මේ දුෂ්ට ලෝකය තුළ “සිත පවිත්‍රව” තබාගන්න
ඉතාලියේ පල්ලිවල පූජක පක්ෂයේ අපචාර ක්‍රියා ගැන කතෝලික මාධ්‍යවේදියෙක් වන විටොරියො මෙසෝරි පුවත්පතකට මෙසේ පැවසුවා. “පල්ලිවල සිටින පූජකයන් නිර්මල ජීවිතයක් ගත කරනවා කියා පවසන්න බැහැ. පූජකයන් විවාහ නොවී සිටිය යුතුයි යන නීතිය අහෝසි කළත් ඒ ගැටලුව විසඳෙන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් අපචාර ක්‍රියාවලින් සියයට 80ක්ම සිදු කරන්නේ පිරිමි ළමයි හා පුරුෂයන්ව යොදාගෙනයි.”—එම පුවත්පත La Stampa.
දසත පැතිරී ඇති දුෂ්ටකම නිසා අප ජීවත් වන්නේ මේ සමාජයේ ‘අවසාන කාලයේ’ බව කිසිම සැකයකින් තොරව පැවසිය හැකියි. (2 තිමෝ. 3:1-5) ඉහත සඳහන් පුවත්පත පෙන්වන ආකාරයට සදාචාරය පහත වැටීම සාමාන්‍ය ජනයාට පමණක් නොව පූජක පක්ෂයේ අයටත් ප්‍රබල ලෙස බලපා තිබෙනවා. ඔවුන්ගේ දූෂිත සිත් ඔවුන්ව දුෂ්ට ක්‍රියා කිරීමට පොලෙඹවා තිබෙනවා. (එෆී. 2:2) ඒ නිසා “දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි” කියා යේසුස් දුන් අනතුරු ඇඟවීම ඉතා කාලෝචිතයි. (මතෙ. 15:19) “සිත පවිත්‍රව” තබාගැනීමට තම සේවකයන් උත්සාහ කරන විට යෙහෝවා දෙවි ඒ ගැන සතුටු වෙනවා. (හිතෝ. 22:11) මේ දුෂ්කර කාලයේදී සිත පවිත්‍රව තබාගත හැකි ආකාරය දැන් අපි බලමු.
‘පවිත්‍ර සිතක්’
බයිබලයේ සිත හෝ හදවත කියා බොහෝවිට සඳහන් වන්නේ සංකේතාත්මක අර්ථයකිනුයි. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “එය කෙනෙකුගේ ඇතුළාන්ත ස්වභාවය විස්තර කිරීමට යොදාගන්නවා. දෙවි බලන්නෙත් එයයි. දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති වන්නෙත් එයිනුයි. කෙනෙකුගේ හැසිරීමෙනුත් හෙළි වන්නේ ඔහුගේ සිතේ තිබෙන දෙයයි.” අපි ඇත්තටම කොයි වගේ පුද්ගලයන්ද කියා අපේ සිතේ ඇති දේ තුළින් හෙළි වන නිසා යෙහෝවා දෙවි අපේ සිත සෝදිසි කර බලනවා. කෙනෙකු තුළ හොඳ සිතුවිලි තිබෙනවා නම් දෙවි ඒ ගැන සතුටු වෙනවා.—1 පේතෘ. 3:4.
කෙනෙකුගේ සදාචාර ගතිපැවතුම් ගැන සඳහන් කරන විට බයිබලයේ “පවිත්‍ර” හෝ “නිර්මල” යන වචන යොදාගන්නවා. කන්ද උඩ දේශනාවේදී යේසුස් එවැනි අය ගැන මෙසේ සඳහන් කළා. “නිර්මල සිත් ඇති අය සන්තෝෂවත්.” (මතෙ. 5:8) එවැනි අය පෙන්වන ප්‍රේමය, ඔවුන්ට තිබෙන ආශාවන් හා ආකල්ප පවිත්‍රයි. ඔවුන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නේ මුළු හදවතින්මයි. එය කුහකකමින් තොර අවංක ප්‍රේමයක්. එමෙන්ම එවැනි ප්‍රේමයක් ඔවුන් පෙන්වන්නේ දෙවි ඔවුන් වෙනුවෙන් කර ඇති දේ ඔවුන් අගය කරන නිසයි. (ලූක් 10:27) ඔබටත් අවශ්‍ය වන්නේ එලෙස පවිත්‍රව සිටීම නොවේද?
“සිත පවිත්‍රව” තබාගැනීම අභියෝගයක්
යෙහෝවා දෙවිගේ සේවකයන් “නිර්දෝෂ ජීවිතයක්” ගත කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් ‘පිරිසිදු සිතක්ද’ ඇතුව සිටිය යුතුයි. (ගීතා. 24:3, 4) ඔවුන්ට “සිත පවිත්‍රව” තබාගැනීම අද දින අභියෝගයක් වී තිබෙනවා. සාතන් හා ඔහුගේ පාලනය යටතේ ඇති මේ ලෝකය මෙන්ම අපගේම පව්කාර ස්වභාවය දෙවිගෙන් අපව ඈත් කරවන දේවල් කිරීමට අපව පොලඹවනවා. ඊට හසු නොවී සිටිමින් දිගටම අපගේ “සිත පවිත්‍රව” තබාගැනීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. අප එසේ කරනවා නම් අපට ඒවායින් ආරක්ෂා වීමට හැකි වන අතර දිගටම දෙවිගේ මිතුරෙක් ලෙස සිටීමටද හැකි වෙනවා. අපට අපගේ “සිත පවිත්‍රව” තබාගැනීමට පුළුවන් කොහොමද?
හෙබ්‍රෙව් 3:12හි මෙවැනි අනතුරු ඇඟවීමක් ලබා දෙනවා. “සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක. එහෙයින් පරෙස්සම් වන්න.” අපගේ හදවත දෙවි ගැන “විශ්වාසයක් නැති” තත්වයකට පත් වුණොත් අපට අපගේ “සිත පවිත්‍රව” තබාගත නොහැකියි. අපගේ විශ්වාසයට හානියක් කිරීමට සාතන් පතුරුවා ඇති බොරු මත මොනවාද? ඒවාට පරිනාමවාදය, හරි හා වැරදි දේවල් තීරණය කිරීමට ප්‍රමිතියක් අවශ්‍ය නැහැ යන කාරණය හා බයිබලය දෙවිගේ බලයේ මඟපෙන්වීම ඇතුව ලියා තිබෙන බවට සැක ඇති කිරීම වැනි දේ අයත් වෙනවා. අප ඊට හසු නොවිය යුතුයි. (කොලො. 2:8) ඒ සඳහා අපට ගත හැකි ප්‍රධාන පියවර වන්නේ දිනපතා බයිබලය කියවීම සහ ඒ ගැන ගැඹුරින් කල්පනා කිරීමයි. බයිබලයේ ඇති දේවල් නිවැරදිව අවබෝධ කරගැනීමෙන් යෙහෝවා දෙවි කෙරෙහි අපගේ ප්‍රේමය වැඩි වන අතර දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කරන ආකාරය හොඳින් තේරුම්ගැනීමටද හැකි වෙනවා. බොරු මත ප්‍රතික්ෂේප කර දෙවි කෙරෙහි ශක්තිමත් විශ්වාසක් ඇතුව සිටීමට එමගින් අපට හැකියි.—1 තිමෝ. 1:3-5.
වැරදි ආශාවන් ඇති වන විට
“සිත පවිත්‍රව” තබාගැනීමේදී අපට අභියෝගයක් විය හැකි තවත් දෙයක් වන්නේ අප තුළ ඇති වන වැරදි ආශාවන් හා ධන සම්පත්වලට ඇති ආශාවයි. (1 යොහ. 2:15, 16) මුදල්වලට දැඩි ආශාව හා වස්තුව රැස් කිරීමට ඇති ආශාව නිසා අපගේ සිත දූෂ්‍ය විය හැකියි. එවිට අප දෙවිගේ කැමැත්තට විරුද්ධ දේවල් කිරීමට පෙලඹෙන්න පුළුවන්. ඊට හසු වූ අය රැකියාවේදී වංක ලෙස කටයුතු කිරීමට, වංචා කිරීමට නැත්නම් සොරකම් කිරීමට පෙලඹී තිබෙනවා.—1 තිමෝ. 6:9, 10.
නමුත් දෙවිව අසතුටු කිරීමට අපට තිබෙන අකමැත්ත, සාධාරණව ක්‍රියා කිරීමට අපට ඇති ආශාව හා යහපත් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට අදිටන් කරගැනීමෙන් ‘පවිත්‍ර සිතක්’ ඇතුව සිටීමට කැමති බව අප පෙන්වනවා. එවිට අප “සෑම දෙයකදීම අවංකව කටයුතු” කරනවා. (හෙබ්‍රෙ. 13:18) ඒ නිසා අපට හොඳ සාක්ෂියක් දැරීමටද අවස්ථාව ලැබෙනවා. ඉතාලියේ වෙසෙන සාක්ෂිකරුවෙක් වන එමීලියෝගේ අද්දැකීම එයයි. ඔහු රියදුරෙක් ලෙස රැකියාව කළ කෙනෙක්. දවසක් ඔහුට යුරෝ 470ක් (රු. 77,520ක් පමණ) සහිත පසුම්බියක් සම්බ වූ අතර ඔහු තම රැකියා ස්ථානයේ උසස් නිලධාරියෙකුට එය ලබා දුන්නා. ඔහු කළ ඒ දේ ගැන ඔහුගේ සෙසු සේවකයන් පුදුම වූ අතර ඔවුන් බයිබලය ඉගෙනගැනීමට කැමති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පවුල් දෙකකට අයත් සාමාජිකයන් හත්දෙනෙක් සාක්ෂිකරුවන් වුණා. පවිත්‍ර සිතක් ඇතුව සිටීමට ඇති ආශාව නිසා අප අවංකව කටයුතු කරන විට වෙනත් අයද යෙහෝවා දෙවිට ප්‍රශාංසා කිරීමට පෙලඹෙන බව ඉන් පැහැදිලියි.—තීත. 2:10.
පවිත්‍ර සිතක් ඇතුව සිටීමට ක්‍රිස්තියානියෙකුට අභියෝගයක් වන තවත් දෙයක් වන්නේ ලිංගික කාරණා පිළිබඳ විකෘති අදහසුයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හා සමලිංගික ක්‍රියා අද සාමාන්‍ය දෙයක්ව පවතින නිසා එය ක්‍රිස්තියානියෙකුගේ සිත දූෂ්‍ය කිරීමට ඉඩ තිබෙනවා. එවැනි ක්‍රියාවල හවුල් වන කෙනෙක් තමා කරන පාපය සැඟවීම සඳහා දෙයාකාර ජීවිතයක් ගත කළ හැකියි. එවැනි කෙනෙකුගේ “සිත පවිත්‍ර” බව පැවසිය නොහැකියි.
ඒ සම්බන්ධයෙන් ගේබ්‍රියෙල්ගේ අද්දැකීම සලකා බලමු. ඔහු වයස අවුරුදු 15දී බව්තිස්ම වී ඒ සමඟම පුරෝගාමී සේවය පටන්ගත්තා. නමුත් පසු කාලයකදී ඔහු රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරමින් නරක ආශ්‍රයට වැටුණා. (ගීතා. 26:4) ඔහු ගත කළ නරක ජීවිතය නිසා ඔහුව සභා ආශ්රයෙන් ඉවත් කළා. යෙහෝවා දෙවි ලබා දුන් එම හික්මවීම නිසා ඔහු ජීවිතය ගැන බැරෑරුම්ව සිතන්න පෙලඹුණා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “කලින් එච්චර වැදගත් කියලා හිතුව නැති දෙවල් කරන්න මම පටන්ගත්තා. හැමදාම මම බයිබලය කියෙව්වා. ඒ නිසා මට යෙහෝවා දෙවි කියන දේවල් තෙරුම්ගන්න පුළුවන් වුණා. ඒ වගේම මම සංවිධානයේ ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කළා. පෞද්ගලික පාඩම මොන තරම් සතුටක් හා තෘප්තියක් ගෙන දෙන දෙයක්ද කියලා මට හොඳට තේරුණා. උනන්දුවෙන් යාච්ඤා කරද්දී, බයිබලය කියවද්දී මොන තරම් ශක්තියක් ලැබෙනවාද කියලා මට තේරුණා.” ඒ නිසා ගේබ්‍රියල්ට ඔහු ගත කළ නරක ජීවිතයෙන් ඉවත් වී නැවත යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වුණා.
ඔහු දැන් නැවත පුරෝගාමියෙක් ලෙස සේවය කරන අතර ඔහුගේ භාර්යාවද ඔහු සමඟ පුරෝගාමී සේවය කරනවා. ඔහුගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ අනාචාර ක්‍රියා ප්‍රතික්ෂේප කර පවිත්‍ර සිතක් ඇතුව සිටීමට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දී ඇති ප්‍රකාශන හා බයිබලය අධ්‍යයනය කිරීම මොන තරම් වැදගත්ද යන කාරණයයි.—මතෙ. 24:45; ගීතා. 143:10.
දුෂ්කරතා මැද “සිත පවිත්‍රව” තබාගැනීම
පීඩා, ආර්ථික දුෂ්කරතා හා දරුණු අසනීප නිසා දෙවිගේ සමහර සේවකයන් අධෛර්යයට පත් වී තිබෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ඔවුන්ට ඒ නිසා පවිත්‍ර සිතක් ඇතුව සිටීමට අපහසු වී තිබෙනවා. දාවිත් රජටත් එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මාගේ ශක්තිය හීන වී මම මලානික වී ඇත. මාගේ සිත දුකින් වෙළී ඇත.” (ගීතා. 143:4) ඊට හොඳින් මුහුණ දීමට ඔහුට හැකි වුණේ කුමක් නිසාද? දෙවි ඔහුගේ සේවකයන්ට විශේෂයෙන්ම තමාට උපකාර කළ ආකාරය ගැන දාවිත් කල්පනා කළා. ඒ වගේම යෙහෝවා දෙවි තම ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන් කර ඇති දේවල් ගැනද දාවිත් කල්පනා කළා. (ගීතා. 143:5) ඒ හා සමානව අපත් අපගේ නිර්මාණකරු ගැන මෙන්ම ඔහු අප වෙනුවෙන් කර ඇති හා කරන දෙවල් ගැන කල්පනා කිරීමෙන් දුෂ්කරතාවලට හොඳින් මුහුණ දීමට හැකියි.
කෙනෙක් අපට විරුද්ධව යමක් කර ඇති විට හෝ එසේ කර ඇති බව හැඟෙන විට අප කෝප විය හැකියි. ඒ සිද්ධිය ගැන දිගින් දිගටම සිත සිතා සිටීමෙන් අපගේ සහෝදරයන් ගැන වැරදි ආකල්පයක් ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා අප අනික් අය සමඟ ආශ්‍රය කිරීමෙන්ද වළකින්න පුළුවන්. එසේ කිරීම පවිත්‍ර සිතක් ඇතුව සිටීමට බාධාවක්ද? ඇත්තෙන්ම ඔව්. මන්ද පවිත්‍ර සිතක් ඇතුව සිටින කෙනෙක් සහෝදර සහෝදරියන් සමඟ කටයුතු කරන ආකාරය ගැනත් එකඟ නොවීම් ඇති වන විට කටයුතු කරන ආකාරය ගැනත් සැලකිලිමත් වෙනවා.
වඩ වඩාත් දූෂිත තත්වයට පත් වන මේ ලෝකයේ සැබෑ ක්‍රිස්තියානීන් ලෙස අප කැපී පෙනෙන්නේ අප “සිත පවිත්‍රව” තබාගැනීමට උත්සාහ කරන නිසයි. එවැනි අයට දෙවි ප්‍රේම කරන නිසා අපට ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වා ගත හැකියි. (ගීතා. 73:1) එලෙස අප දෙවිගේ කැමැත්ත කරන නිසා අපගේ සිතට සහනයක් දැනෙනවා. යේසුස් පොරොන්දු වූ ලෙස අපට ‘දෙවිව දැකීමේ’ සන්තෝෂය එනම්, ‘පවිත්‍ර සිතක්’ ඇතුව සිටීමට වෑයම් කරන අයට දෙවි ආශීර්වාද කරන ආකාරය අද්දැකිය හැකියි.—මතෙ. 5:8.