“එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය”
“අප එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දෙනු ඇත.”—රෝම 14:12.
1. හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාට මුහුණ දීමට සිදු වූයේ කුමකටද?
බැබිලෝනියේ විසූ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනෙකුට බැරෑරුම් තීරණයක් ගැනීමට සිදු වුණා. බැබිලෝනියේ නීතිය මගින් නියම කර තිබූ දැවැන්ත රූපයක් ඉදිරියේ වැඳ වැටී ජීවිතය රැකගන්නවාද? නැත්නම් එයට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කර අධික රස්නයෙන් යුත් ගිනි උදුනකට දැමීමේ දඬුවම පිළිගෙන මරණයට පත් වෙනවාද? ෂද්‍රක් මේෂක් සහ අබෙද්නෙගෝට මේ ගැන කාගෙන්වත් අසන්න තරම් කාලයක් තිබුණේ නැහැ. කෙසේවෙතත් මේ ගැන කිසිවෙකුගෙන් අසන්න ඔවුන්ට අවශ්‍ය වුණෙත් නැහැ. ඔවුන් ස්ථිරවම මෙසේ පැවසුවා. ‘රජ්ජුරුවෙනි, අපි ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ පිහිටෙවූ රන් රූපයට නමස්කාර කරන්නේවත් නැහැ.’ (දානියෙල් 3:1-18) මේ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා තමන් ගත යුතු වූ තීරණය වෙනත් කෙනෙකුට බාර කළේ නැහැ.
2. යේසුස් සම්බන්ධයෙන් තමන් ගත යුතු වූ තීරණය පිලාත් බාර කළේ කාටද? එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් ගණන් දීමෙන් නිදහස් වුණාද?
2 ඉහත සඳහන් සිද්ධියෙන් සියවස් හයකට පමණ පසුව සිදු වූ සිද්ධියක් ගැන සලකා බලමු. යේසුස්ට විරුද්ධව තිබෙන චෝදනා විභාග කිරීමෙන් පසුව ඔහු නිර්දෝෂයි කියා ආණ්ඩුකාර පිලාත් තේරුම්ගත්තා. කෙසේවෙතත් සෙනඟ යේසුස්ට මරණ දණ්ඩනය නියම කරන ලෙස බල කර සිටියා. පිලාත් මීට එරෙහි වීමට යම් උත්සාහයක් දැරුවත් තීන්දුවක් දීමට ඔහු සතු වූ වගකීම ඔහු ඉටු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සෙනඟගේ බල කිරීමට යටත් වුණා. ඔහු තම අත් දෙක සෝදාගනිමින් මෙසේ පැවසුවා. “මම මේ මිනිසාගේ ලෙයින් නිදොස් වෙමි.” මේ විදිහට පිලාත් තමන් වෙනුවෙන් තීරණයක් ගැනීමට අන් අයට ඉඩහැරියා. ඔහු යේසුස්ව වධ කණුවක ඇණ ගැසීම සඳහා සෙනඟට බාර දුන්නා. යේසුස්ට දුන් අසාධාරණ මරණ දණ්ඩනයට ඔහු වග කිව යුතුයි. ඔහු කොතරම් අත සෝදාගත්තත් එම වගකීමෙන් නිදහස් නැහැ. ඔහු අනිවාර්යයෙන් ඊට ගණන් දිය යුතුයි.—මතෙව් 27:11-26; ලූක් 23:13-25.
3. අපි වෙනුවෙන් තීරණ ගැනීමට අන් අයට නොපැවරිය යුත්තේ ඇයි?
3 ඔබට තීරණ ගන්න සිදු වන අවස්ථාවලදී ඔබ ක්‍රියා කරන්නේ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා ක්‍රියා කළ ආකාරයටද? නැත්නම් ඔබ වෙනුවෙන් තීරණ ගැනීමට ඔබ අන් අයට ඉඩහරිනවාද? ඇත්තයි, තීරණ ගැනීම ලෙහෙසි දෙයක් නොවෙයි. හරි තීරණ ගැනීමට නම් දෙවි සිතන ආකාරයට සිතන්න උත්සාහ කරන්න අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් කුඩා දරුවන් අද්දැකීම් ලබා නැති නිසා දෙමාපියන් ඔවුන් වෙනුවෙන් හොඳ තීරණ ගැනීම අවශ්‍යයි. යම් කාරණයක් බරපතළ නම් හා ඊට අදාළ විවිධ තොරතුරු හොඳින් සොයා බැලිය යුතු නම් එවැනි කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අමාරුයි. කෙසේවෙතත් තීරණ ගැනීම “දුෂ්කර” දෙයක් ලෙස හෝ යම් බරක් ලෙස සැලකීමට තරම් එය අමාරු දෙයක් නොවෙයි. මෙවැනි තීරණ “ආත්මික සුදුසුකම් ඇති” අය අප වෙනුවෙන් ගත යුතුයි කියා සිතීම වැරදියි. (ගලාති 6:1, 2) මන්ද ‘අප එකිනෙකා තම තමා ගැන දෙවිට ගණන් දිය යුතුයි.’ (රෝම 14:12) එමෙන්ම “එකිනෙකා තම තමාට තිබෙන වගකීම් නමැති බර උසුලන්නේය” කියාද බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 6:5) එසේනම් අපිට නැණවත් තීරණ ගත හැක්කේ කෙසේද? මිනිසුන් හැටියට අපිට සීයට සීයක්ම නිවැරදි තීරණ ගත නොහැකි නිසා මඟ පෙන්වීම් අවශ්‍යයි. මුලින්ම අපි මෙය තේරුම්ගත යුතුයි.
අතිවැදගත් අවශ්‍යතාවක්
4. තීරණ ගැනීම සම්බන්ධයෙන් දෙවිට අකීකරු වූ පළමු මිනිස් යුවළගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
4 මුල්ම මිනිස් යුවළ ගත් තීරණය නිසා මහත් විනාශයක් සිදු වී තිබෙනවා. ඔවුන් යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කන්න තීරණය කළා. (උත්පත්ති 2:16, 17) ඔවුන් එවැනි තීරණයක් ගත්තේ ඇයි? බයිබලයේ ඊට මෙසේ පිළිතුරු දෙනවා. “ස්ත්‍රිය වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද . . . ආශා විය යුතු එකක් බවද දැක එහි ගෙඩි ගෙන කෑවාය. ඈ තමා සමඟ වූ ඇගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය.” (උත්පත්ති 3:6) ඒව එවැනි තීරණයක් ගත්තේ ඇගේ ආශාව ගැන පමණක් සිතූ නිසයි. ඇය කළ වැරැද්දම ආදම්ද කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පාපය සහ මරණය “සියලුදෙනා කෙරෙහි පැතිර” ගියා. (රෝම 5:12) ආදම් සහ ඒව කළ අකීකරු ක්‍රියාවෙන් තීරණ ගැනීම සම්බන්ධයෙන් අපටත් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. මිනිසුන් දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියොත් ඔවුන් ගන්න තීරණ වරදින්න පුළුවන්. එයින් පෙනී යන්නේ මිනිසුන්ට සීයට සීයක් නිවැරදි තීරණ තනිවම ගත නොහැකි බවයි.
5. යෙහෝවා අපට මඟ පෙන්වීම සපයා දී තිබෙන්නේ කෙසේද? අප එයින් ප්‍රයෝජන ගැනීමට කළ යුත්තේ කුමක්ද?
5 යෙහෝවා දෙවි අපට මඟ පෙන්වීම් ලබා දී තිබීම ගැන අප කොතරම් සතුටු විය යුතුද! බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ඔබ දකුණට හැරෙන විටද වමට හැරෙන විටද මාර්ගය මේය; එහි හැසිරෙන්නයයි කියන වචනයක් ඔබේ කනට ඔබ පස්සෙන් ඇසෙන්නේය.” (යෙසායා 30:21) යෙහෝවා දෙවි අපට කතා කරන්නේ ඔහුගේ මඟ පෙන්වීම යටතේ ලියා තිබෙන බයිබලය මාර්ගයෙනුයි. ඒ නිසා අපි බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි අඩංගු දැනුම ලබාගත යුතුයි. නිවැරදි තීරණ ගැනීමට නම් දෙවි සිතන ආකාරයට සිතන්න උත්සාහ කරන අය වෙනුවෙන් පිළියෙල කර ඇති “ගන ආහාර” අප ගත යුතුයි. එමෙන්ම “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා භාවිතයෙන්ම පුහුණු කරන ලද වටහාගැනීමේ හැකියාව” අත් කරගත යුතුයි. (හෙබ්‍රෙව් 5:14) බයිබලයෙන් අප ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමෙන් අපේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගත හැකියි.
6. අපේ හෘදය සාක්ෂිය අපට නිසි මඟ පෙන්වීම් ලබා දීමට නම් අප කුමක් කළ යුතුද?
6 තීරණ ගැනීමේදී අප සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. එය නම් අපට සහජයෙන් උරුම වී තිබෙන හෘදය සාක්ෂියයි. අපි ගන්න තීරණයක් විනිශ්චය කිරීමේ හැකියාව එයට තිබෙනවා. අපට ‘චෝදනා කරන්න හෝ අපව නිදොස් කරන්න’ එයට හැකියි. (රෝම 2:14, 15) කෙසේවෙතත් අපේ හෘදය සාක්ෂිය අපට නිසි මඟ පෙන්වීම සපයන්නේ දෙවිගේ වචනය පිළිබඳව නිවැරදි දැනුම අප ලබාගෙන එය අදාළ කරගන්න විටයි. එසේ නොකරන කෙනෙක් චාරිත්‍ර වාරිත්‍රවල හා අනිත් අයගේ අදහස්වල බලපෑමට මෙන්ම තමන් ජීවත් වන පරිසරයේ බලපෑමටද පහසුවෙන්ම ලක් වී වැරදි තීරණ ගත හැකියි. හෘදය සාක්ෂිය මගින් ඇති කරන අනතුරු ඇඟවීම් අප නිතර නිතර නොසලකාහරිමින් දෙවිගේ ප්‍රමිති කඩ කරනවා නම් සිදු වන්නේ කුමක්ද? කලක් යන විට එය “හංවඩු ගසන ලද” තත්වයට පත් විය හැකියි. හරියට හැඟීම් දැනීම් නොදැනෙන පිලිස්සුණු හමක් වගේ තත්වයට පත් වෙන්න පුළුවන්. (1 තිමෝති 4:2) එහෙත් හෘදය සාක්ෂියට එකඟව තීරණ ගැනීමේදී දෙවිගේ මඟ පෙන්වීම් සැලකිල්ලට ගැනීම අපට ආරක්ෂාවක්.
7. නැණවත් තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?
7 නැණවත් තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ බයිබලය ගැන නිවැරදි දැනුමක් ලබාගෙන එය අදාළ කරගැනීමේ හැකියාව අත් කරගැනීමයි. තීරණ ගැනීමේදී අපි හදිසි නොවී, බයිබල් ප්‍රතිපත්ති සලකා බැලීමට කාලය ගෙන ඒවා අදාළ වන ආකාරය ගැන සිතා බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී අපිට ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ වගේ ඉක්මනින් තීරණයක් ගන්න සිදු වෙනවා. අපි දෙවිගේ වචනය ගැන නිවැරදි දැනුමක් ලබාගෙන, එය අදාළ වන ආකාරය ගැන සැලකිලිමත් වෙනවා නම් එවැනි අවස්ථාවලදී පවා හරි තීරණයක් ගැනීමට අපිට හැකියි. දෙවි සිතන ආකාරයට සිතීමේ අප සතු හැකියාව දියුණු වෙද්දී තීරණ ගැනීමේ අපේ හැකියාව තවත් දියුණු වෙයි. මෙහිදී අපි කොතරම් දියුණුවක් ලබා තිබෙනවාද කියා අපේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණා දෙකක් මගින් සලකා බලමු.
අපි ඇසුරු කළ යුත්තේ කාවද?
8, 9. (අ) නරක අයව ඇසුරු කිරීමෙන් වැළකී සිටිය යුතු බව පෙන්වා දෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? (ආ) නරක ආශ්‍රය කියන්නේ නරක අයව ඇසුරු කිරීම පමණක්මද?
8 පාවුල් මෙසේ සඳහන් කළා. “මුළා නොවන්න. නරක ආශ්රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (1 කොරින්ති 15:33) ‘ඔබ ලෝකයේ කොටසක් නොවෙයි’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (යොහන් 15:19) මේ ප්‍රතිපත්ති අපි දැන සිටින නිසා වේශ්‍යාකම් කරන්නන්, පරදාර සේවනයේ යෙදෙන්නන්, සොරුන්, බේබද්දන් වැනි අය සමඟ අපි ඇසුරු කිරීම වැරදි බව තේරුම්ගැනීම අමාරු දෙයක් නොවෙයි. (1 කොරින්ති 6:9, 10) එහෙත් එවැනි පුද්ගලයන් සිටින චිත්‍රපට, පරිගණක හා රූපවාහිනි දර්ශන නැරඹීම ගැන කුමක් කිව හැකිද? ඒවා නැරඹීමෙන් පමණක් නොව ඔවුන් ගැන තිබෙන පොත් පත් සඟරා කියවීමෙන්ද සිදු වන්නේ ඔවුන් සමඟ ඇසුරු කිරීමෙන් සිදු වන හානියමයි. අන්තර් ජාලයේ කතාබහ කුටි හරහා “තමන් කවුදැයි සඟවන අය සමඟ” ඇසුරු කිරීමෙන් සිදු වන්නේද එවැනිම හානියක්. බයිබලය ගැන දැනුම අපි ලබාගන්නා තරමට මේ කාරණා හොඳින් තේරුම්ගන්න අපිට හැකි වෙනවා.—ගීතාවලිය 26:4, නව ලොව පරිවර්තනය, NW.
9 සමාජයේ හොඳයි කියා සලකන කෙනෙක් වුණත් සැබෑ දෙවි කෙරෙහි ඇදහිල්ලක් ඔහුට නැත්නම් එවැනි කෙනෙක් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම සුදුසුද? මෙහිදී අපි බයිබලයේ පවසා තිබෙන මේ දෙය සැලකිල්ලට ගැනීම වැදගත්. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්.” (1 යොහන් 5:19) මේ අනුව නරක ආශ්‍රය කියන්නේ සදාචාරය අතින් පිරිහුණු අයව හෝ ඕනෑම වැරදි දෙයකට ඉඩහරින අයව ආශ්‍රය කිරීම පමණක් නොවෙයි කියා අපි තේරුම්ගන්නවා. අපි නැණවත් නම් අපි කිට්ටු ඇසුරක් පවත්වන්නේ යෙහෝවා දෙවිට ප්‍රේම කරන අය සමඟ පමණයි.
10. ලෝකයේ අය සමඟ යම් සම්බන්ධකම් පැවැත්වීමේදී නැණවත් තීරණ ගැනීමට අපිට හැක්කේ කෙසේද?
10 ලෝකයේ අය සමඟ අපිට කිසිම සම්බන්ධයක් නැතුව සිටින්න බැහැ. එසේ කරන්න කියා අපට පවසාද නැහැ. (යොහන් 17:15) දේවසේවයේදී, පාසැලේදී, රැකියාවේදී ලෝකයේ අය සමඟ කටයුතු කරන්න අපිට සිදු වෙනවා. ඇදහිල්ලේ නැති ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් සිටින ක්‍රිස්තියානියෙකුගේ තත්වය ඊට වඩා තවත් වෙනස්. මන්ද එවැනි කෙනෙකුට ලෝකයේ කෙනෙක් සමඟ වැඩිපුර ඇසුරු කරන්න සිදු වෙනවා. කෙසේවෙතත් අපි වටහාගැනීමේ හැකියාව දියුණු කරගෙන තිබෙනවා නම් අපි මෙය තේරුම්ගන්නවා. එනම් ලෝකයේ අය සමඟ යම් සම්බන්ධකම් පැවැත්වීම හා ඔවුන් සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වීම අතර තිබෙන වෙනස අපි තේරුම්ගන්නවා. (යාකොබ් 4:4) මෙය අපි තේරුම්ගෙන තිබෙනවා නම් ක්‍රීඩා හා නැටුම් වැනි පාසැලේ බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම හෝ සෙසු සේවකයන් සැලසුම් කරන ප්‍රිය සාදයකට යෑම සුදුසුද නැද්ද කියා නැණවත් ලෙස තීරණය කිරීමට අපිට හැකි වේවි.
රැකියාවක් තෝරාගැනීමේදී
11. රැකියාවක් තෝරාගැනීමේදී අපි මුලින්ම සලකා බැලිය යුත්තේ කුමක්ද?
11 ක්‍රිස්තියානීන් හැටියට අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම්, ‘තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දීමේ’ වගකීම ඉටු කිරීමේදී නැණවත් තීරණ ගැනීමට අපට හැකියි. (1 තිමෝති 5:8) මෙහිදී මුලින්ම සලකා බැලිය යුත්තේ රැකියාව මොන වගේ එකක්ද කියායි. බයිබලයේ කෙළින්ම හෙළා දැක තිබෙන දේවල් කිරීමට ඉල්ලා සිටින රැකියාවක් තෝරාගැනීම වැරදි බව පැහැදිලියි. මේ නිසා සැබෑ ක්‍රිස්තියානීන් පිළිම නමස්කාරය, සොරකම් කිරීම, රුධිරය භාවිතය ඇතුළු ශුද්ධ ලියවිල්ලට පටහැනි වෙනත් දේවලට සම්බන්ධ වීමට සිදු වන රැකියාවන් තෝරාගන්නේ නැහැ. රැකියා ස්ථානයේ ප්‍රධානියා බොරු කියන්න හෝ වංචා කරන්න කියා අපෙන් ඉල්ලා සිටියත් අපි එසේ කරන්නේ නැහැ.—ක්‍රියා 15:29; එළිදරව් 21:8.
12, 13. රැකියාවක් තෝරාගැනීමේදී කිරීමට නියමිත වැඩයට අමතරව සැලකිල්ලට ගත යුතු වෙනත් කරුණු මොනවාද?
12 බයිබල් ප්‍රතිපත්තියක් කෙළින්ම කඩ නොවන බව පෙනෙන්න තිබෙන රැකියාවක් කිරීම ගැන කිව හැක්කේ කුමක්ද? සත්‍යය පිළිබඳ දැනුම සහ වටහාගැනීමේ හැකියාව අතින් අපි වර්ධනය වන විට එවැනි රැකියාවක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු තවත් කරුණු තිබෙන බව අපි තේරුම්ගන්නවා. ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රියාවක් වන සූදුවට සම්බන්ධ දේවල් සිදු වන ස්ථානයක දුරකථන ක්‍රියා කරවන්නෙක් ලෙස වැඩ කිරීම ගැන කුමක් කිව හැකිද? රැකියාවක් තෝරාගැනීමේදී සේවකයන්ට පඩි ගෙවීම සඳහා මුදල් ලැබෙන ආකාරය ගැනත් වැඩ කරන ස්ථානය ගැනත් සැලකිල්ලට ගත යුතුයි. කොන්ත්‍රාත් වැඩ භාරගන්න කෙනෙක් හැටියට ඔබ දේවස්ථානයකට තීන්ත ආලේප කිරීම භාරගෙන දෙවි පිළි නොගන්න ආගමකට යම් ආකාරයකින් සහාය වෙනවාද?—2 කොරින්ති 6:14-16.
13 කොන්ත්‍රාත්කරුවෙක් බොරු නමස්කාරය සිදු කරන ස්ථානයකට තීන්ත ආලේප කිරීම බාරගන්න අවස්ථාවකදී ඔහු යටතේ වැඩ කරන ක්‍රිස්තියානියෙකුට ඊට හවුල් විය හැකිද? මෙවැනි අවස්ථාවකදී තමන්ට පවරන වැඩය කොතෙක් දුරට වෙනස් කරගත හැකිද, තමන් ඊට කොතෙක් දුරට හවුල් වෙනවාද කියන කරුණු සැලකිල්ලට ගැනීම අවශ්‍යයි. ලියුම් බෙදන කෙනෙකුට බයිබල් ප්‍රමිතිවලට විරුද්ධ දේවල් සිදු වන ස්ථානවලට ලියුම් බෙදන්න සිදු වුණොත් කුමක් කිව හැකිද? මෙවැනි අවස්ථාවකදී මතෙව් 5:45හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ වෙයි. කෙසේවෙතත් එවැනි තැනකට නිතර යෑම අපේ හෘදය සාක්ෂියට වධ දිය හැකියි. (හෙබ්‍රෙව් 13:18) අපි තෝරාගන්න රැකියාව සම්බන්ධයෙන් හරි තීරණයක් ගැනීමට නම් අපේ වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමත් බයිබල් ප්‍රතිපත්ති අදාළ වන ආකාරය හොඳින් සිතට ගැනීමත් අවශ්‍යයි.
“ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න”
14. තීරණ ගැනීමට සිදු වන විට අපි කුමක් කළ යුතුද?
14 අධ්‍යාපනය ලැබීම, යම් වෛද්‍ය ප්‍රතිකාරයක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම වැනි වෙනත් කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු වන විට කුමක් කළ හැකිද? ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන විට අපි ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති සලකා බලා, ඒවා අදාළ වන ආකාරය තේරුම්ගැනීමට අපේ වටහාගැනීමේ හැකියාව පාවිච්චි කළ යුතුයි. පුරාණ ඊශ්‍රායෙලයේ විසූ ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවා. “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න; ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න; ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.”—හිතෝපදේශ 3:5, 6.
15. තීරණ ගැනීම සම්බන්ධයෙන් පළමුවන සියවසේ විසූ ක්‍රිස්තියානීන්ගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
15 අපි ගන්න තීරණ බොහෝවිට අන් අයටද බලපාන නිසා අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් සලකා බලමු. මෝසෙස්ගේ නීතිය මගින් ආහාර සම්බන්ධයෙන් දමා තිබූ තහංචි බොහොමයකට පළමුවන සියවසේ විසූ ක්‍රිස්තියානීන් තවදුරටත් යටත් වීම අවශ්‍ය වුණේ නැහැ. නීතියේ තහනම් කර තිබූ ඇතැම් ආහාර අනුභව කිරීම වරදක් වුණේ නැහැ. කෙසේවෙතත් දේවතා රූපවලට පිදූ සතෙකුගේ මස් අනුභව කිරීම ගැන පාවුල් මෙසේ ලිව්වා. “කෑම මගේ සහෝදරයාව බාධාවට පත් කරන්නේ නම්, මගේ සහෝදරයාව බාධාවට පත් නොකරන පිණිස, නැවත කිසි කලක මම මස් නොකන්නෙමි.” (1 කොරින්ති 8:11-13) අන් අයව බාධාවට පත් නොකරන පිණිස ඔවුන්ගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් වෙන්න කියා පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්නුවා. අප ගන්න තීරණ අන් අයට “බාධාවට හේතුවක්” නොවිය යුතුයි.—1 කොරින්ති 10:29, 32.
දෙවි සපයන ප්‍රඥාව ලබාගන්න
16. තීරණ ගැනීමේදී යාච්ඤාව අපිට උපකාරවත් වන්නේ කෙසේද?
16 තීරණ ගැනීමේදී යාච්ඤාවෙන් ලැබෙන උපකාරය කියා නිම කළ නොහැකියි. මේ ගැන යාකොබ් මෙසේ පැවසුවා. “දෙවි සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන හෙයින් ඔබෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලාවා! එවිට එය ඔහුට දෙනු ලැබේ.” (යාකොබ් 1:5) හරි තීරණ ගැනීම සඳහා ප්‍රඥාව ලබා දෙන්න කියා විශ්වාසයෙන් යුතුව යෙහෝවාට යාච්ඤා කරන්න අපිට පුළුවන්. අපේ අවශ්‍යතාවන් ගැන දෙවිට පවසා ඔහුගේ මඟ පෙන්වීම සොයනවා නම් අපි සලකා බලන බයිබල් පද වඩාත් හොඳින් තේරුම්ගැනීමටත් අපේ කාරණයට අදාළ බයිබල් පද මතක් කර දීමටත් දෙවි ඔහුගේ බලය මගින් අපට උපකාර කරනවා.
17. තීරණ ගැනීමේදී අපට උපකාර කරන්න අන් අයට හැක්කේ කෙසේද?
17 තීරණ ගැනීමේදී අපට උපකාර කරන්න අන් අයට හැකිද? ඔව්, දෙවි මෙන් සිතන්න උත්සාහ කරන ක්‍රිස්තියානීන්ගෙන් අපිට උපකාර ලබාගන්න පුළුවන්. මෙවැනි අය යෙහෝවාගෙන් ලැබී තිබෙන ත්‍යාග කියා සැලකිය හැකියි. (එෆීස 4:11, 12) එහෙත් අපි ඔවුන්ගේ උපකාරය පැතිය යුත්තේ විශේෂයෙන් අපිට බැරෑරුම් තීරණ ගන්න සිදු වන අවස්ථාවලදීයි. දේවවචනය ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන අය හා ජීවිතයේ බොහෝ අද්දැකීම් තිබෙන අය අපේ තීරණයට බලපෑ හැකි බයිබල් ප්‍රතිපත්ති අපේ අවධානයට යොමු කළ හැකියි. එමෙන්ම ‘වඩා වැදගත් දේවල් සහතික කරගන්නද’ ඔවුන් අපට උපකාර කරයි. (ෆිලිප්පි 1:9, 10) එහෙත් අපි වෙනුවෙන් තීරණයක් ගැනීමට අන් අයට ඉඩ නොහැරිය යුතු බව අපි මතක තබාගත යුතුයි. ඒ වගකීම අපි සතුයි.
ප්‍රතිඵලය සැමවිටම යහපත්ද?
18. හරි තීරණයක පවා ප්‍රතිඵලය සමහරවිට කුමක් විය හැකිද?
18 හොඳින් සිතා බලා බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන අපි යම් තීරණ ගත්තත් එහි ප්‍රතිඵලය සැමවිටම යහපත්ද? ඔව්, එයින් අත් වන අවසාන ප්‍රතිඵලය යහපත්. කෙසේවෙතත් සමහර අවස්ථාවලදී තීරණයක් ගත් පසු යම් කාලයක් ගැටලුවලට මුහුණ දෙන්න සිදු විය හැකියි. උදාහරණයක් හැටියට දැවැන්ත රූපයට නමස්කාර නොකිරීමට තමන් ගත් තීරණය නිසා මරණය පවා අද්දකින්න සිදු වන බව ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ දැන සිටියා. (දානියෙල් 3:16-19) ඒ හා සමානව, තමන් කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවිට බව යේසුස්ගේ ගෝලයන් යුදෙව් මහාධිකරණය හමුවෙහි පැවසීමෙන් පසුව ඔවුන්ට පහර දෙනු ලැබුවා. ඔවුන්ව නිදහස් කළේ ඉන්පසුවයි. (ක්‍රියා 5:27-29, 40) එපමණක්ද නොව, “විපත්තිද බලාපොරොත්තු නොවූ සිදුවීම්ද” අප ගන්න තීරණවලට අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකියි. (දේශනාකාරයා 9:11, NW) ඇතැම් අවස්ථාවලදී හරි තීරණයක් ගෙන අපි යම් ආකාරවලින් දුක් පීඩාවලට ලක් වුණත් ඒවා විඳදරාගැනීමට යෙහෝවා අපිට උපකාර කරයි කියා නිසැක වෙන්න පුළුවන්. එමෙන්ම අවසානයේදී ඔහු අපිට ආශීර්වාද කරන බවත් ස්ථිරයි.—2 කොරින්ති 4:7.
19. තීරණ ගැනීමේ අපේ වගකීම හරියාකාරව ඉටු කරන්නේ කෙසේද?
19 අප තීරණ ගන්න විට බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ඒවා අදාළ වන ආකාරය ගැන හොඳින් සිතා බැලිය යුතුයි. යෙහෝවා දෙවි ඔහුගේ බලය මාර්ගයෙන් හා සභාවේ සිටින දෙවි මෙන් සිතන්න උත්සාහ කරන ක්‍රිස්තියානීන්ගෙන් අපට දෙන උපකාරයට අප කොතරම් ස්තුතිවන්ත විය යුතුද! එවැනි මඟ පෙන්වීම් හා ආධාරක ප්‍රයෝජනයට ගනිමින් නැණවත් තීරණ ගැනීමේ අපේ වගකීම ඉටු කරමු.
ඔබ ඉගෙනගත්තේ කුමක්ද?
• නැණවත් තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ කුමක්ද?
• අපි ආශ්‍රිතයන්ව තෝරාගැනීමේදී නැණවත් විය යුත්තේ මන්ද?
• රැකියාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී අපි සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද?
• තීරණ ගැනීමේදී අපට ලැබී තිබෙන උපකාර මොනවාද?
[22වන පිටුවේ පින්තූරය]
ආදම් සහ ඒව කළ අකීකරු ක්‍රියාවෙන් අපටත් වැදගත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්
[24වන පිටුවේ පින්තූරය]
වැදගත් තීරණයක් ගන්න කලින් බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගන්න