“විවාහය සියල්ලන් අතරේ ගෞරවනීය ව තිබේවා”
“විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලිටුව තිබේවා.”—හෙබ්‍රෙව් 13:4.
1. සාර්ථක විවාහය ගැන බොහෝ දෙනා ඉගෙන ගෙන ඇත්තේ කුමක් ද?
පහසුවෙන් දික්කසාද සිදු වෙන මේ යුගයේ පවා, මිලියන ගණනක් ජනයා කල්පවත්නා විවාහයන් භුක්ති විඳිත්. පුද්ගලිකත්වයේ හා පසුබිම්වල වෙනස්කම් තිබුණත්, සාර්ථකත්වය සඳහා ඔවුන් විසින් මඟක් සොයා ගෙන තිබේ. එවන් විවාහයන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර සොයා ගත හැකි ය. එකිනෙකාට විරුද්ධ ව චෝදනා කිරීමට යම් හේතු තිබිය දී පවා, බොහෝ අවස්ථාවන්හි දී, තම ජීවිතයේ හොඳ හා නරක එක ලෙස අත්දැක තිබෙන බවට මෙම ජෝඩු එකඟ වෙනු ඇත. එහෙත්, ඔවුන් විවාහයේ සුළු සුළු කුණාටු තරණය කිරීමට ඉගෙන ගෙන තිබෙන අතර, තමන්ගේ විවාහය නමැති නැව එහි ගමන් මඟේ රඳවා ගෙන තිබේ. මෙසේ දිගට ම ගමන් මඟේ රැඳී සිටීමට දායක වී ඇති සමහරක් සාධක මොනවා ද?—කොලොස්සි 3:13.
2. (අ) විවාහයක් පෝෂණය කරවන ඇතැම් සාධකයන් මොනවා ද? (ආ) විවාහයක් බෙලහීන කළ හැකි සමහරක් නිෂේධාත්මක සාධක මොනවා ද? (14වන පිටුවේ ඇති කොටුව බලන්න)
2 දිගු කලක් තිස්සේ තම ක්‍රිස්තියානි විවාහයන් සන්තෝෂයෙන් ගත කර ඇති සමහරක් අය පවසා ඇති දෙයින් යමක් හෙළි කර ගත හැක. වසර 16ක් පුරා ස්වාමිපුරුෂයෙකු ව සිටි තැනැත්තෙක් මෙසේ පැවසුවේ ය: “ඕනෑ ම වේලාවක ගැටලුවක් ඇති වුණහම, අප එකිනෙකාගේ අදහස්වලට සවන් දීමට ඇත්තට ම උත්සහයක් ගෙන තිබෙනවා.” බොහෝ විවාහයන් සවි ශක්තිමත් කරවන සාධකයන්ගෙන් එකක් මෙහි දී කැපී පෙනෙන්ට තිබෙයි,—එනම් විවෘත, අවංක අදහස් හුවමාරු කිරීම ය. වසර 31කට විවාහ වී සිටි එක් භාර්යාවක් මෙසේ පැවසුවා ය: “අත් අල්ලා ගෙන සිටීම හා අප අතර ආදරය තබා ගැනීමට විනෝද දේවල් කිරීම සෑම විට ම ප්‍රධාන දෙයක් වී තිබෙනවා.” තව ද එය අදහස් හුවමාරු කිරීමේ අමතර අංගයක් ය. වසර 40කට ආසන්න කාලයක් විවාහ වී සිටින තවත් යුවළක්, හාස්‍යජනක ගතියක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම, තමන් ගැන ම සහ එකිනෙකා කෙරෙහි සිනහ වීමට ඇති හැකිකම අවධාරණය කළහ. එකිනෙකාගේ හොඳ ම හා නරක දේවල් දැක ගැනීමටත්, එහෙත් තවමත් ළැදි ප්‍රේමය පෙන්වීමට හැකියාව ලබා ගැනීමටත් උපකාරවත් වූ බව ද ඔවුහු පැවසුවෝ ය. අත්වැරදි පිළිගෙන ඊළඟට සමාව ඉල්ලීමට කැමති වීම ගැන ස්වාමිපුරුෂයා සඳහන් කළේ ය. නම්ය වීමේ ස්වභාවයක් තිබෙන විට, විවාහය හදිසියේ කැඩී යනවාට වඩා සකස්වීමට නම්ය බවක් විදහා පෙන්වනු ඇත.—පිලිප්පි 2:1-4; 4:5, කිංඩම් ඉන්ටර්ලීනියර්.
වෙනස් වන වාතාවරණයක්
3, 4. විවාහයේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ආකල්පවල කුමන වෙනසක් ඇති වී තිබේ ද? උදාහරණ දීමට ඔබට හැකි ද?
3 පසුගිය දශක කිහිපය මුළුල්ලේ ලෝකය පුරා, විවාහයේ විශ්වාසනීයත්වය පිළිබඳ ව තිබෙන අදහස් වෙනස් වී තිබේ. කාමමිථ්‍යාචාරය සඳහා භාවිතා වන නවීන දින ආරූඪ නාමයක් වන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගැනීම ගැන විශේෂයෙන් ම අනෙක් කලත්‍රයා දන්නේ නම් හා එය පිළිගන්නේ නම් එහි ඇති වරදක් නැතැයි ඇතැම් විවාහක පුද්ගලොයෝ විශ්වාස කරති.
4 එක් ක්‍රිස්තියානි අවේක්ෂකයෙක් මෙම තත්ත්වය ගැන මෙසේ පැවසුවේ ය: “ලෝකය සදාචාර නීති ක්‍රමයක් අනුව ජීවත්වීමට කිසි ම බැරෑරුම් උත්සාහයක් ගැනීම මුළුමනින් ම පාහේ අත්හැර දමා තිබෙනවා. නිර්මල හැසිරීම යල්පැන ඇති යමක් ලෙස සලකනු ලැබේ.” දේශපාලන, ක්‍රීඩා, හා විනෝදාස්වාද ක්ෂේත්රයන්හි නියැලෙන ප්‍රධාන පෙළේ පුද්ගලයන් සදාචාර හැසිරීම පිළිබඳ බයිබලයේ ප්‍රමිති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරන අතර, එවැනි මිනිසුන් දිගින් දිගට ම ගෞරවාදරයට පාත්‍ර වේ. කිසි ම ආකාරයක සදාචාර වැරදි ක්‍රියා හෝ දුරාචාරය සම්බන්ධයෙන් බැඳී තිබෙන කිසි ම කැලලක් සැබවින් ම නැති තරම් ය. ඉහළ පංතිය යයි කියනු ලබන ධනවත් අය අතර නිර්මල බව අවංකකම අගය කෙරෙන්නේ කලාතුරකිනි. ඒ නිසා, ‘ලොකු මිනිස්සු කරනවා නම් පොඩි අපි කළහ ම මොකද’ යන ප්‍රතිපත්තිය මත වැඩි දෙනා එම ආදර්ශය අනුගමනය කරමින්, දෙවියන් වහන්සේ හෙලා දකින දේට ඉඩ හරිති. එය පාවුල් ප්‍රකාශ කළාක් මෙන් ය: “ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාකමට භාරවුණෝය.”—එපීස 4:19; හිතෝපදේශ 17:15; රෝම 1:24-28; 1 කොරින්ති 5:11.
5. (අ) කාමමිථ්‍යාචාරය පිළිබඳ දෙවියන් වහන්සේගේ ස්ථාවරය කුමක් ද? (ආ) “වේශ්‍යාකම” වන වචනය බයිබලයේ භාවිතා වීමේ දී එයට ඇතුළත් වන්නේ කුමක් ද?
5 දෙවියන් වහන්සේගේ ප්‍රමිති වෙනස් වී නැත. විවාහයක ප්‍රයෝජන රහිත ව අඹු සැමියන් මෙන් එකට ජීවත්වීම වේශ්‍යාකම බව තවමත් උන් වහන්සේගේ ස්ථාවරයයි. විවාහය තුළ ද්‍රෝහි වීම තවමත් කාමමිථ්‍යාචාරය වෙයි.a ප්‍රේරිත පාවුල් පැහැදිලි ලෙස මෙසේ පැවසී ය: “අධර්මිඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද? නොරැවටෙල්ලා. වේශ්‍යාකම්කරන්නෝවත් රූපවඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමග අනාචාරකරන්නෝවත්, . . . දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකර නොගන්නෝය. නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් [ආත්මය NW ] තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.”—1 කොරින්ති 6:9-11.
6. පළමුවන කොරින්ති 6:9-11 හි පාවුල්ගේ වචනවල කුමන දිරිගැන්වීමක් අපට සොයා ගත හැකි ද?
6 එම පාඨය තුළ තිබෙන, “නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් . . . නුඹලා සෝදනු ලැබුවහුය” යන පාවුල්ගේ ප්රකාශනය දිරිගන්වන සුලු කාරණයකි. එසේ ය, අතීතයේ දී, මේ ලෝකයේ සල්ලාල ‘අනාචාර බහුලත්වයේ’ ජීවත් වූ අය, තමන්ගේ හොඳ සිහියට පැමිණ, ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ පූජාව පිළිගෙන පිරිසිදු කරනු ලැබ සිටින්නාහ. සදාචාර ජීවිත ගත කිරීමෙන් දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කිරීමට ඔවුන් තෝරා ගෙන තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්තෝෂයෙන් සිටිති.—1 පේතෘස් 4:3, 4.
7. “දුරාචාරය” යන්න තේරුම් ගැනීමේ ලා පවතින්නා වූ ගැටුම කුමක් ද, එමෙන් ම බයිබලයේ මතය කුමක් ද?
7 අනෙක් අතට, දුරාචාරය පිළිබඳ නවීන ලෝකයේ අර්ථ දැක්වීම කොතරම් බාල වී ගොස් තිබේ ද කිවහොත්, එය දෙවියන් වහන්සේගේ දෘෂ්ටියට අනුකූල නොවේ. එක් ශබ්දකෝෂයක “දුරාචාරය” අර්ථ දක්වන්නේ, “පිහිටුවන ලද සදාචාරයට පටහැනි” යමක් වශයෙනි. විවාහයට පෙර හා විවාහයෙන් පිටත ලිංගික සබඳතා මෙන් ම සමලිංගික සේවනයට ඉඩහරින වත්මන් “පිහිටුවන ලද සදාචාරය” යනු බයිබලය දුරාචාරය ලෙස හෙළා දකින දෙයයි. එසේ ය, බයිබලයේ දෘෂ්ටි කෝණයට අනුව, දුරාචාරය යනු දෙවියන් වහන්සේගේ සදාචාර නීති බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.—නික්මයාම 20:14, 17; 1 කොරින්ති 6:18.
ක්‍රිස්තියානි සභාව බලපෑමට හසු වී
8. ක්‍රිස්තියානි සභාව තුළ සිටින අයට දුරාචාරය බලපෑ හැක්කේ කෙසේ ද?
8 අද දින දුරාචාරය කොතරම් ප්‍රචලිත ව පවතී ද යත්, එය, ක්‍රිස්තියානි සභාව තුළ සිටින අය වෙත පවා බලපෑම් එල්ල කරන්නට පුළුවන. දසත පැතිර තිබෙන පහත් රූපවාහිනි වැඩසටහන්, වීඩියෝ පට, සහ කාමුක පොත් පත් තුළින් ඔවුන් ව බලපෑමට හසු කරගන්නට එයට හැක. බලපෑමට හසු වී ඇත්තේ ක්‍රිස්තියානින්ගේ සුළු අනුපාතයක් වුවත්, පසුතැවිලි නොවන හැසිරීම නිසා ක්‍රිස්තියානියෙකු බවට නුසුදුසු වන, සභා ආශ්රයෙන් කපා හරිනු ලබන අයගෙන් බහුතරයක් දෙනා, යම් ආකාරයක ලිංගික දුරාචාරයට සම්බන්ධ වී ඇති බව පිළිගත යුත්තකි. මෙහි තිබෙන ඒකාන්ත පැත්ත නම්, සභා ආශ්රයෙන් කපා හරිනු ලැබූ අයගේ විශාල අනුපාතයක්, අවසානයේ දී තමන්ගේ වැරදි පිළිගෙන, පිරිසිදු ජීවන මාර්ගයක් යළි ආරම්භ කර, නියමිත කාලයේ දී, සභාව තුළ යළි පිහිටුවනු ලැබීම ය.—ලූක් 15:11-32 සසඳන්න.
9. සාතන් සුපරීක්ෂාකාරී ව නොසිටින අය ව මෙහෙය වන්නේ කෙසේ ද?
9 සුපරීක්ෂාකාරී ව නොසිටින අය ව ගිලගැනීමට මාන බලමින්, සාතන් ගොරවන සිංහයෙකු මෙන් ඔබ මොබ යන බවට කිසිදු සැකයක් නැත. ඔහුගේ කූටෝපායන්, හෙවත් “කපටි ක්‍රියා” සෑම වසරක ම සුපරීක්ෂාකාරී ව නොසිටින ක්‍රිස්තියානින් ව මලපත්වලට හසු කර ගනී. මෙතුවක් කල් පැවත ඇති ඔහුගේ ලෝකයේ ස්වභාවය, ආත්මාර්ථකාමී ය, සුඛවිහරණාත්මක ය, එමෙන් ම රාගික ය. එය මාංසික ආශාවන්ට ඉඩ හරී, එය ආත්ම දමනය ප්‍රතික්ෂේප කරයි.—එපීස 2:1, 2; 6:11, 12, NW; 1 පේතෘස් 5:8.
10. පරීක්ෂාවන්ට යටත් වී සිටින්නේ කවුද, එමෙන් ම ඒ මන්ද?
10 දුරාචාරයේ පරීක්ෂාවන්ට නිරාවරණය විය හැක්කේ සභාවේ සිටින කාව ද? ඔවුන් වනාහි ස්ථානීය සභාවක සිටින වැඩිමහල්ලන් වේවා, සංචාරක අවේක්ෂකයන් වේවා, බෙතෙල් සාමාජිකයන් වේවා, සෑම මසක ම බොහෝ පැය ගණනක් දේශනා කරන පුරෝගාමින් වේවා යන පවුලක් නඩත්තු කරන වැඩ බහුල දෙමාපියන් වේවා, නැතහොත් තුල්‍ය පීඩනයට මුහුණ දෙන යෞවනයන් වේවා, බොහෝ ක්‍රිස්තියානි අය ය. මාංසික පරීක්ෂා සියල්ලන්ට ම පොදු ය. ලිංගික උත්තේජනය අඩුවෙන් අපේක්ෂා කෙරෙන විට එය පුබුදුවාලිය හැකි ය. මේ අයුරින් මෙසේ ලිවීමට පාවුල්ට හැකි විණි: “තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා. මනුෂ්‍යයා [හා ස්ත්‍රීන්] විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත.” එය කනගාටුදායක ය, නමුත් වගකීම් දරන තත්ත්වයන්හි සිටින ඇතැම් ක්‍රිස්තියානිහු දුරාචාරයේ මේ මලපතට හසු වී සිටිති.—1 කොරින්ති 10:12, 13.
අදිනු ලැබ පොලඹවනු ලැබ
11-13. දුරාචාරයට තුඩු දී ඇති සමහරක් තත්ත්වයන් මොනවා ද?
11 කාමමිථ්‍යාචාරයේ හා වේශ්‍යාකමේ අනුවණ මාර්ගයට ඇතැම් අය ව ඇද දැමීමට තුඩු දී ඇත්තේ කිනම් පරීක්ෂාවන් හා තත්ත්වයන් ද? ඒවා බොහෝ ය, සංකීර්ණ ය, රටකින් රටකට හෝ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැකි ය. කෙසේ වුවද, බොහෝ රටවල මතු විය හැකි එක්තරා මූලික තත්ත්වයන් තිබේ. නිදසුනක් වශයෙන්, මත්පැන් නිදහසේ ලබා ගත හැකි සාදයන් සමහරුන් විසින් සංවිධානය කර ඇති බවට වාර්තා වී තිබේ. තවත් අය ලෝකයේ කාමුක සංගීතය හා හැඟීම් අවුස්සන සුලු නැටුම්වලට වශී වී ගොස් තිබේ. අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල, අනියම් භාර්යාවන් සිටින ධනවත් මිනිස්සු එනම්—නොඇදහිලිකාරයෝ—සිටිති; දුරාචාරයට ඇතුළත් වුවද, ඇතැම් ස්ත්‍රීන් එවැනි තත්ත්වයකට පත්වීම මගින් ආර්ථික සුරක්ෂිත බව සෙවීමට පෙලඹී තිබේ. වෙනත් ප්‍රදේශවල, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෝ, තමන්ගේ පවුල්වලින් පිට වී ජීවන වියදම සොයා ගැනීම සඳහා ආකරවලට හෝ වෙනත් තැන්වලට ගොස් සිටිත්. දැන් ඔවුන්ගේ පක්ෂපාතකම හා තම කලත්‍රයා කෙරෙහි ඇති විශ්වාසනීයත්වය යම් තරමකට හෝ නිවසේ සිටින විට අත්නුදුටු ආකාරවලින් පරීක්ෂාවන්ට ලක් වී යයි.
12 දියුණු රටවල ඇතැම් අය, මෝටර් රථයක් තුළ පුහුණු වීම සඳහා පුහුණුකරු සමඟ තනි ව සිටිනවා වැනි, තුන් වෙනි පාර්ශ්වයක් නොමැති ව බොහෝ විට විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු සමඟ සිටීම මගින් සාතන්ගේ මලපත්වලට හසු වී සිටිත්.b එඩේර වැඩ කරන විට, සහෝදරියකට උපදෙස් දෙන අවස්ථාවේ දී, ඈ සමඟ තනි ව නොසිටීමට ප්‍රවේසම් වීමේ අවශ්‍යතාවයක් වැඩිමහල්ලන් හට ද තිබේ. කරන සංවාදයන් චිත්තවේගී ලෙස හැඟීම් උත්සන්න වී, දෙපාර්ශ්වයට ම ව්‍යාකූල තත්ත්වයක් ඇති කරලීමට තුඩු දිය හැකි ය.—සසඳන්න මාර්ක් 6:7; ක්‍රියා 15:40.
13 සමහර ක්‍රිස්තියානින්ට තමන්ගේ ආරක්ෂාව දුර්වල කර ගෙන දුරාචාර ක්‍රියාවන් කිරීමට ඉහත සඳහන් කරන ලද තත්ත්වයන් පාදක වී තිබේ. පළමු සියවසේ දී සිදුවුණාක් මෙන්, පාපයට තුඩු දී ඇති ‘තමන්ගේ ම මාංසික තෘෂ්ණා මගින් පරීක්ෂා කරනු ලැබීමටත් පොලඹවනු ලැබීමටත්’ ඉඩ හැර තිබේ.—යාකොබ් 1:14, 15; 1 කොරින්ති 5:1; ගලාති 5:19-21.
14. කාමමිථ්‍යාචාරය පිළිබඳ කාරණාවල දී ආත්මාර්ථය හේතුකාරකයක් වන්නේ මන්ද?
14 සභා ආශ්රයෙන් කපා දැමීම් සම්බන්ධ ව සුපරීක්ෂාකාරී ව සලකා බැලීමක දී පෙන්වන දෙයක් නම්, දුරාචාර ක්‍රියාවන්ට ඇතැම් විශේෂ සාධකයන් තිබෙන බව ය. එවන් අවස්ථාවන්හි දී, යම් ආකාරයක ආත්මාර්ථකාමිත්වයක් තිබේ. අප එසේ කියන්නේ මන්ද? කාමමිථ්‍යාචාරය සිදුවන යම් අවස්ථාවන්හි දී, යම්කිසි නිර්දෝෂී පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට වේදනා විඳින්නට සිදු වෙයි. ඒ නීත්‍යානුකූල කලත්‍රයා විය හැකි ය, දරුවන් සිටී නම් සහතික වශයෙන් ම ඒ ඔවුන් වනු ඇත, මන්දයත් කාමමිථ්‍යාචාරය දික්කසාදයකට හේතු වුවහොත්, වඩාත් වැඩියෙන් දුක් විඳින්නට සිදුවන්නේ එක්සත් පවුලක රැකවරණය ආශා කරන දරුවන්ට ය. කාමමිථ්යාචාරිකයා ප්‍රධාන කොට සිතන්නේ ඔහුගේ හෝ ඇගේ ම වින්දනය සහ වාසියයි. ඒ ආත්මාර්ථකාමිත්වය ය.—පිලිප්පි 2:1-4.
15. කාමමිථ්‍යාචාරයට ඇති සමහරක් හේතු මොනවා ද?
15 සාමාන්‍යයෙන්, කාමමිථ්‍යාචාරය දුර්වලකමේ ක්ෂණික ක්‍රියාවක් නොවේ. විවාහය තුළ ම ක්‍රමක්‍රමයෙන් නොදැනුවත් ව ම වාගේ පවා, පිරිහීමක් තිබී ඇත. සමහර විට, අදහස් හුවමාරුව පුරුද්දක් හෝ නිස්සාර දෙයක් බවට පත් වී තිබේ. අන්‍යෝන්‍ය දිරිගැන්වීම තිබී ඇත්තේ මඳ වශයෙනි. එකිනෙකා අනෙක් තැනැන්තා කෙරෙහි අගය පළ කිරීමට අසමත් වී තිබෙන්නට පුළුවන. කලත්‍රයන් යම් කලකට එකිනෙකා ව ලිංගික වශයෙන් තෘප්තිමත් නොකර සිටිනවා විය හැක. කාමමිථ්‍යාචාරය සිදු වන විට, නිසැක ව ම දෙවියන් වහන්සේ සමඟ තිබෙන සම්බන්ධය පිරිහී තිබෙයි. අපගේ සියලු සිතිවිලි සහ ක්‍රියාවන් ගැන සාවධාන ව සිටින ජීවමාන දෙවි කෙනෙකු වශයෙන් යෙහෝවඃ වහන්සේ ව පැහැදිලි ව අවබෝධ කර ගෙන සිටීමක් තවදුරටත් නොතිබේ. කාමමිථ්‍යාචාරිකයාගේ මනසේ “දෙවියන් වහන්සේ” යන්න නිකම් වචනයක් බවට, එදිනෙදා ජීවිතයේ කොටසක් නොවන්නා වූ, වෙන් වූ පවතින වස්තුවක් බවට පත් වෙන්නට පවා පුළුවන. එවිට දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කිරීම වඩා පහසු දෙයක් බවට පත් වෙයි.—ගීතාවලිය 51:3, 4; 1 කොරින්ති 7:3-5; හෙබ්‍රෙව් 4:13; 11:27.
එරෙහි වීමට ප්‍රධාන මඟ
16. අවිශ්වාසවන්ත වීමට තිබෙන පරීක්ෂාවන්ට එරෙහි වීමට ක්‍රිස්තියානියෙකුට හැක්කේ කෙසේ ද?
16 යම් ක්‍රිස්තියානියෙක්, තමා ම අවිශ්වාසවන්තකමේ අඩිපාරට පිවිසීමට පරීක්ෂා කරනු ලබන බවට හැඟෙන විට, කිනම් සාධක සැලකිල්ලට ගත යුතු ද? සියල්ලට ම පෙර, බයිබල් ප්‍රතිපත්ති මත ස්ථිර ලෙස පදනම් වී ඇති ක්‍රිස්තියානි ප්‍රේමයේ අර්ථය ගැන සිතා බැලිය යුතු ය. යමෙකුගේ හැඟීම්, කායික හෝ කාමුක ආලය මගින් පාලනය කරන්නට කිසි විටකත් ඉඩ නොදිය යුතු අතර, වෙනත් අයට දුක් වේදනාවන් ගෙන එමින්, හදිසියෙන් ම ආත්මාර්ථකාමිත්වයට ඇද නොවැටිය යුතු ය. එසේ නොව, යෙහෝවඃ වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් තත්ත්වය සැලකිල්ලට ගත යුතු ය. සභාවේ තත්ත්වයන්ට එය පුළුල් ලෙස බලපාන ආකාරය හා ඒ මත සහ යෙහෝවඃ වහන්සේගේ නාමය මත එම නරක හැසිරීමෙන් ගෙන එන අගෞරවය ගැන සැලකිල්ලට ගෙන ඒ දෙස බැලිය යුතු ය. (ගීතාවලිය 101:3) කාරණය පිළිබඳ ව ක්‍රිස්තුස් වහන්සේගේ මනස ලබා ගෙන අනතුරුව ඒ අනුව ක්‍රියා කිරීමෙන් විපත්තියෙන් වැලකිය හැකි වන්නට පුළුවන. මතක තබා ගන්න, ක්‍රිස්තුස් වහන්සේ හා සමාන පරාර්ථකාමී ප්‍රේමය කිසිවිටෙකත් අසමත් නොවේ.—හිතෝපදේශ 6:32, 33; මතෙව් 22:37-40; 1 කොරින්ති 13:5, 8.
17. ඇදහිලිවන්තකමේ කිනම් වර්ධනය කරවන සුලු ආදර්ශයන් අපට තිබේ ද?
17 එරෙහි ව සිටීමට තිබෙන ප්‍රධාන මඟක් නම්, යමෙකුගේ ඇදහිල්ල හා ඉදිරියේ තිබෙන බලාපොරොත්තුව පිළිබඳ දසුන ආරක්ෂා කර ගැනීමයි. මින් අදහස් කරන්නේ, ඉපැරණි ඇදහිලිවන්ත පුරුෂයන් හා ස්ත්‍රීන් ද, යේසුස් වහන්සේ ම ද තැබූ අඛණ්ඩතාවයේ කැපී පෙනෙන ආදර්ශයන් හදවත මුදුණින් තබා ගැනීමයි. පාවුල් මෙසේ ලීවේ ය: “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සපුර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් යුක්ත ව NW] දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, . . . [වධ කණුව NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධකම් ඉවසූ [විඳදරාගත් NW] තැනන්වහන්සේ [ගැන තියුණු ලෙස NW] කල්පනා කර බලාපල්ලා.” (හෙබ්‍රෙව් 12:1-3) විවාහය නමැති නැව ගිල්වීමට ඉඩ දෙනවාට වඩා, ඥානවන්ත පුද්ගලයන් එය බේරා ගැනීම සඳහා සිදු වූ හානි මකා දැමීමට එය අලුත් වැඩියා කිරීමේ ක්‍රම ගැන සිතනු ඇති අතර, මෙසේ ද්‍රෝහිකමේ හා දෙපිටකාට්ටුකමේ බොරුවලවල් මඟ හැරිය හැකි ය.—යෝබ් 24:15.
18. (අ) කාමමිථ්‍යාචාරය විස්තර කිරීමට ද්‍රෝහිකම යන්න පමණට වඩා දැඩි වචනයක් නොවන්නේ මන්ද? (ආ) දිවුරුම් පොරොන්දු ඉටු කිරීම දෙස දෙවියන් වහන්සේ බලන්නේ කෙසේ ද?
18 විශ්වාස භංගත්වය හෙවත් ද්‍රෝහිකම, දුරාචාරය සම්බන්ධයෙන් පමණට වඩා දැඩි වචනයක් ද? ද්‍රෝහිකම වනාහි දැඩි විශ්වාසයක හෝ රහසිගත යමක් පාවා දීමකි. ඇත්ත වශයෙන් ම, හොඳ හා නරක කාලවල් තුළින්, කලටත් අකලටත්, දැඩි විශ්වාසයේ හා ප්‍රේම කිරීමේ හා ආදරයෙන් රැකබලා ගැනීමේ පොරොන්දුවක් විවාහ ගිවිසුමට ඇතුළත් වෙයි. අප ජීවත් වන කාලය අනුව යල් පැන ගිය දෙයක් යයි බොහෝ දෙනා විසින් සැලකෙන, විවාහ ගිවිසුමේ ප්‍රකාශ වෙන දිවුරුම් පොරොන්දු ඊට ඇතුළත් වෙයි. එම දැඩි විශ්වාසය පාවා දීම, යමෙකුගේ සහකරුවාට එරෙහි ව කරන යම් ආකාරයක ද්‍රෝහිකමකි. දිවුරුම් පොරොන්දු දෙස දෙවියන් වහන්සේ බලන ආකාරය බයිබලයේ පැහැදිලි ව ම සඳහන් කොට තිබේ: “නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත. නුඹ වුණ බාරය ගෙවාපන්න.”—දේශනාකාරයා 5:4.
19. සාක්ෂිකරුවෙකු වැටී යන විට කුමක් හා සසඳන කල සාතන් ප්‍රීති වන්නේ ද?
19 ඒ ගැන කිසි සැකයක් නොතිබේවා. එක් පව්කරුවෙකුගේ ගැලවීම සම්බන්ධයෙන් ස්වර්ගයෙන් මහත් ප්‍රීතියක් තිබෙනවාක් මෙන් ම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ අඛණ්ඩතාවය පවත්වා ගැනීමට අපොහොසත් වන විට සාතන්ගේ දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන රැළ අතරේ මහත් ප්‍රීතියක් තිබේ.—ලූක් 15:7; එළිදරව් 12:12.
සියල්ලන්ට ම පොදු පරීක්ෂා
20. පරීක්ෂාවන්ට එරෙහි ව විරුද්ධ වීමට අපට හැක්කේ කෙසේ ද? (2 පේතෘස් 2:9, 10)
20 ඇතැම් අවස්ථාවල දී, දුරාචාරය වළක්වා ගත නොහැකි ද? එයට එරෙහි වී ක්‍රිස්තියානින්ට තම අඛණ්ඩතාවය පවත්වා ගැනීමට නොහැකි තරමට මාංසය හා සාතන් එතරම් ම ශක්තිමත් ද? පාවුල් මෙම වදන් තුළ දිරිගැන්වීම දෙයි: “නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය [විඳදරා ගත NW ] හැකිවන පිණිස ඒ සමග ගැළවෙන මාර්ගයද සාදාදෙන සේක.” අද දින ලෝකයේ තිබෙන පරීක්ෂාවන්ගෙන් අප මුළුමනින් ම වැළකී නොසිටිනවා විය හැක, නමුත් යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරීමෙන්, ඕනෑ ම පරීක්ෂාවක් විඳදරා ගැනීමට හා ඉන් ගොඩ ඒමට සහතික ව ම අපට හැක.—1 කොරින්ති 10:13.
21. අපගේ ඊළඟ පාඩමේ පිළිතුරු දෙනු ඇත්තේ කිනම් ප්‍රශ්නවලට ද?
21 පරීක්ෂාවන් විඳදරා ගෙන, ජයග්‍රාහී ලෙස ඉන් මිදී ඒමට අපට උපකාර කිරීම සඳහා දෙවියන් වහන්සේ අපට දානය කරන්නේ මොනවා ද? අපගේ විවාහයන්, අපගේ පවුල්, එමෙන් ම යෙහෝවඃ වහන්සේගේ නාමයේ සහ සභාවේ නාමයේ කීර්තිය ආරක්ෂා කර ගැනීම පිණිස අපට පුද්ගලික ව කුමක් අවශ්‍ය ද? අපගේ ඊළඟ ලිපිය, එම ප්‍රශ්න සැලකිල්ලට භාජනය කරනවා ඇත.
[පාදසටහන්වල]
a “මතෙව් 5:32 සහ මතෙ 19:9 හි භාවිතා කර ඇති පරිදි, ‘වේශ්‍යාකම’ යන්න පුළුල් අර්ථයෙන් ගත් කල, පෙනෙන හැටියට යොමු දක්වන්නේ, විවාහයෙන් පිටත නීති විරෝධී හෝ තහනම් ලිංගික සබඳතාවල පුළුල් පරාසයකට ය. පෝර්නියා හි [එම පදවල භාවිතා වී ඇති ග්‍රීක් වචනය], ඇතුළත් වන්නේ, (ස්වභාවික ආකාරයකට වේවා, අශික්ෂිත ක්‍රමයකට වේවා) අඩු තරමින් එක් මිනිසෙකුගේ හෝ ගැහැනියකගේ ප්‍රජනන ඉන්ද්රියයන් දැඩි ලෙස දුරාචාරමය භාවිතය සඳහා යොදා ගැනීම ය; තව ද, දුරාචාරයට වෙනත් පාර්ශ්වයක්—ස්ත්‍රියක, පුරුෂයෙකු හෝ මෘගයෙකු—සිටියා විය යුතු ය.” (ද වොච්ටවර් 15, 1983, පිටු 30) කාමමිථ්‍යාචාරය: “විවාහ වූ පුද්ගලයෙකු සහ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා හෝ භාර්යාවට වඩා වෙනත් හවුල්කරුවෙකු අතර කැමැත්තෙන් ම සිදු කරනු ලබන ලිංගික සම්බන්ධකමකි.”—දි අමෙරිකන් හෙරිටෙජ් ඩික්ෂනරි ඔෆ් ඉංගිලිෂ් ලැංවෙජ්.
b සහෝදරයෙක් සහෝදරියකට ගමනා ගමන පහසුකම් සපයන නිසි අවස්ථා තිබෙන්නට පුළුවන, එවන් තත්ත්වයන් වරදවා තේරුම් නොගත යුතුයි.
ඔබට මතක ද?
◻ විවාහයක් ශක්තිමත් කිරීමට දායක වන සමහරක් සාධක මොනවා ද?
◻ අප දුරාචාරය පිළිබඳ ලෝකයේ කල්පනාව මඟ හැරිය යුත්තේ මක්නිසා ද?
◻ දුරාචාරයට තුඩු දිය හැකි සමහරක් පරීක්ෂාවන් හා තත්ත්වයන් මොනවා ද?
◻ පාපයට එරෙහි වීමේ මූලික ප්‍රධාන මඟ කුමක් ද?
◻ පරීක්ෂාවන් ඇති වන අවස්ථාවල දී, දෙවියන් වහන්සේ අපට උපකාර කරන්නේ කෙසේ ද?
[14වන පිටුවේ කොටුව]
කල් පවතින විවාහයන් තුළ පොදු සාධක
◻ බයිබල් ප්‍රතිපත්තිවලට ස්ථිර ලෙස ඇලී සිටීම
◻ කලත්‍රයන් දෙදෙනාට ම යෙහෝවඃ වහන්සේ සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් තිබේ
◻ ස්වාමිපුරුෂයා තම භාර්යාවට, ඇගේ හැඟීම්වලට සහ ඇගේ මතවලට ගෞරව කරයි
◻ දින පතා හොඳ අදහස් හුවමාරුවක්
◻ එකිනෙකා ව සතුටු කිරීමට සොයයි
◻ හාස්‍ය ගතියක්; තමා ගැන ම සිනාසීමට ඇති හැකියාව
◻ වැරදි නිදහස් ලෙස පිළිගනී; නිදහස් ලෙස සමාව දීම
◻ ප්‍රේමයෙන් වෙළුණු ගතිය සජීවි ලෙස තබා ගනී
◻ දරුවන් ඇති දැඩි කිරීමේ හා හික්මවීමේ දී එක්සත්වීම
◻ යෙහෝවඃ වහන්සේට විධිවත් ව එක්සත් ව යාච්ඤා කිරීම
විවාහය බෙලහීන කරවන නිෂේධාත්මක සාධක
◻ ආත්මාර්ථය සහ හිතුවක්කාරකම
◻ දේවල් එකට කිරීමට අසමත්වීම
◻ දුර්වල අදහස් හුවමාරුව
◻ ප්‍රමාණවත් අයුරින් කලත්‍රයන් අතර එකිනෙකාගෙන් අදහස් විමසීමේ ඌනතාවය
◻ දුර්වල ලෙස මුදල් පරිපාලනය කිරීම
◻ දරුවන් සහ⁄හෝ හදා ගන්නා දරුවන් සමඟ කටයුතු කරන විට පාවිච්චි කරන මිමිවල වෙනස්කම්
◻ ස්වාමිපුරුෂයා අතිකාල වැඩ කිරීම හෝ අනෙක් කාරණා කටයුතු නිසා පවුල නොසලකා හැරීම
◻ පවුලේ ආත්මික අවශ්‍යතා සඳහා සැලකිල්ල දැක්වීමට අසමත්වීම
[15වන පිටුවේ පින්තූරය]
විවාහය ගෞරවනීය ව තබා ගැනීම කල් පවතින සන්තෝෂය ගෙන දෙයි