31වන පරිච්ඡේදය
‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වනු ඇත’
1-3. (අ) දෙමාපියන් හා තමන්ගේ ළදරුවන් අතර තිබිය හැකි ජන්මික බැඳීම නිරීක්ෂණය කිරීමෙන් අපට මිනිස් ස්වභාවය ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) යමෙක් අපට ප්‍රේමය පෙන්වන විට, ස්වාභාවිකව සිදු වන ක්‍රියාවලිය කුමක්ද? අපට කිනම් වැදගත් ප්රශ්නය අපගෙන්ම ඇසිය හැකිද?
තම අලුත උපන් කිරිකැටි බිලිඳා සිනාසෙනවා දකින්න දෙමාපියන් කොච්චර ආසද! බොහෝ විට ඔවුන් තම කිරිකැටියාගේ මුහුණට මුහුණ ළං කර තෙපලන්නේ, සිනාමුසු මුහුණින් හුරතල් කරන්නේ, හරිම සෙනෙහසකින්. ඔවුන් දැන් හරි ආසාවෙන් බලා සිටින්නේ මේ සියුමැළියාගේ මුහුණිනුත් සිනාවක් මතු වෙන කල්. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා, ඔන්න දරුවාගේ මුහුණේ ලස්සන හිනාවක් පිපිලා. හරියට අලුත පිපුණු මලක් වගේ. ඔව්, කම්මුල් වළ ගැහී, මල් කැකුළක් වන් පුංචි තොල් පෙති ඇරී ලස්සන හිනාවක් මතු වෙලා. මේ සියුමැළි කිරිකැටියාගේ හිනහව, දෙමාපියන්ගේ ආදරයට පෙරළා ප්‍රතිචාරය දක්වමින් පළමුවෙන්ම දෙන පුංචි තෑග්ගක් වගේ.
2 මේ සිඟිත්තාගේ සිනහවෙන් අපට මතක් කර දෙන්නේ මිනිස් ස්වභාවයේ තිබෙන වැදගත් දෙයක්. ප්‍රේමයට අපි දක්වන ස්වාභාවික ප්‍රතිචාරය නම්, අපිත් පෙරළා ප්‍රේම කිරීමයි යන්න එය අපට මතක් කර දෙනවා. සරලව කියනවා නම්, අපව සාදා ඇති විදිහ ඒකයි. (ගීතාවලිය 22:9) අප වැඩෙත්ම, පෙරළා ප්‍රේමය පෙන්වීමට අපට ඇති හැකියාවද වැඩෙයි. ඔබේ දෙමාපියන්, නෑදෑයන් හෝ මිතුරන් ඔබේ බාල වියේ සිටම ඔබට ප්‍රේමය පළ කළ අන්දම සමහරවිට ඔබට මතක ඇති. ඔබේ හදවතේ උණුසුම් හැඟීම් මුල් බැස, වර්ධනය වී ක්‍රියාවන් බවට පෙරළුණා. ඔබට ප්‍රේම කළ අයට ඔබ පෙරළා ප්‍රේම කළා. යෙහෝවා දෙවි සමඟ තිබෙන ඔබේ සම්බන්ධතාවටත් සිදු වෙමින් තිබෙන්නේ එයමද?
3 බයිබලය මෙසේ කියයි. “අප ප්‍රේම කරන්නේ, ඔහු පළමුකොට අපට ප්‍රේම කළ නිසාය.” (1 යොහන් 4:19) මෙම පොතේ 1වන කොටසේ සිට 3වන කොටස දක්වා ඔබට මතක් කරනු ලැබුවා, යෙහෝවා දෙවි සිය බලය, සිය යුක්තිය සහ සිය ප්‍රඥාව ප්‍රේමනීය අන්දමින් ක්‍රියාත්මක කරන්නේ ඔබගේම ප්‍රයෝජනයට බව. ඉන්පසු, ඔහු සිය ප්‍රේමය, මිනිස් සංහතියට ඒ වගේම පෞද්ගලිකව ඔබට ඍජු අන්දමින් ප්‍රකාශ කර තිබෙන බව ඔබ 4වන කොටසෙහි දුටුවා. දැන් ප්‍රශ්නයක් පැන නඟිනවා. එක්තරා අන්දමකින්, එය ඔබට ඔබෙන්ම ඇසිය හැකි ඉතා වැදගත්ම ප්රශ්නයයි. ‘යෙහෝවාගේ ප්‍රේමයට ප්‍රතිචාරය දැක්වීමට මට හැක්කේ කොහොමද?’
දෙවිට ප්‍රේම කරනවා යන්නෙන් අදහස් කරන දෙය
4. දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දෙය ගැන මිනිසුන් වියවුල්සහගත වී සිටින්නේ කෙබඳු ආකාරයෙන්ද?
4 ප්‍රේමයේ ආරම්භකයාණන් වන යෙහෝවා හොඳින්ම දන්නවා අනුන් තුළ තිබෙන හොඳම ගුණාංග පිටතට ඇදගැනීමට ප්‍රේමයට ඉමහත් බලයක් තිබෙන බව. අවිශ්වාසවන්ත මිනිස් සංහතිය දිගින් දිගටම කැරලි ගැසුවත්, ඇතැම් මනුෂ්‍යයන් තමාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දක්වයි යන විශ්වාසය ඇතුවයි ඔහු කටයුතු කර ඇත්තේ. ඇත්ත වශයෙන්ම, මිලියන ගණනක් දෙනා එලෙස දේව ප්‍රේමයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. එසේ වුණත්, කනගාටුවට කරුණක් තමයි, මේ දුෂ්ට ලෝකයේ ආගම් විසින් දෙවිට ප්‍රේම කිරීම කීමෙන් අදහස් කරන දෙය පිළිබඳව වියවුල්සහගත තත්වයක් ඇති කරමින් ජනයාව අතරමං කොට තිබීම. තමන් දෙවිට ප්‍රේම කරන බව කියන ජනයාගේ ගණන අසංඛ්යාතයි. නමුත් පෙනෙන්නට තිබෙන්නේ එවන් ප්‍රේමයක් හුදෙක් වචනයට පමණක් සීමා වූ හැඟීමක් බව ඔවුන් සිතන බවයි. දෙවිට ඇති වන ප්‍රේමය ආරම්භ වන්නේ, හරියට කුඩා සිඟිත්තෙකු තම දෙමාපියන්ට පෙරළා ආදරය පෙන්වන ඒ සියුමැළි සිනහව වගේමයි. කෙසේවෙතත්, මේරූ වැඩිහිටියන් දක්වන ප්‍රේමයට ඊටත් වඩා බොහෝ දේ ඇතුළත් වෙනවා.
5. දෙවිට ප්‍රේම කිරීම යන්න දේවවචනයේ නිර්වචනය කර තිබෙන්නේ කොහොමද? එම නිර්වචනයට අපගේ සිත් ඇදී යා යුත්තේ ඇයි?
5 තමන්ට ප්‍රේම කරනවා යන්නෙන් අදහස් කරන දෙය යෙහෝවාම නිර්වචනය කරනවා. ඔහුගේ වචනයේ පවසන්නේ මෙයයි. “දෙවිට ප්‍රේමවීම නම්, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.” එසේ නම්, දෙවි සඳහා වූ ප්‍රේමය ක්‍රියාවෙන් ප්‍රකාශ කළ යුතුයි. කීකරු වෙනවා යන සිතිවිල්ල පවා බොහෝදෙනෙකුගේ සිත්ගන්නේ නැති බව ඇත්තයි. නමුත් එම බයිබල් ඡේදයට මෙම කාරුණික වදන්ද එකතු කර තිබෙනවා. එහෙත් “[දෙවිගේ] ආඥා බර නැත.” (1 යොහන් 5:3) යෙහෝවාගේ ආඥා සහ ප්‍රතිපත්ති සකස් කර තිබෙන්නේ අපව පීඩනයට ලක් කිරීමට නොව, අපට ප්‍රයෝජනය ගෙන දීමටයි. (යෙසායා 48:17, 18) අපව දෙවිට ළං කිරීමට මහෝපකාරි වන ප්රතිපත්තිවලින් දේවවචනය පිරී තිබෙනවා. ඒ කොහොමද? දැන් අපි දෙවි සමඟ ඇති අපගේ සම්බන්ධතාවේ පැති තුනක් ගැන සලකා බලමු. කතා කිරීම, නමස්කාරය හා අනුකරණය මීට ඇතුළත්.
යෙහෝවා සමඟ කතා කිරීම
6-8. (අ) යෙහෝවාට සවන් දීමට අපට හැක්කේ කිනම් මාර්ගයෙන්ද? (ආ) අප ශුද්ධ ලියවිලි කියවන විට එයට පණ දිය හැක්කේ කොහොමද?
6 “දෙවි සමඟ සංවාදයක නියැලී සිටිනවා ඔබට සිතාගන්ට පුළුවන්ද?” පළවෙනි පරිච්ඡේදය ආරම්භ වූයේ ඒ ප්රශ්නය සමඟිනුයි. එය හුදෙක් කල්පිත, කිසිදා සැබෑ නොවන සංකල්පයක් නොවන බව අපි දුටුවා. ඇත්ත වශයෙන්ම, මෝසෙස් ඒ අන්දමේ සංවාදයක් පැවැත්තුවා. අප ගැන කුමක් කිව හැකිද? දැන් නම් මිනිසුන් සමඟ කතා කිරීමට යෙහෝවා දේවදූතයන්ව එවන කාලය නොවෙයි. නමුත් යෙහෝවාට අදදින අප සමඟ කතා කළ හැකි ඉතා කදිම මාර්ගයක් තිබෙනවා. යෙහෝවාට සවන් දීමට අපට හැක්කේ කොහොමද?
7 “දේවානුභාවයෙන් . . . මුළු ලියවිල්ල” ලැබී තිබෙන නිසා, අප යෙහෝවාට සවන් දෙන්නේ ඔහුගේ වචනය වන බයිබලය කියවීමෙනුයි. (2 තිමෝති 3:16) මෙසේ, ගීතිකාකරු යෙහෝවාගේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ “රෑ දාවල්” එවන් කියවීමක් කරන ලෙසටයි. (ගීතාවලිය 1:1, 2) එසේ කිරීමට අපගේ පැත්තෙන් සැලකිය යුතු ප්රයත්නයක් අවශ්‍ය කරනවා. නමුත් ඒ විදිහට අප ගන්නා ඕනෑම උත්සාහයක් හුඟක් වටිනවා. අප 18වන පරිච්ඡේදයේදී දුටුවාක් මෙන්ම, බයිබලය යනු අපගේ ස්වර්ගික පියාණන් වෙතින් අප ලද වටිනා ලිපියක් වගෙයි. එමනිසා එය කියවීම නිකම්ම පුරුද්දකට කරන නිරස කාර්යයක් නොවිය යුතුයි. අප ශුද්ධ ලියවිල්ල කියවන විට එයට අපි පණ දිය යුතුයි. අපට එසේ කළ හැක්කේ කොහොමද?
8 ඔබ කියවන බයිබල් වාර්තාව සිතේ මවාගන්න. බයිබල් චරිත සැබෑ මිනිසුන් මෙන් දකින්නට වෑයම් කරන්න. ඔවුන්ගේ පසුබිම, තත්වයන් හා චේතනාවන් වටහාගැනීමට උත්සාහ කරන්න. අනතුරුව, ඔබ කියවා ඇති දෙය ගැන ගැඹුරින් සිතන්න. මෙවන් ප්‍රශ්න ඔබෙන්ම අසමින් ඔබට එසේ කරන්නට පුළුවන්. ‘මට මේ වාර්තාවෙන් යෙහෝවා ගැන ඉගෙනගන්නට පුළුවන් මොනවාද? මට මේ තුළින් දකින්නට හැක්කේ ඔහුගේ මොන ගුණාංගද? යෙහෝවාට වුවමනා වන්නේ මා විසින් කුමන මූලික ප්‍රතිපත්තිය ඉගෙනගන්නවාටද? ඒ වගේම මට ඒ දෙය මගේ ජීවිතයේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් කොහොමද?’ ඔබ දේවවචනය කියවා, මෙනෙහි කර, අදාළ කරගන්නා විට, ඔබ වෙනුවෙන් දේවවචනයට පණ එයි.—ගීතාවලිය 77:12; යාකොබ් 1:23-25.
9. “විශ්වාස වූ නුවණ ඇති දාසයා” කවුද? අප එම ‘දාසයාට’ හොඳ අවධානයකින් යුතුව සවන් දීම වැදගත් වන්නේ ඇයි?
9 ඒ වගේම යෙහෝවා “විශ්වාස වූ නුවණ ඇති දාසයා” මගින්ද අපට කතා කරනවා. යේසුස් පුරෝකථනය කළාක් මෙන්ම, මෙම අර්බුදකාරි අන්තිම දවස් අතරතුරේදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ පංතියක් ‘නිසි වේලාවට ආත්මික කෑම’ සැපයීම සඳහා පත් කොට තිබෙනවා. (මතෙව් 24:45-47) බයිබලය පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම සඳහා උපකාර කිරීම පිණිස පිළියෙළ කර ඇති පොත් පත් අප කියවන විටද, අප ක්‍රිස්තියානි රැස්වීම් හා සමුළුවලට යන විටද, අපව එම දාස පංතිය විසින් ආත්මිකව පෝෂණය කරනු ලබනවා. එම දාසයා ක්‍රිස්තුස්ගේ දාසයා වන බැවින්, අපි යේසුස්ගේ මෙම වදන් ඥානවන්ත ලෙස අදාළ කරගනිමු. “ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න.” (ලූක් 8:18, NW) අප හොඳ අවධානයකින් සවන් දෙමු. මන්ද අප පිළිගන්නවා දාස පංතිය යනු යෙහෝවා අපට කතා කරන එක් මාධ්‍යයක් බව.
10-12. (අ) යාච්ඤාව යනු යෙහෝවාගෙන් ලැබී ඇති පුදුමාකාර ත්‍යාගයක් වනුයේ ඇයි? (ආ) යෙහෝවාව සතුටු කරන ආකාරයට යාච්ඤා කිරීමට අපට හැක්කේ කොහොමද? ඔහු අපගේ යාච්ඤා අගය කරන බවට අපට සහතික විය හැක්කේ ඇයි?
10 නමුත් දෙවිට කතා කිරීම ගැන කුමක් කිව හැකිද? යෙහෝවාට කතා කරන්නට අපට පුළුවන්ද? ඒ ගැන සිතීම අප තුළ ඇති කරවන්නේ ගරුබිය දනවන සිතිවිල්ලක්. ඔබගේ පෞද්ගලික කාරණයක් ගැන ඔබ ඔබේ රටේ සිටින බලවත්ම පාලකයා සමඟ කතා කරන්නට උත්සාහ කළා නම්, ඊට අවස්ථාවක් සලසාගැනීමට හැකියාවක් ලැබීමට ඇති ඉඩ කඩ කුමක්ද? ඇතැම් විට, ඒ සඳහා උත්සාහ කිරීමත් අන්තරාදායක දෙයක් වනු ඇති! එස්තර් සහ මොර්දෙකයිගේ කාලයේදී, යම් පුද්ගලයෙක් රජ වාසලෙන් ආරාධනයක් නැතුව පර්සියානු අධිරාජ්‍යයා වෙතට ළංවීමට උත්සාහ දැරීම එම තැනැත්තා මරණයට පත්වීමට හේතුවක් වුණා. (එස්තර් 4:10, 11) විශ්වයේ පරමාධිපති ස්වාමීන් ඉදිරියට පැමිණීම ගැන දැන් සිතා බලන්න. ඔහු හා සසඳන කල, ප්රබලතම මිනිස් පාලකයන් පවා “පළඟැටියන් වැනිය.” (යෙසායා 40:22) අප ඔහු වෙතට ළඟාවීමට භය විය යුතුද? කොහෙත්ම නැහැ!
11 යෙහෝවා අපහට ඔහු වෙතට ළඟාවීම සඳහා විවෘත වූ, එහෙත් ඉතා සරල වූ ක්‍රමයක් දී තිබෙනවා. ඒ තමයි, යාච්ඤාව. කුඩා දරුවෙකුට වුණත් යෙහෝවාට ඇදහිල්ලෙන් යුතුව යාච්ඤා කරන්නට පුළුවනි. එය කළ යුත්තේ යේසුස්ගේ නාමයෙන්. (යොහන් 14:6; හෙබ්‍රෙව් 11:6) මීට අමතරව, අප තුළ තිබෙන ඉතා සංකීර්ණ, ඉතා පෞද්ගලික වූ සිතිවිලි හා හැඟීම්ද යාච්ඤාව මගින් දැනුම් දෙන්නට අපට හැකියි. අපට වචනවලට පෙරළාගන්නට අමාරු වේදනාකාරි සිතිවිලි පවා යාච්ඤාවෙන් දැනුම් දෙන්නට හැකියි. (රෝම 8:26) ඉතා චතුර වූ, මිහිරි වචනවලින් හෝ වචන බහුල වූ දිගු යාච්ඤාවලින් යෙහෝවාගේ සිත්ගැනීමට උත්සාහ කිරීම නම් නිෂ්ඵල ක්‍රියාවක්. (මතෙව් 6:7, 8) අනෙක් අතට, අපට ඔහු සමඟ කොපමණ වේලාවක් හෝ කොපමණ වාර ගණනක් කතා කරන්නට පුළුවන්දැයි කියා යෙහෝවා යම් සීමාවන් පනවා නැහැ. ඒ වෙනුවට, ඔහුගේ වචනය අපට ආරාධනා කරන්නේ “නොකඩවා යාච්ඤා කරන්න” කියායි.—1 තෙසලෝනික 5:17.
12 යෙහෝවාව පමණක් “යාච්ඤා අසන තැනැත්තා” ලෙස හඳුන්වා තිබෙන බව මතක තබාගන්න. ඇරත් ඔහු අපට සවන් දෙන්නේ අව්‍යාජ සංවේදනයක් ඇතුවයි. (ගීතාවලිය 65:2) ඔහු සිය විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලට ඔහේ ඇහුම්කන් දීගෙන සිටිනවාද? නැහැ. ඔහු ඔවුන්ගේ යාච්ඤාවලින් ඇත්තටම යම් සතුටක්ද ලබනවා. ඔහුගේ වචනය තුළ එවන් යාච්ඤා සසඳා තිබෙන්නේ සුවඳ දුම්වලටයි. ඔව්, සුගන්ධ ද්‍රව්‍ය දහනය වන විට ඉහළට ඇදී යන සමඟි කරවනසුලු මිහිරි සුවඳ දුම්වලටයි. (ගීතාවලිය 141:2; එළිදරව් 5:8; 8:4) අපගේ අවංක යාච්ඤාද ඒ හා සමානව පරමාධිපති ස්වාමීන්ව සතුටු කරන බව දැනගන්න ලැබීම සැනසීමක් නොවේද? ඔබට යෙහෝවාට ළං වන්නට වුවමනා නම්, ඔහුට නිතරම, සෑමදාම යාච්ඤා කරන්න. ඔබේ හදවත ඔහුට වගුරුවන්න. කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව වගුරුවන්න. (ගීතාවලිය 62:8) ඔබ උනන්දු වෙන දේවල් ගැන, ඔබ ප්‍රීති වන දේවල් ගැන, ඔබගේ කෘතඥතාව, ඔබගේ ප්‍රශංසාව යන මේ සියල්ල ඔබගේ ස්වර්ගික පියාණන් සමඟ බෙදාගන්න. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබ සහ ඔහු අතර තිබෙන බන්ධනය වෙන කවරදාටත් වඩා වැඩි වේවි.
යෙහෝවාට නමස්කාර කිරීම
13, 14. යෙහෝවාට නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේ කිරීම සුදුසු වන්නේ ඇයි?
13 අප යෙහෝවා සමඟ කතා කරන විට, අප මිතුරෙකු හෝ නෑදෑයෙක් සමඟ කරන්නාක් මෙන් නිකම්ම සවන් දෙනවා සහ කතා කරනවා නොවේ. අප ඇත්තටම මෙහිදී කරන්නේ යෙහෝවාට නමස්කාර කිරීමක්. අප මෙය කරන්නේ ඔහු බොහෝ සෙයින් ලැබීමට වටිනා නිසි ගෞරවය හා මහිමය ඔහුට පුදකරමිනුයි. සැබෑ නමස්කාරය වටා අපගේ මුළු ජීවිතයම බැඳී පවතිනවා. අප මුළු ආත්මයෙන් පුදන ප්‍රේමය හා භක්තිය යෙහෝවාට පළ කරන ක්‍රමය එයයි. තවද ස්වර්ගයෙහි සිටින අය වේවා පොළොව මත සිටින අය වේවා යෙහෝවාගේ මුළු විශ්වාසවන්ත මැවිල්ලම සැබෑ නමස්කාරය මගින් එකට එක්සත් වී සිටිනවා. ප්‍රේරිත යොහන් දුටු දර්ශනයක් තුළ එක්තරා දේවදූතයෙක් මෙසේ අණ කරනවා ඇසුණා. “අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න.”—එළිදරව් 14:7.
14 අප යෙහෝවාට නමස්කාර කළ යුත්තේ ඇයි? අප මෙම පොත තුළ සාකච්ඡා කර තිබෙන ගුණාංග ගැන සිතන්න. ශුද්ධකම, බලය, ආත්ම දමනය, යුක්තිය, ධෛර්යය, දයාව, ප්‍රඥාව, යටහත් පහත්කම, ප්‍රේමය, දයානුකම්පාව, පක්ෂපාතකම සහ යහපත්කම වැනි ගුණාංග ගැන අප සාකච්ඡා කළා. මේ අතිඅනර්ඝ සෑම ගති ලක්ෂණයකම ඉහළම මුදුන් පෙත්තේ සිටින්නේ යෙහෝවා බව අප දුටුවා. ඔහුගේ ගුණාංගවල සමස්ත එකතුව වටහාගැනීමට අප උත්සාහ කරන විට අප දකින්නේ, ඔහු උතුම්, සම්භාවනීය, උසස් පුද්ගලයන්ටත් වඩා ඉඳුරාම ශ්‍රේෂ්ඨ කෙනෙකු බවයි. එමෙන්ම මෙතෙක් කියා කිව නොහැකි තරමින් ඔහු අපට වඩා බොහෝ උසස් වූ අධිකතර මහිමයෙන් සපිරි තැනැත්තා බවයි. (යෙසායා 55:9) යෙහෝවා අපගේ එකම එක පරමාධිපතියාණෝය. ඒ ගැන වචන දෙකක් නැහැ. ඔහු සහතික ලෙසම අපගේ නමස්කාරය ලැබීමට වටී. එහෙත්, අප යෙහෝවාට නමස්කාර කළ යුත්තේ කොහොමද?
15. යෙහෝවාට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට අපට හැක්කේ කොහොමද? ක්‍රිස්තියානි රැස්වීම්වලින් අපට ලැබෙන ප්‍රස්තාව කුමක්ද?
15 යේසුස් මෙසේ පැවසුවා. “දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.” (යොහන් 4:24) ඉන් අදහස් කරන්නේ යෙහෝවාගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබමින් පූර්ණ ඇදහිල්ලකින් හා ප්‍රේමයකින් පිරි හදවතකින් ඔහුට නමස්කාර කිරීමයි. එලෙසින්ම දේවවචනයේ සොයාගත හැකි නිවැරදි දැනුම වූ සත්‍යතාවට එකඟව නමස්කාර කිරීමද ඉන් අදහස් කරනවා. අප සෙසු නමස්කාරකයන් සමඟ එකට රැස් වන සෑම අවස්ථාවකම අපට යෙහෝවාට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට අනගි අවස්ථාවක් සැලසෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) අප යෙහෝවාට ගීතිකාවලින් ප්‍රශංසා කරන විට, ඔහුට කරන යාච්ඤාවලදී එක්සත් වන විට, ඔහුගේ වචනයට සවන් දෙන විට සහ එය සාකච්ඡා කරද්දී ඊට සහභාගි වන විට, නිර්මල නමස්කාරය තුළ ඔහු සඳහා ඇති අපේ ප්‍රේමය අපි ප්‍රකාශ කරන්නෙමු.
16. සැබෑ ක්‍රිස්තියානීන් මත පනවා ඇති උතුම්ම ආඥා අතුරින් එකක් නම් කරන්න. ඊට කීකරු වීමට අප තුළ ප්‍රබල පෙලඹීමක් ඇති වන්නේ ඇයි?
16 ඒ වගේම අප යෙහෝවා ගැන අනුන්ට කතා කරන විටද, ප්‍රසිද්ධියේ ඔහුව ප්‍රශංසාවට ලක් කරන විටද අපි ඔහුට නමස්කාර කරන්නෙමු. (හෙබ්‍රෙව් 13:15) ඇත්ත වශයෙන්ම, යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමද සැබෑ ක්‍රිස්තියානීන් මත පනවා ඇති උතුම් ආඥා අතුරින් එකක්. (මතෙව් 24:14) අප ඉතා කැමැත්තෙන් හා උනන්දුවෙන් ඊට කීකරු වන්නේ අප යෙහෝවාට ප්‍රේම කරන නිසාය. “දැන් පවතින ක්රමයේ දෙවියා” වන සාතන් නමැති යක්ෂයා “නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ” කර තිබෙනවා. ඒ වගේම යෙහෝවා ගැන ඉතා ද්වේෂ සහගත බොරු කියා තිබෙනවා. එවන් අපහාසයන් නිවැරදි කරමින් අපගේ දෙවි වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස සේවය කිරීමට අප ඉතා ආශාවක් දක්වන්නේ නැද්ද? (2 කොරින්ති 4:4, NW; යෙසායා 43:10-12) අප යෙහෝවාගේ මවිතාකාර ගුණාංග ගැන කල්පනා කරන විට, ඔහු ගැන අනුන්ට කතා කිරීමට අප තුළ දැවෙන ආශාවක් ජනිත වන්නේ නැද්ද? ඇත්තෙන්ම, අපගේ ස්වර්ගික පියාණන්ව දැනගෙන ඔහුට ප්‍රේම කිරීමට අපත් උත්සාහ කරන අතරේදී එසේම කිරීමට අනුන්ටද උපකාර කිරීම තරම් උතුම් වරප්‍රසාදයක් තිබෙන්නට බැරිය.
17. යෙහෝවාට කරන අපගේ නමස්කාරයට ඇතුළත් වන්නේ කුමක්ද? අප අඛණ්ඩතාවෙන් යුතුව නමස්කාර කළ යුත්තේ ඇයි?
17 යෙහෝවාට කරන අපගේ නමස්කාරයට ඊටත් වඩා දේවල් ඇතුළත් වෙනවා. එය අපේ ජීවිතයේ සෑම පැත්තක් සිසාරාම දිවෙනවා. (කොලොස්සි 3:24) අප යෙහෝවා අපගේ පරමාධිපති ස්වාමියා ලෙස සැබවින්ම පිළිගන්නවා නම්, අපගේ ජීවිතයේ සෑම දෙයකදීම, එනම්, අපේ පවුල් ජීවිතයේදී, අපේ රැකියාවේදී, වෙනත් අය සමඟ කටයුතු කරද්දී හා අප පෞද්ගලිකව ගත කරන කාලයේදී අප උත්සාහ කරනු ඇත්තේ ඔහුගේ කැමැත්ත කිරීමටයි. එමෙන්ම අප යෙහෝවාට “සම්පූර්ණ සිතකින්” අඛණ්ඩතාවෙන් යුතුව සේවය කිරීමට උත්සාහ කරනවා ඇති. (1 ලේකම් 28:9) අප එවන් නමස්කාරයක යෙදී සිටිනවා නම්, බෙදුණු සිතකින් ක්‍රියා කරන්න හෝ දෙබිඩි ජීවිතයක් ගත කරන්න කිසිම ඉඩක් නැහැ. යෙහෝවාට සේවය කරන බව පිටතින් පෙන්වන අතරම, රහසින් බරපතළ පව් කරමින් කුහකකමින් ජීවත් වෙන්නට අපට බැහැ. අඛණ්ඩතාව රැකීමේදී එවන් කුහකකමක් කොහෙත්ම ප්‍රදර්ශනය කරන්නට බැහැ. ප්‍රේමය තිබෙනවා නම් එවැනි සිතිවිල්ලක් පවා සිතේ පහළ වීම පිළිකුල්සහගතයි. තවද දේවභයද මේ වගේම උපකාර වන දෙයක්. එවන් ගෞරවය මුසු භයක් තිබෙනවා නම්, එය යෙහෝවා සමඟ අපට තබාගත හැකි අඛණ්ඩ සමීප සම්බන්ධතාවට බලපාන බව බයිබලය අපට කියනවා.—ගීතාවලිය 25:14.
යෙහෝවාව අනුකරණය කිරීම
18, 19. අසම්පූර්ණ මිනිසුන්ට යෙහෝවා දෙවිව අනුකරණය කරන්නට හැකි බව සිතීම යථාර්ථවාදී යමක් වන්නේ ඇයි?
18 මෙම පොතේ සෑම කොටසක්ම අවසන් කර ඇත්තේ, ‘ප්‍රේමනීය දරුවන් මෙන් දෙවිව අනුකරණය කරන’ අන්දම ගැන කියා දෙන පරිච්ඡේදයකින්. (එපීස 5:1, NW) අප අසම්පූර්ණ වුවද, බලය පාවිච්චි කිරීමේදී, යුක්තිය ඉෂ්ට කිරීමේදී, ප්‍රඥාවෙන් ක්‍රියා කිරීමේදී සහ ප්‍රේමය පෙන්වීමේදී අපට යෙහෝවාගේ පරිපූර්ණ මාර්ග සැබවින්ම අනුකරණය කළ හැකි බව අප විසින් මතක තබාගැනීම අතිශයින් වැදගත්. සර්ව බලධාරී තැනැත්තාව අනුකරණය කිරීම ඇත්තටම කළ හැකි දෙයක් බව අප දන්නේ කොහොමද? යෙහෝවා තම අරමුණ ඉටු කිරීම පිණිස තම කැමැත්ත පරිදි ඕනෑම දෙයක් සිදුවීමට සලස්වන බවත්, ඕනෑම කෙනෙකු බවට පත් වන බවත් ඔහුගේ නාමයේ තේරුමෙන් අපට උගන්වන බව මතක තබාගන්න. එවන් හැකියාවක් නිසා අප තුළ ගරු බියක් ඇතිවීම සාධාරණ නැද්ද? නමුත් ඇත්තටම අප විසින් ඔහුව අනුකරණය කිරීම මුළුමනින්ම අපට හිතාගන්නට බැරි දෙයක්ද? නැහැ.
19 අපව සාදා තිබෙන්නේ දෙවිගේ ස්වරූපයෙන්. (උත්පත්ති 1:26) මේ නිසා, පොළොවේ වෙසෙන වෙනත් මැවිලිවලට වඩා මිනිසුන් වෙනස්. අප පෙලඹෙන්නේ, සහජ ඉවෙන්වත්, ජාන ලක්ෂණවලින්වත්, අප වෙසෙන පරිසරයේ යම් යම් සාධක මගින්වත් නොවේ. යෙහෝවා අපට ඉතා වටිනා දීමනාවක් දී තිබෙනවා. එය නම් නිදහස් කැමැත්තයි. අපට තිබෙන සීමාවන් සහ අසම්පූර්ණකම් මොනවා වුවත්, අප කොයි වගේ කෙනෙකු බවට පත් වනවාද යන්න තෝරාගැනීමට අපට නිදහස තිබෙනවා. ප්‍රේමනීය, ප්‍රඥාවන්ත, බලය නිසි ලෙස පාවිච්චි කරන යුක්තිසහගත පුද්ගලයෙකු වීමට ඔබට වුවමනාද? යෙහෝවාගේ ආත්මයට ස්තුතිවන්ත වන්නට, ඔබට හරියටම ඒ වගේම විය හැකියි! එමගින් ඔබට කිරීමට හැකි වන යහපත ගැන සිතා බලන්න.
20. යෙහෝවාව අනුකරණය කරන විට අප ඒ මගින් ඉටු කරන යහපත කුමක්ද?
20 ඔබට ඔබේ ස්වර්ගික පියාණන්ගේ හදවත ප්‍රීති කරමින් ඔහුව සතුටු කළ හැකියි. (හිතෝපදේශ 27:11) ඒ වගේම යෙහෝවාව “සියලු ආකාරයෙන් ප්‍රසන්න” කිරීමටත් ඔබට හැකියි. මන්ද යෙහෝවා ඔබේ සීමා දන්නවා. (කොලොස්සි 1:9, 10, 12ආ) ඔබගේ දයාබර පියාණන්ව අනුකරණය කරමින් හොඳ ගුණාංග ඔබ විසින් දිගටම වර්ධනය කරගන්නවාත් සමඟම, මහත් වරප්‍රසාද සමඟින් ඔබ ආශීර්වාද ලබනු ඇති. දෙවිගෙන් ඈත් වූ මේ ඝනාන්ධකාර ලෝකයේ ඔබ ආලෝකය දරන්නෙකු වනු ඇති. (මතෙව් 5:1, 2, 14) යෙහෝවාගේ මහිමාන්විත පෞද්ගලිකත්වයේ යම් විදහාපෑම් පොළොව සිසාරා ව්‍යාප්ත කිරීමට ඔබ දායක වනවා ඇති. එය මොනතරම් ගෞරවයක්ද!
‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වනු ඇත’
21, 22. යෙහෝවාට ප්‍රේම කරන සියල්ලන් ඉදිරියේ තිබෙන නිමා නොවන දිගු ගමන කුමක්ද?
21 යාකොබ් 4:8හි වාර්තා කර ඇති මෙම සරල අවවාදය, ඉලක්කයකට වඩා වැඩි යමක්. එය දිගු ගමනක්. අප විශ්වාසවන්තව රැඳී සිටින තාක් කල්, එම ගමන කවදාවත් නිම වෙන්නේ නැහැ. යෙහෝවාට තව තවත්, ඔව් තව තවත් ළංවීම අප කිසිදා නතර කරන්නේ නැහැ. ඇත්තෙන්ම, අපට ඔහු ගැන ඉගෙනගත හැකි තව බොහෝ දේවල් සෑම විටම තිබේවි. යෙහෝවා ගැන ඉගෙනගැනීමට තිබෙන සියල්ල මේ පොතෙන් අප ඉගෙනගත්තා කියා අප නොසිතිය යුතුයි. අපගේ දෙවි ගැන බයිබලය පවසන සියලු දේ අපි සාකච්ඡා කරන්නට යන්තම් පටන්ගත්තා විතරයි! යෙහෝවා ගැන ඉගෙනගත හැකි සියල්ලම බයිබලයේ අපට උගන්වන්නේ නැහැ. ප්‍රේරිත යොහන් නිගමනය කළේ යේසුස් සිය භූමික දේවසේවයේදී කළ සියල්ල ලියන්නට ගියා නම්, “ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදි” කියායි. (යොහන් 21:25) ඒ වගේ දෙයක් පුත්‍රයා ගැන කියන්නට සිදු වුණා නම්, පියා ගැන කොච්චර දේවල් කියන්නට තියෙයිද!
22 සදාකාල ජීවිතය තුළ පවා යෙහෝවා ගැන දැනගැනීම අපට නිම කරන්නට බැරි වේවි. (දේශනාකාරයා 3:11) එසේ නම්, අප ඉදිරියේ තිබෙන අපේක්ෂාව ගැන සිතා බලන්න. අවුරුදු සිය ගණනක්, දහස් ගණනක්, මිලියන ගණනක් හෝ බිලියන ගණනක් පවා අප ජීවත් වුණායින් පසුව, අප දැන් දන්නවාට වඩා බොහෝ බොහෝ දේවල් යෙහෝවා දෙවි ගැන දැනගනීවි. එහෙත්, තව තවත් පුදුමාකාර දේවල් අසංඛ්යාතයක් දැනගන්නට තිබෙන බව අපට හැඟේවි. තව තවත් දේවල් ඉගෙනගන්නට අපට මහත් උනන්දුවක් තිබේවි. මන්ද මෙසේ ගැයූ ගීතිකාකරු මෙන් හැඟෙන්නට අපට සෑම විටම ඕනෑ තරම් හේතු තිබේවි. “දෙවිට ළංවීම මට යහපත.” (ගීතාවලිය 73:28) සදාකාල ජීවිතය අපට හිතාගන්නට බැරි තරමේ අර්ථවත් වූ විවිධ වූ එකක්. තවද යෙහෝවාට ළංවීම නිසැකවම එහි ඉතාමත්ම විපාකදායී වූ කොටස වේවි.
23. ඔබට කිරීමට දිරිගන්වා තිබෙන්නේ කුමක්ද?
23 දැන් ඔබ යෙහෝවාගේ ප්‍රේමයට ප්‍රතිචාර දක්වාවා! ඔබගේ මුළු හදවතින්ම, ආත්මයෙන්ම, මනසින්ම හා ශක්තියෙන්ම ප්‍රේම කරමින් ඔබ එසේ කරාවා! (මාර්ක් 12:29, 30) ඒ වගේම ඔබේ ප්‍රේමය පක්ෂපාත හා ස්ථිරසාර එකක් වේවා! ඔබ ජීවිතයේ ගන්නා ලොකු කුඩා සෑම තීරණයකදීම එකම මඟ පෙන්වන ප්‍රතිපත්තිය ඒවා තුළ දිස් වේවා! එයින් අදහස් වන්නේ ඔබගේ ස්වර්ගික පියාණන් සමඟ ශක්තිමත්ම සම්බන්ධතාවකට මඟ පෙන්වන මාවත ඔබ සෑම විටම තෝරාගනු ඇති බවයි. ඒ සියල්ලටම වඩා, ඔබ යෙහෝවාට තව තවත් ළං වේවා! ඔහුද තව තවත් ඔබට ළං වේවා! එවැන්නක් සදහටම සිදු වෙත්වා!
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 25:1-22 අපට යෙහෝවාට කෙසේ ළං විය හැකිද? එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට කිනම් සහතිකයක් තබාගත හැකිද?
හොෂෙයා 6:3 යෙහෝවාව දැනගැනීමට මහත් උත්සාහයක් අවශ්‍ය කරන බවත් ඒ මගින් ආශීර්වාද ලැබෙන බවත් මෙම පදයෙන් පෙන්වන්නේ කොහොමද?
මතෙව් 16:21-27 යෙහෝවාව අනුකරණය කරන්නට අපට වුවමනා නම්, අප අනුගමනය කළ යුත්තේ කාගේ ආදර්ශයද? අපට තිබිය යුත්තේ කිනම් ආකල්පයක්ද?
එළිදරව් 21:3, 4 යෙහෝවා සපයන අනාගත ආශීර්වාද ගැන ඔබ කල්පනා කර බලත්ම, ඊට ප්‍රතිචාරයක් වශයෙන් ඔබ පෙලඹෙන්නේ කුමක් කිරීමටද?
[315වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි රැස්වීම් යෙහෝවාට නමස්කාර කිරීමේ ප්‍රීතිමත් අවස්ථාවන්ය
[318වන පිටුවේ පින්තූරය]
ඔබ සෑම විටම යෙහෝවාට ළං වී සිටීවා!