ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්න—කෙසේද?
“ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. . . . ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු [දිරිගන්වමු, NW].”—හෙබ්‍රෙව් 10:24, 25.
1, 2. (අ) මුල් ක්‍රිස්තියානීන් එකට රැස්වීම තුළ සැනසීම හා දිරිගැන්වීම ලැබීම වැදගත් වූයේ මන්ද? (ආ) එකට රැස්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් පාවුල් දුන් උපදෙස කුමක්ද?
ඔවුන් හමුවූයේ රහසිගතවය, අගුලු දා තිබූ දොරවල් පිටුපස ගුළිගැසීගෙනය. ඉන් පිටත සෑමතැනකම අන්තරාය පැතිර තිබිණ. ඔවුන්ගේ නායක යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රසිද්ධියේ ඝාතනය කරනු ලැබ තිබුණා පමණි, තවද තමාට සලකනු ලැබ තිබුණාට වඩා හොඳින් කිසිසේත් ඔවුන්හටද නොසලකනු ඇති බව උන්වහන්සේ ඔවුන්ට අනතුරු අඟවා තිබිණ. (යොහන් 15:20; 20:19) එහෙත් ඔවුන් තම ප්‍රියාදර යේසුස්වහන්සේ ගැන සිහින් හඬින් කතා කරමින් සිටිද්දී, එකට සිටීම නිසා ඔවුන්ට යම් තරමක ආරක්ෂාවක් දැනුණා විය යුතුය.
2 වසර ගණන් ගතවෙත්ම, ක්‍රිස්තියානීහු සියලු ආකාරයෙන් පරීක්ෂා සහ පීඩාවලට මුහුණ පෑහ. එම පළමු ගෝලයන් මෙන්, ඔවුහු එකට රැස්වීමෙන් සැනසීම හා දිරිගැන්වීම ලැබුවෝය. මෙසේ, ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් 10:24, 25හි මෙසේ ලීවේය: “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු [දිරිගන්වමු, NW].”
3. හෙබ්‍රෙව් 10:24, 25 වනාහි, ක්‍රිස්තියානීන් එකට රැස්වෙන ලෙසට දී ඇති නියෝගයකට වඩා වැඩි යමක් බව ඔබ පවසනු ඇත්තේ මන්ද?
3 එම වචන, දිගටම එකට රැස්වීමට දුන් නියෝගයකට වඩා බොහෝ සෙයින් වැඩි යමක්ය. ඒවා සියලු ක්‍රිස්තියානි රැස්වීම් සඳහා, සැබවින්ම ක්‍රිස්තියානීන් එකට රැස්වෙන ඕනෑම අවස්ථාවක් සඳහා දිව්‍යමය ආනුභාව ලත් ප්‍රමිතියක් දෙයි. අදදින වෙන කවරදාටත් වඩා, යෙහෝවඃවහන්සේගේ දවස ළඟාවෙමින් තිබෙනවා අප දකින විට, මෙම දුෂ්ට පිළිවෙළේ පීඩන හා අන්තරායන් හේතුකොටගෙන අප එකට රැස්වීම අනිවාර්ය දෙයක් බවට පත් කරන අතර, ඒවා සියල්ලන් සඳහා ශක්තියේ සහ ධෛර්යයේ ප්‍රභවයක් වූ ආරක්ෂා සහිත ක්ෂේමභූමියක් විය යුතුය. මෙය තහවුරු කිරීම සඳහා අපට කුමක් කළ හැකිද? හොඳයි, අපි මෙම ප්‍රධාන ප්‍රශ්න තුන අසමින්, පාවුල්ගේ වදන් පරෙස්සමින් පරීක්ෂා කර බලමු: ‘එකිනෙකා ගැන සිතේ තබාගන්න’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ‘ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද එකිනෙකාව පොලඹවන්න’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අවසන් වශයෙන්, මෙම දුෂ්කර කාලවලදී ‘එකිනෙකාව දිරිගැන්වීමට’ අපට හැක්කේ කෙසේද?
‘එකිනෙකා ගැන සිතේ තබාගන්න’
4. ‘එකිනෙකා ගැන සිතේ තබාගන්න’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 ‘එකිනෙකා ගැන සිතේ තබාගන්න’ යයි පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටි විට, හේ “තේරුම්ගැනීම” යන පොදු යෙදුමේ තීව්ර ආකාරයක් වන, කා·ටා·නො·එʹඔ යන ග්‍රීක් ක්‍රියාපදය භාවිත කළේය. ඉන් අදහස් කරන්නේ “යමෙකුගේ මුළු මනස යම් වස්තුවකට යොමු කිරීම” යයි තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් පවසයි. ඩබ්ලිව්. ඊ. වයින්ට අනුව, එය “සම්පූර්ණයෙන් වටහාගැනීම, ළඟින්ම සැලකීම” යන්නද අදහස් වෙයි. එබැවින් ක්‍රිස්තියානීන් ‘එකිනෙකා ගැන සිතේ තබාගන්නා’ විට, ඔවුහු මතුපිට පමණක් දකිනවා නොව, නමුත් ඔවුහු තම මානසික හැකියාවන් යොදාගෙන ගැඹුර දැකීමට උත්සාහ කරති.—හෙබ්‍රෙව් 3:1 සසඳන්න.
5. පුද්ගලයෙකුගේ මතුපිට පෙනුමෙන් දැකිය නොහැකි ඇතැම් පැති මොනවාද, තවද අප මේවා සලකා බැලිය යුත්තේ මන්ද?
5 යම් පුද්ගලයෙකු දෙස ඔහුගේ ක්‍රියා දෙස හෝ පෞරුෂත්වය දෙස බැලූ බැල්මට දකින ස්වභාවයෙන් හෙළිවන දේට වඩා පුද්ගලයා සම්බන්ධව බොහෝ දේ තිබෙන බව අප මතක තබාගත යුතුය. (1 සාමුවෙල් 16:7) බොහෝවිට, නිහඬ නිසංසල බාහිර පෙනුමක් පිටුපස ගැඹුරු හැඟීම් හා ප්‍රියමනාප හාස්යගතියක් සැඟවී තිබේ. තවද, පසුබිමද බොහෝ සෙයින් වෙනස්ය. ඇතැම් අය තම ජීවිත කාලය පුරා දරුණු දුෂ්කරතාවලට මුහුණ දී තිබේ; තවත් අය අපට තේරුම්ගන්නටවත් අසීරු තත්වයන් මේ මොහොතේ විඳදරාගනිමින් සිටිති. අපගේ සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ යම් එක්තරා ගතියක් නිසා අප කුපිත වනවා නම්, අප එම පුද්ගලයාගේ පසුබිම හා ඔහු හෝ ඇය සිටින තත්වය ගැන වඩාත් දැනගන්නා විට, එම කුපිත ගතිය අපෙන් අතුරුදහන්ව යෑම අපට කොතරම් වාරගණනක් සිදුවී තිබේද!—හිතෝපදේශ 19:11.
6. එකිනෙකාව වඩාත් හොඳින් දැනගැනීමට අපට හැකි ඇතැම් ක්‍රම මොනවාද, මෙයින් ඇතිවිය හැකි යහපත කුමක්ද?
6 ඇත්තවශයෙන්ම, මින් අදහස් කරන්නේ වෙනත් අයෙකුගේ පෞද්ගලික කාරණාවලට අප ආරාධනයකින් තොරව මැදිහත් වීම නොවේ. (1 තෙසලෝනික 4:12) එහෙත්, අපට එකිනෙකා ගැන පෞද්ගලික උනන්දුවක් පෙන්විය හැකි බව සහතිකය. රාජ්‍යය ශාලාවේදී හුදෙක් ආචාර කරනවාට වඩා වැඩි යමක් මීට ඇතුළත් වෙයි. ඔබ වඩාත් දැනගැනීමට කැමති කෙනෙකු තෝරාගෙන, රැස්වීමට පෙර හෝ පසු ඔහු සමඟ විනාඩි ස්වල්පයක් කතා බහ නොකරන්නේ මන්ද? එමෙන්ම, ඊටත් වඩා, සාක්ෂිකාර මිතුරෙකු හෝ දෙදෙනෙකුව ඔබගේ නිවසට ආරාධනා කොට, තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමෙන් ‘ආගන්තුක සත්කාරයේ’ පිළිවෙත අනුගමනය කිරීම වඩාත් හොඳය. (රෝම 12:13) සැලකිල්ලක් උනන්දුවක් පෙන්වන්න. සවන් දෙන්න. හුදෙක් එම පුද්ගලයාගෙන් ඔහු යෙහෝවඃවහන්සේව දැනගෙන උන්වහන්සේට ප්‍රේම කිරීමට පැමිණියේ කෙසේදැයි ඇසීමෙන් බොහෝ දේ හෙළි විය හැක. එසේම, ඔහු සමඟ ගෙයින් ගෙට සේවයේ එකට වැඩ කිරීමෙන් ඔබට තවත් දේ දැනගත හැකිවන්ට පුළුවන. එවන් ආකාරවලින් එකිනෙකා ගැන සිතේ තබාගැනීමෙන් අව්‍යාජ ලෙස අන්‍යයන් කෙරෙහි හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හෙවත් සංවේදනය වර්ධනය කිරීමට හැකිකම ලැබේ.—පිලිප්පි 2:4; 1 පේතෘස් 3:8.
‘එකිනෙකාව පොලඹවන්න’
7. (අ) යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ජනයාට බලපෑවේ කෙසේද? (ආ) උන්වහන්සේගේ ඉගැන්වීම් එතරම්ම බලවත් කළේ කුමකින්ද?
7 අප එකිනෙකා ගැන සිතේ තබාගෙන කටයුතු කරන විට, එකිනෙකාව ක්‍රියාවට පෙලඹීමට හෙවත් උනන්දු කිරීමට අපි වඩාත් සූදානම් තත්වයක සිටිමු. මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් දරති. යේසුස්වහන්සේ ප්‍රසිද්ධියේ කතා කළ අවස්ථාවක් සම්බන්ධව අපට මෙසේ කියවීමට තිබේ: “සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.” (මතෙව් 7:28) තවත් අවස්ථාවක, උන්වහන්සේව අත්අඩංගුවටගැනීමට ගිය ඇතැම් හේවායන් පවා හිස් අතින් හැරී පැමිණියේ, “මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි” කියමිනි. (යොහන් 7:46) යේසුස්වහන්සේගේ ඉගැන්වීම් එතරම්ම බලවත් වූයේ මන්ද? චිත්තවේගයන් ප්‍රදර්ශනය කිරීම නිසාද? නැත; යේසුස්වහන්සේ කතා කළේ ගෞරවනීය අන්දමටය. එහෙත්, නිතරම උන්වහන්සේගේ ඉලක්කය වූයේ සිය ශ්‍රාවකයන්ගේ හදවත්වලට ළඟාවීමයි. උන්වහන්සේ මනුෂ්‍යයන් ගැන සිතේ තබාගත් නිසා, ඔවුන්ව පොලඹවන ආකාරය උන්වහන්සේ හරියටම දැන සිටිසේක. එදිනෙදා ජීවිතයේ යථාර්ථයන් පිළිබිඹු වන විවිධ සරල උපහැරණ උන්වහන්සේ යොදාගත්සේක. (මතෙව් 13:34) ඒ හා සමානව, අපගේ රැස්වීම්වල පැවරුම් ඉටු කරන අය, උණුසුම්, පොලඹවනසුලු ලෙස උද්යෝගවත්ව දේවල් ඉදිරිපත් කිරීම මගින් යේසුස්වහන්සේව අනුකරණය කළ යුතුය. යේසුස්වහන්සේ මෙන්, අපත් අපට සවන්දෙන්නන්ගේ හදවත්වලට ළඟාවීම පිණිස ඊට ගැළපෙන උපහැරණ යොදාගත හැකිය.
8. යේසුස්වහන්සේ ආදර්ශය මගින් පෙලඹවූයේ කෙසේද, තවද මේ සම්බන්ධයෙන් අපට උන්වහන්සේව කෙසේ අනුකරණය කළ හැකිද?
8 අපගේ දෙවියන්වහන්සේට සේවය කිරීමේදී, ආදර්ශය මගින් අප එකිනෙකාව පෙලඹීමට අප සියල්ලන්ට හැක. යේසුස්වහන්සේ සිය සවන්දෙන්නන්ව පෙලඹූ බව සහතිකය. ක්‍රිස්තියානි දේවසේවයේ වැඩයට ලැදිවූ උන්වහන්සේ දේව සේවය උසස් කළසේක. එය තමාට ආහාරයක් මෙන් යයි උන්වහන්සේ පැවසූසේක. (යොහන් 4:34; රෝම 11:13) එවැනි උද්යෝගයක් බෝවෙනසුලු විය හැක. ඒ හා සමානව ඔබටත් දේවසේවයේදී ඔබගේ ප්‍රීතිය විදහා පෙන්විය හැකිද? පුරසාරම් දොඩන කටහඬකින් පරෙස්සමින් වැළකී සිටින අතරේදී, ඔබේ අද්දැකීම් සභාවේ අන්‍යයන් සමඟ බෙදාගන්න. ඔබ සමඟ වැඩ කිරීමට එන ලෙස වෙනත් අයට ආරාධනා කරන විට, අපගේ උත්තරීතර මැවුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේ ගැන අන්‍යයන්ට කතා කිරීමෙහිලා අව්‍යාජ ප්‍රීතිය ලැබීමට ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකිදැයි බලන්න.—හිතෝපදේශ 25:25.
9. (අ) අන්‍යයන්ව පෙලඹවීමේදී අප වැළකී සිටිය යුතු ක්‍රම සමහරක් මොනවාද, තවද ඒ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේගේ සේවය තුළ අපවම දීමට අපව පෙලඹවිය යුත්තේ කුමක්ද?
9 එහෙත්, අන්‍යයන්ව වැරදි ආකාරයකට පෙලඹවීමෙන් පරෙස්සම් වෙන්න. නිදසුනක් වශයෙන්, වැඩියෙන් දේවල් නොකිරීම ගැන අප නොදැනුවත්වම පාහේ ඔවුන් තුළ වරදසහිතභාවයක් ඇති කරනවා වන්ට පිළිවන. වැඩියෙන් දේවල් කරන අය සමඟ නුසුදුසු ලෙස සසඳමින් අප හිතාමතා නොවන අන්දමින් ඔවුන්ව ලැජ්ජාවට පත් කරනවා විය හැක, නැතහොත් අප ඉහළ ප්‍රමිති තබා ඊට අනුකූල නොවන අයව සුළු කොට තකනවා විය හැක. මේ ක්‍රමවලින් මොනයම් එකකින් හෝ ඇතැම් අයව යම් කාලයකට ක්‍රියාවට පෙලඹෙනවා විය හැක, නමුත් ‘වරදසහිතභාවයට සහ යහපත් ක්‍රියාවලට පොලඹන’ මෙන් පාවුල් ලීවේ නැත. නැත, අප පෙලඹවිය යුත්තේ ප්‍රේමයටය, එවිට හොඳ චේතනාවකින් නික්මී යහපත් ක්‍රියා ඊට පසුපසින් එයි. යමෙක්, තමාගෙන් අපේක්ෂා කෙරෙන දේ හරියටම ඉටු නොවන විට, සභාවේ සෙසු අය ඔහු ගැන කුමක් සිතාවිද සලකා, ප්‍රධානකොට ඒ මගින්ම නොපෙලඹිය යුතුය.—2 කොරින්ති 9:6, 7 සසඳන්න.
10. අප අන්‍යයන්ගේ ඇදහිල්ල කෙරෙහි ස්වාමිවරුන් නොවන බව අප මතක තබාගත යුත්තේ මන්ද?
10 එකිනෙකාව පෙලඹවීම කීමෙන් අදහස් කරන්නේ එකිනෙකාව පාලනය කිරීම නොවේ. දෙවියන්වහන්සේ ප්‍රේරිත පාවුල්ට කොතරම් අධිකාරයක් දී තිබුණද, “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නො[වේ]” යයි හේ කොරින්ති සභාවට නිහතමානීව සිහිගැන්වූයේය. (2 කොරින්ති 1:24) අනික් අය යෙහෝවඃවහන්සේගේ සේවය තුළ කොතරම් ප්‍රමාණයක් කළ යුතුද කියා හෝ වෙනත් පෞද්ගලික තීරණවලදී ඔවුන්ගේ හෘද සාක්ෂීන් සකස් කිරීම අපගේ වැඩක් නොවේය කියා අපිත් පාවුල් මෙන් නිහතමානීව වටහාගන්නෙමු නම්, අප “පමණට වඩා ධර්මිෂ්ඨ,” ප්‍රීතිය නැති, රළු, නිෂේධාත්මක හෝ නීති පනවන පුද්ගලයන් බවට පත්වීමෙන් වළකිනවා ඇත. (දේශනාකාරයා 7:16) එවැනි ගුණාංග පොලඹවන්නේ නැත; ඒවායින් වන්නේ යමෙකුට පීඩා කිරීමයි.
11. ඉශ්රායෙල්හි මණ්ඩපය ඉදිකරන දවස්වල සම්මාදම් දීම සඳහා පෙලඹවූයේ කුමක්ද, තවද එය අපගේ දවස සම්බන්ධයෙන් සැබෑ විය හැක්කේ කෙසේද?
11 ඉපැරණි ඉශ්‍රායලයේ මණ්ඩපය ඉදි කිරීම සඳහා සම්මාදම් අවශ්‍ය වූ විට, විදහාපානු ලැබූ එම ස්ප්රීතුවම අපගේ ප්රයත්නයන් තුළින් යෙහෝවඃවහන්සේගේ සේවය තුළ දිස්වෙනවා දැකීමට අපට වුවමනාය. නික්මයාම 35:21හි මෙසේ කියවීමට තිබේ: “තවද තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් . . . ස්වාමීන්වහන්සේට පඬුරු ගෙනාවෝය.” ඔවුන්ව පොලඹවනු ලැබුවේ බාහිර බලවේගවලින් නොව, නමුත් තම අභ්‍යන්තරයෙන්මය. ඇත්තෙන්ම, මෙහි හෙබ්‍රෙව් වචනානුසාරයෙන් කියවෙන්නේ, “තමුන්ගේ සිත් ඔසවනලද්දාවූ . . . සියල්ලෝ” එවන් පඬුරු ගෙනා බවය. (ඇදකුරු අපගේය.) මේ ගැන තවදුරටත් බලන කල, අප එකට සිටින කොයියම් අවස්ථාවේදී පවා එකිනෙකාගේ හෘද එසවීමට අපි මහත් වෑයමක් දරමු. ඉතිරි කොටස කිරීමට යෙහෝවඃවහන්සේගේ ආත්මයට හැක.
‘එකිනෙකාව දිරිගන්වන්න’
12. (අ) “දිරිගැන්වීම” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ ඇතැම් අර්ථයන් මොනවාද? (ආ) යෝබ්ගේ මිත්‍රයන් ඔහුව දිරිගැන්වීමට අසමත් වූයේ මන්ද? (ඇ) අප එකිනෙකාව විනිශ්චය කිරීමෙන් වැළකී සිටිය යුත්තේ මන්ද?
12 අප ‘එකිනෙකාව දිරිගැන්විය’ යුතු යයි පාවුල් ලියූ විට, ඔහු පා·රා·කා·ලෙʹඔ නමැති ග්‍රීක් වචනයේ ආකාරයක් යොදාගත් අතර, එයට ‘ශක්තිමත් කිරීමට, සැනසීමට’ යන අර්ථයද ගත හැක. ග්‍රීක් සෙප්ටුඅජින්ට් අනුවාදය තුළ, මෙම වචනයම යෝබ් 29:25හිද යොදා ඇති අතර, මෙහිදී යෝබ්ව වැලපෙන්නන් සනසන්නෙකු ලෙසද විස්තර කරන ලදි. මෙහි විකෘති පැත්ත නම්, යෝබ්ම තදබල පරීක්ෂා යටතේ සිටින විට, ඔහු එවන් කිසිම දිරිගැන්වීමක් නොලැබීමයි. ඔහුගේ “සැනසිලිකාරයන්” තිදෙනා ඔහුව විනිශ්චය කිරීමෙහිලා සහ ඔහුට දේශන දීමෙහිලා කොතරම් කාර්ය බහුලව සිටියාද කියතොත්, ඔහුව තේරුම්ගැනීමට හෝ ඔහුගේ හැඟීම් දැනීමට හෝ ඔවුහු අසමත්වූහ. ඇත්තෙන්ම, ඔවුන් කළ සියලුම කතාවලදී, අඩු තරමින් එක වතාවක්වත් ඔවුන් යෝබ්ගේ නම කියා කතා කළේ නැත. (යෝබ් 33:1, 31 සමඟ වෙනස සසඳන්න.) පෙනෙන විදිහට ඔවුන් ඔහු දෙස බැලුවේ පුද්ගලයෙකු ලෙසට වඩා ගැටලුවක් ලෙසටය. කලකිරුණු යෝබ් මෙසේ හඬනඟා පැවසීම පුදුමයක් නොවේ: “මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්”! (යෝබ් 16:4) ඒ හා සමානව අදදිනත්, ඔබට යම් කෙනෙකුව දිරිගැන්වීමට වුවමනා නම්, සංවේදනය පෙන්වන්න! විනිශ්චය නොකරන්න. රෝම 14:4හි පවසන්නාක් මෙන්, “අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක්හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය.”
13, 14. (අ) අපගේ සහෝදර සහෝදරියන්ව සැනසීම සඳහා කිනම් මූලික සත්‍යයක් ඔවුන්හට ඒත්තුගැන්වීම අවශ්‍ය වේද? (ආ) දේවදූතයෙකු විසින් දානියෙල්ව ශක්තිමත් කරනු ලැබුවේ කෙසේද?
13 පා·රා·කා·ලෙʹඔ යන වචනයේ එක් ආකාරයක් හා, ඒ හා සබැඳි නාමපදය 2 තෙසලෝනික 2:16, 17හි “සැනසිල්ල” ලෙස පරිවර්තනය කොට තිබේ: “තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද, නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද නුඹලා ස්ථිරකරනසේක්වා.” අපගේ හදවත් සනසනු ලැබීම යෙහෝවඃවහන්සේ අපට ප්‍රේම කරනවා යන මූලික සත්‍යය සමඟ පාවුල් සම්බන්ධ කරන සැටි සැලකිල්ලටගන්න. එබැවින්, එම වැදගත් සත්‍යය තහවුරු කරමින් අපි එකිනෙකාව දිරිගන්වමින් සනසාලමු.
14 එක් අවස්ථාවක, අනාගතවක්තෘ දානියෙල් භයංකර සිහිනයක් දැකීමෙන් පසු, කොතරම් කරදරයට පත්වුණාද යත්, ඔහු මෙසේ පැවසුවේය: “මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය, කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුණේය.” යෙහෝවඃවහන්සේ කිහිප වතාවක්ම දේවදූතයෙකුව එවා දානියෙල් ‘බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයෙකු’ බව ඔහුට සිහිගැන්වූයේය. ප්‍රතිඵලය කුමක් වූවාද? දානියෙල් දේවදූතයාට මෙසේ කීවේය: “ඔබ මා සවිකළසේක.”—දානියෙල් 10:8, 11, 19.
15. වැඩිමහල්ලන් සහ සංචාරක අවේක්ෂකයන් ප්‍රශංසා කිරීම සමඟින් නිවැරදි කිරීම සමබර කළ යුත්තේ කෙසේද?
15 අන්‍යයන්ව සැනසිය හැකි තවත් ක්‍රමයක් මෙන්න. ඔවුන්ට ප්‍රශංසා කරන්න! විවේචනාත්මක සැඩපරුෂ ස්වභාවයකට වැටීම ඉතා පහසු දෙයකි. ඇත්තෙන්ම, ඇතැම් අවස්ථාවලදී, විශේෂයෙන්ම වැඩිමහල්ලන් සහ සංචාරක අවේක්ෂකයන් විසින් නිවැරදි කිරීම් කළ යුතු අවස්ථා තිබේ. එහෙත්, වැරදි සෙවීමට බලා සිටින අය ලෙසට වඩා, ඔවුන් හද උණුසුම් කරවන දිරිගැන්වීම දෙන අය හැටියට ඔවුන්ව සිහිකරනු ලැබේ නම්, ඔවුන් යහපතක් කර ඇත්තේ එවිටය.
16. (අ) මානසික පීඩනයට ලක්ව සිටින කෙනෙකුව දිරිගන්වන විට, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ වැඩියෙන් කරන ලෙස නිකම්ම ඉල්ලා සිටීම බොහෝවිට ප්‍රමාණවත් නොවන්නේ මන්ද? (ආ) එලියා මානසික පීඩාවට ලක්ව සිටින විට යෙහෝවඃවහන්සේ ඔහුට උපකාර කළේ කෙසේද?
16 විශේෂයෙන්ම මානසික පීඩනවලට ලක්ව සිටින අයට දිරිගැන්වීම අවශ්‍ය වන අතර, අපි සෙසු ක්‍රිස්තියානීන් හැටියට, විශේෂයෙන් අප වැඩිමහල්ලන් නම්, අප උපකාරයේ උල්පත් වීම යෙහෝවඃවහන්සේ අපෙන් අපේක්ෂා කරනසේක. (හිතෝපදේශ 21:13) අපට කුමක් කළ හැකිද? මීට පිළිතුර, යෙහෝවඃවහන්සේගේ සේවය තුළ වැඩියෙන් කරන ලෙසට පැවසීම තරම් සරල එකක් නොවෙන්නට පුළුවන. මන්ද? මක්නිසාද යත් ඔවුන්ගේ මානසික පීඩනය ඇතිවී තිබෙන්නේ ඔවුන් ඇති තරම් නොකරන බව ඔවුන්ට හැඟෙන නිසා විය හැකි බැවිනි. සාමාන්‍යයෙන් තත්වය මෙය නොවේ. එක් අවස්ථාවක අනාගතවක්තෘ එලියා කොතරම් තදබල මානසික පීඩනයට ලක්වී සිටියාද කිවහොත්, ඔහුට මියයෑමට වුවමනා විය; ඇරත්, මෙම තත්වය උද්ගත වූයේ ඔහු යෙහෝවඃවහන්සේගේ සේවය තුළ අතිශයින් වැඩබහුලව සිටි අවස්ථාවකය. යෙහෝවඃවහන්සේ ඔහු සමඟ කටයුතු කළේ කෙසේද? ප්‍රායෝගික උපකාරය සැපයීම සඳහා උන්වහන්සේ දේවදූතයෙකුව එවූසේක. තම මියගිය පියවරුන් මෙන් කිසිම වටිනාකමක් නැති කෙනෙකු බවත්, තමාගේ වැඩය නිෂ්ඵල වී ඇති බවත්, තමා දැන් මුළුමනින්ම තනිව සිටින බවත්, එලියා තම හදවත වගුරුවමින් යෙහෝවඃවහන්සේට කියා සිටියේය. ඊට සවන්දුන් යෙහෝවඃවහන්සේ, ඔහු කොහෙත්ම තනිව නොසිටින බවත්, ඔහු පටන්ගත් වැඩය සම්පූර්ණ වනු ඇති බවටත් සහතික කරමින් ස්වකීය බලය ගරුබිය දනවන අන්දමින් නිරූපනය කරමින් ඔහුව සනසාලූසේක. අවසානයේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වීම සඳහා පුහුණු කරනු ලැබීමට සහයකයෙකු දෙන බව යෙහෝවඃවහන්සේ එලියාට පොරොන්දු වූසේක.—1 රාජාවලිය 19:1-21.
17. තමා ගැනම ඕනෑවට වඩා රළුව සිටින පුද්ගලයෙකුව දිරිගැන්වීමට වැඩිමහල්ලෙකුට කෙසේ හැකිවේද?
17 කොතරම් දිරිගන්වනසුලුද! අපිද ඒ හා සමානව අප අතර චිත්තවේගීය අතින් කරදරයට පත්ව සිටින අයව සනසාලමු. සවන්දීම මගින් ඔවුන්ව තේරුම්ගැනීමට වෑයම් කරන්න. (යාකොබ් 1:19) ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට සරිලන පරිද්දෙන් සකස් කරන ලද ශුද්ධ ලියවිලිමය සැනසීම ඔවුන්ට සපයන්න. (හිතෝපදේශ 25:11; 1 තෙසලෝනික 5:14) තමන් ගැනම ඕනෑවට වඩා විවේචනාත්මක වන අයව දිරිගැන්වීමේදී, යෙහෝවඃවහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බවට සහ ඔවුන්ව අගය කොට සලකන බවට කාරුණිකව ශුද්ධ ලියවිලිමය සාක්ෂි සැපයීමට වැඩිමහල්ලන්ට හැක.a මිදීමේ මිලය ගැන සාකච්ඡා කිරීම, තමන් කිසිම වටිනාකමක් නැති යයි හැඟෙන අයව දිරිගැන්වීමේදී ප්‍රබල ක්‍රමයක් විය හැක. අතීතයේ කරන ලද යම් පාපයක් නිසා ශෝක වෙන කෙනෙකු, සැබෑවටම පසුතැවිලි වී එවැනි පුරුද්දකින් ඉවත්ව ගොස් සිටී නම්, මිදීමේ මිලය ඔහුගේ පව් සෝදා තිබෙන බව පෙන්වා දීමට අවශ්‍ය විය හැක.—යෙසායා 1:18.
18. ස්ත්‍රී දූෂණයට ලක්වූ තැනැත්තියක වැනි තව කෙනෙකුගේ අතවරයකට ලක්වූ කෙනෙකුව දිරිගැන්වීමට මිදීමේ මිලය පිළිබඳ ඉගැන්වීම යොදාගත යුත්තේ කෙසේද?
18 ඇත්තවශයෙන්ම, වැඩිමහල්ලෙකු යම් විශේෂ සිද්ධියකදී එම ඉගැන්වීම නිසි ලෙස යොදාගැනීම කල්පනා කර බැලිය යුතුය. නිදසුනක් සලකා බලන්න: ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සත්ව පූජා මගින් පූර්වාදර්ශනය කරනු ලැබූ අතර, සියලුම පව්වලට වන්දි ගෙවීම මින් අවශ්‍ය කරවූයේය. (ලෙවී කථාව 4:27, 28) එහෙත්, ස්ත්‍රී දූෂණයට ලක් වූ තැනැත්තියක එවැනි පාප පූජාවක් කළ යුතුයයි කියා නියමයක් තිබුණේ නැත. ඔවුන් ඈට ‘කිසිවක් නොකළ’ යුතු බව ව්‍යවස්ථාවේ පැවසිණ. (ද්විතීය කථාව 22:25-27) එමනිසා, අදදින යම් සහෝදරියක ප්‍රහාරයකට ලක්වී ඇයව දූෂණය කරනු ලැබී නම්, තවද මෙය ඇය තුළ කිලිටිභාවයක් සහ කිසි වටිනාකමක් නැති හැඟීමක් දැනීමට සලස්වා ඇත්නම්, එම පාපයෙන් ඇය පිරිසිදු වීම සඳහා මිදීමේ මිලයේ අවශ්‍යතාව අවධාරණය කිරීම සුදුසු වනු ඇත්ද? සහතිකවම නැත. අඩන්තේට්ටමකට ලක්වීමේදී ඇය පව් කළේ නැත. පව් කළේත්, පිරිසිදු කරනු ලැබීමට අවශ්‍යව ඇත්තෙත්, ස්ත්‍රී දූෂකයාය. කෙසේවුවද, වෙනත් යමෙකුගේ පාපයක් නිසා ඇය දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ අපවිත්‍ර වී නොමැති බවත්, නමුත් ඇය යෙහෝවඃවහන්සේට අනර්ඝ බවත්, උන්වහන්සේගේ ප්‍රේමය තුළ රැඳී සිටින බවත් පෙන්වීමට, මිදීමේ මිලය සැපයීමෙහිලා යෙහෝවඃවහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ විසින් පෙන්වන ලද ප්‍රේමය සාක්ෂි පිණිස යොදාගත හැක.—සසඳන්න මාර්ක් 7:18-23; 1 යොහන් 4:16.
19. අපගේ සහෝදර සහෝදරියන් සමඟ කරන සියලු ආශ්‍රයන් දිරිගන්වනසුලු බව අප අපේක්ෂා නොකළ යුත්තේ මන්ද, නමුත් අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?
19 එසේය, පුද්ගලයෙක් තම ජීවිතයේ කොයියම් තත්වයක සිටියත්, මොනතරම් වේදනාකාරි තත්වයන් ඔහුගේ අතීතය අඳුරු කර තිබුණත්, යෙහෝවඃවහන්සේගේ ජනයාගේ සභාව තුළ දිරිගැන්වීම ලැබීමට ඔහුට හැකි විය යුතුය. එමෙන්ම අප පුද්ගලයන් වශයෙන් එකට රැස්වෙන කොයියම් අවස්ථාවක හෝ වේවා, අප එකිනෙකා ගැන සිතේ තබාගෙන, එකිනෙකාව පොලඹවා දිරිගන්වන්නේ නම්, ඔහු එම දිරිගැන්වීම ලබනවා ඇත. එහෙත්, අසම්පූර්ණකම නිසා, අපි සියල්ලෝම ඇතැම් අවස්ථාවලදී එසේ කිරීමට අසමත් වෙමු. අප එකිනෙකාව අපේක්ෂාභංගත්වයට පත් කර, ඇතැම්විට එකිනෙකාව වේදනාවට පවා පත් කිරීම කෙසේ හෝ සිදුවෙයි. මේ සම්බන්ධයෙන් වෙනත් අය අසමත් වී ඇති තැන් ගැන අවධානය යොමු කිරීමට උත්සාහ නොකරන්න. ඔබ අන්‍යයන්ගේ අඩුලුහුඬුකම් ගැනම අවධානය යොමු කරන්නේ නම්, සභාව ගැන ඕනෑවට වඩා විවේචනය කිරීමේ අවදානමට ඔබ හසු වන අතර, වැළකෙන ලෙස පාවුල් අපෙන් උදක්ම ඉල්ලා සිටි උගුල, එනම් අප එකිනෙකා එකට රැස්වීම අත්හැරීම යන උගුලට ඔබ වැටෙන්නටත් පිළිවන. එය කිසිවිටෙකත් සිදුනොවේවා! මෙම පැරණි පිළිවෙළ එන්ට එන්ටම භයානක වී පීඩාකාරි වනවාත් සමඟම, කෙදිනකටත් වඩා යෙහෝවඃවහන්සේගේ දවස ළංවන බව දකිත්ම, අපගේ රැස්වීම්වලදී අපගේ ඇසුර ගොඩනංවනසුලු එකක් කිරීමට කළ හැකි දේ කිරීමට ස්ථිර ලෙස අපි අධිෂ්ඨාන කරගනිමු!
[පාදසටහන්වල]
a එවැනි පුද්ගලයන් සමඟ මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ලිපි පාඩම් කිරීමට වැඩිමහල්ලෙකුට තෝරාගත හැකිය—නිදසුන් වශයෙන්, “විල් යූ බෙනිෆිට් ෆ්‍රොම් අන්ඩිස්ර්ව්ඩ් කයින්ඩ්නස්” සහ “විනිං ද බැට්ල් එගේන්ස්ට් ඩිප්රෙෂන්”—ද වොච්ටවර් 1990 පෙබරවාරි 15 සහ මාර්තු 1.
ඔබ කෙසේ පිළිතුරු දෙනු ඇත්ද?
◻ මෙම අන්තිම දවස්වලදී අපගේ රැස්වීම් සහ ආශ්‍රය දිරිගැන්වෙනසුලු වීම අති වැදගත් වන්නේ මන්ද?
◻ එකිනෙකාව සිතේ තබාගැනීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ එකිනෙකාව පෙලඹවීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ එකිනෙකාව දිරිගැන්වීමට කුමක් ඇතුළත් වේද?
◻ මානසික පීඩනයට හා අධෛර්යට පත්ව සිටින අයව දිරිගැන්විය හැක්කේ කෙසේද?
[16වන පිටුවේ පින්තූරය]
එකිනෙකාව වඩාත් හොඳින් දැන හඳුනාගැනීමට සංග්‍රහශීලිත්වය අපට උපකාරවත් වෙයි
[18වන පිටුවේ පින්තූරය]
එලියා මානසික පීඩාවට ලක්ව සිටි විට, යෙහෝවඃ වහන්සේ ඔහුව කාරුණිකව සනසාලූසේක