කාගේ ප්‍රමිතිද විශ්වාස කළ හැක්කේ?
අප්‍රිකාවට ප්‍රථම වරට පැමිණි සංචාරකයෙක් කුතුහලය දනවන යමක් දුටුවේය. ඔහුගේ කුතුහලයට හේතු වූයේ පාරේ අනික් පැත්තේ සිටගෙන සිටි මිනිසෙකුගේ ක්රියාකලාපයයි. සෑම විනාඩි දෙක තුනකට වරක්ම මෙම මිනිසා ටික ටික එක පැත්තකට ගියේය. ඔහු කරමින් සිටි දෙය සංචාරකයාට තේරුණේ පසුවය. ඔහු ඇත්තටම තැත් කරමින් සිටියේ දැඩි හිරු රශ්මියෙන් බේරීමේ අරමුණෙන් තමා අසල වූ පහන් කණුවේ සෙවණැල්ලට මුවාවීමටයි. පස්වරු හිරුගේ ගමනත් සමඟම එම කණුවේ සෙවණැල්ල කෙමෙන් කෙමෙන් වෙනස් වූ නිසා ඔහුටද සිටි ස්ථානය වෙනස් කිරීමට සිදු විය.
කණුවේ සෙවණැල්ල මෙන් මිනිසාගේ ක්‍රියාකාරකම් සහ ප්‍රමිතිත් නිතරම වෙනස් වීම්වලට භාජන වේ. නමුත්, ‘ආලෝකවල පියාණන්’ වන යෙහෝවා දෙවි කිසිදාක වෙනස් වන්නේ නැත. ඔහු තුළ “කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත්” නැති බව ශ්‍රාවක යාකොබ් ලීවේය. (යාකොබ් 1:17) හෙබ්‍රෙව් අනාගතවක්තෘ මලාකී දෙවිගේ ප්‍රකාශයක් මෙසේ වාර්තා කළේය. ‘යෙහෝවා වන මම වෙනස් නොවෙමි.’ (මලාකී 3:6) එමෙන්ම යෙසායාගේ කාලයේ දෙවි ඉශ්රායෙල් ජාතියට මෙසේ පැවසීය. “මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. . . . මමම නුඹලා දරා ගෙන මමම උසුලාගන ගළවන්නෙමි.” (යෙසායා 46:4) එබැවින්, සර්වපරාක්‍රම දෙවිගේ පොරොන්දු කෙරෙහි අප තබන විශ්වාසය කිසිදා බිඳවැටෙන්නේ නැත.
ව්‍යවස්ථාවෙන් පාඩමක්
යෙහෝවාගේ පොරොන්දු විශ්වාසවන්ත හා වෙනස් නොවනසුලු වන්නා සේම, හරි වැරැද්ද පිළිබඳ ඔහුගේ ප්‍රමිතිද විශ්වාසවන්තය, වෙනස් නොවනසුලුය. හොර පඩියක් සමඟින් පඩි වර්ග දෙකක් භාවිත කරන කඩ හිමියෙකුව විශ්වාස කරන්න ඔබට පුළුවන්ද? එසේ කළ නොහැකිය. මීට එකඟව, ‘හොර තරාදිය යෙහෝවාට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට ඔහු ප්‍රසන්නය’ කියා දේවවචනය පවසයි. (හිතෝපදේශ 11:1; 20:10) යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට දුන් ව්‍යවස්ථාවෙහි මෙම ආඥාව ඇතුළත් කළේය. “විනිශ්චයෙන්වත් මනින දණ්ඩෙන්වත් කිරුමෙන්වත් මැනීමෙන්වත් අධර්මිෂ්ඨකම් නොකරන්න. හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද නුඹලාට තබාගන්න. මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ [යෙහෝවාය].”—ලෙවී කථාව 19:35, 36.
එම ආඥාවට කීකරු වූ විට, ඉශ්‍රායෙලිතයන්ට දෙවිගේ අනුග්‍රහය සහ ද්‍රව්‍යමය ප්‍රයෝජන රැසක් අත් විය. එසේ නම්, යෙහෝවාට නමස්කාර කරන කෙනෙකු ඔහු කෙරෙහි විශ්වාස කරමින්, මිනුම් සම්බන්ධයෙන් පමණක් නොව ජීවිතයේ සියලුම කාරණාවලදී ඔහුගේ වෙනස් නොවන ප්‍රමිතිවලට විශ්වාසවන්තව ඇලී සිටිනවා නම්, ඉමහත් ආශීර්වාද අත් දකිනවා නියතය. “ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය” කියා දෙවි ප්‍රකාශ කර සිටින්නේ එනිසාය.—යෙසායා 48:17.
වර්තමානයේ ප්‍රමිති බිඳවැටෙන්නේ මන්ද?
අදදින ප්‍රමිති බිඳවැටීමට හේතුව බයිබලයෙහි පැහැදිලි කර ඇත. එහි අවසාන පොත වන එළිදරව්වෙහි, ස්වර්ගයෙහි සිදු වූ යුද්ධයක් ගැන සඳහන් වේ. එම යුද්ධයේ ප්‍රතිඵලය මේ දක්වා ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම බලපා ඇත. එහි ලේඛක ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට, ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.
යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් වහාම සිදු වූයේ කුමක්ද? අපි යොහන්ගේ විස්තරයට නැවතත් අවධානය යොමු කරමු. “එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.”—එළිදරව් 12:12.
‘ගොඩට දුක’ පැමිණියේ Iවන ලෝක සංග්‍රාමයේ ආරම්භයත් සමඟය. මෙම යුද්ධය වර්තමානයේ පවතින ප්‍රමිතිවලට සහමුලින්ම වෙනස්, උසස් ප්‍රමිති රකිනු ලැබූ යුගයක අවසානය සනිටුහන් කළේය. ඉතිහාසඥ බාබරා ටක්මන්ගේ නිරීක්ෂණය සලකා බලන්න. “1914-18 අතර කාලයේ පැවති මහා යුද්ධය, ඒ යුගයත් වත්මන් යුගයත් අතර කඩ ඉමක් වැනිය. මෙම යුද්ධය මගින් මතු කාලයට දායාදයක් වන්නට තිබූ ජීවිත මිලියන ගණනක් බිලිගන්නා ලදි. ජනතාව සැබෑ බවට පිළිගත් ප්‍රමිති බිඳවැටී ගියේය. අදහස් උදහස් මතිමතාන්තර වෙනස් කෙරිණ. සැමගේ බලාපොරොත්තු සුන් කිරීමෙන් ගැඹුරු චිත්තවේගීය තුවාල ඇති කිරීමට එය සමත් විය. ඇත්තටම ඊට පෙර පැවති යුගයේ මානසිකත්වය හා ආකල්පත් අපගේ කාලයේ මානසිකත්වය හා ආකල්පත් අතර සිතාගත නොහැකි තරම් පරතරයක් දක්නට ලැබෙන්නේ මෙම විපර්යාසයන් නිසාය.” ටක්මන්ගේ සමකාලීනයෙකු වූ ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම් මීට එකඟ වෙමින් මෙසේ පවසයි. “වර්ෂ 1914 සිට, සංවර්ධිත රටවල සාමාන්‍යයයි පිළිගත් ප්‍රමිති ප්‍රබල ලෙස පහත වැටීමක් සිදුව ඇත. . . . ඇත්තෙන්ම අප වේගයෙන් ඇද වැටී ඇති ආකාරය දෙස බලන කල, 19වන සියවසේ විසූ අපගේ මුතුන්මිත්තන් අප ම්ලේච්ඡයන් ලෙස සලකනවාට සැකයක් නැත. එම පිරිහීම පැහැදිලි කිරීමට වචන නොමැති තරම්ය.”
ජොනතන් ග්ලවර් නමැති කර්තෘවරයා මිනිස් සංහතිය—විසිවන සියවසේ සදාචාර ඉතිහාසය (සිංහලෙන් නොමැත) නමැති පොතෙහි මෙම අදහස් පළ කළේය. “අපගේ කාලයේ එක් කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ සදාචාර ප්‍රමිති අභාවයට යෑමයි.” බටහිර රටවල ආගම් පිරිහීම, සදාචාර ප්‍රමිති මිනිස්බව ඉක්මවූ දේව මඟ පෙන්වීමකින් ලැබූ බව සැක කිරීමට මඟ පෑදුවත් ඔහු මෙසේ අනතුරු අඟවයි. “සදාචාර ප්‍රමිතිවලට ආගමික මුහුණුවරක් ඇතැයි යන කාරණය අපගෙන් සමහරෙකු අවිශ්වාස කළද, එම ප්‍රමිතිවල අභාවය ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය.”
වත්මන් ලෝකයේ වාණිජ, දේශපාලනික හා ආගමික ක්ෂේත්රවලත්, පෞද්ගලික හා පවුල් සම්බන්ධතාවලත් විශ්වාසය බිඳවැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇති බව පෙනෙන්ට තිබේ. මේ සියල්ලම පොළොවෙහි වසන්නන් පිට දුක ගෙන ඒමට වූ සාතන්ගේ දුෂ්ට උපායේ අංගයකි. සාතන් තම යුද්ධයෙහි අවසානය දක්වාම එහි නිරත වනවාට සැකයක් නොමැත. ඔහු තනිව විනාශය අද්දකින්නට අදහස් කරන්නේ නැත. තමා විනාශ වෙද්දී, දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන සියල්ලන්වමත් විනාශයට ඇදගෙන යෑම ඔහුගේ දුෂ්ට අදහස වේ.—එළිදරව් 12:16ආ.
විශ්වාසය කඩ කිරීමක් අද්දකින්නේ නැති කාලයක් අපට කවදා හෝ බලාපොරොත්තු විය හැකිද? ප්‍රේරිත පේතෘස්ගේ පිළිතුර සලකා බලන්න. “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘස් 3:13) අපට මෙම පොරොන්දුව සහමුලින්ම විශ්වාස කළ හැක්කේ, දෙවිට තම අරමුණ ඉටු කිරීමට බලය ඇති නිසාත්, එහි ඉටුවීම දෙවි පෞද්ගලිකව සහතික කරන නිසාත්ය. යෙහෝවාගේ මුඛයෙන් ‘නික්මෙන ඕනෑම වචනයක්’ සම්බන්ධයෙන් ඔහු මෙසේ සහතික කරයි. එය “මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.” ඔව්, යෙහෝවාගේ පොරොන්දු සහතිකවම විශ්වාස කළ හැකි ඒවාය.—යෙසායා 55:11; එළිදරව් 21:4, 5.
දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීම
දිනපතා පිරිහෙමින් පවතින ප්‍රමිති ඇති ලොවක ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, බයිබලයෙහි සඳහන්ව ඇති ප්‍රමිති තම ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරති. ඒ නිසා, ඔවුන් බහුතරයට වඩා වෙනස්ය. ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අන්‍යයන්ගේ අවධානයට ලක් වන අතර, සමහරුන්ගේ සමච්චලයටද පාත්‍ර වේ.
ලන්ඩනයේ පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකදී, රූපවාහිනි වාර්තාකරුවෙකු සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙකුගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තටම ක්‍රිස්තියානීන්ද කියා අසන ලදි. එම නියෝජිතයා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔව් අපි ක්‍රිස්තියානීන් තමයි. අපි ආදර්ශයට ගන්නේ යේසුස්වයි. ආත්මාර්ථකාමී ආකල්ප මේ ලෝකයේ හැම තැනම දකින්න තිබුණත්, මාර්ගය, සැබෑව සහ ජීවනය වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වෙතටයි අපේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. යේසුස් ත්‍රිත්වයේ කොටසක් නෙමෙයි, නමුත් ඔහු දෙවිගේ පුත්‍රයා කියා අපි විශ්වාස කරනවා. එමනිසා, සාමාන්‍ය ආගම්වලට වඩා බයිබලය සම්බන්ධයෙන් අපට ලැබී ඇති අවබෝධය වෙනස්.”
මෙම සම්මුඛ සාකච්ඡාව BBC රූපවාහිනියේ විකාශනය කළ අතර, එම වාර්තාකරු වැඩසටහන නිම කළේ මෙසේ පැවසීමෙනි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් අපේ දොරකඩට ඇවිල්ලා කතා කරන්නේ ඇයි කියලා මට දැන් වඩාත් පැහැදිලියි. මම හිතන්නේ නැහැ, මෙතරම් හොඳට ඇඳ පැළඳගත්, හොඳින් හැසිරුණු 25,000ක් වැනි සෙනඟක් එක තැන ඉන්නවා මම දැකලා තියෙනවා කියලා.” ඔව්, දෙවිගේ වෙනස් නොවන ප්‍රමිතිවලට ඇලී සිටීම කොතරම් ඥානවන්තද යන්න වෙනත් කෙනෙකුගේ ප්රශංසාත්මක මුඛයෙන් අසන්නට ලැබීම මොනතරම් කදිම සාක්ෂියක්ද!
සමහරුන් වෙනත් කෙනෙකු විසින් නියම කළ යම් ප්‍රමිතියකට අනුව ජීවත් වීමේ අදහසට එතරම් මනාපයක් නොදැක්වුවද, බයිබලය සෝදිසි කොට, දෙවිගේ ප්‍රමිති මොනවාද කියා දැනගන්නා ලෙස අපි ඔබට දිරිගැන්වීමට කැමැත්තෙමු. එනමුත්, එම සෝදිසි කිරීම උඩින් පල්ලෙන් නොකරන්න. ප්‍රේරිත පාවුල්ගේ මෙම අවවාදය සිතට ගන්න. “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, [දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා [තමාට සහතික කරගන්නා, NW] පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.” (රෝම 12:2) ඔබ සිටින නගරයේ හෝ ගමේ තිබෙන රාජ්‍ය ශාලාවකට ගොස් සාක්ෂිකරුවන්ව දැනහඳුනා ගැනීමට වෙර දරන්න. ඔවුන් ඔබ මෙන්ම සාමාන්‍ය මිනිසුන් බව ඔබට පෙනී යනවා ඇත. එමෙන්ම, ඔවුන් බයිබලයේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන, දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට වෑයම් කිරීමෙන් ඔහු කෙරෙහි ඇති තමන්ගේ විශ්වාසය ප්‍රායෝගිකව ඔප්පු කරන ජන පිරිසක් බවද ඔබට වැටහෙනු ඇත.
ඔබත් දෙවිගේ වෙනස් නොවන විශ්වාසවන්ත ප්‍රමිතිවලට ඇලී සිටිනවා නම්, ඔබට ආශීර්වාද අත් වෙනවා නියතය. දෙවිගේ මෙම ඇරයුමට ඔබේ සවන් යොමන්න! “අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:18.
[5වන පිටුවේ පින්තූර]
අදදින දේශපාලනය, වාණිජ්‍ය ලෝකය, ආගම සහ පවුල තුළ පවා විශ්වාසය බිඳවැටී ගොස් ඇත