මුල් පිටුවෙන් | අවංක වෙන්න ඕන ඇයි?
අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන
“අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි.”—හෙබ්‍රෙව් 13:18.
බයිබලයේ “අවංකකම” කියලා පරිවර්තනය කරලා තියෙන මුල් ග්‍රීක වචනයේ “කොහොමත් හොඳ කෙනෙක්” කියන අදහස වගේම එයාගේ හොඳ ගුණාංග නිසා එයා ලස්සන වෙනවා කියන අදහසත් තියෙනවා.
යේසුස්ගේ නියෝජිතයෙක් වන පාවුල්ගේ මේ වචන ක්‍රිස්තියානීන් බැරෑරුම් විදිහට සලකනවා. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’ ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
ඇතුළාන්තයෙන් කරන්න වෙන සටන
හුඟදෙනෙක් උදේට ගෙදරින් යන්න කලින් කණ්ණාඩියෙන් බලන්නේ අනිත් අයට තමන්ව පිළිවෙළට ලස්සනට පේනවද කියලා දැනගන්නයි. ඒත් ලස්සනට කොණ්ඩේ කපලා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නවාට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. ඇත්තෙන්ම අපේ පෙනුම වැඩි වෙන්න හරි අඩු වෙන්න හරි ඇතුළාන්තයෙන් අපි මොන වගේ අයද කියන එක බලපානවා.
බයිබලයේ කියනවා අපි තුළ නරක දේ කරන්න පෙලඹීමක් තියෙනවා කියලා. උත්පත්ති 8:21 කියන්නේ “කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම යොමු වී තිබේ” කියලයි. එහෙම බලද්දී අවංක වෙන්න නම් උපතින්ම ලැබිලා තියෙන පව් කිරීමේ නැඹුරුවාවට විරුද්ධව සටනක් කරන්න අපිට සිද්ධ වෙනවා. පාවුල් තමන්ට උරුම වෙලා තියෙන පාපයට විරුද්ධව කරන සටන ගැන මෙහෙම කිව්වා. “ඇත්තෙන්ම මම දෙවිගේ නීතියට මුළු හදවතින්ම ඇලුම් කරන්නෙමි. නමුත් මගේ මනසේ ඇති එම නීතියට විරුද්ධව සටන් කරන තවත් නීතියක් මගේ ශරීරය තුළ තිබේ. ඒ නීතිය මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වේ. මම පාපය නමැති එම නීතියට වහල් වී සිටිමි.”—රෝම 7:22, 23.
උදාහරණයකට, වැරදි දෙයක් කරන්න ඇති වෙන ආශාව නිසා වංක දෙයක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී හිතට වහල් නොවී තේරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි සිතුවිල්ල අයින් කරලා වංක අය අතරේ වුණත් දිගටම අවංකව ඉන්න පුළුවන්.
සටන ජය ගන්න නම් . . .
අවංක වෙන්න නම් අපිට හරි ප්‍රතිපත්ති මාලාවක් තියෙන්න ඕනේ. ඒත් අද හුඟක් අය තමන්ගේ බාහිර පෙනුම ගැන සැලකිලිමත් වෙන්න වැඩි කාලයක් ගත්තත් හරි ප්‍රතිපත්ති ගැන හිතන්න කාලයක් ගන්නේ නැහැ. ඒ නිසා යම් තත්වයන්වලදී ටිකක් වංක වුණාට කමක් නැහැ කියලා ඔවුන් හිතනවා. පොතක ඒ ගැන මෙහෙම කියනවා. “අපි හුඟක් වෙලාවට හිතන්නේ අපේ නම ගැනයි. ඒ නිසා හරි වැරැද්ද ගැන අපිම ප්‍රමිතියක් හදාගන්නවා. ඊටපස්සේ වංක දේවල් කරලා අපි හිතන්නේ අපි අවංකයි කියලා.” (The [Honest] Truth About Dishonesty) ඒත් යම් දුරකට හරි වංක වෙන්න ඉඩක් තියෙනවාද කියලා හොයලා බලන්න විශ්වාසදායක ප්‍රතිපත්ති මාලාවක් තියෙනවාද?
ඔව්. අද මිලියන ගණන් දෙනෙක්ට බයිබලයෙන් ඒ ප්‍රතිපත්ති මාලාව දැනගන්න ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිවලට ළං කරන්නවත් පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් නැහැ. (ගීතාවලිය 19:7) පවුල් ජීවිතය, රැකියාව, සදාචාරය, දෙවියන්ට ළං වෙලා ඉන්න පුළුවන් විදිහ වගේ හැම දේකටම විශ්වාසදායක මඟ පෙන්වීම් ඒකේ තියෙනවා. ඒවා කවදටත් ප්‍රයෝජනවත්. බයිබලයේ තියෙන නීති හා ප්‍රතිපත්ති ඕනම ජාතියකට, ඕනම ගෝත්‍රයකට, ඕනම කෙනෙක්ට ගැළපෙනවා. බයිබලය කියවලා, ඒ ගැන ගැඹුරින් කල්පනා කරලා, ඒ උපදෙස් අදාළ කරගන්නවා නම් අවංක වෙන්න අපේ හිත පුහුණු කරගන්න අපිට පුළුවන්.
වංකකමට විරුද්ධව කරන සටන ජය ගන්න බයිබලය ගැන නිවැරදි දැනුමක් තිබුණාට මදි. අද අපි ජීවත් වෙන්නේ දූෂිත සමාජයක නිසා වංක දේවල් කරන්න ඇති වෙන බලපෑම වැඩියි. ඒ හින්දා අපි අවංකව ඉන්න උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න ඕනේ. (ෆිලිප්පි 4:6, 7, 13) එතකොට හරි දේ කරන්නත් හැම දේකදීම අවංක වෙන්නත් ධෛර්යය උපදවගන්න අපිට පුළුවන්.
අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන
මුල් ලිපියේ සඳහන් කරපු හිටෝෂිගේ අවංකකම නිසා ඔහුට හොඳ ප්‍රතිඵල ලැබුණා. දැන් ඔහු වැඩ කරන්නේ ඔහුගේ අවංකකම අගය කරන ප්‍රධානියෙක් යටතේ. හිටෝෂි මෙහෙම කියනවා. “හොඳ හෘදය සාක්ෂියක් ඇතුව වැඩ කරන්න පුළුවන් රස්සාවක් ලැබිලා තියෙන එක ගැන මං සතුටු වෙනවා.”
අවංක වීමෙන් තවත් අයටත් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. ‘සෑම දෙයකදීම අවංක වෙන්න’ කියන බයිබල් ප්‍රතිපත්තිය අදාළ කරගත්ත එකෙන් ප්‍රයෝජන ලබපු කීපදෙනෙක් ගැන බලමු.
හොඳ හෘදය සාක්ෂියක්
“අවුරුදු 13දී ඉස්කෝලේ යන එක නවත්තලා මම හොර කල්ලියකට එකතු වුණා. හම්බ කරපු දේවලින් 95%ක්ම හම්බ කෙරුවේ වංක විදිහටයි. කාලෙකට පස්සේ මං විවාහ වුණා. මායි මහත්තයයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. වංක දේවලට යෙහෝවාa දෙවියන් පිළිකුල් කරනවා කියලා දැනගත්තම අපි අපේ ජීවිත වෙනස් කරගත්තා. අපි දෙන්නා 1990දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වුණා.”—හිතෝපදේශ 6:16-19.
“ඉස්සර අපේ ගේ පිරිලා තිබුණේ හොරකම් කරපු බඩුවලින්. දැන් ඒවා නැහැ. මට දැන් හොඳ හෘදය සාක්ෂියක් තියෙනවා. වංක දේවල් කරපු කාලේ ගැන හිතද්දී දෙවියන් දැන් මට දයාව පෙන්වන එක ගැන මං ස්තුතිවන්ත වෙනවා. යෙහෝවා දෙවියන් මං ගැන සතුටු වෙනවා කියන හැඟීමෙන් නින්දට යන්න ලැබෙන එක ලොකු සහනයක්.”—අයර්ලන්තයේ ෂෙරිල්.
“බඩු ගන්න ආපු කෙනෙක්ගෙන් මං පාගාවක් ගත්තේ නැහැ කියලා දැනගත්තම ලොක්කා මට මෙහෙම කිව්වා. ‘ඔයා විශ්වාසවන්ත කෙනෙක් වෙලා තියෙන්නේ ඔයාගේ දෙවියන් හින්දයි. අපේ කොම්පැනියේ ඔයා ඉන්න එක අපිට ලොකු වාසියක්.’ හැම දේකදීම අවංකව ඉන්න හින්දා මට දෙවියන් ඉදිරියේ හොඳ හෘදය සාක්ෂියක් තියෙනවා. මගේ පවුලේ අයට, යාළුවන්ට එහෙම ඉන්න උදව් කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”—හොං කොංවල සෝනි.
හිතේ සාමය
“මම ජාත්‍යන්තර බැංකුවක උසස් රැකියාවක් කරන කෙනෙක්. මේ වගේ රස්සාවලදී කවුරුත් සල්ලි හම්බ කරන්න අවංකකම පැත්තකට දානවා. ‘හොඳට සල්ලි හම්බ කරගෙන ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් නම් පුංචි බොරුවක් කළාට කමක් නැහැ’ කියලයි හුඟක් අය හිතන්නේ. ඒත් මම අවංකව ඉන්න නිසා හිතට සාමයක් තියෙනවා. මගේ අධිෂ්ඨානය මොන දේ වුණත් අවංකව ඉන්නයි. මගේ ලොක්කෝ දන්නවා මං බොරු කියන්නෙවත් බොරු කරන්නෙවත් නැහැ කියලා.”—එක්සත් ජනපදයේ ටොම්.
ආත්ම ගෞරවය
“නැති වෙලා තිබුණු බඩු ගැන බොරු කියන්න කියලා වැඩ බලන නිලධාරියා කිව්වා. ඒත් මං එහෙම කළේ නැහැ. පස්සේ හොරු කවුද කියලා එළි වුණාම මං අවංක වුණු එක ගැන මගේ ලොක්කා ස්තුති කළා. වංක ලෝකෙක අවංකව ඉන්න නම් ලොකු ධෛර්යයක් ඕනේ. එහෙම හිටියාම අපිට අනිත් අයගේ විශ්වාසයයි ගෞරවයයි දිනාගන්න පුළුවන්.”—ජපානයේ කාඕරි.
හොඳ හෘදය සාක්ෂියක්, හිතේ සාමය සහ ආත්ම ගෞරවයක් ලැබෙන්නේ අපි අවංකව හිටියොත් විතරයි. ඔයා ඒකට එකඟ වෙනවාද?
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.