ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා!
“ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා.”—හෙබ්‍රෙව් 13:1, NW.
1. ශීත රාත්‍රියක ගින්නක් අවුළවමින් තබාගැනීමට ඔබ මොකක්ද කරන්න යන්නේ? එමෙන්ම අපි සැමදෙනාටම තිබෙන්නේ ඒ හා සමාන මොන වගකීමද?
එළියේ දැඩි, අනතුරුදායක වූ ශීතලක් පවතින අතර, උෂ්ණත්වය වේගයෙන් පහත බසිනවා. ඔබේ නිවසේ තාපය ලැබෙන එකම මාධ්‍යය ගිනි උදුනේ ඇවිළෙන ගින්නක් පමණයි. ඔබ ඒ ගින්න දිගටම පවත්වාගැනීම මත ජීවිත රැඳී තිබෙනවා. ඒ ගින්න නිවී, දීප්තිමත්ව බැබළෙන අඟුරු, අඳුරු අප්‍රාණික අළු බවට පත් වන ආකාරය ඔබ නිකම්ම බලාගෙන ඉන්න යනවාද? ඇත්තෙන්ම නැහැ. එය අවුළවමින් තබාගන්න ඔබ වෙහෙස මහන්සිය නොබලා එයට නොකඩවා ඉන්ධන සපයනවා. එක් අර්ථයකින්, ඊටත් වඩා වැදගත් “ගින්නක්,” එනම් අපේ හදවත් තුළ ඇවිළිය යුතු එකක් සම්බන්ධයෙන් අපි සැමට ඒ හා සමාන කාර්යයක් තිබෙනවා—ඒ තමයි ප්‍රේමය නමැති ගින්න.
2. (අ) මේ අන්තිම දවස්වල ප්‍රේමය හීන වී තිබෙන බව පැවසිය හැක්කේ ඇයි? (ආ) සැබෑ ක්‍රිස්තියානීන්ට ප්‍රේමය කොතරම් වැදගත්ද?
2 යේසු බොහෝ කලකට කලින් පුරෝකථනය කළාක් මෙන්, ලොව පුරා ක්‍රිස්තියානීන් කියන අය අතර ප්‍රේමය හීන වෙමින් පවතින කාලයකයි අපි ජීවත් වෙන්නේ. (මතෙව් 24:12) ප්‍රේමයේ වඩාත්ම වැදගත් වර්ගයටයි යේසු යොමු දක්වමින් සිටියේ: එනම් යෙහෝවා දෙවි සහ ඔහුගේ වචනය වන බයිබලය සඳහා ඇති ප්‍රේමය. ප්‍රේමයේ වෙනත් ස්වරූපත් පිරිහෙමින් පවතිනවා. “අන්තිම දවස්වල” බොහෝදෙනෙක් “ජන්ම ස්නේහය නැත්තෝව” සිටින බවට බයිබලය පුරෝකථනය කළා. (2 තිමෝති 3:1-5) මෙය මොනතරම් සැබෑවක්ද! පවුල ජන්ම ස්නේහයේ ක්ෂේම භූමියක් විය යුතුයි; ඒත් ඇතැම්විට භයගන්වන දරුණු මට්ටමකින්, සාහසිකකම සහ අනිසි ලෙස යොදාගැනීම එහි පොදු දේවල් බවට පත් වී තිබෙනවා. ඒත්, මේ ලෝකයේ පවතින ශීත වාතාවරණය තුළ, එකිනෙකා සඳහා ප්‍රේමයක් ඇතුව සිටින්න පමණක් නොව, තමාට ඉදිරියෙන් අන්‍යයන්ව තබමින් ආත්ම-පරිත්‍යාගශීලී ප්‍රේමයක් ඇතුව සිටින්න කියා ක්‍රිස්තියානීන්ට ආඥා කර තිබෙනවා. ඒ ප්‍රේමය අපි කොතරම් පැහැදිලිව විදහාපෙන්විය යුතුද කිව්වොත්, සියලුදෙනාටම එය දැකගන්න පුළුවන් වන අතර, සැබෑ ක්‍රිස්තියානි සභාව හඳුනාගැනීමේ ලක්ෂණය බවට පත් වෙනවා.—යොහන් 13:34, 35.
3. සහෝදර ප්‍රේමය කියන්නේ මොකක්ද? එය දිගටම පවත්වාගන්න කටයුතු කිරීමෙන් අදහස් කරන්නේ මොකක්ද?
3 “ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා” යන ආඥාව දීමට ප්‍රේරිත පාවුල් ආනුභාවය ලැබුවා. (හෙබ්‍රෙව් 13:1, NW) එක් පාණ්ඩිත්‍ය කෘතියකට අනුව, “සහෝදර ප්‍රේමය” (ෆි·ලා·ඩෙල්·ෆිʹආ) ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය, “සෙනෙහසින් යුත් ප්‍රේමයට, කරුණාව පෙන්වීමට, දයානුකම්පාවට, උපකාරය ඉදිරිපත් කිරීමට යොමු දක්වනවා.” එමෙන්ම අපි එවැනි ප්‍රේමයක් පවත්වාගන්න කටයුතු කළ යුතු බව පවසද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? ඒ කෘතියම මෙසේ නිරීක්ෂණය කරයි: “එය කිසිවිටකත් හීන නොවිය යුතුයි.” එමනිසා අපේ සහෝදරයන් සඳහා ස්නේහයක් දැනීම විතරක්ම මදි; අපි එය පෙනෙන්න සැලැස්විය යුතුයි. තවදුරටත්, මෙම ප්‍රේමය හීනවීමට කිසිදාක ඉඩ දෙන්නේ නැතුව, එය නොනැසී පවත්වාගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. අභියෝගයක් වගේද? ඔව්, ඒත් සහෝදර ස්නේහය වගා කරන්නත් පවත්වාගන්නත් අපිට උපකාර කරන්න යෙහෝවාගේ ආත්මයට පුළුවන්. මෙම ප්‍රේමය නමැති ගින්න දිගටම දැල්වීමට සැලැස්විය හැකි මාර්ග තුනක් සලකා බලමු.
දයානුකම්පාව පෙන්වන්න
4. දයානුකම්පාව කියන්නේ මොකක්ද?
4 ඔබේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සඳහා වැඩි ප්‍රේමයක් ඇතුව සිටින්න ඔබට ඕනෑ නම්, මුලින්ම ඔවුන් වෙනුවෙන් අනුකම්පාවක් දක්වන්න, ඒ කියන්නේ ජීවිතයෙහි ඔවුන් මුහුණ දෙන පරීක්ෂාවන් සහ අභියෝගවලදී ඔවුන් සමඟ සංවේදනයෙන් කටයුතු කරන්න ඔබට අවශ්‍ය වන්න පුළුවන්. ප්‍රේරිත පේතෘස් මෙසේ ලියූ විට ඔහු ඒ දෙයයි යෝජනා කළේ: “නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව [දයානුකම්පිතව, NW], සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න.” (1 පේතෘස් 3:8) ‘දයානුකම්පාව’ පෙන්වීම සඳහා මෙහිදී භාවිත කර තිබෙන ග්‍රීක් වචනය “සමඟ දුක් විඳීම” යන අර්ථය දක්වනවා. බයිබලයේ භාවිත කරන ග්‍රීක් භාෂාව පිළිබඳ එක සාධක පාඨයක් මෙම වචනය ගැන මෙසේ කියනවා: “අනුන්ගේ හැඟීම් හරියට අපේම ඒවා වගේ සලකා ඒවාට පිවිසෙද්දී, පවතින ඒ මානසික තත්වය ඉන් විස්තර කෙරෙනවා.” එබැවින්, සංවේදනය අවශ්‍යයි. යෙහෝවාගේ විශ්වාසවන්ත මහලු සේවකයෙක් වරක් මෙසේ කිව්වා: “සංවේදනය කියන්නේ ඔබේ වේදනාව මගේ හෘදයට දැනීමයි.”
5. යෙහෝවාට දයානුකම්පාව තිබෙනවා කියලා අපි දන්නේ කොහොමද?
5 යෙහෝවාට එවැනි දයානුකම්පාවක් තිබෙනවාද? නිසැකවම. නිදසුනක් වශයෙන්, ඔහුගේ සෙනඟ වූ ඉශ්රායෙල් වින්ද දුක් ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා: ‘ඔවුන්ගේ සියලුම දුක්වලදී ඔහු දුක් වූයේය.’ (යෙසායා 63:9) යෙහෝවා ඔවුන්ගේ කරදර දුටුවා විතරක් නෙවෙයි; ඔහුට ඒ සෙනඟ කෙරෙහි අනුකම්පාවක් දැනුණා. ඔහුට කොතරම් ප්‍රබල හැඟීමක් ඇති වෙනවාද කියන එක, සෙකරියා 2:8හි වාර්තා වී ඇති පරිදි යෙහෝවා තම සෙනඟට යොමු කළ වචනවලින් පැහැදිලි වෙනවා: “නුඹලාට අත ගසන්නා [ඔහුගේ] [මගේ, NW] ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.”a මෙම පදය ගැන එක විචාරකයෙක් මෙසේ අදහස් දක්වනවා: “මිනිස් සිරුරේ වඩාත්ම සංකීර්ණ මෙන්ම සිවුමැළි ව්‍යූහයන්ගෙන් එකක් ඇස; එමෙන්ම ඇසේ කළු ඉංගිරියාව, ඒ කියන්නේ දෘෂ්ටියට අවශ්‍ය වන ආලෝකය පිවිසෙන කවුළුව, එම ව්‍යූහයේ වඩාත්ම සංවේදී මෙන්ම වැදගත් අංගය වෙනවා. තමුන්ගේ ප්‍රේමයට පාත්‍ර වන අය සඳහා යෙහෝවාට තිබෙන අතිශයින් මුදු මොළොක් වූ සැලකිල්ල පිළිබඳ අදහස, වෙනත් කිසිම දෙයකින් එතරම් කදිමට විස්තර කරන්න බැහැ.”
6. යේසුස් ක්‍රිස්තුස් දයානුකම්පාව පෙන්වා තිබෙන්නේ කොහොමද?
6 යේසුත් හැමවිටම ගැඹුරු දයානුකම්පාවක් දක්වා තිබෙනවා. අසනීපව හෝ කනස්සල්ලෙන් සිටි සෙසු මනුෂ්‍යයන්ගේ අසරණ තත්වය දැකීමෙන්, ඔහු නැවත නැවතත් “අනුකම්පාවෙන්” පෙලඹුණා. (මාර්ක් 1:41; 6:34) තම ආලේප ලත් අනුගාමිකයන්ට කාරුණිකව සලකන්න කවරෙකු හෝ අසමත් වන විට, එවැනි සැලකිල්ලක් හරියටම ඔහුට ලැබෙනවා වගේ දැනෙනවා කියා ඔහු ඇඟෙව්වා. (මතෙව් 25:41-46) එමෙන්ම අදදින අපේ ස්වර්ගික “උත්තම පූජකයා” වශයෙන්, “අපේ දුර්වලකම්වලට අනුකම්පාව දක්වන්න” පුළුවන් වෙන්නේ ඔහුටයි.—හෙබ්‍රෙව් 4:15, NW.
7. සහෝදරයෙක් හෝ සහෝදරියක් අපිව කුපිත කරවන විට, දයානුකම්පාව අපිට උපකාර කළ හැක්කේ කොහොමද?
7 ‘අපේ දුර්වලකම්වලට අනුකම්පාව දැක්වීම’—එය සැනසිල්ල ගෙන දෙන අදහසක් නෙවෙයිද? එසේනම්, එකිනෙකා සඳහා ඒ දේම කිරීමට අපිට ස්ථිරවම ඕනෑකමක් තිබෙනවා. ඇත්තවශයෙන්ම, වෙනත් කෙනෙකුගේ දුර්වලකම් සෙවීම වඩාත් පහසු දෙයක් බව පිළිගත යුතුයි. (මතෙව් 7:3-5) ඒත් සහෝදරයෙක් හෝ සහෝදරියක් ඔබව කුපිත කරවන ඊළඟ අවස්ථාවේදී, මතු දැක්වෙන දේ අත්හදා බැලුවොත් හොඳ අදහසක් නෙවෙයිද? ඒ පුද්ගලයාගේ තත්වයේ, ඒ පසුබිම ඇතුව, ඒ පෞද්ගලිකත්වය ඇතුව, සටන් කළ යුතු ඒ පෞද්ගලික දුර්වලකම් ඇතුව, ඔබ සිටිනවායයි සිතන්න. ඔබ එවැනිම වරදක්, එහෙම නැත්නම් ඊටත් වඩා දරුණු ඒවා කරන්නේ නැහැයි කියලා ඔබට ස්ථිර වෙන්න පුළුවන්ද? අනුන්ගෙන් ඕනෑවට වඩා අපේක්ෂා කරන්නේ නැතුව, අපි දයානුකම්පාව දැක්විය යුතුයි; එය ‘අප දූවිලි බව සිහි කරන’ යෙහෝවා මෙන් සාධාරණව කටයුතු කරන්න අපිට උපකාර කරයි. (ගීතාවලිය 103:14; යාකොබ් 3:17) ඔහු දන්නවා අපේ සීමාවන් මොනවාද කියලා. අපිට සාධාරණව කරන්න පුළුවන් දේ ඉක්මවා කිරීම ඔහු කිසිදාක අපෙන් අපේක්ෂා කරන්නේ නැහැ. (1 රාජාවලිය 19:5-7, සසඳන්න.) එවැනි දයානුකම්පාවක් අනුන්ට දක්වන්න අපි අදිටන් කරගනිමු.
8. සහෝදරයෙක් හෝ සහෝදරියක් යම් දුෂ්කරතාවක් අද්දකින විට අපි ප්‍රතික්‍රියා කළ යුත්තේ කොහොමද?
8 සභාව, එකමුතුව එකට වැඩ කළ යුතු විවිධ අවයවයන් තිබෙන ශරීරයක් වගෙයි කියලා පාවුල් ලිව්වා. ඔහු මෙසේ එකතු කළා: “එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමඟ සියලු අවයවයෝම වේදනා විඳිති.” (1 කොරින්ති 12:12-26) යම් අසීරු අද්දැකීමකට මැදි වී සිටින අය සමඟ දුක් විඳීමට නැතහොත් සංවේදනයෙන් කටයුතු කිරීමට අපිට අවශ්‍යයි. එසේ කිරීමේදී වැඩිමහල්ලෝ පෙරමුණ ගන්නවා. පාවුල් මෙලෙසත් ලිව්වා: “යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද?” (2 කොරින්ති 11:29) වැඩිමහල්ලන් සහ සංචාරක අවේක්ෂකයන් මේ සම්බන්ධයෙන් පාවුල්ව අනුකරණය කරනවා. ඔවුන්ගේ කතාවලදී, ඔවුන්ගේ එඬේර වැඩවලදී සහ විනිශ්චයමය කාරණා හසුරුවද්දී පවා, දයානුකම්පාව පෙන්නුම් කරන්න ඔවුන් ප්රයත්න දරනවා. පාවුල් මෙසේ නිර්දේශ කළා: “අඬන්නන් සමඟ අඬන්න.” (රෝම 12:15) එඬේරුන්ට තමුන් සඳහා සැබෑ අනුකම්පාවක් තිබෙන බවත්, ඔවුන්ගේ සීමාවන් තේරුම්ගන්න බවත්, ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා කෙරෙහි දයානුකම්පාවක් දක්වන බවත් බැටළුවන්ට තේරෙන විට, උපදෙස්, මඟ පෙන්වීම සහ හික්මවීම පිළිගැනීමට ඔවුන් සාමාන්‍යයෙන් වැඩි කැමැත්තක් දක්වනවා. ‘තම ප්‍රාණවලට සහනයක්’ ලැබෙන්න යන බවට නිසැකකමක් තිබෙන නිසා, ඔවුන් රැස්වීම්වලට උනන්දුවෙන් පැමිණෙනවා.—මතෙව් 11:29.
අගය පෙන්නුම් කිරීම
9. අප තුළ තිබෙන යහපත ඔහු අගය කරන බව යෙහෝවා පෙන්නුම් කරන්නේ කොහොමද?
9 සහෝදර ප්‍රේමය නමැති ගින්න දිගටම දැල්වීමට සැලැස්විය හැකි දෙවන මාර්ගයක් නම් අගය කිරීම තුළිනුයි. අනුන්ව අගය කරන්න, අපි ඔවුන්ගේ යහපත් ගුණාංග සහ වෑයම් මතට අවධානය යොමු කළ යුතු අතර, ඒවා අගය කළ යුතුයි. එහෙම කරද්දී, අපි අනුකරණය කරන්නේ වෙන කාවවත් නොව යෙහෝවාවමයි. (එපීස 5:1) දිනපතා අපේ සුළු පව් බොහොමයකට ඔහු සමාව දෙනවා. සැබෑ පසුතැවිල්ලක් තිබුණොත්, බරපතළ පාපවලට පවා ඔහු සමාව දෙනවා. ඉන්පසු, අපේ පාපවලට සමාව දුන්නායින් පස්සේ, ඒවා නැවත නැවත මතකයට නඟන්නේ නැහැ. (එසකියෙල් 33:14-16) ගීතිකාකරු මෙසේ විමසුවා: “අහෝ යාහ්, ඔබ අයුතුකම් දෙසම බැලුවා නම්, අහෝ යෙහෝවා සීරුවෙන් සිටිය හැක්කේ කාටද?” (ගීතාවලිය 130:3, NW) යෙහෝවා අවධානය යොමු කරන්නේ, ඔහුට සේවය කරද්දී අපි කරන යහපත් දේවල් මතයි.—හෙබ්‍රෙව් 6:10.
10. (අ) එකිනෙකා සඳහා තිබෙන අගය නැති කර දැමීම විවාහක කලත්‍රයන්ට අනතුරුදායක වෙන්නේ ඇයි? (ආ) කලත්‍රයෙකු සඳහා තිබෙන අගය හීන වෙමින් පවතින යමෙක් කළ යුත්තේ කුමක්ද?
10 පවුල තුළ මෙම ආදර්ශය අනුගමනය කිරීම විශේෂයෙන්ම වැදගත්. දෙමාපියන් එකිනෙකාව අගය කරන බව පෙන්නුම් කරන විට, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මුළු පවුල වෙනුවෙන් ඔවුන් පිහිටුවනවා. කෙටි කාලීන විවාහ පවතින මෙම යුගයේදී, කලත්‍රයෙකුව සුළුවට ගණන් ගෙන, දුර්වලකම් ලොකු කරන්නත්, හොඳ ගතිගුණ සුළු කරන්නත් ඉතා පහසුයි. නිෂේධාත්මකව එලෙස සිතීම විවාහයක් දුබල කරවන අතර, එය ප්‍රීතියෙන් තොර බරක් බවට පත් කරවනවා. ඔබේ කලත්‍රයා සඳහා ඔබට තිබෙන අගය හීන වෙමින් පවතිනවා නම්, ඔබෙන්ම මෙසේ අසන්න, ‘මගේ කලත්‍රයාට ඇත්තෙන්ම හොඳ ගුණාංග නැද්ද?’ ඔබ ප්‍රේමයෙන් බැඳී විවාහ වීමට හේතු ආපසු මතක් කරගන්න. මෙම අද්විතීය පුද්ගලයාට ප්‍රේම කිරීමට හේතු වූ ඒ හැම හේතුවක්ම ඇත්තටම අතුරුදහන් වී තිබෙනවාද? ඒක නම් වෙන්නම බැරි දෙයක්; එනිසා ඔබේ කලත්‍රයා තුළ තිබෙන යහපත අගය කරන්න වෙහෙස මහන්සි වී වැඩ කරන්න; එමෙන්ම ඔබේ අගය වචනවලින් ප්‍රකාශ කරන්න.—හිතෝපදේශ 31:28.
11. විවාහයේ ප්‍රේමය කුහකකමින් නිදහස්ව තිබෙන්න නම්, මොන පුරුදුවලින් වැළකී සිටිය යුතුද?
11 විවාහක හවුල්කාර හවුල්කාරියන්ට තම ප්‍රේමය කුහකකමින් නිදහස්ව තබාගැනීමටත් අගය කිරීම උපකාර කරනවා. (සසඳන්න 2 කොරින්ති 6:6; 1 පේතෘස් 1:22; NW.) අනුන්ට නොපෙනෙන විට කෲර ලෙස කටයුතු කිරීමකට, වේදනාව ගෙන දෙන හා අවමන් කරන වචන පැවසීමකට, එකිනෙකාට කාරුණික හෝ ශිෂ්ටසම්පන්න වචනයක්වත් නොපවසා දවස් ගණන් ගෙවිය හැකි නොසලකා හැරීමකට හෘදයාංගම අගයෙන් දල්වනු ලබන එවැනි ප්‍රේමයක් ඉඩ දෙන්නේ නැහැ; ඒ වගේම නිසැකවම ශාරීරික සාහසිකකමට ඉඩක් ලැබෙන්නෙත් නැහැ. (එපීස 5:28, 29) එකිනෙකාව සැබවින්ම අගය කරන පුරුෂයෙක් සහ භාර්යාවක් එකිනෙකාට ගෞරවය කරනවා. ඔවුන් එසේ කරන්නේ ප්‍රසිද්ධියේ විතරක් නොව, නමුත් ඔවුන් යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි සිටින ඕනෑම අවස්ථාවක, ඒ කියන්නේ සෑම මොහොතකදීම එසේ කරනවා.—හිතෝපදේශ 5:21.
12. දෙමාපියන් තම දරුවන් තුළ දකින යහපතට අගය ප්‍රකාශ කළ යුත්තේ ඇයි?
12 තමන්ව අගය කරන බව දරුවන්ටත් හැඟෙන්න අවශ්‍යයි. මෙයින් අදහස් කරන්නේ දෙමාපියන් ඔවුන්ව හිස් චාටු බස්වලින් නැහැවිය යුත් බවක් නෙවෙයි, නමුත් ඔවුන් තම දරුවන්ගේ ප්‍රශංසා කළ යුතු ගුණාංග සහ ඔවුන් අව්‍යාජ ලෙස කරන යහපත් දේවල් පැසසුමට ලක් කළ යුතු බවයි. යෙහෝවා යේසුට තම අනුමැතිය දැක්වීමෙන් තැබූ ආදර්ශය මතක තියාගන්න. (මාර්ක් 1:11) උපමාවක “ස්වාමියා” වශයෙන් යේසුගේ ආදර්ශයත් මතක තියාගන්න. ‘යහපත් සහ විශ්වාසවන්ත වූ දාසයන්’ දෙදෙනෙකුට දෙනු ලැබූ දේ අතර වෙනසක්ද, ඔවුන් එක් එක්කෙනා නිපදවූ දේ අතර ඊට අනුරූප වෙනසක්ද තිබුණත්, ඔහු ඔවුන්ව එක සමානව පැසසුමට ලක් කළා. (මතෙව් 25:20-23; සසඳන්න මතෙව් 13:23.) ඒ හා සමානව එක එක දරුවාගේ අද්විතීය ගුණාංග, හැකියාවන් සහ සමර්ථයන් සඳහා අගය ප්‍රකාශ කරන්න ඥානවන්ත දෙමාපියන් මං සොයනවා. ඒ සමඟම, තරඟකාරිව සමත් වීමට දරුවන්ව පෙලඹෙන පරිද්දෙන්, සමත් වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන්නත් වෑයම් කරනවා. ඔවුන්ගේ දරුවන් කුපිත වී හෝ කලකිරීමෙන් යුතුව ඇති දැඩි වෙනවා දකින්න ඔවුන් කැමති නැහැ.—එපීස 6:4; කොලොස්සි 3:21.
13. සභාවේ එක් එක් සාමාජිකයා සඳහා අගය දැක්වීමෙහි පෙරමුණ ගන්නේ කවුද?
13 ක්‍රිස්තියානි සභාවේ, දෙවිගේ රැළෙහි සෑම සාමාජිකයෙකුටම අගය පෙන්වීමේදී, වැඩිමහල්ලන් සහ සංචාරක අවේක්ෂකයන් පෙරමුණ ගන්නවා. ධර්මිෂ්ඨකමින් හික්මවීමෙත්, වරදකට හසු වන අයව මෘදුකමේ ආත්මයකින් යළි සකස් කිරීමෙත්, අවශ්‍ය අයට බලගතු උපදෙස් දීමෙත් බරපතළ වගකීම උසුලන නිසා, ඔවුන් සිටින්නේ අසීරු තත්වයකයි. එකිනෙකට වෙනස් මෙවැනි වගකීම් ඔවුන් සමබර කරන්නේ කොහොමද?—ගලාති 6:1; 2 තිමෝති 3:16.
14, 15. (අ) බලගතු උපදෙස් දීමේ කාරණයේදී පාවුල් සමබරතාව පෙන්නුවේ කොහොමද? (ආ) වැරදි හරිගැස්වීමට තිබෙන අවශ්‍යතාව, පැසසුම් දීමට තිබෙන අවශ්‍යතාව සමඟ සමබර කිරීමට ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට පුළුවන් වෙන්නේ කොහොමද? නිදර්ශනය කරන්න.
14 පාවුල්ගේ ආදර්ශය මහෝපකාරි වෙනවා. ඔහු කැපීපෙනෙන ගුරුවරයෙක්, වැඩිමහල්ලෙක් සහ එඬේරෙක් වුණා. බරපතළ ගැටලුවලට මැදි වූ සභාවන් සමඟ කටයුතු කරන්න ඔහුට සිදු වුණ අතර, බලගතු උපදෙස් දීම අවශ්‍ය වූ විට ඔහු භයින් වැළකී සිටියේ නැහැ. (2 කොරින්ති 7:8-11) පාවුල්ගේ දේවසේවය ගැන මූලික අදහසක් ගත්තොත්, ඔහු තරවටුව සීමිතව යොදාගත් බව පෙනී යනවා; ඒ කියන්නේ තත්වය හේතුවෙන් එය අවශ්‍ය වූ විටක හෝ යෝග්‍ය වූ විටක පමණයි. මෙහිදී ඔහු දේවප්‍රඥාව පෙන්නුම් කළා.
15 සභාව ඉදිරියෙහි වැඩිමහල්ලෙකුගේ දේවසේවය සංගීත කෘතියකට සමාන කළොත්, තරවටුව සහ අවවාදය ඒ සම්පූර්ණ කෘතියට එකඟව දිවයන තනි ස්වරයක් හා සමානයි. ඒ ස්වරය නියමිත තැනෙහි පවතින විට කදිමයි. (ලූක් 17:3; 2 තිමෝති 4:2) ඒ එකම ස්වරය නැවත නැවත වාදනය වන ගීතයක් ගැන සිතන්න. එය ඉක්මනින්ම අපිට කන්දොස්කිරියාවක් බවට පත් වේවි. ඒ හා සමානව, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් තම ඉගැන්වීම සම්පූර්ණ කරන්න වෑයම් කරමින්, එයට විවිධත්වයක් මුසු කරනවා. ගැටලු නිරාකරණය කිරීමට පමණක් ඔවුන් එය සීමා කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඉගැන්වීම්වල සමස්ත විලාසය ඒකාන්තයි. යේසුස් ක්‍රිස්තුස් වගේ, ප්‍රේමනීය වැඩිමහල්ලන්, පළමුව සොයන්නේ පැසසුම් කිරීමට යහපත මිස, විවේචනය කිරීමට වරද නෙවෙයි. ඔවුන්ගේ සෙසු ක්‍රිස්තියානීන් වෙහෙස මහන්සි වී කරමින් සිටින වැඩ ඔවුන් අගය කරනවා. පොදුවේ සෑම කෙනෙකුම යෙහෝවාට සේවය කරන්න තම උපරිමය කරමින් සිටින බවට ඒකාන්ත විශ්වාසයක් ඔවුන්ට තිබෙනවා. එමෙන්ම වැඩිමහල්ලන් ඔවුන්ගේ හැඟීම් නොපමාව වචනවලින් ප්‍රකාශ කරනවා.—2 තෙසලෝනික 3:4, NW, සසඳන්න.
16. පාවුල්ගේ අගයෙන් සහ සංවේදනයෙන් යුත් ආකල්පය සෙසු ක්‍රිස්තියානීන්ට මොන වගේ බලපෑමක් වුණාද?
16 පාවුල් ඔවුන්ව අගය කළ බවටත්, ඔවුන් සඳහා දයානුකම්පාව දැක්වූ බවටත්, ඔහු උපස්ථාන කළ ක්‍රිස්තියානීන්ගෙන් වැඩි හරියකට දැනුණ බවට කිසිම සැකයක් නැහැ. අපි මෙය දන්නේ කොහොමද? ඔවුන්ට පාවුල් ගැන හැඟුණු විදිහ බලන්න. ඔහුට මහත් අධිකාරයක් තිබුණත්, ඔවුන් ඔහුට භය වී සිටියේ නැහැ. ඔව්, ඔහු හිතවත් එළඹිය හැකි කෙනෙක්. ඇත්තවශයෙන්ම, ඔහු එක් ප්‍රදේශයකින් සමුගත් විට, එහි වැඩිමහල්ලන්, ‘ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුව මෘදු ලෙස සිඹගත්තා.’ (ක්‍රියා 20:17, 37) වැඩිමහල්ලන්ට—අපි සියලුමදෙනාට—අනුකරණය කිරීම සඳහා පාවුල්ගේ ආදර්ශය තිබීම ගැන අපි මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! ඔව්, අපි එකිනෙකා සඳහා අගය දක්වමු.
ප්‍රේමනීය-කරුණාවේ ක්‍රියා
17. සභාව තුළ කරුණාවේ ක්‍රියාවලින් නික්මෙන යහපත් බලපෑම් සමහරක් මොනවාද?
17 සහෝදර ප්‍රේමය දැල්වීමට සලස්වන වඩාත්ම ප්‍රබල ඉන්ධනයක් තමයි, කරුණාවේ සරල ක්‍රියාවක්. යේසු කීවාක් මෙන්: “ගැනීමට වඩා දීමෙන් සන්තෝෂය වැඩිය.” (ක්‍රියා 20:35, NW) අපි ආත්මිකව, ද්‍රව්‍යමය ලෙස හෝ අපේ කාලය සහ ශ්‍රමය හෝ මොනම ආකාරයකින් දුන්නත්, අපි අනුන්ව සන්තෝෂ කරනවා විතරක් නොව, අපි අපවමත් සන්තෝෂ කරගන්නවා. සභාවේදී, කරුණාව බෝවනසුලුයි. කරුණාවේ එක ක්‍රියාවක් ඒ සමාන ක්‍රියා ජනිත කරනවා. වැඩි කලක් යන්න කලින්, සහෝදර ස්නේහය වැජඹෙනවා!—ලූක් 6:38.
18. මීකා 6:8හි සඳහන් “කරුණාව” යන්නෙහි අර්ථය මොකක්ද?
18 යෙහෝවා තම සෙනඟ වූ ඉශ්රායෙල්ට උනන්දු කළා කරුණාව විදහාපෙන්වීමට. මීකා 6:8හි අපිට මෙසේ කියවීමට තිබෙනවා: “එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා [ඔහු] නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ [දෙවි] වෙත යටහත්ලෙස හැසිරීමත් මිස [යෙහෝවා] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” “කරුණාවට ප්‍රේමවීම” කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? “කරුණාව” සඳහා මෙහිදී භාවිත කර තිබෙන හෙබ්‍රෙව් වචනය (චීʹසෙඩ්හ්) ඉංග්‍රීසියට “දයාව” වශයෙනුත් පරිවර්තනය කර තිබෙනවා. ද සොන්සිනෝ බුක්ස් ඔෆ් ද බයිබල් (සොන්සිනෝ බයිබලයේ පොත්) යන කෘතියට අනුව, මෙම වචන “දයාව යන අපැහැදිලි ඉංග්‍රීසි වචනයට වඩා ක්‍රියාශීලී යමක් අඟවනවා. ‘ක්‍රියාවලට පරිවර්තනය වූ දයාව’ දුප්පතුන්ට සහ අසරණයන්ට පමණක් නොව, යමෙකුගේ අසල්වාසීන් සියලුදෙනාටම ප්‍රේමනීය-කරුණාවේ ක්‍රියා පෞද්ගලිකව කිරීම” එයින් අදහස් කරනවා. මේ අනුව තවත් විශාරදයෙක් කියන්නේ චීʹසෙඩ්හ් යන්නෙන් අදහස් කරන්නේ “ක්‍රියාවලට පරිවර්තනය වූ ප්‍රේමය” බවයි.
19. (අ) සභාවේ අනික් අයට කරුණාව දැක්වීමෙහිදී අපිට මොන ආකාරවලින්ද මූලික පියවර ගන්න පුළුවන්? (ආ) ඔබට සහෝදර ප්‍රේමය පෙන්නුම් කර තිබෙන ආකාරය ගැන උදාහරණයක් දෙන්න.
19 අපේ සහෝදර ප්‍රේමය කාල්පනික හෝ අපැහැදිලි දෙයක් නෙවෙයි. එය ස්ථිරසාර යථාර්ථයක්. එබැවින්, ඔබේ සහෝදර සහෝදරියන්ට කාරුණික දේවල් කිරීමට මං සොයන්න. හැමවිටම ජනයා තමා වෙතට එළඹී උපකාර ඉල්ලන තෙක් නිකම්ම බලා සිටින්නේ නැතුව, පෞද්ගලිකවම නොයෙක් විට මූලික පියවර ගත් යේසු වගේ වන්න. (ලූක් 7:12-16) වැඩියෙන්ම අවශ්‍යතාවක් තිබෙන අය ගැන විශේෂයෙන්ම සිතන්න. මහලු හෝ දුබල පුද්ගලයෙක්ට බැහැදැකීමක් හෝ පොඩි පොඩි ගමන් බිමන් යෑමට යම් උපකාරයක් අවශ්‍යද? ‘පියා නැති දරුවෙකුට’ යම් කාලයක් සහ අවධානයක් අවශ්‍යද? කලකිරුණු ප්‍රාණයකට අවශ්‍යද තමාට සවන් දෙන්න කෙනෙක්, නැතහොත් සැනසිල්ල ගෙන දෙන වචන කිහිපයක්? අපේ හැකිකම අනුව, එවැනි කරුණාවේ ක්‍රියා සඳහා කාලය මිඩංගු කිරීමට බලමු. (යෝබ් 29:12; 1 තෙසලෝනික 5:14; යාකොබ් 1:27) අසම්පූර්ණ පුද්ගලයන්ගෙන් පිරුණු සභාවක, කරුණාවේ වඩාත් වැදගත්ම ක්‍රියාවලින් එකක් තමයි සමාව දීම කියා කවදාවත් අමතක නොකරන්න—ඒ කියන්නේ පැමිණිලි කිරීම සඳහා යුක්තිසහගත හේතුවක් තිබුණත්, අදිමදි කරන්නේ නැතුව අමනාපය අත්හැරීමයි. (කොලොස්සි 3:13) සහෝදර ප්‍රේමයේ ගින්න නිවීමට දායක වන තෙත් ඇතිරිලිවලට සමාන භේද, කුඩුකේඩුකම් සහ ආරවුල්වලින් සභාව නිදහස්ව තබාගැනීම සඳහා, සමාව දීමට කැමැත්තක් දැක්වීම උපකාරවත් වෙනවා.
20. අපි සැමදෙනාම දිගටම පෞද්ගලික සෝදිසියක් කළ යුත්තේ කොහොමද?
20 ප්‍රේමය නමැති මෙම අතිවැදගත් ගින්න අපේ හෘදවල ඇවිළෙමින් තබාගැනීමට අපි සැමදෙනාම අදිටන් කරගනිමු. අපි නිතරම අපිව සෝදිසි කර බලමු. අපි අනුන්ට දයානුකම්පාව පෙන්වනවාද? අපි අනුන් සඳහා අගයක් දක්වනවාද? අපි අනුන්ට කරුණාවේ ක්‍රියා කරනවාද? එසේ කරන තාක් කල්, මේ ලෝකය කොතරම් දැඩි ලෙස හීන වූ තත්වයක සහ හැඟීමක් නැතුව සිටියත්, ප්‍රේමය නමැති ගින්න අපේ සහෝදරත්වය උණුසුම්ව තබාගනීවි. එසේනම්, සත්තකින්ම, දැනුත් සදහටත් “ඔබේ සහෝදර ප්‍රේමය පවතීවා!”—හෙබ්‍රෙව් 13:1.
[පාදසටහන]
a දෙවිගේ සෙනඟට අතගසන්නා, දෙවිගේ නොව, ඉශ්‍රායෙල්ගේ නැතහොත් තමුන්ගේම ඇසට අතගසන බව ඇතැම් පරිවර්තන මෙහිදී අඟවනවා. මෙම වරද මධ්‍යකාලීන ලියන්නන් සමහරෙකු සිදු කළ දෙයක්; අගෞරවනීයයි කියා සැලකූ වගන්ති හරිගැස්වීමට දැරූ නොමඟ ගිය උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙම පදය වෙනස් කළා. එමගින් ඔවුන් යෙහෝවාගේ පෞද්ගලික සංවේදනයේ ප්රබලකම අඳුරු කළා.
ඔබේ අදහස මොකක්ද?
◻ සහෝදර ප්‍රේමය කියන්නේ මොකක්ද? අපි එය දිගටම පවත්වාගැනීමට කටයුතු කළ යුත්තේ ඇයි?
◻ අපේ සහෝදර ප්‍රේමය පවත්වාගන්න දයානුකම්පාව තිබීම අපිට උපකාර කරන්නේ කොහොමද?
◻ සහෝදර ප්‍රේමයේදී අගය කිරීමට තිබෙන්නේ මොන කාර්යයක්ද?
◻ ක්‍රිස්තියානි සභාව තුළ සහෝදර ප්‍රේමය වැජඹීමට කරුණාවේ ක්‍රියා හේතු වන්නේ කොහොමද?
[16වන පිටුවේ කොටුව]
ප්‍රේමය ක්‍රියාවට නංවමින්
අවුරුදු කිහිපයකට විතර කලින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ යම් කලකට බයිබලය පාඩම් කර තිබුණු මනුෂ්‍යයෙකුට තවමත් සහෝදර ප්‍රේමය ගැන යම්දුරකට සැකයක් තිබුණා. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇතැයි” යේසු පවසා තිබුණු බව ඔහු දැන සිටියා. (යොහන් 13:35) ඒත් එය විශ්වාස කරන එක ඔහුට අමාරු දෙයක් වුණා. දවසක්, ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාවට නංවන ආකාරය ඔහුට දකින්න ලැබුණා.
මේ මනුෂ්‍යයා රෝද පුටුවකට සීමා වී සිටියත්, ඔහු නිවසින් සෑහෙන ඈත සංචාරය කරමින් සිටියා. ඊශ්‍රායෙල්වල බෙත්ලෙහෙම් නගරයේ සභා රැස්වීමකට ඔහු ගියා. එහිදී, අරාබි සාක්ෂිකරුවෙක් තවත් සාක්ෂිකාර සංචාරකයෙකුගෙන් තරයේ ඉල්ලා සිටියා, රාත්‍රිය ඔහුගේ පවුල සමඟ ගත කරන්න එන්න කියලා; ඒ ඇරයුමට මේ බයිබල් ශිෂ්‍යයාත් ඇතුළත් වී තිබුණා. නිදාගැනීමට කලින්, උදේ වෙද්දී ඉර උදාවීම බලන්න ඉස්තෝප්පුවට යන්න, ඒ ශිෂ්‍යයා ගෙයි අයිතිකාරයාගෙන් අවසර ඉල්ලුවා. ඔහු එය නොකළ යුතුයයි ගෙයි අයිතිකාරයා ඔහුට දැඩි ලෙස අවවාද කළා. ඊළඟ දවසේ මෙම අරාබි සහෝදරයා හේතුව පැහැදිලි කළා. මෙම බයිබල් ශිෂ්‍යයා යුදෙව්වෙකු වූ නිසා, ඔහුගේ අසල්වාසීන් දැනගත්තොත් ඔහුට යුදෙව් පසුබිමක් තිබෙන අමුත්තන් ඉන්නවා කියලා, ඔහුවත් ඔහුගේ පවුලත් නිවසත් එක්කම ගිනිබත් කරාවි කියලා ඔහු පරිවර්තකයෙක් මාර්ගයෙන් කිව්වා. ව්‍යාකූල වූ බයිබල් ශිෂ්‍යයා ඔහුගෙන් මෙසේ ඇසුවා: “ඇයි එහෙනං ඔයා ඒ වගේ අවදානමක් ගත්තේ?” පරිවර්තකයාව පාවිච්චි කරන්නේ නැතුව, ඒ අරාබි සහෝදරයා ඔහුගේ ඇස් දෙක දිහාම බලාගෙන, නිකම්ම “යොහන් 13:35” කියලා කිව්වා.
සහෝදර ප්‍රේමයේ යථාර්ථය එම බයිබල් ශිෂ්‍යයාගේ හිතට ගැඹුරින් කාවැදුණා. ඉන් වැඩි කල් නොගොස් ඔහු බව්තීස්ම වුණා.
[18වන පිටුවේ පින්තූරය]
ප්‍රේරිත පාවුල්ගේ විවෘත හා අගයෙන් යුත් ස්වභාවය ඔහුව එළඹිය හැකි කෙනෙක් කළා