ඇදහිල්ල අපව ඉවසිලිවන්ත සහ යාච්ඤාපූර්වක කරවයි
“ඉවසිලිවන්තව ක්‍රියා කරන්න; ඔබේ හෘද ස්ථිර කරගන්න, මන්ද ස්වාමීන්ගේ පැමිණසිටීම ළංව තිබෙන බැවිනි.”—යාකොබ් 5:8, NW.
1. අප යාකොබ් 5:7, 8, NW මත මෙනෙහි කළ යුත්තේ මන්ද?
බොහෝ කලක් පුරා බලා සිටි ක්‍රිස්තුස්ගේ “පැමිණසිටීම” දැන් සැබෑවක්. (මතෙව් 24:3-14) දෙවි සහ ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තිබෙනවායයි කියන අය වෙන කිසිම කාලයකට වඩා, ශ්‍රාවක යාකොබ්ගේ මෙම වදන් කල්පනා කර බැලීමට හේතු තිබෙනවා: “සහෝදරයෙනි, ස්වාමීන්ගේ පැමිණසිටීම දක්වා ඉවසිලිවන්තව ක්‍රියා කරන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටියි. ඔබත් ඉවසිලිවන්තව ක්‍රියා කරන්න; ඔබේ හෘද ස්ථිර කරගන්න, මන්ද ස්වාමීන්ගේ පැමිණසිටීම ළංව තිබෙන බැවිනි.”—යාකොබ් 5:7, 8, NW.
2. යාකොබ් විසින් ලියනු ලැබූ ඇතැම් අයට තිබූ සමහර ගැටලු මොනවාද?
2 යාකොබ් විසින් දේවානුභාවයෙන් යුත් ලිපිය ලියූ අයට ඉවසිලිවන්තව ක්‍රියා කරමින් විවිධ ගැටලු විසඳාගන්න සිදු වුණා. බොහෝදෙනෙක් දෙවි කෙරෙහි ඇදහිල්ල තිබෙනවායයි කියන අයගෙන් අපේක්ෂා කළ අන්දමට වඩා වෙනස්ව ක්‍රියා කරමින් සිටියා. නිදසුනක් වශයෙන්, සමහර හෘදවල වර්ධනය වී තිබූ ඇතැම් ආශාවන් ගැන යමක් කරන්න අවශ්‍යව තිබුණා. එම මුල් ක්‍රිස්තියානීන් තුළ ශාන්තභාවය නැවත ඇති කරගන්න අවශ්‍යව තිබුණා. ඔවුන්ට ඉවසිලිවන්තව සහ යාච්ඤාපූර්වකව සිටීම පිළිබඳ උපදෙස්ද අවශ්‍ය වුණා. යාකොබ් ඔවුන්ට කී දේවල් අප සලකා බලද්දී, ඔහුගේ වදන් අපේ ජීවිතයට අදාළ කරගත හැක්කේ කෙසේද කියා අපි බලමු.
වැරදි ආශාවන් විනාශකාරියි
3. සභා සතුරුකම් සඳහා හේතු වූයේ මොනවාද? එමෙන්ම මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
3 ක්‍රිස්තියානියයි කියාගන්නාවූ ඇතමෙකු තුළ සාමයේ ඌනතාවක් තිබුණා. එමෙන්ම මේ තත්වයට මූලික හේතුව වුණේ වැරදි ආශාවන්. (යාකොබ් 4:1-3, NW) විවාදශීලිත්වය භේද ඇති කර තිබූ අතර, ඇතමුන් තම සහෝදරයන්ව අනාදර ලෙස විනිශ්චය කරමින් සිටියා. මෙය සිදු වෙමින් තිබුණේ, ඉන්ද්‍රීයයන් පිනවීම සඳහා වූ දැඩි ආශාව ඔවුන්ගේ අවයව තුළ සටන් කරමින් තිබූ නිසයි. සභාවේ සාමයට අප කිසිම භේදයක් ඇති නොකරන පිණිස නම්බුව, බලය සහ වස්තුව සඳහා ඇති අපේ දැඩි මාංශික ආශාවන්ට එරෙහිව සිටීම සඳහා උපකාර ඉල්ලා යාච්ඤා කරන්න අපට අවශ්‍ය විය හැකියි. (රෝම 7:21-25; 1 පේතෘස් 2:11) මුල් සියවසේ ඇතැම් ක්‍රිස්තියානීන් අතර තිබූ අභිලාෂකාමිත්වය, වෛරක්කාර මිනිමරු ආත්මයක් දක්වා වැඩුණා. වැරදි ආශාවන් සම්බන්ධ ඔවුන්ගේ යාච්ඤා දෙවි ඉටු කරන්නේ නැති නිසා, තම ඉලක්ක සපුරාගන්න ඔවුන් දිගටම සටන් කරමින් සිටියා. අපටත් එවැනිම වැරදි ආශාවන් තිබෙනවා නම්, අපත් දෙවිගෙන් ඉල්ලන්න ඉඩ තිබෙනවා, නමුත් ලැබෙන්න යන්නේ නැහැ; එසේ වන්නේ, අපේ ශුද්ධ දෙවි එවැනි යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ නැති නිසයි.—විලාප ගී 3:44; 3 යොහන් 9, 10.
4. ඇතැම් ක්‍රිස්තියානීන්ව “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි” කියා යාකොබ් අමතන්නේ මන්ද? එමෙන්ම ඔහුගේ මෙම ප්‍රකාශය අපට බලපෑ යුත්තේ කෙසේද?
4 ඇතැම් මුල් ක්‍රිස්තියානීන් අතර ලෝකයේ ස්වභාවය, කුඩුකේඩුකම සහ උඩඟුකම පැවතුණා. (යාකොබ් 4:4-6, NW) යාකොබ් ඔවුන්ගෙන් සමහරෙකුව “කාමමිථ්‍යාචාරික තැනැත්තියෙනි” කියා අමතන්නේ, ඔවුන් ලෝකයේ මිතුරන්ව සිටි නිසයි; මෙසේ ඔවුන් ආත්මික කාමමිථ්‍යාචාරය සඳහා වැරදිකරුවන් වුණා. (එසකියෙල් 16:15-19, 25-45) එය අපව දෙවිගේ සතුරන් බවට පත් කරන්න යන නිසා අපේ ආකල්පයෙන්, කතාවෙන් සහ ක්‍රියාවෙන් ලෝකාකාර වෙන්න අපට නිසැකවම ඕනෑකමක් නැහැ. ඔහුගේ වචනය අපට පෙන්නුම් කරන්නේ “කුඩුකේඩුකම සඳහා ප්‍රවණතාවක්” යනු පාපතර මිනිසා තුළ තිබෙන නපුරු නැඹුරුවාවේ හෝ “ආත්මයේ” කොටසක් හැටියටයි. (උත්පත්ති 8:21; ගණන් කථාව 16:1-3; ගීතාවලිය 106:16, 17; දේශනාකාරයා 4:4) ඉතින් කුඩුකේඩුකම, උඩඟුකම හෝ වෙනත් වැරදි නැඹුරුවාවකට විරුද්ධව සටන් කරන්න අවශ්‍යයි කියා අප වටහාගත් විට, ශුද්ධාත්මය තුළින් අපි දෙවිගේ උපකාරය සොයමු. දෙවිගේ ලබන්න නොවටිනා කරුණාව මගින් සපයන එම බලය, ‘කුඩුකේඩුකම සඳහා ප්‍රවණතාවකට’ වඩා විශිෂ්ටයි. යෙහෝවා උඩඟුකමට විරුද්ධ නිසා, අප පව්කාර ප්රවණතාවන් සමඟ සටන් කළොත්, ලබන්න නොවටිනා කරුණාව දෙවි අපට දෙන්න යනවා.
5. දෙවිගේ ලබන්න නොවටිනා කරුණාව භුක්ති විඳීම සඳහා කිනම් අවශ්‍යතා අප අත් කරගත යුතුද?
5 දෙවිගේ ලබන්න නොවටිනා කරුණාව අප ලබාගන්නේ කෙසේද? (යාකොබ් 4:7-10, NW) යෙහෝවාගෙන් ලබන්න නොවටිනා කරුණාව භුක්ති විඳින්න නම්, අපි ඔහුට කීකරු විය යුතුයි, ඔහුගේ සැපයුම් පිළිගත යුතුයි, එමෙන්ම ඔහුගේ කැමැත්ත වන ඕනෑම දෙයකට යටත් විය යුතුයි. (රෝම 8:28) අප යක්ෂයාට ‘විරුද්ධවත්’ එහෙම නැත්නම් ‘එරෙහිවත්’ සිටිය යුතුයි. යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යයේ ආධාරකරුවන් හැටියට අප ස්ථිරත්වය රැකගතහොත්, යක්ෂයා ‘අප වෙතින් පලා යනවා.’ කිසිම දෙයකින් අපට සදාකාලික හානි පමුණුවන්න බැරි වන ලෙස ලෝකයේ නපුරු ආයතන වළක්වාලන යේසුස්ගේ උපකාරය අපට තිබෙනවා. එමෙන්ම මෙය අමතක කරන්න එපා: එනම්, අප දෙවි වෙතට යාච්ඤාවෙන්, කීකරු වීමෙන් සහ ඇදහිල්ලෙන් ළඟා වන විට ඔහු අප ළඟ සිටින බව ඔප්පු කරන්න යනවා.—2 ලේකම් 15:2.
6. ඇතැම් ක්‍රිස්තියානීන්ව “පව්කාරයෙනි” කියා යාකොබ් අමතන්නේ මන්ද?
6 දෙවි කෙරෙහි ඇදහිල්ල තිබෙනවායයි කියන ඇතමෙකුට යාකොබ් “පව්කාරයෙනි” යන යෙදුම පාවිච්චි කරන්නේ මන්ද? ඔවුන් “යුද්ධවලටත්” මිනිමරු වෛරයටත් වැරදිකරුවන්ව සිටි නිසයි—ඒවා ක්‍රිස්තියානීන් සඳහා පිළි නොගත් ආකල්පයි. (තීතස් 3:3) වැරදි ක්‍රියාවලින් පිරී තිබූ ඔවුන්ගේ “අත්” පිරිසිදු කරගැනීම අවශ්‍ය වුණා. ඔවුන්ට ඔවුන්ගේ “හෘද,” ඒ කියන්නේ පෙලඹවීමේ උල්පත පවිත්‍ර කරගන්න පවා සිදු වුණා. (මතෙව් 15:18, 19) ‘දෙසිත් ඇත්තන්’ දෙවිගේ මිත්‍රත්වයත් ලෝකයේ මිත්‍රත්වයත් අතර වැනි වැනී සිටියා. ඔවුන්ගේ වැරදි ආදර්ශයේ අනතුරු ඇඟවීම අපට ඇති නිසා, එවැනි දේවල් මගින් අපේ ඇදහිල්ල කඩාබිඳ දැමිය නොහැකි වන පිණිස, අපි නොනවතින උනන්දුවකින් ක්‍රියා කරමු.—රෝම 7:18-20.
7. ඇතමෙකුට “දුක් වෙමින් වැලපෙමින් හඬන්න” කියා යාකොබ් කියන්නේ මන්ද?
7 “දුක් වෙමින් වැලපෙමින් හඬන්න” කියා යාකොබ් ඔහුගේ පාඨකයන්ට කියනවා. ඔවුන් දිව්‍ය කනගාටුව පිළිබිඹු කළා නම්, එය පසුතැවිල්ලේ සාක්ෂියක් වෙන්න යනවා. (2 කොරින්ති 7:10, 11) අදදින, ඇදහිල්ල තිබෙන බවට ප්‍රකාශ කරන සමහරුන් ලෝකය සමඟ මිත්‍රත්වය සොයනවා. අප ඕනෑම කෙනෙක් එවන් ක්‍රියාමාර්ගයක් ලුහුබඳිමින් සිටිනවා නම්, අපේ දුර්වල ආත්මික තත්වය ගැන දුක් වී, කාරණා නිවැරදි කරගැනීමට ඉක්මන් පියවර ගත යුතු නොවේද? එසේ වන්නේ, අවශ්‍ය සකස් කිරීම් කරමින් දෙවිගේ සමාව ලබාගැනීම, පිරිසිදු හෘදය සාක්ෂියක සහ සදාජීවනයේ ප්‍රීතිමත් අපේක්ෂා යන ප්‍රීතියෙන් ඉපිලයෑමේ හැඟීම් නිපදවන්න යන නිසයි.—ගීතාවලිය 51:10-17; 1 යොහන් 2:15-17.
එකිනෙකාව විනිශ්චය කරන්න එපා
8, 9. අප එකිනෙකාට විරුද්ධව කතා කිරීම හෝ විනිශ්චය කිරීම නොකළ යුත්තේ මන්ද?
8 සෙසු ඇදහිලිවන්තයෙකුට විරුද්ධව කතා කරන එක පව්කාර දෙයක්. (යාකොබ් 4:11, 12, NW) ඊට අමතරව, සමහරවිට තමන්ගේ ආත්ම-ධර්මිෂ්ඨකමේ ආකල්පය හෝ අනෙකාව පහත් කර තමන්ව උසස් කරගැනීමට වුවමනා වීමේ ප්‍රතිඵලයක් හැටියට සමහරුන් සෙසු ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් විවේචනාත්මක වෙනවා. (ගීතාවලිය 50:20; හිතෝපදේශ 3:29) ‘විරුද්ධව කතා කිරීම’ යන්නට දක්වා ඇති ග්‍රීක් යෙදුමෙන් අඟවන්නේ, සතුරුකම සහ බොරු චෝදනා හෝ අතිශයෝක්තියෙන් චෝදනා කිරීමයි. මෙය සහෝදරයෙකුව අහිතකර ලෙස විනිශ්චය කිරීමට සමානයි. ‘විරුද්ධව කතා කිරීම, දෙවිගේ ව්‍යවස්ථාව විනිශ්චය කිරීමට’ සමාන වන්නේ කෙසේද? අපි බැලුවොත්, ලියන්නන් සහ ඵරිසිවරුන්, තමන්ගේම ප්රමිතීන් මගින් විනිශ්චය කරමින් ‘දෙවිගේ ආඥාව දක්ෂ ලෙස ප්‍රතික්ෂේප කළා.’ (මාර්ක් 7:1-13) ඒ හා සමානව, යෙහෝවා දෝෂාරෝපණය කරන්න යන්නේ නැති සහෝදරයෙකුට අප දෝෂාරෝපණය කරනවා නම්, අප ‘දෙවිගේ ව්‍යවස්ථාව විනිශ්චය’ කරමින්, එය බලය අඩු දෙයක් හැටියට පව්කාර ලෙස අඟවනවා නොවේද? එමෙන්ම අපේ සහෝදරයාව අසාධාරණ ලෙස විනිශ්චය කිරීමෙන්, අප ප්‍රේමයේ ව්‍යවස්ථාව ඉටු කරන්න යන්නේ නැහැ.—රෝම 13:8-10.
9 අපි මෙය මතක තබාගනිමු: “නීතිදායකයාද විනිශ්චයකාරයාද එක් කෙනෙක්ය”—ඒ යෙහෝවාය. ඔහුගේ “ව්‍යවස්ථාව සම්පූර්ණය,” එහි කිසිම අඩුවක් නැහැ. (ගීතාවලිය 19:7; යෙසායා 33:22) ගැළවීම සඳහා නීති සහ ප්රමිතීන් පනවන්න ඔහුට පමණයි පූර්ණ අයිතිය තිබෙන්නේ. (ලූක් 12:5) මේ නිසා යාකොබ් මෙසේ අසනවා: “ඔබේ අසල්වාසියා විනිශ්චය කරන ඔබ කවුද?” අනිත් අයව විනිශ්චය කරන්න හෝ දෝෂාරෝපණයට ලක් කරන්න අපට විශේෂ බලයක් නැහැ. (මතෙව් 7:1-5; රෝම 14:4, 10) දෙවිගේ පරමාධිපත්‍යය සහ අපක්ෂග්රාහිත්වය පිළිබිඹු කිරීම මෙන්ම අපේම පාපතරභාවයත්, ආත්ම-ධර්මිෂ්ඨ ලෙස අන් අයව විනිශ්චය කිරීමෙන් වැළකී සිටීම සඳහා අපට උපකාර කළ යුතුයි.
ආත්ම-විශ්වාසයෙන් පුරසාරම් දෙඩීමෙන් වළකින්න
10. අපේ දෛනික කාරණාවලදී අප යෙහෝවාව සැලකිල්ලට ගත යුත්තේ ඇයි?
10 අප සැමවිටම යෙහෝවාව සහ ඔහුගේ ව්‍යවස්ථාව සැලකිල්ලට ගත යුතුයි. (යාකොබ් 4:13-17, NW) දෙවිව නොසලකා ආත්ම-විශ්වාසිකයා මෙසේ කියනවා: ‘අද හෝ හෙට අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී, වෙළඳාම් කර ලාභ උපදවමු.’ අප ‘දෙවි කෙරෙහි ධනවත් නොවී අපටම වස්තු රැස් කරගන්න යනවා’ නම්, හෙට අපේ ජීවිතය අවසන් වෙන්න ඉඩ ඇති අතර, යෙහෝවාට සේවය කරන්න අපට ප්‍රස්තාවක් නැති වෙන්න ඉඩ තිබෙනවා. (ලූක් 12:16-21) යාකොබ් කියන විදිහට, අප හරියට උදෑසන මීදුමක් වගේ, “ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී” යනවා. (1 ලේකම් 29:15) අපට සදාකාල ජීවනය සහ දිගු කාලීන ප්‍රීතිය අපේක්ෂා කළ හැක්කේ යෙහෝවා දෙවි කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමෙන් පමණයි.
11. “යෙහෝවාගේ කැමැත්ත නම්” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 පුරසාරම් දොඩමින් දෙවිව නොසලකා හරිනවා වෙනුවට, අප මෙම ස්ථාවරය ගත යුතුයි: “යෙහෝවාගේ කැමැත්ත නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමු.” “යෙහෝවාගේ කැමැත්ත නම්” කියා කියද්දී, අප ඔහුගේ කැමැත්තට එකඟව ක්‍රියා කරන්න උත්සාහ කරනවා යන්න අඟවනවා. රාජ්‍ය වැඩයෙහි නියැලීමට සහ වෙනත් කටයුතු සඳහා අපේ පවුල නඩත්තු කිරීමට ව්‍යාපාරයක් කිරීම අවශ්‍ය විය හැකියි. නමුත් අපි පාරට්ටු කර නොගනිමු. එසේ කිරීම දෙවි මත රඳා සිටීම නොසලකා හරින නිසා “එවැනි උඩඟුකම දුෂ්ටය.”—ගීතාවලිය 37:5; හිතෝපදේශ 21:4; යෙරෙමියා 9:23, 24.
12. යාකොබ් 4:17හි වදන්වලින් අදහස් කරන්නේ කුමක්ද?
12 පෙනෙන විදිහට, ආත්ම-නිසැකකම සහ පුරසාරම් දෙඩීම ගැන ඔහුගේ ප්‍රකාශය අවසන් කිරීම සඳහා යාකොබ් මෙසේ කියනවා: “යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය.” සෑම ක්‍රිස්තියානියෙක්ම තමා දෙවි මත රඳා සිටින බව නිහතමානී ලෙස පිළිගත යුතුයි. ඔහු එසේ කරන්නේ නැත්නම්, “ඔහුට ඒක පාපයය.” ඇත්තවශයෙන්ම, දෙවි කෙරෙහි ඇදහිල්ල සඳහා අපෙන් ඕනෑ කරන්නාවූ ඕනෑම අසමත් වීමක් සඳහා මෙම ප්‍රතිපත්තිය අදාළ වෙනවා.—ලූක් 12:47, 48.
ධනවතුන් පිළිබඳව අවවාද කිරීම
13. තම ධනය අනිසි ලෙස භාවිත කරන අය ගැන යාකොබ් කියන්නේ කුමක්ද?
13 ඇතැම් මුල් ක්‍රිස්තියානීන් ද්‍රව්‍යවාදීන් බවට පත් වී ධනය උසස් කර දක්වමින් සිටි නිසා යාකොබ් ඇතැම් ධනවත් මිනිසුන් සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා. (යාකොබ් 5:1-6, NW) තමන්ගේ ධනය අනිසි ලෙස පාවිච්චි කරන ලෝකයේ මිනිසුන්ට ඔවුන්ගේ ක්‍රියාවලට එකඟව දෙවි විපාක දෙන්න යන අතර, ඔවුන්ට ‘කාලකණ්ණිකම පැමිණෙන නිසා මොරගසන්න’ යනවා. ඒ දවස්වලදී, බොහෝ ජනයාගේ ධන සම්භාරයට ඇඳුම් පැළඳුම්, ධාන්‍ය සහ මුද්‍රිකපානය අයත් වුණා. (යෝවෙල් 2:19; මතෙව් 11:8) මේ සම්පත් දිරන්න හෝ ‘කාවෝ කන්න’ හෝ හැකි වුවත්, ධනය ගැන කතා කරද්දී යාකොබ් කාවද්දන්නේ එය විනාශ වීමට ඇති හැකියාව ගැන නොවෙයි, නමුත් එහි නොවටිනාකමයි. රන් සහ රිදී දිරන්නේ නැති වුණත්, අප ඒවා රැස් කර තබන්න ගියොත්, මලකඩ කෑවාවූ ඒවා හා සමානව ඒවායේ වටිනාකමක් නැති වෙනවා. “මලකඩ” කියා අඟවන්නේ, සුදුසු භාවිතයට නොයෙදූ ද්‍රව්‍යමය වස්තූන්ය. එමනිසා, දෙවිගේ උදහස ඔවුන් මතට පැමිණෙන විට, ද්‍රව්‍යමය වස්තූන් කෙරෙහි විශ්වාසය තබන අය “ගිනි මෙන්” වූ යමක් “අන්තිම දවස්වලදී” ඔවුන් සඳහා “රැස්කොට” තබා ඇති බව අප සියල්ලන් මතක තබාගත යුතුය. අපි ‘අන්තිම කාලයේ’ ජීවත් වන නිසා එවැනි වදන්වල අපට විශේෂ වටිනාකමක් තිබෙනවා.—දානියෙල් 12:4; රෝම 2:5.
14. ධනවතුන් බොහෝවිට ක්‍රියා කරන්නේ කෙසේද? එමෙන්ම අප ඒ ගැන කුමක් කළ යුතුද?
14 ධනවතුන් බොහෝවිට තම අස්වැන්න නෙළන්නන්ට වංචා කරන අතර, ඔවුන්ට දී නැති කුලිය ‘කෑගසනවා.’ (උත්පත්ති 4:9, 10 සසඳන්න.) ලෝකයේ ධනවතුන් “සැප ජීවිකාවෙන් වාසය” කර තිබෙනවා. ඉන්ද්‍රීයයන් පිනවීමෙහි ඕනෑවට වඩා නියැලීමෙන්, ඔවුන් තර මෙන්ම ප්‍රතිචාරය නොදක්වන හෘදයක් ගොඩනඟා ගෙන ඇති අතර, ඔවුන්ගේ මැරුම්කෑමේ “දවස” දක්වා එසේ කරමින් සිටිනවා. ඔවුන් ‘ධර්මිෂ්ඨයා වරදට පත් කොට මරනවා.’ යාකොබ් මෙසේ අසනවා: “ඔහු ඔබට විරුද්ධව සිටිනවා නොවේද?” නමුත් වෙනත් යොමු දැක්වීමක් කියා සිටින්නේ, “ධර්මිෂ්ඨ තැනැත්ත; ඔහු ඔබට විරුද්ධ නැත.” කොයිම තත්වයක් යටතේදීවත් අප ධනවතුන්ට පක්ෂග්රාහි නොවිය යුතුයි. අප ආත්මික අවශ්‍යතා අපේ ජීවිතයේ මුල් තැන තැබිය යුතුයි.—මතෙව් 6:25-33.
ඉවසිලිවන්තව ක්‍රියා කරන්න ඇදහිල්ල අපට උපකාර කරයි
15, 16. ඉවසිලිවන්තකම ක්‍රියාත්මක කිරීම එතරම් වැදගත් මන්ද?
15 ලෝකයේ පීඩාකාරි ධනවතුන් ගැන අදහස් දැක්වීමෙන් පසු හිංසා පීඩාවට ලක් වූ ක්‍රිස්තියානීන්ට ඉවසිල්ලෙන් ක්‍රියා කරන්න කියා යාකොබ් මීළඟට දිරිගන්වනවා. (යාකොබ් 5:7, 8, NW) ඇදහිලිවන්තයන් ඔවුන්ගේ දුෂ්කරතා ඉවසිලිවන්තව දරාගන්නවා නම්, ක්‍රිස්තුස්ගේ පැමිණසිටීමේදී ඔවුන්ගේ පීඩාකරන්නන්ව විනිශ්චය කරන අතර, ඔවුන්ගේ විශ්වාසවන්තකම සඳහා ඔවුන්ට විපාක ලැබෙන්න යනවා. (මතෙව් 24:37-41) එම මුල් ක්‍රිස්තියානීන්ට, ශරත් ඍතුවේ ප්‍රථම වැසි වැටෙන තුරු ඉවසිල්ලෙන් බලා සිටින ගොවියෙක් මෙන් සිටීමට අවශ්‍ය වූ අතර, සිටුවන්න හැකි වූ විට, වසන්තයේ අන්තිම වැසි වැටෙන කාලයේදී ලැබෙන ඵලදාවෙන් ප්‍රතිඵල ලැබෙනවා. (යෝවෙල් 2:23) අපත් ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු වන අතර, විශේෂයෙන්ම ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම’ අද ක්‍රියාත්මක වන නිසා අපේ හෘද ස්ථිර කරගන්න අවශ්‍යයි!
16 අප ඉවසිලිවන්ත විය යුත්තේ මන්ද? (යාකොබ් 5:9-12, NW) සෙසු ඇදහිලිවන්තයන් අපගේ හිත රිදවද්දී, කෙඳිරිගෑමෙන් හෝ සුසුම්ලෑමෙන් වැළකීමට ඉවසීම අපට උපකාර කරනවා. අප හානිකර ආත්මයකින් “එකිනෙකාට විරුද්ධව සුසුම් හෙළනවා” නම්, විනිශ්චයකාර යේසුස් ක්‍රිස්තුස් අතින් අපව දෝෂාරෝපණයට ලක් වෙන්න යනවා. (යොහන් 5:23) දැන් ඔහුගේ “පැමිණසිටීම” පටන්ගෙන ඇති අතර, ඔහු “දොරකඩ ඉදිරියෙහි සිටින” නිසා ඇදහිල්ලේ බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දෙන අපේ සහෝදරයන් සමඟ ඉවසිලිවන්තව සිට අපි සාමයට අනුබල දෙමු. තම පරීක්ෂා ඉවසිලිවන්ත ලෙස විඳදරාගත් නිසා දෙවි යෝබ්ට විපාක දුන් බව මතක් කරගැනීමෙන් අපේම ඇදහිල්ලත් ශක්තිමත් වෙනවා. (යෝබ් 42:10-17) අප ඇදහිල්ල සහ ඉවසීම පැවැත්වුවහොත්, “යෙහෝවා බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්ත වූ කෙනෙක්” බව අප දකින්න යනවා.—මීකා 7:18, 19.
17. “නොදිවුරන්න” කියා යාකොබ් කියන්නේ මන්ද?
17 අප ඉවසිලිවන්ත නැත්නම්, දැඩි පීඩන යටතේ අප අපේ දිව අනිසි ලෙස පාවිච්චි කරන්න ඉඩ තිබෙනවා. උදාහරණයක් හැටියට, අප ඉක්මනින්ම දිවුරන්න ඉඩ තිබෙනවා. “නොදිවුරන්න” කියා යාකොබ් පවසන අතර, කිසි අණක් ගුණක් නැතුව වේදනාකාරි තත්වයන්වලදී බරපතළ දිව්රීම් කිරීමට එරෙහිව අනතුරු අඟවනවා. නිතරම, ඒකාන්ත ලෙස දිව්රීම් කිරීමත් පෙනෙන විදිහට කුහකයි. මේ නිසා සරලව කියනවා නම්, අප ඇත්ත කතා කළ යුතුයි; අපගේ එසේය, එසේය කියාද, නැත නැත කියාද විය යුතුයි. (මතෙව් 5:33-37) ඇත්තෙන්ම, සත්‍යය කතා කිරීමට අධිකරණය හමුවේ දිවුරුමක් දීම වැරදියි කියා යාකොබ් කියනවා නෙවෙයි.
ඇදහිල්ල සහ අපේ යාච්ඤා
18. අප “යාච්ඤාවෙහි යෙදී” සිටිය යුත්තේ සහ ‘ගීතිකා ගැයීමෙහි’ යෙදී සිටිය යුත්තේ කිනම් තත්වයන් යටතේද?
18 අපේ කතාව පාලනය කිරීමට, ඉවසිලිවන්තකම ක්‍රියාවට නැංවීමට සහ දෙවි කෙරෙහි සුවදායී ඇදහිල්ලක් පවත්වාගැනීමට නම්, යාච්ඤාව අපේ ජීවිතයෙහි ප්‍රධාන භූමිකාවක් රැඟිය යුතුයි. (යාකොබ් 5:13-20, NW) විශේෂයෙන්ම පරීක්ෂා යටතේදී, අප “යාච්ඤාවෙහි යෙදී” සිටිය යුතුයි. අප ප්‍රීතිමත් නම්, තම මරණය සිහි කිරීම පවත්වද්දී යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් කළාක් මෙන්, අපිත් “ගීතිකා ගයමු.” (මාර්ක් 14:26, NW පාද සටහන) සමහර අවස්ථාවලදී, දෙවි සඳහා එතරම්ම කෘතඥපූර්වකබවක් පිරීම හේතුවෙන්, අපේ හෘදයෙන් අප ගීතිකා කියනවා. (1 කොරින්ති 14:15; එපීස 5:19) එමෙන්ම ක්‍රිස්තියානි රැස්වීම්වලදී ගීතිකාවෙන් යෙහෝවාව ඉතා ඉහළින් ප්‍රශංසාවට පත් කිරීම මොනතරම් ප්‍රීතියක්ද!
19. අප ආත්මික ලෙස රෝගාතුර වුණොත් කුමක් කළ යුතුද? එමෙන්ම එවන් පියවරක් ගත යුත්තේ මන්ද?
19 සමහරවිට වැරදි හැසිරීම නිසා හෝ යෙහෝවාගේ මේසයෙන් නිරතුරුව අනුභව කරන්න අසමත් වීම නිසා හෝ අප ආත්මිකව රෝගාතුර වී සිටිනවා නම්, ගීතිකා ගයන්න හිතෙන්නෙ නැති වෙන්න ඉඩ තිබෙනවා. අප සිටින්නේ එම තත්වයේ නම්, ඔවුන් ‘අප උදෙසා යාච්ඤා’ කරන පිණිස නිහතමානී ලෙස වැඩිමහල්ලන්ට හඬගසන්න. (හිතෝපදේශ 15:29) ‘යෙහෝවාගේ නාමයෙන් ඔවුන් අපට තෙල් ආලේප කරන්නත්’ යනවා. තුවාලයකට දමන සුමුදුකාරක තෙලක් මෙන්, ඔවුන්ගේ සැනසිල්ල ගෙන දෙන වචන සහ ශුද්ධ ලියවිලි දැනමුතුකම් බිය සැක මෙන්ම කලකිරීම අඩු කරන්න උපකාර වෙන්න යනවා. ‘ඇදහිල්ලෙන් කරන යාච්ඤාව අපව සුව කරන’ අතර, අපේම ඇදහිල්ලෙන් ඊට අනුබල දෙන්න යනවා. අපේ ආත්මික රෝගය බරපතළ පාපයක් හේතුවෙන් කියා වැඩිමහල්ලන් සොයාගත්තොත්, ඔවුන් කාරුණිකව අපේ පාපය කුමක්දැයි කියා දී අපට උපකාර කරන්න උත්සාහ කරනවා. (ගීතාවලිය 141:5) එමෙන්ම අප පසුතැවිලි වුණොත්, දෙවි අපේ යාච්ඤා අසා අපට සමාව දෙන බවට ඇදහිල්ලෙන් සිටිය හැකියි.
20. අපි අපේ වරද කියා දී, එකිනෙකා උදෙසා යාච්ඤා කළ යුත්තේ මන්ද?
20 ‘අපේ වරද එකිනෙකාට කියා දී’ යයි කියද්දී, එය, තවදුරටත් පව් කිරීමට විරුද්ධව අවහිරයක් ලෙස ක්‍රියා කළ යුතුයි. “එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න” පොලඹවන ගුණාංගයක් වන අන්‍යොන්‍ය අනුකම්පාව සඳහා එය දිරිගැන්විය යුතුයි. මෙය ප්‍රයෝජනවත් වෙයි කියා අපට විශ්වාස කරන්න පුළුවන්, මන්ද “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්” විසින් කරන යාච්ඤාව—ඒ කියන්නේ, ඇදහිල්ල ක්රියාවේ යොදවන, දෙවි විසින් ධර්මිෂ්ඨයයි සලකනු ලැබූ අය—යෙහෝවා සමඟ බොහෝ දේ ඉෂ්ට කරනවා. (1 පේතෘස් 3:12) අනාගතවක්තෘ එලියාට අප හා සමාන දුර්වලකම් තිබුණත්, ඔහුගේ යාච්ඤා ඵලදායී වුණා. ඔහු යාච්ඤා කළා, එවිට වසර තුනහමාරක් වැසි වැස්සේ නැහැ. ඔහු නැවතත් යාච්ඤා කළා, එවිට වැසි වැස්සා.—1 රාජාවලිය 17:1; 18:1, 42-45; ලූක් 4:25.
21. සෙසු ක්‍රිස්තියානිවරයෙක් “සැබෑකමෙන් මුළාව” යනවා නම්, අපට කළ හැකිවීමට ඉඩ ඇත්තේ කුමක්ද?
21 සභාවේ සාමාජිකයෙක් “සැබෑකමෙන් මුළාව” ගියේ නම්, හරි ඉගැන්වීම්වලින් සහ හැසිරීමෙන් නොමඟ ගියේ නම් තත්වය කුමක්ද? බයිබල් උපදෙස්, යාච්ඤාව සහ වෙනත් උපකාර තුළින් ඔහුගේ වරදෙන් ඔහුව හරවාගන්න අපට හැකිවීමට ඉඩ තිබෙනවා. අප සාර්ථක වූවොත්, මෙය ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය යටතේ ඔහුව තබන අතර, ආත්මික මරණයෙන් සහ විනාශය සඳහා දෝෂාරෝපණය ලැබීමෙන් ඔහුව ගළවන්න යනවා. වරදකරුට උපකාර කිරීමෙන් අප ඔහුගේ පව් රාශිය වසනවා. හික්මවූ පව්කාරයා ඔහුගේ වැරදි මාර්ගයෙන් හැරී, පසුතැවිලි වී, සමාව සොයනවා නම්, අප ඔහුගේ පව් වසාලීම සඳහා ක්‍රියා කළ බැවින් සතුටු වෙන්න යනවා.—ගීතාවලිය 32:1, 2; යූද් 22, 23.
අප සියලුදෙනා සඳහාම යමක්
22, 23. අප යාකොබ්ගේ වදන්වලින් බලපෑම් ලැබිය යුත්තේ කෙසේද?
22 පැහැදිලිවම, යාකොබ්ගේ ලිපියේ අප සියලුදෙනා සඳහාම ප්‍රයෝජනවත් යමක් අඩංගුයි. පරීක්ෂාවන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා එය අපට පෙන්වනවා, අනිසි අනුග්‍රහය දැක්වීමට එරෙහිව අපට උපදෙස් දෙනවා මෙන්ම ධර්මිෂ්ඨ ක්‍රියාවල නියැලෙන්න අපට උනන්දු කරනවා. අපේ දිව පාලනය කරගන්න, ලෝකයේ බලපෑමට එරෙහි වන්න සහ සාමයට අනුබල දෙන්න කියා යාකොබ් අපෙන් උදක්ම ඉල්ලා සිටිනවා. ඔහුගේ වචන අපව ඉවසිලිවන්ත සහ යාච්ඤාපූර්වක අය බවට පවා පත් කළ යුතුයි.
23 යාකොබ්ගේ ලිපිය මූලිකව යවනු ලැබුවේ අභිෂේක ලත් මුල් ක්‍රිස්තියානීන්ට බව ඇත්තයි. එහෙත් අප සියලුදෙනාම අපේ ඇදහිල්ලට ඇලී සිටීම සඳහා උපකාර කිරීමට එහි උපදෙස්වලට ඉඩ හළ යුතුයි. එමෙන්ම දිව්‍යානුභාව ලත් මෙම ලිපිය, අදදින ‘ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම’ තුළදී, අපව යෙහෝවාගේ ඉවසිලිවන්ත, යාච්ඤාපූර්වක සාක්ෂිකරුවන් බවට පත් කරවන විඳදරාගන්නාවූ ඇදහිල්ලක් ගොඩනංවනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ ඇතැම් මුල් ක්‍රිස්තියානීන්ට ඔවුන්ගේ ආකල්ප සහ හැසිරීම වෙනස් කරගැනීම අවශ්‍ය වූයේ මන්ද?
◻ යාකොබ් ධනවතුන්ට දෙන්නේ කිනම් අනතුරු ඇඟවීමද?
◻ අප ඉවසිලිවන්තකම ක්‍රියාත්මක කළ යුත්තේ මන්ද?
◻ අප නිතිපතාම යාච්ඤා කළ යුත්තේ මන්ද?
[19වන පිටුවේ පින්තූරය හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[23වන පිටුවේ පින්තූරය]
ඇතැම් මුල් ක්‍රිස්තියානීන්ට සෙසු ඇදහිලිවන්තයන් සමඟ වඩා ඉවසිල්ලෙන් සිටින්න සිදු වුණා
[24වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන් ඉවසිලිවන්ත, ප්‍රේමනීය මෙන්ම යාච්ඤාපූර්වක විය යුතුයි