‘පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කිරීම’
“අප ගමන් කරන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්.”—2 කොරින්ති 5:7, NW.
1. ‘ඇදහිල්ලෙන් ගමන් කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
අප යාච්ඤා කරන සෑම අවස්ථාවකම, අඩුම තරමින් යම් තරමක ඇදහිල්ලක්වත් තිබෙන බව අප පෙන්නුම් කරනවා. අනුන්ට දේවරාජ්‍යය ගැන සාක්ෂිදරන්න පටන්ගන්නා විටත් අප ඇදහිල්ල පෙන්වනවා. එමෙන්ම අප යෙහෝවාට අපේ ජීවිත කැප කරන විට, අපේ ආශාව වන්නේ, ‘ඇදහිල්ලෙන් ගමන් කිරීම,’ ඒ කියන්නේ ඇදහිල්ලෙන් පාලනය වන ජීවිත මාර්ගයක් ලුහුබැඳීම බවට අප සාක්ෂි දෙමින් සිටිනවා.—2 කොරින්ති 5:7; කොලොස්සි 1:9, 10.
2. සභා ක්‍රියාකාරකම්වල නිරත වීම කෙනෙකුට ඇදහිල්ල තිබෙන බවට අනිවාර්ය සාක්ෂියක් නොවන්නේ මන්ද?
2 ඇත්තටම ඇදහිල්ලෙන් ගමන් කරන්න නම්, අපට හොඳ-පදනමක් තිබෙන ඇදහිල්ලක් අවශ්‍යයි. (හෙබ්‍රෙව් 11:1, 6) බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙත ආකර්ෂණය වන්නේ, සාක්ෂිකරුවන් අතර ඔවුන් දකින උසස් සදාචාර ප්‍රමිති සහ ප්‍රේමය නිසයි. ඒක හොඳ ආරම්භයක්; එහෙත් එවැනි පුද්ගලයන්ට ඇදහිල්ලක් තිබෙනවා කියා ඉන් අදහස් කරන්නේ නැහැ. වෙනත් අයට ඇදහිල්ලෙහි ශක්තිමත් විවාහක කලත්‍රයෙක් හෝ දෙමාපියෙක් සිටින්න පුළුවන්; එමෙන්ම ඔවුන් ප්‍රේම කරන ඒ තැනැත්තා නිරතව සිටින ක්‍රියාකාරකම් සමහරකට ඔවුනුත් හවුල් වෙනවා වෙන්න පුළුවන්. තමාගේ නිවසේම මෙවන් බලපෑමක් තිබීම ඇත්තටම ආශීර්වාදයක්; ඒ වුණත්, මෙයත් දෙවි කෙරෙහි පෞද්ගලික ප්‍රේමය සහ පෞද්ගලික ඇදහිල්ල සඳහා ආදේශකයක් නෙවෙයි.—ලූක් 10:27, 28.
3. (අ) අපට හොඳ-පදනමක් ඇති ඇදහිල්ලක් ඇතුව සිටීමට, බයිබලය සම්බන්ධයෙන් කිනම් පෞද්ගලික ස්ථිර විශ්වාසයක් තිබිය යුතුද? (ආ) සමහරුන් අනිත් අයට වඩා ඉක්මනින් බයිබලයෙහි ආනුභාවය විශ්වාස කරන්නේ මන්ද?
3 සැබෑවටම ඇදහිල්ලෙන් ගමන් කරන අය, බයිබලය දෙවිගේ වචනය බව පූර්ණ ලෙස අවබෝධ කරගෙන සිටිනවා. ‘මුළු ලියවිල්ල දේවානුභාවයෙන්’ බවට ඇති තරම් සාක්ෂි තිබෙනවා.a (2 තිමෝති 3:16) ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න පුද්ගලයෙකුට පෞද්ගලිකව කොපමණ සාක්ෂි අවශ්‍යද? ඒක ඔහුගේ පසුබිම අනුව වෙනස් වෙන්න පුළුවන්. එක් පුද්ගලයෙකුට හොඳටම තෘප්තිය ගෙන දෙන දෙයක්, වෙනත් කෙනෙකු තුළ පෙලඹීමක් ඇති නොකරනවා වෙන්න පුළුවන්. කොහොම වුණත්, ඇතැම් අවස්ථාවන්හිදී, නිෂ්ප්‍රභ කරන්න බැරි සාක්ෂි රාශියක් පුද්ගලයෙකුට පෙන්නුවත්, ඔහු තවමත් එළඹිය යුතු නිගමනයට විරුද්ධ වෙන්න පුළුවන්. ඇයි? ඒ ඔහුගේ හෘදයට ගැඹුරින් කාවැදී තිබෙන චේතනා හින්දයි. (යෙරෙමියා 17:9) මේ අනුව, පුද්ගලයෙක් ඇතැම්විට දෙවිගේ අරමුණ කෙරෙහි යම් උනන්දුවක් දැක්වූවත්, ලෝකයේ අනුමැතිය ලබාගැනීමට ඔහුගේ හෘදය ආශා වෙන්න පුළුවන්. ඔහු බයිබල් ප්‍රමිතිවලට පටහැනිව දිවයන ජීවන මාර්ගයක් අත්හරින්න කැමති නැති වෙන්න පුළුවන්. කොහොම වුණත්, පුද්ගලයෙක් ඇත්තටම සත්‍යය සඳහා සාගින්නෙන් ඉන්නවා නම්, ඔහු තමාටම අවංක නම්, එමෙන්ම ඔහු නිහතමානී නම්, බයිබලය ඇත්තටම දේවවචනය කියා කල් යත්ම ඔහුට අවබෝධ වෙනවා.
4. ඇදහිල්ල අත් කරගන්න, කෙනෙකුගේ පැත්තෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?
4 බයිබලය පාඩම් කරන්න උපකාරයක් ලබමින් සිටින අවංක හදවත් ඇති අය, තමුන් බයිබලය කෙරෙහි සම්පූර්ණ ඇදහිල්ලක් තබන්න අවශ්‍ය සාක්ෂි ඕනෑ තරම් දැක තිබෙන බව බොහෝවිට මාස කිහිපයක් තුළදීම තේරුම්ගන්නවා. යෙහෝවා විසින් උගන්වනු ලැබීම සඳහා ඔවුන්ගේ හෘද විවෘත කරන්න මෙය ඔවුන්ව පොලඹවනවා නම්, ඔවුන් ඉගෙනගන්න දෙයින්, ඔවුන්ගේ ඇතුළාන්ත සිතුවිලි, ඔවුන්ගේ ආශාවන් සහ චේතනාවන් ක්‍රමානුකූලව සකස් වෙන්න යනවා. (ගීතාවලිය 143:10) පුද්ගලයෙක් ඇදහිල්ල දක්වන්නේ “හෘදයෙන්” කියා රෝම 10:10 [NW] කියනවා. එවැනි ඇදහිල්ලක් කෙනෙකුට ඇත්තෙන්ම හැඟෙන්නේ කොහොමද කියා ප්‍රකාශ කරන අතර, ඔහුගේ ජීවිත මාර්ගයෙනුත් එය පිළිබිඹු වෙන්න යනවා.
නෝවා හොඳ-පදනමක් ඇති ඇදහිල්ලක් මත ක්‍රියා කළා
5, 6. නෝවාගේ ඇදහිල්ල පදනම් වුණේ කුමක් මතද?
5 නෝවා හොඳ-පදනමක් ඇති ඇදහිල්ලක් තිබූ කෙනෙක්. (හෙබ්‍රෙව් 11:7) එවැනි ඇදහිල්ලක් ඇතුව සිටින්න නෝවාට තිබූ පදනම කුමක්ද? දේවවචනය නෝවාට තිබුණේ ලිඛිතව නෙවෙයි, ඒ වෙනුවට ඔහුට ඒක කටින් දන්වලයි තිබුණේ. උත්පත්ති 6:13 මෙහෙම කියනවා: ‘දෙවි නෝවාට කතාකොට: මාංසමය වූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ.’ (ඇල අකුරු අපගේය.) නෝවාට නැවක් හදන්න උපදෙස් දුන් යෙහෝවා, එය ඉදි කරන ආකාරය ගැන තොරතුරු සැපයුවා. ඊළඟට දෙවි මෙහෙමත් කිව්වා: “අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.”—උත්පත්ති 6:14-17.
6 මීට කලින් වැසි වැස තිබුණාද? බයිබලය ඒ බව සඳහන් කරන්නේ නැහැ. උත්පත්ති 2:5 මෙසේ පවසනවා: ‘යෙහෝවා දෙවි වර්ෂාව නොවස්වා තිබුණේය.’ නමුත් ඉන් සියවස් කිහිපයකට පසුව ජීවත් වූ මෝසෙස් මේ කාරණය ගැන කතා කළේ, නෝවාගේ දවස ගැන නොව, නමුත් ඊට බොහෝ කාලයකට ප්‍රථම ගැනයි. උත්පත්ති 7:4හි පෙන්වා ඇති ආකාරයට, නෝවාට කතා කරද්දී යෙහෝවා වර්ෂාව ගැන කතා කළ අතර, ඔහු අදහස් කළ දෙය නෝවාට තේරුණු බව පැහැදිලියි. එහෙත්, නෝවාගේ ඇදහිල්ල ඔහු දුටු දෙයක් මත පදනම් වුණ එකක් නෙවෙයි. නෝවා “ඒ වන තුරු නුදුටු දේ ගැන [දෙවි] විසින් දන්වනු” ලැබූ බව ප්‍රේරිත පාවුල් ලිව්වා. උත්පත්ති 6:17 කියන විදිහට තමා පොළොව පිටට “ජලගැල්ම” නැත්නම් නව ලෝක පරිවර්තනයේ පාදසටහනක පැහැදිලි කරන විදිහට “අහස් සාගරය” පමුණුවන්න යනවා කියා දෙවි නෝවාට කිව්වා. ඒ කාලය වන තුරු, එවැනි දෙයක් සිදු වෙලා තිබුණේ නැහැ. එහෙත් දෘශ්‍යමාන වූ මුළු මැවිල්ලෙන් පැහැදිලිව නිරූපණය වුණේ, ඇත්තටම දෙවිට ඒ වගේ විනාශකාරි ජලගැල්මක් ගෙනෙන්න පුළුවන් කියන එකයි. ඇදහිල්ලෙන් පෙලඹුණු නෝවා, නැව ගොඩනැඟුවා.
7. (අ) තමාට දෙවි අණ කළ දේ කරන්න නෝවාට අවශ්‍ය නූණේ කුමක්ද? (ආ) නෝවාගේ ඇදහිල්ල සලකා බැලීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද? එමෙන්ම අපේ ඇදහිල්ල අන් අයට ආශීර්වාදයක් වන්නේ කෙසේද?
7 දෙවි ජලගැල්ම පටන්ගන්න යන දිනයක් ඔහුට දුන්නේ නැහැ; එහෙත් නැව තැනීම සහ දේශනා කිරීම තම ජීවිතයෙහි දෙවන ස්ථානයට තබමින්, ටිකක්-ඉඳලා-බලමු කියන ආකල්පයක් දැරීම සඳහා නිදහසට කරුණක් වශයෙන් නෝවා එය යොදාගත්තේ නැහැ. නැවට ඇතුල් විය යුත්තේ මොන අවස්ථාවේදීද කියා දෙවි නෝවාට කල් ඇතුව දැනුම් දුන්නා. ඒ අතරතුර, “නෝවා එසේ කෙළේය; [දෙවි] ඔහුට අණකළ සියල්ල ලෙස ඔහු කෙළේය.” (උත්පත්ති 6:22) නෝවා පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කළා. ඔහු එහෙම කළ එක ගැන අප කොතරම් කෘතඥ වෙනවාද! ඔහුගේ ඇදහිල්ල නිසා, අද අප ජීවත් වෙනවා. අපේ තත්වය සම්බන්ධයෙන් බලද්දීත්, අප පෙන්වන ඇදහිල්ල අපේ අනාගතයට විතරක් නෙවෙයි, අපේ දරුවන්ගේ සහ අප අවට සිටින ජනයාගේ අනාගතයටත් ගැඹුරින් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
ආබ්‍රහම්ගේ ඇදහිල්ල
8, 9. (අ) ආබ්‍රහම් ඔහුගේ ඇදහිල්ල පදනම් කළේ කුමක් මතද? (ආ) යෙහෝවා ආබ්‍රහම්ට ‘පෙනුණේ’ කිනම් මාර්ගයෙන්ද?
8 තවත් ආදර්ශයක් සලකා බලන්න—ඒ ආබ්‍රහම්ගේ ආදර්ශය. (හෙබ්‍රෙව් 11:8-10) ආබ්‍රහම් තම ඇදහිල්ල පදනම් කරගත්තේ කුමක් මතද? ආබ්‍රහම් ඇති දැඩි වූ කල්දිවරුන්ගේ ඌර් නම් නුවර, රූප නමස්කාරයෙන් සහ ද්‍රව්‍යවාදයෙන් පිරී තිබුණා. එහෙත් ආබ්‍රහම්ගේ බලාපොරොත්තුව වෙනත් බලපෑම් මගින් හැඩගස්වනු ලැබුවා. ඔහු ජීවත්ව සිටියේ නෝවාගේ පුත් ෂෙම්ගේ ජීවිතයේ අවසාන අවුරුදු 150 තුළ නිසා, ඔහුව ඇසුරු කරන්න පුළුවන් වූ බවට කිසිම සැකයක් නැහැ. යෙහෝවා “අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවි” බවට ආබ්‍රහම් ස්ථිර විශ්වාසයක් ඇති කරගත්තා.—උත්පත්ති 14:23.
9 තවත් දෙයක් ආබ්‍රහම්ට ගැඹුරින් බලපෑවා. යෙහෝවා “ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි . . . ඔහුට පෙනී: නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි” කිව්වා. (ක්‍රියා 7:2, 3) යෙහෝවා ආබ්‍රහම්ට ‘පෙනුණේ’ කිනම් මාර්ගයෙන්ද? ආබ්‍රහම් දෙවිව කෙළින්ම දැක්කේ නැහැ. (නික්මයාම 33:20) කොහොම වුණත්, යෙහෝවා ආබ්‍රහම්ට ස්වප්නයකින්, තේජස අධිස්වාභාවික ආකාරයකින් විදහාපෙන්වීමෙන් හෝ දේවදූත පණිවිඩකාරයෙක් නැතහොත් නියෝජිතයෙක් මාර්ගයෙන් පෙනුණා වෙන්න පුළුවන්. (සසඳන්න උත්පත්ති 18:1-3; 28:10-15; ලෙවී කථාව 9:4, 6, 23, 24.) යෙහෝවා ආබ්‍රහම්ට පෙනුණු විදිහ කුමක් වුණත්, දෙවි තමා ඉදිරියෙහි අනගි වරප්‍රසාදයක් තබමින් සිටි බව මේ විශ්වාසවන්ත මිනිසා විශ්වාස කළා. ආබ්‍රහම් ඇදහිල්ලෙන් ප්‍රතිචාරය දැක්වූවා.
10. යෙහෝවා ආබ්‍රහම්ගේ ඇදහිල්ල ශක්තිමත් කළේ කෙසේද?
10 දෙවි ආබ්‍රහම්ට යන්නයයි කී දේශය ගැන ඔහුට ලැබුණු තොරතුරු මත ආබ්‍රහම්ගේ ඇදහිල්ල පදනම් වුණේ නැහැ. එම දේශය ඔහුට කවදා ලැබේද කියන එක දැනගෙන සිටීම මත එය රඳා පැවතුණෙත් නැහැ. යෙහෝවා සර්වබලධාරි දෙවි කියා ඔහු දැනසිටි නිසා ඔහුට ඇදහිල්ල තිබුණා. (නික්මයාම 6:3) ආබ්‍රහම්ට දරුවන් ලැබෙයි කියා යෙහෝවා ඔහුට කිව්වත්, එය කොහොම වෙයිද කියා ඇතැම් අවස්ථාවල ඔහු කල්පනා කළා. ආබ්‍රහම් වයසට යමින් හිටියා. (උත්පත්ති 15:3, 4) ආබ්‍රහම්ට තම කූඩාරමෙන් පිටතට ගොස් අහසේ තරු දිහා බලා, හැකි නම් ඒවා ගණන් කරන්න කියා අණ කිරීමෙන් යෙහෝවා ආබ්‍රහම්ගේ ඇදහිල්ල ශක්තිමත් කළා. “ඔබේ වංශයද එසේම වන්නේය” කියා දෙවි කිව්වා. ආබ්‍රහම් ගැඹුරින් පෙලඹුණා. අහසේ එම ගරුබිය දනවන වස්තූන්වල මැවුම්කරුට තමා පොරොන්දු වූ දෙය ඉටු කරන්න පුළුවන් බව ඔහුට හොඳටම පැහැදිලි වුණා. ආබ්‍රහම් “යෙහෝවා කෙරෙහි ඇදහිල්ල දැක්වූවා.” (උත්පත්ති 15:5, 6, NW) ආබ්‍රහම් විශ්වාස කළේ, තමාට අහන්න ලැබුණු දෙය කෙරෙහි ඔහු නිකම්ම ආශාවක් දැක්වූ නිසා නෙවෙයි; ඔහුට හොඳ-පදනමක් ඇති ඇදහිල්ලක් තිබුණා.
11. (අ) තමන් අවුරුදු 100ට ළඟා වෙද්දී, වයස්ගත සාරා පුතෙකු වදනවා යන දෙවිගේ පොරොන්දුවට ආබ්‍රහම් ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) තම පුත්‍රයාව මොරියා කන්දට ගෙන ගොස් පූජාවක් හැටියට පූජා කිරීම සම්බන්ධ පරීක්ෂණයේදී, ආබ්‍රහම් ඊට මුහුණ දුන්නේ කිනම් ආකාරයේ ඇදහිල්ලක් සමඟින්ද?
11 ආබ්‍රහම් වයසින් අවුරුදු 100ටත් ඔහුගේ භාර්යාව වූ සාරා අවුරුදු 90ටත් ළඟා වෙද්දී, සාරාගෙන් ආබ්‍රහම්ට පුතෙක් බිහි වන බවට වූ තම පොරොන්දුව යෙහෝවා නැවත සඳහන් කළා. ආබ්‍රහම් තම තත්වය ගැන යථාර්ථවාදීව කල්පනා කළා. ‘ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී, එසේය, දෙවිගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවිට ගෞරව කරමින්, පොරොන්දු වූ දේ ඉෂ්ට කරන්න ඔහුට පුළුවන් කියා නිසැකව විශ්වාස කළේය.’ (රෝම 4:19-21) දෙවිගේ පොරොන්දුව අසමත් නොවන බව ආබ්‍රහම් දැනසිටියා. පසුව තම පුත්‍රයාව මොරියා දේශයට ගෙන ගොස් පූජාවක් හැටියට ඔප්පු කරන්න කියා දෙවි ඔහුට කී විට ඔහු කීකරු වුණේ ඔහුගේ ඇදහිල්ල නිසයි. (උත්පත්ති 22:1-12) ආශ්චර්යවත් ආකාරයකින් එම පුත්‍රයාව ඉපදෙන්න සලස්වන්න පුළුවන් වූ එම දෙවිට, එම පුත්‍රයා සම්බන්ධයෙන් ඔහු දුන් අමතර පොරොන්දු ඉටු කිරීම සඳහා ඔහුව නැවත ජීවත් කරවන්න පුළුවන් බවට පූර්ණ විශ්වාසයක් ආබ්‍රහම්ට තිබුණා.—හෙබ්‍රෙව් 11:17-19.
12. ආබ්‍රහම් ඇදහිල්ලෙන් ගමන් කළේ කොතරම් කාලයකටද? එමෙන්ම ප්‍රබල ඇදහිල්ලක් නිරූපණය කළ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා කිනම් විපාකයක් මඟ බලා සිටිනවාද?
12 ආබ්‍රහම්, නිකම්ම කලාතුරකින් ඉස්මතු වුණ අවස්ථාවලදී පමණක් නොව, ඔහුගේ මුළු ජීවිත කාලයම ඇදහිල්ලෙන් පාලනය වූ බව පෙන්නුවා. ඔහුගේ ජීවිත කාලය තුළදී, උරුමයක් වශයෙන් පොරොන්දු දේශයෙන් එක කොටසක්වත් දෙවිගෙන් ආබ්‍රහම්ට ලැබුණේ නැහැ. (ක්‍රියා 7:5) එහෙත්, ඔහු විඩාවට පත් වී, කල්දිවරුන්ගේ ඌර් නම් වූ නුවරට ආපසු හැරී ගියේ නැහැ. දෙවි ඔහුව මඟ පෙන්වූ දේශයෙහි තම මරණය දක්වාම අවුරුදු 100ක් ඔහු කූඩාරම්වල ජීවත් වුණා. (උත්පත්ති 25:7) ඔහු ගැනත්, ඔහුගේ භාර්යාව වූ සාරා, ඔවුන්ගේ පුත්‍ර ඊසාක් සහ ඔවුන්ගේ මුනුපුරා වූ යාකොබ් ගැනත් හෙබ්‍රෙව් 11:16 මෙහෙම කියනවා: ‘දෙවි ඔවුන්ගේ දෙවියයි කියනු ලබන්ට ලජ්ජා නොවන්නේය. මක්නිසාද ඔහු ඔවුන්ට නුවරක් සූදානම් කළේය.’ ඔව්, තම මෙසියානු රාජ්‍යය තුළ භූමික විෂයෙහි, යෙහෝවා ඔවුන්ට තැනක් නියම කර තිබෙනවා.
13. අදදින යෙහෝවාගේ සේවකයන් අතරින්, ආබ්‍රහම්ට මෙන් ඇදහිල්ලක් තිබෙනවා කියා සාක්ෂි දෙන්නේ කව්ද?
13 අදදින යෙහෝවාගේ ජනයා අතර ආබ්‍රහම්ට සමාන අය සිටිනවා. අවුරුදු ගණනාවක් පුරා ඔවුන් ඇදහිල්ලෙන් ගමන් කර තිබෙනවා. දෙවි දෙන ශක්තිය තුළින්, කඳු වැනි බාධක ජයගෙන තිබෙනවා. (මතෙව් 17:20) දෙවි පොරොන්දු වෙලා තිබෙන උරුමය දෙන්නේ හරියටම කවදාද කියන එක ඔවුන් දන්නේ නැති වුණත්, ඔවුන් ඇදහිල්ලෙන් සැලෙන්නේ නැහැ. දෙවිගේ වචනය අසමත් වෙන්න බැරි බව ඔවුන් දන්නා අතරම, ඔහුගේ සාක්ෂිකරුවන්ගේ ගණයෙහිලා සැලකීම අනගි වරප්‍රසාදයක් හැටියට ඔවුන් සලකනවා. ඔබටත් හැඟෙන්නේ එලෙසමද?
මෝසෙස්ව පෙලඹවූ ඇදහිල්ල
14. මෝසෙස්ගේ ඇදහිල්ලට පදනම දමනු ලැබුවේ කෙසේද?
14 ඇදහිල්ලේ තවත් ආදර්ශයක් තමයි මෝසෙස්. ඔහුගේ ඇදහිල්ලේ පදනම වුණේ කුමක්ද? එය පටන්ගත්තේ ළදරු වියේදියි. ඵාරාවෝගේ දියණිය මෝසෙස් නයිල් ගඟේ ඉවුරේ පන් පෙට්ටියක ඉන්නවා දැක තම පුත්‍රයා හැටියට ඔහුව භාරගත්තත්, මෝසෙස්ගේම හෙබ්‍රෙව් අම්මා වූ යොඛෙබෙද්, ඒ දරුවාට කිරි දුන් අතර, ඔහුගේ ළාබාල වයසේදී ඔහුව බලාකියා ගත්තා. යෙහෝවා කෙරෙහි ප්‍රේමයත්, යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දු කෙරෙහි අගයත් පැලපදියම් කරමින්, යොඛෙබෙද් ඔහුට හොඳින් ඉගැන්වූ බව පැහැදිලියි. පසුව, ඵාරාවෝගේ පවුලේ සාමාජිකයෙක් වශයෙන්, මෝසෙස්ව, “මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු” ලැබුවා. (ක්‍රියා 7:20-22; නික්මයාම 2:1-10; 6:20; හෙබ්‍රෙව් 11:23) එහෙත්, ඔහුට උසස් තත්වයක් තිබුණත්, මෝසෙස්ගේ හෘදය තිබුණේ දෙවිගේ වහල් සෙනඟත් එක්කයි.
15. යෙහෝවාගේ සෙනඟ සමඟ තමාව හඳුන්වා දීම මෝසෙස් සඳහා අදහස් කළේ කුමක්ද?
15 ඔහුගේ 40වන අවුරුද්දේදී, අසාධාරණව සලකනු ලැබූ ඉශ්රායෙලිතයෙක්ව බේරන්න, මෝසෙස් මිසරයෙකුට පහර දී ඔහුව මැරුවා. මේ සිද්ධිය මෝසෙස් දෙවිගේ සෙනඟව සැලකූ ආකාරය පෙන්වනවා. ‘මෝසෙස් වැඩුණායින් පසු ඵාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහිල්ලෙන් එපා’ කළා. මිසර රජ වාසලේ සාමාජිකයෙක් වශයෙන්, “කලකට පාපයේ සැප භුක්තිවිඳීම” තදින් අල්ලාගෙන සිටින්නේ නැතුව, පීඩාවට ලක් වූ දෙවිගේ සෙනඟගේ පැත්ත ගෙන කටයුතු කිරීමට ඇදහිල්ල ඔහුව පෙලඹුවා.—හෙබ්‍රෙව් 11:24, 26; ක්‍රියා 7:23-25.
16. (අ) යෙහෝවා මෝසෙස්ට දුන් බලපැවරුම කුමක්ද? එමෙන්ම දෙවි ඔහුට උපකාර කළේ කෙසේද? (ආ) තම මෙහෙය ක්‍රියාත්මක කිරීමේදී මෝසෙස් ඇදහිල්ල පෙන්වූයේ කෙසේද?
16 තම ජනයාට සහනයක් ගෙන දීම සඳහා ක්‍රියා කිරීමට මෝසෙස් උනන්දුවෙන් හිටියත්, ඔවුන්ට මිදීමක් දෙන්න දෙවිගේ කාලය ඒ වන විට පැමිණ තිබුණේ නැහැ. මෝසෙස්ට මිසරයෙන් පලායන්න සිදු වුණා. අවුරුදු 40ක් ගත වුණාට පස්සේ, නැවත මිසරයට ගොස් ඉශ්‍රායෙලිතයන්ව එයින් ඉවතට ගන්න දේවදූතයෙක් මාර්ගයෙන් යෙහෝවා මෝසෙස්ට බලපැවරුමක් දුන්නා. (නික්මයාම 3:2-10) මෝසෙස් ප්‍රතික්‍රියා කළේ කොහොමද? ඉශ්‍රායෙල්ව මුදන්න යෙහෝවාට තිබෙන හැකියාව ගැන ඔහු සැක පළ නොකළත්, දෙවි ඔහු ඉදිරියෙහි තැබූ වැඩකොටස ඉටු කිරීමට තමා නොසෑහෙන බව ඔහුට හැඟුණා. ප්‍රේමනීය ලෙස, යෙහෝවා මෝසෙස්ට අවශ්‍ය වුණ දිරිගැන්වීම සපයා දුන්නා. (නික්මයාම 3:11–4:17) මෝසෙස්ගේ ඇදහිල්ල ශක්තිමත්ව වැඩුණා. මෝසෙස් ආපසු මිසරයට ගිහිල්ලා, යෙහෝවාට නමස්කාර කරන්න ඵාරාවෝ ඉශ්රායෙල්ට යන්න නොදුන් නිසා, ඵාරාවෝගේ මුහුණට මුහුණලා පෙනී සිටිමින්, මිසරය පිට පැමිණෙන වසංගත ගැන නැවත නැවත අනතුරු ඇඟෙව්වා. එම වසංගත සිදු කරන්න මෝසෙස්ට පෞද්ගලික බලයක් තිබුණේ නැහැ. ඔහු පෙනීමෙන් නොව, ඇදහිල්ලෙන් ගමන් කළා. ඔහුගේ ඇදහිල්ල යෙහෝවා සහ ඔහුගේ වචනය තුළ පිහිටා තිබුණා. ඵාරාවෝ මෝසෙස්ට තර්ජනය කළා. එහෙත් මෝසෙස් ඇදහිල්ලෙහි අත් නොහැර සිටියා. “ඇදහිල්ලෙන්, ඔහු රජුගේ උදහසට භය නොවී, මිසරය අත්හැර ගියේය. මක්නිසාද අදෘශ්‍යමාන [තැනැත්තා] දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:27) මෝසෙස් පරිපූර්ණ කෙනෙක් වුණේ නැහැ. ඔහුගේ අතින් වැරදි සිදු වුණා. (ගණන් කථාව 20:7-12) එහෙත් යෙහෝවාගේ බලපැවරුමට යටත් වීමෙන් පස්සේ, ඔහුගේ මුළු ජීවිත මාර්ගයම ඇදහිල්ලෙන් පාලනය වුණා.
17. දෙවිගේ නව ලෝකය දැකීමට ඔවුන් ජීවත් නොවුණත් නෝවා, ආබ්‍රහම් සහ මෝසෙස් ඇදහිල්ලෙන් ගමන් කිරීමේ ප්‍රතිඵලය කුමක් වුණාද?
17 ඔබගේ ඇදහිල්ලත් නෝවාගේ, ආබ්‍රහම්ගේ සහ මෝසෙස්ගේ ඇදහිල්ල මෙන් වේවා! ඔවුන්ගේ ජීවිත කාලය තුළදී දෙවිගේ නව ලොව ඔවුන් දැක්කේ නැති බව ඇත්තයි. (හෙබ්‍රෙව් 11:39) ඒ වන විට ඒ සඳහා දෙවිගේ නියමිත කාලය ඇවිල්ලා තිබුණේ නැහැ; ඔහුගේ අරමුණේ තවදුරටත් ඉටු කළ යුතුව තිබූ වෙනත් අංග තිබුණා. එහෙත් දේවවචනය කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල චංචල වුණේ නැති අතර, ඔවුන්ගේ නම් දෙවිගේ ජීවන පොතෙහි සඳහන් වී තිබෙනවා.
18. ස්වර්ගීය ජීවිතයට කැඳවනු ලැබුවන්, ඇදහිල්ලෙන් ගමන් කිරීම අවශ්‍ය වී ඇත්තේ මන්ද?
18 “[දෙවි] වඩා උතුම් දෙයක් අප [සඳහා] කලින් පිළියෙළ” කළා කියා පාවුල් ලිව්වා. ඒ කියන්නේ, පාවුල් මෙන්, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික ජීවිතයකට කැඳවා තිබෙන අය සඳහා, ඔහු වඩාත් උතුම් දෙයක් කලින් පිළියෙළ කළා කියන එකයි. (හෙබ්‍රෙව් 11:40) දෙවන කොරින්ති 5:7හි [NW] වාර්තා කර ඇති “අප ගමන් කරන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්” යන වචන ලියද්දී, ඔහුගේ මනසෙහි විශේෂයෙන්ම තිබුණේ මේ අයවයි. එය ලියූ අවස්ථාවේදී, ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් තම ස්වර්ගික විපාකය අත් කරගෙන තිබුණේ නැහැ. තම පියවි ඇස්වලින් එය දකින්න ඔවුන්ට බැරි වුණත්, එය කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලට හොඳ-පදනමක් තිබුණා. ස්වර්ගික ජීවිතයට නැඟිටවනු ලබන අයගේ නාඹුල් ඵලය වශයෙන්, ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් නැඟිටුවා තිබුණා. එමෙන්ම ඔහුගේ ස්වර්ගාරෝහණයට කලින් සාක්ෂිකරුවන් 500කට වැඩි සංඛ්‍යාවක් ඔහුව දැක තිබුණා. (1 කොරින්ති 15:3-8) එම ඇදහිල්ලෙන් ඔවුන්ගේ මුළු ජීවිත මාර්ගයම පාලනය කරන්න ඔවුන්ට ඕනෑ තරම් හේතු තිබුණා. ඇදහිල්ලෙන් ගමන් කරන්න අපටත් හොඳ හේතු තිබෙනවා.
19. හෙබ්‍රෙව් 1:1, 2හි පෙන්වන විදිහට දෙවි අපට කතා කර තිබෙන්නේ කා මාර්ගයෙන්ද?
19 මෝසෙස්ට දැවෙන පඳුර අසලදී කතා කළාක් මෙන්, යෙහෝවා අදදින තම සෙනඟට දේවදූතයෙක් මාර්ගයෙන් කතා කරන්නේ නැහැ. ඔහු තම පුත්‍රයා මාර්ගයෙන් කතා කර තිබෙනවා. (හෙබ්‍රෙව් 1:1, 2) ඔහු තුළින් දෙවි කී දේ, ඔහු බයිබලයෙහි වාර්තා කිරීමට සලස්වා තිබෙන අතර, ලොව වටා ජනයාගේ භාෂාවලට මෙය පරිවර්තනය කර තිබෙනවා.
20. අපගේ තත්වය නෝවා, ආබ්‍රහම් සහ මෝසෙස්ගේ තත්වයට වඩා සතුටුදායක වන්නේ කෙසේද?
20 නෝවාට, ආබ්‍රහම්ට සහ මෝසෙස්ට තිබුණු දේට වඩා වැඩියෙන් දේවල් අපට තිබෙනවා. අපට දෙවිගේ වචනය සම්පූර්ණයෙන්ම තිබෙනවා—ඇරත් එයින් වැඩි හරියක්ම දැනටමත් ඉටු වෙලා තිබෙනවා. සියලු ආකාරයේ පරීක්ෂා හමුවේ යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් බව ඔප්පු කළාවූ පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන බයිබලය කියන හැම දෙයක් ගැනම සලකද්දී, හෙබ්‍රෙව් 12:1 මෙහෙම උනන්දු කරනවා: “සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, . . . අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරාගැනීමෙන් යුතුව, NW] දුවමු.” අපේ ඇදහිල්ල සුළුවෙන් සැලකිය යුතු දෙයක් නෙවෙයි. “පහසුවෙන් අප අසුකරන පාපය” ඇදහිල්ලේ ඌනතාවයි. අප දිගටම ‘ඇදහිල්ලෙන් ගමන් කරන්න’ නම්, ඒ සඳහා දැඩි පොරඇල්ලීමක් කරන්න අවශ්‍යයි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) යන පොත බලන්න.
ඔබේ අදහස් මොනවාද?
◻ ‘ඇදහිල්ලෙන් ගමන් කිරීමට’ අයත් වන්නේ කුමක්ද?
◻ නෝවා ඇදහිල්ල පෙන්වූ ආකාරයෙන් අපට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
◻ ආබ්‍රහම් ඇදහිල්ල ක්‍රියාත්මක කළ ආකාරය අපට උපකාර කරන්නේ කෙසේද?
◻ ඇදහිල්ලේ ආදර්ශයක් ලෙස බයිබලය මෝසෙස්ට යොමු දක්වන්නේ මන්ද?
[10වන පිටුවේ පින්තූරය]
ආබ්‍රහම් ඇදහිල්ලෙන් ගමන් කළා
[10වන පිටුවේ පින්තූරය]
මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියේ සිටිද්දී ඇදහිල්ල විදහාපෑවා