ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව
“මම . . . ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.”—1 කොරින්ති 9:21.
1, 2. (අ) මනුෂ්‍යවර්ගයා විසින් කළ වැරදි බොහොමයක් වළක්වාගැනීමට තිබුණේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකය යුදෙව්වාදයේ ඉතිහාසයෙන් කුමක් ඉගෙනීමට අසමත් වූවාද?
“මහජනයාවත් ආණ්ඩුවවත් කිසිදාක ඉතිහාසයෙන් යමක් ඉගෙනගෙන, ඉන් නිගමනය කරගත් ප්‍රතිපත්ති මත ක්‍රියා කර නැහැ.” එසේ පැවසුවේ 19වන සියවසේ විසූ ජර්මානු දර්ශනවාදියෙකි. ඇත්තෙන්ම මනුෂ්‍ය ඉතිහාසයේ ගමන, “මෝඩකමේ ගමනක්” සහ අඛණ්ඩව භයානක වැරදි හා අර්බුද සිදු වූ කාලපරිච්ඡේදයක් ලෙස විස්තර කර තිබේ; මනුෂ්‍යවර්ගයා අතීතයේ කළ වැරදිවලින් ඉගෙනීමට කැමැත්තෙන් සිටියා නම් පමණක්, මේවායින් බොහොමයක් මඟහැර ගැනීමට ඉඩ කඩ තිබිණ.
2 අතීතයේ කළ වැරදිවලින් ඉගෙනීමට අකමැති වීමේ නැඹුරුවාවම, දිව්‍ය නීතිය පිළිබඳ මෙම සාකච්ඡාවට ඇතුළත් වෙයි. යෙහෝවඃ දෙවියන්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව වෙනුවට ඊටත් වඩා හොඳ එකක්—එනම් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව පිහිටෙවූසේක. එහෙත්, මෙම ව්‍යවස්ථාව උගන්වන බවත්, ඒ අනුව ජීවත් වන බවත් කියා සිටින ක්‍රිස්තියානි ලෝකයේ නායකයන්, ඵරිසිවරුන්ගේ අන්ත මෝඩකමින් ඉගෙනීමට අපොහොසත් වී ඇත. එනිසා, යුදෙව්වාදය මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කළාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකය ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව පෙරළා, එය අනිසි ලෙස යොදාගෙන ඇත. එය විය හැක්කේ කෙසේද? පළමුව, අපි මෙම ව්‍යවස්ථාව ගැන සාකච්ඡා කරමු—එනම් එය කුමක්ද, ඉන් පාලනය වන්නේ කවුද හා කෙසේද යන්නත්, එය මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වඩා වෙනස් වීමට හේතු වන්නේ කුමක්ද යන වගත් සලකා බලමු. ඊළඟට ක්‍රිස්තියානි ලෝකය එය අනිසි ලෙස යොදාගෙන තිබෙන අන්දම අපි පරීක්ෂා කර බලමු. මෙසේ ඉතිහාසයෙන් ඉගෙනගෙන ප්‍රයෝජන ලබාගැනීමට අපට හැකි වේවා!
අලුත් ගිවිසුම
3. යෙහෝවඃවහන්සේ අලුත් ගිවිසුමක් ගැන කළ පොරොන්දුව කුමක්ද?
3 යෙහෝවඃ දෙවියන්වහන්සේට මිස, අංග සම්පූර්ණ ව්‍යවස්ථාවක් වැඩිදියුණු කළ හැක්කේ වෙන කාටද? මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම අංග සම්පූර්ණ විය. (ගීතාවලිය 19:7) කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ මෙසේ පොරොන්දු වූසේක: “බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේය . . . ඒ වනාහි . . . ඔවුන්ගේ පියවරුන් . . . සමග කළ ගිවිසුම වාගේ නොවේය.” මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රධානතම කොටස වූ දස පනත ගල් ලෑලිවල ලියන ලදි. එහෙත් අලුත් ගිවිසුම ගැන යෙහෝවඃවහන්සේ මෙසේ කීසේක: “මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල [හෘදවල, NW] ලියන්නෙමි.”—යෙරෙමියා 31:31-34.
4. (අ) අලුත් ගිවිසුමට සම්බන්ධ වන්නේ කුමන ඉශ්රායෙලයද? (ආ) ආත්මික ඉශ්‍රායෙලිතයන්ට අමතරව ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත්ව සිටින්නේ වෙන කවුරුන්ද?
4 මෙම අලුත් ගිවිසුමට ඇතුළත් කරනු ඇත්තේ කාවද? මෙම ගිවිසුමේ මැදහත්කරුව ප්‍රතික්ෂේප කළ සැබෑ “ඉශ්රායෙල් වංශය” ඊට ඇතුළත් නොවන බව සහතිකයි. (හෙබ්‍රෙව් 9:15) ඒ වෙනුවට, මෙම අලුත් “ඉශ්රායෙල්,” “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්,” එනම් ආත්මික ඉශ්රායෙලිතයන්ගෙන් යුත් ජාතියක් වනු ඇත. (ගලාති 6:16; රෝම 2:28, 29) ඊටපසුව, ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් මෙම කුඩා කණ්ඩායමට සියලු ජාතීන්ගෙන් පැමිණෙන “මහත් සමූහයක්” එකතු වනු ඇති අතර, ඔවුන්ද යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමට සොයනු ඇත. (එළිදරව් 7:9, 10; සෙකරියා 8:23) අලුත් ගිවිසුමට පංගුකාරයන් නොවුවත්, ඔවුන්ද නීතිවලට බැඳී සිටිනු ඇත. (සසඳන්න, ලෙවී කථාව 24:22; ගණන් කථාව 15:15.) “එක එඬේරෙක්” යටතේ සිටින “එක රැළක්” වශයෙන්, සියලුදෙනාම ප්‍රේරිත පාවුල් ලීවාක් මෙන්, “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව” සිටිනු ඇත. (යොහන් 10:16; 1 කොරින්ති 9:21) මෙම අලුත් ගිවිසුම, “වඩා හොඳ ගිවිසුම[ක්]” හැටියට පාවුල් හැඳින්වීය. ඒ ඇයි? එක දෙයක් නම්, පැමිණීමට තිබෙන දේවල ඡායාවන් මත පදනම් වන්නේ නැතුව, එය ඉටු වූ පොරොන්දු මත පදනම්ව තිබීමය.—හෙබ්‍රෙව් 8:6; 9:11-14.
5. අලුත් ගිවිසුමෙහි අරමුණ කුමක්ද, එමෙන්ම එය සාර්ථක වනු ඇත්තේ මන්ද?
5 මෙම ගිවිසුමේ අරමුණ කුමක්ද? එය නම් මුළු මනුෂ්‍යවර්ගයාටම ආශීර්වාද සැපයීම සඳහා රජවරුන්ගෙන් හා පූජකයන්ගෙන් යුත් ජාතියක් බිහි කිරීමයි. (නික්මයාම 19:6; 1 පේතෘස් 2:9; එළිදරව් 5:10) සමස්තයක් වශයෙන්, ඉශ්රායෙල් කැරලි ගසා තම ප්‍රස්තාව අහිමි කරගත් නිසා, මෙම ජාතිය අංග සම්පූර්ණ අර්ථයකින් බිහි කිරීමට මෝසෙස්ගේ ගිවිසුම අසමත් විය. (රෝම 11:17-21, සසඳන්න.) කෙසේවෙතත් අලුත් ගිවිසුම සහමුලින්ම වෙනස් ආකාරයක නීතියක් හා සම්බන්ධව පවතින නිසා, එය සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත. එය වෙනස් වන්නේ කුමන ආකාරවලින්ද?
නිදහස්කමට අයත් ව්‍යවස්ථාව
6, 7. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව වැඩි නිදහසක් ඉදිරිපත් කරන්නේ කෙසේද?
6 ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව නිතරම නිදහස්කමට සම්බන්ධ කර තිබේ. (යොහන් 8:31, 32) එය “නිදහස් ජනකායකගේ ව්‍යවස්ථාව” හා “නිදහස්කමට අයත් අංග සම්පූර්ණ ව්‍යවස්ථාව” යනුවෙන් නම් කර තිබේ. (යාකොබ් 1:25, NW; යාකො 2:12, NW) ඇත්තෙන්ම මනුෂ්‍යයන්ට තිබෙන ඕනෑම නිදහසක් සාපේක්ෂ තත්වයක පවතී. එසේවුවත්, ඊට කලින් පැවති මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වඩා මෙම ව්‍යවස්ථාවෙන් ඇත්තෙන්ම වැඩි නිදහසක් ලබාගත හැක. ඒ කෙසේද?
7 එක දෙයක් නම්, කිසිවෙකු ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත්ව ඉපදෙන්නේ නැත. ජාතිය හා උපන් ස්ථානය වැනි සාධකවලට වැදගත්කමක් නැත. මෙම ව්‍යවස්ථාවට කීකරු වීමේ වියගහ දැරීමට සැබෑ ක්‍රිස්තියානීහු තම හදවත්වලින් කැමැත්තෙන්ම තෝරාගනිති. එසේ කරද්දී, එය පහසු වියගහක්, මෙන්ම සැහැල්ලු බරක් බව ඔවුන්ට පෙනී යයි. (මතෙව් 11:28-30) ඇත්තෙන්ම, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ අරමුණ වූයේ, මනුෂ්‍යයා පව්කාර බවත්, ගැළවීම සඳහා මිදීමේ පූජාවක දැඩි අවශ්‍යතාව ඇතුව සිටින බවත් ඔහුට ඉගැන්වීමයි. (ගලාති 3:19) මෙසියස් පැමිණ ඇති බවත්, තම ජීවිතය පුද කිරීමෙන් මිදීමේ මිලය ගෙවා තිබෙන බවත්, පාපය හා මරණයෙන් සිදු වන දරුණු පීඩනයෙන් නිදහස් වීම සඳහා මාර්ගය අපට විවෘත කර දී තිබෙන බවත් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අපට උගන්වයි! (රෝම 5:20, 21) ප්‍රයෝජන ලැබීමට නම්, එම පූජාව කෙරෙහි අප ‘ඇදහීම’ අවශ්‍යයි.—යොහන් 3:16.
8. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ කුමක්ද, නමුත් ඒ අනුව ජීවත්වීමට නම්, නීතික පනත් සියගණනක් කටපාඩම් කිරීම අවශ්‍ය නොවන්නේ මන්ද?
8 ‘ඇදහීමට’ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත්වීම ඇතුළත් වෙයි. ක්‍රිස්තුස්වහන්සේගේ ආඥා සියල්ලකටම කීකරු වීමද එයට ඇතුළත්ය. නීති හා පනත් සිය ගණනක් කටපාඩම් කිරීම මින් අදහස් කෙරේද? නැත. පැරණි ගිවිසුමේ මැදහත්කරු වූ මෝසෙස්, මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලිව්වත්, අලුත් ගිවිසුමේ මැදහත්කරු වන යේසුස්වහන්සේ එක නීතියක්වත් ලිව්වේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ මෙම ව්‍යවස්ථාව තම ජීවිතයෙන් පිළිබිඹු කළසේක. තම පරිපූර්ණ ජීවිත මාර්ගය තුළින්, උන්වහන්සේ සියලුදෙනාටම අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් තැබූසේක. (1 පේතෘස් 2:21) ඇතැම්විට මුල් ක්‍රිස්තියානීන්ගේ නමස්කාරයට “මාර්ගය” යයි කීමට හේතුව එය විය හැක. (ක්‍රියා 9:2; 19:9, 23; 22:4; 24:22) ඔවුන් සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව, ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙන් ආදර්ශ කොට දක්වන ලදි. යේසුස්වහන්සේව අනුකරණය කිරීමෙන් මෙම ව්‍යවස්ථාවට කීකරු වනු ඇත. ඔවුන්ට උන්වහන්සේ කෙරෙහි බලවත් ප්‍රේමයක් තිබීමෙන් අදහස් කළේ, පුරෝකථනය කර තිබූ ආකාරයට, මෙම ව්‍යවස්ථාව ඇත්තෙන්ම ඔවුන්ගේ හෘදවල ලියනු ලැබූ බවයි. (යෙරෙමියා 31:33; 1 පේතෘස් 4:8) ඇරත් ප්‍රේමය නිසා කීකරු වන කෙනෙකුට එය කිසිවිටක පීඩාවක් සේ නොදැනේ—මෙය ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට “නිදහස් ජනකායකගේ ව්‍යවස්ථාව” කියා කීමට තවත් හේතුවකි.
9. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ නියම සාරය කුමක්ද, එමෙන්ම මෙම ව්‍යවස්ථාවට අලුත් ආඥාවක් ඇතුළත් වන්නේ කුමන ආකාරයකින්ද?
9 ප්‍රේමයට මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි වැදගත්කමක් තිබුණා නම්, එය ක්‍රිස්තියානි ව්‍යවස්ථාවෙහි නියම සාරය වේ. මෙසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අලුත් ආඥාවක් ඇතුළත් වේ—එනම් ක්‍රිස්තියානීන් එකිනෙකා කෙරෙහි ආත්ම-පරිත්‍යාගශීලී ප්‍රේමයක් ඇතුව සිටිය යුතුය. යේසුස්වහන්සේ කළාක් මෙන් ඔවුන් ප්‍රේම කළ යුතුය; උන්වහන්සේ තම මිතුරන් වෙනුවෙන් කැමැත්තෙන්ම තම ජීවිතය පුද කළසේක. (යොහන් 13:34, 35; 15:13) එනිසා, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වඩා දිව්‍යාණ්ඩු තන්ත්රයේ උතුම් විදහාපෙන්වීමක් බව කිව හැක. මෙම සඟරාවෙහි කලින් පෙන්වා ඇති පරිදි: “දිව්යතන්ත්රය යනු දෙවියන්වහන්සේ විසින් කරන ලද පාලනයයි; දෙවියන්වහන්සේ ප්‍රේමයයි; එබැවින් දිව්යතන්ත්රය යනු ප්‍රේමයෙන් කරනු ලබන පාලනයයි.”
යේසුස්වහන්සේ හා ඵරිසිවරු
10. යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ඵරිසිවරුන්ගේ ඉගැන්වීම්වලට වඩා වෙනස් වූයේ කෙසේද?
10 එසේනම්, යේසුස්වහන්සේ ඔහුගේ කාලයේ සිටි යුදෙව් ආගමික නායකයන් සමඟ ගැටීම පුදුමයට හේතුවක් නොවිය යුතුයි. “නිදහස්කමට අයත් අංග සම්පූර්ණ ව්‍යවස්ථාව[ක්]” ලියන්නන්ගේ හා ඵරිසිවරුන්ගේ සිත්වලට ගෑවී නොතිබුණු තරම්ය. ඔවුහු මිනිසා සෑදූ රෙගුලාසි මගින් ජනයාව පාලනය කිරීමට වෑයම් කළෝය. ඔවුන්ගේ ඉගැන්වීම පීඩාකාරි, හෙළාදකින හා නිෂේධාත්මක තත්වයකට පත් විය. ඊට හාත්පසින්ම වෙනස්ව, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් මුළුමනින්ම ගොඩනංවනසුලු හා ඒකාන්ත විය. උන්වහන්සේ ප්‍රායෝගික වූ අතර, ජනයාගේ සැබෑ අවශ්‍යතා හා කාරණා සමඟ කටයුතු කළසේක. උන්වහන්සේ සරලව හා සැබෑ හැඟීමෙන් යුතුව ඉගැන්වූ අතර, දෛනික ජීවිතයෙන් උපහැරණ ගෙන දේවවචනය තම අධිකාරය හැටියට යොදාගත්සේක. එබැවින්, “සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය.” (මතෙව් 7:28) ඔව්, යේසුස්වහන්සේගේ ඉගැන්වීම් ඔවුන්ගේ හදවත්වලට ළං විය!
11. මෝසෙස්ගේ ව්‍යවස්ථාව සාධාරණකමින් හා දයාවෙන් අදාළ කළ යුතුව තිබූ බව යේසුස්වහන්සේ විදහාපෙන්වූයේ කෙසේද?
11 මෝසෙස්ගේ ව්‍යවස්ථාවට තව තවත් රෙගුලාසි එකතු කරනවා වෙනුවට, යුදෙව්වන් එම ව්‍යවස්ථාව දිගටම අදාළ කළ යුතුව තිබූ ආකාරය යේසුස්වහන්සේ පෙන්වූසේක—එනම් සාධාරණකමින් හා දයාවෙනි. උදාහරණයක් හැටියට, නොකඩවා ලේ ගැලීමකින් පෙළුණු ස්ත්‍රියක උන්වහන්සේ වෙතට එළඹුණු අවස්ථාව සිහියට නඟන්න. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, ඇයව ස්පර්ශ කරන ඕනෑම තැනැත්තෙකු අපවිත්‍ර වනු ඇත; එනිසා මහජනයා ගැවසෙමින් සිටි ස්ථානයක සිටීමට ඇයට කිසිම අවකාශයක් නොතිබිණ! (ලෙවී කථාව 15:25-27) එහෙත් සුවය ලැබීමට ඇය තුළ එතරම් දැඩි ආශාවක් තිබූ නිසා, ඈ මහජනයා මැදින් ගොස් යේසුස්වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවාය. ලේ ගැලීම එකෙණෙහිම නැවතිණ. ව්‍යවස්ථාව උල්ලංගනය කළ නිසා උන්වහන්සේ ඇයට බැණ වැදුණාද? නැත; ඒ වෙනුවට උන්වහන්සේ ඇගේ බලාපොරොත්තු සුන් වූ තත්වය තේරුම්ගෙන ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨතම ශික්ෂාව වන ප්‍රේමය විදහාපෙන්වූසේක. මහත් අනුකම්පාවෙන් යුක්තව උන්වහන්සේ ඇයට මෙසේ පැවසූසේක: “දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටපන්න.”—මාර්ක් 5:25-34.
ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ලිහිල් වැඩිද?
12. (අ) ක්‍රිස්තුස්වහන්සේ ඕනෑම දෙයකට ඉඩ දෙනවායයි අප උපකල්පනය නොකළ යුත්තේ ඇයි? (ආ) නීති බොහොමයක් සෑදීම, ඒවාට අසු නොවී බේරීමේ මාර්ග රාශියක් බිහිවීමට මඟ පාදන බව පෙන්වන්නේ කුමක්ද?
12 එසේනම්, ඵරිසිවරුන්ට වාචික සම්ප්‍රදායන් රාශියක් තිබුණු නිසා, ජනයාගේ හැසිරීම අඩුම තරමින් දැඩි සීමා තුළ තබාගැනීමට ඒවා ඉවහල් වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව “නිදහස්කමට අයත්” නිසා, එය ලිහිල් වැඩියි යන නිගමනයට අප එළඹිය යුතුද? නැත. නීති වැඩි වන තරමට, ජනයා නීතියට අසු නොවී බේරීමට තව තවත් ක්‍රම සොයන බව වර්තමාන නීතික පද්ධති දෙස බැලීමෙන් පැහැදිලි වෙයි.a යේසුස්වහන්සේගේ දවසේදී ඵරිසිවරුන්ගේ නීති රාශිය හේතුවෙන්, අසු නොවී ඉන් බේරීමට මාර්ග සෙවීමටත්, ප්‍රේමයෙන් තොර ක්‍රියා යාන්ත්‍රිකව ප්‍රදර්ශනයක් සේ කිරීමටත්, අභ්‍යන්තර දූෂණය සඟවාගැනීමට ආත්ම-ධර්මිෂ්ඨකමින් යුත් පිටස්තර පෙනුමක් වර්ධනය කිරීමටත් දිරිගන්වන ලදි.—මතෙව් 23:23, 24.
13. ඕනෑම ලිඛිත ව්‍යවස්ථා සංග්‍රහයකට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව වඩාත් උසස් මට්ටමේ හැසිරීමකට හේතු වන්නේ මන්ද?
13 ඊට වෙනස්ව, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ එවැනි ආකල්පවලට තැනක් දී නැත. ඇත්තෙන්ම යෙහෝවඃවහන්සේට ප්‍රේම කිරීම මත පදනම් වූ, අනුන් සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ ආත්ම-පරිත්‍යාගශීලී ප්‍රේමය අනුකරණය කිරීම තුළින් කීකරුකම දක්වන්නාවූ ව්‍යවස්ථාවකට කීකරුවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, විධිමත් නීති සංග්‍රහයක් අනුගමනය කරනවාට වඩා, ඉතා උසස් මට්ටමේ හැසිරීමක් අත් කරගත හැක. ප්‍රේමය අසු නොවී බේරීමට මාර්ග සොයන්නේ නැත; නීති සංග්‍රහයක්, එනම් ඇතැම්විට කෙළින්ම තහනම් නොකරන හානිකර දේවලින් වැළකී සිටීමට එය අපට උපකාර කරයි. (මතෙව් 5:27, 28 බලන්න.) මෙසේ, අනුන් සඳහා දේවල් කිරීමට—ත්‍යාගශීලීබව, ආගන්තුක සත්කාරය හා ප්‍රේමය දැක්වීමට—ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අප තුළ පෙලඹීමක් ඇති කරනු ඇත; ඇත්තෙන්ම කිසිම විධිමත් නීතියකට අපව පෙලඹවිය නොහැකි ආකාරවලින් අප තුළ පෙලඹීමක් ඇති වෙයි.—ක්‍රියා 20:35; 2 කොරින්ති 9:7; හෙබ්‍රෙව් 13:16.
14. ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත්වීම පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවට බලපෑවේ කුමන ආකාරයකින්ද?
14 මුල් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට අනුව ජීවත් වූ තරමටම, ඔවුහු උණුසුම්, ප්‍රේමනීය වාතාවරණයක් භුක්තිවින්දෝය; එය සාපේක්ෂ වශයෙන් එදා පැවති සිනගෝගවල තිබූ දැඩි, අනුන් විනිශ්චය කරන කුහක ආකල්පවලින් නිදහස් වූ වාතාවරණයකි. ඔවුන් “නිදහස් ජනකායකගේ ව්‍යවස්ථාව” අනුව ජීවත් වෙමින් සිටි බව, මෙම නවක සභාවල සාමාජිකයන්ට ඇත්තෙන්ම හැඟෙන්ට ඇත!
15. ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය කිරීමට සාතන් දැරූ සමහරක් මුල් ප්රයත්න මොනවාද?
15 කෙසේවෙතත්, ඉශ්රායෙල් ජාතියව දූෂණය කර තිබුණාක් මෙන්, ක්‍රිස්තියානි සභාවත් අභ්‍යන්තරයෙන්ම දූෂණය කිරීමට සාතන් උද්යෝගයෙන් සිටියේය. “කාරණා පෙරළා කථාකරන” දෙවියන්වහන්සේගේ රැළට පීඩා ගෙනෙන වෘකයන් වැනි මනුෂ්‍යයන් ගැන ප්‍රේරිත පාවුල් අවවාද කළේය. (ක්‍රියා 20:29, 30) යුදෙව්වාදී අය සමඟ කටයුතු කරන්ට ඔහුට සිදු විය; ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් ලැබූ සාපේක්ෂ නිදහස වෙනුවට, ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඉෂ්ට වී තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට වහල්වීම තෝරාගැනීමට උත්සාහ දැරූහ. (මතෙව් 5:17; ක්‍රියා 15:1; රෝම 10:4) අන්තිම ප්‍රේරිතයා මියගියායින් පසු, ඇදහිල්ල අත්හැරීමට විරුද්ධව බලපෑමක් තවදුරටත් නොතිබිණ. එනිසා දූෂිත තත්වයක් හාත්පස පැතිර ගියේය.—2 තෙසලෝනික 2:6, 7.
ක්‍රිස්තියානි ලෝකය ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව දූෂණය කරයි
16, 17. (අ) ක්‍රිස්තියානි ලෝකයේ දූෂණයට කවර මුහුණුවර තිබුණේද? (ආ) කතෝලික සභාවේ නීති ලිංගික කාරණා ගැන විකෘති වූ මතයකට දිරි දුන්නේ කෙසේද?
16 යුදෙව්වාදය සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, ක්‍රිස්තියානි ලෝකයේ සිදු වූ දූෂණයට විවිධ මුහුණුවර තිබිණ. ඇයද බොරු ඉගැන්වීම්වලට හා සදාචාර ගතිපැවතුම් හීන කරගැනීමට ගොදුරු වූවාය. එමෙන්ම බාහිර බලපෑම්වලින් ඇගේ රැළ ආරක්ෂා කරගැනීමට ඇය දැරූ වෑයම, බොහෝදුරට ඉතිරි වී තිබූ නිර්මල නමස්කාරයේ අංශු මාත්‍රවල පිරීහීමට හේතු විය. දැඩි හා ශුද්ධ ලියවිල්ලට පටහැනි නීති වැජඹිණ.
17 කතෝලික සභාව පල්ලිය සඳහා නීති සමූහයක්ම බිහි කිරීමේදී පෙරමුණෙහි සිට ඇත. ලිංගික කාරණා සම්බන්ධයෙන් මෙම නීති විශේෂයෙන්ම විකෘති වූ තත්වයක පවතී. සෙක්ෂුඇලිටි ඇන්ඩ් කැතොලිසිසම් (ලිංගිකත්වය හා කතෝලික ධර්මය) යන පොතට අනුව, ඕනෑම ආකාරයක වින්දනයක් ගැන වපර ඇසින් බැලූ ස්ටොයිකවාදය නමැති ග්‍රීක් දර්ශනය, පල්ලිය මගින් ඈඳාගන්නා ලදි. සාමාන්‍ය විවාහ සම්බන්ධකම් ඇතුළුව ඕනෑම ආකාරයක ලිංගික වින්දනය පව්කාර දෙයක් බව පල්ලිය ඉගැන්වීමට පටන්ගත්තේය. (හිතෝපදේශ 5:18, 19හි වෙනස සලකා බලන්න.) ලිංගික සම්බන්ධකම්වල එකම අරමුණ වූයේ වර්ගයා බෝ කිරීමයි. මෙසේ පල්ලියේ නීතිය, ඕනෑම ආකාරයක උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීම ඉතා බරපතළ පාපයක් ලෙස හෙළා දුටුවේය; ඇතැම්විට ඊට වර්ෂ ගණනාවක් බලපැවැත්වූ දඬුවමක් නියම කරනු ලැබීය. එපමණක්ද නොව, පූජක පක්ෂයට විවාහය තහනම් විය; මෙම ආඥාවේ ප්‍රතිඵලයක් වශයෙන්, ළමුන් අතවරයට ලක් කිරීම ඇතුළුව, නීති විරෝධී ලිංගික සම්බන්ධකම්වල වර්ධනයක් දක්නට තිබේ.—1 තිමෝති 4:1-3.
18. පල්ලියේ නීති රාශියක් බිහිවීමේ ප්‍රතිඵලය කුමක් වීද?
18 පල්ලියේ නීති වැඩි වෙත්ම, ඒවා පොත් වශයෙන් සම්පාදනය කරන ලදි. මේවා බයිබලය යටපත් කරවමින්, එය අභිභවා ගියේය. (මතෙව් 15:3, 9, සසඳන්න.) යුදෙව්වාදයට සමානව, කතෝලික ධර්මය ලෞකික ලියවිලි දෙස වපර ඇසින් බැලූ අතර, ඉන් වැඩි ප්‍රමාණයක් තර්ජනයක් ලෙස සැලකීය. වැඩි කලක් යන්ට මත්තෙන්, මෙම මතය, කාරණය සම්බන්ධයෙන් බයිබලය දී තිබූ නුවණට හුරු අවවාදය ඉක්මවා ගියේය. (දේශනාකාරයා 12:12; කොලොස්සි 2:8) පොදු යුගයේ සිව්වන සියවසේ පල්ලි ලේඛකයෙකු වූ ජෙරෝම් මෙසේ ප්‍රකාශ කළේය: “අහෝ සමිඳුනි, ලෞකික ග්රන්ථ මා නැවතත් ලබාගෙන කියෙව්වෙම් නම්, මම ඔබවහන්සේව ප්‍රතික්ෂේප කර ඇත්තෙමි.” කල් යත්ම, පල්ලිය, පොත්වල—එනම් ලෞකික විෂයන් මත පදනම් පොත්වල පවා කොටස් කපාහැරීමේ කාර්යයෙහි නිරත විය. මෙසේ පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බව ලිවූ නිසා 17වන සියවසේ විසූ ගැලීලියෝට දෝෂාරෝපණය කරන ලදි. සිතාගත හැකි සෑම දෙයක් සම්බන්ධයෙන්ම—තාරකා ශාස්ත්‍රය ගැන ප්‍රශ්නවලට පවා—අවසාන තීන්දුව පල්ලියෙන් ලැබිය යුතු බව පල්ලිය බලෙන් ඉල්ලා සිටීම, බයිබලය කෙරෙහි ඇදහිල්ල දිගු කාලීනව දුර්වල කිරීමට හේතු වනු ඇත.
19. පූජකාරාම දැඩි ලෙස පෞද්ගලික නිදහස නැති කළ තත්වයකට දිරි දුන්නේ කෙසේද?
19 නීති සෑදීමට පල්ලිය දැක්වූ ලැදිකම පූජකාරාමවල හොඳින් වර්ධනය වූ අතර, එහිදී පැවිද්දෝ තම ආශා මැඩපවත්වා ගැනීම සඳහා ලෝකයෙන් වෙන් වූ ජීවිතයක් ගත කළෝය. කතෝලික පූජකාරාම බොහොමයක් “ශාන්ත බෙනඩික්ට්ගේ නියමය” අනුගමනය කළේය. පූජකාරාමාධිපති හෙවත් (“පියා” සඳහා භාවිත වන ඇරමයික වචනයෙන් පැමිණෙන) ඇබට්වරයා පූර්ණ අධිකාරයකින් පාලනය කළේය. (මතෙව් 23:9, සසඳන්න.) පැවිද්දෙකුට තම දෙමාපියන්ගෙන් තෑග්ගක් ලැබුණා නම්, එම පැවිද්දාට එය දිය යුතුද නැතහොත් වෙන කෙනෙකුට දිය යුතුද යන්න තීරණය කරන්නේ ඇබට්වරයාය. අශික්ෂිත දේවල් හෙළා දකිනවාට අමතරව, එක් නීතියක වැදගැම්මකට නැති කතා හා විහිළු සියල්ලක්ම සම්පූර්ණයෙන්ම තහනම් කළ අතර, එහි මෙසේ පැවසිණ: “කිසිම ගෝලයෙකුගේ මුඛයෙන් එවැනි දෙයක් පිට නොවිය යුතුය.”
20. පෞද්ගලික නිදහස නැති කිරීමේ, ශුද්ධ ලියවිල්ලට පටහැනි තත්වය පෝෂණය කිරීමෙහිලා රෙපරමාදු වාදය දක්ෂ වූ බව කුමකින් පෙන්නුම් කරයිද?
20 කතෝලික ධර්මයේ ශුද්ධ ලියවිල්ලට පටහැනි සීමාව ඉක්මවීම් ප්‍රතිසංස්කරණය කිරීමට වෑයම් කළ රෙපරමාදු වාදය, වැඩි කල් නොගොස්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව මත කිසි පදනමක් නැති, පෞද්ගලික නිදහස නැති කරන නීති සම්පාදනය කිරීමේ දක්ෂයෝ බවට පත් වූහ. නිදසුනක් වශයෙන්, ප්රමුඛ රෙපරමාදු නායකයෙකු වූ ජොන් කැල්වින්ව හඳුන්වන්ට පටන්ගත්තේ “ප්‍රතිසංස්කරණය වූ පල්ලියේ නීති සම්පාදකයා” හැටියටය. ඔහු ජිනීවාහි පල්ලිය පාලනය කළේ “වැඩිමහල්ලන්” විසින් පනවන ලද දැඩි නීති රාශියක් සමඟිනි; කැල්වින් සඳහන් කළ පරිදි, මෙම වැඩිමහල්ලන්ගේ “නිලය” යනු “සියලුදෙනාගේම ජීවිතය කෙරෙහි අධීක්ෂණයක් පැවැත්වීමයි.” (2 කොරින්ති 1:24හි වෙනස සලකා බලන්න.) පල්ලි නවාතැන්පොළවල් පාලනය කළ අතර, සාකච්ඡා කළ හැකි විෂයන්ද පාලනය කළේය. වැදගැම්මකට නැති ගී ගැයීම හෝ නැටීම වැනි අපරාධ සඳහා දැඩි දඬුවම් පමුණුවන ලදි.b
ක්‍රිස්තියානි ලෝකයේ වැරදිවලින් ඉගෙනීම
21. ‘ලියා තිබෙන දේ ඉක්මවා යෑමට’ ක්‍රිස්තියානි ලෝකය දැක්වූ නැඹුරුවාවේ සමස්ත බලපෑම කුමක් වී තිබේද?
21 මේ නීති රීති සියල්ලම ක්‍රිස්තියානි ලෝකය දූෂණයෙන් ආරක්ෂා කිරීමට ඉවහල් වී තිබේද? නැත, ඊට හාත්පසින් විරුද්ධ දේ සිදු වී තිබේ! අදදින ක්‍රිස්තියානි ලෝකය නිකායන් සියගණනකට කැඩී බිඳී ගොස් ඇති අතර, මේවා ඉතා දැඩි ඒවායේ සිට ඉතා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන ඒවා දක්වා දිවයයි. රැළ පාලනය කිරීමටත් දිව්‍ය නීතියට බාධා පැමිණවීමටත් මිනිස් චින්තනයට ඉඩහරිමින්, ඒ සියල්ලක්ම යම් ආකාරයකින් ‘ලියා තිබෙන දේ ඉක්මවා ගොස් ඇත.’—1 කොරින්ති 4:6.
22. ක්‍රිස්තියානි ලෝකය වැටී තිබුණත්, ඉන් ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අවසන් වී ඇති බව නොඅඟවන්නේ මන්ද?
22 කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ ඉතිහාසය ඛේදවාචකයක් නොවේ. දිව්‍ය නීතිය විනාශ කර දැමීමට යෙහෝවඃ දෙවියන්වහන්සේ කිසිදාක දූවිලි වැනි මනුෂ්‍යයන්ට ඉඩ දෙන්නේ නැත. ක්‍රිස්තියානි ව්‍යවස්ථාව අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීන් අතර ප්‍රබල බලපෑමක්ව පවතින අතර, ඒ අනුව ජීවත්වීමේ ඉමහත් වරප්‍රසාදය මේ අය සතුය. එහෙත් යුදෙව්වාදය හා ක්‍රිස්තියානි ලෝකය දිව්‍ය නීතියට කළ දෙය පරීක්ෂා කර බැලීමෙන් පසු, අපට මෙම අදහස පහළ විය හැක: ‘දිව්‍ය නීතිවල නියම ස්වභාවය දුර්වල කරන මිනිස් තර්ක හා නීති මගින් දේවවචනය දූෂණය කිරීමේ උගුලට හසු නොවී, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාට අනුව අප ජීවත් වන්නේ කොහොමද? ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අදදින අප තුළ පැලපදියම් කළ යුත්තේ කුමන සමබර අදහසද?’ මීළඟ ලිපිය මෙම ප්‍රශ්නවලට උත්තර සාකච්ඡා කරයි.
[පාදසටහන්වල]
a බොහෝදුරට අදදින පවතින යුදෙව්වාදයට ඵරිසිවරුන් වගකිව යුතු අතර, යුදෙව්වාදයේ සබත් දවස සඳහා අමතරව පනවා ඇති සීමා තහංචි රාශියෙන් බේරීමට ක්‍රම බොහොමයක් තවමත් යොදාගැනීම පුදුමයට හේතුවක් නොවේ. උදාහරණයක් හැටියට, සබත් දවසක සම්ප්‍රදායික යුදෙව් රෝහලකට යන කෙනෙකු ආරෝහකයකට නඟින විට, එය සෑම මහලකම නතර වන බව ඔහුට පෙනී යනවා ඇත; එසේ වන්නේ ආරෝහකය ක්‍රියා කරවන බොත්තම එබීමේ පව්කාර “ක්‍රියාවෙන්” වැළකී සිටීමට මඟීන්ට හැකි වන පරිද්දෙනි. ඇතැම් සම්ප්‍රදායික යුදෙව්වාදී වෛද්‍යවරුන් වට්ටෝරු ලියන්නේ දින කිහිපයකින් මැකී යන තීන්ත පාවිච්චි කරමිනි. ඒ ඇයි? ලිවීම “ක්‍රියාවක්” හැටියට මිෂ්නාහි වර්ග කර තිබෙන නමුත්, “ලිවීම” විස්තර කර තිබෙන්නේ කල්පවතින සලකුණක් තබායන දෙයක් හැටියටයි.
b කැල්වින්ගේ දේවවේදී මත සමහරකට විරෝධය පෑ සර්වීටස්ව මිථ්‍යා ලබ්ධිකයෙකු හැටියට කණුවක එල්ලා පුලුස්සන ලදි.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවේ නියම ස්වභාවය කුමක්ද?
◻ යේසුස්වහන්සේ ඉගැන්වූ ආකාරය ඵරිසිවරුන්ගේ ක්‍රමයට වඩා වෙනස් වූයේ කෙසේද?
◻ ක්‍රිස්තියානි ලෝකය දූෂ්‍ය කිරීමට සාතන් දැඩි නීති සෑදීමේ ස්වභාවයක් උපයෝගි කළේ කෙසේද?
◻ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජීවත්වීමෙන් ලබන ඒකාන්ත බලපෑම් සමහරක් මොනවාද?
[16වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව සාධාරණව හා දයාන්විතව අදාළ කළසේක