කැඩපත කුමක් හෙළි කරයිද?
කැඩපතකින් බලන්න. ඔබ කුමක් දකින්නෙහිද? ඇතැම් අවස්ථාවන්හිදී, කැඩපතකින් බලන විට, ඔබේ පෙනුමේ ලජ්ජාවට හේතුවන දෝෂයක් හෙළිවන අතර, අනුන් එය දකින්ට පෙර එය හරිගැස්වීමට ඔබ සතුටු වනවාට ස්ථිරය.
බයිබලය හරියටම කැඩපතක් හා සමානය. අප ගැන අවංක තක්සේරුවක් කිරීමට එයට ඉවහල් විය හැකි අතර, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ, අපේ වටිනාකම ගැන ඕනෑවට වඩා වැඩියෙන්—හෝ අඩුවෙන්—සිතීමෙන් එය අපව වැළැක්විය හැක. (මතෙව් 10:29-31; රෝම 12:3) ඊට අමතරව, අප නිවැරදි කළ යුතු දෝෂ, අපේ වචන, ක්‍රියා හෝ ආකල්පවල තිබෙන බව බයිබලයට හෙළි කළ හැක. මෙය සිදුවන විට, කැඩපත හෙළි කරන දෙය ඔබ නොසලකා හරින්නෙහිද?
බයිබල් ලේඛක යාකොබ් මෙසේ කියයි: “යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය. මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවලේම මතක නැතිකරයි.”—යාකොබ් 1:23, 24.
ඊට වෙනස්ව, යාකොබ් තවත් මනුෂ්‍යයෙකු, එනම්, “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, . . . එසේ පවතින්නාවූ” යමෙකු විස්තර කරයි. (යාකොබ් 1:25) “බලාගන” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ තේරුම වනාහි, බැලීම සඳහා, පහතට නැමී, නැතහොත්, ඉදිරියට නැමී එබී බැලීම වේ. “නිකම්ම උඩින් පල්ලෙන් බැලීමට වඩා වැඩි යමක් මීට සම්බන්ධව පවතී” කියා තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් පවසයි. යම් සැඟවූ වස්තුවක් සෙවීම සඳහා පරෙස්සමින් සොයා බැලීමක් එම වචනයෙන් අඟවනු ලැබේ. බලන්නාට එය එකවිටම දැකීමත් එහි තේරුම ග්‍රහණය කරගැනීමත් දුෂ්කර යමක් වුවද, දැකබලාගැනීමට ආශා කරන්නාවූ වැදගත් යමක් තිබේ” යයි බයිබල් ටීකාකරු ආර්. වී. ජී. ටැස්කර් ලේඛනගත කරයි.
දේවවචනය නමැති කැඩපත මගින් ඔබ ඔබවම පරීක්ෂණයට භාජන කොට, ඉන් අවශ්‍ය කරන දෙයට අනුකූල වන්නෙහිද? යාකොබ් තවදුරටත් මෙසේ පවසයි: “මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.”—යාකොබ් 1:25.