පරීක්ෂා හමුවේ ඔබේ ඇදහිල්ලට ඇලී සිටින්න!
“මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට හසු වෙද්දී, ඒ සියල්ල ප්‍රීතියක් සේ සලකන්න.”—යාකොබ් 1:2, 3, NW.
1. යෙහෝවාගේ සෙනඟ ඔහු කෙරෙහි ඇදහිල්ලෙන් සහ ‘සිතේ සන්තෝෂයෙන්’ සේවය කරන්නේ කුමක් හමුවේද?
යෙහෝවාගේ සෙනඟ ඔහුගේ සාක්ෂිකරුවන් සේ සේවය කරන්නේ, ඔහු කෙරෙහි ඇදහිල්ලෙන් සහ ‘සිතේ සන්තෝෂයෙන්.’ (ද්විතීය කථාව 28:47; යෙසායා 43:10) බොහෝ පරීක්ෂා මගින් ඔවුන් පීඩිතව සිටියත්, ඔවුන් මෙසේ කරනවා. දුෂ්කරතා හමුවේ, මෙම වදන්වලින් ඔවුන් අස්වැසිල්ල ලබනවා: “මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට හසු වෙද්දී, ඒ සියල්ල ප්‍රීතියක් සේ සලකන්න. මන්ද, පරීක්ෂණයට භාජන වූ ඔබේ ඇදහිල්ලේ ගුණය විඳදරාගැනීම උපදවන බව දන්නා හෙයිනි.”—යාකොබ් 1:2, 3, NW.
2. යාකොබ්ගේ ලිපියේ ලේඛකයා ගැන දන්නේ මොනවාද?
2 එම ප්‍රකාශය යේසුස් ක්‍රිස්තුස්ගේ අර්ධ සහෝදරයෙක් වූ ශ්‍රාවක යාකොබ් අතින් පො.යු. 62දී පමණ ලියවුණා. (මාර්ක් 6:3) යාකොබ් යෙරුසලමේ තිබූ සභාවේ වැඩිමහල්ලෙක්ව සිටියා. ඇත්තවශයෙන්ම, ඔහුවත් කේපස්වත් (පේතෘස්) යොහන්වත් “කණු මෙන් සලකනු ලැබුවා”—ඒ කියන්නේ, සභාවේ ශක්තිමත්, දැඩි ලෙස සවිව තිබෙන ආධාරක ලෙස. (ගලාති 2:9) පොදු යුගයේ 49දී පමණ, චර්මච්ඡේදනය සම්බන්ධ කාරණාව ‘ප්‍රේරිතයන් හා වැඩිමහල්ලන්’ ඉදිරියට ගෙන ආ විට, මුල්-සියවසේ පාලක මණ්ඩලය විසින් ඈඳගත් ශුද්ධ ලියවිලි මත පදනම් යෝජනාවක් යාකොබ් ඉදිරිපත් කළා.—ක්‍රියා 15:6-29.
3. පළමු-සියවසේ ක්‍රිස්තියානීන් මුහුණ දුන් සමහර ගැටලු මොනවාද? එමෙන්ම යාකොබ්ගේ ලිපියෙන් අපට ඉමහත් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
3 සැලකිලිමත් ආත්මික එඬේරෙක් හැටියට, යාකොබ් ‘රැළෙහි අන්දම දැන සිටියා.’ (හිතෝපදේශ 27:23) ක්‍රිස්තියානීන් එවකට දරුණු පරීක්ෂාවලට මුහුණ දෙමින් සිටින බව ඔහු වටහාගත්තා. ඔවුන් ධනවතුන්ට අනිසි අනුග්‍රහයක් පෙන්වූ නිසා, සමහරුන්ගේ සිතුවිලි යළි වෙනස් කිරීම අවශ්‍ය වුණා. බොහෝදෙනෙකුට නමස්කාරය, නිකම්ම බාහිර චාරිත්‍රයක් පමණක් වුණා. සමහරුන් තම නොහික්මුණු දිව්වලින් හානි ඇති කරමින් සිටියා. ලෞකික ආත්මයක් හානිකර බලපෑම් කරමින් තිබුණු අතර, බොහෝදෙනෙක් ඉවසිලිවන්ත වුණේ හෝ යාච්ඤාපූර්වක වුණේ හෝ නැහැ. ඇත්තෙන්ම, ඇතැම් ක්‍රිස්තියානීන් ආත්මික රෝගාතුරභාවයෙන් පෙළුණා. යාකොබ්ගේ ලිපිය එවැනි කාරණාවලට ගොඩනංවනසුලු ආකාරයකට යොමු දක්වන අතර, ඔහුගේ උපදෙස් පො.යු. පළමු සියවසට මෙන් අදටත් ප්‍රායෝගිකයි. මේ ලිපිය පෞද්ගලිකව අපට ලියූ එකක් සේ සලකනවා නම්, අප ඉමහත් ලෙස ප්‍රයෝජන ලබන්න යනවා.a
අප පරීක්ෂා අද්දකින විට
4. අප පරීක්ෂා සැලකිය යුත්තේ කෙසේද?
4 අප පරීක්ෂා සැලකිය යුත්තේ කෙසේද කියා යාකොබ් පෙන්වනවා. (යාකොබ් 1:1-4, NW) දෙවිගේ පුත්‍රයා සමඟ ඔහුට ඇති පවුල් සම්බන්ධය සඳහන් නොකර, “දෙවිගෙත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක්” හැටියට නිහතමානී ලෙස තමාවම හඳුන්වා දෙනවා. “විසිරී සිටින්නාවූ” ආත්මික ඉශ්‍රායෙල්ගේ “ගෝත්‍ර දොළොසට” යාකොබ් මූලිකවම මෙය ලියන්නේ පීඩා නිසයි. (ක්‍රියා 8:1; 11:19; ගලාති 6:16; 1 පේතෘස් 1:1) ක්‍රිස්තියානීන් හැටියට, අපට පීඩා පවා කෙරෙන අතර, අපව ‘විවිධාකාර පරීක්ෂාවලට හසු වෙනවා’. නමුත් පීඩා විඳදරාගැනීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා කියා අප මතක තබාගන්නවා නම්, ඒවා අපට පැමිණෙද්දී, අප “ඒ සියල්ල ප්‍රීතියක් සේ” සලකන්න යනවා. පරීක්ෂා අතරතුරේදී අප දෙවිට අපේ අඛණ්ඩතාව පැවැත්වුවහොත්, මෙය අපට සදාකාලික සන්තෝෂය ගෙනෙන්න යනවා.
5. අපේ පරීක්ෂාවලට කුමක් ඇතුළත් විය හැකිද? එමෙන්ම අප ඒවා සාර්ථක ලෙස විඳදරාගතහොත් සිදු වන්නේ කුමක්ද?
5 මනුෂ්‍යවර්ගයාට පොදු වූ විරුද්ධවාදිකම් අපේ පරීක්ෂාවලට ඇතුළත්. උදාහරණයක් වශයෙන්, දුර්වල සෞඛ්‍යය අපට පීඩා කරනවා වෙන්න පුළුවන්. දෙවි දැන් ආශ්චර්යවත් සුව කිරීම් සිදු කරන්නේ නැහැ, එහෙත් අසනීප සමඟ කටයුතු කිරීමට අවශ්‍ය ධෛර්යය සහ ප්‍රඥාව සඳහා කෙරෙන අපේ යාච්ඤාවලට පිළිතුරු දෙනවා. (ගීතාවලිය 41:1-3) යෙහෝවාගේ පීඩා ලත් සාක්ෂිකාරයන් වගේ අපත් ධර්මිෂ්ඨකම නිසා දුක් විඳිනවා. (2 තිමෝති 3:12; 1 පේතෘස් 3:14) එවැනි පරීක්ෂා අප සාර්ථක ලෙස විඳදරාගනිද්දී, අපේ ඇදහිල්ල “පරීක්ෂණයට භාජන වූ” එකක් බව ඔප්පු වෙනවා. එමෙන්ම අපේ ඇදහිල්ල ජයගත් විට, එය ‘විඳදරාගැනීම උපදවනවා.’ පරීක්ෂාවලින් ශක්තිමත් කළ ඇදහිල්ල, අනාගතයේ පරීක්ෂා විඳදරාගන්න අපට උපකාර වෙන්න යනවා.
6. “විඳදරාගැනීමට පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙන්න [ඉඩහරින්නේ]” කෙසේද? එමෙන්ම අප පරීක්ෂා යටතේ සිටින විට කිනම් ප්‍රායෝගික පියවරවල් ගත හැකිද?
6 “නුමුත් විඳදරාගැනීමට පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙන්න ඉඩහරින්න” කියා යාකොබ් කියනවා. ශුද්ධ ලියවිලි නොවන මාර්ගයකින් පරීක්ෂාව ඉක්මනින් අවසන් කිරීමට වෑයම් නොකර, එයට මුළුමනින්ම ක්‍රියාත්මක වෙන්න ඉඩහැරියොත්, ඇදහිල්ල තුළ කිසිවක් අඩු නැතුව ක්‍රිස්තියානීන් හැටියට අපව සම්පූර්ණ කිරීමෙහිලා විඳදරාගැනීම “ක්‍රියාත්මක වෙන්න” යනවා. ඇත්තවශයෙන්ම, පරීක්ෂාවක් අපේ යම් දුර්වලකමක් හෙළි කරනවා නම්, එය ජයගැනීමට යෙහෝවාගේ උපකාරය පැතිය යුතුයි. පරීක්ෂාව ලිංගික දුරාචාරයේ නියැලීමට පරීක්ෂණයක් නම් කුමක් කිව හැකිද? එම ගැටලුව ගැන යාච්ඤා කර, ඉන්පසුව යාච්ඤාවට එකඟව අපි ක්‍රියා කරමු. මෙම තත්වයට තුඩු දෙන අපේ රැකියා ස්ථානය වෙනස් කරන්න හෝ දෙවිට අඛණ්ඩතාව පැවැත්වීම සඳහා වෙනත් පියවර ගැනීමට හෝ අපට අවශ්‍ය විය හැකියි.—උත්පත්ති 39:7-9; 1 කොරින්ති 10:13.
ප්‍රඥාව සඳහා ගවේෂණය
7. පරීක්ෂා සමඟ කටයුතු කිරීම සඳහා අපට උපකාර ලැබෙන්න ඉඩ ඇත්තේ කෙසේද?
7 පරීක්ෂාවක් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද කියා දන්නේ නැත්නම්, කළ යුත්තේ කුමක්ද කියා යාකොබ් අපට පෙන්වනවා. (යාකොබ් 1:5-8, NW) ප්‍රඥාව අඩුකම ගැන සහ ඒ සඳහා ඇදහිල්ලෙන් යාච්ඤා කිරීම ගැන යෙහෝවා අපට අවමන් කරන්න යන්නේ නැහැ. පරීක්ෂාවක් සුදුසු ආකාරයෙන් දකින්න වගේම එය දරාගන්නත් ඔහු අපට උපකාර කරන්න යනවා. බයිබල් අධ්‍යයනය අතරතුරේදී හෝ සෙසු ඇදහිලිවන්තයෙක් විසින් හෝ බයිබල් පද අපේ අවධානයට ලක් කරන්න ඉඩ තිබෙනවා. දිව්‍ය මඟ පෙන්වීම යටතේ දක්ෂ ලෙස හසුරුවා ඇති සිද්ධීන් මගින් අප කළ යුත්තේ කුමක්ද කියා දැකගන්න අපට හැකි කරවන්න ඉඩ තියෙනවා. දෙවිගේ ආත්මය මගින් අපව මඟ පෙන්වනවා විය හැකියි. (ලූක් 11:13) එවැනි ප්‍රයෝජන භුක්ති විඳීමට, අප නිතැතින්ම දෙවිටත් ඔහුගේ සෙනඟටත් සමීපව ඇලී සිටිය යුතුයි.—හිතෝපදේශ 18:1.
8. අනුමාන කරන්නෙකුට යෙහෝවාගෙන් කිසිවක් නොලැබෙන්නේ මන්ද?
8 පරීක්ෂා සමඟ පොරබදන්න යෙහෝවා අපට ප්‍රඥාව ලබා දෙන්නේ, අප “කොහෙත්ම අනුමාන නොකර, ඇදහිල්ලෙන් නොකඩවාම ඉල්ලමින්” සිටියොත් පමණයි. අනුමාන කරන්නෙක් අස්ථිර ලෙස, “සුළඟෙන් එහාට මෙහාට ගසාගෙන යන මුහුදේ රැළ මෙන්ය.” එලෙස අප ආත්මිකව අස්ථිර නම්, ‘යෙහෝවාගෙන් කිසිම දෙයක් ලැබෙයි කියල හිතන්න අපට බැහැ.’ යාච්ඤාවේදී හෝ අනිකුත් දේවලදී, අපි “දෙබිඩි” සහ “අස්ථිර” අය නොවෙමු. ඒ වෙනුවට, ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිමු.—හිතෝපදේශ 3:5, 6.
ධනවතාට මෙන්ම දිළින්දාටද ප්‍රීතියෙන් ඉපිල යා හැකියි
9. යෙහෝවාගේ නමස්කාරකයන් වශයෙන් ප්‍රීතියෙන් ඉපිල යෑමට අපට හේතුවක් ඇත්තේ මන්ද?
9 දිළිඳුකම අපේ පරීක්ෂාවන්ගෙන් එකක් වුණත්, ධනවත් මෙන්ම දිළිඳු ක්‍රිස්තියානීන් දෙගොල්ලන්ටම ප්‍රීතියෙන් ඉපිල යා හැකි බව අපි මනසේ තබාගනිමු. (යාකොබ් 1:9-11, NW) යේසුස්ගේ අනුගාමිකයන් වීමට පෙර ආලේප ලත් අය බොහෝදෙනෙකුට ද්‍රව්‍යමය ලෙස තිබුණේ ඉතා සුළු ප්‍රමාණයක් වූ අතර, ඔවුන්ව ලෝකයා විසින් පහත් කර සලකනු ලැබුවා. (1 කොරින්ති 1:26) රාජ්‍ය උරුමක්කාරයන් හැටියට ඔවුන්ට තිබූ “උත්කෘෂ්ට” තත්වය ගැන ඔවුන් ප්‍රීතියෙන් ඉපිල ගියා. (රෝම 8:16, 17) ඊට වෙනස්ව, මීට පෙර ගෞරව ලැබූ ධනවත් ජනයා, ලෝකය විසින් සුළු කරනු ලැබීම හේතුවෙන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් හැටියට “නින්දා” විඳිනවා. (යොහන් 7:47-52; 12:42, 43) කෙසේවෙතත්, යෙහෝවාගේ සේවකයන් හැටියට, අප භුක්ති විඳින ආත්මික පොහොසත්කම සමඟ ලෝකයේ ධනය සහ උසස් තත්වය සසඳා බලද්දී එය සමඟ ඒවාට කොහෙත්ම සමානකමක් නැති නිසා අප සියලුදෙනාටම ප්‍රීතියෙන් ඉපිල යා හැකියි. එමෙන්ම අප අතරේ සමාජ තත්වය සම්බන්ධයෙන් උඩඟුකමක් නැති එක ගැන අප මොනතරම් කෘතඥපූර්වක වෙනවාද!—හිතෝපදේශ 10:22; ක්‍රියා 10:34, 35.
10. ක්‍රිස්තියානිවරයෙක් ද්‍රව්‍යමය වස්තුව සැලකිය යුත්තේ කෙසේද?
10 අපේ ජීවිත කාලය ධනය සහ ලෞකික අත් කරගැනීම් මත රඳා පවතින්නේ නැති බව දකින්න යාකොබ් අපට උපකාර කරනවා. හිරුගේ “තද රස්නෙන්” පර වී යෑම වැළැක්වීමට මලක අලංකාරයට නොහැකි සේම, ඔහුගේ ආයුෂ දීර්ඝ කරවන්න ධනවත් මිනිසාගේ ධනයට බැහැ. (ගීතාවලිය 49:6-9; මතෙව් 6:27) ඔහු “තමාගේ මාර්ග,” සමහරවිට ව්‍යාපාර කටයුතු ලුහුබඳිද්දී, මරණයට පත් වෙන්න ඉඩ තිබෙනවා. ඒ අනුව, වැදගත්ම දෙය වන්නේ, ‘දෙවි කෙරෙහි පොහොසත්’ වී රාජ්‍ය අවශ්‍යතාවලට අනුබල දීමට අපට හැකි සෑම දෙයක්ම කිරීමයි.—ලූක් 12:13-21; මතෙව් 6:33; 1 තිමෝති 6:17-19.
පරීක්ෂා විඳදරාගන්නෝ සන්තෝෂවත්ය
11. පරීක්ෂා හමුවේ තම ඇදහිල්ලට ඇලී සිටින්නාවූ අයට ඇති අපේක්ෂාවන් මොනවාද?
11 අප ධනවතුන් වුවත් දිළිඳුන් වුවත්, අපට සන්තෝෂ විය හැක්කේ, අප අපේ පරීක්ෂා විඳදරාගත්තොත් පමණයි. (යාකොබ් 1:12-15, NW) අපේ ඇදහිල්ලට හානි පමුණුවාගන්නේ නැතුව අප පරීක්ෂා විඳදරාගත්තොත්, අප සන්තෝෂවත් බව ප්‍රකාශ කළ හැකි අතර, දෙවිගේ ඇස් ඉදිරියේ හරි දේ කිරීමෙහි ප්‍රීතිය අද්දකිනවා. ඔවුන් මරණය තෙක් තම ඇදහිල්ලට ඇලී සිටියොත්, ආත්මයෙන්-උත්පාදනය වූ ක්‍රිස්තියානීන් “ජීවනයේ ඔටුන්න” එනම්, ස්වර්ගයේ අමරණීය ජීවිතය ලබනවා. (එළිදරව් 2:10; 1 කොරින්ති 15:50) අපට ඇත්තේ භූමික අපේක්ෂාව නම්, දෙවි කෙරෙහි අපේ ඇදහිල්ල පවත්වාගෙන තිබෙනවා නම්, පාරාදීස පොළොවක සදාකාල ජීවනය අපේක්ෂාවෙන් සිටින්න අපට හැකියි. (ලූක් 23:43; රෝම 6:23) තමන් කෙරෙහි ඇදහිල්ල පවත්වන්නාවූ සියලුදෙනාටම යෙහෝවා මොනතරම් යහපත්ද!
12. විපත් අද්දකිද්දී, ‘දෙවි විසින් මාව පරීක්ෂාවට ලක් කරනු ලබනවා’ කියා අප නොකිව යුත්තේ මන්ද?
12 යෙහෝවා විපත්වලින් අපව පරීක්ෂා කරනවා විය හැකිද? නැහැ, ‘දෙවි විසින් මාව පරීක්ෂාවට ලක් කරනු ලබනවා’ කියා අප නොකිව යුතුයි. පව් කිරීමට යෙහෝවා අපව පොලඹවන්නේ නැහැ; නමුත් ඇදහිල්ලෙහි අප ස්ථිරව සිටිනවා නම්, පරීක්ෂා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු අපට දෙන අතර, අපට උපකාර කරන බව සහතිකයි. (පිලිප්පි 4:13) දෙවි ශුද්ධ වන අතර, වැරදි දෙය සඳහා අපේ විරෝධතාව දුර්වල කරවන තත්වයන්ට ඔහු අපව ඇද දමන්නේ නැහැ. අප දේවභක්තියෙන් තොර තත්වයකට පත් වී යම් පාපයක් කළ විට, අප ඔහුට දොස් නොකිව යුතුයි; මන්ද “දෙවිට නපුරෙන් පරීක්ෂා කරනු ලබන්ට නුපුළුවන, ඔහුම කිසිවෙකු පරීක්ෂා නොකරන්නේය.” අපේ යහපත උදෙසා අපව හික්මවන්න යෙහෝවා පරීක්ෂාවකට ඉඩහැරියත්, නපුරු අභිලාෂයෙන් ඔහු අපව පරීක්ෂා කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 12:7-11) වැරදි කිරීම සඳහා සාතන් අපව පරීක්ෂා කරන්න ඉඩ තිබුණත්, ඒ දුෂ්ටයාගෙන් අපව ගළවාගන්න දෙවිට හැකියි.—මතෙව් 6:13.
13. අප වැරදි ආශාවක් ප්‍රතික්ෂේප නොකළොත් අපට කුමක් සිදු විය හැකිද?
13 අපව පාපයට පොලඹවන වැරදි ආශාවක් ඇති විය හැකි යම් තත්වයක් ඉස්මතු වන්න ඉඩ ඇති නිසා, අප යාච්ඤාපූර්වකව සිටිය යුතුයි. යාකොබ් මෙසේ කියනවා: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි.” අපගේ හෘදයට පව්කාර ආශාව මත වැජඹෙන්න ඉඩහැර, පව් කළ පසු දෙවිට දොස් කියන්න අපට බැහැ. අප තෘෂ්ණාවක් ඉවත් කරන්නේ නැත්නම්, එය ‘පිළිසිඳගෙන’ ඒ කියන්නේ හෘද තුළ පැලපදියම් වී “පාපය බිහි කරයි.” පාපය සම්පූර්ණ වූ කල එය “මරණය උපදවයි.” පැහැදිලිවම, අපට අපේ හෘදය ආරක්ෂා කරගැනීම සහ පව්කාර නැඹුරුවාවන්ට විරුද්ධව සිටීම අවශ්‍යයි. (හිතෝපදේශ 4:23) පාපය ඔහුව ජයගන්න අරඅදිමින් සිටිනවා කියා කායින්ට අනතුරු ඇඟවූවත්, ඔහු ඊට එරෙහිව සටන් කළේ නැහැ. (උත්පත්ති 4:4-8) එසේනම්, අප ශුද්ධ ලියවිලි නොවන ක්‍රියාමාර්ගයක් ලුහුබඳින්න පටන්ගන්නවා නම් තත්වය කුමක්ද? අප දෙවිට විරුද්ධව පව් නොකරන පිණිස, අපව යළි සකස් කිරීමට ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වෑයම් කරනවා නම්, නිසැකවම අප කෘතඥපූර්වක විය යුතුයි.—ගලාති 6:1.
දෙවි—යහපත් දේවල උල්පත
14. දෙවිගේ දීමනා “සම්පූර්ණ” බව කිව හැක්කේ කිනම් අර්ථයෙන්ද?
14 යෙහෝවා පරීක්ෂාවල නොව, නමුත් යහපත් දේවල උල්පත බව අප මතක තබාගත යුතුයි. (යාකොබ් 1:16-18, NW) සෙසු ඇදහිලිවන්තයන්ව “ප්‍රේමවන්ත සහෝදරයෙනි” කියා යාකොබ් අමතන අතර, “සෑම යහපත් දීමනාවේද සෑම සම්පූර්ණ ත්යාගයේද” දීමනාකරුවා දෙවි බව පෙන්වනවා. යෙහෝවාගේ ආත්මික මෙන්ම ද්‍රව්‍යමය දීමනා “සම්පූර්ණ” මෙන්ම පරිපූර්ණයි, කිසිවකින් අඩුවක් නැහැ. ඒවා බැස එන්නේ, “ඉහළින්” එනම් ස්වර්ගයේ තිබෙන දෙවිගේ වාසස්ථානයෙන්. (1 රාජාවලිය 8:39) සූර්යයා, චන්ද්‍රයා සහ තාරකා යන “ස්වර්ගීය ආලෝකවල පියා” යෙහෝවායි. ඔහු අපට ආත්මික ආලෝකයත් සත්‍යයත් සපයනවා. (ගීතාවලිය 43:3; යෙරෙමියා 31:35; 2 කොරින්ති 4:6) තම මාර්ගය වෙනස් වන විට සෙවණැලි වෙනස් කළ හැකි මධ්‍යාහ්නයේදී පමණක් තම උච්චාවස්ථාවේ සිටින සූර්යයාට වෙනස්ව, යහපත් දේ සැපයීමේදී දෙවි සැමවිටම ඔහුගේ උච්චම මට්ටමේ සිටිනවා. තම වචනය සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් ලබා දෙන ඔහුගේ ආත්මික සැපයුම්වලින් අප සම්පූර්ණ ප්‍රයෝජන ගන්නවා නම්, පරීක්ෂාවලට මුහුණ දෙන්න ඔහු අපව නිසැකවම සන්නද්ධ කරන්න යනවා.—මතෙව් 24:45.
15. යෙහෝවාගේ විශිෂ්ටතම දීමනාවලින් එකක් කුමක්ද?
15 දෙවිගේ විශිෂ්ටතම දීමනාවලින් එකක්ව තිබෙන්නේ කුමක්ද? ශුභාරංචිය හෝ “සැබෑවේ වචනය” සමඟ එකට වැඩ කරමින්, ශුද්ධාත්මය මාර්ගයෙන් ආත්මික පුත්‍රයන්ව බිහි කිරීමයි. ස්වර්ගයේ “රාජ්‍යයක්ද පූජකයන්ද” කිරීමට මනුෂ්‍යවර්ගයා අතරින් තෝරාගන්නා “නාඹුල් ඵල විශේෂය,” ආත්මයෙන් උත්පාදනය අද්දකිනවා. (එළිදරව් 5:10; එපීස 1:13, 14) යේසුස්ව නැවත නැඟිටෙවූ දවස වන නීසාන් 16වනදා පිදූ බාර්ලි අස්වැන්නේ නාඹුල් ඵල ගැන සහ ශුද්ධාත්මය වගුරුවද්දී, පෙන්තකොස්ත දවසේදී පිදූ තිරිඟු රොටි දෙක ගැන යාකොබ් සිතුවා වෙන්න ඇති. (ලෙවී කථාව 23:4-11, 15-17) මේ අනුව, යේසුස් නාඹුල් ඵලය වන අතර, “නාඹුල් ඵල විශේෂය” වන්නේ ඔහුගේ හවුල් උරුමක්කාරයනුයි. අපට ඇත්තේ භූමික බලාපොරොත්තුවක් නම් තත්වය කුමක්ද? එය ලැබෙන්නේ, රාජ්‍ය පාලනය යටතේ සදාකාල ජීවනය ලැබීම හැකි කරවූ “සෑම යහපත් දීමනා” ලබාදෙන්නා කෙරෙහි ඇති අපේ ඇදහිල්ලට ඇලී සිටීමෙන් අපට උපකාර ලැබෙන්න යනවා කියා මතකයේ තබාගැනීමෙනුයි.
‘වචනය පිළිපදින්නෙක්’ වන්න
16. අප ‘ඇසීමට ඉක්මන් වී, කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද’ විය යුත්තේ මන්ද?
16 අපේ ඇදහිල්ල පිළිබඳ පරීක්ෂා අප අද අද්දැක්කත් නැතත්, අප “වචනය පිළිපදින්නන්” විය යුතුයි. (යාකොබ් 1:19-25, NW) අප දෙවිගේ වචනය “ඇසීමට ඉක්මන්” විය යුතු අතර, එහි කීකරු පිළිපදින්නන් විය යුතුයි. (යොහන් 8:47) අනිත් අතට, අපේ වචන පරෙස්සමින් කිරා මනිමින් අපි “කතා කිරීමට ප්‍රමාද” වෙමු. (හිතෝපදේශ 15:28; 16:23) අපේ පරීක්ෂාවල ආරම්භය දෙවි බව කීමට ඉක්මන් නොවන්න කියා යාකොබ් උනන්දු කරනවා විය හැකියි. “උදහස් වීමට ප්‍රමාද වන්න. මන්ද, මනුෂ්‍යයාගේ උදහසින් දෙවිගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය” කියාත් අපට උපදෙස් දෙනවා. යමෙක් කියන දෙයකින් කෝපයට පත් වෙනවා නම්, ද්වේෂසහගත පිළිතුරු දීමෙහිලා අපි ‘ප්‍රමාද වෙමු.’ (එපීස 4:26, 27) අපට ගැටලු ඇති කළ හැකි හා අනිත් අයටත් පරීක්ෂණයක් විය හැකි උදහසෙන් යුත් ආත්මයකට පුළුවන්කමක් නැහැ දෙවිට ඇදහිල්ල ඇති පුද්ගලයෙකුට සරිලන හැසිරීමක් නිපදවන්න. ඊට වෙනස්ව, අප “විචාර බුද්ධියෙන් පිරී” සිටිනවා නම්, “උදහස් වීමට ප්‍රමාද” වන අතර, අපේ සහෝදර සහෝදරියන් අප වෙත ඇදෙන්න යනවා.—හිතෝපදේශ 14:29, NW.
17. හෘදයෙන් සහ මනසෙන් නපුරු දේවල් ඉවත් කිරීමෙන් ඉටු වන්නේ කුමක්ද?
17 අප නිසැකවම ‘සියලු කිලුටුකමින්’ නිදහස්ව සිටින්න අවශ්‍යයි—ඒ කියන්නේ, දෙවිව පිළිකුල් කරන සහ උදහසට අනුබල දෙන සියලුම දෙයින්. එපමණක්ද නොව, අප ‘නාස්තිකාර දේවල් වන නපුරු දේවල් පහ කළ’ යුතුයි. අප සියලුදෙනාම අපේ ජීවිතයෙන් මාංසයේ හෝ ආත්මයේ ඕනෑම කිලුටුකමක් මුලිනුපුටා දැමිය යුතුයි. (2 කොරින්ති 7:1; 1 පේතෘස් 1:14-16; 1 යොහන් 1:9) හෘදයෙන් සහ මනසෙන් නපුරු දේවල් ඉවත් කිරීම, සැබෑවේ “පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න” අපට උපකාර කරනවා. (ක්‍රියා 17:11, 12) අප කොපමණ කාලයක් පුරා ක්‍රිස්තියානීන්ව සිටියත්, අප තුළ ශුද්ධ ලියවිලි සත්‍යතාවන් තව තවත් පැලපදියම් කරගනිමින් සිටිය යුතුයි. ඒ මන්ද? දෙවිගේ ආත්මය ආධාරයෙන්, පිහිටුවන ලද වචනය ගැළවීම ලබා දෙන ‘අලුත් පෞද්ගලිකත්වයක්’ නිපදවන නිසයි.—එපීස 4:20-24.
18. වචනය අසන්නෙක් පමණක් වන කෙනෙක් එය පිළිපදින්නෙකුට වඩා වෙනස් වන්නේ කෙසේද?
18 වචනය අපේ මාර්ග දර්ශකය කියා අප පෙන්වන්නේ කොහොමද? ‘වචනය අසන්නන් පමණක් නොවී එය පිළිපදින්නන් වීමෙන්.’ (ලූක් 11:28) ක්‍රිස්තියානි දේවසේවයේ ජ්වලිත ලෙස ක්‍රියා කිරීම මෙන්ම දෙවිගේ සෙනඟගේ රැස්වීම්වලට නිතිපතා සහභාගි වීම වැනි ක්‍රියා නිපදවන ඇදහිල්ලක් ‘පිළිපදින්නන්ට’ තිබෙනවා. (රෝම 10:14, 15; හෙබ්‍රෙව් 10:24, 25) වචනය නිකම්ම අසන්නෙක්, “කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.” ඔහු එයින් බලා, එතැනින් අහක්ව ගිය විට ඔහුගේ පෙනුමේ වෙනසක් කළ යුතුව තිබෙනවා නම්, එය අමතක වී යනවා. “වචනය පිළිපදින්නන්” හැටියට, දෙවිට අපෙන් ඕනෑ කරන සෑම දෙයක්ම ඇතුළත් වන ඔහුගේ “සම්පූර්ණ ව්‍යවස්ථාව” අප පරෙස්සමින් අධ්‍යයනය කරන අතර, එයට කීකරුද වෙනවා. මෙලෙස අප භුක්ති විඳින නිදහස පාපයේ සහ මරණයේ වහල්භාවයට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයයි. එබැවින්, අපි ‘සම්පූර්ණ ව්‍යවස්ථාව තුළ පිහිටමින්’ එය නිතිපතාම ඉතා කිට්ටුවෙන් පරීක්ෂා කරමින් ඊට කීකරු වෙමු. එසේම නිකම් හිතන්න! “මතක නැති කරන අසන්නෙක් නොවී, ක්‍රියා කරන කෙනෙක්ව” සිටියොත්, දෙවිගේ අනුමැතියේ ප්‍රතිඵලයක් හැටියට අපට සන්තෝෂය තිබෙනවා.—ගීතාවලිය 19:7-11.
නිකම්ම චාරිත්‍රානුකූල නමස්කාරයකට වඩා වැඩි යමක්
19, 20. (අ) යාකොබ් 1:26, 27ට අනුව පිරිසිදු නමස්කාරය අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? (ආ) කිලුටු නොවූ නමස්කාරය පිළිබඳ උදාහරණ සමහරක් මොනවාද?
19 අපට දිව්‍ය අනුමැතිය අවශ්‍ය නම්, සැබෑ නමස්කාරය කියන්නේ නිකම්ම බාහිර චාරිත්‍රයක් පමණක් නෙවෙයි කියන එක මතක තබාගත යුතුයි. (යාකොබ් 1:26, 27, NW) අප යෙහෝවාගේ පිළිගත් ‘චාරිත්‍රානුකූල නමස්කාරකයන්’ කියා සිතන්න ඉඩ තිබුණත්, ඇත්තෙන්ම වැදගත් දෙය වන්නේ එකිනෙකා සම්බන්ධයෙන් යෙහෝවාගේ තක්සේරුවයි. (1 කොරින්ති 4:4) එක් බරපතළ දුර්වලකමක් විය හැක්කේ “දිව දමනය කරගැනීමට” අසමත් වීමයි. දෙවි අපේ නමස්කාරය සම්බන්ධයෙන් ප්‍රසන්නයි කියා සිතුවට, අප අනිත් අයට නින්දා කරනවා නම්, බොරු කියනවා නම්, එහෙමත් නැත්නම් වැරදි විදිහට දිව පාවිච්චි කරනවා නම්, අප අපවම රවටාගන්නවා. (ලෙවී කථාව 19:16; එපීස 4:25) අපේ “නමස්කාර ක්‍රමය නිරර්ථක” මෙන්ම ඕනෑම හේතුවක් නිසා දෙවිට පිළිගන්න බැරි එකක් වෙනවා දකින්න ඕනෑ නැති බව නිසැකයි.
20 පිරිසිදු නමස්කාරයේ සෑම අංගයක්ම යාකොබ් සඳහන් නොකළත්, ඔහු කියන්නේ “මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීම” ඊට අයත් කියායි. (ගලාති 2:10; 6:10; 1 යොහන් 3:18) වැන්දඹුවන්ට සැපයීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සභාව විශේෂ උනන්දුවක් පෙන්වනවා. (ක්‍රියා 6:1-6; 1 තිමෝති 5:8-10) වැන්දඹුවගෙත් පියා නැත්තාගෙත් ආරක්ෂකයා දෙවි නිසා, ඔවුන්ට ආත්මිකවත් ද්රව්යමයවත් උපකාර කිරීම සඳහා, කළ හැකි දෙය කිරීමට අපි දෙවි හා සහයෝගීව ක්‍රියා කරමු. (ද්විතීය කථාව 10:17, 18) පිරිසිදු නමස්කාරය කියද්දී එයින්, සාතන්ගේ බලය යටතේ පවතින අධර්මිෂ්ඨ මනුෂ්‍ය සමාජය වන “ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂා කරගැනීමත්” අදහස් කරන්න යනවා. (යොහන් 17:16; 1 යොහන් 5:19) ඒ නිසා, යෙහෝවාට ගෞරවය ගෙන ඒම සඳහා මෙන්ම ඔහුගේ සේවයෙහි ප්‍රයෝජනදායක වීම සඳහා, ලෝකයේ අභක්තික හැසිරීමෙන් අපි වෙන්ව සිටිමු.—2 තිමෝති 2:20-22.
21. යාකොබ්ගේ ලිපියට අදාළ, අපේ සැලකිල්ල ලබන්න වටින වෙනත් ප්‍රශ්න මොනවාද?
21 අප සලකා බැලූ යාකොබ්ගේ උපදෙස්, පරීක්ෂාවන් විඳදරාගෙන අපේ ඇදහිල්ලට වැඩියෙන් ඇලී සිටින්න අපට උපකාර කළ යුතුයි. යහපත් දීමනාවල ප්‍රේමනීය දීමනාකරුවා පිළිබඳ අපේ අගය එයින් වඩාත් බලවත් කළ යුතුයි. එමෙන්ම පිරිසිදු නමස්කාරයක් පිළිපදින්න යාකොබ්ගේ වචන අපට උපකාර කරනවා. ඔහු අපේ අවධානයට ගෙනෙන්නේ වෙන මොනවාද? අපට යෙහෝවා කෙරෙහි සැබෑ ඇදහිල්ලක් තිබෙන බව ඔප්පු කිරීම සඳහා තවදුරටත් ගත හැකි පියවරවල් මොනවාද?
[පාදසටහන]
a මේ ලිපියත් මීළඟ ලිපි දෙකත් පෞද්ගලික මෙන්ම පවුලේ පාඩමට යොදාගනිද්දී, ඇදහිල්ල ශක්තිමත් කරවන යාකොබ්ගේ ලිපියේ සඳහන් කළ එක් එක් බයිබල් පද කොටස කියවා බැලීම විශේෂයෙන්ම ප්‍රයෝජනවත් බව ඔබ සොයාගනීවි.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ පරීක්ෂා විඳදරාගැනීම සඳහා අපට උපකාර කරන්නේ කුමක්ද?
◻ පරීක්ෂා හමුවේ ක්‍රිස්තියානීන්ට ප්‍රීතියෙන් ඉපිල යා හැක්කේ මන්ද?
◻ අපට වචනය පිළිපදින්නන් විය හැක්කේ කෙසේද?
◻ පිරිසිදු නමස්කාරයට අයත් වන්නේ මොනවාද?
[9වන පිටුවේ පින්තූරය]
පරීක්ෂා යටතේදී කරන යාච්ඤාවලට පිළිතුරු දීමට යෙහෝවාට ඇති බලය කෙරෙහි ඇදහිල්ල තබන්න
[10වන පිටුවේ පින්තූර]
“වචනය පිළිපදින්නන්” දෙවිගේ රාජ්‍යය ලොව පුරා ප්‍රචාරය කරමින් සිටිනවා