මුල් පිටුවෙන්
ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
ජීවත් වෙන්න සල්ලි ඕනේ. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම්හිටුම් මේ හැම දේම ලබාගන්න සල්ලි නැතුව බැහැ. ඒ ගැන එක පුවත් පත් කතෘවරයෙක් කිව්වේ “ගණු දෙනු කරන්න සල්ලි තිබුණේ නැත්නම් මාසයක් ඇතුළත මුළු සමාජයම උඩු යටිකුරු වෙයි” කියලයි.
ඒත් සල්ලිවලින් කරන්න පුළුවන් දේවල් වගේම කරන්න බැරි දේවලුත් තියෙනවා. ඒ ගැන නෝර්වේජියානු ජාතික කවියෙක් වන ආනෙ ගාර්බොක් කිව්වේ මෙහෙමයි. “සල්ලිවලින් කෑම ගන්න පුළුවන් ඒත් රුචිය ගන්න බැහැ. බෙහෙත් ගන්න පුළුවන් ඒත් නිරෝගිකම ගන්න බැහැ. සැප පහසු ඇඳක් ගන්න පුළුවන් ඒත් නින්ද ගන්න බැහැ. පොත් පත් ගන්න පුළුවන් ඒත් උගත්කම ගන්න බැහැ. වැඩට කෙනෙක් ගන්න පුළුවන්. ඒත් විශ්වාසවන්තකම ගන්න බැහැ.”
ජීවත් වෙන්න සල්ලි හොයන කෙනෙක් තමන්ට ලැබෙන දෙයින් සෑහීමට පත් වෙනවා. ඒත් සල්ලි හොයන්න ජීවත් වෙන කෙනෙක් කවදාවත් සෑහීමට පත් වෙන්නේ නැහැ. බයිබලයෙත් මෙහෙම කියලා තියෙනවා. ‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැක තියෙනවා.’—1 තිමෝති 6:10.
හානිකර වෙන්නේ සල්ලි නෙමෙයි සල්ලිවලට තියෙන ආශාවයි. ඒ ආශාවට පුළුවන් යාළුවන්ව, පවුලේ අයව භේද බින්න කරන්න. අපි දැන් ඒ ගැන උදාහරණ කීපයක් බලමු.
ඩැනියෙල්:a “තෝමස් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. මට එයා ගැන හොඳ පැහැදීමක් තිබුණා. ඒත් ප්‍රශ්න පටන්ගත්තේ එයා මගේ කාර් එක ගත්තාට පස්සෙයි. කාර් එක තිබුණු තත්වයෙන්ම ගන්න එයා කැමති වුණා. ඒ වෙද්දී මං දැනගෙන හිටියේ නැහැ කාර් එකේ පොඩි ලෙඩක් තියෙනවා කියලා. මාස තුනකට පස්සේ කාර් එක කැඩුණා. ඒ හින්දා තෝමස් එයා දීපු සල්ලි ආයේ මගෙන් ඉල්ලුවා. මට තෝමස් ගැන පුදුම හිතුණා. මං එයාට කොච්චර පැහැදිලි කරලා දෙන්න හැදුවත් එයා එකඟ වුණේ නැහැ. එයා දරුණු විදිහට හැසිරෙන්නත් පටන්ගත්තා. අපි දෙන්නා අතරට සල්ලි ප්‍රශ්නයක් ආවම තමයි තෝමස් කවුද කියලා මං හරියටම දැනගත්තේ.”
ඊසින්: “අපේ පවුලේ හිටියේ මායි නංගියි විතරයි. අපි දෙන්නා හරිම ආදරෙන් හිටියා. මං කවදාවත් හිතුවේ නැහැ සල්ලි නිසා අපි අතරේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. අපේ අම්මයි තාත්තයි අපිට සල්ලි වගයක් ඉතුරු කරලා තිබුණා. එයාලගේ මරණයෙන් පස්සේ ඒක අපි සම සමව බෙදාගන්නවාටයි එයාලා කැමති වුණේ. ඒත් නංගි වැඩිපුර කොටසක් ඉල්ලුවා. මං කිව්වා අම්මලාගේ කැමැත්තට පිටින් යන්න බැහැ කියලා. නංගිට හොඳටම කේන්ති ගිහිල්ලා මාත් එක්ක තරහ වුණා. එයා අදටත් මගේ මූණ බලන්නේ නැහැ.”
බෙදීම් ඇති වෙනවා
සමහර අය සල්ලි නිසා අනිත් අය ගැන වැරදි විදිහට හිතන්න පුළුවන්. උදාහරණයකට පොහොසත් කෙනෙක් හිතන්න පුළුවන් දුප්පත් අයට දියුණු වෙන්න බැරි කම්මැළිකම නිසයි කියලා. දුප්පත් කෙනෙක් හිතන්න පුළුවන් සල්ලි බාගේ තියෙන කෙනෙක් ධන සම්පත්වලට කෑදරයි කියලා. ලියෑන්, යමක් කමක් තියෙන පවුලක ළමයෙක්. ඒ නිසා ඇය මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන මෙහෙම කිව්වා.
සල්ලි ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් අදටත් ගැළපෙනවා
“හැමෝම මාව දන්නේ සල්ලිකාර පවුලක ළමයෙක් කියලයි. ‘ඕගොල්ලන්ට වගේ කාර් ගන්න අපිට සල්ලි නැහැනේ,’ ‘ඔයාට ඉතිං මොනවා හරි ඕන නම් තාත්තට කියන්න විතරයි තියෙන්නේ’ වගේ දේවල් මට අනිත් අය නිතරම කිව්වා. ඒ වගේ දේවල් ඇහෙද්දී මට හරියට හිත රිදෙනවා. ඒ හින්දා එහෙම කියන්න එපා කියලා මං එයාලට කිව්වා. මං කැමති මට සල්ලිකාර පවුලක ළමයෙක් කියලා කියනවාට නෙමෙයි අනිත් අයට උදව් කරන්න කැමති ළමයෙක් කියලා කියනවාටයි.”
බයිබලයේ කියන්නේ මොකක්ද?
සල්ලිවත් පොහොසත් අයවවත් බයිබලයේ හෙළාදකින්නේ නැහැ. ඒත් ප්‍රශ්නේ වෙන්නේ, කෙනෙකුට කොච්චර සල්ලි තියෙනවාද කියන එක නෙමෙයි සල්ලි ගැන එයාට තියෙන ආකල්පයයි. සල්ලි ගැන බයිබලයේ දීලා තියෙන උපදෙස් සමබරයි. ඒවා අදටත් ගැළපෙනවා. අපි දැන් ඒවායින් කීපයක් බලමු.
බයිබලේ දෙන උපදෙස: “පොහොසත් වීමට වෙහෙස නොවන්න.”—හිතෝපදේශ 23:4.
මුදල් පස්සේ පන්නන අයට වෙන දේ ගැන පොතක මෙහෙම සඳහන් වෙනවා. ඒ වගේ අයට “කල්පනා ශක්තිය අඩු වීම, උගුරේ අමාරුව, කොන්ද කැක්කුම සහ හිසරදය වගේ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අධික ලෙස මත්පැන් ගන්නත් මත්ද්‍රව්‍ය ගන්නත් පෙලඹෙන්න පුළුවන්. සල්ලි හොයලා ඉහළට යන්න හදන අය අන්තිමට ජීවිතේ අවුල් කරගන්නවා.”—The Narcissism Epidemic.
බයිබලේ දෙන උපදෙස: “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. ඔබට තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.”—හෙබ්‍රෙව් 13:5.
තමන්ට තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන කෙනෙක් වුණත් මුදල් ප්‍රශ්නයක් ආවාම ටිකක් කනස්සලු වෙන්න පුළුවන්. ඒත් ඔහු ඒ කනස්සල්ලෙන් යටපත් වෙන්නේ නැහැ. උදාහරණයකට ඒ වගේ කෙනෙක්ට ආර්ථික ප්‍රශ්නයක් ආවාම එයා ඕනෑවට වඩා කලබල වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් හිතපු විදිහට හිතන්න එයාත් උත්සාහ කරනවා. පාවුල් කිව්වේ “සුළු ප්‍රමාණයක් ඇතුව ජීවත් වීමටත් බොහෝ දේවල් ඇතුව ජීවත් වීමටත් මම දනිමි. මා කවර තත්වයක සිටියත් කුමන දෙයකට මුහුණ දුන්නත් එනම්, මා තෘප්තිමත්ව සිටියත් කුසගින්නෙන් සිටියත් බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි” කියලයි.—ෆිලිප්පි 4:12.
බයිබලේ දෙන උපදෙස: “තම වස්තුව කෙරෙහි විශ්වාසය තබන්නාට අත් වන්නේ විනාශයයි.”—හිතෝපදේශ 11:28.
හුඟක් විවාහ දික්කසාදයෙන් කෙළවර වෙන්නේ පවුල්වල ඇති වෙන මුදල් ප්‍රශ්න නිසා කියලා ප්‍රවීණයන් කියනවා. ඒ විතරක් නෙමෙයි තවත් අය මුදල් ප්‍රශ්න නිසා දිවි නසා ගන්නවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මිනිස්සුන්ට තමන්ගේ පවුලේ අයට වඩා කොටින්ම කියනවා නම් තමන්ගේ ජීවිතයටත් වඩා වටින්නේ සල්ලියි. අනිත් අතට සල්ලි ගැන හරි ආකල්පයක් තියෙන අය සල්ලිවලට හැම දේම කරන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. ඒ අය යේසුස්ගේ මේ වදන්වල සත්‍යතාව තේරුම් අරගෙන තියෙනවා. “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15.
සල්ලි ගැන ඔයාගේ ආකල්පය මොකක්ද?
ඔයාට සල්ලි ගැන තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා මේ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් දැනගන්න පුළුවන්.
ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමවලට මගේ හිත ඇදිලා යනවාද?
අනිත් අය වෙනුවෙන් සල්ලි වියදම් කරන්න මං ලෝභයිද?
මං වැඩියෙන්ම කැමති සල්ලි ගැනයි තමන්ට තියෙන දේවල් ගැනයි කතා කරන අයව ආශ්‍රය කරන්නද?
බොරුවෙන්, වංචාවෙන් හරි මං සල්ලි හොයන්න හදනවාද?
මම මගේ වටිනාකම මනින්නේ සල්ලිවලින්ද?
මම හැම තිස්සෙම හිතන්නේ සල්ලි ගැනද?
සල්ලිවලට තියෙන මගේ ආසාව නිසා පවුලේ අයට, මගේ සෞඛ්‍යයට හානියක් වෙලා තියෙනවාද?
අනිත් අයට දෙන්න පුරුදු වෙන්න
ඒ එක ප්‍රශ්නයකට හරි ඔයාගේ උත්තරේ ඔව් නම් සල්ලිවලට තියෙන ආශාව නැති කරගන්න උත්සාහ කරන්න. සල්ලිවලට දේපළවලට අධික තණ්හාවක් තියෙන අයව ආශ්‍රය කරන්න එපා. ඒ වෙනුවට හොඳ සදාචාර පුරුදු තියෙන අයව ආශ්‍රය කරන්න.
ඔයාගේ හිතේ සල්ලිවලට ලොකු ආශාවක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. පවුලේ අයට, යාළුවන්ට, ඔයාගේ ශරීර සෞඛ්‍යයට දෙන්න ඕන තැන සල්ලිවලට දෙන්නත් එපා. එතකොට ඔයා සල්ලිවලට නිසි තැන දෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්.
a නම් වෙනස් කර ඇත.