යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි
තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග
පාවුල් රෝමයේ තම පළමු සිරගත වීමෙන් නිදහස් වූ පසු එනම් ක්‍රිස්තු වර්ෂ 61දී පමණ ක්‍රීට්හි සංචාරය කළා. එහි සිටි ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව පාවුල්ට වැටහුණු නිසා තීතස්ව එහි නතර කර පැමිණියා. පසුව තීතස්ට යම් මඟ පෙන්වීම් හා දිරිගැන්වීම් ලබා දෙමින් පාවුල් ඔහුට තම ලිපිය ලියුවේ මකිදෝනියේ සිට විය හැකියි.
රෝමයේ තම පළමු සිරගත වීමෙන් නිදහස් වීමට ආසන්නව සිටියදී එනම් ක්‍රි. ව. 61දී පාවුල් ක්‍රිස්තියානියෙකු වන ෆිලෙමොන්ට ලිපියක් ලියුවා. ඒ වන විට ෆිලෙමොන් සිටියේ කොලොස්සියේයි. මෙම ලිපියේ සඳහන් වන්නේ පාවුල් ඔහුගෙන් කළ පෞද්ගලික ඉල්ලීමක් ගැනයි.
පාවුල්, යුදයේ සිටි හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ටද ක්‍රි.ව. 61දී ලිපියක් ලියුවා. යුදෙව් සම්ප්‍රදායන් පිළිගන්නවා වෙනුවට ක්‍රිස්තුස්ව පිළිගැනීමේ ඇති වැදගත්කම මෙම ලිපියෙන් ඔහු පෙන්වා දෙනවා. පාවුල් ලියූ මෙම ලිපි තුනේම අපට ප්‍රයෝජනවත් වන උපදෙස්ද තිබෙනවා.—හෙබ්‍රෙ. 4:12.
ඇදහිල්ලේ ස්ථිරව සිටින්න
“සෑම නගරයකම වැඩිමහල්ලන්ව පත්” කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දීමෙන් පසු පාවුල් තීතස්ට උපදෙස් දුන්නේ ‘[නොහික්මුණු අයට] ඇදහිල්ලෙහි ශක්තිමත්ව සිටින පිණිස නොකඩවා තදින් අවවාද කරන්න’ කියායි. එමෙන්ම ඔහු ක්‍රීට් වල සිටින සියලුම ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ ‘අභක්තිකකම’ අත්හැර ‘හොඳ සිහිකල්පනාවෙන් ජීවත් වන’ ලෙසයි.—තීත. 1:5, 10-13; 2:12.
ක්‍රීට්හි සිටින ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය වර්ධනය කරගන්න අවශ්‍ය උපදෙස් දෙන්න කියා පාවුල් තීතස්ට මතක් කරනවා. ඒ වගේම “මෝඩ ප්‍රශ්න කිරීම්” සහ “නීතිය ගැන වාද විවාද” කිරීමෙන් “වැළකී සිටින්න” කියාද පාවුල් තීතස්ට උපදෙස් දෙනවා.—තීත. 3:9.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:
1:15—“පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර” වන්නේත් “දූෂ්‍ය වූ ඇදහිල්ල නැති අයට කිසිවක් පවිත්‍ර” නොවන්නේත් කෙසේද? පාවුල් මෙහි “සියලු දේ” යන්නෙන් අදහස් කළේ කුමක්ද කියා තේරුම්ගැනීමෙන් ඊට පිළිතුරු සොයා ගත හැකියි. ඔහු මෙහිදී සඳහන් කරන්නේ බයිබලයේ කෙළින්ම වැරදියි කියා පවසා ඇති දෙවල් ගැන නොවෙයි. ඒ වෙනුවට කෙනෙකුගේ හෘද සාක්ෂියට අනුව තීරණය කළ යුතු දේවල් ගැනයි. දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟ වන දේවල් කල්පනා කරනවා නම් එවැනි දේවල් පවිත්‍රයි. අනෙක් අතට දූෂ්‍ය වූ හෘද සාක්ෂියක් ඇති අයගේ කල්පනාවන් නිතරම අපවිත්‍රයි.a
3:5—අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ‘සේදීම තුළින්ද’ ‘ශුද්ධාත්මයෙන් [දෙවිගේ බලයෙන්] අලුත් කිරීම තුළින්ද ගලවාගන්නේ කෙසේද? ඔවුන්ව සේදීම තුළින් ගලවාගන්නවා කීමෙන් අදහස් කරන්නේ දෙවි යේසුස්ගේ ජීවිත පූජාව මගින් ඔවුන්ව පිරිසිදු කර ඇති බවයි. ඔවුන්ව ශුද්ධාත්මයෙන් හෙවත් දෙවිගේ බලයෙන් අලුත් කිරීම කියා කියන්නේ ඔවුන් ‘අලුත් මැවිල්ලක්’ එනම් දෙවිගේ පුත්‍රයන් වීම නිසයි.—2 කොරි. 5:17.
අපට ගත හැකි පාඩම්:
1:10-13; 2:15. අවේක්ෂකයන් සභාවේ සිදු වන වැරදි ක්‍රියා නිවැරදි කිරීමට නිර්භීතව ඉක්මන් පියවර ගත යුතුයි.
2:3-5. පළමු සියවසේ මෙන් අද සිටින අද්දැකීම් ලත් ක්‍රිස්තියානි සහෝදරියන් “භක්තිවන්තව හැසිරෙන, නින්දා නොකරන, බොහෝ වයින් පානයට වහල් නොවූ, යහපත් දේ උගන්වන අය විය යුතුය.” එසේ හැසිරීම මගින් සභාවේ සිටින ‘තරුණ ස්ත්රීන්ට’ උපදෙස් දෙන්න ඔවුන්ට හැකියි.
3:8, 14. අප “යහපත් ක්‍රියාවල යෙදීමට මනස යොමු කරගෙන” සිටීම ‘යහපත් හා ප්‍රයෝජනවත්’ දෙයක්. ඒ තුළින් අපට මේ දුෂ්ට සමාජයෙන් වෙන් වී සිටින්නත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්නත් හැකියාව ලැබෙනවා.
“ප්‍රේමය නිසා” උනන්දු කරන්න
ෆිලෙමොන් තුළ තිබූ “ප්‍රේමය සහ ඇදහිල්ල” නිසා පාවුල් ඔහුට ප්‍රශංසා කළා. ඔහු සෙසු ඇදහිලිවන්තයන්ට මහත් දිරිගැන්වීමක් වූ නිසා ඒ තුළින් පාවුල් “බොහෝ ප්‍රීතියද සැනසිල්ලද” ලැබුවා.—ෆිලෙ. 4, 5, 7.
පාවුල්, ඔනේසිමස් පිළිබඳ කාරණය ඉතා පරෙස්සමින් හා කල්පනාකාරීව හැසිරෙවූ ආකාරය සභා වැඩිමහල්ලන්ටත් කදිම ආදර්ශයක්. ඔහු ෆිලෙමොන්ට යමක් කරන්න අණ කරනවා වෙනුවට ‘ප්‍රේමයෙන්’ මෙසේ උනන්දු කළා. “මා ඔබට ලියන්නේ, ඔබ මීට එකඟව ක්‍රියා කරන බවට විශ්වාසයක් ඇතිවය. ඇත්තෙන්ම මා කියන දේවල්වලටත් වඩා ඔබ කරන බව මම දනිමි.”—ෆිලෙ. 8, 9, 21.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:
10, 11, 18—කලින් “කිසි ප්‍රයෝජනයක් නොතිබුණ” කෙනෙක් වූ ඔනේසිමස් “ප්‍රයෝජනවත්” කෙනෙක් බවට පත් වූයේ කෙසේද? කලින් ඔහු කොලොස්සියේ ෆිලෙමොන් යටතේ සේවය කළත් එසේ කළේ කැමැත්තෙන් නොවෙයි. ඒ නිසා ඔහු රෝමයට පලා ගියා. එමෙන්ම පෙනෙන විදිහට කිලෝමීටර් 1,400ක් තරම් දීර්ඝ ඒ ගමනට අවශ්‍ය මුදල් ඔහු ෆිලෙමොන්ගෙන් සොරකම් කළා. ඔහු කිසි ප්‍රයෝජනයක් නොතිබුණු දාසයෙක් වුණේ ඒ නිසයි. නමුත් රෝමයේදී පාවුල්ට ඔහුව මුණගැසුණු අතර යේසුස්ගේ අනුගාමිකයෙක් වීමට ඔහු ඔනේසිමස්ට උපකාර කළා. මෙසේ කලින් “කිසි ප්‍රයෝජනයක්” නැති කෙනෙකුව සිටි ඔහු දැන් “ප්‍රයෝජනවත්” කෙනෙක් බවට පත් වුණා.
15, 16—ඔනේසිමස්ව දාසකමින් නිදහස් කරන්න කියා පාවුල් ෆිලෙමොන්ගෙන් ඉල්ලා නොසිටියේ ඇයි? පාවුල්ට අවශ්‍ය වුණේ තමාට ලැබුණු පැවරුම වූ ‘දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීම හා යේසුස් ගැන කාරණා ඉගැන්වීමට’ සම්පූර්ණ අවධානය දීමටයි. ඒ නිසා ඔහු තමන්ට අදාළ නොවන කාරණාවලට මැදිහත් වීමෙන් වැළකී සිටියා.—ක්‍රියා 28:31.
අපට ගත හැකි පාඩම්:
2. ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමට ෆිලෙමොන් තම නිවස ලබා දුන්නා. එලෙසම දේවසේවයේ යාමට පෙර පවත්වන රැස්වීම් සඳහා අපගේ නිවෙස් ලබා දීම අපට මහත් වරප්‍රසාදයක්.—රෝම 16:5; කොලො. 4:15.
4-7. ඇදහිල්ල හා ප්‍රේමය සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තබන සෙසු ඇදහිලිවන්තයන්ව අගය කිරීමට අප උනන්දු විය යුතුයි.
15, 16. අප ජීවිතයේ මුහුණ දෙන කටුක තත්වයන් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු නොවිය යුතුයි. ඊට හේතුව නම් අප මුහුණ දෙන තත්වය අවසනයේදී ඔනේසිමස්ගේ සිද්ධිය මෙන් හොඳ අතට හැරිය හැකි නිසයි.
21. ෆිලෙමොන් ඔනේසිමස්ට සමාව දෙයි කියා පාවුල් බලාපොරොත්තු වුණා. එලෙසම අපට විරුද්ධව වරදක් කර ඇති සහෝදරයෙකුට අපත් සමාව දිය යුතුයි.—මතෙ. 6:14.
“මේරූභාවය කරා ඉදිරියටම යමු”
මෝසෙස්ගේ නීතිය මගින් අණ කළ දේවල් කිරීමට වඩා යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තබන බව ක්‍රියාවෙන් පෙන්වීම වැදගත්. ක්‍රිස්තුස්ගේ උතුම්කම, ඔහුගේ පූජකත්වය, ජීවිත පූජාව ගැන පාවුල් අවධාරණය කරනවා. (හෙබ්‍රෙ. 3:1-3; 7:1-3, 22; 8:6; 9:11-14, 25, 26) මෙම කාරණා පිළිබඳ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට තිබූ අවබෝධය නිසා යුදෙව්වන්ගෙන් පැමිණි පීඩා විඳදරාගන්න ඔවුන්ට හැකි වුණා. “මේරුභාවය කරා ඉදිරියටම යමු” කියා ඔහු ඔවුන්ව දිරිගැන්වූවා.—හෙබ්‍රෙ. 6:1.
ක්‍රිස්තියානියෙකුට ඇදහිල්ල කොතරම් වැදගත්ද? “ඇදහිල්ල නැතිව කිසිසේත් ඔහුව [දෙවිව] සතුටු කළ නොහැක” කියා පාවුල් පැවසුවා. ඒ නිසා ඔහු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ ඇදහිල්ලෙන් යුතුව “අප ඉදිරියෙහි තබා තිබෙන තරඟය විඳදරාගනිමින් දුවමු” කියායි.—හෙබ්‍රෙ. 11:6; 12:1.
ශුද්ධ ලියවිල්ල ඇසුරෙන් ප්‍රශ්නෝත්තර:
2:14, 15—සාතන්ව “මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තා” ලෙස හැඳින්වීමෙන් අදහස් කරන්නේ ඔහුට අවශ්‍ය ඕනෑම කෙනෙකුව ඕනෑම අවස්ථාවක මරණයට පත් කළ හැකි බවද? කොහෙත්ම නැහැ. කෙසේනමුත් ඒදන් උයනේදී ඒවව මුළා කිරීමෙන් ඔහු කළ දුෂ්ට ක්‍රියාව නිසා ආදම්ටත් ඔහුගෙන් පැවතෙන සියල්ලන්ටත් මරණය උරුම වුණා. (රෝම 5:12) එමෙන්ම පොළොව මත සිටින සාතන්ගේ කැමැත්ත කරන අය විසින් දෙවිගේ සේවකයන් මිය යන තෙක් ඔවුන්ට පීඩා කර තිබෙනවා. ඔවුන් යේසුස්ටත් එසේ කළා. නමුත් ඕනෑම කෙනෙකුව මරා දමන්න ඔහුට හැකි බව ඉන් අදහස් කරන්නේ නැහැ. එසේ හැකි වුණා නම් මේ වන විට දෙවිගේ සේවකයන් සියල්ලන්වම ඔහු මේ පොළොවෙන් තුරන් කර අවසන්. ඔහුට එසේ කිරීමට නොහැකි වී තිබෙන්නේ දෙවි ඔවුන්ව ආරක්ෂා කරන නිසයි. සමහරවිට සාතන් ගෙනෙන පීඩා නිසා අපව මිය යන්න දෙවි ඉඩහැරියත් ඔහුගේ නියමිත කාලයේදී නැවතත් අපව සිහිකරන බව ස්ථිරයි.
4:9-11—දෙවිගේ “විශ්‍රාමයට ඇතුල්” වන්න අපට හැක්කේ කෙසේද? දෙවි සියලු දේ නිර්මාණය කිරීමෙන් පසුව තම වැඩවලින් විශ්‍රාම ගත්තා. එසේ කළේ පොළොව හා මිනිස්වර්ගයා සම්බන්ධයෙන් වූ තමන්ගේ අරමුණු සියල්ල සාර්ථකව ඉටු වන බවට වූ ස්ථිර විශ්වාසය ඇතුවයි. (උත්. 1:28; 2:2, 3) එම “විශ්‍රාමයට ඇතුල්” වීමට නම් අපි ධර්මිෂ්ඨයි කියා පෙන්වීමට උත්සාහ නොකර ඒ වෙනුවට දෙවි අපගේ ගැලවීම සඳහා දී ඇති සැපයුම පිළිගනිමු. එසේනම් අපි අපගේම ආශාවන් ලුහුබඳිනවා වෙනුවට දෙවි කෙරෙහි ඇදහිල්ල තබමින් ඔහුගේ පුත්‍රයාට කීකරු වෙමින් ඔහුව අනුකරණය කළ යුතුයි. එවිට අපේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙන අතර සාමකාමී ජීවිතයක් භුක්ති විඳින්නත් හැකි වෙනවා.—මතෙ. 11:28-30.
9:16—අලුත් “ගිවිසුම කළ මිනිසා” වූයේ කවුද? එම මිනිසා වූයේ යේසුස්. නමුත් එය ඇති කළේ යෙහෝවා දෙවියි. යේසුස් එම ගිවිසුමට මැදිහත් කරුවෙකු වුණ අතර එම ගිවිසුම වලංගු කිරීමට අවශ්‍ය වූ පූජාව තම මරණය තුළින් ලබා දුන්නා.—ලූක් 22:20; හෙබ්‍රෙ. 9:15.
11:10, 13-16—ආබ්‍රහම් බලා සිටි “නුවර” කුමක්ද? මෙය සැබෑ නුවරක් නොවන අතර එය සංකේතමය එකක්. ආබ්‍රහම් බලා සිටියේ යේසුස් ක්‍රිස්තුස් සහ ඔහු සමඟ පාලනයට හවුල් වන 1,44,000දෙනාගෙන් යුත් “ස්වර්ගීය යෙරුසලම” ගැනයි. තේජසට පත් මෙම හවුල් පාලකයන්ව “ශුද්ධ නුවර වන නව යෙරුසලම” ලෙසද හඳුන්වනවා. (හෙබ්‍රෙ. 12:22; එළි. 14:1; 21:2) ආබ්‍රහම් බලා සිටියේ දෙවිගේ මෙම පාලනය යටතේ ජීවත් වීමටයි.
12:2—‘වධකණුව විඳදරාගැනීම’ යේසුස්ට ‘ප්‍රීතියක්’ වුණේ ඇයි? ඔහු කළ සේවය මගින් දෙවිගේ නාමයට ගෙනැවිත් තිබූ නින්දාව ඉවත් කිරීම, පාලනය කිරීමට දෙවිට ඇති අයිතිය තහවුරු කිරීම හා තම ජීවිතය පූජා කිරීමෙන් මිනිසුන්ව මරණයෙන් ගලවාගැනීමට හැකි බවත් ඔහු දැන සිටියා. ඒ වගේම දේවරාජ්‍යයේ රජ හැටියටත් උත්තම පූජකයා හැටියටත් මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සේවය කිරීමට නියමිත කාලය ගැන ඔහු බලා සිටියා. මෙවැනි දේවල් නිසා ඔහු වධකණුව ප්‍රීතියෙන් විඳදරාගත්තා.
13:20—අලුත් ගිවිසුම “සදාකාල” එකක් වන්නේ කෙසේද? එසේවීමට හේතු තුනක් තිබෙනවා. ඒවානම් (1) මේ ගිවිසුම කෙදිනකවත් අහෝසි නොවීම, (2) ඉන් ලැබෙන ප්‍රයෝජන සදාකාලික වීම හා (3) මෙම අලුත් ගිවිසුම මගින් ඇති කළ සැලැස්ම නිසා අර්මගෙදොන් යුද්ධයෙන් පසු ‘වෙනත් බැටළුවන්ට’ දිගටම ඉන් ප්‍රයෝජන ලැබීමට හැකි වීමයි.—යොහ. 10:16.
අපට ගත හැකි පාඩම්:
5:14. අප දේවවචනය උනන්දුවෙන් අධ්‍යයනය කළ යුතු අතර ඉන් ඉගෙනගන්නා දේ ක්‍රියාත්මක කිරීමට උනන්දු විය යුතුයි. “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව” ලබාගැනීම සඳහා එකම මඟ එයයි.—1 කොරි. 2:10.
6:17-19. දෙවිගේ පොරොන්දු මත අපගේ බලාපොරොත්තුව ස්ථිරව තබා ගන්නවා නම් අප කවමදාකවත් සත්‍යය අත්හැර යන්නේ නැහැ.
12:3, 4. අප මුහුණ දිය හැකි සුළු පරීක්ෂා හෝ පීඩා නිසා ‘වෙහෙසට පත්ව සිතින් ක්ලාන්ත වෙනවා’ වෙනුවට අප විඳදරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමෙන් අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන් බවට පත් වන්න උත්සාහ කළ යුතුයි. එමෙන්ම “ලේ වැගිරෙන තෙක්” එනම් මරණය දක්වාම විඳදරාගැනීම අපගේ අධිෂ්ඨානය විය යුතුයි.—හෙබ්‍රෙ. 10:36-39.
12:13-15. “විස මුලක්” ලෙස හඳුන්වන පුද්ගලයන්ට එනම් සභාව තුළ දේවල් සිදුවන ආකාරය විවේචනය කරන හෝ වැරදි සොයන කිසිවෙකුට අප ඉඩ නොදිය යුතුයි. එමෙන්ම ‘අපගේ පාදවලට ඍජු මාවත්’ සාදා ගන්නා විට ඊට බාධා කිරීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි.
12:26-28. දෙවි විසින් “සාදන ලද දේවල්” හැර අන් සියලු දේවල් එනම් සාතන්ගේ පාලනය යටතේ පවතින සියලුම දේවල් දෙවි සොලවා විනාශ කිරීමට නියමිතයි. එය සිදු වන විට “සොලවනු නොලබන දේවල්” වන්නේ දේවරාජ්‍යය හා ඊට පක්ෂපාත අය පමණයි. එමනිසා අපි උද්යෝගයෙන් දේවරාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කිරීමත් එම රාජ්‍යයේ යටත් වැසියෙකු වීමට අවශ්‍ය සුදුසුකම් අත් කරගැනීමත් මොන තරම් වැදගත්ද!
13:7, 17. සභාවේ අවේක්ෂයන්ට කීකරුව යටත් වන්න කියා දී ඇති උපදෙසට කීකරු වීමෙන් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න අපට හැකි වෙනවා.
[පාදසටහන]
a වර්ෂ 2007 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ 26-27 පිටු බලන්න.