ඔවුන්ගේ නෙත් යොමු වුණේ දෙවිගේ පොරොන්දු වෙතටයි
“පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත් . . . ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත්තා.”—හෙබ්‍රෙ. 11:13.
1. කවදාවත් දැකලා නැති දේවල් ගැන හිතින් මවාගන්න තියෙන හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
යෙහෝවා දෙවි අපිට පුදුමාකාර හැකියාවක් දීලා තියෙනවා. ඒ තමයි අපි කවදාවත් දැකලා නැති දේවල් ගැන හිතින් මවාගන්න තියෙන හැකියාව. අනාගතයේ අපි ලබන හොඳ දේවල් දිහා බලාගෙන ඉන්නත් අනවශ්‍ය ප්‍රශ්නවලින් වළකින්නත් ඒ හැකියාව අපිට උදව් වෙනවා. අනාගතය ගැන හරියටම දන්නේ යෙහෝවා දෙවි. අනාගතයේ වෙන දේවල් ගැන ඔහු අපිට කියලා තියෙන්නේ නිසයි. ඒ දේවල් හිතේ මවාගෙන ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසයෙන් ඉන්න අපිට පුළුවන්.—2 කොරි. 4:18.
2, 3. (අ) අපි සිහින මවන දේවලට පදනමක් තියෙන එක වැදගත් ඇයි? (ආ) මේ ලිපියේ බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
2 ඒත් ඒක කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන සිහින මවනවට වඩා වෙනස්. හිතන්න, පුංචි දුවෙක් සමනලයෙක්ගේ පිටේ නැඟලා රවුමක් යන්න සිහින මවනවා කියලා. අපි දන්නවා ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා. හැබැයි හන්නාට තිබුණු සිහිනේ ඊට වඩා වෙනස්. එයා සිහින මැව්වේ එයාගේ පුතාව ශුද්ධ කූඩාරමේ සේවය කරන්න භාර දෙන දවස ගැනයි. හන්නාගේ සිහිනෙට පදනමක් තිබුණා. මොකද සාමුවෙල්ව ශුද්ධ කූඩාරමට භාර දෙන්න එයා ඒ වෙනකොටත් තීරණයක් අරන් තිබුණා. සාමුවෙල්ව භාර දෙන ඒ දවස ගැන හන්නා නිතරම හිතින් මවාගෙන වැඩ කරපු නිසා දෙවිට වුණු පොරොන්දුව ඉටු කරන්න අවශ්‍ය කරන ධෛර්යය, ශක්තිය හන්නාට ලැබුණා. (1 සාමු. 1:22) යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන අපිත් නිතරම හිතින් මවාගමු. එහෙම කරන්න අපිට පදනමක් තියෙනවා. මොකද ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.—2 පේතෘ. 1:19-21.
3 දෙවිගේ පොරොන්දු ගැන හිතින් මවාගෙන ඒ දිහා බලාගෙන හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් අතීතයේ හිටියා. ඒක ඒ අයට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? අනාගතයේදී අපේ ජීවිත මොන වගේ වෙයිද කියලා හිතේ චිත්‍රයක් ඇඳගන්න එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
ඔවුන් අනාගතය ගැන හිතින් මවාගත්තා
4. හොඳ අනාගතයක් ගැන හිතින් මවාගන්න ආබෙල්ට තිබුණු පදනම මොකක්ද?
4 යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන විශ්වාසයෙන් හිටපු පළවෙනි කෙනා ආබෙල්. දෙවි සාතන්ට කියපු මේ දේ ඔහු දැනගෙන හිටියා. “ඔබ සහ ස්ත්‍රිය අතරද ඔබෙන් පැවත එන්නන් සහ ඇගෙන් පැවත එන තැනැත්තා අතරද මම සතුරුකම් තබන්නෙමි. ඔහු ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්. 3:14, 15) ඒක ඉටු වෙන විදිහ ආබෙල් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඒ ගැන ඔහු හිතන්න ඇති. ආදම් සහ ඒවට තිබුණා වගේ ජීවිතයක් මිනිසුන්ට ආයෙත් ලැබෙන්න නම් සර්පයා යම් කෙනෙක්ගේ විලුඹ තුවාල කරන්න නියමිතයි කියලා ආබෙල් තේරුම්ගත්තා. ඒ කාගෙද කියලා ඔහු හිතන්න ඇති. යෙහෝවා දෙවි දෙන පොරොන්දු ඉටු වෙනවා කියන විශ්වාසය ආබෙල්ට තිබුණා. ඔහුගේ පූජාව ගැන දෙවි සතුටු වුණේ ඒ නිසයි.—උත්පත්ති 4:3-5; හෙබ්‍රෙව් 11:4 කියවන්න.
5. අනාගතය ගැන හිතින් මවාගත්ත එක ඒනොක්ට උදව් වුණේ කොහොමද?
5 ඒනොක් ජීවත් වුණේ යෙහෝවා දෙවි ගැන “ඉතාමත් තැතිගන්වනසුලු දේවල්” කියපු දුෂ්ට මිනිසුන් හිටපු කාලෙක. ඒත් ඔහු නිර්භීතව දෙවිගේ පණිවිඩය ගැන දේශනා කළා. යෙහෝවා දෙවි දුෂ්ටයන්ව විනාශ කරනවා කියලා කියන්න ඔහු බය වුණේ නැහැ. (යූද් 14, 15) එහෙම කරන්න ඔහුට උදව් වුණේ මොකක්ද? මිහිපිට ඉන්න හැම කෙනෙක්ම යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන කාලය ගැන ඒනොක් හිතින් මවාගෙන හිටපු එක ඔහුට උදව් වෙන්න ඇති.—හෙබ්‍රෙව් 11:5, 6 කියවන්න.
6. ජලගැල්මෙන් පස්සෙත් නෝවාගේ මනස යොමු වුණේ මොන දේවලටද?
6 ජලගැල්මෙන් ජීවිතේ බේරගන්න නෝවාට පුළුවන් වුණේ දෙවි ගැන ඔහුට තිබුණු විශ්වාසය නිසයි. (හෙබ්‍රෙ. 11:7) ජලගැල්මෙන් පස්සේ යෙහෝවා දෙවිට පූජා ඔප්පු කරන්න ඔහු පෙලඹුණෙත් ඒ විශ්වාසය නිසයි. (උත්. 8:20) කාලෙකට පස්සේ ආයෙත් මිනිසුන් දුෂ්ට විදිහට වැඩ කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ නායකයා වුණු නිම්රොද්ට ඕන වුණේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගහන්න මිනිසුන්ව පොලඹවන්නයි. (උත්. 10:8-12) ඒත් නෝවා නම් දිගටම විශ්වාසවන්තව හිටියා. යෙහෝවා දෙවි කවදා හරි දවසක පාපය හා මරණය නැති කරනවා කියලා ආබෙල්ට වගේ ඔහුටත් ලොකු විශ්වාසයක් තිබුණා. කුරිරු පාලකයන් නැති ඒ කාලය දිහා ඔහු ආසාවෙන් බලාගෙන හිටියා. ළඟදීම එන ඒ ලස්සන කාලය ගැන හිතින් මවාගන්න අපිටත් පුළුවන්.—රෝම 6:23.
දෙවිගේ පොරොන්දුවල ඉටු වීම ඔවුන් හිතින් මවාගත්තා
7. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ආසාවෙන් බලාගෙන හිටියේ මොන වගේ අනාගතයක් දිහාද?
7 ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට තිබුණේ හිතින් මවාගෙන ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් විදිහේ අනාගතයක්. ඔවුන්ගෙන් පැවතෙන තැනැත්තා මාර්ගයෙන් සියලු ජාතීන් ආශීර්වාද ලබනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තිබුණා. (උත්. 22:18; 26:4; 28:14) ඔවුන්ගේ පවුලෙන් විශාල ජාතියක් බිහි වෙනවා කියලත් ඒ අයට ලස්සන දේශයක් උරුම කරලා දෙනවා කියලත් දෙවි පොරොන්දු වුණා. (උත්. 15:5-7) තමන්ගේ පවුලේ අය ඒ දේශයේ ජීවත් වෙන හැටි ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ හිතේ ඇඳුණා. නැති වුණු පරිපූර්ණ ජීවිතේ ආයෙත් මිනිසුන්ට ලැබෙනවා කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට උදව් කළා කියන්න ඒක උදාහරණයක්.
8. දෙවි ගැන විශ්වාසය තියලා දේවල් කරන්න ආබ්‍රහම්ට උදව් වුණේ මොකක්ද?
8 අමාරු කාලවලදීත් දෙවිට කීකරුව ඉන්න ආබ්‍රහම්ට පුළුවන් වුණේ ඔහු තුළ තිබුණු ශක්තිමත් විශ්වාසය නිසයි. දෙවි දුන්න සමහර පොරොන්දු ඔවුන්ගේ ජීවිත කාලේ ඇතුළත ඉටු වුණේ නැතත් ආබ්‍රහම් ඇතුළු අනිත් විශ්වාසවන්ත සේවකයන් ඒවා ඉටු වෙන විදිහ ගැන හිතින් මවාගත්තා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වුණා.” (හෙබ්‍රෙව් 11:8-13 කියවන්න.) යෙහෝවා දෙවි වුණු පොරොන්දු හැම එකක්ම ඉටු කළා කියලා ආබ්‍රහම් දැනගෙන හිටියා. ඒ නිසා අනාගතය ගැන දෙවි දුන්න පොරොන්දුත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා.
9. දෙවිගේ පොරොන්දු ගැන ආබ්‍රහම්ට තිබුණු විශ්වාසය ඔහුට උදව් වුණේ කොහොමද?
9 යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන ආබ්‍රහම්ට තිබුණු විශ්වාසය නිසා දෙවි ඔහුට කරන්න කිව්ව හැම දේම ඔහු කළා. ඌර් දේශයේ තිබුණු ඔහුගේ සැප පහසු නිවස අත්හැරලා යන්න කියලා දෙවි කිව්වම ඔහු ඒක කළා. ඊටපස්සේ ඔහුගේ ජීවිතේ තියෙන කල්ම එක නගරෙක නතර වෙලා ඒකේ ස්ථිරව පදිංචිකරුවෙක් වෙන්න ඔහුට ඕන වුණේ නැහැ. ඔහු දැනගෙන හිටියා ඒ නගරවල පාලකයන් දෙවිට සේවය කරන්නේ නැති නිසා ඒවා හැමදාටම තියෙන්නේ නැහැ කියලා. (යොෂු. 24:2) ඔහුගේ ජීවිත කාලේ පුරාම ඔහු බලාගෙන හිටියේ “සැබෑ අත්තිවාරමක් ඇති නුවර පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.” (හෙබ්‍රෙ. 11:10) යෙහෝවා දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී මේ පොළොවේ ස්ථිර පදිංචිකරුවෙක් වෙන විදිහ ඔහු හිතින් මවාගත්තා. ආබ්‍රහම් විතරක් නෙමෙයි ආබෙල්, ඒනොක්, නෝවා, වගේ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් නැවත නැඟිටලා දෙවිගේ පාලනය යටතේ සදාකල් ජීවත් වෙන්න ආසාවෙන් හිටියා. ඒ කාලය ගැන හිතින් මවාගත්ත හැම වෙලාවකම යෙහෝවා දෙවි ගැන ඔවුන්ට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා.—හෙබ්‍රෙව් 11:15, 16 කියවන්න.
10. අනාගතය දිහා ආසාවෙන් බලාගෙන හිටපු එක සාරාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?
10 අවුරුදු 90ක තරම් මහලු වයසක හිටියත් තමන්ට දරුවෙක් ලැබෙන කල් සාරා ආසාවෙන් බලාගෙන හිටියා. තමන්ගේ කුසෙන් බිහි වෙන දරුවාගෙන් විශාල ජාතියක් ඇති වෙන හැටි සාරා හිතින් මවාගත්තා. (හෙබ්‍රෙ. 11:11, 12) සාරාට එච්චර විශ්වාසයක් තිබුණේ කොහොමද? ඒකට හේතුව “මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි. මම ඇයට ආශීර්වාද කරන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි” කියලා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කියලා තිබුණු නිසයි. (උත්. 17:16) දෙවි පොරොන්දු වුණු විදිහටම සාරාට ඊසාක්ව ලැබුණා. ඊටපස්සේ යෙහෝවා දෙවිගේ අනිත් පොරොන්දුත් ඉටු වෙනවා කියලා සාරාට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිත් යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙන පුදුමාකාර දේවල් ගැන නිතරම හිතින් මවාගමු. එතකොට දෙවි ගැන අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙයි.
ත්‍යාගය දිහා ඕනෑකමින් බලාගෙන හිටියා
11, 12. යෙහෝවා දෙවිට තව තවත් ආදරේ කරන්න මෝසෙස්ට උදව් වුණේ මොකක්ද?
11 මෝසෙස් හැදී වැඩුණේ ඊජිප්තුවේ රජ කුමාරයෙක් විදිහට. ඒත් ඊජිප්තුවේ තිබුණු ධනයට, බලයට වඩා ඔහු යෙහෝවා දෙවිට ආදරේ කළා. ඒ වගේ ආදරයක් ඇති කරගන්න ඔහුට උදව් කළේ ඔහුගේ දෙමාපියන්. යෙහෝවා දෙවි හෙබ්රෙව්වරුන්ව ඊජිප්තුවෙන් බේරගෙන සරුසාර දේශයට රැගෙන යනවා කියලා දෙවි දීලා තිබුණු පොරොන්දුව ගැන ඔවුන් ඔහුට කියලා දුන්නා. (උත්. 13:14, 15; නික්. 2:5-10) ඒ පොරොන්දු ගැන හිතින් මවාගත්ත තරමට මෝසෙස්ගේ හිතේ යෙහෝවා දෙවි ගැන තිබුණු ආදරයත් වැඩි වුණා.
12 ඔහු ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර, පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේය. ඔහු එසේ කළේ ඊජිප්තුවේ වස්තුවලට වඩා අභිෂේක ලැබූ කෙනෙකු ලෙස නින්දා අපහාස විඳීම උතුම් දෙයක් ලෙස සැලකූ නිසාය. මන්ද තමාට ලැබෙන ත්‍යාගය දෙස ඔහු ඕනෑකමින් බලා සිටියේය.”—හෙබ්‍රෙ. 11:24-26.
13. යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන හිතපු එක මෝසෙස්ට උදව් වුණේ කොහොමද?
13 හෙබ්රෙව්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරනවා කියලා යෙහෝවා දෙවි දුන්න පොරොන්දුව ගැන මෝසෙස් හුඟක් හිතන්න ඇති. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ව මරණයෙන් නිදහස් කරන්න දෙවි ආසාවෙන් ඉන්නවා කියලත් මෝසෙස් දැනගෙන හිටියා. (යෝබ් 14:14, 15; හෙබ්‍රෙ. 11:17-19) දෙවි මිනිසුන්ට කොච්චර ආදරේ කරනවද කියලා තේරුම්ගන්න ඒ දේවල් මෝසෙස්ට උදව් වුණා. ඒ ගැන හිතද්දී යෙහෝවා දෙවි ගැන ඔහුගේ හිතේ තිබුණු ආදරේ, විශ්වාසය තවත් වැඩි වුණා. ජීවිත කාලෙම දෙවිට සේවය කරන්න ඔහුට උදව් වුණේ ඒ ආදරයයි. ඒ විශ්වාසයයි. (ද්වි. 6:4, 5) පාරාවෝ ඔහුව මරන්න හැදුවත් ඔහු බය වුණේ නැහැ. මොකද ඔහුගේ මනසේ තිබුණේ යෙහෝවා දෙවි ඔහුට ලබා දෙන්න යන ලස්සන අනාගතයයි.—නික්. 10:28, 29.
දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද හිතින් මවාගන්න
14. සමහරු අනාගතය ගැන දකින සිහින මොනවද?
14 හුඟක් අය අනාගතය ගැන හිතනවා. ඒත් ඔවුන් සිහින මවන්නේ කවදාවත් වෙන්නේ නැති දේවල් ගැනයි. උදාහරණෙකට දුප්පත් අය පොහොසතුන් වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න සිහින දකිනවා. ඒත් බයිබලේ කියන්නේ සාතන්ගේ පාලනය යටතේ ගත කරන ජීවිතේ “කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත” කියලයි. (ගීතා. 90:10) මේ ලෝකෙ තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් මිනිස් ආණ්ඩුවක් බිහි වෙයි කියලා සමහරු සිහින දකිනවා. ඒත් ඒක කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලා බයිබලේ කියනවා. (දානි. 2:44) තවත් අය හිතන්නේ මේ ලෝකෙ තත්වය කවදාවත් වෙනස් වෙන්න නැහැ කියලයි. ඒත් බයිබලේ පැහැදිලිවම කියන්නේ දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලයි. (ශෙප. 1:18; 1 යොහ. 2:15-17) දෙවි කියලා තියෙන දේට වඩා වෙනස් දෙයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ සිහින අනිවාර්යයෙන්ම බොඳ වෙනවා.
15. (අ) දෙවි අපිට පොරොන්දු වෙලා තියෙන අනාගතය ගැන හිතින් මවාගන්න එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (ආ) ඔයා ආසාවෙන් බලාගෙන ඉන්න එක දෙයක් ගැන කියන්න.
15 යෙහෝවා දෙවි අපිට ලස්සන අනාගතයක් පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලේ ගැන හිතින් මවාගද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම දිගටම දෙවිට සේවය කරන්න ඒකෙන් ලොකු ධෛර්යයක් ලැබෙනවා. ඔයාට තියෙන්නේ ස්වර්ගයේ බලාපොරොත්තුවක් වුණත් පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වුණත් එදාට යෙහෝවා දෙවි ඔයාට භාර දෙන වැඩ ඔයා කරන හැටි හිතින් මවාගන්න. ඔයාගේ බලාපොරොත්තුව පොළොවේ ජීවත් වෙන්න නම් යාළුවෝ එක්ක එකතු වෙලා මේ පොළොව ලස්සන උයනක් කරන්න වැඩ කරන හැටි හිතින් මවාගන්න. ඒ වැඩකටයුතු බලාගන්න පත් කරලා ඉන්න අය ඔයා ගැන සැලකිලිමත් වෙන නිසා සතුටින් ඒ වැඩ කරන්න පුළුවන්. එදාට බැලූ බැලූ හැම තැනකම ඉන්නේ ඔයා වගේම යෙහෝවා දෙවිට ආදරේ කරන අයයි. හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන නිසා හුඟක් දේවල් කරන්න එදාට ඔයාට පුළුවන්. ඔයාගේ හැකියාවන් දක්ෂතා යොදාගෙන අනිත් අයට උදව් කරන්නත් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්නත් ඔයාට පුළුවන්. නැවත නැඟිටින අයට දෙවි ගැන කියලා දෙද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි. (යොහ. 17:3; ක්‍රියා 24:15) ඒ ලස්සන කාලය ගැන හිතින් මවාගන්න එක දවල් සිහින දැකීමක් නෙමෙයි. ඒවා ඇත්තටම වෙනවා කියලා බයිබලේ සහතික වෙලා තියෙනවා.—යෙසා. 11:9; 25:8; 33:24; 35:5-7; 65:22.
ආසාවෙන් බලාගෙන ඉන්න දේවල් ගැන කතා කරන්න
16, 17. යෙහෝවා දෙවිගේ පොරොන්දු ගැන අනිත් අය එක්ක කතා කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
16 පාරාදීස පොළොවේ කරන්න ආසාවෙන් ඉන්න දේවල් ගැන සභාවේ අය එක්ක කතා කරන්න. එහෙම කරද්දී අපිට තියෙන්නේ මොන තරම් ලස්සන අනාගතයක්ද කියලා තවත් පැහැදිලිව තේරුම්ගන්න අපි එකිනෙකාට පුළුවන්. එදාට අපිට මෙන්න මේ දේ කරන්න ලැබෙයි කියලා හරියටම කියන්න බැහැ. ඒත් කරන්න ආසාවෙන් ඉන්න දේවල් ගැන කතා කරද්දී අපි පෙන්නන්නේ දෙවිගේ පොරොන්දු ගැන අපිට කොච්චර විශ්වාසයක් තියෙනවද කියන එකයි. ඒ දේවල් ගැන එකිනෙකා එක්ක කතා කරද්දී මේ අමාරු කාලේ දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න එකිනෙකා දිරිගැන්වෙනවා.—රෝම 1:11, 12.
17 යෙහෝවා දෙවි අපිට දෙන අනාගතය ගැන හිතද්දී දැන් තියෙන ප්‍රශ්න ගැන අපි හිතන්නේ අඩුවෙන්. දවසක් හිතේ කරදරෙන් හිටපු පේතෘස්, යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “බලන්න! අපි සියල්ල අත්හැර ඔබ අනුව ආවා. ඇත්තටම අපට කුමක් ලැබෙයිද?” ඒ වෙලාවේ යේසුස්ට ඕන වුණා අනාගතයේදී ඔවුන්ට ලැබෙන ලස්සන කාලය ගැන ඔවුන්ගේ හිතේ චිත්‍රයක් අඳින්න. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරයි. මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.” (මතෙ. 19:27-29) යේසුස් එක්ක රජකම් කරන කාලය ගැනත් මිනිසුන්ට ආයෙත් පරිපූර්ණ වෙන්න උදව් කරන විදිහ ගැනත් හිතින් මවාගන්න පේතෘස් ඇතුළු අනිත් නියෝජිතයන්ට පුළුවන්කම තිබුණා.
18. දෙවිගේ පොරොන්දු ඉටු වෙන කාලය ගැන හිතින් මවාගන්න එක අද අපිට උදව් වෙන්නේ කොහොමද?
18 දෙවිගේ පොරොන්දු ගැන හිතින් මවාගත්ත එක යෙහෝවා දෙවිගේ සේවකයන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වුණු විදිහ අපි දැනගත්තා. හොඳ අනාගතයක් ගැන දෙවි දුන්න පොරොන්දුව ගැන ආබෙල් නිතරම හිතුවා. ඒ ගැන ඔහුට තිබුණු නොසැලෙන විශ්වාසය ගැන දෙවි හුඟක් සතුටු වුණා. තමන්ගෙන් පැවතෙන තැනැත්තා ගැන දෙවි දුන්න පොරොන්දුව ඉටු වෙන කාලය ගැන ආබ්‍රහම් හිතින් මවාගත්තා. (උත්. 3:15) කොයි තරම් අමාරු තත්වයන්ට මුහුණ දෙන්න වුණත් දිගටම දෙවිට කීකරු වෙන්න ඔහුට පුළුවන් වුණේ ඒ නිසයි. මෝසෙස්ගේ නෙත් නිතරම යොමු වෙලා තිබුණේ යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තිබුණු ත්යාගයටයි. ඔහුගේ හිතේ දෙවි ගැන තිබුණු ආදරේ සහ විශ්වාසය තවත් වැඩි කරගන්න ඒක ඔහුට උදව් වුණා. (හෙබ්‍රෙ. 11:26) යෙහෝවා දෙවි අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන, කියා නිම කරන්න බැරි තරම් ලස්සන ඒ අනාගතයේදී අපි කරන දේවල් ගැන අපිත් හිතින් මවාගමු. එතකොට දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙයි. හිතින් දේවල් මවාගන්න අපිට තියෙන හැකියාව යොදාගන්න පුළුවන් තවත් පැත්තක් ගැන ඊළඟ ලිපියේ බලමු.