අපි ඇදහිල්ල ඇත්තෝ වෙමු
“අපි ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු.”—හෙබ්‍රෙව් 10:39, NW.
1. යෙහෝවාගේ සෑම පක්ෂපාත සේවකයෙකුගේම ඇදහිල්ල අනර්ඝයි කියා පැවසිය හැක්කේ මන්ද?
ඔබ ඊළඟ වතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් පිරුණු රාජ්‍ය ශාලාවක සිටින විට, මොහොතකට ඔබ අවට සිටින අය දෙස බලන්න. මේ අය ඇදහිල්ල පෙන්වමින් සිටින විවිධ ආකාර ගැන ටිකකට කල්පනා කරන්න. දශක ගණනාවක් පුරා දෙවිට සේවය කරන මහලු වියේ පසු වන අය, දිනපතා එල්ල වන තුල්‍ය පීඩනවලට සාර්ථකව මුහුණ දෙන යෞවනයන් හා දේවබියැති දරුවන් ඇති දැඩි කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන දෙමාපියන් ඔබ දකින්න පුළුවන්. වගකීම් රැසකට උර දෙන සභා වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් එහි සිටිනවා. ඔව්, යෙහෝවාට දිගටම සේවය කිරීමට හැකි වන සේ සියලු ආකාර බාධක ජයගනිමින් සිටින විවිධ වයස් මට්ටම්වල සිටින ආත්මික සහෝදර සහෝදරියන් ඔබ දකීවි. මේ හැමකෙනෙකුගේම ඇදහිල්ල මොනතරම් අනර්ඝද!—1 පේතෘස් 1:7.
2. හෙබ්‍රෙව් 10 සහ 11 යන පරිච්ඡේදවල සඳහන් පාවුල්ගේ උපදේශය අදදින අපිට ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
2 අසම්පූර්ණ මිනිසුන් අතර ඇදහිල්ලේ තිබෙන වැදගත්කම අවබෝධ කරගත් කෙනෙක් සිටිනවා නම්, ප්‍රේරිත පාවුල් තරම් එය හොඳින් අවබෝධ කරගත් කෙනෙක් නැහැ. ඇත්තෙන්ම, අව්‍යාජ ඇදහිල්ල ‘ප්‍රාණය ගළවාගැනීමට’ මඟ පාදන බව ඔහු සඳහන් කළා. (හෙබ්‍රෙව් 10:39) කෙසේවෙතත්, ඇදහිල්ල නොමැති මේ ලෝකය තුළ ඇදහිල්ල ප්‍රහාරවලට සහ සෝදාපාළුවට ලක් වන බව ඔහු දැන සිටියා. තමන්ගේ ඇදහිල්ල රැකගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිය යෙරුසලමේ හා යුදයේ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් ගැන ඔහු දැඩි සැලකිල්ලක් දැක්වුවා. අපි හෙබ්‍රෙව් 10 සහ 11 යන පරිච්ඡේදවල කොටස් කිහිපයක් සලකා බලද්දී, පාවුල් ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනැඟීමට යොදාගත් ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමු. මෙය කරන අතරේදී, අප තුළ මෙන්ම අප අවට සිටින අය තුළත් ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීමට අපිට හැකි ක්‍රම කිහිපයක්ද සලකා බලමු.
එකිනෙකා කෙරෙහි විශ්වාසය ප්‍රකාශ කරන්න
3. ඇදහිල්ලේ සිටින තම සහෝදර සහෝදරියන් කෙරෙහි ඔහු විශ්වාසය තබා තිබූ බව හෙබ්‍රෙව් 10:39හි සඳහන් පාවුල්ගේ වදන්වලින් පැහැදිලි වන්නේ කෙසේද?
3 පාවුල් ඔහුගේ ලිපිය මගින් ඇමතූ අය දෙස ඒකාන්ත ආකල්පයකින් බැලූ ආකාරය අපිට මුලින්ම සලකා බැලිය හැකියි. ඔහු මෙසේ ලිව්වා: “අපි විනාශවන ලෙස පසුබසින්නෝ නොවන්නෙමු; එනමුත් ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු.” (හෙබ්‍රෙව් 10:39, NW) පාවුල් නිතරම බැලුවේ ඔහුගේ සෙසු ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ යහපත් දේවල් දෙස මිස දුර්වලකම් දෙස නොවෙයි. ඔහු “අපි” යන ප්‍රකාශය යොදාගත් බව සැලකිල්ලට ගන්න. පාවුල් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්. එහෙත් වෙන කාටවත් වඩා තමා ධර්මිෂ්ඨ කෙනෙක් බව අඟවමින්, ඔහු ඇමතූ අයව ඔහු අවතක්සේරු කළේ නැහැ. (දේශනාකාරයා 7:16 සසඳන්න.) ඒ වෙනුවට, තමාවත් ඔවුන්ගේ මට්ටමේ සිටින කෙනෙක් හැටියට සැලකුවා. ඔහුද ඔහුගේ ඇදහිලිවන්ත ක්‍රිස්තියානි පාඨකයන්ද තමන් ඉදිරියෙහි තිබෙන පසුබෑමකට ලක් කරන බාධකවලට සාර්ථකව මුහුණ දෙයි කියාත්, විනාශ වන ලෙස පසුබට නොවීමට ධෛර්යය සම්පන්නව කටයුතු කරමින් ඔවුන් ඇදහිල්ල ඇත්තන් බව ඔප්පු කරයි කියාත් ඔහු මුළු හදින්ම විශ්වාස කළා.
4. පාවුල් සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි විශ්වාසය තැබුවේ කිනම් හේතු නිසාද?
4 එවන් විශ්වාසයක් ඇතුව සිටීමට පාවුල්ට හැකි වූයේ කෙසේද? ඔහු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගේ වැරදි ඉදිරියෙහි ඇස් පියාගෙන සිටියාද? නැහැ, ඊට වෙනස්ව, ඔහු ඔවුන්ගේ ආත්මික දුර්වලතාවලින් ජයගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන්ට නිශ්චිත උපදෙස් දුන්නා. (හෙබ්‍රෙව් 3:12; 5:12-14; 6:4-6; 10:26, 27; 12:5) කෙසේවෙතත්, තම සහෝදරයන් කෙරෙහි විශ්වාසය තැබීමට පාවුල්ට අඩුම තරමින් හොඳ හේතු දෙකක්වත් තිබුණා. (1) යෙහෝවාව අනුකරණය කරන්නෙකු හැටියට පාවුල් යෙහෝවා ඔහුගේ සෙනඟ දෙස බලන ආකාරයෙන් ඔවුන් දෙස බැලීමට වෑයම් කළා. ඔවුන්ගේ අඩු පාඩුකම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, නමුත් ඔවුන්ගේ යහපත් ගුණාංග මෙන්ම ඉදිරියේදී හරි දෙය කිරීමට ඔවුන්ට තිබෙන නැඹුරුවාව සම්බන්ධයෙන්ද ඔහු එසේ කළා. (ගීතාවලිය 130:3; එපීස 5:1) (2) ශුද්ධාත්මය සතු බලය කෙරෙහි පාවුල්ට පූර්ණ ඇදහිල්ලක් තිබුණා. යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කිරීමට වෑයම් කරන ඕනෑම ක්‍රිස්තියානියෙකුට ඔහු සපයන “සාමාන්‍යය ඉක්මවූ බලය, [NW]” වැළැක්වීමට කිසිම බාධාවකටවත්, මිනිස් දුර්වලකමකටවත් නොහැකි බව ඔහු දැන සිටියා. (2 කොරින්ති 4:7; පිලිප්පි 4:13) මේ නිසා පාවුල් ඔහුගේ සහෝදර සහෝදරියන් කෙරෙහි තැබූ විශ්වාසය, එය ලබන්ට නුසුදුසු, යථාර්ථයට පටහැනි හෝ අන්ධ විශ්වාසයක් මත පදනම් වූ බව එයින් අදහස් කරන්නේ නැහැ. එයට ස්ථිරසාර පදනමක් තිබුණ අතර එය ශුද්ධ ලියවිල්ලටත් එකඟ වුණා.
5. පාවුල්ගේ විශ්වාසය අපිට අනුකරණය කළ හැක්කේ කෙසේද? එහි ප්‍රතිඵලය විය හැක්කේ කුමක්ද?
5 පාවුල් විදහාපෙන්වූ විශ්වාසවන්ත ස්වභාවය තමන් තුළත් ඇති කරගන්න සෙසු ඇදහිලිවන්තයන් පෙලඹුණු බවට සැකයක් නැහැ. පාවුල් යෙරුසලමේ හා යුදයේ සභාවල සිටි ක්‍රිස්තියානීන්ට මෙතරම් දිරිගන්වනසුලු අයුරින් කතා කිරීම, ඔවුන් ඇත්තෙන්ම අගය කරන්න ඇති. ඇත්තෙන්ම, ඔවුන්ට විරුද්ධවාදිකම් එල්ල කළ අහංකාර යුදෙව්වන්ගේ අපහාසාත්මක වදන් හා උදාසීන ප්‍රතිචාර මධ්‍යයෙහි ඇදහිල්ල ඇත්තන් මෙන් වීමට මුළු හදින්ම අදිටන් කරගැනීම සඳහා හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල්ගේ ප්‍රකාශ උපකාර කළා. අදදින අපිටත් එකිනෙකා වෙනුවෙන් එලෙසම කරන්න පුළුවන්ද? අනිත් අයගේ වැරදි හා පෞද්ගලිකත්වයේ තිබෙන අඩු පාඩුකම් ඇතුළත් දිග ලැයිස්තුවක් හදන්න නම් හරිම පහසුයි. (මතෙව් 7:1-5) නමුත් අපි එක් එක්කෙනාගේ අද්විතීය ඇදහිල්ල සැලකිල්ලට ගනිමින් එය අගය කොට සලකනවා නම්, වඩා සාර්ථක ලෙස අපිට ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. එවැනි දිරිගැන්වීම් සැපයීමෙන් ඇදහිල්ල තව තවත් වර්ධනය වීමට තිබෙන ඉඩ කඩ වැඩියි.—රෝම 1:11, 12.
දෙවිගේ වචනය යෝග්‍ය ලෙස යොදාගැනීම
6. පාවුල් හෙබ්‍රෙව් 10:38හි සඳහන් කළ වදන් උපුටා දක්වමින් සිටියේ කුමන මූලාශ්‍රයෙන්ද?
6 පාවුල් ඉතා දක්ෂ ලෙස ශුද්ධ ලියවිලි පාවිච්චි කිරීමෙන්ද සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල ගොඩනැඟුවා. උදාහරණයක් හැටියට ඔහු මෙසේ ලිව්වා: “ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ [පසුබසින්නේ, NW] නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.” (හෙබ්‍රෙව් 10:38) පාවුල් මෙහිදී අනගතවක්තෘ හබක්කුක්ගේ පොතින් උපුටා දක්වමින් සිටියා.a හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් අතර අනාගතවක්තෲවරුන්ගේ පොත් ප්‍රචලිතව තිබූ නිසා පාවුල්ගේ එම වදන් ඔහුගේ පාඨකයන්ට වඩාත් හුරු පුරුදු ඒවා වන්න ඇති. පො.යු. 61දී පමණ යෙරුසලමෙහි හා ඒ අවට විසූ ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම ඔහුගේ අරමුණ වූ නිසා ආදර්ශයක් හැටියට හබක්කුක්ව තෝරාගැනීම යෝග්‍ය දෙයක් වුණා. ඒ මන්ද?
7. හබක්කුක් ඔහුගේ අනාවැකිය ලිව්වේ කවදාද? ඒ කාලයේදී යුදයේ පැවතියේ කිනම් තත්වයන්ද?
7 හබක්කුක් ඔහුගේ පොත ලිව්වේ පො.යු.පෙ. 607 යෙරුසලමේ විනාශය සිදුවීමට දශක දෙකකට වැඩි කාලයකට කලින් බව පැහැදිලියි. ‘දරුණු, කලබලකාරි ජාතියක්’ (නව අනුවාදය) වූ කල්දිවරුන් (නොහොත් බබිලෝනිවරුන්) ජනයන්ව හා ජාතීන්ව නැති නාස්ති කර දමමින් හා යෙරුසලම විනාශ කරමින් යුදා දේශය අතුගා දැමීම හා සම්බන්ධ දර්ශනයක් මේ අනාගතවක්තෘවරයා දුටුවා. (හබක්කුක් 1:5-11) මෙවන් විපතක් සිදු වන බව පුරෝකථනය කර තිබුණේ ඊට අවුරුදු සියයකට වඩා වැඩි කලකට ඉහතදී යෙසායාගේ කාලයේදීයි. හබක්කුක්ගේ කාලයේදී, යහපත් රජෙකු වූ යොෂියාගෙන් පසුව යෙහෝයාකිම් රජකමට පත් වූ අතර, නැවතත් යූදාහි දුෂ්ටකම වැජඹෙන්න පටන්ගත්තා. යෙහෝයාකිම් යෙහෝවාගේ නාමයෙන් කතා කළ අයට හිංසා පීඩා කළා විතරක් නොවෙයි, ඔවුන්ව මරණයට පවා පත් කළා. (2 ලේකම් 36:5; යෙරෙමියා 22:17; 26:20-24) ‘අහෝ යෙහෝවා තව කොපමණ කල්ද?’ කියා වේදනාවෙන් අනාගතවක්තෘ හබක්කුක් මොරගැසීම පුදුමයක් නොවෙයි.—හබක්කුක් 1:2.
8. පළමු සියවසේ මෙන්ම අද සිටින ක්‍රිස්තියානීන්ටත් හබක්කුක්ගේ ආදර්ශය උපකාරවත් වන බව තහවුරු වන්නේ මන්ද?
8 යෙරුසලමේ විනාශය කොපමණ ළංව තිබුණාද කියා හබක්කුක් දැන සිටියේ නැහැ. ඒ හා සමානව, යුදෙව් පිළිවෙළේ නිමාව සිදු වන්නේ කවදාද කියා මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් දැන සිටියෙත් නැහැ. ඒ හා සමානව, මේ දුෂ්ට පිළිවෙළට එරෙහිව යෙහෝවා සිය විනිශ්චය ගෙන එන “දවස හා පැය” කවදාද කියා අද සිටින අප දන්නෙත් නැහැ. (මතෙව් 24:36) එසේනම් අපි යෙහෝවා හබක්කුක්ට දුන් දෙවදෑරුම් පිළිතුර සැලකිල්ලට ගනිමු. මුලින්ම, අවසානය නියමිත වේලාවට පැමිණෙන බව ඔහු හබක්කුක්ට සහතික ලෙස පැවසුවා. මිනිසුන් කාරණා දෙස බලන ආකාරය අනුව එය ප්‍රමාද වෙනවා වගේ පෙනෙන්න තිබුණත්, “එය ප්‍රමාද නොවනු ඇත” කියා දෙවි පැවසුවා. (හබක්කුක් 2:3, NW) දෙවනුව, යෙහෝවා හබක්කුක්ට මෙය මතක් කර දුන්නා: “ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් [ඇදහිල්ලෙන්, NW] ජීවත්වන්නේය.” (හබක්කුක් 2:4) මොනතරම් කදිම, සරල සත්‍යයන්ද! වඩාත්ම වැදගත් දෙය වන්නේ, අවසානය එන්නේ කවදාද කියන එක නොවෙයි, නමුත් අපි දිගටම ඇදහිලිවන්තව ජීවත් වෙමින් සිටිනවාද කියන එකයි.
9. යෙහෝවාගේ කීකරු සේවකයන් (අ) පො.යු.පෙ. 607දී (ආ) පො.යු. 66දී ඇදහිල්ලෙන් ජීවත් වූයේ කෙසේද? (ඇ) අපි අපේ ඇදහිල්ල ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
9 පොදු යුගයට පෙර 607දී යෙරුසලම විනාශ කළ කාලයේ විසූ යෙරෙමියා, ඔහුගේ ලේකම් බාරුක්, එබෙද්-මෙලෙක් හා පක්ෂපාත රේකාබ්වරුන් යෙහෝවා හබක්කුක්ට දුන් පොරොන්දුවේ ඉටුවීම අද්දැක්කා. ඔවුන් යෙරුසලමට අත් වූ බිහිසුණු විනාශයෙන් බේරී ‘ජීවත් වුණා.’ එයට හේතු වූයේ කුමක්ද? යෙහෝවා ඔවුන්ගේ ඇදහිල්ලට විපාක දීමයි. (යෙරෙමියා 35:1-19; 39:15-18; 43:4-7; 45:1-5) ඒ හා සමානව, මුල් සියවසේ විසූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ද පාවුල්ගේ උපදේශයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ බවට සැකයක් නැහැ. මන්ද පො.යු. 66දී රෝම හමුදා යෙරුසලමට විරුද්ධව ප්‍රහාරයක් දියත් කර, පසුව කිසිම පැහැදිලි හේතුවක් නොමැතිව සටන අත්හැර ගිය කාලයේදී, පලායන්න කියා යේසුස් දුන් අනතුරු ඇඟවීමට ක්‍රිස්තියානීන් විශ්වාසවන්තව අවනත වුණා. (ලූක් 21:20, 21) ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වුණේ ඔවුන්ගේ ඇදහිල්ල නිසයි. ඒ හා සමානව අවසානය එද්දී අපි ඇදහිලිවන්තව සිටිනවා නම්, අපේ ජීවිතත් ආරක්ෂා වෙන්න යනවා. දැන්ම අපේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා මොනතරම් වැදගත් හේතුවක්ද!
ඇදහිල්ලේ ආදර්ශවලට ජීවයක් දීම
10. පාවුල් මෝසෙස්ගේ ඇදහිල්ල විස්තර කළේ කෙසේද? මේ සම්බන්ධයෙන් අපිට මෝසෙස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?
10 පාවුල් ඇදහිල්ල පිළිබඳ ආදර්ශ බලපෑමෙන් යුක්තව යොදාගැනීමෙන්ද ඇදහිල්ල ගොඩනැඟුවා. ඔබ හෙබ්‍රෙව් 11වන පරිච්ඡේදය කියවද්දී ඇදහිල්ල පිළිබඳ බයිබල් චරිතවලට ඔහු ජීවයක් දෙන ආකාරය සැලකිල්ලට ගන්න. උදාහරණයක් හැටියට, මෝසෙස් ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් ස්ථිරව සිටියේය’ කියා ඔහු පවසනවා. (හෙබ්‍රෙව් 11:27) වෙනත් වචනවලින් කියනවා නම්, මෝසෙස්ට යෙහෝවා මොනතරම් සැබෑ පුද්ගලයෙක් වුණාද කියනවා නම්, ඔහු කටයුතු කළේ හරියට අදෘශ්‍යමාන දෙවිව දැක්කා වගෙයි. අපි ගැනත් ඒ දෙයම කියන්න පුළුවන්ද? යෙහෝවා සමඟ තිබෙන සබඳතාව ගැන කතා කරන්න නම් ලෙහෙසියි; නමුත් ඔහු සමඟ සබඳතාවක් ගොඩනැඟීමට හා එය ශක්තිමත්ව තබාගැනීමට වෑයමක් දරන්න අවශ්‍යයි. ඒ වෑයම දැරිය යුත්තේ අපිමයි! කුඩා මෙන් පෙනෙන දේවල් ඇතුළු අපි ගන්න තීරණවලදී යෙහෝවාව සැලකිල්ලට ගැනීමට තරම් ඔහු අපිට සැබෑ පුද්ගලයෙක්ද? දරුණු විරුද්ධවාදිකම් හමුවෙහි පවා විඳදරාගන්න එවැනි ඇදහිල්ලක් අපිට උපකාර කරන්න යනවා.
11, 12. (අ) ඒනොක්ගේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් වන්න ඇත්තේ කිනම් තත්වයන් යටතේද? (ආ) ඒනොක්ට අත් වූයේ කිනම් දිරිගන්වනසුලු විපාකයක්ද?
11 ඒනොක්ගේ ඇදහිල්ල ගැනද සලකා බලන්න. ඔහු මුහුණ දුන් විරුද්ධවාදිකම් ගැන අපිට සිතාගන්නත් අමාරුයි. එදා ජීවත් වූ දුෂ්ට මිනිසුන්ට එරෙහිව සිත්වලට අනිනසුලු විනිශ්චයේ පණිවිඩයක් ප්‍රකාශ කරන්න ඒනොක්ට සිදු වුණා. (යූද් 14, 15) මේ ඇදහිලිවන්ත මිනිසාට එල්ල වූ හිංසා පීඩා මොනතරම් දරුණුව තිබුණාද කියනවා නම්, ඔහුගේ සතුරන් ඔහුව මරන්න කලින්, යෙහෝවා ඔහුව මරණය නමැති නින්දට ‘ගෙන ගියා.’ එනිසා තමා ප්‍රකාශ කළ අනාවැකියේ ඉටුවීම දකින්න ඒනොක්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. කෙසේවෙතත්, ඔහු ඇතැම් පැතිවලින් ඊටත් වඩා උතුම් ත්‍යාගයක් ලැබුවා.—හෙබ්‍රෙව් 11:5; උත්පත්ති 5:22-24.
12 පාවුල් මෙසේ පැහැදිලි කළා: “ඔහුගේ ගෙනයාමට ප්‍රථම, [ඒනොක් දෙවිව] ප්‍රසන්නකළ බවට සාක්ෂි ලැබුවේය.” (හෙබ්‍රෙව් 11:5) මෙයින් අදහස් කළේ කුමක්ද? ඒනොක් මරණය නමැති නින්දට යන්න කලින් යම් දර්ශනයක් ඇතැම්විට, යම් දවසක ඔහුව පුබුදුවාලන්න යන භූමික පාරාදීසය ගැන දර්ශනයක් දුටුවා විය හැකියි. සිදු වූ දෙය කුමක් වුණත්, ඔහු ඇදහිලිවන්තව ජීවත් වීම ගැන තමා ඉතා සතුටු වූ බව යෙහෝවා ඔහුට දැනගන්න සැලැස්සුවා. ඒනොක් යෙහෝවාගේ හෘදය සතුටු කළා. (හිතෝපදේශ 27:11 සසඳන්න.) ඒනොක්ගේ ජීවිතය ගැන කල්පනා කරබැලීම, ඔහු මෙන් වීමට අප තුළත් පෙලඹවීමක් ඇති කරන්නේ නැද්ද? එවැනි ඇදහිලිවන්ත ජීවිතයක් ගත කරන්න ඔබත් කැමතිද? එහෙමනම්, එවන් ආදර්ශ ගැන මෙනෙහි කරන්න; සැබෑ පුද්ගලයන් හැටියට ඔවුන් දෙස බලන්න. දවසක් දවසක් පාසා ඇදහිලිවන්තව ජීවත් වීමට අදිටන් කරගන්න. මේ වගේ ඇදහිල්ලක් තිබෙන අය යෙහෝවා ඔහුගේ පොරොන්දු ඉටු කරන්න යන කාල වකවානුව සම්බන්ධයෙන් යම් නියමිත දවසක් සිතේ තබාගෙන යෙහෝවාට සේවය කරන්නේ නැති බවත් මතක තබාගන්න. එසේ කරනවා වෙනුවට, අපේ අධිෂ්ඨානය සදාකාලයටම යෙහෝවාට සේවය කිරීමයි! මෙසේ කිරීමෙන් අදහස් වන්නේ, මේ පිළිවෙළේදීත් පැමිණෙන පිළිවෙළේදීත් ජීවිතය සඳහා හොඳම මඟෙහි අපි ගමන් කරන බවයි.
ඇදහිල්ල ශක්තිමත් කරගත හැකි අයුරු
13, 14. (අ) අපේ රැස්වීම් ප්‍රීතිමත් අවස්ථා කරගැනීමට හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් පාවුල්ගේ වදන් අපිට උපකාරවත් විය හැක්කේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි රැස්වීම්වල මූලික අරමුණ කුමක්ද?
13 තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගත හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක්ම පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පෙන්වා දුන්නා. අපි ඒවායින් දෙකක් පමණක් සලකා බලමු. හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් අපිට හුරු පුරුදු ඔහුගේ උපදේශයෙන් ඔහු අපෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණෙන්න කියායි. ක්‍රිස්තියානි රැස්වීම්වලදී අපි නිකම්ම ඔහේ අහගෙන සිටින අය විය යුතු බව පාවුල්ගේ දේවානුභාව ලත් එම වචනවලින් අඟවන්නේ නැති බව මතක තබාගන්න. ඒ වෙනුවට, රැස්වීම් මගින් අපිට එකිනෙකාව දැනහඳුනා ගැනීමට, වඩාත් පූර්ණ ලෙස දෙවිට සේවය කිරීම සඳහා එකිනෙකාව පෙලඹවීමට හා එකිනෙකාව දිරිමත් කිරීමට අවස්ථා සැපයෙන බව පාවුල් විස්තර කරනවා. අපි රැස්වීම්වලට යන්නේ ලබාගැනීමට පමණක් නොව දීමටත්ය. අපේ රැස්වීම් ප්‍රීතිමත් එකක් කරගැනීමට එය උපකාරවත් වෙනවා.—ක්‍රියා 20:35.
14 කොහොම වුණත්, අපි ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමේ ප්‍රධාන අරමුණ වන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කිරීමයි. යාච්ඤා හා ගීතිකාවලට හවුල් වීමෙන්ද, ඕනෑකමින් සවන් දීමෙන්ද, “තොල්වල ඵල” එනම්, අපේ අදහස් දැක්වීමෙන් හා රැස්වීම්වල අපේ පැවරුම් මගින් යෙහෝවාට ප්‍රශංසා කිරීමෙන්ද, අපි දෙවිට නමස්කාර කරනවා. (හෙබ්‍රෙව් 13:15) අපි මෙම අරමුණු මතක තබාගෙන, සෑම රැස්වීමකදීම ඒවා ක්‍රියාත්මක කරනවා නම් අපි යන හැම රැස්වීමක් මගින්ම අපේ ඇදහිල්ල ශක්තිමත් වෙන්න යනවා.
15. තමන්ගේ දේවසේවය තදින් අල්ලාගන්න කියා පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මන්ද? එම උපදේශය අදටත් එක වගේ අදාළ වන්නේ මන්ද?
15 ඇදහිල්ල ගොඩනඟා ගැනීමට තිබෙන තවත් ආකාරයක් නම් දේශනා වැඩයේ හවුල් වීමයි. පාවුල් මෙසේ ලිව්වා: “අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් [තැනැත්තා විශ්වාසවන්තය].” (හෙබ්‍රෙව් 10:23) ඔබ යමක් තදින් අල්ලාගැනීමට අනිත් අයව දිරිගන්වන්නේ ඔවුන් ඒ දෙය අත්හරින බව පෙනෙන්න තිබෙන විටයි. ඔවුන්ගේ දේවසේවය අත්හැර දැමීමට සාතන් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටි අතර, අදදින සිටින දෙවිගේ සේවකයන්ටද ඒ දෙයම කරමින් සිටිනවා. එවන් පීඩන හමුවෙහි අපි කළ යුත්තේ කුමක්ද? පාවුල් කළ දෙය සැලකිල්ලට ගන්න.
16, 17. (අ) පාවුල් දේවසේවය සඳහා නිර්භීතකම වඩවාගත්තේ කෙසේද? (ආ) අපේ ක්‍රිස්තියානි දේවසේවයේ ඇතැම් අංගවල හවුල් වීම ගැන අපිට යම් බයාදු ගතියක් දැනෙනවා නම් අපි කුමන පියවරවල්ද ගත යුත්තේ?
16 තෙසලෝනියේ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා: “නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව [දෙවිගේ] ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ [දෙවි] තුළ නිර්භීතවුණෙමුව [දෙවිගේ උපකාරය ඇතුව නිර්භීතකම වඩවාගත්තෙමු, NW].” (1 තෙසලෝනික 2:2) පාවුල් සහ ඔහුගේ හවුල් සේවකයන් පිලිප්පියේදී ‘නිග්රහවලට’ ලක් වූයේ කෙසේද? ඇතැම් විශාරදයන් පවසන ආකාරයට, පාවුල් යොදාගත් ග්‍රීක් වචනයෙන් අපහාසයට ලක් කිරීම, නීච හෝ තැතිගන්වනසුලු විදිහට සැලකීම අදහස් කරනවා. පිලිප්පියේ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ට තළා පෙළා සිරගත කළා; ඔවුන්ව දඬු කඳේ ගැසුවා. (ක්‍රියා 16:16-24) එම වේදනාකාරි අද්දැකීම පාවුල්ට බලපෑවේ කෙසේද? තමාගේ සංචාරක ගමනේදී යන්න තිබූ ඊළඟ නගරය වූ තෙසලෝනිකයේදී පාවුල් බිය වී පසුබට වුණාද? නැහැ, ඔහු ‘නිර්භීතකම වඩවාගත්තා’. ඔහු බිය ජයගත් අතර, දිගටම නිර්භීතව දේශනා කළා.
17 පාවුල්ගේ නිර්භීතකම පැමිණියේ කොහෙන්ද? ඔහුම උපදවාගත් ශක්තියකින්ද? නැහැ, තමා “දෙවිගේ උපකාරය ඇතුව” නිර්භීතකම වඩවාගත්තා කියා ඔහු පැවසුවා. “දෙවි අපේ හදවත්වලින් බිය දුරු කළේය” කියා එම ප්‍රකාශය පරිවර්තනය කළ හැකි බව බයිබල් පරිවර්තකයන් සඳහා සකස් කර තිබෙන ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන් වෙනවා. එනිසා දේවසේවයේ හවුල් වන විට ඔබට නිර්භීතකමක් දැනෙන්නේ නැත්නම් හෝ දේවසේවයේ යම් අංගයක හවුල් වීමට බයාදු ගතියක් ඔබට දැනෙනවා නම්, ඔබගේ බිය දුරු කරන්න කියා යෙහෝවාගෙන් ඉල්ලීම හොඳ අදහසක් නොවේද? ඔබේ හෘදයෙන් බිය දුරු කර දමන්න කියා ඔහුගෙන් ඉල්ලන්න. දේවසේවයෙහි නිර්භීතකම වඩවාගැනීම සඳහා උපකාර කරන්න කියා ඔහුගෙන් ඉල්ලන්න. මේ හැර වෙනත් ප්‍රායෝගික ක්‍රමද අනුගමනය කරන්න. උදාහරණයක් හැටියට, ඔබට උපකාරය අවශ්‍ය සාක්ෂිදැරීමේ යම් අංගයක අද්දැකීම් ලත් කෙනෙකු සමඟ සේවය කිරීමට සැලසුම් කරන්න. ව්‍යාපාරික බලප්‍රදේශවල සේවය කිරීම, වීදි සේවය, අවිධිමත් සාක්ෂිදැරීම හා දූරකථනයෙන් සාක්ෂිදැරීම එයට ඇතුළත් විය හැකියි. මුලදී මූලිකත්වය ගෙන සාක්ෂිදරන්න ඔබේ සහායක ඉදිරිපත් විය හැකියි. එසේ කරනවා නම්, හොඳින් නිරීක්ෂණය කර ඉගෙනගන්න. ඊට පස්සේ නිර්භීතකම වඩවාගෙන එය ක්‍රියාවට යෙදවීමට වෑයම් කරන්න.
18. අපි දේවසේවයේදී නිර්භීතකම වඩවාගන්නේ නම් අපිට කිනම් ආශීර්වාද අද්දැකිය හැකිද?
18 ඔබ නිර්භීතකම වඩවාගැනීමට වෑයම් කරනවා නම්, එයින් අත් කරගත හැකි ප්‍රතිඵල ගැන සිතන්න. ඔබ අත්නෑර උත්සාහ කරමින්, අධෛර්යයට පත් නොවන්නේ නම්, සත්‍යය අනිත් අය සමඟ බෙදාගැනීමේදී ඔබ අතින් ගිලිහී යෑමට ඉඩ තිබෙන හොඳ අද්දැකීම් ඔබට ලබාගත හැකියි. (විසිපස්වන පිටුව බලන්න.) ඔබට අමාරු දෙයක් කිරීමෙන් ඔබ යෙහෝවාව සතුටට පත් කරමින් සිටිනවා යන හැඟීම මගින් ඔබ ඉමහත් තෘප්තියක් ලබන්න යනවා. ඔබ යෙහෝවාගේ ආශීර්වාද හා ඔබේ බිය ජයගැනීමට ඔහු සපයන උපකාරයද ලබන්න යනවා. ඔබේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වෙනවා. ඇත්තෙන්ම, ඔබේ ඇදහිල්ල ගොඩනඟා ගන්නේ නැතුව ඔබට අනිත් අයගේ ඇදහිල්ල ගොඩනඟන්න බැහැ.—යූද් 20, 21.
19. ‘ඇදහිල්ල ඇත්තන්’ සඳහා තිබෙන්නේ කුමන අනගි ත්‍යාගයද?
19 ඔබේ ඇදහිල්ල වගේම අනිත් අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටද ඔබට දිගටම හැකියාව ලැබේවා! දෙවිගේ වචනය දක්ෂ ලෙස භාවිත කිරීමෙන් ඔබව හා අනිත් අයව ගොඩනැඟීමෙන්ද, ඇදහිල්ල පිළිබඳ බයිබල් ආදර්ශ අධ්‍යයනය කරමින් හා ඒවාට ජීවයක් දීමෙන්ද, ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වීමෙන් හා සහභාගි වීමෙන්ද, ප්‍රසිද්ධ දේවසේවයෙහි හවුල් වීමේ වටිනා වරප්‍රසාදය තදින් අල්ලාගැනීමෙන්ද, ඔබට එය කළ හැකියි. ඔබ මේවා කරද්දී ඔබ ‘ඇදහිල්ල ඇත්තන්ගෙන්’ කෙනෙකු බවට සහතික වන්න. මෙවැනි අයට මිල කළ නොහැකි විපාකයක් ලැබෙන බවද මතක තබාගන්න. “ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තෝ” වන්නේ මෙවැනි අයයි.b ඔබේ ඇදහිල්ල දිගටම වර්ධනය වේවා! යෙහෝවා දෙවි ඔබේ ජීවිතය සදාකාලයටම ගළවාගනීවා!
[පාදසටහන්වල]
a පාවුල් උපුටා දක්වමින් සිටියේ හබක්කුක් 2:4හි සෙප්ටූඅජින්ට් පරිවර්තනයයි; “ඔහු පසුබසින්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත” යන වාක්‍යඛණ්ඩය එහි ඇතුළත් වේ. වර්තමානයේ තිබෙන හෙබ්‍රෙව් අත්පිටපත් කිසිවක මෙම ප්‍රකාශය දක්නට නැත. සෙප්ටූඅජින්ට්හි පදනම වූයේ අද සොයාගත නොහැකි පැරණි හෙබ්‍රෙව් අත්පිටපත් කියා සමහරුන් පවසා තිබෙනවා. තත්වය කුමක් වුණත්, පාවුල් මෙම ප්‍රකාශය මෙහි ඇතුළත් කළේ දෙවිගේ ශුද්ධාත්මය කරණකොටගෙනයි. එනිසා එයට දිව්‍යමය අධිකාරිත්වයක් තිබෙනවා.
b වසර 2000 සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පාඨය මෙයයි: “අපි පසුබසින්නෝ නොවන්නෙමු. . . . එනමුත් ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු.”—හෙබ්‍රෙව් 10:39, NW.
ඔබ උත්තර දෙන්නේ කෙසේද?
◻ පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් කෙරෙහි ඔහුගේ විශ්වාසය පෙන්වූයේ කෙසේද? අපිට එයින් කුමක් ඉගෙනගත හැකිද?
◻ පාවුල් හබක්කුක්ගේ පොතට යොමුදැක්වීම ඉතාමත් යෝග්‍ය දෙයක් වූයේ මන්ද?
◻ පාවුල් ජීවයක් දෙන්නේ ඇදහිල්ල පිළිබඳව ශුද්ධ ලියවිලිවල සඳහන් කිනම් ආදර්ශවලටද?
◻ ඇදහිල්ල ගොඩනඟා ගැනීම පිළිබඳව පාවුල් නිර්දේශ කළේ කිනම් ප්‍රායෝගික ක්‍රමද?
[23වන පිටුවේ පින්තූරය]
පිලිප්පියේදී දරුණු හිංසා පීඩාවලට ලක්වීමෙන් පසුව පාවුල් තම දේශනා සේවය දිගටම කරගෙන යෑමට නිර්භීතකම වඩවාගත්තා
[24වන පිටුවේ පින්තූර]
සාක්ෂිදැරීමේ විවිධ අංගවල නිරත වීම සඳහා නිර්භීතකම වඩවාගන්න ඔබට හැකිද?