමෙන්ද අපි යෙහෝවාව ප්‍රශංසා කිරීමෙහි හවුල් වන්නෙමු. මේ දේවල් නිහතමානිව හා අපට හැකි උපරිමයෙන් කිරීමෙන් රැස්වීම් ප්‍රීතිමත් අවස්ථාවක් බවට පත් කරගත හැක. “ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න! යෙහෝවාට අලුත් ගීතිකාවක් ගායනා කරමින් ඔහුට ලැදි වූවන්ගේ සභාවේදී ඔහුට ප්‍රශංසා කරන්න” කියා ගීතිකාකරු හැඟීමෙන් යුතුව ප්‍රකාශ කළේය.—ගීතාවලිය 149:1, NW.
යෙහෝවාගේ බහුල ආශීර්වාද අපට බලාපොරොත්තු විය හැක
17, 18. (අ) යෙරුසලමෙහි පිහිටි දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී සාලමොන් කළ මහත් පූජාව කුමක්ද? (ආ) දේවමාළිගාව කැප කිරීමේ උත්සවයට පැමිණි සෙනඟ අද්දුටු ආශීර්වාද මොනවාද?
17 පොදු යුගයට පෙර 1026 හත්වන මාසයේ යෙරුසලමේ පිහිටි දේවමාළිගාව කැප කළ අවස්ථාවේදී සාලමොන් “දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල [සහභාගිකමේ පූජාවල, න.අ.] තෙල්ද” ඇතුළත්ව ‘[මහත් පූජාවක්, NW] යෙහෝවා ඉදිරියෙහි ඔප්පු කළේය.’ ධාන්‍ය පූජාවලදී ඔප්පු කළ දේවලට අමතරව, එම අවස්ථාවේදී ගවයන් 22,000ක්ද බැටළුවන් 1,20,000ක්ද පූජා කරනු ලැබීය.—1 රාජාවලිය 8:62-65.
18 එවැනි අතිවිශාල උත්සවයක් සඳහා දැරූ වෙහෙස මහන්සිය හා වැය කළ අනෙකුත් දේවල් ගැන ඔබට සිතාගත හැකිද? එහෙත්, වැය කළ දේවලට වඩා ඉශ්රායෙල්වරුන් ඉන් ලැබූ ආශීර්වාද අතිමහත් බව පැහැදිලි විය. මෙම උත්සවය අවසානයේදී සාලමොන් “සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, [යෙහෝවා] තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.” (1 රාජාවලිය 8:66) ඇත්තෙන්ම, සාලමොන් පැවසුවාක් මෙන් ‘යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙන්නේය, ඔහු ඊට දුක එකතු නොකරන්නේය.’—හිතෝපදේශ 10:22.
19. දැනුත් සදහටමත් යෙහෝවාගේ උතුම් ආශීර්වාද භුක්ති විඳීම සඳහා අපට කුමක් කළ හැකිද?
19 අපි ජීවත් වන්නේ “මතු පැමිණෙන යහපත් දේවල ඡායාව,” “නියම රූපය” මගින් සම්පූර්ණ වී තිබෙන කාලයකයි. (හෙබ්‍රෙව් 10:1) යේසුස් ක්‍රිස්තුස් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයාගේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීම සඳහා දැනටමත් ස්වර්ගයට ගොස් ඇත. තම ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනා උදෙසා සමගිකමක් කිරීම සඳහා ඔහුගේ රුධිරයේ වටිනාකම ඔහු එහිදී ඔප්පු කළේය. (හෙබ්‍රෙව් 9:10, 11, 24-26) එම උතුම් පූජාවේ උපකාරය ඇතිව, අපි ඔප්පු කරන පවිත්‍ර වූ නොකැළැල් වූ ප්‍රශංසාව නමැති පූජා මුළු හදින්ම දෙවිට ඔප්පු කිරීමෙන් යෙහෝවාගෙන් ලැබෙන බහුල ආශීර්වාද දෙස මහත් ආශාවෙන් යුක්තව බලා සිටිමු. මෙසේ අපටත් “ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව” දිගටම සිටිය හැක.—මලාකී 3:10.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
• පඬුරු හා පූජා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් විස්තරවලින් අපට ඉගෙනගත හැකි දේවල් මෙන්ම සැනසිල්ල ලබාගත හැකි දේවල් මොනවාද?
• පූජාවක් පිළිගනු ලැබීමට නම් තිබිය යුතු මුල්ම අවශ්‍යතාව කුමක්ද? එමෙන්ම එම අවශ්‍යතාව අපට බලපාන්නේ කෙසේද?
• ස්වේච්ඡාවෙන් ඔප්පු කරනු ලබන දවන පූජාවකට සමාන යමක් අදදින අපටද ඔප්පු කළ හැක. එය කුමක්ද?
• සහභාගිකමේ පූජාවක් සමඟ ක්‍රිස්තියානි රැස්වීම් සැසඳිය හැක්කේ කිනම් ආකාරවලින්ද?
[18වන පිටුවේ පින්තූරය]
මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීම සඳහා යෙහෝවා විසින් යේසුස්ගේ මිදීමේ මිල පූජාව සපයන ලදි
[20වන පිටුවේ පින්තූරය]
අපේ සේවය යෙහෝවා විසින් පිළිගනු ලැබීමට නම්, අපි සියලු ආකාර අපවිත්‍රකම්වලින් වැළකී සිටිය යුතුය
[21වන පිටුවේ පින්තූරය]
අපි දේවසේවයේ හවුල් වන අවස්ථාවලදී යෙහෝවාගේ යහපත්කම ප්‍රසිද්ධියේ පිළිගන්නෙමු